Theodor Nöldeke ගෙන් පසුව, ක්‍රිස්තියානි මිෂනාරිවරුන් විසින් සුරා 98 (අල්-බයියිනාහි) අහිමි වූ වැකි ලෙස හඳුන්වන කරුණ දිගින් දිගට ම මතු කරති. Nöldeke විසින් Geschichte des Qorans 1/242 Leipzig (1909) හි පෙන්වා දී ඇති පරිදි, ජාමිඋත් තිර්මිදි නම් හදීස් ග්‍රන්ථයේ සඳහන් විස්තරය මෙසේ ය.
عَنْ أُبَيِّ بْنِ كَعْبٍ، أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهُ: «إِنَّ اللَّهَ أَمَرَنِي أَنْ أَقْرَأَ عَلَيْكَ القُرْآنَ» ، فَقَرَأَ عَلَيْهِ {لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا} وَقَرَأَ فِيهَا: «إِنَّ ذَاتَ الدِّينِ عِنْدَ اللَّهِ الحَنِيفِيَّةُ المُسْلِمَةُ لَا اليَهُودِيَّةُ وَلَا النَّصْرَانِيَّةُ وَلَا المَجُوسِيَّةُ، مَنْ يَعْمَلْ خَيْرًا فَلَنْ يُكْفَرَهُ» وَقَرَأَ عَلَيْهِ: لَوْ أَنَّ لِابْنِ آدَمَ وَادِيًا مِنْ مَالٍ لَابْتَغَى إِلَيْهِ ثَانِيًا، وَلَوْ كَانَ لَهُ ثَانِيًا، لَابْتَغَى إِلَيْهِ ثَالِثًا، وَلَا يَمْلَأُ جَوْفَ ابْنِ آدَمَ إِلَّا التُّرَابُ، وَيَتُوبُ اللَّهُ عَلَى مَنْ تَابَ
උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළේ අල්ලාහ්ගේ දූතයාණන් -එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා- තමන්ට මෙසේ පැවසූ බවයි,
“අල්ලාහ් මට ඔබට අල් කුර්ආනය පාරායනය කර පෙන්වන ලෙස අණ කර ඇත.” පසුව එතුමා “ප්‍රතික්ෂේප කළ අය…” (සුරාව 98) පාරායනය කළේය. තවද එතුමා මෙය ද පාරායනය කළේය: “නියත වශයෙන්ම, අල්ලාහ් ඉදිරියෙහි ආගමේ සාරය නම් සෘජු ඉස්ලාමය මිස යුදෙව් ආගම නොවේ, ක්‍රිස්තියානි ද ආගම නොවේ, මැගි ගිනි වන්දනා කරන (මජූසීයා) ආගම ද නොවේ. කවුරුන් යහපත් ක්‍රියාවක් කරන්නේ ද, එය නොසලකා හරිනු නො ලැබේ.” පසුව එතුමා මෙසේ පැවසීය, “ආදම්ගේ පුත්‍රයාට (මිනිසාට) ධනයෙන් පිරුණු නිම්නයක් තිබුනේ නම්, ඔහු දෙවැන්නක් ද ප්‍රාර්ථනා කරනු ඇත, ඔහුට දෙවැන්නක් තිබුනේ නම්, ඔහු තුන්වැන්නක් ද ප්‍රාර්ථනා කරනු ඇත. ආදම්ගේ පුත්‍රයාගේ කුස පස්වලින් මිස (මරණයෙන් මිස) කිසිවකින් පිරවිය නොහැක. තවද පසුතැවිලි වන්නන් කෙරෙහි අල්ලාහ් කරුණාව දක්වයි.”
(ජාමිඃ තිර්මිදි, හදීස් 3898)
අතුරුදහන් වූවා යැයි කියනු ලබන වැකි:
මෙහි දී ඔවුන්ට අතුරුදහන් වූවා යැයි කියනු ලබන වැකි දෙකක් හමුවන අතර, ඒවා ශුද්ධ වූ නබිතුමා -එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා- සුරා බයියිනා සූරාවට පසුව පාරායනය කර ඇත.
ඒවායින් පළමුවැන්න නම්;
إِنَّ ذَاتَ الدِّينِ عِنْدَ اللَّهِ الحَنِيفِيَّةُ المُسْلِمَةُ لَا اليَهُودِيَّةُ وَلَا النَّصْرَانِيَّةُ وَلَا المَجُوسِيَّةُ، مَنْ يَعْمَلْ خَيْرًا فَلَنْ يُكْفَرَهُ
“නියත වශයෙන්ම, අල්ලාහ් ඉදිරියෙහි ආගමේ සාරය නම් සෘජු ඉස්ලාමය යි. (ඒ හැර) යුදෙව් ආගම නොවේ, ක්‍රිස්තියානි ද ආගම නොවේ, ගිනි වන්දනා කරන (මජූසි) ආගම ද නොවේ.”
දෙවන වැකිය;
لَوْ أَنَّ لِابْنِ آدَمَ وَادِيًا مِنْ مال لابْتَغَى إِلَيْهِ ثَانِيًا، وَلَوْ كَانَ لَهُ ثَانِيًا، لَابْتَغَى إِلَيْهِ ثَالِثًا، وَلَا يَمْلَأُ جَوْفَ ابْنِ آدَمَ إِلَّا التُّرَابُ، وَيَتُوبُ اللَّهُ عَلَى مَنْ تَابَ
“ආදම්ගේ පුත්‍රයාට (මිනිසාට) ධනයෙන් පිරුණු නිම්නයක් තිබුනේ නම්, ඔහු දෙවැන්නක් ද ප්‍රාර්ථනා කරනු ඇත, ඔහුට දෙවැන්නක් තිබුනේ නම්, ඔහු තුන්වැන්නක් ද ප්‍රාර්ථනා කරනු ඇත. ආදම්ගේ පුත්‍රයාගේ කුස පස්වලින් (මරණයෙන්) මිස කිසිවකින් පිරවිය නොහැක. තවද පසුතැවිලි වන්නන් කෙරෙහි අල්ලාහ් කරුණාව දක්වයි.”
යථාර්ථය:
කෙසේ වෙතත්, සත්‍යය නම් සරල ව ම මෙයින් කිසිවක් කිසිදාක සුරා බයියිනා හි කොටසක් නොවූ බව යි. නබිතුමා -එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා- මේවා සඳහන් කළේ එම සුරාව තුළ ඇති වචන සඳහා පැහැදිලි කිරීමක් (ව්‍යාඛ්‍යානයක්) ලෙස පමණි.
මේ බව කරුණු දෙකක් හරහා පැහැදිලි වේ.
- මුස්තද්රක් අල්-හකීම් (Mustadrak al-Hakim) නම් ග්රන්ථයෙහි එන එම වාර්තාවේ ම වචන භාවිතය මෙයට සාක්ෂි දරයි. එහි එය මෙසේ කියවේ;
عَنْ أُبَيِّ بْنِ كَعْبٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ لِي رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ أَمَرَنِي أَنْ أَقْرَأَ عَلَيْكَ الْقُرْآنَ» فَقَرَأَ: {لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ} وَمِنْ نَعْتِهَا لَوْ أَنَّ ابْنَ آدَمَ سَأَلَ وَادِيًا مِنْ مَالٍ، فَأَعْطَيْتُهُ، سَأَلَ ثَانِيًا، وَإِنْ أَعْطَيْتُهُ ثَانِيًا، سَأَلَ ثَالِثًا، وَلَا يَمْلَأُ جوفَ ابْنِ آدَمَ إِلَّا التُّرَابُ، وَيَتُوبُ اللَّهُ عَلَى مَنْ تَابَ، وَإِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْحَنِيفِيَّةُ غَيْرَ الْيَهُودِيَّةِ، وَلَا النَّصْرَانِيَّةِ، وَمَنْ يَعْمَلْ خَيْرًا فَلَنْ يُكْفرَهُ
උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කරයි.
අල්ලාහ්ගේ දූතයාණෝ –එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා– තමන්ට මෙසේ පැවසූහ, “අල්ලාහ් මට ඔබට අල් කුර්ආනය පාරායනය කර පෙන්වන ලෙස අණ කර ඇත.” පසුව එතුමා “ධර්ම ග්රන්ථ ගත් උදවියගෙන් (People of the Book) සහ බහුදේවවාදීන්ගෙන් (Polytheists) සත්‍යය ප්‍රතික්ෂේප කළ අය…” (සුරාව 98) පාරායනය කළ අතර, එහි විස්තරයක් ලෙස (මෙසේ පැවසීය): “ආදම්ගේ පුත්‍රයා ධනයෙන් පිරුණු නිම්නයක් ඉල්ලා එය ඔහුට දෙනු ලැබුවහොත්, ඔහු දෙවැන්නක් ද ඉල්ලනු ඇත, ඔහුට දෙවැන්නක් දෙනු ලැබුවහොත් ඔහු තුන්වැන්නක් ද ඉල්ලනු ඇත. ආදම්ගේ පුත්‍රයාගේ කුස පස්වලින් මිස කිසිවකින් පිරවිය නොහැක. තවද පසුතැවිලි වන්නන් කෙරෙහි අල්ලාහ් කරුණාව දක්වයි.” තවද, “අල්ලාහ් ඉදිරියෙහි ආගම නම් සෘජුභාවය යි. (හනිෆියියා – hanfiyya), (ඒ මිස) යුදෙව් ආගම නොවේ, ක්‍රිස්තියානි ආගම ද නොවේ, කවුරුන් යහපත් ක්‍රියාවක් කරන්නේ ද, එය නොසලකා හරිනු නොලැබේ.”
(මුස්තද්රක් අල්-හකීම්, හදීස් 2889. අල්-හකීම් සහ අල්-දහබි යන විද්වතුන් විසින් මෙය ‘සහීහ්’ ලෙස වර්ගීකරණය කර ඇත)
අතුරුදහන් වූවා යැයි කියනු ලබන මෙම වැකි, (කුර්ආන්) වැකි නොව, සුරාවෙහි ඇති ඇතැම් කරුණු පිළිබඳව නබිතුමා විසින් කරන ලද විස්තර කිරීම් සහ අර්ථකථනයන් (ව්‍යාඛ්‍යාන) බව මෙයින් පැහැදිලිව ම ප්‍රකාශ වේ.
- ප්‍රශ්නයට තුඩු දී ඇති මෙම ප්‍රකාශයන් සැබවින්ම අල් කුර්ආන් පාඨයේ කොටසක් වූයේ නම්, අල් කුර්ආනයේ ස්ථිර වී ඇති (සෙසු) පාඨයන්හි මෙන්, ඒවායේ වචන භාවිතයේ කිසිදු වෙනසක් නොතිබිය යුතු ය. අතුරුදහන් වූවා යැයි කියන වැකිවල වචනවල ඇති වෙනස්කම් (විවිධත්වය) පහත අයුරින් පෙන්විය හැකි ය.
a- අල්ලාහ් ඉදිරියෙහි ආගම:
අල්-තිර්මිදිගේ වාර්තාවෙහි එය මෙසේ කියවේ;
”إِنَّ ذَاتَ الدِّينِ عِنْدَ اللَّهِ الحَنِيفِيَّةُ المُسْلِمَةُ لَا اليَهُودِيَّةُ وَلَا النَّصْرَانِيَّةُ وَلَا المَجُوسِيَّةُ“
“නියත වශයෙන්ම, අල්ලාහ් ඉදිරියෙහි ආගමේ සාරය (දාත් අල්-දීන්) නම් සෘජු ඉස්ලාමය යි (අල්-හනිෆියියා අල්-මුස්ලිමා), යුදෙව් ආගම නොවේ, ක්‍රිස්තියානි ආගම නොවේ, ගිනි වන්දනා කරන (මජූසි) ආගම ද නොවේ.”
මුස්නද් අහ්මද් (Musnad Ahmad) හි එන වාර්තාවක එය මෙසේ දක්වා ඇත;
إِنَّ الدِّينَ عِنْدَ اللهِ الْحَنِيفِيَّةُ، غَيْرُ الْمُشْرِكَةِ، وَلَا الْيَهُودِيَّةِ، وَلَا النَّصْرَانِيَّةِ
“නියත වශයෙන්ම අල්ලාහ් ඉදිරියෙහි ආගම (ඉන්න අල්-දීන්) නම් සෘජු දහමයි (හනිෆියියා), බහුදේවවාදය නොවේ, එමෙන්ම යුදෙව් ආගම හෝ ක්‍රිස්තියානි ආගම ද නොවේ.”
(මුස්නද් අහ්මද්, හදීස් 21203. ෂුඅයිබ් අර්නවුත් විසින් ‘සහීහ්’ ලෙස වර්ගීකරණය කර ඇත)
මුස්නද් අහ්මද් ග්රන්ථයෙහි ම වෙනත් ස්ථානයක එය මෙසේ සඳහන් වේ;
وَإِنَّ ذَلِكَ الدِّينَ الْقَيِّمَ عِنْدَ اللهِ الْحَنِيفِيَّةُ، غَيْرُ الْمُشْرِكَةِ، وَلَا الْيَهُودِيَّةِ، وَلَا النَّصْرَانِيَّةِ
“තවද නියත වශයෙන්ම අල්ලාහ් ඉදිරියෙහි මෙම සැබෑ ආගම (දාලික් අල්-දීන් අල්-කයියිම්) නම් සෘජු දහම යි (හනිෆියියා), බහුදේවවාදය (ගයිර් අල්-මුෂ්රිකා) නොවේ, යුදෙව් ආගම හෝ ක්‍රිස්තියානි ආගම ද නොවේ.”
(මුස්නද් අහ්මද්, හදීස් 21202. ෂුඅයිබ් අර්නවුත් තුමා විසින් ‘හසන්’ ලෙස වර්ගීකරණය කර ඇත)
තවත් (හදීස්) ග්‍රන්ථයක මෙහි වචන භාවිතය තවදුරටත් වෙනස් වේ;
إِنَّ ذَاتَ الدِّينِ عِنْدَ اللَّهِ الْحَنِيفِيَّةُ السَّمْحَةُ لَا الْمُشْرِكَةُ وَلا الْيَهُودِيَّةُ وَلا النَّصْرَانِيَّةُ
“නියත වශයෙන්ම අල්ලාහ් ඉදිරියෙහි ආගමේ සාරය නම් නම්‍යශීලී සෘජුභාවය යි (අල්-හනිෆියියා අල්-සම්හා), බහුදේවවාදය (ලා මුෂ්රිකා) නොවේ, එමෙන්ම යුදෙව් ආගම හෝ ක්‍රිස්තියානි ආගම ද නොවේ.”
(අල්-අහාදීස් අල්-මුක්තාරා, හදීස් 1162. කර්තෘ විසින් ‘සහීහ්’ ලෙස වර්ගීකරණය කර ඇත)
මුස්තද්රක් හි සඳහන් වාර්තාවෙහි එය තවත් වෙනස් වන අතර, එහි බහුදේවවාදය පිළිබඳ කිසිදු සඳහනක් නැත;
وَإِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْحَنِيفِيَّةُ غَيْرَ الْيَهُودِيَّةِ، وَلَا النَّصْرَانِيَّةِ
“නියත වශයෙන්ම අල්ලාහ් ඉදිරියෙහි ආගම නම් සෘජුභාවයයි (අල්-හනිෆියියා), යුදෙව් ආගම හෝ ක්‍රිස්තියානි ආගම නොවේ.”
(මුස්තදරක්, හදීස් 2889)
මෙම වචනවල ඇති විවිධත්වය (වෙනස්කම්) පෙන්නුම් කරන්නේ මෙය අල් කුර්ආන් පාඨයක් නොවූ බව යි. අල් කුර්ආනයේ ස්ථිර වී ඇති පාඨයන්හි අඩංගු වැකි, එනම් සුරා බයියිනා හි වැකි, මෙම සියලු වාර්තාවල කිසිදු වෙනසක් නොමැති ව සැමවිට ම වාර්තා වී තිබීමත්, නමුත් මෙම වචනවල වෙනස්කම් පැවතීමත් යන සරල කරුණෙන්ම පැහැදිලි වන්නේ, මෙම ප්‍රකාශය කිසිදාක අල් කුර්ආනයේ කොටසක් නොවූ බව යි; එය ප්‍රධාන වාර්තාකරුවන්ට පවා (කුර්ආන් වැකියක් ලෙස) නො තිබුණකි.
ඇතැම් වාර්තාවල එය “ඉන්න අල්-දීන්” (inna al-deen) ලෙස ද, සමහරක “ඉන්න දාත් අල්-දීන්” (inna zaat al-deen) ලෙස ද, තවත් සමහරක “ඉන්න දාලික් අල්-දීන් අල්-කයියිම්” (inna zalik al-deen al-qayyim) ලෙස ද සඳහන් වේ. ඇතැම් වාර්තාවල එය “අල්-හනිෆියියා අල්-මුස්ලිමා” (al-hanfiyya al-muslimah) වන අතර, සමහරක එය සරලව ම “අල්-හනිෆියියා” (al-hanfiyya) වේ, එමෙන්ම තවත් වෙනස්කමක් නම් එය “අල්-හනිෆියියා අල්-සම්හා” (al-hanfiyya al-samha) ලෙස දක්වා ඇත. එක් වාර්තාවක لَا المَجُوسِيَّةُ එනම් “මජූසි ආගම නොවේ” යනුවෙන් පවසන අතර, අනෙක් ඒවායේ لَا الْمُشْرِكَةُ එනම් “බහුදේවවාදය නොවේ” යනුවෙන් පවසයි, තවද එක් වාර්තාවක මෙයින් කිසිවක් ගැන සඳහන් නොවේ. එක් වාර්තාවක “ගයිර් අල්-මුෂ්රිකා” (ghayr al Musrikah) යනුවෙන් පවසන අතර තවත් වාර්තාවක “ලා මුෂ්රිකා” (la mushrikah) යනුවෙන් පවසයි.
එසේම අල්-තිර්මිදි හි සඳහන් වාර්තාවෙහි එය مَنْ يَعْمَلْ (කවුරුන් කරන්නේ ද) ලෙස පවතින අතර, අනෙකුත් වාර්තාවල ‘සහ’ යන අර්ථය දෙන ‘වාව්’ (و) අකුර එයට එකතු වී, එය وَمَنْ يَعْمَلْ (තවද කවුරුන් කරන්නේ ද) ලෙස පවතියි.
