අල් කුර්ආනය සංරක්ෂණය කිරීම සහ සම්පාදනය කිරීම – අබූ බක්ර් (රලි) තුමාගේ කාලය

අබූ බක්ර් (රලි) තුමාගේ කිලාෆත් (පාලන) සමයේ සිදු වූ විවිධ සිදුවීම් හේතුවෙන්, නොයෙක් ද්‍රව්‍යවල සටහන්ව තිබූ සියලු උතුම් අල් කුර්ආනීය පාඨ එක ම ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් මතුවිය. පහත සඳහන් පුවතින් එම සිදුවීම පිළිබඳ විස්තර කෙරේ.

සෙයිද් ඉබ්නු තාබිත් (රලි) තුමා මෙසේ වාර්තා කරයි:

“යමාමා සටනේ දී ( උතුම් අල් කුර්ආනය වනපොත් කර සිටි බොහෝ කුර්රාවරුන් මිය යෑමෙන් පසු) අබූ බක්ර් (රලි) තුමා මා කැඳවන ලදී. එහි දී උමර් ඉබ්න් අල්-ඛත්තාබ් (රලි) තුමා ද එහි සිටියේය.

අබූ බක්ර් (රලි) තුමා මට මෙසේ පැවසීය:

උමර් මා වෙත පැමිණ “යමාමා සටනේ දී මිනිසුන් විශාල වශයෙන් මිය ගොස් ඇත. ඉදිරි සටන්වල දී ද උතුම් අල් කුර්ආනය මතකයෙන් දැන සිටින (කුර්රාවරුන්) තවත් බොහෝ දෙනෙක් මිය යා හැකි බවට මම බිය වෙමි. එසේ වුවහොත් කුර්ආනයේ විශාල කොටසක් අහිමි වීමට ඉඩ ඇත. එබැවින් උතුම් අල් කුර්ආනය ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කළ යුතු බව මගේ අදහස යි.” යැයි පැවසීය.

අබූ බක්ර් (රලි) තුමා තවදුරටත් මෙසේ පැවසීය:

මම උමර්ට “අල්ලාහ්ගේ දූතයාණන් ﷺ  තුමාණන් නොකළ දෙයක් මා කරන්නේ කෙසේ දැයි?” පැවසුවෙමි.

එවිට උමර් (රලි) තුමා මෙසේ පිළිතුරු දුන්නේය:

“අල්ලාහ් මත දිවුරා කියමි, මෙය යහපත් කාර්යයකි.” යැයි උමර් (රලි) දිගින් දිගට ම, මා ඒ සඳහා දිරිමත් කළේය. අවසානයේ අල්ලාහ් මාගේ සිත ද ඒ සඳහා විවෘත කළ අතර, උමර්ගේ අදහසට මට ද එකඟ විය හැකි බව වැටහුණි” යැයි අබූ බක්ර් (රලි) තුමා පැවසීය

සෙයිද් ඉබ්නු තාබිත් (රලි) තුමා තවදුරටත් මෙසේ පැවසීය:

