සාරාංශය
මෙම ලිපියෙන් දේවදූත මුහම්මද්තුමාණන්ගේ වියෝවෙන් පසු ව අල්-කුර්ආනය ලිඛිත ආකාරයෙන් සංරක්ෂණය නොවූ බවට එල්ල කරන චෝදනා සඳහා විවේචකයන් විසින් සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ සඳහන් ආයිෂා (රලි) තුමියගේ එක් පුවතක් භාවිත කර ඇති ආකාරය විමර්ශනය කෙරේ. කිරි සම්බන්ධතාවය (රළාඅත්) තහවුරු කිරීම සඳහා සාක්ෂියක් ලෙස “පස් වරක් කිරි උරාබීම ” පිළිබඳ ආයිෂා (රලි) තුමියගෙන් වාර්තා වී ඇති විවිධ හදීස් සංසන්දනාත්මකව විශ්ලේෂණය කිරීමෙන්, විවේචනයට ලක්වන සහ ව්‍යතිරේකයක් වන එම විශේෂ වාර්තාවෙන් අල්-කුර්ආනය සම්පූර්ණයෙන් ම දෝෂරහිතව සංරක්ෂණය වී ඇති බවට කිසිදු සැකයක් හෝ ප්‍රශ්නයක් මතු නොකරන බව මෙම ලිපිය පෙන්වා දෙයි.
1. හැඳින්වීම
පහත සඳහන් හදීස් (පුවත) කියවීමෙන් දේවදූත මුහම්මද්තුමාගෙන් පසුකාලීන මුස්ලිම් පරම්පරාවන් වෙත අල්-කුර්ආනය ස්ථාවරව හා සම්පූර්ණ ලෙස වාර්තා වී නොමැති බවට හැඟීමක් ඇති විය හැක. එබැවින්, විවේචකයින් විසින් මෙම හදීස් (පුවත) අල්-කුර්ආනයේ සංරක්ෂණයේ සම්පූර්ණභාවය පිළිබඳ සැකයක් මතු කිරීමට සාධකයක් ලෙස භාවිත කර ඇත. මෙම හදීසය කියවන විට මුහම්මද්තුමාගේ වියෝවෙන් පසු ව එම වාක්‍ය අල්-කුර්ආනයෙන් අහිමි වූවාක් මෙන් හැඟීමක් ඇති විය හැක. එසේ වූයේ නම්, එය නබිතුමාගේ වියෝවෙන් පසු ව අල්-කුර්ආනයෙන් කිසිවක් අහෝසි නොවූ බවත්, නබිතුමා ඉතිරි කර ගිය ආකාරයෙන් ම අල්-කුර්ආනය අකුරක්වත් වෙනස් නොවී සංරක්ෂණය වී ඇති බවත් පිළිබඳ ස්ථාපිත ඉස්ලාමීය මතයට පටහැනි වනු ඇත. මෙම පුවත මුස්ලිම් ඉබ්නු හජ්ජාජ් අල්-නයිෂාපූරි (මියගියේ හිජ්රි 261 / ක්‍රි.ව. 875) විසින් සම්පාදිත හදීස් සංග්‍රහයේ පහත පරිදි සඳහන් වේ.
عن عبد الله بن أبي بكر، عن عمرة، عن عائشة، أنها قالت: ” كان فيما أنزل من القرآن: عشر رضعات معلومات يحرمن، ثم نسخن، بخمس معلومات، فتوفي رسول الله صلى الله عليه وسلم، وهن فيما يقرأ من القرآن
අබ්දුල්ලාහ් ඉබ්නු අබී බක්ර් → අම්රා → ආයිෂා (රලි) තුමිය යන වාර්තා කරුවන්ගේ දාමය මගින් වාර්තා වන්නේ, ඇය මෙසේ පැවසූ බවයි
“පැහැදිලි ලෙස සිදු කරන ලද දස වරක් කිරි දීම (දස පෝෂණ වාර) විවාහය තහනම් කරන බව අල්-කුර්ආනයෙහි හෙළිදරව් කර තිබුණි. පසු ව එය අවලංගු (නස්ක්) කර එහි ස්ථානයට පස් වරක් කිරි දීම යන්න නියම කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් වියෝ වූ අවස්ථාවේ දී පවා එ(ම වාක්‍ය)ය අල්-කුර්ආනයෙහි පැවති අතර මුස්ලිම්වරුන් විසින් පාරායනය කරනු ලැබූවක් විය.” [1]
මෙම වාර්තාව පෙරදිගවාදීන් (Orientalists) සහ විවේචකයන් විසින් අද පවතින කුර්ආන් පාඨය අසම්පූර්ණ එකක් බව තර්ක කිරීම සඳහා සාක්ෂියක් ලෙස භාවිත කරනු ලැබ ඇත. [2]එහෙත්, මෙය දේවදූත මුහම්මද් (ﷺ) තුමාගේ අභාවයෙන් අනතුරුව කුර්ආනය සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු නොවූ අතර, නස්ක් (අහෝසි කිරීම) මාර්ගයෙන් වුව ද එවැනි වෙනසක් සිදුවිය නොහැකි බව පිළිගන්නා ඉස්ලාමීය සම්ප්‍රදායික මතයට හා විශ්වාසයට අනුව සෘජුව ම පටහැනි වේ.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉස්ලාමීය විද්වතුන් විවිධ ආකාරයෙන් පිළිතුරු සපයා ඇත. එම සියලු විවරණවල සාරාංශය වන්නේ, පස් වරක් කිරි උරා බීමෙන් (five sucklings) කිරි ඥාතිත්වය (foster relationship) ස්ථාපිත වන බවට වූ නියෝගය වහී (දිව්‍යමය හෙළිදරව්ව) මඟින් ප්‍රකාශයට පත් කළ නමුත්, එය අඩංගු වගන්තිය දේවදූත මුහම්මද් (ﷺ) තුමාගේ ජීවිතයේ අවසාන භාගයේ දී පාරායනයෙන් අහෝසි (නස්ක් අල්-තිලාවා) කරන ලද බව ය. මෙම වාර්තාවේ එම කරුණ සංක්ෂිප්තව හා ලිහිල් අන්දමින් ප්‍රකාශ කර ඇත. [3]
මෙවැනි ප්‍රතිචාර සහ ඒ හා සමාන පැහැදිලි කිරීම්, ඒවා තර්කානුකූල පදනමක් මත ගොඩනගා ඇති බව පෙන්වා දිය නොහැකි නම්, පහසුවෙන්ම “අසරණ උත්සාහයන්”, “දක්ෂ ලෙස සකස් කළ ඒවා”, සහ “අතිශය අසාමාන්‍ය” යනුවෙන් [4] ප්‍රතික්ෂේප කළ හැකිය.එබැවින්, මෙම ලිපියේ අරමුණ වන්නේ අදාළ වාර්තාව හදීස් විවේචන විද්‍යාවේ (ʿඉල්මු නක්ද් අල්-හදීස්) පිළිගත් මූලධර්ම අනුව විමර්ශනය කර, එය අල්-කුර්ආනයේ සංරක්ෂණය පිළිබඳ කිසිදු සැකයක් ඇති නොකරන බව තාර්කික හා සාක්ෂිමය පදනමකින් පෙන්වා දීමය. [5]
2. එම වාර්තාවේ විචාරාත්මක විශ්ලේෂණය
හදීස් සාහිත්‍යයේ අඩංගු සෑම වාර්තාවක් ම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. ඉන් පළමු වැන්න එම පුවත වාර්තා කර ඇති වාර්තාකරුවන්ගේ දාමය (ඉස්නාද් – isnād)යි. දෙවැන්න එහි සත්‍ය පාඨය හෝ අන්තර්ගතය (මත්න් – matn) ය. යම් හදීසය(පුවත)ක් විශ්වාසදායක ද නැද්ද යන්න තීරණය කිරීමට පෙර, එහි මෙම කොටස් දෙක ම විචාරාත්මකව විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. සැබවින් ම, මෙම අංග දෙක එකිනෙකට අන්තර්සම්බන්ධිතව පවතින්නට ද පුළුවන. [6]
2.1 තනි පුද්ගලයෙකුගේ ස්වාධීන වාර්තා (හබර් අල් ආහාද්) මඟින් අල්-කුර්ආනය සම්බන්ධ කරුණු ස්ථාපිත කළ නොහැක
බොහෝ විද්වතුන් මෙම පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. එහි වාර්තාකරුවන්ගේ දාමය (isnād) සාමාන්‍යයෙන් විශ්වාසනීය බව පිළිගත්ත ද, අල්-කුර්ආනයට අයත් කරුණක් තහවුරු කිරීමේ දී මුතවාතිර් මට්ටමේ වාර්තා තිබිය යුතු ය. එනම්, බොහෝ ස්වාධීන වාර්තාකරුවන්ගේ මාර්ග ඔස්සේ නිශ්චිතව පැමිණ ඇති වාර්තා මත පමණක් කුර්ආනයේ පාඨයක් බව තහවුරු කළ හැකි විය යුතු ය. මෙහිදී එවැනි තත්ත්වයක් නො පවතී. මෙම කරුණ මේ ආකාරයෙන් වාර්තා වී ඇත්තේ ආයිෂා (රලි) තුමියගෙන් එක් වාර්තා මාර්ගයක් හරහා පමණි. එබැවින්, බොහෝ ප්‍රමුඛ ඉස්ලාමීය විද්වතුන් මෙම හදීසයේ මතුපිට අර්ථය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, එය වෙනත් ආකාරයකින් විග්‍රහ කළ යුතු බව පෙන්වා දෙති.
ඉමාම් නවවී (රහ්) තුමා සිය සහීහ් මුස්ලිම් ග්‍රන්ථයට ලියූ ප්‍රසිද්ධ විවරණයේ (ෂරහ් සහීහ් අල් මුස්ලිම්) මෙම හදීසය පිළිබඳ අදහස් දක්වමින්, විද්වතුන් මෙම හදීසයේ පෙනෙන මතුපිට අර්ථය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කරයි.
“අල්-කුර්ආනය තනි පුද්ගලයෙකුගේ ස්වාධීන වාර්තාවක් (හබර් අල් ආහාද්) මඟින් තහවුරු නො කෙරේ.” [7]
මෙම පුවතේ අපගේ විශේෂ අවධානය යොමුවන වාක්‍යය වන්නේ:
“අල්ලාහ්ගේ දූතයාණන් වියෝ වූ අවස්ථාවේ දී එය අල්-කුර්ආනයෙහි තිබූ අතර, මුස්ලිම්වරුන් විසින් එ(ම වාක්‍ය)ය පාරායනය කරනු ලැබූවක් විය.”
ආයිෂා (රලි) තුමියගෙන් වාර්තා වී ඇති මෙම හදීසයේ විවිධ වාර්තාකරුවන්ගේ දාමයන් සසඳා බැලූ විට පෙනී යන්නේ, මෙම වාක්‍යය වාර්තා කර ඇත්තේ අබ්දුල්ලාහ් බින් අබී බක්ර් නම් වාර්තාකරුවා හරහා පමණක් බවයි. එනම්, මෙම විශේෂ වචන ඇතුළත් කර වාර්තා කිරීමේ දී ඔහු තනි වාර්තාකරුවෙකි (unique narrator).
2.1.1 වාර්තාකරුවන්ගේ දාමය (Isnād) විශ්ලේෂණය කිරීම
සාමාන්‍යයෙන් සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ වාර්තා වී ඇති පුවත(හදීසය)ක් විවේචනයෙන් තොර, විශ්වාසදායක වාර්තාවක් ලෙස සලකනු ලැබේ. මෙය පොදුවේ සත්‍යයක් වුව ද, එම ප්‍රසිද්ධ හදීස් සංග්‍රහයට ඇතුළත් සෑම වාර්තාවක ම සඳහන් වන සෑම කරුණක් ම අනිවාර්යයෙන් ම එම මට්ටමේ නිරවද්‍යතාවයෙන් යුක්ත වේ යැයි පැවසිය නො හැක. විශේෂයෙන් ම, ඇතැම් වාර්තාවල අතුරු (පර්යන්ත) කරුණු සම්බන්ධයෙන් සැඟවුණු දුර්වලතා (ilal khafiyyah) පවතින අවස්ථා දක්නට ලැබේ. [8] මෙහි සාකච්ඡාවට භාජනය වන කරුණ එවැනි අවස්ථාවකට උදාහරණයකි.
දේවදූත මුහම්මද් (ﷺ) තුමාගේ ආදරණීය භාර්යාව වූ ආයිෂා (රලි) තුමියගෙන් වාර්තා වන මෙම පුවත,එතුමියගේ ශිෂ්‍යාවක් වූ අම්රහ් බින්ත් අබ්දුර් රහ්මාන් (මියගිය වර්ෂය: හිජ්රි 98 / ක්‍රි.ව. 716 –717) වෙතින් වාර්තා කළ අවම වශයෙන් වාර්තාකරුවන් තිදෙනෙකුගේ මාර්ගයෙන් අප වෙත ළඟා වී ඇත.
i) යහ්යා ඉබ්නු සඊද් අල්-අන්සාරි (මියගිය වර්ෂය: හිජ්රි 144 / ක්‍රි.ව. 761–762)
ii) කාසිම් ඉබ්නු මුහම්මද් ඉබ්නු අබූ බක්ර් (මියගිය වර්ෂය: හිජ්රි 106 / ක්‍රි.ව. 725)
iii) අබ්දුල්ලාහ් ඉබ්නු අබී බක්ර් මුහම්මද් (මියගිය වර්ෂය: හිජ්රි 135 / ක්‍රි.ව. 752–753)
මෙම වාර්තාකරුවන් එක් එක් අයගේ වාර්තා මාර්ගය ඔස්සේ ලැබී ඇති හදීස් වාර්තා පහතින් විමර්ශනය කරනු ලැබේ.
2.1.2 යහ්යා ඉබ්න් සඊද්
යහ්යා ඉබ්නු සඊද් මෙම සාකච්ඡාවට භාජනය වන වචන කිසිවිටෙකත් වාර්තා නො කරයි. එසේ වුව ද, එම වාර්තාව සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ ද සටහන් වී ඇත.
عن يحيى وهو ابن سعيد، عن عمرة، أنها سمعت عائشة، تقول: – وهي تذكر الذي يحرم من الرضاعة قالت عمرة: فقالت: عائشة – «نزل في القرآن عشر رضعات معلومات، ثم نزل أيضا خمس معلومات
යහ්යා ඉබ්නු සඊද් වෙතින් වාර්තා වන අතර, ඔහු අම්රහ් බින්ත් අබ්දුර් රහ්මාන් වෙතින් ද, ඇය ආයිෂා (රලි) තුමියගෙන් ද වාර්තා කරයි. මහ්රම් (කිරි නෑකම මගින් විවාහය තහනම් වන ඥාති සම්බන්ධතාවය) ස්ථාපිත කරන කුමන ආකාරයේ කිරි බීමක් (breastfeeding) ද යන්න සඳහන් කරමින් ආයිෂා (රලි) තුමිය මෙසේ පැවසූ බව ඇය අසා ඇත.
“නිශ්චිත වශයෙන් දස වරක් කිරි බීම අල් කුර්ආනයෙහි පහළ කරන ලදී. පසු ව නිශ්චිත වශයෙන් පස් වරක් කිරි බීම ද පහළ කරන ලදී.” [9]
යහ්යා ඉබ්නු සඊද් මාර්ගයෙන් මෙම වාර්තාව සටහන් කරන සියලු ම මූලාශ්‍ර, මෙහි සාකච්ඡාවට භාජනය වන අවසාන වචන නොමැතිව එය වාර්තා කරයි. [10] සැබවින්ම, වර්තමාන සාකච්ඡාවට අදාළව වැදගත් කරුණු පැහැදිලි කරන වචන කිහිපයක් ඇතැම් මූලාශ්‍රවල අතිරේකව සඳහන් වේ.
අෂ්-ෂාෆිඊ (මියගිය වර්ෂය: හිජ්රි 204 / ක්‍රි.ව. 820) වෙතින් යහ්යාගේ වාර්තාව අවසන් වන්නේ පහත සඳහන් වචනවලිනි.
فكان لا يدخل على عائشة إلا من استكمل خمس رضعات
” ආයිෂා (රළි) තුමියගේ සම්මුඛයට, කිරි නෑකම (කිරි බීම මඟින් ඇතිවන ඥාති සම්බන්ධතාවය) පදනම් කරගෙන කිසිවෙකුට පැමිණිය නොහැකි විය. ඔහු පස් වරක් කිරි බීම සම්පූර්ණ කර තිබුණේ නම් පමණක් එසේ පැමිණීමට අවසර ලැබුණි.” [11]
අබූ අව්වානා (මියගිය වර්ෂය: හිජ්රි 316 / ක්‍රි.ව. 928) සහ අබූ නුඅයිම් (මියගිය වර්ෂය: හිජ්රි 430 / ක්‍රි.ව. 1068) යන විද්වතුන්ගේ වාර්තා අනුව එය මෙසේ සඳහන් වේ.
حدثني يحيى بن سعيد، عن عمرة، عن عائشة، قالت: «أنزل في القرآن عشر رضعات معلومات، وأنزل بعد خمس» كانت عائشة تفتي بذلك
යහ්යා ඉබ්න් සඊද් වෙතින්, ඔහු අම්රහ් බින්ත් අබ්දුර් රහ්මාන් වෙතින් ද, ඇය ආයිෂා (රලි) තුමියගෙන් ද වාර්තා කරයි. ඇය මෙසේ පැවසුවාය:
“කුර්ආනයෙහි දස වරක් නිශ්චිත කිරි බීමෙන් (කිරි නෑකම ඇති වී) විවාහය තහනම් වන බව පහළ කරන ලදී. ඉන්පසු ව පස් වරක් නිශ්චිත කිරි බීම මගින් එම තත්ත්වය ඇති වන බව පහළ කරන ලද අතර ආයිෂා (රලි) තුමිය මෙම මතය දැරුවාය.” [12]
2.1.3 කාසිම් ඉබ්නු මුහම්මද්ගේ වාර්තාව
ආයිෂා (රලි) තුමියගේ ශිෂ්‍යාවක වූ අම්රහ් බින්ත් අබ්දුර් රහ්මාන් වෙතින් දැනුම් දෙන තවත් වාර්තාකරුවෙකු වන කාසිම් ඉබ්නු මුහම්මද්ගේ වාර්තාවේ ද, මෙහි සාකච්ඡාවට භාජනය වන එම වචන අඩංගු නො වේ. එපමණක් නොව, ඔහුගේ වාර්තාවේ ආයිෂා (රලි) තුමිය ම තමන් සඳහන් කළ එම කරුණ වහී(දිව්‍යමය හෙළිදරව්ව) මඟින් පහළ කරන ලද එකක් වූ අතර, පසු ව එය නස්ක් (අහෝසි) කරන ලද බව පැහැදිලිව ප්‍රකාශ කරයි. ඉබ්නු මාජා (මියගිය වර්ෂය: හිජ්රි 273 / ක්‍රි.ව. 887) මෙසේ වාර්තා කරයි.
عن عبد الرحمن بن القاسم، عن أبيه، عن عمرة، عن عائشة، أنها قالت: كان فيما أنزل الله من القرآن ثم سقط، «لا يحرم إلا عشر رضعات، أو خمس معلومات
අබ්දුර් රහ්මාන් ඉබ්න් අල්-කාසිම් වෙතින්, ඔහු තම පියා වූ කාසිම් ඉබ්න් මුහම්මද් වෙතින් ද, ඔහු අම්රහ් බින්ත් අබ්දුර් රහ්මාන් වෙතින් ද, ඇය ආයිෂා (රලි) තුමියගෙන් ද වාර්තා කරයි. ආයිෂා (රලි) තුමිය මෙසේ පැවසුවාය.”අල්ලාහ් කුර්ආනය පහළ කළ පසු ව නස්ක් (අහෝසි) කළ කරුණු අතරින් එකක් වූයේ, දස වරක් කිරි බීමෙන් හෝ පස් වරක් නිශ්චිත කිරි බීමෙන් හැර වෙනත් කිසිවක් විවාහය තහනම් නොකරන බවයි.” [13]
2.1.4 අබ්දුල්ලාහ් ඉබ්න් අබී බක්ර්ගේ වාර්තාව
මෙහි සාකච්ඡාවට භාජනය වන එම වචන ඇතුළත් මෙම වාර්තාව අප වෙත ලැබෙන්නේ අබ්දුල්ලාහ් ඉබ්නු අබී බක්ර්ගේ වාර්තා මාර්ගය ඔස්සේ පමණක් වන අතර, වෙනත් කිසිදු වාර්තාකරුවෙකු මාර්ගයෙන් එය එසේ වාර්තා වී නොමැත.
فتوفي رسول الله صلى الله عليه وسلم، وهن فيما يقرأ من القرآن
“අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) තුමාණන් මරණයට පත් වන විටත්, එ(ම වාක්‍ය)ය උතුම් අල් කුර්ආනයේ සමුදීරණය කරනු ලබන පාඨයක් ලෙස පැවතිණි.” [14]
මෙය අසාමාන්‍ය අතිරේක පාඨයක් පමණක් නොව, අබ්දුල්ලාහ් ඉබ්න් අබී බක්ර්ගේ වාර්තාව තුළ පවා මෙම කරුණ සම්බන්ධයෙන් එකඟතාවයක් දක්නට නො ලැබේ.
අත්-තිර්මිදි (මියගිය වර්ෂය: හිජ්රි 279 / ක්‍රි.ව. 892) මෙසේ වාර්තා කරයි.
وقالت عائشة: «أنزل في القرآن عشر رضعات معلومات، فنسخ من ذلك خمس، وصار إلى خمس رضعات معلومات، فتوفي رسول الله صلى الله عليه وسلم والأمر على ذلك
حدثنا بذلك إسحاق بن موسى الأنصاري قال: حدثنا معن قال: حدثنا مالك، عن عبد الله بن أبي بكر، عن عمرة، عن عائشة بهذا
ආයිෂා (රලි) තුමිය මෙසේ පැවසුවාය:
“උතුම් අල් කුර්ආනයෙහි පහළ කරන ලද්දේ නිශ්චිත වශයෙන් දස වරක් කිරි බීම පිළිබඳ නියෝගය යි. ඉන්පසු ව එයින් පස් වරක් (කිරි බීම පිළිබඳ නියෝගය) නස්ක් (අහෝසි) කරන ලද අතර, අවසානයේ එය නිශ්චිත වශයෙන් පස් වරක් කිරි බීම ලෙස පවතින්නට විය. ඉන් අනතුරුව අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) තුමාණන් මරණයට පත් වූ අතර, එම කරුණ එලෙස ම පැවතුණි.”
මෙය අප වෙත වාර්තා කරන ලද්දේ ඉස්හාක් ඉබ්න් මූසා අල්-අන්සාරි විසිනි. ඔහු මෙසේ පැවසීය: “මඅන් (ඉබ්න් ඊසා) අප වෙත වාර්තා කළේය. මාලික් අප වෙත වාර්තා කළේය. ඔහු අබ්දුල්ලාහ් ඉබ්න් අබී බක්ර් වෙතින් ද, ඔහු අම්රහ් වෙතින් ද, ඇය ආයිෂා (රලි) තුමිය වෙතින් ද වාර්තා කළේය.” [15]
2.1.5 වාර්තාකරුවෙකු අතින් සිදුවූ නොසැලකිල්ල
ඉහත විශ්ලේෂණයෙන් පැහැදිලි වන්නේ “අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) මරණයට පත් වන විටත් එ(ම වාක්‍ය)ය කුර්ආනයෙහි පාරායනය කරනු ලැබුවේය” යන වචන, ආයිෂා (රලි) තුමියගේ මෙම වාර්තාවට පසු ව එක් වූ අසාමාන්‍ය අතිරේක පාඨයක් වන අතර, එය සඳහන් වන්නේ අබ්දුල්ලාහ් ඉබ්න් අබී බක්ර්ගේ වාර්තා මාර්ගය ඔස්සේ පැමිණි එක් වාර්තාවක පමණක් බවයි. එමෙන් ම, අබ්දුල්ලාහ් ඉබ්නු අබී බක්ර්ගෙන් ම වාර්තා වී අත්-තිර්මිදි විසින් සටහන් කර ඇති තවත් වාර්තාවක මෙම වචන අඩංගු නො වේ. තව ද, යහ්යා ඉබ්න් සඊද් සහ කාසිම් ඉබ්න් මුහම්මද් යන වාර්තාකරුවන්ගේ මාර්ගයෙන් පැමිණෙන මෙම වාර්තාවල ද එවැනි අදහසක් කිසිසේත් සඳහන් නො වේ. මෙය අසාමාන්‍ය අතිරේක පාඨයක් වීම පමණක් නොව, දස වරක් කිරි බීම හා පස් වරක් කිරි බීම යන නියෝග දෙක ම නස්ක් (අවලංගු) කරන ලද බව පැහැදිලිව ප්‍රකාශ කරන කාසිම් ඉබ්න් මුහම්මද්ගේ වාර්තාවලට ද මෙය සෘජුව ම පටහැනි වේ. [16]
මේ සම්බන්ධයෙන් අල්-තහාවි (මියගිය වර්ෂය: හිජ්රි 321 / ක්‍රි.ව. 933) මෙසේ සඳහන් කරයි:
أن القاسم بن محمد في الحفظ والإتقان فوق عبد الله بن أبي بكر، لا سيما وقد وافقه على ما روى من ذلك يحيى بن سعيد وهو فوق عبد الله بن أبي بكر أيضا
“මතක තබාගැනීමේ හැකියාව (හිෆ්ල්) සහ අවබෝධය (ෆික්හ්) යන දෙඅංශයෙන් ම කාසිම් ඉබ්නු මුහම්මද්, අබ්දුල්ලාහ් ඉබ්න් අබී බක්ර්ට වඩා උසස් විය. විශේෂයෙන් ම, ඔහුගේ වාර්තාව යහ්යා ඉබ්න් සඊද්ගෙන් වාර්තා වී ඇති කරුණට අනුකූල වූ අතර, යහ්යා ඉබ්න් සඊද් ද අබ්දුල්ලාහ් ඉබ්න් අබී බක්ර්ට වඩා එම අංශවලින් උසස් අයෙකු විය.” [17]
එමෙන් ම, ඔහු මෙසේ ද ප්‍රකාශ කරයි:
وهذا ممن لا نعلم أحدا رواه كما ذكرنا غير عبد الله بن أبي بكر وهو عندنا وهم منه
“”අප සඳහන් කළ පරිදි, මෙම ප්‍රකාශය අබ්දුල්ලාහ් බින් අබී බක්ර් හැර වෙනත් කිසිදු වාර්තාකරුවෙකු විසින් වාර්තා කර ඇති බව අප දන්නේ නැත. අපගේ මතය අනුව, මෙය ඔහුගේ ම වැරදි අනුමානයක් (වහ්ම්) පමණි.” [18]
අල්-ජස්සාස් (මියගිය වර්ෂය: හිජ්රි 370 / ක්‍රි.ව. 980) සහ ඉබ්නුල්-අරබි (මියගිය වර්ෂය: හිජ්රි 453 / ක්‍රි.ව. 1148) යන විද්වතුන් ද, මෙය වාර්තාකරුවෙකු අතින් සිදුවූ වැරදීමක් (වහ්ම්) බව තහවුරු කර ඇත. [19]
එසේම, ෂෙයික් ඉබ්නු අල්-අරබී ද තම ʿĀriḍat al-Aḥwadhī (5/92) කෘතියේ මෙම ප්‍රකාශය වාර්තාකරුවාගේ පෞද්ගලික අනුමානයක් පමණක් බව සඳහන් කරයි.
ඇත්ත වශයෙන් ම පස් වරක් කිරි උරා බීම් පිළිබඳ පාඨය පාරායනය පමණක් නොව, එහි නීතිමය නියෝගය ද දේවදූත මුහම්මද්තුමාගේ ජීවිත කාලය තුළ ම අවලංගු (නස්ක්) කරන ලද බවට ප්‍රබල සාක්ෂි ඇත.
මුසන්නෆ් අබ්දුර් රස්සාක් ග්‍රන්ථයේ ආයිෂා (රලි) තුමියගෙන් මෙසේ වාර්තා වේ:
لقد كان في كتاب الله عزوجل عشر رضعات ، ثم رد ذلك إلى خمس ، ولكن من كتاب الله ما قبض مع النبي صلى الله عليه وسلم
“නියත වශයෙන් ම, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ කිරි උරා බීම් දහයක් (දරුවෙකු කිරි මවකගේ දරුවෙකු බවට පත් කරමින් විවාහය තහනම් කරන කරුණක් ලෙස) සඳහන්ව තිබුණි. පසු ව එය කිරි උරා බීම් පහක් බවට වෙනස් කරන ලදී. එහෙත්, අල්ලාහ්ගේ ග්‍රන්ථයෙන් කිසිවක් මුහම්මද්තුමාගේ වියෝවෙන් පසුව අහෝසි කරනු නො ලැබීය.එය අවලංගු කරන ලද්දේ නබිතුමා ජීවත්ව සිටියදීමය.” [20]
මෙම වාර්තාව පිළිබඳ අදහස් දක්වන ෂෙයික් මුහම්මද් තකී උස්මානී මෙසේ සඳහන් කරයි:
“ආයිෂා (රලි) තුමියගේ මෙම පුවත මඟින් පැහැදිලි වන්නේ, කිරි උරා බීම් පහ පිළිබඳ වාක්‍ය පාරායනය මුහම්මද්තුමාණන්ගේ වියෝවට පෙර ම අවලංගු කරන ලද බවයි.” [21]
තවද, අල්-කුර්ආනය සහ සුන්නාහ් (දේවදූත සම්ප්‍රධා) පිළිබඳ දැනුම සම්බන්ධයෙන් ආයිෂා (රලි) සහාබාවරුන් අතර ඉතා උසස් ස්ථානයක් හිමි වූ විද්වත් කාන්තාවක් බව ප්‍රසිද්ධ කරුණකි. එමෙන් ම, අල්-කුර්ආනයේ ප්‍රසිද්ධ කිරාආත් (qirāʾāt – පාරායන සම්ප්‍රදායන්) කිහිපයක ම වාර්තා මාර්ගය ආයිෂා (රලි) තුමිය දක්වා ළඟා වන බව දන්නා කරුණකි. එහෙත්, එම කිසිදු පාරායන සම්ප්‍රදායක මෙම විශේෂ වාක්‍ය ඛාණ්ඩය අඩංගු නො වේ.
එබැවින්, මෙම විශේෂ වාක්‍යය සම්ප්‍රේෂකයාගේ පෞද්ගලික අනුමානයක් පමණක් බවට විද්වතුන් ඉදිරිපත් කරන මතයට මෙය තවදුරටත් සහාය ලබා දෙයි.
සටහන:අරාබි පදය වන وهم (වහ්ම්) හදීස් විද්‍යාවේ දී සාමාන්‍යයෙන් “වාර්තාකරුවාගේ නොදැනුවත් වැරදීමක්”, “මතකයේ දෝෂයක්” හෝ “වැරදි අනුමානයක්” යන අර්ථයෙන් භාවිත වේ. එය වාර්තාකරුවා හිතාමතා අසත්‍යයක් පැවසූ බවක් නොව, වාර්තාවේ දී සිදු වූ අසාවද්‍ය දෝෂයක් ලෙස විද්වතුන් විසින් විග්‍රහ කරනු ලබයි.
2.1.6 සැබෑ තත්ත්වය: ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ මතයේ අර්ථානුසාර ප්‍රකාශනය
යහ්යා ඉබ්නු සඊද් සහ අබ්දුල්ලාහ් ඉබ්නු අබී බක්ර් යන දෙදෙනාගේ වාර්තා මාර්ග ඔස්සේ පැමිණි වාර්තාවන් සංසන්දනය කළ විට, අදහස් කර ඇත්තේ ආයිෂා (රලි) තුමිය කිරි නෑකම (රළාඅත්) ස්ථාපිත වන්නේ නිශ්චිතව පස් වරක් කිරි බීමෙන් පමණක් බවට වූ මතය දැරූ බව යන්න බව පහසුවෙන් වටහාගත හැකි ය. මෙම කරුණ විවිධ වාර්තාවල විවිධ ආකාරයෙන් ප්‍රකාශ කර ඇත. යහ්යා ඉබ්නු සඊද්ගේ වාර්තාවල එය “ආයිෂා (රලි) තුමිය මෙම මතය දැරුවාය” යනුවෙන් ද, “පස් වරක් කිරි බීම සම්පූර්ණ කළ අයෙකුට පමණක් කිරි නෑකම පදනම් කරගෙන ආයිෂා (රලි) තුමියගේ සම්මුඛයට පැමිණිය හැකි විය” යනුවෙන් ද සඳහන් වේ. එහෙත්, අබ්දුල්ලාහ් ඉබ්නු අබී බක්ර්ගේ වාර්තාවේ එම අදහස “මුහම්මද් (ﷺ) තුමා මරණයට පත වන තෙක් එම තත්ත්වය එලෙසම පැවතුණි” යන වචනවලින් ප්‍රකාශ කර ඇත.
මෙම තොරතුරු මගින් තවත් පැහැදිලි වන්නේ, මෙම සියලු ම වාර්තා වල අවසාන ප්‍රකාශය සමහර කතුවරුන් [22]සාමාන්‍යයෙන් උපකල්පනය කරන පරිදි ආයිෂා (රලි) තුමිය විසින් පැවසූ කථාවේ කොටසක් නොවන බවයි. එය පසුකාලීන වාර්තාකරුවන් විසින් ආයිෂා (රලි) තුමියගේ අදහස විස්තර කිරීම හෝ පැහැදිලි කිරීම සඳහා එකතු කළ ප්‍රකාශයකි. තව ද එම පසුකාලීන වාර්තාකරුවන් මුහම්මද් (ﷺ) තුමා මරණයට පත් වූ අවස්ථාවේ ජීවත්ව සිටි අය නොවූහ.
වැදගත් කරුණක් ලෙස, ඉබ්නු ජුරයිජ් විසින් නාෆි‘ හරහා සාලිම් බින් අබ්දුල්ලාහ්ගෙන් වාර්තා කරන ලද වාර්තාවකක අවසානයට ආසන්නව මෙසේ සඳහන් වේ.
قال: زعموا أن عائشة قالت: ” لقد كان في كتاب الله عز وجل: عشر رضعات، ثم رد ذلك إلى خمس، ولكن من كتاب الله ما قبض مع النبي صلى الله عليه وسلم
ඉබ්නු ජුරයිජ් පැවසීය: ඔවුන් සඳහන් කළේ ආයිෂා (රලි) තුමිය මෙසේ පැවසූ බවයි:
“සැබැවින් ම කිරි උරා බීම දස වතාවක් සිදු කිරීම (කිරි මවක හා දරුවෙකු අතර ඥාති සම්බන්ධතාවය තහවුරු කිරීමට සාක්ෂියක් ලෙස) අල්-කුර්ආනයේ සඳහන්ව තිබුණි. පසු ව එය කිරි උරා බීම පස් වතාවක් ලෙස වෙනස් කරන ලදී. එය අල්ලාහ්ගේ ග්‍රන්ථයේ තිබූ නමුත්, එහි එම කොටස නබිතුමා (ﷺ) ජීවත්ව සිටිය දී අහෝසි කරන ලදී (නස්ක් කරන ලදී).” [23]
සහීහ් මුස්ලිම් වැනි ග්‍රන්ථවල සඳහන් මෙම පුවත වාර්තා කිරීමේ දී සිදුවූ නොසැලකිල්ලක් හේතුවෙන් ඇතිවන සැකය දුරු කිරීමේ දී මෙය පැහැදිලි සාක්ෂියකි. [24]
2.2 ආයිෂා (රලි) තුමියට එවැනි වාක්‍යයක් පිළිබඳව කිසිදු දැනුමක් නොතිබුණි.
තව ද ආයිෂා (රලි) තුමිය මුහම්මද් (ﷺ) තුමාණන් මරණයට පත් වූ පසු දීර්ඝ කාලයක් ජීවත් වූ අතර, ඇගේ පියා වූ අබූ බක්ර් (රලි) තුමාණන් විසින් අල්-කුර්ආනයේ පළමු නිල පිටපත සකස් කරවන අවස්ථාවේදීත්, උස්මාන් (රලි) තුමාණන් විසින් අල්-කුර්ආනයේ පිටපත් කිහිපයක් විවිධ ප්‍රදේශවලට යවන අවස්ථාවේදීත් ඇය සිටියාය. එහෙත්, එවැනි වාක්‍යයක් විශේෂයෙන් ම නීතිමය තීන්දුවක් අඩංගු වාක්‍යයක් අතපසු වී ඇති බව ඇය හෝ මුහම්මද් (ﷺ) තුමාගේ වෙනත් කිසිදු සහචරයෙකු සඳහන් කළ බවට ඉතාමත් දුර්වල හෝ අවම ඉඟියක්වත් අපට හමු නො වේ. ආයිෂා (රලි) තුමිය එ් පිළිබඳව දැන සිටියා නම්, ඇය එය සටහන් කර තැබීමට සෑම උත්සාහයක් ම ගනු ඇත. මන්ද, නබිතුමාගේ (ﷺ) අනෙකුත් සහාබාවරුන් ඇය සමඟ මතභේද වූ එම කරුණ සම්බන්ධයෙන් එය අවසාන හා ප්‍රබලම සාක්ෂිය විය හැකි බැවිනි.
2.3 එක් වරක් කිරි උරා බීම පවා කිරි ඥාති සම්බන්ධතාවය තහවුරු කරයි
අපි අධ්‍යනය කරමින් සිටින මෙම පුවත මගින්, කිරි උරා බීමේ කොපමණ ප්‍රමාණයක් කිරි ඥාති සම්බන්ධතාවය (රලාඅත්) තහවුරු කිරීමට ප්‍රමාණවත් ද යන්න පිළිබඳ නීතිමය තීන්දුව ක්‍රමක්‍රමයෙන් වෙනස් වූ බව තහවුරු කරයි. මුලදී එය කිරි උරා බීමේ වාර දහයක් ලෙස පැවති අතර, පසු ව එය වාර පහක් ලෙස වෙනස් කරන ලදී. සමහර වාර්තා අනුව, එය මුලින්ම වාර දහයකින් වාර හතක් දක්වාත්, ඉන්පසුව වාර පහක් දක්වාත් වෙනස් කරන ලදී. අවසානයේ දී, ළදරු වියේ දී සිදුවන කිරි උරා බීමේ ඕනෑම සංඛ්‍යාවක් කිරි ඥාති සම්බන්ධතාවය ස්ථාපිත කරන බවට තීරණය කරන ලදී. [25]
අබ්දුර් රස්සාක් (මිය ගියේ 211/827) විසින් ඉබ්නු ජුරයිජ්ගෙන් මෙසේ වාර්තා කරයි
أخبرني عبد الكريم، عن طاوس قال: قلت له: إنهم يزعمون أنه لا يحرم من الرضاع دون سبع رضعات، ثم صار ذلك إلى خمس، فقال طاوس: «قد كان ذلك فحدث بعد ذلك أمر جاء التحريم، المرة الواحدة تحرم
අබ්දුල් කරීම් මට දැනුම් දුන්නේ, ඔහු තාවූස්ට මෙසේ පැවසූ බවයි:
“මිනිසුන් පවසන්නේ කිරි උරා බීම හත් වතාවක් සිදු නොවූයේ නම් කිරි ඥාති සම්බන්ධතාවය ස්ථාපිත නොවන බවත්, පසු ව එය වාර පහක් ලෙස වෙනස් කරන ලද බවත්ය.” එවිට තාවූස් මෙසේ පැවසීය. “එය එසේ පැවතිණි. නමුත් පසු ව තවත් තීන්දුවක් නියම කරන ලදී; එනම් එක් වරක් පමණක් කිරි උරා බීම සිදු වුව ද එමගින් කිරි ඥාති සම්බන්ධතාවය තහවුරු වන බවයි.” [26]
තවත් වාර්තාවක මෙසේ සඳහන් වේ.
عن طاووس قال : اشترط عشر رضعات ثم قيل : إن الرضعة الواحدة تحرم
තාවූස් මෙසේ පැවසීය: “මුලින් කිරි උරා බීමේ වාර දහයක් නියම කරන ලදී. පසු ව, එක් වරක් පමණක් කිරි උරා බීම සිදු වුව ද එමගින් කිරි ඥාති සම්බන්ධතාවය තහවුරු වන බව ප්‍රකාශ කරන ලදී.” [27]
අල්-ජස්සාස් ද ඉබ්නු අබ්බාස් (රලි) තුමාගෙන් වාර්තා වූ සමාන වාර්තාවක් සටහන් කර ඇත.
عن طاوس عن ابن عباس أنه سئل عن الرضاع فقال إن الناس يقولون لا تحرم الرضعة ولا الرضعتان قال قد كان ذاك فأما اليوم فالرضعة الواحدة تحرم
තාවූස් සඳහන් කළේ කිරි ඥාති සම්බන්ධතාවය පිළිබඳ ඉබ්නු අබ්බාස් (රලි) තුමාගෙන් අදහස විමසන ලද බවයි. මන්ද, මිනිසුන් පවසමින් සිටියේ එක් වරක් හෝ දෙවරක් කිරි උරා බීම මගින් (කිරි ඥාති සම්බන්ධතාවය හරහා විවාහය) තහනම් නොවන බවයි. එවිට ඔහු “ආරම්භයේ එය එසේ පැවතිණි. නමුත් දැන් එක් වරක් කිරි උරා බීමක් පවා (කිරි ඥාති සම්බන්ධතාවය හේතුවෙන් විවාහය) තහනම් කරයි.” යැයි පැවසීය. [28]
වෙනත් වාර්තා මගින් පැහැදිලිව සඳහන් කරන්නේ, අබ්දුල්ලාහ් බින් උමර් සහ සඊද් බින් අල්-මුසය්යබ් වැනි ප්‍රමුඛ පුද්ගලයන් මෙම කරුණ සම්බන්ධයෙන් ආයිෂා (රලි) තුමියගේ “කිරි උරා බීමේ වාර පහ” යන අදහස ප්‍රතික්ෂේප කළ බවයි. එමෙන් ම, එය අල්-කුර්ආනයේ නියෝගයේ සාමාන්‍ය ස්වභාවයට (අල්-කුර්ආනය 4:23) පටහැනි බව ද ඔවුහු අවධාරණය කළහ. [29]
ආයිෂා (රලි) තුමිය කිරි උරා බීමේ වාර පහක් යන මතයේ ස්ථිරව සිටි අයෙකු බව අප දන්නා නමුත්, මෙම වාර්තා මගින් අබ්දුල්ලාහ් බින් අබී බක්ර් විසින් ආයිෂා (රලි) තුමියගේ අදහස සඳහන් කිරීමේ දී එය කිසිදා අහෝසි (නස්ක්) නොකළ බවට ප්‍රකාශයක් එක් කරමින් එය පැහැදිලි කිරීමට උත්සාහ කළ පසුබිම අපට අවබෝධ කර ගැනීමට උපකාරී වේ. අවාසනාවකට මෙන්, මේ ආකාරයේ ඔහුගේ ප්‍රකාශය සම්බන්ධ වාර්තා දෙකෙන් එකක් අප වෙත පැමිණ ඇත්තේ, එය මතභේදාත්මක තත්ත්වයකට පත් කරන වචනවලින් වන අතර, ඒ නිසා එය වහාම පැහැදිලි කිරීමක් අවශ්‍ය විය.
