අල්-කුර්ආනයේ සංරක්ෂණය සහ සම්පාදනය කිරීම – උස්මාන් (රලි) තුමාගේ පාලන සමයේ දී

මෙම ලිපි මාලාවේ පූර්ව කොටස්වල දී අපි අවධාරණය කළ පරිදි, දේවදූත මුහම්මද් ﷺ තුමාණන් ජීවමානව වැඩවසන කාලය තුළදී ම අල් කුර්ආනයේ වහී ( දිව්‍යමය පාඨ) ලිඛිතව සටහන් කරනු ලැබුව ද, ඒවා එක් ග්‍රන්ථයක් ලෙස සංග්‍රහ කර නො තිබිණි. ඉන් අනතුරුව, අබූ බකර් අස්-සිද්දීක් (රලි) තුමාගේ පාලන සමයේ මතු වූ විශේෂ තත්ත්වයන් හේතුවෙන්, අල්-කුර්ආනයේ පාඨයන් නිල වශයෙන් එක් සංග්‍රහයක් ලෙස සංස්කරණය කිරීමේ අවශ්‍යතාව ඇති විය. ඒ අනුව සෙයිද් ඉබ්නු තාබිත් (රලි) තුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර, උතුම් අල්-කුර්ආනයේ නිල ලිඛිත සංග්‍රහය සකස් කරන ලදී. මෙහිදී, එම ක්‍රියාවලිය තවදුරටත් සුරක්ෂිත කිරීම හා මුස්ලිම් සමාජය තුළ ඒකාකාර පාඨ පාරම්පරාවක් ස්ථාපිත කිරීම සඳහා ඛලීෆා උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රලි) තුමා විසින් ගනු ලැබූ වැදගත් පියවර පිළිබඳව අපගේ අවධානය යොමු කරමු.

පසුබිම:

අබූ බකර් අස්-සිද්දීක් (රලි) තුමාගේ පාලන සමයේ සකස් කරන ලද අල්-කුර්ආනයේ ලිඛිත සංග්‍රහය, එතුමා ජීවත්ව සිටි කාලය පුරා ම එතුමාගේ භාරයේ පැවතිණි. එතුමාගේ වියෝවෙන් අනතුරුව එය උමර් ඉබ්නු අල්-ඛත්තාබ් (රලි) තුමාගේ භාරයට පත් විය. පසු ව එතුමා මරණයට පත් වූ විට, එම සංග්‍රහය එතුමාගේ දියණිය වූ ද දේවදූත මුහම්මද් ﷺ තුමාණන්ගේ භාර්යාවක වූ ද හෆ්සා බින්ත් උමර් (රලි) තුමියගේ භාරයට භාර දෙන ලදී.

උස්මාන් ඉබ්නු අෆ්ෆාන් (රලි) තුමාගේ පාලන සමයේ දී මුස්ලිම් රාජ්‍යයේ ජයග්‍රහණ ආර්මේනියාව හා අසර්බයිජානය වැනි ප්‍රදේශ දක්වා ව්‍යාප්ත විය. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉස්ලාමය අරාබි නොවන බොහෝ ජාතීන් අතර ද පැතිර ගියේය. මෙවැනි පසුබිමක් තුළ, අල්-කුර්ආනය පාරායනය කිරීමේ විවිධ ආකාර (කිරාආත්) සම්බන්ධයෙන් පවතින වෙනස්කම් ප්‍රායෝගිකව ප්‍රකට වීමට පටන් ගත්තේය. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් වාර්තාව වැදගත් සාක්ෂියක් සපයයි.

අනස් ඉබ්නු මාලික් (රලි) තුමා මෙසේ වාර්තා කරයි.

සිරියාවේ මුස්ලිම් හමුදා, ඉරාකයේ මුස්ලිම් හමුදාවන් සමඟ එක්ව ආර්මේනියාව සහ අසර්බයිජානය යටත් කරගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිය දී, හුදෙයිෆා ඉබ්නු අල්-යමානි (රලි) තුමා ඛලීෆා උස්මාන් (රලි) තුමා වෙත පැමිණියේය. විවිධ ප්‍රදේශවලින් පැමිණි මුස්ලිම්වරුන් අල්-කුර්ආනය සමුදීරණය කරන ආකාරයන්හි පැවති වෙනස්කම් හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව හුදෙයිෆා (රලි) තුමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටියේය.

එවිට ඔහු උස්මාන් (රලි) තුමාට මෙසේ පැවසීය:

“අමීරුල් මුඃමිනීන්, යුදෙව්වන් සහ ක්‍රිස්තියානුවන් තම ආගමික ග්‍රන්ථය සම්බන්ධයෙන් භේදයට පත් වූවාක් මෙන්, මෙම සමාජය ද අල්ලාහ්ගේ ග්‍රන්ථය සම්බන්ධයෙන් භේදයට පත්වීමට පෙර එය වළක්වන්න.”

ඒ අනුව, උස්මාන් (රලි) තුමා හෆ්සා (රලි) තුමිය වෙත පණිවිඩයක් යවමින් මෙසේ දන්වා සිටියේය.

“ඔබ සතුව පවතින උතුම් අල් කුර්ආනයේ ලිඛිත පිටපත් අප වෙත එවන්න. අපි ඒවායේ පිටපත් සකස් කර අවසන් වූ පසු නැවත ඔබ වෙත භාර දෙන්නෙමු.”