“උමර් (රලි) තුමා නිහඬව අබූ බක්ර් (රලි) තුමා අසල වාඩි වී සිටියේය. “

ඉන්පසු අබූ බක්ර් (රලි) තුමා මා හට “ඔබ බුද්ධිමත් තරුණයෙකි. ඔබ (බොරු කීම හෝ අමතක වීම සම්බන්ධයෙන්) අපට කිසිදු සැකයක් ඇති නොකරන පුද්ගලයෙකි.  ඔබ අල්ලාහ්ගේ දූතයාණන්  ﷺ  වෙනුවෙන් වහී (දිව්‍යමය හෙළිදරව්) සටහන් කළ අයෙකි.”එබැවින් ඔබ උතුම් අල් කුර්ආනය සොයා එක්රැස් කර එක් සංග්‍රහයක් (එක් පිටපතක්) ලෙස සකස් කරන්න.” යැයි පැවසීය. එවිට මම මෙසේ කීවෙමි. “අල්ලාහ් මත දිවුරමින් කියමි, ඔබ (අබූ බක්ර්) කන්දක් එහි ස්ථානයෙන් ඉවත් කරන ලෙස මට අණ කළේ නම්, එම කාර්යය උතුම් අල් කුර්ආනය එක්රැස් කරන ලෙස, ඔබ මට පවරන මෙම විධානයට වඩා පහසු වන්නට තිබුණි. මම ඔවුන් දෙදෙනා (අබූ බක්ර් සහ උමර්)ට මෙසේ කීවෙමි. ” නබිතුමා නොකළ කාර්යයක් ඔබ දෙදෙනා කෙසේ කරන්නේ ද? “එවිට අබූ බක්ර්තුමා පැවසුවේ, “අල්ලාහ් මත දිවුරමින් කියමි, මෙය සැබවින් ම යහපත් කාර්යයකි ” යනුවෙනි. ඔවුන් සමඟ මම මේ පිළිබඳ දිගින් දිගටම තර්ක කළෙමි. අවසානයේ අල්ලාහ් අබූ බක්ර්ගේත් උමර්ගේත් හදවත් මේ කාර්යයට විවෘත කළාක් මෙන්, මාගේ හදවත ද එම උතුම් කර්තව්‍ය සඳහා විවෘත කළේය. එවිට මම උතුම් අල්කුර්ආනයේ පාඨ සොයා එක්රැස් කිරීමට ආරම්භ කළෙමි. ඒවා සටහන් කරන ලද පත්‍ර, උරහිස් අස්ථි, රට ඉඳි ගසේ පත්‍ර දඬු සහ කටපාඩම් කරගෙන සිටි මිනිසුන්ගේ මතකයෙන් ඒවා එක් සංග්‍රහයකට රැස් කළෙමි.” (මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි, කිතාබුත් තෆ්සීර්, හදීස් අංක 4603)

සෙයිද් (රලි) තෝරාගනු ලැබුවේ ඇයි?

අල් කුර්ආනය එක් ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කිරීමේ මෙම වැදගත් වගකීම සෙයිද් ඉබ්න් තාබිත් (රලි) වෙත පැවරීමට හේතු කිහිපයක් තිබුණි.

1. ඔහුගේ බුද්ධිමත්භාවය සහ තරුණ වයස

තරුණ වයස නිසා ඔහුට උද්යෝගය, ශක්තිය සහ කාර්යක්ෂමතාව තිබූ අතර, ඔහුගේ බුද්ධිමත්භාවය ද මෙම කාර්යයට සුදුසුකමක් විය. ඒ පිළිබඳ එම හදීසයේ මෙසේ සඳහන් වේ…

ඔබ බුද්ධිමත් තරුණයෙකි.”

2. ඔහුගේ විශ්වාසවන්ත හා අවංක චරිතය

ඔහු බොරු නොකියන, අමතක නොකරන, ඉතා විශ්වාසදායක පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ විය. හදීසයේ මෙසේ සඳහන් වේ…

“ඔබ (බොරු කීම හෝ අමතක වීම සම්බන්ධයෙන්) අපට කිසිදු සැකයක් ඇති නොකරන පුද්ගලයෙකි.”

3. දේවදූත මුහම්මද්තුමාට පහළ වන වහී (දිව්‍යමය හෙළිදරව්ව)  සටහන් කරන ලේඛකයෙකු වීම.

සෙයිද් (රලි) තුමා දේවදූත මුහම්මද්තුමා වෙත පහළ වූ වහී (දිව්‍යමය හෙළිදරව්ව) ලියා තැබූ ප්‍රධාන ලේඛකයන්ගෙන් එක් අයෙකි. හදීසයේ මෙසේ සඳහන් වේ…

ඔබ අල්ලාහ්ගේ දූතයා වෙනුවෙන් වහී (දිව්‍යමය හෙළිදරව්) සටහන් කළ අයෙකි.”

(මෙම ලිපි මාලාවේ පළමු කොටසේ දී, දේවදූත මුහම්මද්තුමාගේ අභිමුඛයේ වහී (දිව්‍යමය හෙළිදරව්) සටහන් කළ ආකාරය පිළිබඳ සෙයිද් (රලි) තුමාගේ විස්තර අපි ඉගෙන ගත්තෙමු.