තවද, ذَاتَ الدِّينِ “ආගමේ සාරය” යන වාක්‍ය ඛණ්ඩය සහ الْيَهُودِيَّةِ “යුදෙව් ආගම”, النَّصْرَانِيَّةِ “ක්‍රිස්තියානි ආගම” සහ المَجُوسِيَّة “මජූසි ආගම” යන වචන අල් කුර්ආනය තුළ භාවිත වී නොමැති බව සලකන්න. මෙයින් පෙන්නුම් කරන්නේ ද මෙම ශෛලය කුර්ආනීය ශෛලයක් නොවන බවයි.
b- ධනයෙන් පිරුණු නිම්න දෙකක්:
අල්-තිර්මිදි හි සඳහන් වාර්තාවෙහි වචන භාවිතය මෙසේ ය;
لَوْ أَنَّ لِابْنِ آدَمَ وَادِيًا مِنْ مَالٍ لَابْتَغَى إِلَيْهِ ثَانِيًا، وَلَوْ كَانَ لَهُ ثَانِيًا، لَابْتَغَى إِلَيْهِ ثَالِثًا، وَلَا يَمْلَأُ جَوْفَ ابْنِ آدَمَ إِلَّا التُّرَابُ، وَيَتُوبُ اللَّهُ عَلَى مَنْ تَابَ
“ආදම්ගේ පුත්‍රයාට (මිනිසාට) ධනයෙන් පිරුණු නිම්නයක් තිබුනේ නම්, ඔහු දෙවැන්නක් දප්රාර්ථනා කරනු ඇත (ල–අබ්තගී ඉලයිහි සානියා), ඔහුට දෙවැන්නක් තිබුනේ නම්, ඔහු තුන්වැන්නක් ද ප්‍රාර්ථනා කරනු ඇත. ආදම්ගේ පුත්‍රයාගේ කුස පස්වලින් මිස කිසිවකින් පිරවිය නොහැක. තවද පසුතැවිලි වන්නන් කෙරෙහි අල්ලාහ් කරුණාව දක්වයි.”
(ජාමිඃ තිර්මිදි, හදීස් 3898)
මුස්නද් අහ්මද් හි සඳහන් වාර්තාවක එය මෙසේය;
“لَوْ أَنَّ لِابْنِ آدَمَ وَادِيَيْنِ مِنْ مَالٍ، لَسَأَلَ وَادِيًا ثَالِثًا، وَلَا يَمْلَأُ جَوْفَ ابْنِ آدَمَ إِلَّا التُّرَابُ
“ආදම්ගේ පුත්‍රයාට ධනයෙන් පිරුණු නිම්න දෙකක් තිබුනේ නම්, ඔහු තුන්වැන්නක් ඉල්ලනු ඇත (ලසඃඅල වාදියන් සාලිසා), තවද ආදම්ගේ පුත්‍රයාගේ කුස පස් හැර වෙනත් කිසිවකින් පිරවිය නොහැක.”
(මුස්නද් අහ්මද්, හදීස් 21203)
මෙම වෙනස කෙරෙහි අවධානය යොමු කරන්න; වචනවල ඇති විවිධත්වයට අමතර ව, ප්‍රකාශය කෙටි වී ඇති අතර, පසුතැවිලි වන්නන් කෙරෙහි අල්ලාහ් කරුණාව දැක්වීම පිළිබඳ අවසාන කොටස සඳහන් ද වී නොමැත.
තවත් වාර්තාවක එය මෙසේ කියවේ;
وَلَوْ أَنَّ ابْنَ آدَمَ سَأَلَ وَادِيًا مِنْ مَالٍ فَأُعْطِيَهُ، لَسَأَلَ ثَانِيًا وَلَوْ سَأَلَ ثَانِيًا فَأُعْطِيَهُ، لَسَأَلَ ثَالِثًا، وَلَا يَمْلَأُ جَوْفَ ابْنِ آدَمَ إِلَّا التُّرَابُ، وَيَتُوبُ اللهُ عَلَى مَنْ تَابَ
“ආදම්ගේ පුත්‍රයා ධනයෙන් පිරුණු නිම්නයක් ඉල්ලා එය ඔහුට දෙනු ලැබුවහොත් (සඃඅල වාදිය්යන් මින් මාල් ෆ–ආතිහ්), ඔහු දෙවැන්නක් ඉල්ලනු ඇත, ඔහු දෙවැන්නක් ඉල්ලා එය ඔහුට දෙනු ලැබුවහොත්, ඔහු තුන්වැන්නක් ඉල්ලනු ඇත. ආදම්ගේ පුත්‍රයාගේ කුස පස්වලින් මිස කිසිවකින් පිරවිය නොහැක. තවද පසුතැවිලි වන්නන් කෙරෙහි අල්ලාහ් කරුණාව දක්වයි.”
