ඉස්ලාම් දහම විවේචනය කරන්නන්ට අල් කුර්ආනය පරිපූර්ණ ලෙස ආරක්ෂා වී ඇති බව විශ්වාස කිරීමට දුෂ්කර ය. එබැවින් එය එසේ ආරක්ෂා වී ඇති බව ඔප්පු කරන සාක්ෂි පරීක්ෂා කර බලනු වෙනුවට, ඔවුන් බොහෝ විට සිදු කරන්නේ එය අඛණ්ඩව ආරක්ෂා වී නොමැති බව ඔප්පු කිරීම සඳහා ඉතා දුර්වල සාක්ෂි උපයෝගී කරගනිමින් තර්ක ගොඩනැඟීමයි. ඔවුන් ඉදිරිපත් කරන සාක්ෂි පිළිබඳව සැලකිලිමත් ලෙස පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ, ඔවුන් මතු කරන කිසිදු මාතෘකාවක සම්පූර්ණ සන්දර්භය ඔවුන් නොදන්නා බවයි. එම නිසා, එම සිදුවීම්වල සැබෑ පසුබිම හෙළි වන විට ඔවුන්ගේ තර්ක බිඳ වැටී යයි. එවැනි එක් සාකච්ඡාවක්, “අතිරේක” සූරාහ් (surahs) දෙකක් අඩංගු වූවා යැයි කියනු ලබන උබෛ බින් කඃබ් (Ubayy bin Ka‘b)ගේ මුස්හෆ් (mushaf) ග්‍රන්ථය වටා කේන්ද්‍රගත වේ. කෙසේ වෙතත්, මෙම ලිපිය මඟින් පැහැදිලිව ම පෙන්වා දෙනු ලබන්නේ, මෙම එකතු කිරීම් උබෛ විසින් ඔහුගේ අත්පිටපතෙහි සටහන් කිරීමට තෝරා ගත් ප්‍රාර්ථනාවන් (supplications) පමණක් වන අතර, ඒවා අල් කුර්ආනයේ ම කොටස් නොවන බවයි.
1. හැඳින්වීම (Introduction)
උබෛ බින් කඃබ් (Ubayy bin Ka‘b) ගේ මුස්හෆ් (mushaf – අල්කුර්ආනයේ ලිඛිත පිටපත) හි අඩංගු සූරාහ් (surahs – පරිච්ඡේද) සංඛ්‍යාව, පෙරදිග විද්‍යාර්ථීන් (Orientalists) සහ ක්‍රිස්තියානි විවේචකයන් විසින් අල් කුර්ආන පාඨවල පරිපූර්ණ සංරක්ෂණයට එරෙහිව ඉදිරිපත් කරන ප්‍රධාන තර්ක දහයෙන් එකකි. උබෛගේ මුස්හෆ් ග්‍රන්ථයේ “අතිරේක සුරාහ්” දෙකක් තිබූ බව කියැවෙන අතර, මුල්කාලීන මුස්ලිම්වරුන් අතර අල්කුර්ආනයේ අන්තර්ගතය පිළිබඳව පැවති ඒකමතිකභාවයට එරෙහිව තර්ක කිරීමට විවේචකයෝ මෙම ප්‍රකාශයන් ප්‍රයෝජනයට ගනිති.
