පරිශුද්ධ අල්කුර්ආනයේ 2: 238 (අසර් නැමදුම් පිළිබඳ ව) වාක්‍යයේ විචල්‍යතාවය පිළිබඳ බොරුව හෙළිදරව් කිරීම

පරිශුද්ධ අල්කුර්ආන් විචල්‍යතාවයන් පිළිබඳ ඔහුගේ අසත්‍ය සමූහය තුළ සැම් ශමූන්, පරිච්ඡේද 2, වැකිය 238 ගැන සඳහන් කරමින්, ‘අස්ර්’ නැමදුම සම්බන්ධයෙන් “අතුරුදහන් වූ කොටසක්” ඇති බව පවසමින් ගැටලුවක් මතු කිරීමට උත්සාහ කරයි.

ඔහු මාලික්ගේ තුමාගේ ‘මුවත්තා’ ග්‍රන්ථයෙන් වාර්තා දෙකක් උපුටා දක්වයි; එකක් විශ්වාසවන්තයින්ගේ මෑණිය වන ආයිශා (රලි) තුමිය පිළිබඳ ව හා අනෙක හෆ්සා (රලි) මෑණිය පිළිබඳ ව ය. පහතින් අපි මෙම වාර්තාවන්හි යථාර්ථය පිළිබඳ එකින් එක විමසා බලමු.

ආයිශා (රලි) මෑණියගේ වාර්තාව:

මුවත්තා මාලික් ග්‍රන්ථයේ අපි මෙසේ දැකගත හැකි ය.

ආයිශා (රලි) තුමියගේ නිදහස් කරන ලද වහලෙකු වූ අබූ යුනුස් පහත පරිදි පවසන්නේය.

“ආයිශා මට ඇය වෙනුවෙන් කුර්ආනයක් ලියා දෙන ලෙස නියෝග කළාය. ඇය  සලාත් සහ මැද සලාතය ගැන සැලකිලිමත් වන්න, අල්ලාහ්ට අවනත ව සිටින්න’ යන වැකියට ඔබ ළඟා වූ විට මට දන්වන්න යැයි පැවසුවාය. මම ඒ ස්ථානයට ළඟා වූ විට ඇයට දැනුම් දුන්නෙමි. එවිට ඇය මට ‘සලාත් සහ මැද සලාතය ගැන සහ අස්ර් සලාතය ගැන සැලකිලිමත් වන්න, අල්ලාහ්ට අවනතව සිටින්න.’ යැයි ලියා ගන්නා මෙන් නියම කළාය. ආයිශා (රලි) මෑණිය පැවසුවේ, ‘මම මෙය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් වෙතින් ශ්‍රවණය කළෙමි.’ ”

(මුවත්තා හදීස් 288)

ඒ අනුව බැලූ විට පෙනී යන්නේ, ආයිශා (රලි) තුමිය සතු ව පරිශුද්ධ අල්කුර්ආනයේ  2: 238 වැකියේ වර්තමාන ස්ථාපිත පෙළෙහි නොමැති “සහ අස්ර් සලාතය” යන අමතර වචන තිබූ බව යි.

පහත කරුණු සලකා බලන්න.

ආයිශා (රලි) තුමිය මෙම වචන එකතු කළේ විවරණයක් (exegesis) ලෙසිනි:

ඊට සාක්ෂි මෙසේ ය;

1- පළමුවැන්න, ‘ඔබ මෙම වැකියට (ආයත්) ළඟා වූ විට මට දන්වන්න…’ යන ප්‍රකාශයෙන්ම පැහැදිලි වන්නේ, ‘අස්ර්’ සලාතය ගැන කිසිදු පැහැදිලි සඳහනකින් තොර ව එම වැකිය දැන සිටි බව යි. ආයිශා (රලි) තුමියට අනුව එම වැකිය ඇත්ත වශයෙන්ම ‘අස්ර්’ සලාතය ගැන වූ බැවින්, ඇයගේ පෞද්ගලික පිටපතෙහි එය විවරණයක් ලෙස පැහැදිලි ව සඳහන් කිරීමට ඇයට අවශ්‍ය වූවා ය.

2- ‘අස්ර්’ සලාතය පිළිබඳ වචන විචල්‍යතාවයක් (variant) නොව, විවරණාත්මක එකතු කිරීමකි. අරාබි අකුරක් වන ‘වාව්’ (و), සමහරු තර්ක කරන පරිදි පෙළෙහි ඇති වචන වෙන්කර හඳුනා ගැනීමට පමණක් භාවිතා වන සම්බන්ධක පදයක් නොවේ, එය පැහැදිලි කිරීමක් සඳහා ද (elucidation) භාවිතා වේ. ඉබ්නු කසීර් තුමා මෙසේ රචනා කරයි,

“එය (වාව් අකුර) අනිවාර්යයෙන්ම වෙන්කර හඳුනා ගැනීම සඳහා භාවිතා නොවන බවට සාක්ෂි බොහෝ වේ; … අරාබි භාෂාවේ එම අකුර ‘සායිදා’ (අමතර අර්ථයක් ලබා නොදෙන අකුරු) ලෙස භාවිතා විය හැකි ය. පරිශුද්ධ අල්කුර්ආනයේ  6:55 සහ 6:75 හි මෙනි. එසේත් නැතිනම් පරිශුද්ධ අල්කුර්ආනයේ  33:40 සහ 87:1-4 හි මෙන්, එය නාම පද සම්බන්ධ කිරීම සඳහා නොව, විශේෂණ සම්බන්ධ කිරීම සඳහා පමණක් භාවිතා විය හැකි ය.”

ඉන්පසු ව ඔහු ශ්‍රේෂ්ඨ අරාබි ව්‍යාකරණවේදියෙකු වන සීබවෙයි (Sibwiya) තුමාගේ උදාහරණයක් දක්වමින්, පහත දැක්වෙන වාක්‍යය වාක්‍ය ව්‍යුහය අනුව නිවැරදි බව පවසයි.

مررت بأخيك وصاحبك

“මම ඔබේ සහෝදරයා සහ (වාව් – යන අක්ෂරය) මිතුරා අසලින් ගියෙමි, යන වැකියේ ‘සහෝදරයා’ සහ ‘මිතුරා’ යන වචන දෙක ම එක ම පුද්ගලයෙකුට යොමු වුව ද එය නිවැරදි ය.

(තෆ්සීර් ඉබ්නු කසීර් 1/652, 2:238 යටතේ)

ඉංග්‍රීසි භාෂාවේ දී පවා, ඉහත පරිවර්තනයේ සඳහන් වන පරිදි ‘and’ (සහ) යන වචනය භාවිතා කිරීම කිසිදු විචල්‍යතාවයක් (variance) අදහස් නො කරයි.

3- පහත දැක්වෙන වාර්තාව ද මෙය ඔප්පු කරයි.

عن حميدة ابنة أبي يونس مولاة عائشة قالت: أوصت عائشة لنا بمتاعها، فوجدت في مصحف عائشة:”حافظوا على الصلوات والصلاة الوسطى وهي العصر وقوموا لله قانتين“.

ආයිශා (රලි) මෑණියගේ නිදහස් කරන ලද වහලෙකු වූ අබූ යුනුස්ගේ දියණිය වන හමීදා මෙසේ වාර්තා කළාය: “ආයිශා ඇයගේ භාණ්ඩ අපට අන්තිම කැමති පත්‍රයෙන් ලබා දුන්නාය. එවිට අපට ආයිශාගේ පරිශුද්ධ අල්කුර්ආන් පිටපතෙහි මෙසේ සඳහන්ව තිබී හමු විය. ‘සලාතයන් ගැනත්, මැද සලාතය ගැනත් – එය අස්ර් සලාතය යි – සැලකිලිමත් වන්න, තවද අල්ලාහ්ට අවනතව සිටින්න.'”

(තෆ්සීර් තබාරි 5/173, වාර්තාව 5393)

මෙහි “وهي العصر” (සහ එය අස්ර් සලාතය යි) යන වචන පැහැදිලිව ම පෙන්නුම් කරන්නේ, ඒවා පරිශුද්ධ අල්කුර්ආනයේ  සැබෑ පෙළෙහි කොටසක් නොව, විවරණාත්මක ස්වභාවයක් (exegetical nature) ගත්  කොටසක් බව යි.

මෙම වාර්තාව වාර්තා කරන තැනැත්තිය වන්නේ, මාලික්ගේ වාර්තාවේ දී ආයිශා (රලි) තුමිය වෙනුවෙන් කුර්ආනය ලියන ලෙස ඉල්ලා සිටි අබූ යුනුස්ගේ ම දියණිය වන හමීදා බව සලකන්න.

4- ආයිශා (රලි) තුමියගේ බෑණනුවන්ගෙන් ලැබෙන පහත වාර්තාව ද අපට පවසන්නේ එය ම යි.

عن القاسم بن محمد، عن عائشة في قوله:” الصلاة الوسطى”، قالت: صلاة العصر.

අල්ලාහ්ගේ වදන් වන ‘මැද සලාතය’ ගැන කාසිම් බින් මුහම්මද් හරහා ආයිශා (රලි) තුමියගෙන් වාර්තා වේ. ඇය පැවසුවේ.

‘[මෙය] අස්ර් සලාතය යි.’

(තෆ්සීර් තබරි 5/175, වාර්තාව 5396)

‘අස්ර්’ පිළිබඳ වචන ඇත්ත වශයෙන් ම පරිශුද්ධ අල්කුර්ආන් පෙළෙහි කොටසක් වූයේ නම්, එම චෝදනා කරන ලද එකතු කිරීමට පෙර තිබූ වචන ඇය විසින් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවනු ඇත. එසේ ම, එයට වෙනත් අර්ථයක් තිබුණේ නම්, ආයිශා (රලි) මෑණිය මෙවැනි පැහැදිලි කිරීමක් සිදු නොකරනු ඇත.

5- එසේ ම, නිල පරිශුද්ධ අල්කුර්ආන් සම්පාදනය තහවුරු කිරීම සඳහා උස්මාන් (රලි) තුමා විසින් ආයිශා (රලි) මෑණීයගෙන් සහ ඇය සතු ව තිබූ වාර්තාවලින් උපදෙස් ලබා ගැනීමට විශේෂ ප්‍රයත්නයක් දැරූ බවට සාක්ෂි අප සතු ය. (ඉබ්නු ශබ්බා ගේ තාරික් අල්-මදීනා’, පිටුව 997 බලන්න). ඇය මෙම වචන සැබෑ පරිශුද්ධ අල්කුර්ආන් පෙළෙහි කොටසක් ලෙස දැන සිටියේ නම්, ඇය එය ප්‍රසිද්ධියට පත් කරනු ඇත. නමුත් එවැනි දෙයක් කිසිවිටෙක සිදු නො වීය. මෙය අපගේ තර්කය තහවුරු කරයි.

හෆ්සා (රලි) මෑණියගේ වාර්තාව:

ආයිශා (රලි) මෑණියගේ වාර්තාවට ඉතා සමාන වාර්තාවක් එම ග්‍රන්ථයේ ම එනම්, මාලික් තුමාගේ  මුවත්තා’ හි සඳහන් වේ.

