1. හැඳින්වීම
උතුම් අල් කුර්ආනයේ අසමසම සංරක්ෂණය සහ සම්පාදනය පිළිබඳ සැක හා ව්‍යාකූලතා ඇති කිරීමේ අරමුණින් බොහෝ පෙරදිගවාදීන් (Orientalists) සහ ක්‍රිස්තියානි මිෂනාරිවරුන් උතුම් අල්කුර්ආනයට එරෙහිව විවිධ අදහස් සහ විවේචන ඉදිරිපත් කර ඇත. මෙම ලිපි මාලාවේ දී උතුම් අල් කුර්ආනය සංරක්ෂණය කිරීම හා සම්පාදනය කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳ කෙටියෙන් විමසා බලන්නෙමු. එහි පළමු අදියරය වන්නේ දේවදූත මුහම්මද් ﷺ තුමා ජීවමානව වැඩ වසන කාලය තුළ එය සංරක්ෂණය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ අනාවරණය කරන පළමු අවධිය පිළිබඳ අධ්‍යනය කිරීමය.
2. උතුම් අල් කුර්ආනය සංරක්ෂණය කිරීමේ ප්‍රධාන මාධ්‍ය වූයේ මතකයේ තබා ගැනීමය.
උතුම් අල් කුර්ආනය සංරක්ෂණය කිරීම පිළිබඳව සලකා බැලීමේ දී අවබෝධ කරගත යුතු වැදගත් කරුණක් වන්නේ, එය ලිවීමෙන් පමණක් නොව, ප්‍රධාන වශයෙන් මතකයේ තබා ගැනීමෙන් ද එය සංරක්ෂණය කරනු ලැබූ බව ය. උතුම් අල් කුර්ආනය මෙලෙස සංරක්ෂණය කිරීමෙහි මහත් ප්‍රඥාවක් සහ ගැඹුරු හේතුවක් තිබේ. එනම්, පෙර පැමිණි දේවදූතවරුන්ගේ ඉගැන්වීම් මතකයේ තබා ගැනීමේ ක්‍රමයට ප්‍රමාණවත් අවධානයක් නොලැබීම හේතුවෙන් කාලයාගේ ඇවෑමත් සමග ඒවා බොහෝ විට අහිමි වන්නට විය. සමහර අවස්ථාවල දී ආක්‍රමණිකයන් විසින් ලිඛිත පිටපත් විනාශ කරන් ලදී. තවත් අවස්ථාවල දී ලේඛකයින් විසින් හිතාමතා හෝ නොදැනුවත්ව එම පිටපත්වල වැරදි සිදු කරන ලදී.
එබැවින් එවැනි තත්ත්වයක් උතුම් අල් කුර්ආනයට සිදු නොවීම සඳහා, එය ලිඛිතව සටහන් කළ ද, එහි ආරක්ෂාව සඳහා විශේෂ අවධානයක් යොමු කළේ උතුම් අල් කුර්ආනය වනපොත් කිරීම සඳහා ය.
සහීහ් අල් මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් පුවතක සර්වබලධාරී අල්ලාහ් දෙවිඳාණෝ දේවදූත මුහම්මද්තුමාට මෙසේ පැවසූ බව සඳහන් වේ.
وأنزلت عليك كتابا لا يغسله الماء
“මම ඔබට ජලයෙන් සෝදා මකා දැමිය නොහැකි ග්රන්ථයක් පහළ කර ඇත්තෙමි.” [1]
මෙහි අදහස වන්නේ උතුම් අල් කුර්ආනය ලිඛිත පත්‍රිකාවල හෝ සටහන්වල පමණක් සංරක්ෂණය නොවන බව හා ඊට අමතරව වෙනත් මාධ්‍යයක් වන මිනිසුන්ගේ මතකය තුළ ද සංරක්ෂණය වන බව ය.
එබැවින් මුස්ලිම්වරු ආරම්භයේ සිට ම උතුම් අල් කුර්ආනය වනපොත් කිරීමට විශේෂ අවධානයක් යොමු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස දේවදූත මුහම්මද් ﷺ තුමා පමණක් නොව, ඔහුගේ සහගාමීන් අතුරින් විශාල පිරිසක් ද සම්පූර්ණ අල් කුර්ආනය ම වනපොත් කර තිබුණි. ඔවුන් අතරින් අබූ බකර් (රලි), උමර් (රලි), උස්මාන් (රලි), අලී (රලි), අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි), තල්හා (රලි), සඅද් (රලි), හුදෙයිෆා (රලි), උබෙයි ඉබ්නු කඅබ් (රලි), අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි), අබ්දුල්ලාහ් ඉබ්නු සුබයිර් (රලි), අබ්දුල්ලාහ් ඉබ්නු සාඉබ් (රලි), සෙයිද් ඉබ්නු තාබිත් (රලි), අබූ හුරෙයිරා (රලි), අබූ දර්දා (රලි), මුආද් ඉබ්නු ජබල් (රලි), අනස් ඉබ්නු මාලික් (රලි), අබූ මූසා අල්-අෂ්අරී (රලි), මුආවියා (රලි), ආයිෂා (රලි), උම්මු සලමා (රලි) සහ හෆ්සා (රලි) වැනි තවත් බොහෝ දෙනෙක් ඇතුළත් වූහ. [2] ඒ අනුව, උතුම් අල් කුර්ආනය සංරක්ෂණය කිරීමේ ප්‍රධාන හා ශක්තිමත්ම ක්‍රමය වූයේ එය මුස්ලිම්වරුන්ගේ හදවත් හා මතකයන් තුළ සුරක්ෂිතව තබා ගැනීමය.
3. දේවදූත මුහම්මද් ﷺ තුමාගේ ජීවිත කාලය තුළ ලිඛිතව සංරක්ෂණය කිරීම
කෙසේ වෙතත්, උතුම් අල් කුර්ආනය මතකයේ පමණක් නොව ලිඛිතව ද සටහන් කරන ලද අතර එම කටයුත්ත දේවදූත මුහම්මද් ﷺ තුමාණන් ජීවමානව වැඩ වසන සමයෙහි ම සිදු විය. පසු ව සකස් කරන ලද සියලු ම මුස්හෆ් (අල් කුර්ආන් පිටපත්) දේවදූත මුහම්මද් ﷺ තුමා විසින් ම කියවා පෙන්වා, ලේඛකයන්ට ලිවීමට නියම කළ එම ලිඛිත සටහන් මත ම පදනම් විය . ඒ පිළිබඳ විස්තර අපි ඉදිරියේ දී විමසා බලමු.
දේවදූත මුහම්මද් ﷺ තුමාට සාමාන්‍යයෙන් ලේඛකයන් ලෙස කටයුතු කළ සහගාමීන් 40 කට වැඩි පිරිසක් සිටියහ. මෙම සහගාමීන්ගේ නාමයන් විශ්වාසනීය ඉස්ලාමීය මූලාශ්‍ර ග්රන්ථ රැසක සඳහන් වී ඇත. [3] උතුම් අල් කුර්ආනය ලිඛිතව සටහන් කිරීම සඳහා දේවදූත මුහම්මද්තුමාණෝ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබූහ. උතුම් අල් කුර්ආනය ලියා තබන ලද්දේ කෙසේද? සහ එය නිවැරදිව ලියා ඇති බව දේවදූත මුහම්මද් ﷺ තුමාණන් විසින් පරීක්ෂා කර තහවුරු කළේ කෙසේද? යන්න පහත සඳහන් හදීසය තුළින් ගම්‍ය වේ. නිදසුනක් ලෙස: දේවදූත මුහම්මද්තුමාගේ ප්‍රධාන ලේඛකයන්ගෙන් එක් අයෙකු වන සෙයිද් ඉබ්නු තාබිත් (රලි) තුමා මෙසේ පවසයි:
عن زيد بن ثابت قال: كنت أكتب الوحي لرسول الله صلى الله عليه وسلم، وكان «إذا نزل عليه أخذته برحاء شديدة، وعرق عرقا شديدا مثل الجمان، ثم سري عنه» ، فكنت أدخل عليه بقطعة الكتف أو كسرة، فأكتب وهو يملي علي، فما أفرغ حتى تكاد رجلي تنكسر من ثقل القرآن، وحتى أقول: لا أمشي على رجلي أبدا، فإذا فرغت قال: «اقرأه» ، فأقرؤه، فإن كان فيه سقط أقامه، ثم أخرج به إلى الناس
“මම අල්ලාහ්ගේ දූතයාණන් ﷺ වෙත පැමිණෙන වහී (දේව අනාවරණ) සටහන් කරන්නෙකු ලෙස සිටියෙමි. වහී (දේව අනාවරණ) හෙළිදරව් වන විට ඔහුට ඉතා දැඩි අපහසු තත්ත්වයක් දැනෙන අතර, එවිට මුතු කැට මෙන් දහඩිය බිඳු එතුමාණන්ගේ සිරුරෙන් ගලා යන්නට විය. එම තත්ත්වයෙන් එතුමාණන් මිදුනු පසු මම උරහිස් අස්ථියක් හෝ වෙනත් ලිවීමට සුදුසු ද්‍රව්‍යයක් ගෙන එන්නෙමි. දේවදූත මුහම්මද්ﷺ තුමා තමාට අනාවරණය වූ පාඨ කියවා පෙන්වන විට මම එය ලියා ගනිමි. සටහන් කර ගැනීම අවසන් වීමට පෙර දේව අනාවරණයෙහි ඝනත්වය නිසා මගේ පාදය බිඳී යයිදෝ කියා මට හැඟෙන තරමට වෙහෙසක් ඇති වේ. මට නැවත කිසි දිනක මාගේ පාදයෙන් ඇවිදීමට ද නොහැකි වේ යැයි කියා මාගේ සිහියට නැගේ. එසේ වුව ද ලිවීම අවසන් කළ විට දේවදූත මුහම්මද් ﷺ තුමා ‘එය කියවන්න’ යැයි පවසයි. මම කියවා පෙන්වූ විට, කිසියම් අඩුපාඩුවක් හෝ වැරැද්දක් තිබේ නම්, එතුමාණන් එය නිවැරදි කළ අතර ඉනික්බිතිව එය ජනතාව අතරට ගෙන යාමට අවසර ලබා දුන්නෝය.” [4]
මෙම වාරතාවෙන් උතුම් අල් කුර්ආනය දේවදූත මුහම්මද්තුමාණන් ජීවමානව වැඩවසන කාලයේ දී ම ඔහුගේ සෘජු අධීක්ෂණය යටතේ ලිඛිතව සටහන් කරනු ලැබූ බවට සහ එය ප්‍රසිද්ධ කිරීමට පෙර එතුමාණන් විසින් ම සත්‍යාපනය කර නිවැරදි කරනු ලැබූ බවට යථෝක්ත පුවත පැහැදිලි සාධකයකි.
දේවදූත මුහම්මද්තුමා ජීවත්ව සිටි සමයේ උතුම් අල් කුර්ආනයේ ලිඛිත පිටපත් පැවති බවට සාක්ෂි ඇත. ඇත්ත වශයෙන් ම උතුම් අල් කුර්ආනය ලිඛිතව සටහන් කිරීමේ ක්‍රියාවලිය ඉස්ලාමයේ මුල් දිනවල සිට ම ක්‍රියාත්මක වූ බව එතුමාගේ සමීපතම සගයෙකු වන වන උමර් ඉබ්නු අල් කත්තාබ් (රලි) තුමා ඉස්ලාමය වැළඳ ගැනීමට හේතු වූ සිදුවීමෙන් ද පැහැදිලි වේ. ඔහු තම සහෝදරිය සහ සහෝදරියගේ සැමියා සමග සිටිය දී සූරා තාහා (20 වන පරිච්ඡේදයෙ) හි වාක්‍ය ලියා තිබූ පත්‍රිකාවක් ඔවුන් සතුව ඇති බව දුටුවේය. [5]
මෙම සිදුවීමෙන් උතුම් අල්කුර්ආනයේ වාක්‍ය දේවදූත මුහම්මද්තුමාණන් ජීවත්ව සිටි කාලය තුළ ම ලිඛිතව සටහන් කර ආරක්ෂා කර තිබු බවට පැහැදිලි සාක්ෂියක් ලැබේ.