2. වාර්තාවන් (The narrations)
මෙම තර්කයන් බිහිවී ඇත්තේ අස්-සුයුති (as-Suyuti – මියගියේ හිජ්රි 911) ගේ සුප්‍රසිද්ධ කෘතියක් වන ‘අල්–ඉත්තිකාන්‘ (al-Ittiqan) හි සඳහන් වන වාර්තා ඇසුරෙනි. සූරාහ් ගණන පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඔහු මෙසේ ලියයි:
وفي مصحف أبي ست عشرة لأنه كتب في آخره سورتي الحفد والخلع
“උබෛගේ මුස්හෆ්හි සූරාහ් එකසිය දහසයක් තිබුණි. මන්ද, එහි අවසානයේ ඔහු ‘හෆ්ද්’ (Hafd) සහ ‘ඛල්’ (Khal‘) සූරාහ් ලියා තිබූ බැවිනි.”1
මෙයට පසුව, ඔහු අබු උබෛිද් (Abu ‘Ubayd – මියගියේ හිජ්රි 228) හරහා ඉබ්න් සිරින්ගෙන් (Ibn Sireen) පැවත එන වාර්තාවක් උපුටා දක්වයි:
كتب أبي بن كعب في مصحفه. فاتحة الكتاب والمعوذتين واللهم إنا نستعينك واللهم إياك نعبد
“උබෛ් ඉබ්න් කඃබ්ගේ පිටපතෙහි ෆාතිහතුල් කිතාබ් (Fatihal-kitab – ආරම්භක සූරාහ්ව), මුඅව්විදතෙයින් (Mu’awwazatayn – ආරක්ෂාව පතන අවසන් සූරාහ් දෙක), ‘අල්ලාහුම්ම ඉන්නා නස්තඊනුක’ (අල්ලාහ්, අපි ඔබෙන් උදව් පතමු) සහ ‘අල්ලාහුම්ම ඉයියාක නඃබුදු’ (අල්ලාහ්, අපි ඔබටම වන්දනා කරමු) යන පාඨ ලියා තිබුණි.”2
3. මෙම සූරාහ් යැයි කියනු ලබන පාඨයන්හි වචන මාලාව (Wording of the alleged surahs)
අස්-සුයුති විසින් ම මෙම සූරාහ් යැයි කියනු ලබන පාඨයන්හි වදන් මෙසේ සටහන් කර ඇත:
اللهم إنا نستعينك ونستغفرك ونثني عليك ولا نكفرك ونخلع ونترك من يفجرك اللهم إياك نعبد ولك نصلي ونسجد وإليك نسعى ونحفد نرجو رحمتك ونخشى عذابك إن عذابك بالكفار ملحق.
“අල්ලාහ්! අපි ඔබෙන් පමණක් උදව් ඉල්ලමු; ඔබෙන් පමණක් සමාව අයදිමු, ඔබව ප්‍රශංසා කරමු, සහ ඔබට අකෘතඥ නො වෙමු. තවද ඔබට අකීකරු වන සියල්ලන්ගෙන් අපි වෙන්වී ඔවුන්ව අත්හැර දමමු.” “අල්ලාහ්! අපි ඔබටම පමණක් වන්දනා කරමු, ඔබටම පමණක් යාඥා කරමු, ඔබ ඉදිරියේ පමණක් හිස නමමු. අපි මහත් උනන්දුවකින් ඔබ දෙසට ඉක්මන් වෙමු. ඔබගේ දැඩි දඬුවමට බිය වෙමු, ඔබගේ කරුණාව බලාපොරොත්තු වෙමු. මන් ද, ඔබගේ දැඩි දඬුවම, ප්‍රතික්ෂේප කරන්නන් වෙත නියත වශයෙන්ම ළඟා වනු ඇත.”3
ඉන් අනතුරුව, සහාබාවරුන් (නබිﷺතුමාගේ සගයන්) මෙම “සූරාහ් දෙක” ඔවුන්ගේ සලාත් (යාඥා) වලදී පාරායනය කළ බව පෙන්වන වාර්තා කිහිපයක් අස්-සුයුති උපුටා දක්වයි.
