ශ්‍රී ලංකා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරමු!

බහු වාර්ගික බහු ආගමික රටක් තුළ බහු විධ නීති පද්ධති ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැකිය. කෙසේනමුත් එවන් රටක් තුළ ප්‍රායෝගිකව එක් උත්තරීතර නීතියක් ක්‍රියාත්මක වන අතර උත්තරීතර නීතියට පටහැනි නොවන අයුරින් විවිධ පුද්ගල නීති ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා මුස්ලිම්වරු සඳහාද මෙවන් විශේෂ නීතියක් ක්‍රියාත්මක වේ. 1931 අංක 10 දරණ මුස්ලිම්  අන්තිම කැමති පත්‍ර රහිත දේපල උරුමවීමේ පනත, 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත හා 1956 අංක 51 දරණ මුස්ලිම් දේවස්ථාන පුණ්‍යභාර හා වකුෆ් ආඥාපනත යන පනත් ලාංකීය මුස්ලිම්වරුන් සඳහා වූ මුස්ලිම් නීතිය විග්‍රහ කරන්නාවූ පනත්ය.

මෙම පනත් අතුරින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත දෙස වත්මන් සමාජයේ වැඩි අවධානයක් යොමු වී ඇත. මෙම පනතේ විවිධ දෝෂ තිබීම හේතුවෙන් මෙම පනත සංශෝධනය විය යුතු බව බොහෝ දෙනා අවධාරණය කරන අතර අපගේ ඉල්ලීමද එයයි.

මේ අනුව වර්ෂ 2009 දී එවකට අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් මු.වි.දි පනත සංශෝධනය සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ප්‍රමුඛ 19 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ අතර මු.වී.දි පනත සංශෝදනය පිලිබඳ  ඔවුන්ගේ සවිස්තරාත්මක වාර්තාව 2018 ජනවාරි 22 වන දින අධිකරණ අමාත්‍යංශයට ඉදිරිපත් කරන ලදී. මු.වි.දි පනත සංශෝදනය කිරීම සඳහා ඉතා අගනා යෝජනා රාශියක් මෙම වාර්තාවේ ඇතුළත් වී ඇත. කෙසේනමුත් මෙම වාර්තාවේ ඇතැම් යෝජනා ඉස්ලාමයට පටහැනිය. එබැවින් කමිටුවේ සාමාජිකයන් එම කමිටුවේම සාමාජිකයෙකු වන ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තෆා යටතේ, සලීම් මර්සූෆ් වාර්තාවේ ඇති ඉස්ලාමයට පටහැනි කරුණු ඉස්ලාමයට පටහැනි නොවන ලෙස සංශෝධනය කළ යුත්තේ කෙසේද යන යෝජනා ඇතුළත් දෙවන වාර්තාවක් ඉදිරිපත් කර ඇත. මෙම වාර්තා දෙකම අධිකරණ අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇත.

මු.වි.දි පනත සංශෝධනය මූලික වශයෙන් සලීම් මර්සූෆ් වාර්තාව අනුව සිදු විය යුතු අතර සලීම් මර්සූෆ් වාර්තාව හා ෆායිස් මුස්තෆා වාර්තා අතර එකඟතාවයක් නොමැති අවස්ථාවලදී ෆායිස් මුස්තෆා වාර්තාවට අනුව මු.වි.දි පනත සංශෝධනය විය යුතුයි යන්න අපගේ ස්ථාවරයයි. අපගේ ස්ථාවරය පොදු ජනතාවට තේරුම් ගැනීම පිණිස සලීම් මර්සූෆ් වාර්තාව හා ෆායිස් මුස්තෆා වාර්තා දෙක පිලිබඳ සංසන්දනාත්මක වාර්තාවක් අප සකසා ඇත්තෙමු. මෙම වාර්තාව කියවීමට පහත යොමුවට පිවිසෙන්න.

IIRF වාර්තාව: ශ්‍රී ලංකා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරමු