අල් කුර්ආනය වනපොත් පොත් කළේ සතර දෙනෙක් පමණක්ද?

අල් කුර්ආනයේ සංරක්ෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සාධක තිබුණද ඇතැම් විවේචකයෝ එම මතය කෙසේ හෝ බිඳ දැමීමට විවිධ තර්ක ඉදිරිපත් කරති. ඔවුන් පහත සඳහන් පුවත උපුටා දක්වමින් මුහම්මද් (සල්) නබි තුමාගේ කාලයේ සැබවින්ම අල් කුර්ආනය මතකයේ තබා ගෙන සිටියේ සතර දෙනෙකු පමණක් බව සනාථ කිරීමට උත්සහ කරති.

අනස් ඉබ්න් මාලික් (රලි) මෙසේ වාර්තා කළේය:

“අල්ලාහ්ගේ දූතයාණන් ﷺ  තුමාණන් ජීවත්ව සිටි කාලයේ දී පුද්ගලයන් සිව්දෙනෙක් උතුම් අල් කුර්ආනය එකතු කළහ. (එනම් සම්පූර්ණයෙන් ම මතකයේ තබාගත්හ). ඔවුන් සියල්ලෝ ම අන්සාර්වරු වූහ. මුආද් ඉබ්න් ජබල්, උබෛ ඉබ්න් කඅබ්, සෙයිද් ඉබ්න් තාබිත් සහ අබූ සෙයිද්.” එවිට කතාදා “අනස්! අබූ සයිද් කියන්නේ කවුදැයි?” ඇසීය. එවිට අනස් (රලි) තුමා “ඔහු මගේ මාමාවරුන්ගෙන් එක් අයෙකි.” යැයි පිළිතුරු දුන්නේය. (සහීහ් මුස්ලිම්, හදීස් අංක 4507)

කෙසේ නමුත් මෙම පුවතේ පෙනෙන මතුපිට අර්ථය (එනම් “සිව්දෙනෙක් පමණක් සම්පූර්ණ කුර්ආනය ම මතකයේ තබාගෙන සිටියහ” යන අදහස) නිවැරදි විය නො හැක. මන්ද, මීට පෙර සඳහන් කළ පරිදි අල්ලාහ්ගේ දූතයාණන් ﷺ  තුමාණන් ජීවමානව වැඩ සිටින කාලය තුළ සම්පූර්ණ අල් කුර්ආනය ම මතකයේ තබාගෙන සිටි සහාබාවරුන් තවත් බොහෝ දෙනෙක් සිටි බව විශ්වාසදායක වාර්තාවලින් තහවුරු වේ.

සැබෑ තත්ත්වය වන්නේ, අනස් (රලි) තුමා මෙම ප්‍රකාශය විශේෂිත සන්දර්භයක දී කළ එකක් වන අතර, එය අන්සාර්වරු (මදීනා වැසිය) න් සම්බන්ධයෙන් පමණක් අදහස් කළ ප්‍රකාශයක් බව යි.

මෙම කරුණ, ඉබ්න් හජර් අල්-අස්කලානිතුමාණන් විසින් ද උපුටා දක්වන පහත සඳහන් ප්‍රකාශයෙන් එය වඩාත් පැහැදිලි වේ.

අව්ස් සහ ඛස්රජ් යන අන්සාරි ගෝත්‍ර දෙක එකිනෙකාට වඩා තමන් ශ්‍රේෂ්ඨ බව පෙන්වීමට තරඟ කළහ.

අව්ස් ගෝත්‍රිකයෝ මෙසේ පැවසූහ.

 අප අතරින් සිව්දෙනෙක් අතිශයින් ගෞරවයට පාත්‍ර වූවෝ වෙති.

 පළමුවැන්නා, අල්ලාහ්ගේ අර්ෂය කම්පා වූ තැනැත්තා වන සඅද් ඉබ්න් මුආද් ය.

 දෙවැන්නා, ඔහුගේ සාක්ෂිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සාක්ෂියට සමාන ලෙස පිළිගනු ලැබූ ඛුසයිමා ඉබ්න් තාබිත් ය.

 තුන්වැන්නා, මලක්වරුන් විසින් (ජනාසා) ස්නානය කරනු ලැබූ හන්ලලා ඉබ්න් අබී ආමිර් ය.