“අම්ර් ඉබ්නු රාෆි තුමා මෙසේ පවසයි: ‘මම විශ්වාසවන්තයින්ගේ මෑණිය වන හෆ්සා (රලි) තුමිය වෙනුවෙන් කුර්ආනයක් ලියමින් සිටියෙමි.’ ‘සලාතයන් සහ මැද යාඥාව ගැන සැලකිලිමත් වන්න, අල්ලාහ්ට අවනතව සිටින්න. ‘යන වැකියට ඔබ ළඟා වූ විට මට දන්වන්න’ යැයි ඇය මට පැවසුවාය. මම ඒ ස්ථානයට ළඟා වූ විට ඇයට දැනුම් දුන්නෙමි. එවිට ‘සලාතයන් සහ මැද සලාතය ගැන, සහ අස්ර් සලාතය ගැන සැලකිලිමත් වන්න, අල්ලාහ්ට අවනතව සිටින්න.’ ” යනුවෙන් ලියා ගැනීමට ඇය මටනියම කළාය”

(මුවත්තා හදීස් 289)

1-, 2- මෙම වාර්තාවේ පෙළ, ඉහත සඳහන් ආයිශා (රලි) තුමියගේ වාර්තාව සමඟ සංසන්දනය කරන විට, එයට අදාළව දක්වා ඇති 1) සහ 2) යන කරුණු මෙම වාර්තාව සඳහා ද වලංගු වේ.

3- පහත දැක්වෙන වාර්තාව, ඉහත (3) වන කරුණෙහි සඳහන් වාර්තාවට සෘජු ව ම සමාන වන අතර එහි ඇඟවුම් ද එලෙස ම වේ.

عَنْ عَمْرِو بْنِ رَافِعٍ ، قَالَ : كَانَ مَكْتُوبًا فِي مُصْحَفِ حَفْصَةَ بِنْتِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَى ، وَهِيَ صَلَاةُ الْعَصْرِ ، وَقُومُوا لِلَّهِ قَانِتِينَ

අම්ර් බින් රාෆි තුමාගෙන් වාර්තා වේ, ඔහු පවසන්නේ. “හෆ්සා බින්ත් උමර් (රලි) තුමියගේ පරිශුද්ධ අල්කුර්ආන් පිටපතෙහි මෙසේ ලියා තිබූ බව යි.  සලාතයන් ගැන ද, මැද සලාතය ගැන ද – එය අස්ර් සලාතය යි – සැලකිලිමත් වන්න, තවද අල්ලාහ්ට අවනතව සිටින්න.’

(අත්-තහාවි තුමාගේ මානි අල්-ආතාර් 1/293)

ඉහත විස්තර කර ඇති කරුණුවලින් තහවුරු වන්නේ චෝදනා කරන ලද මෙම විචල්‍යතාවය හුදු ප්‍රෝඩාවක් බව යි. තවද කිසිදු මුස්ලිම්වරයෙකුට මෙම වචන එකතු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට කිසිදු හේතුවක් නොමැති බව අප තේරුම් ගත යුතු ය. මන්ද ඒවා ඉස්ලාමීය විශ්වාස පද්ධතියට කිසිවක් එකතු කරන්නේ හෝ ඉන් කිසිවක් අඩු කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම, මෙම ගැටලුව සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් අතර කිසිදා මතභේදයක් තිබුණේ නැත.

එහෙත් බයිබලය සම්බන්ධයෙන් ගත් කල, අපට ඉතා කැපී පෙනෙන උදාහරණ කිහිපයක් තිබේ. ආයිශා (රලි) සහ හෆ්සා (රලි) තුමියන්ගේ විවරණාත්මක එකතු කිරීම් මගින් කිසිදා පරිශුද්ධ අල්කුර්ආනයේ  සත්‍යතාව හීන නොවූ අතර මුස්ලිම්වරුන් අතර කිසිදු මතභේදයක් ඇති නොවූ අතර, බයිබලයේ එවැනි ඇතුළත් කිරීම් නිසා ක්‍රිස්තියානි ප්‍රජාව විශාල අපහසුතාවයකට පත් වූ අවස්ථා අපට දැක ගත හැකි ය.

