උස්මාන් (රලි) තුමාගේ කාලයේ කුර්ආනය සංරක්ෂණය කිරීම සඳහා ගත් උත්සාහයන් පිළිබඳ ඉබ්නු මස්ඌද් (රලි) තුමාගේ ප්‍රතිචාරය පෙරදිග විද්වතුන් (Orientalists) සහ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ විශේෂ අවධානයට ලක්වූ විෂයයකි. මෙම ලිපිය තුළ, එම කාරණය සම්බන්ධයෙන් පතුරුවා ඇති අසත්‍ය චෝදනාවන් වලට සත්‍ය සහ තර්කානුකූල පිළිතුරක් ඉදිරිපත් කරමු.
පළමුවෙන් ම, උස්මාන් (රලි) තුමාගේ කාලයේ අල් කුර්ආනය සංරක්ෂණය කිරීම සඳහා ගනු ලැබූ පියවර පිළිබඳ විස්තරය අධ්‍යයනය කළ යුතු ය. එය මෙතැනින් (HERE) සොයාගත හැක.
ඉබ්න් මස්ඌද් (රලි) තුමාගේ ප්‍රතිචාරය
මුලින් ම, ඉබ්නු මස්ඌද් (රලි) තුමාගේ ප්‍රතිචාරය පෙන්නුම් කරන පුවත විමසා බලමු. එමගින් ඔහුගේ විරෝධතාවයට හේතු වූ කරුණු මොනවා දැයි තේරුම් ගත හැක.
Jami’ al-Tirmidhi හි, උබෙයිදුල්ලාහ් බින් අබ්දුල්ලාහ් මෙසේ ප්‍රකාශ කළ බව වාර්තා වේ:
“අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රලි) තුමා සෙයිද් ඉබ්න් තාබිත් (රලි) තුමාණන් විසින් මුස්හෆ් (අල් කුර්ආනයේ ලිඛිත පිටපත්) ලිවීම පිළිබඳ අප්‍රසාදය පළ කළේය. ඔහු මෙසේ පැවසීය.
අහෝ මුස්ලිම් ජනතාවනි, මේ මිනිසාගේ මුස්හෆ් පිටපත් කිරීමෙන් සහ ඔහුගේ කියවීම අනුගමනය කිරීමෙන් වළකින්න. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි! මම ඉස්ලාමය පිළිගත් අවස්ථාවේ දී ඔහු (සෙයිද් ඉබ්න් තාබිත්) අවිශ්වාසියෙකුගේ තුනටියෙහි (එනම් උපත ලබා නොසිටි) සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ම ඉබ්න් මස්ඌද් (රලි) තුමා තවදුරටත් මෙසේ පැවසීය. ‘ඉරාකයේ ජනතාවනි, ඔබ සතුව ඇති මුස්හෆ් (ලිඛිත අල් කුර්ආන් ග්‍රන්ථ) තබා ගන්න. ඒවා සඟවා තබන්න. මන්ද, අල්ලාහ් මෙසේ පවසා ඇත: “යම් කෙනෙක් යමක් සඟවන්නේ නම්, විනිශ්චය දිනයේ ඔහු සඟවා තැබූ දේ රැගෙන පැමිණෙනු ඇත.” එබැවින්, අල්ලාහ්ව මුස්හෆ් සමඟ හමුවන්න.’ (Jami’ al-Tirmidhi, හදීස් අංක 3104)
සටහන: ඉහත පරිවර්තනය Acts-17 Ministry බ්ලොග් අඩවියෙන් උපුටාගෙන ඇත. එම පරිවර්තනයේ වැදගත්කම කුමක් ද? යන්න සහ එය මෙහි සඳහන් කළේ ඇයි ද? යන්න ඉදිරියේදී විස්තර කරනු ඇත. එතෙක් මඳක් ඉවසන්න!