(මුස්නද් අහ්මද් හදීස් 21202 සහ මුස්තද්රක් අල්–හකීම් 2889)
දැන්, ඉහත සඳහන් කළ සංස්කරණ (වාර්තා) තුනෙහි ඇති වෙනස්කම් ඉතාමත් පැහැදිලි ය.
එසේම, ඉහත සම්පූර්ණයෙන් දක්වා ඇති තිර්මිදි සහ මුස්තද්රක් වෙතින් එන වාර්තා එකිනෙක සසඳා බලන්න. තිර්මිදිගේ වාර්තාවෙහි සැබෑ ආගම පිළිබඳ කරුණ මුලින්ම එන අතර, මිනිසා ධන නිම්න කෙරෙහි දක්වන දැඩි ආශාව එයට පසුව පැමිණේ (මුස්නද් අහ්මද් අංක 21203 හිද එසේමය). නමුත් මුස්තද්රක් හි වාර්තාවෙහි (සහ ඒ හා සමානව මුස්නද් අහ්මද් හි එක් වාර්තාවක, එනම් අංක 21202 හි) නිම්න දෙක පිළිබඳ සඳහන මුලින්ම එන අතර, සැබෑ ආගම පිළිබඳ කරුණ පසුව පැමිණේ. මෙයින්ද ඔප්පු වන්නේ මෙම වචනවල අනුපිළිවෙලෙහි (පෙළගැස්මෙහි) කිසිදු විශේෂත්වයක් නොතිබූ බවයි; එමඟින් පෙන්නුම් කරන්නේ මේවා අල් කුර්ආනයේ කොටසක් නොවූ බව යි.
මෙම වාක්‍ය ඛණ්ඩ මඟින් පැහැදිලි කරන්නේ කුමන වැකිය ද?
මෙම වචන ඇත්ත වශයෙන්ම පැහැදිලි කරන්නේ මෙම සුරාවේ 5 වන වැකිය යි (ආයතය යි).
وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ
“තවද ඔවුනට අණ කරනු ලැබුවේ – පිවිතුරු භක්තියෙන් යුතුව අල්ලාහ්ට පමණක් අවනත වෙමින්, සෘජු මාර්ගයෙහි (හනිෆ්වරුන් ලෙස) සිටිමින් ඔහුව නැමදීමටත්, සලාතය නිසි ලෙස ඉටු කිරීමටත්, සකාත් (පුණ්‍ය ධර්ම) දීමටත් පමණි. සෘජු වූ ද, නිවැරදි වූ ද දහම එය යි.”
(අල් කුර්ආනය 98:5)
පෙනෙන හැටියට, ධනය කෙරෙහි මිනිසා තුළ ඇති දැඩි ආශාව පිළිබඳ ප්‍රකාශය මඟින් පැහැදිලි කරන්නේ “සකාත් දීම / පුණ්‍ය ධර්ම” (regular charity) පිළිබඳව යි. එනම්, මිනිසා තමන් සතු ධනය වියදම් කළ යුතු බවත්, එසේ නොමැති නම් ධනය රැස් කිරීමේ දී මිනිසා කිසිදා තෘප්තිමත් නොවන බවත් ඉන් තර්ක කෙරේ.
එසේ ම, සැබෑ ආගම පිළිබඳ ප්‍රකාශය මඟින් ‘දීන් අල්-කයියිමා’ (deen al-qayyimah) එනම් සෘජු/නිවැරදි ආගම යන්න පැහැදිලි කරනු ලබයි.
විමසිය හැකි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු:
- සුරාවෙහි මුල් වචන කිහිපයට සෘජුව ම පසුව මෙම ප්‍රකාශයන් සඳහන් කර ඇති විට, ඒවා 5 වන වැකිය (ආයතය) පැහැදිලි කිරීමක් ලෙස ගන්නේ කෙසේදැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකි ය. එයට පිළිතුර නම්, සාමාන්‍යයෙන් සූරාවකට නමක් තැබීම වෙනුවට එම සුරාව පෙන්වා දීම සඳහා එහි මුල් වචන කිහිපය සඳහන් කරනු ලබන බව යි. එය කුමන සුරාව ද යන්න පෙන්වීම සඳහා විවිධ වාර්තාවල විවිධ ප්‍රමාණවලින් වචන භාවිත කර තිබීමෙන් ම මෙය පැහැදිලි වේ.
අල්-තිර්මිදිහි සඳහන් වාර්තාවෙහි එය සරල ව ම, “ප්‍රතික්ෂේප කළ අය…” ලෙස පවතී.