තවත් පුවත් කිහිපයක් මගින් දේවදූත මුහම්මද්තුමාණන්ගේ සහගාමීන් සතුව සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් ලියා තබන ලද උතුම් අල්කුර්ආන් පිටපත් තිබූ බව ද පෙන්නුම් කෙරේ. උදාහරණයක් ලෙස, අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමා වාර්තා කරයි.
عن عبد الله بن عمر رضي الله عنهما: أن رسول الله صلى الله عليه وسلم نهى أن يسافر بالقرآن إلى أرض العدو
“අල්ලාහ්ගේ දූතයාණන් ﷺ තුමාණෝ සතුරු දේශයකට උතුම් අල් කුර්ආනයේ පිටපත් රැගෙන යාම තහනම් කළහ.” [6]
මෙම පුවතෙන් පැහැදිලි වන්නේ දේවදූත මුහම්මද්තුමාණන්ගේ කාලයේ උතුම් අල් කුර්ආනයේ ලිඛිත පිටපත් පැවති බව ය. එසේ නොවූයේ නම්, සතුරු දේශවලට කුර්ආන් පිටපත් රැගෙන යෑම තහනම් කිරීමේ අවශ්‍යතාවයක් එතුමාණනට නො තිබුණි. එබැවින් මෙම වාර්තාව උතුම් අල් කුර්ආනය වහී (දේව අනාවරණය) පහළ වූ සමයේ දී ම ලියා තබා සංරක්ෂණය කර තිබූ බවට වැදගත් සාක්ෂියක් ලෙස සැලකේ. එපමණක් නොව මෙම පුවත මගින් විෂද වන්නේ දේවදූත මුහම්මද්තුමාණන් ජීවත්ව සිටි සමයේ දී ම එතුමාණන්ගේ සහගාමීන් සතුව උතුම් අල් කුර්ආනයේ ලිඛිත පිටපත් තිබූ බවට නිශ්චිත හා ප්‍රබල සාක්ෂි ලැබේ. තව ද, එවැනි ලිඛිත පිටපත් තබා ගැනීම අසාමාන්‍ය හෝ දුර්ලභ දෙයක් නොවන අතර මුල්කාලීන මුස්ලිම් සමාජයේ සාමාන්‍යයෙන් ප්‍රචලිත වූ ක්‍රියාවක් බව ද මෙම වාර්තා පැහැදිලි කරයි.
එබැවින්, කුර්ආනය නබිතුමාණන්ගේ වියෝවෙන් පසු ව පමණක් ලිඛිතව එකතු කරන ලද්දක් නොව, එතුමාගේ ජීවිත කාලය තුළ ම එය මතකයේ සංරක්ෂණය කිරීමත් සමඟ ම ලිඛිතව ද සටහන් කර ආරක්ෂා කර තිබූ බව මෙම සාක්ෂි මගින් තහවුරු වේ.
එසේ ම, උතුම් අල් කුර්ආනයේ ලිඛිත පිටපත් (මුස්හෆ්) නබිතුමාණන්ගේ ජීවිත කාලයේ දී ම පැවති බවට තවත් සාක්ෂියක් වශයෙන් එතුමා යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ලෙස යැවූ හකීම් ඉබ්නු හිසාම් (රලි) වෙත ලබාදුන් උපදෙස්වලින් දැකිය හැකි ය. එතුමා මෙසේ පැවසීය:
لا تمس القرآن إلا وأنت طاهر
“ ඔබ පවිත්රතාවයේ (වුදු තත්ත්වයේ) නොසිටින විට කුර්ආනය ස්පර්ශ නො කරන්න.” [7]
මෙම උපදෙසෙන් ද පැහැදිලි වන්නේ, නබිතුමාණන්ගේ සමයේ දී කුර්ආනය ලිඛිත ආකාරයෙන් පැවති බව ය. මන්ද, “කුර්ආනය ස්පර්ශ කිරීම” යන ප්‍රකාශය සාමාන්‍යයෙන් කුර්ආනයේ ලිඛිත පිටපතක් (මුස්හෆ්) ගැන සඳහන් කරන අතර, එය සහාබාවරුන් අතර ප්‍රචලිතව භාවිතා වූ දෙයක් බව ද මෙයින් තහවුරු වේ.