 සිව්වැන්නා, ආදේශකරුවන් (මුෂ්රික්වරු) ඔහුගේ දේහය අත්පත් කර නොගන්නා ලෙස මී මැස්සන් විසින් ආරක්ෂා කරන ලද ආසිම් ඉබ්න් තාබිත් ය. “

එවිට ඛස්රාජ් ගෝත්‍රිකයන් මෙසේ පිළිතුරු දුන්හ.

“අප අතරින් සිව්දෙනෙක් සම්පූර්ණ අල් කුර්ආනය මතකයේ තබාගෙන සිටියහ. ඔවුන් හැර වෙනත් කිසිවෙකු එය සම්පූර්ණයෙන් ම මතකයේ තබාගෙන සිටියේ නැත.’

ඉන්පසු අනස් ඉබ්න් මාලික් (රලි) එම සිව්දෙනාගේ නම් සඳහන් කළේය.”

(අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන්, 1/171, 20 වන පරිච්ඡේදය)

මෙම වාර්තාවෙන් පැහැදිලි වන්නේ, මෙය අන්සාර්වරුන්ට අයත් අව්ස් සහ ඛස්රාජ් ගෝත්‍ර දෙක අතර සිදු වූ සංසන්දනාත්මක සංවාදයක් පමණක් බව ය.

එබැවින්, “සිව්දෙනා” යන ප්‍රකාශය අර්ථ දැක්විය යුත්තේ අන්සාර්වරුන්(මදීනා වැසියන්ගේ) සන්දර්භය තුළ පමණක් මිස, මුහාජිරීන් (සංක්‍රමණය කළ සහාබාවරුන්) ද ඇතුළුව සියලු සහාබාවරුන් පිළිබඳ සාමාන්‍ය ප්‍රකාශයක් ලෙස නො වේ.

එසේ ම, මෙම හදීසය පිළිබඳ අල්-මාසිරි ඉදිරිපත් කරන විග්‍රහය ද සැලකිල්ලට ගත යුතු .ය. ඔහු ඉතා වැදගත් කරුණක් මෙසේ සඳහන් කරයි:

“අනස් (රලි)ගේ මෙම ප්‍රකාශයෙන්, මෙම සිව්දෙනා හැර වෙනත් කිසිදු සහාබාවරයෙකු සම්පූර්ණ අල් කුර්ආනය මතකයේ තබාගෙන නොසිටි බව සනාථ නො වේ. එසේ ම, ඔහුගේ ප්‍රකාශය අවසාන සහ නිරපේක්ෂ සත්‍යයක් ලෙස ද සැලකිය නො හැක.

ඔහුගේ වචනවලින් අදහස් වන්නේ, අනස් (රලි) තමන් දැන සිටි අය අතරින් සම්පූර්ණ අල් කුර්ආනය මතකයේ තබාගෙන සිටියේ මෙම සිව්දෙනා පමණක් බව ය.

එසේ තිබිය දී, සහාබාවරුන් විවිධ නගරවලට විසිරී සිටි අවස්ථාවක, අනස් (රලි) ඔවුන් සියලු දෙනා ගැන දැන සිටියේ කෙසේද? එය කළ හැකි වන්නේ, ඔහු සෑම සහාබාවරයෙකු ම පෞද්ගලිකව හමුවී, ‘ඔබ අල්ලාහ්ගේ දූතයාණන් ﷺ  තුමාණන් ජීවත්ව සිටි කාලයේ දී සම්පූර්ණ අල් කුර්ආනය මතකයේ තබාගෙන සිටියා ද? “යනුවෙන් විමසා, ඔවුන් සියලු දෙනා ම ‘නැත’ යන පිළිතුර ලබා දුන්නේ නම් පමණි.

නමුත් එවැනි දෙයක් සිදුවූ බව සිතිය නො හැක. එබැවින්, අනස් (රලි)ගේ මෙම ප්‍රකාශය ඔහු දැන සිටි තොරතුරු පමණක් මත පදනම් වූවක් ලෙස තේරුම් ගත යුතු ය. එය නිරපේක්ෂ සත්‍යයක් බව එයින් අදහස් නො වේ.” (අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන්, 1/170, 20 වන පරිච්ඡේදය)

Loading