මුස්නද් අහ්මද් (අංක 21202) හි එය, “ධර්ම පුස්තක ලත් උදවියගෙන් සත්‍යය ප්‍රතික්ෂේප කළ අය…” යනුවෙන් පවසයි.
මුස්තද්රක් අල්-හකීම් හි එය, “ ධර්ම පුස්තක ලත් උදවියගෙන් සහ බහුදේවවාදීන්ගෙන් සත්‍යය ප්‍රතික්ෂේප කළ අය…” ලෙස දැක්වේ.
මේවා පළමු වැකියේ (ආයතයේ) සම්පූර්ණ උපුටා ගැනීම් පවා නොවේ.
මුස්නද් අහ්මද් (අංක 21203) හි, මුල් වැකි 2 සම්පූර්ණයෙන්ම ලබා දී ඇත.
තවද අල්-අහාදීස් අල්-මුක්තාරා හි එය සරලව ම “ඔවුන් නැත…” යනුවෙන් පවසයි.
මෙසේ දක්වා ඇත්තේ පොදුවේ එම සුරාව පිළිබඳව සඳහන් කිරීමට (කිරීමට පමණක්) වූ යොමුවක් ලෙස ය.
- මෙම කරුණ පිළිබඳ ඇතැම් වාර්තාවල “පසුව එතුමා සුරාවේ ඉතිරි කොටස කියෙව්වේය” යන වචනවලින් වාර්තාව අවසන් වීම සම්බන්ධයෙන් ගත් කල, එය 6 සහ 7 වැකි පිළිබඳව විය හැකි ය. එනම්, අර්ථකථනය (පැහැදිලි කිරීම) පැමිණියේ 5 වන වැකියට පසුව වන අතර, එම පැහැදිලි කිරීමෙන් පසුව අනෙකුත් වැකි කියවනු ලැබීය.
- “එතුමා එහි (එම සුරාව තුළ) පාරායනය කළේය” යනුවෙන් වාර්තාවල පැහැදිලිව ම පවසන බැවින්, එය අර්ථකථනයක් හෝ ව්‍යාඛ්‍යානයක් වන්නේ කෙසේදැයි කෙනෙකු පැවසුවහොත්, එයට පිළිතුර වන්නේ එම වාර්තාවේ ඇති සියලුම විවිධ ස්වරූප එකට එකතු කර බැලීම යි. මුස්තද්රක් හි සංස්කරණය පැහැදිලිවම وَمِنْ نَعْتِهَا එනම් “තවද එහි විස්තරයක් ලෙස” යනුවෙන් පවසයි.
وَقَرَأَ فِيهَا එනම් “එතුමා එහි පාරායනය කළේය” යන වචන පසුකාලීන වාර්තාකරුවෙකුගේ වචන වේ. එය එම වාර්තාවල ම وَقَرَأَ عَلَيْهِ එනම් “එතුමා ඔහුට පාරායනය කළේය” (එනම් නබිතුමා උබෙයි තුමාට පාරායනය කළේය) යනුවෙන් ද කියවෙන කරුණෙන් පැහැදිලි වේ. මෙයින් පෙන්නුම් කරන්නේ මේවා උබෙයි තුමාගේ වචන නොව පසුකාලීන වාර්තාකරුවෙකුගේ වචන බව යි; මන්ද උබෙයි තුමා තමන් ගැන ම තෙවන පාර්ශවයකින් සඳහන් නොකරන බැවිනි. ඇත්ත වශයෙන්ම, එක් වාර්තාවක (මුස්නද් අහ්මද්, හදීස් 21203) පැහැදිලිව ම සඳහන් වන්නේ මෙම මැදින් ඇතුළත් කර ඇති වචන ෂුඃබා (Shu’bah) නම් වාර්තාකරුගේ වචන බව යි. ස්ථාවරව භාවිත නොවන, පසුකාලීන වාර්තාකරුවෙකුගේ වචනවලට ඉහත සඳහන් කළ කරුණු හමුවේ පැවතිය නොහැක. තවද, අල් කුර්ආනයේ ඇති තවාතුර් (Tawatur – අවිචින්න සහ ස්ථිර සම්ප්‍රේෂණය) යන්න මෙයට එරෙහිව ඇති පරම සහ අවසන් සාක්ෂිය යි.