4. සූරාහ් යැයි කියනු ලබන මෙම පාඨයන්හි සැබෑ තත්ත්වය (Reality of these alleged surahs)
“සූරාහ්” ලෙස හඳුන්වනු ලබන මෙම වදන් සැබවින්ම ජිබ්රීල් (Gabriel) මලායිකාවරයා (දේවදූතයා) විසින් මුහම්මද් නබිﷺතුමාට4 උගන්වන ලද ප්‍රාර්ථනා පාඨයන් (supplications) වේ. අල් බයිහකී (al-Bayhaqi – මියගියේ හිජ්රි 458) විසින් ඛාලිද් බින් අබි ඉම්රාන්ගෙන් පැවත එන මෙම වාර්තාව සටහන් කර ඇත:
بينا رسول الله صلى الله عليه وسلم يدعو على مضر إذ جاءه جبرئيل فأومأ إليه أن اسكت فسكت، فقال: ” يا محمد إن الله لم يبعثك سبابا ولا لعانا، وإنما بعثك رحمة، ولم يبعثك عذابا {ليس لك من الأمر شيء أو يتوب عليهم أو يعذبهم فإنهم ظالمون} [آل عمران: 128] ثم علمه هذا القنوت: اللهم إνα نستعينك…
“අල්ලාහ්ගේ දූතයාණන් එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය හිමිවේවා මුදර් (Mudhar) ගෝත්‍රයට එරෙහිව ප්‍රාර්ථනා කරමින් සිටියදී, ජිබ්රීල් මලායිකාවරයා එතුමා වෙත පැමිණ නිශ්ශබ්ද වන ලෙස සංඥා කළේය. එවිට එතුමා නිශ්ශබ්ද විය. ඉන්පසු ජිබ්රීල් මෙසේ පැවසීය: ‘ඕ මුහම්මද්ﷺ, අල්ලාහ් ඔබව එවනු ලැබුවේ අපහාස කිරීමට හෝ ශාප කිරීමට නොවේ, උන්වහන්සේ ඔබව එවනු ලැබුවේ කරුණාවක් වශයෙනි. තවද උන්වහන්සේ ඔබව එවනු ලැබුවේ දඬුවම් පමුණුවන්නෙකු ලෙස නොවේ. [ඕ මුහම්මද්ﷺ, තීරණය අයිති ඔබට නොව අල්ලාහ්ට ය], උන්වහන්සේ ඔවුන්ට සමාව දෙන්නේ ද නැතහොත් දඬුවම් කරන්නේ ද යන්න තීරණය කරන්නේ උන්වහන්සේ ය. මන්ද, නියත වශයෙන්ම ඔවුහු වැරදිකරුවෝ ය. (අල් කුර්ආනය 3:128)’. ඉන්පසු ඔහු එතුමාට මෙම ප්‍රාර්ථනාව ඉගැන්වීය: ‘අල්ලාහ්! අපි ඔබෙන් පමණක් උදව් ඉල්ලමු…'”5
මෙයින් පෙනී යන පරිදි, නබිﷺතුමා මුදර් ගෝත්‍රයට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ප්‍රාර්ථනා කරමින් සිටි බැවින්, අල්ලාහ් විසින් කුරානයේ 3:128 වැකියෙන් එතුමාව දැනුවත් කර, ඒ වෙනුවට මෙම ප්‍රාර්ථනා පාඨයන් උගන්වන ලෙස ජිබ්රීල් මලායිකාවරයා ලවා මඟපෙන්වන ලදී.
5. මෙම පාඨයන් සලාත් යාඥාාවලදී නැවත නැවතත් පාරායනය කරන්නේ ඇයි? (Why repeat it in the ritual prayers?)