මෙම පසුබිම තුළ කලින් සාකච්ඡා කරන ලද ‘කොමා ජොහැනියම්’ (Comma Johanneum) උදාහරණය ඉතා වැදගත් වේ. බෲස් එම්. මෙට්ස්ගර් (Bruce M. Metzger) සියලු ම මුල් අත්පිටපත්වල එහි නොපැවතීම පිළිබඳ ව විස්තර ලබා දීමෙන් පසු මෙසේ පවසයි;

පැහැදිලිව ම, මුල් පාඨය ත්‍රිත්වවාදය සංකේතවත් කරන බව වටහා ගත් විට (සාක්ෂිකරුවන් තිදෙනා වන ජීවය, ජලය සහ රුධිරය සඳහන් කිරීම තුළින්) මෙම අතිරේක කොටස (gloss) මතු වී ඇත. මෙම අර්ථකථනය මුලින් ම ආන්තික සටහනක් ලෙස ලියා පසුව පෙළෙහි කොටසක් බවට පත් වූවා විය හැකි ය.”

(A Textual Commentary on the Greek New Testament, එක්සත් බයිබල් සමිති ප්‍රකාශනය, ස්ටුට්ගාර්ට් 1975, පිටුව 716. අවධාරණය මා විසිනි .)

සාරාංශය:

සහාබාවරුන් හෙවත් මුහම්මද් නබිතුමගේ සමකාලීන අනුගාමිකයින්  පරිශුද්ධ අල්කුර්ආනය සමඟ විවරණාත්මක වචන එකතු කර තබා ගැනීම අමුතු දෙයක් නොවේ. මෙයට හේතුව වූයේ, සැබෑ පරිශුද්ධ අල්කුර්ආන් පාඨය සම්බන්ධයෙන් ස්ථාපිත වී තිබූ ‘තවාතුර්’ (Tawatur – අතිශය විශ්වාසනිය අවිච්ඡින්න වූ අනුප්‍රාප්තික වාර්තාමය ක්‍රමය) පිළිබඳ ඔවුන් සතුව තිබූ නිසැකභාවය යි. එමගින්, එකතු කරන ලද විවරණාත්මක වචන කිසිවිටෙකත් පොදුවේ පරිශුද්ධ අල්කුර්ආන් පාඨය සමඟ පටලවා නොගන්නා බව ඔවුහු දැන සිටියහ. එක් අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ ව්‍යාකූලත්වය නිසා සත්‍යයට කිසිදු හානියක් සිදු නොවන අතර, පරිශුද්ධ අල්කුර්ආන් පාඨ පිළිබඳ මුස්ලිම් සමාජයේ පූර්ණ එකඟතාවය ඔවුන්ගේ විශ්වාසයේ සත්‍යතාව තහවුරු කරයි.

අනෙක් අතට, ක්‍රිස්තියානි ශුද්ධ ලියවිලි සම්බන්ධයෙන් මෙවැනි ම සිදුවීම් විශාල මතභේදයන්ට තුඩු දී ඇත. අදටත්, ක්‍රිස්තියානි ලෝකයෙන් බහුතරයක් 1 යොහන් 5:7 හි ඇති එම විවරණාත්මක එකතු කිරීම, ‘දෙවියන් වහන්සේගේ වචනය’ ලෙස සලකමින් කියවති. අන් අයගේ ශුද්ධ ග්‍රන්ථ සම්බන්ධයෙන් ‘අවධානය’ යොමු කිරීමට පෙර, ක්‍රිස්තියානුවන් තමන්ගේ ග්‍රන්ථවල ඇති එම අවුල්සහගත තත්ත්වය පළමුව විසඳා ගත යුතු ය.

නැවතත් අපට පෙනී යන්නේ, ශුද්ධ පරිශුද්ධ අල්කුර්ආනයේ  සත්‍යතාව ප්‍රශ්න කිරීමට උත්සාහ කරන එම පදනම් මත ම ක්‍රිස්තියානි ශුද්ධ ලියවිල්ලේ යථාර්ථය හෙළිදරව් වී ඇති බව යි!

සැබවින්ම, අල්ලාහ් සියල්ල දනී!

Loading