අහ්මදියාවරුන්ට (කදියානිවරුන්ට) පිළිතුරු:
මිර්සා ගුලාම් අහ්මද් (Mirza Ghulam Ahmad) විසින් ආරම්භ කරන ලද ආගමික කණ්ඩායමේ අනුගාමිකයන් වන අහ්මදියාවරු (කදියානිවරුන්) ද මෙම වාර්තාව ඔවුන්ගේ නීච අරමුණු සඳහා භාවිත කරති. සහීහ් බුහාරි (Sahih Bukhari) ග්රන්ථයෙහි නොමැති වාර්තාවක් එහි ඇති බව පවසමින් මිර්සා ගුලාම් අහ්මද් පැවසූ අසත්‍යය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරමින්, ‘අහ්මදියා පොකට් බුක්’ (Ahmadiyya Pocket Book) හි කර්තෘ මලික් අබ්දුල් රහ්මාන් කාදිම් පවසන්නේ, මුහම්මද් නබිතුමාට -එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා- පවා වැරදීමක් සිදු වූ බවත්, අල් කුර්ආනයේ කොටසක් නොවන වචන කිහිපයක් එහි කොටසක් ලෙස එතුමා සඳහන් කළ බවත් මෙම වාර්තාවෙන් ඔප්පු වන බව යි.
(බලන්න: Ahmadiyya Pocket Book, පිටු 517-518).
අප ඉහත දැක ඇති පරිදි, නබිතුමා -එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා- එම කොටස සඳහන් කළේ ව්‍යාඛ්‍යානයක් (අර්ථකථනයක්) ලෙස පමණක් බැවින් මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. එය ව්යාඛ්යානයක්ය, යන අදහසට මලික් අබ්දුල් රහ්මාන් දක්වන විරෝධතාවයට ඉහතින් පිළිතුරු දී ඇත.
එපමණක් නොව, නබිතුමාණන්ගේ -එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා- ජීවිත කාලය තුළ (දිව්‍යමය නියෝගයෙන්) අල් කුර්ආන් පාඨයන්හි යම් යම් වෙනස්කම් (අහෝසි කිරීම්) සිදු වී තිබිය හැකි වුව ද, සහීහ් බුහාරි හෝ වෙනත් කිසිදු සම්භාව්‍ය කෘතියක් ව්‍යාජ ප්‍රකාශකයෙකු වූ මිර්සා ගුලාම් අහ්මද්ට අවශ්‍ය පරිදි සංස්කරණය කළ නොහැක.
ප්‍රසිද්ධ අහ්මදියා කර්තෘවරයෙකු වන මලික් අබ්දුල් රහ්මාන්, නබිතුමා -එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා- පිළිබඳ ව සහ අල් කුර්ආන් පාඨයේ ස්ථාවරභාවය පිළිබඳ ව සැකයේ බීජ වැපිරීමේ පිරිවැය මත වුව ද මිර්සා ගුලාම් අහ්මද්ගේ අසත්‍යයන් සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම යන කරුණෙන්ම පැහැදිලි වන්නේ, අහ්මදියා ආගමික ප්‍රභූන් ඉස්ලාමයේ මූලධර්මයන්ම අත්හැර දමා ඇති බව යි. තවද, ව්‍යාජ නබිත්වයකට හිමිකම් කියන්නෙකුගේ බොරු සාධාරණීකරණය කිරීම සඳහා ඉස්ලාමයේ මූලික කරුණු පිළිබඳ ව ප්‍රශ්න මතු කිරීමට ඔවුන්ගේ මුරබ්බිවරුන් (ධර්මදේශකයන්) පසුබට නොවන ආකාරය ද මෙයින් පෙනේ. මෙවැනි හැසිරීම්වලින් බැහැර වී, අවසාන නබිත්වය සනිටුහන් කළ මුහම්මද් නබිතුමාගේ -එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා- උම්මාව (මුස්ලිම් ප්‍රජාව) වෙත නැවත හැරෙන ලෙස මම සාමාන්‍ය අහ්මදියාවරුන්ගෙන් ඉල්ලා සිටිමි.
සාරාංශය:
මෙම ප්‍රකාශයන් දෙකෙන් එකක්ව ත් අල් කුර්ආන් පාඨයේ කොටසක් ලෙස සඳහන් කර නොමැති බව පෙන්වීමට ඉහත විස්තර සර්වසම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් වේ. ඒවා කිසිදාක සුරා අල්-බයියිනා හි කොටසක් නොවීය. එය හුදෙක් නබිතුමා විසින් කරන ලද ව්‍යාඛ්‍යානයක් (පැහැදිලි කිරීමක්) පමණි. ප්‍රශ්නයට තුඩු දී ඇති ප්රකාශයන්හි වචන භාවිතයේ පවතින විවිධ වෙනස්කම් සහ ඒවා පොදු කුර්ආනික වචන භාවිතය හා රටාව සමඟ නොගැලපීම යන කරුණු, ඒවා කිසිසේත්ම අල් කුර්ආනයේ කොටසක් ලෙස අදහස් නොකළ බව පෙන්වීමට සෑහේ.
නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල මැනවින් දන්නා ය!
![]()