ඉබ්නු මස්ඌද් (රලි) තුමාගේ විරෝධතාවයට හේතු වූ කරුණු මොනවාද?
1. පෙනෙන ආකාරයට, ඉබ්නු මස්ඌද් (රලි) තුමාගේ පළමු විරෝධතාවය වූයේ, කුර්ආනය එක්රැස් කිරීමේ මෙම ගෞරවනීය කාර්යයෙන් තමන්ව ඉවත් කර, තමන්ට වඩා බොහෝ තරුණ වූ සෙයිද් ඉබ්න් තාබිත් එම කාර්යය සඳහා පත් කළ කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීමය.
2. දෙවන විරෝධතාවය වූයේ, තමන් සතුව තිබූ මුස්හෆ් (කුර්ආනයේ පෞද්ගලික ලිඛිත පිටපත) අත්හැර දමා, සෙයිද් ඉබ්න් තාබිත්ගේ ප්‍රධානත්වයෙන් සකස් කළ මුස්හෆ් පිළිගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා සිටීමය.
Al-Mustadrak ala al-Sahihayn හි සඳහන් වන පරිදි, Abu Musa al-Ash’ari සහ Hudhayfah ibn al-Yaman ඔහුගේ පෞද්ගලික කුර්ආන් පිටපත (මුස්හෆ්) භාරදෙන ලෙස ඉබ්නු මස්ඌද් (රලි) තුමාව ඒත්තු ගැන්වීමට උත්සාහ කළ විට, ඔහු මෙසේ පැවසීය:
“අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි! මම මෙම මුස්හෆ් ඔවුන්ට භාර නො දෙමි. අල්ලාහ්ගේ දූතයාණෝ මට සූරා හැත්තෑවකට වඩා වැඩි ප්‍රමාණයක් ඉගැන්වූහ. දැන් මම මේ (මුස්හෆ්) ඔවුන්ට භාරදිය යුතු ද? අල්ලාහ්ගේ නාමයෙන් දිවුරා කියමි! මම එය ඔවුන්ට භාර නො දෙමි.”
(Al-Mustadrak ala al-Sahihayn, හදීස් අංක 2896. Al-Hakim al-Naysaburi සහ Al-Dhahabi විසින් ඉතා නිවැරදි (සහීහ්) ලෙස ශ්‍රේණිගත කර ඇත.
ඉබ්නු මස්ඌද් (රලි) තුමාගේ ප්‍රධාන විරෝධතාවය වූයේ තම පෞද්ගලික මුස්හෆ් භාරදෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටීමය. එමෙන් ම, එය තමන්ට වඩා බොහෝ තරුණ වූ සෙයිද් බින් තාබිත්ගේ ප්‍රධානත්වයෙන් සකස් කරන ලද මුස්හෆ් වෙනුවෙන් ලබා දිය යුතු බව දැනගත් විට ඔහුගේ අප්‍රසාදය තවත් වැඩි විය. මෙය කියවන විට, ඉබ්නු මස්ඌද් (රලි) තුමාගේ උසස් ස්ථානය, දැනුම සහ ඉස්ලාමයේ ඔහුට තිබූ විශිෂ්ට ගෞරවය ද සැලකිල්ලට ගත යුතු ය.
ඇත්ත වශයෙන් , සෙයිද් බින් තාබිත්ගේ එම කාර්යයේ ප්‍රධානියා වීම පමණක් ඉබ්න් මස්ඌද් (රලි) තුමා තුළ මෙතරම් දැඩි ප්‍රතිචාරයක් ඇති කළේ යැයි සිතිය නො හැක. මන්ද, අබූ බක්ර් තුමාගේ කාලයේ ද අල් කුර්ආනය එක්රැස් කිරීමේ සමාන වගකීමක් සෙයිද් බින් තාබිත්තුමාට පැවරූ අවස්ථාවේ දී ඉබ්නු මස්ඌද් (රලි) තුමා කිසිදු කෝපයක් හෝ විරෝධයක් ප්‍රකාශ කළ බව වාර්තා නො වේ. එබැවින්, සැබෑ ගැටලුව වූයේ තම පෞද්ගලික මුස්හෆ් භාරදෙන ලෙස ඉල්ලා සිටීම බව පෙනී යයි.
අල් කුර්ආන් පාඨයටන්හි කිසිදු වෙනසක් නො තිබුණි.
ඉබ්නු මස්ඌද්තුමාගේ අත්පිටපත සහ නිල මුස්හෆ් අතර සැබෑ අල් කුර්ආන් පාඨ පෙළ සම්බන්ධයෙන් කිසිදු වෙනසක් නො තිබුණි. මෙය පහත කරුණු මඟින් පැහැදිලි වේ.
අබූ බකර්ගේ පාලන සමයේ දී ද සෙයිද් ඉබ්න් තාබිත් කුර්ආනය එකතු කිරීමේ සමාන කාර්යයක් ඉටු කළේය. එම අවස්ථාවේ ඉබ්න් මස්ඌද් කිසිදු විරෝධයක් හෝ අප්‍රසාදයක් ප්‍රකාශ කළේ නැත.
උස්මාන්තුමාගේ පාලන සමයේ සෙයිද්තුමාණන් විසින් මුස්හෆ් සම්පූර්ණ කිරීමෙන් පසු ව, එය අබූ බකර්තුමාගේ සමයේ සකස් කරන ලද සුහුෆ් (ලේඛණ) සමඟ සසඳා බැලීය. එම සැසඳීමෙන් අල් කුර්ආන් පාඨ පෙළෙහි කිසිදු වෙනසක් නොමැති බව තහවුරු විය.
ඔහු මෙසේ සාක්ෂි දී ඇත:
“මම මෙම මුස්හෆ් එම ලිඛිත පිටපත් (සුහුෆ්) සමඟ සසඳා බැලුවෙමි. ඒ දෙක අතර කිසිදු කරුණකින් වෙනසක් නො තිබුණි.” (මුෂ්කිලුල් ආසාර්, හදීස් අංක 2645)
මෙය අපව තාර්කික නිගමනයකට ගෙන යයි: ඉබ්න් මස්ඌද්තුමාගේ මුස්හෆ් සහ නිල මුස්හෆ් අතර මූලික පෙළ සම්බන්ධයෙන් කිසිදු සැලකිය යුතු වෙනසක් නො තිබුණි.
ඇත්ත වශයෙන් ම, අසතුටට හේතුව වූයේ ඉහත විස්තර කළ කරුණ ම ය.
ඉබ්නු මස්ඌද්තුමාට ඔහුගේ මුස්හෆ් (ලිඛිත ග්‍රන්ථය) අත්හැරීමට ඉල්ලා සිටියේ ඇයි?
මෙයින් අපි තවත් ප්‍රශ්නයකට එළඹෙමු. එනම් ඉබ්නු මස්ඌද්තුමාට ඔහුගේ මුස්හෆ් (ලිඛිත ග්‍රන්ථය) අත්හැරීමට ඉල්ලා සිටියේ කුමන හේතුව නිසා ද?
මෙම ප්‍රශ්නයට පිළිතුර, උස්මාන් (රලි) තුමා විසින් අල් කුර්ආනය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ගත් උත්සාහයන් පිළිබඳ මගේ ලිපියේ දැනටමත් පැහැදිලි කර ඇත්තෙමි. එනම්, ඇතැම් අවස්ථාවල දී පෞද්ගලික මසාහිෆ් (අත්පිටපත්) තුළ අනුමත කර ඇති කියවීම් ක්‍රම (qirāʾāt) සියල්ල ඇතුළත් නොවූ බව ය.