කෙසේ වෙතත්, නබිﷺතුමාගේ සගයන් (සහාබාවරුන්) මෙම වදන් සලාත් යාඥාවලදීම පාරායනය කළ බව පවසන වාර්තාවන් පෙන්වා දීමට කෙනෙකු පෙළඹිය හැක. අස්-සුයුති විසින් උපුටා දක්වන ලද වාර්තාවලින් පැහැදිලි වන්නේ උමර් (Umar), උබෛ(Ubayy) සහ අබු මූසා (Abu Moosa) යන සහාබාවරුන් තමන්ගේ සලාත් යාඥාවලදී මෙම වචනවලින් ප්‍රාර්ථනා කළ බවයි.6
මෙහි සැබෑ සත්‍යය නම්, නබිﷺතුමාගේ ආදර්ශය (Prophetic example) අනුව ඉස්ලාමීය නීති විද්‍යාව (Islamic juristic law) මඟින් මෙම ප්‍රාර්ථනාවන් සාමාන්‍ය සලාත් (salah) යාඥාාවලදීම සිදු කිරීමට අනුමැතිය ලබා දී තිබීමයි. බොහෝ සහාබාවරුන් මෙම වචනවලින් ප්‍රාර්ථනා කරනු දක්නට ලැබෙන්නේ එබැවිනි. මෙම අතිරේක ප්‍රාර්ථනාව (මෙය කුනූත් – Qunoot ලෙස හැඳින්වේ) දිනපතා ‘විත්ර්’ (witr – රාත්‍රී අතිරේක යාඥාවේ) අවසාන රක්ආත් (rak’ah – වන්දනා ඒකකය) තුළදී මෙන්ම, සතුරන් සමඟ ගැටුම් පවතින අවස්ථාවලදී ‘ෆජ්ර්’ (fajr – අලුයම යාඥාවේ) දී ද සිදු කරනු ලැබේ (සමහර ඉස්ලාමීය විද්වතුන් ෆජ්ර් යාඥාවේදී මෙය නිරන්තරයෙන්ම සිදු කරති).
ප්‍රාර්ථනා කිරීමේදී ඕනෑම සුදුසු වචන මාලාවක් භාවිතා කළ හැකි අතර හදීස් (hadith) වාර්තාවල වෙනත් ප්‍රාර්ථනාවන්ද සඳහන් වේ. නමුත් මෙම විශේෂිත වදන්, කුරානය පහළ වූ ආකාරයටම සෘජුවම ජිබ්රීල් මලායිකාවරයා විසින් උගන්වන ලද බැවින්, මුස්ලිම්වරුන් සාමාන්‍යයෙන් මෙම වදන්වලට වැඩි ලැදියාවක් දැක්වූ අතර ඒවා තම යාඥාවලදී නැවත නැවතත් භාවිත කළහ.
අබුල්-හසන් අල්-කත්තාන් (Abul-Hasan al-Qattan) ඔහුගේ ‘අල්–මතුලාත්‘ (al-Matulaat) කෘතියෙහි අබ්බාන් බින් අබි අය්යාෂ්ගෙන් පැවත එන වාර්තාවක් දක්වයි. ඔහු අනස් (Anas) ගෙන් මෙම ප්‍රාර්ථනාවන් ගැන විමසූ විට ලැබුණු පිළිතුර මෙසේය;
والله إن أنزلتا إلا من السماء
“අල්ලාහ් මත දිවුරා පවසමි, මෙම දෙකම පහළ වූයේ අහසින් (ස්වර්ගයෙන්) ය.”7
මෙම වදන් ජිබ්රීල් මලායිකාවරයා විසින් උගන්වනු ලැබුවේ කෙසේද යන්න පිළිබඳ නිවැරදි තොරතුරු අප දැනටමත් දැක ඇත. සහාබාවරුන් විසින් විත්ර් සහ ෆජ්ර් යාඥාාවලදී ‘කුනූත්’ (qunoot) ප්‍රාර්ථනා ලෙස මෙම වචන වලට වඩා වැඩි කැමැත්තක් දැක්වීමට හේතුව පැහැදිලි කිරීමට මෙම කරුණ ඉවහල් වේ. මෙම සරල කරුණ මඟින්, සහාබාවරුන් සහ ඔවුන්ගේ ශිෂ්‍යයන් (තාබිඊන්වරුන්) යාඥාවලදී මෙම වදන් පාරායනය කිරීම පිළිබඳව ඇති සියලුම වාර්තා මනාව පැහැදිලි කරයි.