4. අවසාන රමළාන් මාසයේ දී ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) විසින් දේවදූත මුහම්මද්තුමා සමඟ සිදු කළ කුර්ආන් සමාලෝචනයට සහභාගී වීම.

දේවදූත මුහම්මද්  ﷺ  තුමාගේ ජීවිතයේ අවසාන රමළාන් මාසයේ දී, ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) මුහම්මද්තුමා සමඟ උතුම් අල් කුර්ආනය සම්පූර්ණයෙන් සමාලෝචනය කළේය. සෙයිද් (රලි) තුමා එම අවස්ථාවට සහභාගී වී සිටි බවට සඳහන් වේ. (අල්-තිබ්යාන්, පිටුව 126)

මෙම හේතුවෙන්, උතුම් අල් කුර්ආනයේ විවිධ අහ්රුෆ්” (සමුදීරණය කිරීමේ ආකාර) පිළිබඳවත්, පසු ව අහෝසි වූ කියවීම් පිළිබඳවත් ඔහුට නිවැරදි දැනුමක් තිබුණි. එය උතුම් අල් කුර්ආනය නිවැරදිව සංග්‍රහ කිරීමේ දී අතිශය වැදගත් සුදුසුකමක් විය.

සෙයිද් (රලි) තුමාට මුහුණ දීමට සිදු වූ අභියෝගය – ඔහු කළේ කුමක් ද? ඒ ඇයි?

සෙයිද් (රලි) තුමාගේ ම වචනයෙන් පැහැදිලි වන පරිදි, මෙය අතිශය දුෂ්කර හා වගකීම් සහිත බරපතල කාර්යයක් විය. එයට හේතුව, ඔහු සම්පාදනය කළේ අල්ලාහ්ගේ වචනය වන අල් කුර්ආනය වූ බැවින්, එක් එක් වාක්‍යය සම්බන්ධයෙන් ඉතාමත් නිවැරදිව, සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතු වීමය.

ඔහු අනුගමනය කළ ක්‍රමවේදය “ඉස්ලාමීය සාක්ෂි නීතිය” (කුර්ආනය 2:282) සහ සාධාරණ විමර්ශනය මත පදනම් වූවකි.

මෙම ක්‍රමයට අනුව, “පළමු නිල සම්පූර්ණ මුෂ්හෆයට” ඇතුළත් කරන සෑම ආයතයක් සඳහා ම “ලිඛිත සාක්ෂි දෙකක්” ඉදිරිපත් කළ යුතු විය.

ඉබ්න් අබී දාවූද්ගේ අල්-මසාහිෆ් ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.

අබූ බකර් (රලි) සහ උමර් (රලි) තුමාණෝ සෙයිද් (රලි) තුමාණන්ට මෙසේ පැවසූහ.

“ඔබ දෙදෙනා මස්ජිදයේ දොරටුව අසල අසුන් ගන්න. අල්ලාහ්ගේ ග්‍රන්ථයෙන් (කුර්ආනයෙන්) යම් කොටසක් පුද්ගලයෙකු ඔබ වෙත ගෙන එන විට, ඒ සඳහා සාක්ෂි දෙදෙනෙකු ඉදිරිපත් කරන්නේ නම් පමණක් එය ලියා සටහන් කරන්න.” (කිතාබුල් මසාහිෆ්, හදීස් අංක 18)

මෙම ක්‍රමවේදය මඟින්, කුර්ආනයේ එක් වැකියක් හෝ කිසිදු සැකයකින් තොරව මුහම්මද්තුමාණන්ගේ අභිමුඛයේ සටහන් කරීම සහ විශ්වාසනීය ලෙස තහවුරු කළ ආකාරයෙන් ම සංග්‍රහ කර ඇති බවට උපරිම සහතිකයක් ලබා දෙන ලදී.

මෙම වාර්තාවේ වාර්තාකරුවන්ගේ දාමයේ (රාවීන්) විශ්වාසනීය අය වන නමුත්, එම දාමයේ (ඉස්නාද්) එක් සම්බන්ධයක් අහිමි වී ඇත (විසන්ධි වී ඇත). එසේ වුව ද, මෙම වාර්තාවට සහාය දෙන සාක්ෂි බොහෝමයක් ඉමාම් සුයූතිගේ අද්-දුර් අල්-මන්ථූර් සහ ඉමාම් අහ්මද්ගේ මුස්නද් ග්‍රන්ථවල සඳහන් වේ.