ඉබ්න් මස්ඌද්තුමා වැනි උසස් විද්වතුන් විසින්, එමෙන් ම නබිතුමාණන් වෙතින් සෘජුව ම ඉගෙන ගත් මුස්හෆ් පවා කිසිසේත් වැරදි ලෙස සැලකිය නොහැකි අතර ඒවාට විරුද්ධ විය ද නො හැකිය. නමුත් ඒවා සියලු ම අනුමත වූ විවිධ කියවීම් සම්පූර්ණයෙන් ඇතුළත් නොකරන ලද බව ප්‍රතික්ෂේප කළ ද නො හැකිය.
උස්මාන් (රලි) තුමාණන් විසින් මෙම පෞද්ගලික මසාහිෆ් විනාශ කිරීමට නියෝග කළේ, සිදුවිය හැකි ගැටුම් හා ව්‍යාකූලතා වළක්වා ගැනීම සඳහා ය. එයට හේතුව, සියලු ම අනුමත කියවීම් දැනටමත් නිල වශයෙන් සකස් කරන ලද මුස්හෆ් තුළ ආරක්ෂා කර තිබීම ය.
මෙම අදහස සත් අහ්රුෆ් (Seven Ahruf) පිළිබඳ කරුණු මත පදනම් වන බැවින්, ක්‍රිස්තියානි මිෂනාරීවරුන් එයට ප්‍රතික්‍රියා දැක්වීමට උත්සාහ කර ඇත්තේ සත් අහ්රුෆ් පිළිබඳ විශාල පරිමාණයේ අර්ථකථන වෙනස්කම් සඳහන් කරමින් මෙන් ම, ඉබ්නු මස්උද්තුමාගේ මුස්හෆ්හි සූරා තුනක් (අංක 1, 113 සහ 114) නොතිබූ බව කියන අභියෝගය ද ඉදිරිපත් කරමිනි.
සත් අහ්රුෆ් (Seven Ahruf) සම්බන්ධයෙන්, ඉන්ශාඅල්ලාහ්, එම විෂය පිළිබඳව පුළුල් ව සාකච්ඡා කරන පත්‍රිකාවක් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එම පත්‍රිකාව මගින් ඒ පිළිබඳ ව ඇති වැරදි අවබෝධයන් දුරු කරනු ඇත. ඉබ්නු මස්ඌද්තුමාගේ අත්පිටපතේ ඇති සූරා සංඛ්‍යාව පිළිබඳව ද, එම විෂයයට ම වෙන් වූ තවත් විෂය කරුණු පිළිබඳව ද ඉදිරි ලිපියක දී සම්පූර්ණයෙන් ම සාකච්ඡා කරනු ඇත.
මෙම කරුණු සංකීර්ණ ස්වභාවයකින් යුක්ත වන අතර ඒවා එකිනෙක සමඟ සම්බන්ධිත බැවින්, මට කළ හැකි එක ම විකල්පය වන්නේ පාඨකයන් පෙර ලිපි වෙත නැවත යොමු කිරීම හෝ ඉදිරි ලිපි සඳහා රැඳී සිටින ලෙස ඉල්ලා සිටීමය.
ඉබ්නු මස්උද් (රලි) තුමා අල් කුර්ආනය කියවීමේ දී සහාබාවරුන්ට චෝදනා කළේ ද?
මෑත කාලයේ ක්‍රිස්තියානි මිෂනාරීවරුන්, සමහර විට ඉබ්නු සඅද්ගේ තබකාත් අල්-කුබ්රා (Tabaqat al-Kubra), එනම් කිතාබ් අල්-තබකාත් අල්-කබීර් ලෙස ද හඳුන්වන කෘතියේ සඳහන් එක් වාර්තාවක් භාවිතා කරමින් මෙම ප්‍රකාශය ඉදිරිපත් කර ඇත.