හෆ්සා (රලි) තුමිය එම පිටපත් උස්මාන් (රලි) තුමාට එවා තිබ්බාය. ඉන් අනතුරුව, උස්මාන් (රලි) තුමා සෙයිද් ඉබ්නු සාබිත්, අබ්දුල්ලාහ් ඉබ්නු සුබෙයිර්, සඊද් ඉබ්නු අල්-ආස් සහ අබ්දුර් රහ්මාන් ඉබ්නු අල්-හාරිත් ඉබ්නු හිෂාම් යන පිරිසට එම සංග්‍රහයේ නිල පිටපත් සකස් කරන ලෙස නියෝග කළේය.

තව ද කුරෙයිෂ් ගෝත්‍රයට අයත් තිදෙනා අමතා උස්මාන් (රලි) තුමා මෙසේ උපදෙස් දුන්නේය.

“අල්-කුර්ආනයේ කිසියම් වචනයක් සම්බන්ධයෙන් ඔබලා සහ සෙයිද් ඉබ්නු තාබිත් අතර මතභේදයක් ඇති වුවහොත්, එය කුරෙයිෂ් ගෝත්‍රයේ අක්ෂර (හර්ෆ්) විලාසයට අනුව ලියන්න. මක්නිසාද යත්, එය පහළ කරනු ලැබුවේ ඔවුන්ගේ අක්ෂර (හර්ෆ්) විලාසයෙන් ය.”

ඔවුහු එම උපදෙස් අනුව නිල පිටපත් සකස් කළහ. එම කාර්යය අවසන් වූ පසු, උස්මාන් (රලි) තුමා මුල් ලිඛිත සංග්‍රහය හෆ්සා (රලි) තුමිය වෙත නැවත භාර දුන්නේය. ඉන්පසු සකස් කරන ලද නිල පිටපතක බැගින් මුස්ලිම් රාජ්‍යයේ සෑම ප්‍රධාන ප්‍රදේශයකට ම යවා, ඒවාට පටහැනි ආකාරයෙන් ලියා තිබූ අනෙකුත් පෞද්ගලික පිටපත් හෝ ලිඛිත පත්‍රිකා විනාශ කරන ලෙස නියෝග කළේය. (සහීහ් අල්-බුහාරි, හදීස් අංක 4604)

කනස්සල්ලට පත්වීමට හේතු වූ සාධක

මෙය සැබැවින් ම ගැඹුරු කනස්සල්ලකට හේතු වූ තත්ත්වයක් විය. මූලික වශයෙන්, එම කනස්සල්ලට හේතු වූ ප්‍රධාන කරුණු දෙකක් පැවතිණි.

  1. ඇතැම් පිරිස් තම තමන්ගේ ප්‍රාදේශීය උපභාෂා හා උච්චාරණ සම්ප්‍රදායන්ට අනුව අල්-කුර්ආනය පාරායනය කිරීමට පෙළඹුණහ. මෙම ප්‍රවණතාව අල්-කුර්ආනයේ මූලාර්ථයට කිසිදු විකෘතියක් ඇති නොකළ අතර, ආරම්භක අවධියේ දී එය පිළිගත හැකි තත්ත්වයක් ලෙස ද සලකනු ලැබීය. එහෙත්, ඉස්ලාමය වැළඳගත් ජන සමූහයන්ගේ භාෂාමය හා ජනවාර්ගික විවිධත්වය ක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ, මෙම ප්‍රවණතාව බරපතළ ගැටලුවක් බවට පත්වීමේ ලක්ෂණ ප්‍රකට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අනාගතයේ දී අල්-කුර්ආනයේ පාරායන විධි සම්බන්ධයෙන් සැලකිය යුතු විෂමතා මතු වී, එමඟින් මුස්ලිම් සමාජය තුළ බරපතළ මතභේද හා අර්බුද ඇති විය හැකි බවට සාධාරණ අවදානමක් පැනනැඟිණි.

එවැනි උච්චාරණමය විචල්‍යතාවන්ට උදාහරණයක් ලෙස, බනු කයිස් (Banū Qays) ගෝත්‍රයට අයත් පුද්ගලයන් ك (කාෆ්) අක්ෂරය ش (ෂීන්) ලෙස උච්චාරණය කිරීම සඳහන් කළ හැක. මෙම භාෂාමය ලක්ෂණය “කෂ්කෂත් අල්-කයිස් (Kashkashat Qays)” යන නාමයෙන් හැඳින්විණි. එසේම බනු තමීම් (Banū Tamīm) ගෝත්‍රයට අයත් පිරිස් أن යන පදය عن ලෙස උච්චාරණය කළ අතර, එම භාෂාමය විශේෂත්වය “අන්අනත් තමීම් (‘An’anat Tamīm)” යනුවෙන් ප්‍රසිද්ධ විය. මෙය අරාබිවරුන් අතර පැවති භාෂාමය තත්ත්වය වූයේය. එබැවින්, අරාබි නොවන ජනතාව විශාල වශයෙන් ඉස්ලාමයට ඇතුළත් වීමත් සමඟ මෙම විචල්‍යතා කෙතරම් දුරට ව්‍යාප්ත වී පාලනයෙන් තොර තත්ත්වයකට පත්විය හැකි ද යන්න පහසුවෙන් අනුමාන කළ හැකි ය.

මෙම කරුණු සහ ඒ පිළිබඳ වැඩිදුර විස්තර ෂෙයික් තාහිර් බින් සාලිහ් අල්-ජසාඉරි (Shaykh Ṭāhir ibn Ṣāliḥ al-Jazāʾirī) විසින් රචිත අත්-තිබ්යාන් ෆී මබාහිස් අල්-කුර්ආන් (Al-Tibyān fī Mabāḥith al-Qurʾān)  කෘතියේ 52 වන පිටුවේ සඳහන් වේ.