6. උස්මාන් සහ මෙම වදන් (‘Uthman and these words)
පෙරදිග විද්‍යාර්ථීන් සහ මිෂනාරිවරුන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ අද මුස්ලිම්වරුන් දන්නා අල්කුර්ආනය උස්මාන් (Uthman) විසින් ප්‍රමිතිකරණය කරන ලද්දක් බවයි; එබැවින් එයින් නිරූපණය වන්නේ මුල්කාලීන මුස්ලිම්වරුන්ගේ පොදු එකඟතාව නොව ඔහුගේ දේශපාලන අධිකාරිය පමණක් බව ඔවුහු පවසති. මෙවැනි පදනම් විරහිත අදහස් ඔවුන්ගේ මනසෙහි තදින් කාවැදී ඇති බැවින්, සරල සහ පැහැදිලි හේතු දැක්වීම්වලින් ඔවුන්ව වෙනස් කළ නොහැක. එනම්, මෙම වදන් යාඥාවලදී පාරායනය කළ කිසිදු සහාබාවරයෙකු, මෙම වචන නිල වශයෙන් සකස් කරන ලද මුස්හෆ් පිටපත්වල ඇතුළත් කිරීමට කිසිදු උත්සාහයක් නොගත් බව යන සරල කරුණ ඔවුන්ව සලිත කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. කෙසේ වෙතත්, උස්මාන් පවා සිය යාඥාවලදී මෙම වදන් පාරායනය කළ බවට අප සතුව සාක්ෂි තිබේ.
හුසෙයින් [බින් අබ්දුර්-රහ්මාන්] පවසා ඇත්තේ තමා උස්මාන් බින් සියාද් (Uthman bin Ziyad) පිටුපස සිට සලාත් කළ බවයි. යාඥාවෙන් පසුව, උස්මාන් බින් සියාද් තමා මෙම වචනවලින් ප්‍රාර්ථනා කළ බව පවසා මෙසේ ප්‍රකාශ කළේය:
كذا كان يصنع عمر بن الخطاب، وعثمان بن عفان
“උමර් බින් අල්-ඛත්තාබ් සහ උස්මාන් බින් අෆ්ෆාන් ද කටයුතු කළේ මේ ආකාරයෙන්ම ය.”8
මෙය ස්ථිර සාක්ෂියකි. උස්මාන් බින් අෆ්ෆාන් විසින්ම සිය යාඥාවලදී මෙම වදන් පාරායනය කළ නමුත්, ඔහුගේ අධිකාරිය යටතේ සකස් කරන ලද නිල අත්පිටපත්වල (manuscripts) මේවා දක්නට නොලැබේ. යාඥාවකදී යමක් පාරායනය කළ පළියටම එය අල්කුර්ආනයේ කොටසක් ලෙස සහාබාවරුන් සැලකුවේ නැති බව ඔප්පු කිරීමට මෙය ප්‍රමාණවත් සාක්ෂියක් නොවේ ද? අප දැනටමත් පෙන්වා දී ඇති පරිදි, මෙය ජිබ්රීල් මලායිකාවරයා විසින් නබිﷺතුමාට උගන්වන ලද, පසුව නබිﷺතුමා විසින් සහාබාවරුන්ට උගන්වන ලද ප්‍රාර්ථනා පාඨයක් පමණි.
7. උබෛ ඒවා තම මුස්හෆ්හි සටහන් කළේ ඇයි? (Why did Ubayy write them in his mushaf?)