ඔවුහු එම වාර්තාව පහත පරිදි ඉදිරිපත් කරති:
“ඉබ්නු මස්ඌද් අද පවතින කුර්ආනය, එනම් සෙයිද් විසින් එකතු කරන ලද මුස්හෆ් පිළිබඳ ඉහළ අදහසක් නො දැරීය. තමන් ව සෙයිද් සමඟ සසඳමින් ඔහු මෙසේ පවසයි:”
“ජනතාව කුර්ආනය කියවීමේ දී වංචාවකට (රැවටීමකට) වැටී ඇත. මම, මා වඩාත් ආදරය කරන නබිතුමාගේ කියවීම අනුව කියවීම, සෙයිද් ඉබ්නු තාබිත්ගේ කියවීමට වඩා වඩාත් කැමතියි. අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැතැයි දිවුරමින් කියමි! මම නබිතුමාගේ තොල්වලින් සූරා හැත්තෑකට වඩා ඉගෙන ගත්තෙමි. ඒ වෙලාවේ සෙයිද් ඉබ්නු තාබිත් තරුණයෙක්ව සිටි අතර ඔහුගෙ කොණ්ඩෙ ගෙත්තම් දෙකක් පිහිටන සේ ගොතා තිබූ අතර තරුණයන් සමඟ ක්‍රීඩා කරමින් සිටියේය.”
(Kitab al-Tabaqat al-Kabir, වෙළුම 2, පිටුව 444) මෙය වැරදි පරිවර්තනයකි. නිවැරදි පරිවර්තනය විය යුත්තේ පහත පරිදි ය:
“එබැවින් එම ලිඛිත පිටපත් සඟවන්න. සෙයිද් ඉබ්න් තාබිත්ගේ පාරායණයට අනුව කියවීමට වඩා මම වඩාත් කැමති, මම වඩාත් ආදරය කරන ඔහුගේ (මුහම්මද්තුමාගේ) පාරායණයට අනුව කියවීමටය. අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති ඔහුගේ නාමයෙන් දිවුරමි! එකළ සෙයිද් ඉබ්නු තාබිත් තරුණයෙක්ව සිටි අතර ඔහුගෙ කොණ්ඩෙ ගෙත්තම් දෙකක් පිහිටන සේ ගොතා තිබුණි. ඔහු තරුණයන් සමඟ ක්‍රීඩා කරමින් ද සිටියේය, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ මුවින් සූරා (පරිච්ඡෙද) හැත්තෑවකට වඩා සෘජුව ම ඉගෙන ගතිමි.”
මිෂනාරිවරුන් විසින් ඉදිරිපත් කළ පරිවර්තනයට “අල් කුර්ආනය කියවීමේ දී” යන වචන එකතු කිරීමට හේතු වූයේ කුමක් දැයි? දන්නේ අල්ලාහ් පමණි. පහත දැක්වෙන මුල් අරාබි පාඨය බලන්න. එවිට ඒ පිළිබඳ ඔබේ ම නිගමනයකට පැමිණිය හැකි ය.
فَغَلَّوُا الْمَصَاحِفَ. فَلأَنْ أَقْرَأَ عَلَى قِرَاءَةِ مَنْ أُحِبُّ أَحَبَّ إِلَيَّ مِنْ أَنْ أَقْرَأَ عَلَى قِرَاءَةِ زَيْدِ بْنِ ثابت. فو الذي لا إِلَهَ غَيْرُهُ لَقَدْ أَخَذْتُ مِنْ فِيِّ رَسُولِ اللَّهِ – صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ – بِضْعًا وَسَبْعِينَ سُورَةً. وَزَيْدُ بْنُ ثَابِتٍ غُلامٌ لَهُ ذُؤَابَتَانِ يَلْعَبُ مَعَ الْغِلْمَانِ
එබැවින් මිෂනාරිවරුන් විසින් ඉදිරිපත් කර ඇති පරිවර්තනයේ “ඝල්ල” යන වචනයට “වංචා කිරීම” යන අර්ථය ලබා දී ඇත. එහෙත් එම වචනයේ මූලික අර්ථය මෙන් ම මෙහි අදහස් කර ඇත්තේ “සඟවා තැබීම” හෝ “සඟවා ගැනීම” යන්නයි. මේ සඳහා මා ඉදිරිපත් කරන සාක්ෂි පහත දැක්වේ.