ගැටලුව වූයේ, යම් පුද්ගලයෙකු මෙවැනි සම්මතයෙන් බැහැර ලේඛන හෝ උච්චාරණ සම්ප්‍රදායන් පදනම් කරගෙන තමන්ගේ ම අල්-කුර්ආන් පිටපතක් සකස් කළහොත්, කාලය ගතවීමත් සමඟ එය දැඩි මතභේද, ව්‍යාකූලතා සහ අර්බුද රැසකට හේතු වනු නොඅනුමානය යන්නයි.

2. ඇතැම් අවස්ථාවල දී සුළු වෙනස්කම් අනුමත කරනු ලැබුවේ දේවදූත මුහම්මද්තුමා විසින් ම ය. එවැනි වෙනස්කම් පිළිබඳව කිසිදු ගැටලුවක් ඇති නොවිය යුතු වුව ද, සමහර පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් එකිනෙකාට දැඩිව අවවාද කරති.

උදාහරණයක් ලෙස, සූරා අල්-ෆාතිහා (1:4) හි ඇති “මාලික්” (Mālik) යන වචනය දිගු ස්වරයෙන් කියවිය හැකි ය. (Kitābul Maṣāḥif, පිටුව 239, අනස් විසින් වාර්තා කරන ලදී). එසේ ම එය “මලික්” (Malik) ලෙස කෙටි ස්වරයෙන් ද කියවිය හැකි ය. (Durr al-Manthūr 1/6; cf. Ibn al-Anbārī, අනස් විසින් වාර්තා කරන ලදී). මේ ආකාරයේ තවත් බොහෝ උදාහරණ ද ඇත.

ස්වාභාවිකවම, අනුමත කරන ලද පාරායනය කරන (කිරාත්) ක්‍රම අතරින් යම් කියවීමක් මැනවින් ප්‍රගුණ කර තිබූ අය හෝ අද දක්වා ම අනුගමනය වන කුරෙයිෂ් ගෝත්‍රයේ සම්මත උච්චාරණයට වඩා වෙනස් ලෙස ඇතැම් වචන උච්චාරණය කළ අය, තම පෞද්ගලික මුස්හෆ් (අල්-කුර්ආන් අත්පිටපත්) ද එම ආකාරයෙන් ම ලියා තබා ගත්හ. ඔවුහු තම ශිෂ්‍යයන්ට ද එම කියවීම් අනුවම ඉගැන්වූහ.

මෙම තත්ත්වය නිසි පියවර කාලෝචිතව නොගතහොත්, එය පාලනයෙන් තොර තත්ත්වයකට පත්වී, ඉදිරි කාලයේ දී බරපතළ මතභේද හා ගැටලු ඇතිවීමට හේතු විය හැකි බව පැහැදිලි විය.

එක් සම්මත මුස්හෆ් (ලිඛිත ග්‍රන්ථයක්) සම්පාදනය කිරීමට ඇති වූ එකඟතාව

උස්මාන් (රලි) තුමා මෙම කරුණ අනෙකුත් සගයින් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් විමසීය. තමන්ගේ අදහස කුමක් දැයි? විමසූ විට, අලි (රලි) තුමාණන් විසින් වාර්තා කරන ලද පරිදි, ඔහු මෙසේ පැවසීය.

“මගේ අදහස නම්, මිනිසුන් එක් සම්මත මුස්හෆ් (ලිඛිත ග්‍රන්ථයක්) මත එකඟ කළ යුතු ය. එවිට ඔවුන් අතර බෙදීමක් හෝ මතභේදයක් ඇති නොවනු ඇත.”

එවිට අපි (සගයින්) මෙසේ පැවසුවෙමු:

“මෙය ඉතාමත් යහපත් යෝජනාවකි.”

(ඉබ්නු අබී දාවූද්ගේ Kitāb al-Maṣāḥif, හදීස් අංක 62. ෆත්හ් අල්-බාරී ග්‍රන්ථයේ ඉබ්නු හජර් විසින් සහීහ් (විශ්වාසනීය) ලෙස ශ්‍රේණිගත කර ඇත.)

ස්වාධීන මුස්හෆ් (ලිඛිත ග්‍රන්ථ) පිටපතක් සකස් කිරීම

කතීර් ඉබ්නු අෆ්ලහ් විසින් වාර්තා කරන ලද පරිදි, මෙම කාර්යය අධීක්ෂණය කිරීම සඳහා සාමාජිකයින් දොළොස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී. (Kitāb al-Maṣāḥif, හදීස් අංක 72. ඉබ්නු කසීර් විසින් සහීහ් (විශ්වාසනීය) ලෙස ශ්‍රේණිගත කර ඇත.)

මෙම කමිටුව අබූ බකර් (රලි) ගේ කාලයේ සකස් කරන ලද නිල කුර්ආන් අත්පිටපත (Official Qur’anic Manuscript) පමණක් පිටපත් කිරීමෙන් සීමා නොවීය. ඒ වෙනුවට, අබූ බකර් (රලි) තුමාගේ සමයේ අනුගමනය කරන ලද එම ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කරමින්, ඔවුහු ස්වාධීන ලෙස නව මුස්හෆ් පිටපතක් සකස් කළහ.

මුස්අබ් බින් සඅද් (රලි) තුමා වාර්තා කළේ මෙසේය.

උස්මාන් (රලි) තුමා ජනතාව අමතා දේශනයක් කරමින් මෙසේ පැවසීය.

ඔබගේ දේවදූතයාණන් මුහම්මද්තුමා (අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය ඔහුට හිමි වේවා!) මීට වසර පහළොවකට පෙර ඔබ අතර සිටියේය. නමුත් දැන් ඔබලා අල් කුර්ආනය පිළිබඳ මතභේද ඇති කරගෙන සිටින්නෙහුය. එබැවින්, ඔබගෙන් කවරෙකු හෝ ළඟ එතුමාගෙන් ශ්‍රවණය කර සටහන් කරන ලද උතුම් අල් කුර්ආනීය පාඨ තිබේ නම්, ඒවා මා වෙත රැගෙන එන්න.” ඉන්පසු මිනිස්සු ලී පුවරු, උරහිස් අස්ථි (shoulder blades), සහ සම් පත්‍ර (parchments) මත ලියා තිබූ කුර්ආනීය කොටස් රැගෙන එන්නට පටන් ගත්හ. යම් අයෙකු යමක් රැගෙන ආ විට, උස්මාන් (රලි) තුමා ඔහුගෙන් මෙසේ විමසීය.“ඔබ මෙය අල්ලාහ්ගේ දූතයාගෙන් ම ශ්‍රවණය කළේ ද? ”ඉන්පසු ඔහු මෙසේ ඇසීය: “ජනතාව අතර භාෂාවෙන් (අරාබි භාෂා ප්‍රවීණතාවයෙන්) වඩාත් දක්ෂයා කවුද?” ඔවුන් පිළිතුරු දුන්නේ:“සඊද් බින් අල්-ආස්.” එවිට ඔහු නැවත ඇසීය: “ලිවීමෙහි වඩාත් දක්ෂයා කවුද?” ඔවුන් පැවසුවේ: “සෙයිද් බින් තාබිත්” එවිට උස්මාන් (රලි) තුමා මෙසේ පැවසීය:“එසේ නම් සෙයිද් ලියන්න. සඊද් කියවා (උච්චාරණය කර) දෙනු ඇත.” ඉන්පසු ඔහු මුස්හෆ් (කුර්ආනයේ පිටපත්) සකස් කරවා ඒවා විවිධ නගරවලට යැව්වේය. මුස්අබ් බින් සඅද් අවසානයේ මෙසේ පැවසීය: “ඒ සඳහා කිසිවෙකු විරෝධය පළ කරන බව මම නො දුටුවෙමි.” (මූලාශ්‍රය:Kitāb al-Maṣāḥif, හදීස් 67.ශ්‍රේණිගත කිරීම:ආචාර්ය මුහිබුද්දීන් වාඉස් විසින් සහීහ් (ඉතා නිවැරදි) ලෙස ශ්‍රේණිගත කර ඇත.

අබූ බකර් (රලි) තුමාගේ කාලයේ සිදු කළ කාර්යය සමඟ සැසඳීම

අබූ බක්ර් (රලි) තුමාගේ සමයේ පැවති එම ක්‍රමවේදය ම මෙහිදී ද අනුගමනය කරන ලදී. කුර්ආනයේ සම්පූර්ණ පාඨය විවිධ ස්ථානවල විසිරී තිබූ ලිඛිත කොටස්වලින් නැවත එක්රැස් කරන ලදී. එය සිදු කරන ලද්දේ කුර්ආනය හොඳින් දැන සිටි සහ එය මතකයෙන් ආරක්ෂා කරගෙන සිටි පුද්ගලයන්ගේ සනාථ කිරීම සහභාගිත්වය ඇතිවය.

මෙය, අබූ බකර් (තුමා) ගේ කාලයේ අල් කුර්ආනය එක්රැස් කළ ආකාරයට බොහෝ සමාන වූ ක්‍රියාවලියකි.

උස්මාන් (රලි) තුමා නැවතත් මෙතරම් මහන්සියක් ගෙන මෙම කාර්යය සිදු කළේ ඇයි දැයි? යන්න පිළිබඳ හේතුව, අබූ බකර් (රලි) තුමාගේ දායකත්වය සම්බන්ධයෙන් පෙර සාකච්ඡා කළ අවස්ථාවේ පෙරදිගවාදීන් සහ බර්ග්ස්ට්‍රැසර් (Bergsträsser) සම්බන්ධයෙන් පැහැදිලි කළ හේතුව ම වේ.

අබූ බකර් (රලි) තුමාගේ කාලයේත් උස්මාන් (රලි) තුමාගේ කාලයේත් කුර්ආනය එක්රැස් කිරීමේ කාර්යභාරය භාරව සිටි සෙයිද් බින් තාබිත් (රලි) තුමා, උස්මාන් තුමාගේ කාලයේ ස්වාධීනව සකස් කළ මුස්හෆ් එක (ලිඛිත ග්‍රන්තය) අබූ බකර්ගේ කාලයේ සකස් කළ පිටපත සමඟ සසඳා බැලූ බවත්, ඒ දෙක අතර කිසිදු වෙනසක් නොතිබූ බවත් සාක්ෂි දුන්නේය.

ඔහු මෙසේ පැවසීය:

“මම මෙම මුසහෆ් එක (ලිඛිත ග්‍රන්ථය) එම මුල් ලේඛන සමඟ සසඳා බැලුවෙමි. ඒවා අතර කිසි ම කරුණක දී වෙනසක් නො තිබුණි.”

(Mushkil al-Āthār, හදීස් අංක 2645)

මෙය, කුර්ආනය එක්රැස් කිරීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය කොතරම් දැඩි පරීක්ෂාවකට සහ නිරවද්‍යතාවයට ලක් කළේ ද යන්නට තවත් ප්‍රබල සාක්ෂියකි. එම ක්‍රියාවලිය දෙවරක් ස්වාධීනව සිදු කළ ද, ඒ දෙක අතර කිසිදු පරස්පරතාවක් හෝ වෙනසක් ඇති නොවීය.

සියලු ප්‍රශංසා අල්ලාහ්ටම හිමි වේ!

විශේෂ ජයග්‍රහණ:

උස්මාන් (රලි) තුමාගේ සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳව පහත කරුණු සලකා බලන්න.

  1. අබූ බක්ර් (රලි) තුමාගේ කාලයේ දී කුර්ආනයේ සූරා (පරිච්ඡේද) අනුපිළිවෙලට සකස් කර නො තිබුණි. සූරා අනුපිළිවෙලට සකස් කිරීම සිදු වූයේ උස්මාන් (රලි) තුමාගේ කාලයේදීය. මේ පිළිබඳ සඳහනක් මුස්තද්රක් අල්-හාකිම්, හදීස් අංක 2901 හි දැකිය හැක.

මෙයට තවත් සාධකයක් වන්නේ සහීහ් අල් බුහාරි ග්‍රන්තයෙහි සෙයිද් ඉබ්නු තාබිත් (රලි) විසින් කළ වාර්තාව යි. එහි අබූ බක්ර් (රලි) තුමාගේ යුගයේ සිදු කළ කුර්ආන් එක් රැස් කිරීමේ කාර්යය සඳහන් කරන විට “සුහුෆ්” (ලිඛිත පත්‍ර/අත්පිටපත්) යන බහුවචන පදය භාවිතා කරයි. එහෙත් උස්මාන් (රලි) තුමාගේ කාලයේ සිදු කළ කාර්යය පිළිබඳ තමන්ගේ ම වාර්තාවේ “මුස්හෆ්” (එක් ග්‍රන්ථයක්/සංග්‍රහිත පිටපත) යන එ්කවචන පදය භාවිතා කරයි. මෙයින් පෙනී යන්නේ අබූ බක්ර් (රලි) තුමාගේ කාලයේ සෑම සූරාවක් සඳහා ම වෙන වෙන ම ලිඛිත පිටපත් සකස් කර තිබූ අතර, ඒවා තවමත් අද පවතින ආකාරයට සූරා අනුපිළිවෙලට එක ග්‍රන්ථයක් ලෙස සකස් කර නොතිබූ බව යි.

  • උස්මාන් (රලි) තුමාගේ කාලයේ කුර්ආනය ලිවීමේ දී, සියලු ම සත්‍ය සහ නිවැරදි (සහීහ්) කිරාඅත් (පාරායණ) ක්‍රම ආවරණය වන පරිදි එය සකස් කිරීමට විශේෂ අවධානය යොමු කරන ලදී. ඒ සඳහා අරාබි අක්ෂරවල ස්වර ලකුණු (හරකාත්) ද, අකුරු වෙන්කර හඳුනාගැනීමට භාවිත කරන තිත් ද සටහන් නොකළහ. එම නිසා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගෙන් සනාථ වූ විවිධ සහීහ් කිරාඅත් ක්‍රම එක ම මුස්හෆ් තුළින් කියවීමට හැකි විය.
  • අබූ බක්ර් (රලි) තුමාගේ කාලයේ නිල මුස්හෆ් පිටපතක් පමණක් සකස් කරන ලදී. එහෙත් උස්මාන් (රලි) තුමා එම මුස්ෆ්හි නිල පිටපත් කිහිපයක් සකස් කර, ඉස්ලාමීය රාජ්‍යයේ සියලු ම ප්‍රාන්ත මූලස්ථාන වෙත යවා තැබූහ.

අබූ හාතිම් අස්-සජිස්තානී සඳහන් කරන පරිදි, සම්පූර්ණ මුස්හෆ් පිටපත් හතක් සකස් කරන ලදී. ඉන් එක් එක් පිටපත බැගින් මක්කම, ෂාම් (සිරියාව), යෙමනය, බහ්රේන්, බස්රා සහ කූෆා වෙත යවන ලද අතර, එක් නිල පිටපතක් මදීනාව තුළ ම තබා ගන්නා ලදී. (බලන්න: කිතාබුල් මසාහිෆ්, වාර්තාව අංක 94)

ගැටලුවලට ලබා දුන් විසඳුම්

උස්මාන් (රලි) තුමාගේ කාලයේ සිදු කරන ලද මෙම කාර්යයේ අවශ්‍යතාවය සහ වැදගත්කම පැහැදිලි කළ ගැටලු දෙකක් පිළිබඳ ව අපි කලින් සඳහන් කළෙමු. එම ගැටලුවලට විසඳුම් ලබා දුන් ආකාරය දැන් සලකා බලමු.

පළමු ගැටලුවට ලබා දුන් විසඳුම

පළමු ගැටලු ව විසඳනු ලැබුවේ කුරෙයිෂ් ගෝත්‍රයේ ලේඛන (අක්ෂර වින්‍යාස) සම්ප්‍රදාය පමණක් අනුගමනය කරන බව තහවුරු කිරීමෙනි. ඉහත උපුටා දක්වා ඇති සහීහ් බුහාරි හදීසයේ මේ බව පැහැදිලිව සඳහන් වේ.

තව ද කුරෙයිෂ් ගෝත්‍රයට අයත් තිදෙනා අමතා උස්මාන් (රලි) තුමා මෙසේ උපදෙස් දුන්නේය.

“අල්-කුර්ආනයේ කිසියම් වචනයක් සම්බන්ධයෙන් ඔබලා සහ සෙයිද් ඉබ්නු තාබිත් අතර මතභේදයක් ඇති වුවහොත්, එය කුරෙයිෂ් ගෝත්‍රයේ භාෂා විලාසයට අනුව ලියන්න. මක්නිසාද, එය පහළ කරනු ලැබුවේ ඔවුන්ගේ භාෂා විලාසයෙන් ය.”

තව ද, අල් කුර්ආනය උච්චාරණය කර ලියවීම සඳහා පත් කරන ලද පුද්ගලයා වූ සඊද් ඉබ්නු අල්-ආස් (රලි) තුමා ද කුරෙයිෂ් ගෝත්‍රයට අයත් අයෙකු වූ බව සැලකිල්ලට ගත යුතු ය.

කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ. මෙහි ඇති විය හැකි එකඟ නොවීම කුර්ආනයේ වචන (පද) පිළිබඳ නොව, අක්ෂර වින්‍යාසය (ලේඛන සම්ප්‍රදාය) පිළිබඳව පමණි. ඒ බව පහත සඳහන් හදීසයෙන් පැහැදිලි වේ.

“එක් දිනක් ඔවුන් ‘التابوت’ ලෙස ද ‘التابوه’ ලෙස ද ලිවිය යුතුද යන්න පිළිබඳ ව එකඟ නො වූහ. කුරෙයිෂ් ගෝත්‍රයේ අය ‘التابوت’ ලෙස ලිවිය යුතු බව පැවසූ අතර, සෙයිද් ‘التابوه’ ලෙස ලිවිය යුතු බව පැවසීය. මෙම මතභේදය උස්මාන් (රලි) තුමා වෙත ඉදිරිපත් කරන ලදී. එවිට එතුමාණෝ, التابوت ලෙස ලියන්න. මන්ද, කුර්ආනය පහළ කරනු ලැබුවේ කුරෙයිෂ්වරුන්ගේ භාෂාවෙනි’ යැයි පැවසූහ.”

(කන්සුල් උම්මාල්, හදීස් අංක 4775; ඉබ්නු සඅද්, තිර්මිදි ආදී මූලාශ්‍රද බලන්න.)

මෙම වාර්තාවෙන් පැහැදිලි වන්නේ මතභේදය පැවතියේ අක්ෂර වින්‍යාසය (ලේඛන සම්ප්‍රදාය)සම්බන්ධයෙන් පමණක් බවත්, අල් කුර්ආනයේ වචන හෝ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නොතිබූ බවත් ය.

දෙවන ගැටලුවට ලබා දුන් විසඳුම

දෙවන ගැටලුවට විසඳුම ලැබුණේ, සහීහ් (සනාථ වූ) සියලු ම කිරාඅත් (පාරායණ) ක්‍රම ආවරණය වන පරිදි කුර්ආනයේ ලේඛන සම්ප්‍රදාය (රස්ම්) සකස් කිරීමෙනි. එම නිසා එක ම මුස්හෆ් පිටපතකින් දේවදූත මුහම්මද්තුමාගෙන් සනාථ වූ විවිධ සහීහ් කිරාඅත් අනුව පාරායණය කිරීමේ හැකියාව පවතින ලදී.

ඊට අමතරව, සෑම නිල මුස්හෆ් පිටපතක් සමඟ ම සුන්නාහ් (දේවදූත සම්ප්‍රධායට) අනුව කුර්ආනය පාරායණය කිරීමේ ක්‍රම (කිරාඅත්) පිළිබඳ නිවැරදි හා ගැඹුරු දැනුමක් ඇති පුද්ගලයෙකු ද යවනු ලැබීය. එමගින් එම ප්‍රදේශවල ජනතාවට නිවැරදි පාරායණ ක්‍රම ප්‍රායෝගිකව ඉගැන්වීම සහ ආරක්ෂා කිරීම සහතික කරන ලදී.

(බලන්න: History of the Qur’anic Text, පිටුව 95; අබ්දුල් ෆත්තාහ් අල්-කාදීගේ Al-Qira’at fi Nazar al-Mustashriqin.)

උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා කිසිවක් විනාශ කළේ නැත

බොහෝ දෙනා අතර පවතින වැරදි අදහසක් වන්නේ, උස්මාන් (රලි) තුමා තමන්ගේ කාලයේත්, ඊට පෙරත් භාවිතයේ තිබූ අල් කුර්ආනයේත් යම් කොටසක් හෝ පිටපත් විනාශ කළ බවයි.

මෙම අදහස හේතු කිහිපයක් නිසා සම්පූර්ණයෙන්ම වැරදිය.

1.අප කලින් දුටු පරිදි, සෙයිද් ඉබ්නු තාබිත් (රලි) තුමා උස්මාන් (රලි) තුමාගේ කාලයේ සකස් කරන ලද මුස්හෆ් සහ අබූ බක්ර් (රලි) තුමාගේ කාලයේ සකස් කරන ලද ලිඛිත පිටපත් (සුහුෆ්) එකිනෙක සසඳා මෙසේ පැවසීය:

“මම මෙම මුස්හෆ් එම ලිඛිත පිටපත් (සුහුෆ්) සමඟ සසඳා බැලුවෙමි. ඒ දෙක අතර කිසිදු කරුණකින් වෙනසක් නො තිබුණි.” (මුෂ්කිලුල් ආසාර්, හදීස් අංක 2645)

එසේ ම, අබූ බක්ර් (රලි) තුමා කුර්ආනයෙන් යම් කොටසක් විනාශ කළ බව කිසිවෙකුත් කිසිදා ප්‍රකාශ කර නැත.

ඉහත හදීසය සැලකිල්ලට ගත් විට, තාර්කිකව ගත හැකි එකම නිගමනය වන්නේ, අබූ බක්ර් (රලි) තුමා කිසිවක් විනාශ නොකළා සේ ම, උස්මාන් (රලි) තුමා ද අල් කුර්ආනයෙන් කිසිවක් විනාශ නොකළ බව ය.

2. පහත සඳහන් වාර්තා දෙක විශේෂ අවධානයට ගත යුතු ය.