එය උබෛගේ මුස්හෆ් ග්‍රන්ථයේ ලියා තිබුණද, එයින් අදහස් වන්නේ එම වදන් අල්කුර්ආනයේ සැබෑ පාඨයේ කොටසක් ලෙස ඔහු සැලකූ බව නොවේ. මුහම්මද් අබ්දුල්-අසීම් අස්-සුර්කානි (Muhammad ‘Abdul-Azim az-Zurqani – මියගියේ හිජ්රි 1367) මෙසේ ලියා ඇත:
“තමන්ගේ පෞද්ගලික පිටපත් එකක හෝ කිහිපයක අල්කුර්ආනය ලියා තබා ගත් සමහර සහාබාවරුන්, ඇතැම් අවස්ථාවලදී අල්කුර්ආනයට අයත් නොවන දේවල් ද එහි සටහන් කර ගත්හ. අල්කුර්ආනයේ අර්ථයන්ගෙන් තමන්ට තේරුම් ගැනීමට අපහසු වූ කොටස්වල අර්ථ නිරූපණයන් (interpretations) හෝ අල්කුර්ආනයේ ඇති ප්‍රාර්ථනාවලට සමාන වූ ද, ‘කුනූත්’ (qunoot) අවස්ථාවලදී යාඥාවල පාරායනය කළ හැක්කා වූ ද ප්‍රාර්ථනා පාඨ මීට ඇතුළත් විය. මෙම පාඨයන් අල්කුර්ආනය නොවන බව ඔවුහු හොඳින්ම දැන සිටියහ. නමුත් ලේඛන ද්‍රව්‍යවල පැවති හිඟකම නිසාත්, ඔවුන් අන් අයගෙන් වෙන්ව තමන් වෙනුවෙන් ම පමණක් අල්කුර්ආනය ලියාගත් නිසාත්, මෙය ඔවුන්ට පහසු විය. මන්ද, අල්කුර්ආනය සහ අනෙකුත් පාඨයන් එකිනෙක පටලවා ගැනීමේ හෝ ව්‍යාකූල කරගැනීමේ අනතුරක් ඔවුන්ට පෞද්ගලිකව නොවූ බැවිනි. පසුව, අඩු අවබෝධයක් ඇති සමහර පිරිස් එම පිටපත්වල ලියා තිබූ සෑම දෙයක්ම අල්කුර්ආනය ලෙස ලියා ඇතැයි වැරදියට සිතූහ. නමුත් සැබෑ තත්ත්වය එය නොවේ; සැබෑ තත්ත්වය නම් ඔබ දැන් දැනගත් කරුණයි.”9
ඒ හා සමානව, ආචාර්ය සලාහ් අබ්දුල්-ෆත්තාහ් අල්-ඛාලිදි (Dr. Salah ‘Abdul-Fattah al-Khalidi) මෙම වචනවල තත්ත්වය පිළිබඳව මෙසේ අදහස් දක්වයි:
“උමර් බින් අල්-ඛත්තාබ් (අල්ලාහ් ඔහු ගැන තෘප්තියට පත් වේවා) යාඥාවලදී මෙය පාරායනය කළේය. තවද දූතයාණන් (එතුමාට ශාන්තිය හා ආශිර්වාදය හිමිවේවා) යාඥාවලදී පාරායනය කිරීම සඳහා මෙය අලී (අල්ලාහ් ඔහු ගැන තෘප්තියට පත් වේවා) (Ali) තුමාට ද ඉගැන්වීය! ඔව්, මෙය සත්‍යයකි. නමුත් එය අල්කුර්ආනය නිසා නොව, එය අල්ලාහ් වෙත කෙරෙන ප්‍රාර්ථනාවක් (supplication) වන බැවිනි. සූරාහ් යැයි කියනු ලබන මෙම පාඨ දෙකෙහි වචන ‘කුනූත්’ ප්‍රාර්ථනාවේ කොටසකි. අල්ලාහ්ගේ දූතයාණන් (එතුමාට අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය හිමිවේවා) යාඥාවලදී මෙයින් ප්‍රාර්ථනා කළ අතර, උමර්, අලී සහ අනෙකුත් සහාබාවරුන්ට (අල්ලාහ් ඔවුන් සැමදෙනා ගැනම සතුටු වේවා) මෙය ඉගැන්වීය. ඔවුන් සියල්ලෝ ම යාඥාවලදී මෙම වචනවලින් අල්ලාහ්ගෙන් අයැද සිටියහ. මුස්ලිම්වරුන් එය ඔවුන්ගෙන් අසා වාර්තා කළ අතර පොත්පත්වලද සඳහන් කළහ.”10
තවද, අද මුස්ලිම්වරුන් සියලු දෙනා කියවන අල්කුර්ආන පාඨය (උස්මාන්ගේ මුස්හෆ් ලෙස හැඳින්වෙන පිටපත) සෙයිද් (Zayd) සහ අනෙකුත් සහාබාවරුන්ට ශ්‍රව්‍ය ලේඛනයක් ලෙස (dictated) ප්‍රකාශ කරන ලද්දේ උබෛ විසිනි, එය උබෛගේ පාරායනයට (recitation) අනුකූල වේ.