එබැවින්, කුර්ආනය නබිතුමාණන්ගේ ජීවිත කාලයේ දී ම මතකයේ පමණක් නොව, ලිඛිතව ද සංරක්ෂණය කර තිබූ බවට මෙම වාර්තාව ද තවත් ප්‍රබල සාක්ෂියක් ලෙස සැලකේ.
4. උතුම් අල් කුර්ආනය ලිවීම සඳහා දේවදූත මුහම්මද්තුමාගේ දිරිගැන්වීම
දේවදූත මුහම්මද්තුමා සෑම වහී (දේව අනාවරණ) පණිවිඩයක් ම තමන් ඉදිරියේ ලියවා ගැනීම සඳහා පමණක් කටයුතු නො කළහ. එතුමා ජනතාවට ද තමන්ගේ ම භාවිතය සඳහා උතුම් අල් කුර්ආනය ලියා තබා ගැනීමටත්, එය තම දරුවන්ට උරුම කර දීමටත් දිරිගැන්වූහ. තව ද කුර්ආන් පිටපත් (මූලික ලේඛන) සම්බන්ධයෙන් ඔවුන්ට උපදෙස් ද ලබා දුන්හ. පහත සඳහන් වාර්තාව ඒ පිළිබඳව තහවුරු කරයි.
අබූ හුරෙයිරා (රලි) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් ﷺ තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ:
عن أبي هريرة، قال: قال رسول الله صلى الله عليه وسلم: «إن مما يلحق المؤمن من عمله وحسناته بعد موته علما علمه ونشره، وولدا صالحا تركه، ومصحفا ورثه، أو مسجدا بناه، أو بيتا لابن السبيل بناه، أو نهرا أجراه، أو صدقة أخرجها من ماله في صحته وحياته، يلحقه من بعد موته»
“මිනිසෙකු මිය ගිය පසුවත් ඔහුට ප්රතිලාභ ලැබෙන යහපත් ක්‍රියාවන් අතරින් මෙවැනි දේවල් වේ. එනම්, ඔහු ඉගෙන ගෙන ජනතාව අතර ප්‍රචාරය කළ දැනුම, ඔහු හැරගිය සැදැහැවත් ධාර්මික දරුවා, ඔහු උරුමයක් ලෙස අත්හැර ගිය කුර්ආනයේ පිටපතක්, ඔහු ඉදිකළ මස්ජිදයක්, මගීන් සඳහා ඔහු ඉදිකළ නිවසක්, ඔහු කැණූ ඇළක් (ජල මාර්ගයක්) හෝ ඔහු සෞඛ්‍ය සම්පන්නව නීරෝගීව ජීවත්ව සිටියදී ලබා දුන් දානයක්. මේ සියල්ලෙහි ප්රතිලාභ ඔහු මිය ගිය පසුව ද ඔහු වෙත ළඟා වනු ඇත.” [8]
මෙම පුවතෙන් දේවදූත මුහම්මද් ﷺ තුමාණන්ගේ යුගයේ ම උතුම් අල් කුර්ආනය සටහන් කර පිටපත් තබා ගැනීම සාමාන්‍යයෙන් සිදු වූ බවත්, “ඔහු උරුමයක් ලෙස හැර ගිය කුර්ආනයේ පිටපතක්” යන වචන මගින් පුද්ගලයන් සතුව ලිඛිත කුර්ආන් පිටපත් පැවති බවත් ගම්‍ය වේ.
මේ අනුව, දේවදූත මුහම්මද් ﷺ තුමාණන් සම්පූර්ණ අල් කුර්ආනය ම ලිඛිතව සුරක්ෂිත කිරීමට පමණක් නොව, ජනතාව ද කුර්ආන් පිටපත් සකස් කර ඒවා තමන් සතු කරගෙන, තමන්ගෙන් පසු ව උරුමයන් ලෙස හැර යාමට ද දිරිගැන්වූ බව පැහැදිලි වේ. අද අපට දැකිය හැකි උතුම් අල් කුර්ආනයේ ආරක්ෂාව හා සංරක්ෂණය සාර්ථක වීමට මෙවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වූ බව පැහැදිලිය.