මෙහි අරමුණ වූයේ, කිසිදු සැකයකට හෝ දෝෂයකට ඉඩ නොතබා, හැකි උපරිමයෙන් ම විශ්වාසනීය සහ තහවුරු කළ සාක්ෂි මත උතුම් අල් කුර්ආනය සංග්‍රහ කිරීමය.

ඒ සඳහා සෙයිද් (රලි) තුමා ක්‍රියා කළේ පහත ආකාරයටය.

1. තමන්ගේ ම මතකය භාවිත කළේය.

සෙයිද් (රලි) තුමා උතුම් අල් කුර්ආනය වනපොත් කළ අයෙකු වූ බැවින්, තම මතකය ද සත්‍යාපනය කිරීම සඳහා භාවිතා කළේය.

2. උමර් (රලි) තුමාගේ මතකය ද උපයෝගී කරගත්තේය.

උමර් (රලි) තුමා මෙම කාර්යයේ දී සෙයිද් (රලි) සමඟ සිටි බැවින්, ඔහුගේ මතකයේ සංරක්ෂිතව තිබූ කුර්ආන් පාඨ ද සත්‍යාපනය සඳහා යොදාගත් බව පැහැදිලිය.

3. බිලාල් මදීනා නගරයේ වීදි පුරා ගොස් දේවදූත මුහම්මද්තුමාගේ උපදෙස් අනුව සටහන් කළ පිටපත් රැගෙන එන ලෙස සහගාමීන්ට දැනුම් දෙන ලදී. (මූලාශ්‍රය: කිතාබ් අස්-සබ්උ ෆිල් කිරාආත් – ඉබ්නු මුජාහිද්, ආචාර්ය ෂව්කී ලෙයිෆ්ගේ සංස්කරණය, දාරුල් මආරිෆ්, කයිරෝ, පි. 6)

පැහැදිලිවම මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ සියලු දෙනාට ම මෙම කාර්යයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම සහ උතුම් අල් කුර්ආනයේ කිසිදු ආයතයක් හෝ කොටසක් අතපසු නොවන බව සහතික කිරීමත් සඳහා ය.

4. අවම වශයෙන් ලිඛිත සාක්ෂි දෙකක් අවශ්‍ය විය.

සෑම කුර්ආන් වැකියක් ම පළමු නිල ලිඛිත ග්‍රන්ථයට ඇතුළත් කිරීම සඳහා අවම වශයෙන් ලිඛිත සාක්ෂි දෙකක් ඉදිරිපත් කළ යුතු විය. ඉබ්නු හජර් අල් අස්කලානි සහ ඉබ්නු අබී දාවූද්ගේ මෙම වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පවසයි.

“මෙහි අරමුණ වූයේ දේවදූත මුහම්මද්තුමාගේ අභිමුඛයේ ලියා තැබූ දේ පමණක් පිළිගැනීමය. පුද්ගලයන්ගේ මතකයේ මත පමණක් රැඳී නොසිටීම එහි අරමුණ විය.” (ෆත්හ් අල්-බාරි, 14/193)

මෙයින් පැහැදිලි වන්නේ, උතුම් අල් කුර්ආනය සම්පාදනය කිරීමේ දී වනපොත් කිරීම පමණක් ප්‍රමාණවත් ලෙස නොසලකා, මුහම්මද්තුමාගේ අධීක්ෂණය යටතේ ලියා තැබූ ලිඛිත සටහන් සහ සාක්ෂි මගින් ද සෑම වැකියක් ම තහවුරු කළ බවයි.