- Jami’ al-Tirmidhi හි සඳහන් සමාන වාර්තාවක භාවිතා කර ඇති වචන මෙසේය.
قَالَ عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ: ” يَا أَهْلَ العِرَاقِ اكْتُمُوا المَصَاحِفَ الَّتِي عِنْدَكُمْ وَغُلُّوهَا فَإِنَّ اللَّهَ يَقُولُ: {وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ القِيَامَةِ} فَالقُوا اللَّهَ بِالمَصَاحِفِ
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් මෙසේ පැවසීය.
“ඉරාකයේ ජනතාවනි, ඔබ සතුව ඇති මුස්හෆ් (අල් කුර්ආන් පිටපත්) ආරක්ෂා කර තබාගන්න, ඒවා සඟවා තබන්න. මන්ද අල්ලාහ් මෙසේ පවසා ඇත: ‘යමෙක් යමක් සඟවන්නේ නම්, විනිශ්චය දිනයේ දී ඔහු සඟවා තැබූ දේ සමඟ ම පැමිණෙනු ඇත.’ එබැවින් ඔබේ මුස්හෆ් සමඟ අල්ලාහ් ව හමුවන්න.”
(Jami’ al-Tirmidhi, හදීස් අංක 3104)
මෙය විශේෂයෙන් සටහන් කරගන්න. මෙය ඔවුන් විසින් ම ඉදිරිපත් කළ පරිවර්තනය වන අතර, මෙහි ” ඝල්ල” “සඟවා තැබීම” (conceal) ලෙස පරිවර්තනය කර ඇත.
එසේම, මෙම වාර්තාවේ අවසානයේ “ඔබගේ මුස්හෆ් (අල් කුර්ආන් පිටපත්) සමඟ අල්ලාහ්ව හමුවන්න” යනුවෙන් සඳහන් වේ. දැන් ” ඝල්ල” යන්න”වංචා කිරීම” (deceit) ලෙස පරිවර්තනය කළහොත්, මෙම ප්‍රකාශයේ සමස්ත අර්ථය කුමක් වනු ඇත්ද?
2. Kitab al-Masahif හි සඳහන් වාර්තාවක, Khumayr bin Malik මෙසේ පවසයි:
سَمِعْتُ ابْنَ مَسْعُودٍ يَقُولُ: ” إِنِّي غَالٌّ مُصْحَفِي، فَمَنِ اسْتَطَاعَ أَنْ يَغُلَّ مُصْحَفًا فَلْيَغْلُلْ، فَإِنَّ اللَّهَ يَقُولُ: {وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ}
“ඉබ්නු මස්ඌද්තුමා මෙසේ පවසනු මම අසා ඇත්තෙමි: ‘මම මගේ මුස්හෆ් (අල් කුර්ආන් පිටපත) සඟවා තැබුවෙමි. යමෙකුට තම මුසහෆ් එකක් සඟවා තැබීමට හැකි නම්, ඔහු එසේ කළ යුතු ය. මන්ද අල්ලාහ් මෙසේ පවසයි: ‘යමෙක් යමක් සඟවන්නේ නම්, විනිශ්චය දිනයේ දී ඔහු සඟවා තැබූ දේ සමඟ පැමිණෙනු ඇත.’” (Kitab al-Masahif, වාර්තාව අංක 52)
දැන් “ඝල්ල” යන්න “වංචා කිරීම” (to deceive) ලෙස පරිවර්තනය කළහොත්, ඉහත වාර්තාවේ අර්ථය අනුව ඉබ්න් මස්ඌද් මෙසේ පැවසූ බවට පත්වේ:
“මම මගේ මුස්හෆ් එකට වංචා කළෙමි.”