මෙම පසුබිම තුළ පහත සඳහන් සිද්ධිය සැලකිල්ලට ගත යුතු ය. එනම්, එක් අවස්ථාවක සහාබාවරුන්කිහිප දෙනෙක් දේවදූත මුහම්මද් ﷺ තුමාණන් සමඟ සිටියහ. ඔවුන්ගෙන් එක් අයෙකු මෙසේ වාර්තා කරයි: අපි මෙසේ පැවසුවෙමු.
قلنا: يا رسول الله هل من أحد أعظم منا أجرا، آمنا بك واتبعناك، قال: «وما يمنعكم من ذلك ورسول الله بين أظهركم، يأتيكم بالوحي من السماء؟ بل قوم يأتون من بعدكم يأتيهم كتاب بين لوحين فيؤمنون به ويعملون بما فيه أولئك أعظم منكم أجرا
“අල්ලාහ්ගේ දූතයාණෙනි, ප්රතිලාභ ලැබීමේ දී අපට වඩා උසස් කෙනෙකු සිටී ද? අපි ඔබව විශ්වාස කර පිළිගත්තෙමු, ඔබව අනුගමනය කළෙමු.” එවිට එතුමාණෝ මෙසේ පැවසූහ:
“ඔබලා එසේ නොකර සිටීමට කුමක් තිබේ ද? අල්ලාහ්ගේ දූතයා ඔබ අතර සිටින විට අහසින් වහී (දේව අනාවරණ) ඔබ වෙත පැමිණෙයි. නමුත් ඔබලාට පසු ව එක් ජන සමාජයක් පැමිණෙනු ඇත. ඔවුන් වෙත මෙම ග්‍රන්ථය (උතුම් අල් කුර්ආනය) ආවරණ දෙකක් අතර එනම්, පොතක් (ලිඛිත පිටපතක් ලෙස) පමණක් ළඟා වනු ඇත. එසේ වුව ද ඔවුන් එය විශ්වාස කර, එහි ඇති දේ අනුගමනය කරනු ඇත. ඔවුන්ගේ ප්‍රතිලාභය ඔබලාගේ ප්‍රතිලාභයට වඩා ඉමහත් වේ.” [9]
මෙම පුවතින් පෙනී යන්නේ දේවදූත මුහම්මද් තුමාණන්ගේ කාලයෙන් පසු ව පැමිණෙන මුස්ලිම්වරුන් වෙත උතුම් අල් කුර්ආනය “ආවරණ දෙකක් අතර” ඇති ලිඛිත ග්රන්ථයක් ලෙස ළඟා වන බව නබිතුමාණන් පෙර දැනුම් දී ඇති බව ය.දේවදූත මුහම්මද් තුමාණන්ගේ යුගයේ දී ම උතුම් අල් කුර්ආනය ලිඛිත ආකාරයෙන් සුරක්ෂිත කර පරම්පරා ගණනාවකට පවරා දීමේ සැලැස්මක් පැවති බවට තවත් සාක්ෂියක් ලෙස මෙය සැලකිය හැක.
5. නබිතුමාගේ ﷺ කාලයේ දී කුර්ආනය සම්පූර්ණයෙන් ලියා නොතිබූ බවට කරන චෝදනාව
පෙරදිගවාදීන් පවසන්නේ දේවදූත මුහම්මද් ﷺතුමාගේ කාලය තුළ උතුම් අල් කුර්ආනය සම්පූර්ණයෙන් ලියා නොතිබූ බව ය. නමුත් මෙය අසත්‍ය ප්‍රකාශයකි. සැබෑ තත්ත්වය වන්නේ, සම්පූර්ණ අල් කුර්ආනය ම දේවදූත මුහම්මද් ﷺ අධීක්ෂණය යටතේ ලියා තිබුණ ද, එය තනි ග්රන්ථයක් (මුස්හෆ් එකක්) ලෙස සංග්‍රහ කර නොතිබූ බව ය. මෙම කරුණට සාක්ෂි දරන්නේ වහී (දේව අනාවරණ) ලේඛකයන්ගේ ප්‍රධානීන් අතර සිටි සෙයිද් බින් තාබිත් තුමාගේ ප්‍රකාශය යි. ඔහු මෙසේ පැවසීය:
قبض النبي صلى الله عليه وسلم ولم يكن القرآن جمع في شيء
” දේවදූත මුහම්මද්තුමාණන් අභාවප්‍රාප්ත වූ විට උතුම් අල් කුර්ආනය ග්රන්ථයක් (මුස්හෆ් එකක්) ලෙස සංග්‍රහ කර නො තිබුණි.” [10]
මෙහි භාවිතා කර ඇති “جُمِعَ” (ජුමිඅ) යන වචනයෙන් අර්ථ දක්වන්නේ “එකතු කරන ලදී” යන්න මිස “ලියන ලදී” යන අර්ථය ලබා නො දේ.