عن عطاء أن عثمان بن عفان لما نسخ القرآن في المصاحف أرسل إلى أبي بن كعب، فكان يملي على زيد بن ثابت وزيد يكتب ومعه سعيد بن العاص يعربه، فهذا المصحف على قراءة أبي وزيد
“අතා (Ata) ගෙන් වාර්තා වන පරිදි, උස්මාන් බින් අෆ්ෆාන් අල්කුර්ආනය මුස්හෆ් එකක ලියවා ගන්නා විට, ඔහු උබෛව කැඳවා ගත්තේය; ඒ අනුව ඔහු සෙයිද් බින් තාබිත් (Zayd bin Thabit) හට එම පාඨයන් ශ්‍රව්‍ය ලේඛනයක් ලෙස ප්‍රකාශ කළේය. සෙයිද් එය ලියූ අතර, එහි ව්‍යාකරණ සහ ස්වරූපය නිවැරදි කිරීමට සයීද් බින් අල්-ආස් (Sa‘eed bin al-‘As) ඔහු සමඟ සිටියේය. මෙම (ප්‍රමිතිගත) මුස්හෆ් උබෛ සහ සෙයිද්ගේ පාරායනයට අනුකූල විය.”11
එබැවින් පැහැදිලිවම, සූරාහ් 114ක් අඩංගු අද අප පාරායනය කරන මුස්හෆ් ග්‍රන්ථය උබෛ් විසින් ශ්‍රව්‍ය ලේඛනයක් ලෙස ලබා දුන් එකක් වන අතර එය ඔහුගේ ම පාරායනයට අනුව සකස් වී ඇත. මෙම කරුණ, ඔහුගේ මතය අනුව අද අප දන්නා අල් කුර්ආනයට වඩා අතිරේක යමක් එහි තිබුණා ය යන දුරස්ථ මතය පවා සම්පූර්ණයෙන්ම බිඳ හෙළයි.
References & Notes
[1] as-Suyuti, Jalal ad-Deen, al-Ittiqan fee ‘Uloom al-Qur’an, (Egypt: Haeya al-Masriyah al-‘Aamah lil-Kitab, 1974) Vol.1, 226
[2] Ibid.
[3] Ibid., Vol. 1, 227
[4] May the peace and blessings of Almighty Allah be upon him. It is mandatory for every believer to recitations salutations to the Prophet upon hearing or reading his name.
[5] al-Bayhaqi, Abu Bakr, Sunan al-Kubra, (Beirut: Dar al-Kotob al-Ilmiyah, 2003) Hadith 3142
[6] as-Suyuti, al-Ittiqan fee ‘Uloom al-Qur’an, Vol.1, 227-228
[7] As-Suyuti, al-Durr al-Manthur, (Dar al-Fekr, Beirut n.d.) vol.8 p.695
[8] Ibn Abi Shaybah, Abu Bakr, al-Musannaf, (Riyadh: Maktabah al-Rushd, 1409 A.H.) Hadith 7032
[9] az-Zurqani, Muhammad ‘Abdul-Azim, Manahil al-‘Irfan fee ‘Uloom al-Qur’an, (Beirut: Dar al-Kitab al-‘Arabi, 1415 A.H.) 222
[10] al-Khaldi, Salah ‘Abdul-Fattah, al-Qur’an wa Naqd Mata’in al-Ruhban, (Damascus: Dar al-Qalam, 2007) 277
[11] al-Hindi, ‘Ali al-Muttaqi, Kanzul Ummal, (Beirut: Mu’ssass ar-Risalah, 1981) Vol.2, 587, Hadith 4789.
![]()