අලී (රලි) තුමා මෙසේ පැවසීය:

“උස්මාන් (රලි) තුමා ගැන යහපත හැර වෙන කිසිවක් නො කියන්න. අල්ලාහ්ගේ නාමයෙන් සත්‍යය ලෙස කියනවා නම්, ඔහු මසාහිෆ් සම්බන්ධයෙන් කළ සියල්ලක් ම අපගේ ඉදිරියේ ම සිදු කළේය. ඔහු අපෙන් මෙසේ ඇසීය: ‘මෙම කියවීම් (කිරාඅත්) පිළිබඳ ඔබලාගේ අදහස කුමක්ද? සමහරුන් තමන්ගේ කියවීම අනෙක් අයගේ කියවීමට වඩා හොඳයි කියමින් එකිනෙකාට කියන බවත්, එය කුෆ්ර් (අවිශ්වාසය) දක්වා ගෙන යා හැකි බවත් මට දැනගන්න ලැබී ඇත.’ අපි ඔහුට මෙසේ කීවෙමු: ‘ඔබගේ අදහස කුමක් ද?’ ඔහු කීවේ: ‘මගේ අදහස වන්නේ සියලු ම ජනතාව එක් මුස්හෆ් ග්‍රන්ථයකට එකඟ කරවිය යුතු බවයි. එවිට කිසිදු වෙනසක් හෝ විරසකයක් ඇති නො වේ.’ අපි කීවෙමු: ‘එය ඉතාමත් හොඳ යෝජනාවක්.’”

(කිතාබුල් මසාහිෆ්, හදීස් අංක 62; ආචාර්ය වායිස් විසින් සහීහ් ලෙස වර්ගීකරණය කර ඇත.)

අනස් (රලි) තුමා වාර්තා කරයි:

උස්මාන් (රලි) තුමාගේ කාලයේ අල් කුර්ආනය පිළිබඳව මිනිසුන් අතර මතභේද ඇති විය. එය ඉතා දුරදිග ගොස් ගුරුවරුන් සහ ගෝලයන් අතර පවා කියවීම් (කිරාඅත්) සම්බන්ධයෙන් වෙනස්කම් ඇති විය. මේ තත්ත්වය උස්මාන් (රලි) තුමාට දැනුම් දෙන ලදී.

එවිට ඔහු මෙසේ පැවසීය:

“මගේ ඉදිරියේ ම ඔබලා නිවැරදි (සහීහ්) කියවීම් ප්‍රතික්ෂේප කරමින් වැරදි කරන්නේ නම්, මගෙන් දුරින් සිටින අය එය තවදුරටත් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් වැරදි කරනු ඇත. අහෝ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සහාබාවරුනි, එකතු වී ජනතාව සඳහා අනුගමනය කළ යුතු එක් මුස්හෆ් එකක් ලියා සකස් කරන්න.”

(අල්-ඉත්කාන් 1/69)

ඒ අනුව පැහැදිලි වන්නේ උස්මාන් (රලි) තුමාගේ අරමුණ වූයේ සියලු ම සනාථ වූ (සහීහ්) කියවීම් (කිරාඅත්) ආරක්ෂා කරගැනීම සහ ඒවා තුළ සිදුවෙමින් පැවති වැරදි කියවීම් සහ විකෘතිතා ඉවත් කිරීමය.

මෙය කලින් සඳහන් කළ ගැටලු 1 සහ 2 අනුව ද පැහැදිලි වේ.

එම නිසා, ඔහු යම් දෙයක් “ඉවත් කළා” නම්, එය මතභේද සහ වැරදි කියවීම් ඇතිවීමට ඉඩ සලසන දේවල් පමණි. ඒ අතර, දේවදූත මුහම්මද්තුමාගෙන් සනාථ වූ සුලු භාෂාමය වෙනස්කම් සහ වලංගු විකල්ප කියවීම් ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවීය.

(ඉන්ෂාඅල්ලාහ්, “සුලු භාෂාමය වෙනස්කම්” පිළිබඳ විස්තරාත්මක ලිපියක් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.)

ලිඛිත පිටපත් (මසාහිෆ්) දහනය කිරීම

ඉහත සියලු කරුණු සැලකිල්ලට ගත් විට, උස්මාන් (රලි) තුමා සමහර ලිඛිත පිටපත් (මසාහිෆ්) දහනය කළේ ඇයි ද? යන්න පහසුවෙන් තේරුම් ගත හැක.

ඒවා නිසැකව ම පුද්ගලික ලිඛිත පිටපත් (personal manuscripts) වූ අතර, ඒවායේ අක්ෂර වින්‍යාස සම්ප්‍රදාය තුළ සනාථ වූ සියලු ම වලංගු විවිධ කියවීම් ආවරණය වී නො තිබුණි.

එවැනි පිටපත් භාවිතයේ පවතින විට, පසු ව පැමිණෙන පරපුරක් එම පිටපත් මත පමණක් පදනම්ව කුර්ආනය ඉගෙන ගන්නා අවස්ථාවක, ඔවුන්ගේ පිටපතේ ඇති කියවීම පමණක් නිවැරදි ය යැයි තීරණය කිරීමට ඉඩ තිබුණි. එමඟින්, අනෙක් සනාථ වූ කියවීම් ප්‍රතික්ෂේප කිරීමක් දක්වා යා හැකි අවදානමක්ද ඇති විය.

මෙයමය, උස්මාන් (රලි) තුමා කිරාඅත් සම්බන්ධයෙන් මතභේද, වැරදි අවබෝධ සහ ප්‍රතික්ෂේපී ආකල්ප ඇතිවීම ගැන සැලකිලිමත් වූ හේතුව ලෙස සඳහන් වන්නේ.

පුද්ගලික ලිඛිත පිටපත් තුළ, ඇතැම් අවස්ථාවල දී පුද්ගලයෙකු තම ගෝත්‍රයට අයත් අක්ෂර වින්‍යාස සම්ප්‍රදාය (tribal spelling convention) අනුගමනය කරමින් ලිවූ අවස්ථා ද තිබිය හැක.