ඒ අනුව, මෙම ප්‍රකාශය මඟින් අදහස් කෙරන්නේ උතුම් අල් කුර්ආනය ලියා නොතිබූ බව නොව, එය එක් ග්රන්ථයක් ලෙස සම්පාදනය කර නොතිබූ බව ය. දේවදූත මුහම්මද්තුමාණන්ගේ ජීවිත කාලය තුළ උතුම් අල් කුර්ආනය සම්පූර්ණයෙන් ම ලියා තිබුණ ද, එය එක් ග්රන්ථයක් ලෙස සම්පාදනය නොකිරීමට තිබූ ප්‍රඥාව, හේතුව ගැන අල් ඛත්තාබිතුමා මෙසේ පැහැදිලි කරයි:
إنما لم يجمع القرآن في المصحف لما كان يترقبه من ورود ناسخ لبعض أحكامه أو تلاوته فلما انقضى نزوله بوفاته ألهم الله الخلفاء الراشدين ذلك وفاء بوعده الصادق بضمان حفظه على هذه الأمة فكان ابتداء ذلك على يد الصديق بمشورة عمر
“අල්ලාහ්ගේ දූතයා ﷺ අල් කුර්ආනය කුර්ආනය ග්‍රන්ථය ලෙස සම්පාදනය නොකළේ, සමහර වැකි සමුදීරණය කරන ක්‍රමය හෝ නීතිරීති අහෝසි (නස්ඛ්) වීමට ඉඩ තිබූ බැවිනි. නමුත් දේවදූත මුහම්මද් ﷺ තුමා මරණයට පත් වූ විට වහී (දේව අනාවරණ) අවසන් වූ අතර, නීතිරීති අහෝසි කිරීම් ද අවසන් විය. එවිට සර්වබලධාරී අල්ලාහ් දෙවිඳාණෝ තමන් මෙම සමාජය සඳහා උතුම් අල් කුර්ආනය ආරක්ෂා කරන බවට දුන් සත්‍ය පොරොන්දුව ඉටු කිරීම උදෙසා කලීෆාවරුන්ගේ හදවත් තුළ උතුම් අල් කුර්ආනය සංග්‍රහ කිරීමේ අදහස ඇති කළෝය. ඉන් අනතුරුව එම උත්තුංග කර්තව්‍ය අබූ බකර් (රලි) තුමාණන් විසින් උමර් (රලි) තුමාගේ උපදෙස් මත ආරම්භ කරන ලදී.” [11]
මෙම ප්‍රකාශය මගින් පැහැදිලි වන වැදගත් කරුණ නම්, උතුම් අල් කුර්ආනය දේවදූත මුහම්මද්තුමාණන්ගේ යුගයේ දී සටහන් නොකළ නිසා එය ග්රන්ථයක් (මුස්හෆ්) ලෙස සම්පාදනය නොකළා නොව, වහී (දේව අනාවරණ) අඛන්ඩව පහළ වෙමින් පැවති නිසා එය අවසන් සංග්‍රහයකට ගෙන නොගිය බවය.
වහී (දේව අනාවරණ) අවසන් වීමත් සමග උතුම් අල් කුර්ආනයේ අවසන් ස්වරූපය ස්ථාවර වූ අතර, එවිට අබූ බක්ර් (රලි) තුමාගේ කාලයේ දී උමර් (රලි) තුමාගේ යෝජනාව අනුව එය එක් මුස්හෆ් එකක් ලෙස සංග්‍රහ කරන ලදී.මෙය උතුම් අල්කුර්ආන් සංරක්ෂණ ඉතිහාසයේ වැදගත් පියවරක් විය.