මෙය කුමන තර්කානුකූල අර්ථයක් දරන්නේද? තර්ක බුද්ධියෙන් මෙතරම් ඈත් විය යුතු ද? සාමාන්‍ය බුද්ධිය එතරම් නරක දෙයක් නො වේ.
එම වාර්තාවේ වෙනත් ආකාර ද පවතින අතර, ඒවා පෙන්වා දෙන්නේ මෙහි “ඝල්ල”යන්න කිසිසේත් ම “වංචා කිරීම” යන අර්ථයෙන් ගත නොහැකි බව යි.
ඉහත සාකච්ඡා කළ සියලු ම වාර්තාවල දී, ඉබ්නු මස්ඌද් ජනතාවට තම මුස්හෆ් (අත්පිටපත්) සඟවා තබන ලෙස පැවසුවේ, ඒවා ඔහුගේ ම පෞද්ගලික මුස්හෆ් මත පදනම් වූ බැවිනි. ඉහත සඳහන් කළ ඔහුගේ අසතුට හේතුවෙනි ඔහු මුලින් ම මෙලෙස ප්‍රතිචාර දැක්වූයේ.
ජේම්ස් වයිට්ගේ බොරුව!
මෙම කරුණ සම්බන්ධයෙන් ඔවුන් විසින් ම කතා ගොතන අවස්ථා ද අපට හමුවන විට, මෙය කිසිසේත් ම පුදුමයට කරුණක් නො වේ.
මුස්ලිම් විද්වතෙකු වන ශබීර් අලී සමඟ පැවති එක් විවාදයක දී, ජේම්ස් වයිට් මෙසේ චෝදනා කළේය. ඉබ්නු මස්ඌද් තම මුස්හෆ් (අල් කුර්ආන් අත්පිටපත) භාර නොදුන් නිසා පහර කෑ බවත්, අවසානයේ එම හේතුව නිසා ම මිය ගිය බවත් ය. මෙම වීඩියෝවේ සාක්ෂිය බලන්න. ඔහු තම ප්‍රකාශය සඳහා අබූ අම්මාර් යාසිර් කාදිගේ “An Introduction to the Sciences of the Quran” නම් ග්‍රන්ථයෙන් උපුටා දක්වන බව පැවසූ නමුත්, එම ග්‍රන්ථයේ එවැනි සඳහනක් කිසිඳු තැනක හමු නො වේ. ඔවුන්ට කළ හැකි හොඳ ම දෙය එය යි.
ඉබ්නු මස්ඌද්තුමා පසු ව උස්මාන්තුමා සමඟ එකඟ වූවා ද?
ඉබ්නු මස්ඌද් මුල දී දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූ බව අපි දනිමු. නමුත් පසු ව ඔහු උස්මාන් සහ අනෙකුත් සහාබාවරුන් සමඟ එකඟ වූවා ද? ඔව්, ඔහු එසේ කළේය. ඔහු තම පෞද්ගලික මුස්හෆ් (අල් කුර්ආන් පිටපත) අත් නොහළ නමුත්, සෙයිද් බින් තාබිත්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන ලද උස්මාන්තුමාගේ සැලැස්මේ මූලික අදහස සමඟ ඔහු එකඟ විය.
ඉබ්න් කසීර්තුමා අපට මෙසේ පවසයි.
“උස්මාන්තුමා ඔහුට (ඉබ්නු මස්ඌද්ට) ලිපියක් යවමින්, සහාබාවරුන් එකඟ වූ කරුණ අනුගමනය කරන ලෙස ඔහුට දන්වා සිටියේය. එය එහි ප්‍රතිලාභ නිසාත්, අදහස්වල එකමුතුවට සහ මතභේද අවසන් කිරීමට හේතු වන නිසාත් ය. එබැවින් ඔහු (ඉබ්නු මස්ඌද්) ඒ දෙසට නැඹුරු වී, එය අනුගමනය කිරීමටත්, විරුද්ධතාවය අත්හැරීමටත් එකඟ විය.”