එවැනි පිටපත්, එම ලේඛන සම්ප්‍රදාය පිළිබඳ පසුබිම් දැනුමක් නොමැති, හෝ ඒවා ලියා ඇති හේතු සහ නීති පිළිබඳව නොදන්නා පුද්ගලයෙකු විසින් අධ්‍යයනය කළහොත්, එය වැරදි අර්ථකථනයකට හෝ ගැටලුකාරී තත්ත්වයන්ට තුඩු දිය හැකි බවට භීතියක් පැවතුණි.

ඒ අනුව, එවැනි අවදානම් තත්ත්වයන් වළක්වා ගැනීම සඳහාම, සියලු ම ජනතාව එක ම නිල මුෂ්හෆ් පිටපතක් මත එකඟ කරවීමේ ක්‍රියාවලිය අනුගමනය කරන ලදී.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, උස්මාන් (රලි) තුමා විසින් ඇති විය හැකි අවදානම් මූලාශ්‍ර එනම් පුද්ගලික ලිඛිත පිටපත් (personal manuscripts)ඉවත් කිරීමට තීරණය කරන ලදී. එමඟින් මතභේද, වැරදි කියවීම් සහ විවිධ ලේඛන සම්ප්‍රදායන් නිසා ඇතිවිය හැකි ගැටලු වළක්වා ගැනීම අරමුණ විය.

මෙම ක්‍රියාවලිය සිදු කිරීමේදී, ඔහුට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන්ගේ සහය සහ එකඟතාව ද ලැබුණි. ඒ අනුව, මෙය එක් පුද්ගලයකුගේ තනි තීරණයක් නොව, සමූහ එකඟතාව මත ගත් සංවිධිත ක්‍රියාවක් ලෙස සැලකේ.

මුස්අබ් ඉබ්නු සාද් වාර්තා කරයි:

“උස්මාන් (රලි) තුමා ලිඛිත පිටපත් දහනය කරන විට, එහි බොහෝ පිරිසක් එහි සිටිනු මම දුටුවෙමි. ඔවුන් එය අනුමත කළහ.”

ඔහු තවදුරටත් පැවසීය: ඔවුන්ගෙන් කිසිවෙකුත් එයට විරුද්ධ වූයේ නැත.”

(කිතාබුල් මසාහිෆ්, හදීස් අංක 33; ඉබ්නු කථීර් සහ ආචාර්ය වායිස් විසින් සහීහ් ලෙස වර්ගීකරණය කර ඇත.)

සහාබාවරුන්ගේ එකඟතාව

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය උස්මාන් (රලි) තුමාගේ පෞද්ගලික අදහසක් හෝ එක් අයෙකුගේ තනි තීරණයක් නොවීය. එය ඒකාධිපති ලෙස බලහත්කාරයෙන් පනවා ඇති ක්‍රියාවක් ද නොවීය. වෙනුවට, මෙය සාමූහික කටයුත්තක් වූ අතර, එම කාර්යය සමූහ එකඟතාව මත සිදු කරන ලදී. ජනතාව ද එයට ඇතුළත් කරගෙන ක්‍රියාත්මක කරන ලදී.

සකස් කරන ලද මුස්හෆ් පිළිබඳව මෙසේ සඳහන් වේ:

“පසු ව එය උස්මාන් (රලි) තුමාගේ ඉදිරියේ සහාබාවරුන්ට කියවා පෙන්වනු ලැබීය.”

(ඉබ්නු කථීර්, ෆලායිල් අල්-කුරආන් 1/89)

මෙය ද, එම ක්‍රියාව සහාබාවරුන්ගේ සම්බන්ධතාවය සහ අනුමැතිය ඇතිව සිදු වූ එකක් බවට තවත් සාක්ෂියක් ලෙස සලකනු ලබයි.

උස්මාන් (රලි) තුමාගේ උත්සාහය වන සියලු ජනතාව එක් මුස්හෆ් එකක් අනුගමනය කිරීම පිළිබඳව අලී (රලි) තුමා මෙසේ පැවසීය:

“අල්ලාහ්ගේ නාමයෙන් සත්‍යය ලෙස කියනවා නම්, මම කටයුතු භාරව සිටියා නම්, මෙහි සිදු කරනු ලැබ ඇති දේම මා ද සිදු කරනු ඇත.”

(කිතාබුල් මසාහිෆ්, හදීස් අංක 62; ආචාර්ය වායිස් විසින් සහීහ් ලෙස වර්ගීකරණය කර ඇත.)

මෙය, උස්මාන් (රලි) තුමාගේ ක්‍රියාවලියට සහාබාවරුන් අතර තිබූ අනුමැතිය සහ එකඟතාව තවත් වරක් පැහැදිලි කරන ප්‍රකාශයක් ලෙස සැලකේ.

(කිතාබුල් මසාහිෆ්, හදීස් අංක 62; ආචාර්ය වායිස් විසින් සහීහ් ලෙස වර්ගීකරණය කර ඇත)

උස්මාන් (රලි) තුමාගේ මෙම උත්සාහයන් සම්බන්ධයෙන් සැලකූ විට, සහාබාවරුන් අතරින් ප්‍රධාන වශයෙන් සැක සංකා පළ කළ එක ම පුද්ගලයා ලෙස සඳහන් වන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමාය.

ඉන්ෂාඅල්ලාහ්, ඊළඟ ලිපියේ දී ඔහුගේ ප්‍රතිචාරය, ඒ සඳහා ඇති වූ හේතු, ඒ සම්බන්ධයෙන් ඇති අර්ථකථන සහ වැරදි අවබෝධයන් පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබේ.

Loading