5. සෙයිද් (රලි) සහ ඔහුගේ සහචරයන් දේවදූත මුහම්මද්තුමාගේ සම්මුඛයේ සටහන් කළ පාඨයන් පමණක් සොයා එකතු කළේ තාර්කික හේතුවක් නිසා ය. ජර්මානු පෙරදිග විද්වතෙකු වූ බර්ග්ස්ට්‍රැසර් (Bergstrasser) අත්පිටපත් ශ්‍රේණිගත කිරීම (manuscript gradation) සම්බන්ධයෙන් මෙසේ පවසයි:

(අ) මුල් පිටපත (original) තවමත් පවතින්නේ නම්, එයින් පිටපත් කරන ලද වෙනත් ඕනෑම පිටපතක වැදගත්කම නැති වී යයි.

(ආ) සාමාන්‍යයෙන් පැරණි අත්පිටපත්, පසු ව ලියා ඇති නව අත්පිටපත්වලට වඩා විශ්වාසනීය වේ.

මූලාශ්‍රය: Usul Naqd an-Nusus wa Nashr al-Kutub, Darul Kutab, Cairo, 1995, පිටු 14 සහ 20.

“නිසැකව ම, දේවදූත මුහම්මද්තුමාණන්ගේ සහචරයින් පෞද්ගලිකව සකස් කරන ලද අත්පිටපත් කිසිවකට එතුමාණන්ගේ සම්මුඛයේ සකස් කරන ලද මුල් ලේඛනයට සමාන ප්‍රාමාණිකත්වයක් හෝ විශ්වාසනීයත්වයක් හිමි නොවීය.”

අබූ බකර් (රලි) තුමාගේ කාලයේ උතුම් අල් කුර්ආනය එක්රැස් කිරීමේ සුවිශේෂ ලක්ෂණ

1. දේවදූත මුහම්මද්තුමා ලබා දුන් උපදෙස් අනුව වාක්‍ය පිළිවෙළට සකස් කර තිබුණ ද, සියලු පරිච්ඡේද එක ම පිටපතක එකට බැඳී නො තිබුණි. ඇත්ත වශයෙන් ම සෑම පරිච්ඡේදයක් ම වෙනම ලේඛනයක (පිටපතක) සටහන් කර තිබුණි.

මූලාශ්‍රය: Mustadrak al-Hakim, හදීස් අංක 2854.

මෙහි වැදගත්කම උස්මාන් (රලි) ගේ කාලයේ සිදු වූ සංග්‍රහය පිළිබඳ සාකච්ඡාවේ දී විස්තර කෙරේ.

2. උතුම් අල් කුර්ආනයේ  අහ්රුෆ් හත මෙම සංග්‍රහයේ ආරක්ෂා කර තිබුණි. මූලාශ්‍රය: Manahil al-‘Irfan, 1/246–247.

3. අහොස් (නස්හ්) කිසිදු වැකියක් මෙම මුෂ්හෆ් (ලිඛිත ග්‍රන්ථයෙහි) ඇතුළත් නො වීය.

4.අල්-ඉත්කාන් (Al-Itqan) ග්‍රන්ථයේ සඳහන් වන පරිදි අල්-උම් (Al-Umm) ලෙස ද හඳුන්වනු ලැබූ මෙම ප්‍රධාන මුස්හෆ්  (Master Mushaf) සකස් කිරීමේ අරමුණ වූයේ, පුද්ගලිකව සකස් කරන ලද පිටපත්වල ඇතිවිය හැකි වැරදිවලින් තොර, විශ්වාසදායක ප්‍රධාන යොමු පිටපතක් ස්ථාපිත කිරීමය.

මෙම සියලු තොරතුරු මඟින් කුර්ආනය සංග්‍රහ කළ ඉතිහාසය පමණක් නොව, එම කාර්යයට සම්බන්ධ වූවන් කුර්ආන පාඨය ආරක්ෂා කිරීම සඳහා දැක්වූ අතිශය සැලකිල්ල සහ නිරවද්‍යතාවය ද පැහැදිලි වේ.

References

  • History of the Qur’anic Text from Revelation to Compilation — Muhammad Mustafa al-Azami. (Suhail Academy, Lahore, 2005).
  • ‘Uloom al-Qur’an — Muhammad Taqi Usmani. *(Maktaba Darul ‘Uloom, Karachi, 2008).
  • Tadwin Qur’an — Syed Manazir Ahsan Gilani. *(Maktaba al-Bukhari, Karachi, 2005).

Loading