නිගමනය
දේවදූත මුහම්මද් ﷺ තුමා ජීවමානව වැඩ වසන කාලය තුළ උතුම් අල් කුර්ආනයේ සංරක්ෂණය හා සංග්‍රහය පිළිබඳව මිෂනාරිවරුන් ඉදිරිපත් කරන චෝදනා හා විවේචනවල අංශු මාත්‍රයක සත්‍ය නොමැති බව පැහැදිලිය. ඇත්ත වශයෙන් ම, උතුම් අල් කුර්ආනය දේවදූත මුහම්මද් තුමාණන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ලිඛිතව සුරක්ෂිත කරන ලද අතර, සිය ගණනක් සහගාමීන් විසින් මතකයේ ද ආරක්ෂා කරන ලදී. නබිතුමාණන්ගේ අභාවයට පෙර එය සම්පූර්ණයෙන් ම ලියා තිබූ නමුත්, වහී (දේව අනාවරණ) එතෙක් පහළ වෙමින් තිබූ බැවින් එය ග්රන්ථයක් (මුෂ්හෆ් එකක්) ලෙස සංග්‍රහ කර නො තිබුණි. වහී අවසන් වීමෙන් පසු ව, අබූ බක්ර් (රලි) තුමාගේ ඛිලාෆත් පාලන සමයේ එය එක් සංග්‍රහයක් ලෙස එකතු කරන ලද අතර, පසු ව උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමාගේ කාලයේ දී එය සම්මත පිටපත් ලෙස ප්‍රචාරය කරන ලදී.
එබැවින්, උතුම් අල් කුර්ආනය නබිතුමාණන්ගේ යුගයේ දී සටහන් නොකළ බවට හෝ එය පසු ව නිර්මාණය කරන ලද බවට කරන ප්‍රකාශ වලට ඓතිහාසික සාක්ෂි සහ මුල් ඉස්ලාමීය මූලාශ්‍ර කිසිවක් සහාය නො දක්වයි.
Reference
[1] Sahih Muslim, Book 40, Hadith 6853.
[2] Names of these and other companions who had rendered complete Qur’an to their memory can be found in An-Nashr fil Qira’at al-‘Ashr of Al-Jazri and Al-Ittiqan fi ‘Uloom al-Qur’an of Jalaluddin Al-Suyuti.
[3] Muhammad Mustafa Al-A’zmi’s book, Kuttaab al-Nabi is comprehensive work on the subject. In it he has given good deal of information about 48 scribes of the Holy Prophet -May the peace and blessings of Allah be upon them all..
[4] Mu’jam Al-Tabarani Al-Awst, Hadith 1913. Dar al-Haramain, Cairo, 1415 AH Authenticated by Al-Haithmi in Majma’ Al-Zawaid 8/257, Hadith 13938.
[5] Sunan al-Darqutni, Hadith 441, Al-Resalah Publications, Beirut, 2004 Al-Zayl’i said it is a good (jayyid) narration. See Nasab al-Raya (vol.1 p.199 Muhammad ‘Awwama ed.).
[6] Sahih Bukhari, Book 52, Hadith 233.
[7] Mustadrak al-Hakim, Hadith 6051, Dar al-Kotob al-Ilmiyya, Beirut, 1990 Al-Hakim classified it as Sahih. Al-Dhahabi agreed with him..
[8] Sunan Ibn Majah, Book 1, Chapter 20, Hadith 242. Classified as Hasan by Albani.
[9] Al-Bukhari, Khalaq Af’al al-‘Ibad, Dar al-M’arif al-Saudia, Riyadh, 1398 AH vol.1 p.88 Classified as Sahih by Albani in Silsala Sahiha No. 3310.
[10] Fath al-Bari, Dar al-Ma’rifah, Beirut 1379 AH vol.9 p.12.
[11] Al-Itiqan fil Uloom al-Quran, Haeya al-Masriya al-‘Aamah lil-Kitab, Egypt 1974 vol.1 p.202.
![]()