(Al-Bidaya wa al-Nihaya, 7/217)
ඉබ්න් කසීර්තුමා තවදුරටත් පැහැදිලි කරන්නේ, මෙවැනි මූලික කරුණක් සම්බන්ධයෙන් ඉබ්නු මස්ඌද් එකඟ වීම ස්වාභාවික දෙයක් බවය.
ඔහු මුලින් ම පහත සඳහන් වාර්තාව උපුටා දක්වයි:
අබ්දුර් රහ්මාන් බින් යසීද් මෙසේ පැවසීය:
“අබ්දුල්ලාහ් බින් මස්ඌද් මීනාහි මස්ජිදයට ඇතුළු විය. ඔහු විමසුවේ: ‘විශ්වාසවන්තයන්ගේ නායකයා (එනම් උස්මාන්) ලුහර් සලාතයේ රකඅත් කීයක් ඉටු කළා ද?’ යනුවෙනි.
ජනතාව පිළිතුරු දුන්නේ: ‘(ඔහු) රකඅත් හතරක් ඉටු කළා’ යනුවෙනි.
එවිට ඉබ්න් මස්ඌද් ද රකඅත් හතරක් ඉටු කළේය.
ජනතාව ඔහුගෙන් ඇසුවේ: ‘අල්ලාහ්ගේ දූතයාණන් (අල්ලාහ්ගේ ආශිර්වාදය හා ශාන්තිය ඔහු කෙරෙහි වේවා), අබූ බක්ර් සහ උමර් (මීනාහි ලුහ්ර් සලාතයේ දී) රකඅත් දෙකක් ඉටු කළ බව ඔබ අපට පවසා නැද්ද?’
ඔහු පිළිතුරු දුන්නේ:
‘එය සැබෑය. මම දැන් පවා ඔබට එම කරුණ ම වාර්තා කරමි. නමුත් මම (සමාජයෙන්) වෙනස් වීමට කැමති නැත.’”
මේ පිළිබඳව ඉබ්න් කතීර් මෙසේ අදහස් දක්වයි:
“ඉබ්නු මස්ඌද් මෙවැනි ද්විතීයික කරුණු සම්බන්ධයෙන් පවා උස්මාන්ව අනුගමනය කළේ නම්, අල් කුර්ආනය සම්බන්ධයෙන් සහ ඔහු (උස්මාන්) ජනතාව එක් මාර්ගයකට ඒකරාශී කර තැබූ පාරායණය අනුගමනය කිරීමේ දී ඔහු කොතරම් වැඩි කැමැත්තකින් එය කළේදැයි සිතා බැලිය හැකිය.”
(Al-Bidaya wa al-Nihaya, 7/217)
නිගමනය:
සහාබාවරුන් අතර මුල දී යම් අවබෝධයේ වෙනසක් පැවති බව පෙනේ. නමුත් සාක්ෂි පෙන්වා දෙන්නේ එය කිසිවිටෙකත් ශුද්ධ වූ අල් කුර්ආනයේ මූලික පාඨය සම්බන්ධ කරුණක් නොවූ බවය. එසේ ම ඉබ්නු මස්ඌද් සහ උස්මාන් (අල්ලාහ් ඔවුන් සියලු දෙනා කෙරෙහි තෘප්තිමත් වේවා) ඇතුළු පිරිස අතර පැවති එම අවබෝධයේ වෙනස ද පසු ව ඉවත් විය.
ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන මිෂනාරි විවේචකයන්ගේ උද්යෝගය එබැවින් නිෂ්ඵල දෙයකි. ඇත්ත වශයෙන් ම, හොඳම දැනුම ඇත්තේ අල්ලාහ්ට පමණි!
![]()