මෙහිදී ඉක්මනින්ම එකතු කළ හැකි කරුණක් වන්නේ, මෙම නීතිමය තීන්දුව ක්‍රමක්‍රමයෙන් වෙනස් කිරීම පිටුපස ඇති ප්‍රඥාව (ගැඹුරු අදහස) මෙය වූ බවයි. එදා අරාබියේ අන් අයගේ දරුවන් කිරි දී ඇති දැඩි කිරීම (කිරි ඥාති සම්බන්ධතාවයක් ඇති කිරීම) සාමාන්‍ය පුරුද්දක් විය. එයට අනාගතයේ සිදුවිය හැකි විවාහ සම්බන්ධතා පිළිබඳ බලපෑම් තිබූ බැවින්, සමාජය තුළ විශාල කලබලයක් හෝ අපහසුතාවයක් ඇති නොවන පරිදිත්, අවසාන නියෝගය සඳහා ඔවුන් සූදානම් කිරීම සඳහාත්, එම නියෝගය දැඩි ලෙස ක්‍රියාත්මක කරනු ලැබුවේ ක්‍රමක්‍රමයෙන්ය.
3. සාරාංශය සහ නිගමනය
ආයිෂා (රලි) තුමියගේ හදීස් (පුවත) පිළිබඳ වාර්තාව මුලින් බැලූ විට පෙනී යන්නේ මුහම්මද් (ﷺ) තුමාගේ ජීවිතයේ අවසාන කාලය දක්වා ම කිරි උරා බීමේ වාර පහක් මගින් කිරි ඥාති සම්බන්ධතාවය තහවුරු වන බව අල්-කුර්ආනයේ සඳහන්ව තිබූ බවය නමුත්, ඇත්ත වශයෙන් එය අසාමාන්‍ය වාර්තාවකි. එහි දී එම කරුණ සම්බන්ධයෙන් ස්ථාවර ලෙස එකම අදහසක් නොපෙන්වූ වාර්තාකරුවෙකුගෙන් සිදුවූ නොසැලකිලිමත්භාවය ඇතුළත් වී ඇත. ඇත්ත වශයෙන් ම, ඔහු සහ ආයිෂා (රලි) තුමියගේ එම වාර්තාව ඉදිරිපත් කළ අනෙකුත් වාර්තාකරුවන් අදහස් කළේ, ආයිෂා (රලි) කිරි උරා බීමේ වාර පහක් යන මතය පිළිගත් අයෙකු බව පමණක් පැහැදිලි කිරීමයි. එහෙත් වැරදි කළ වාර්තාකරු තවදුරටත් එය පැහැදිලි කිරීමට උත්සාහ කරමින්, නබිතුමාගේ (ﷺ) ජීවිතයේ අවසානය දක්වාම එය එසේ පැවති බව ප්‍රකාශ කළේය. එමඟින් ඔහු අදහස් කළේ, ආයිෂා (රලි) තුමිය අනුගමනය කළ එම මතය නිවැරදි වූ බවත්, නබිතුමාගේ (ﷺ) සහාබාවරුන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ ප්‍රසිද්ධ ශිෂ්‍යයන් එය අවලංගු කර ඇති බව පැවසුව ද, එය අවලංගු නොවූ බවත් පෙන්වීමටය.
වාසනාවකට මෙන්, එම තොරතුරුම අපට ලබා දෙන වෙනත් වාර්තාකරුවන් සහ පුළුල් පසුබිම පැහැදිලි කරන වෙනත් වාර්තා ද අප සතුව ඇත. ඒවා මගින් ඇත්ත වශයෙන් ම පැවසූ දෙය කුමක් ද සහ එසේ පැවසීමට හේතුව කුමක් ද යන්න තීරණය කර ගැනීමට අපට හැකි වේ. එමඟින් එම නොසැලකිල්ල සිදුවීමට හේතු වූ කරුණු ද අපට අවබෝධ කර ගත හැක. මෙම තොරතුරු මගින් තහවුරු වන්නේ, අල්-කුර්ආනයේ එවැනි කිසිදු වාක්‍යයක් නොතිබූ බවයි. විශේෂයෙන්ම, ආයිෂා (රලි) තුමිය ඇතුළු කිසිවෙකු එය මුහම්මද්තුමාගේ (ﷺ) මරණයට පත් වීමෙන් පසුවත් කියවිය යුතු වාක්‍යයක් ලෙස සැලකූ බවට සාක්ෂියක් නොමැත.
මේ සියල්ල මගින් පැහැදිලි වන්නේ, සලකා බලමින් සිටින මෙම හදීස් (වාර්තාව) විවේචනාත්මකව පරීක්ෂා කළ විට, අල්-කුර්ආනය සංරක්ෂණය වී ඇති බව පිළිබඳව කිසිදු සැකයක් ඇති නොකරන බවයි.
References
[1] Muslim b. Hajjaj, al-Sahih, Translation by Abdul Hamid Siddiqui (Lahore: Sh. Muhammad Ashraf, 1978) Vol.2 Hadith 3421.
Another translation goes as;
“Among the things that were revealed of the Qur’an was that ten definite breastfeedings make a person a Mahram, then that was abrogated and replaced with five definite breastfeedings, and the Messenger of Allah (ﷺ) passed away when this was among the things that were recited of the Qur’an.”
තවත් පරිවර්තනයක මෙසේ සඳහන් වේ.
“අල්-කුර්ආනයෙන් පහළ කරන ලද කරුණු අතරින් එකක් වූයේ, නිශ්චිත ලෙස කිරි උරා බීමේ වාර දහයක් සිදු කිරීමෙන් පුද්ගලයෙකු මහ්රම් (විවාහය තහනම් වන කිරි ඥාති සම්බන්ධතාවයක් ඇති අයෙකු) බවට පත්වන බවයි. පසුව එය අවලංගු කර, ඒ වෙනුවට නිශ්චිත කිරි උරා බීමේ වාර පහක් නියම කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) මරණයට පත් වූයේ, මෙය අල්-කුර්ආනය ලෙස පරායනය කරනු ලැබූ කරුණු අතර තිබියදීය.”
See, Muslim b. Hajjaj, al-Sahih, Translation by Nasiruddin al-Khattab (Riyadh: Darussalam Publishers, 2007) Hadith 1452 (24) [3597]
[2] Burton, John, The Collection of the Qur’an, (London: Cambridge University Press, 1977) 111..
[3] Al-Baghdadi, Riadh Hussain ‘Abd al-Latif al-Ta’i, Marwiyyat Naskh al-Tilawah – Jam‘a wa Dirasah, (Amman: al-Athariyya, 2014) 188-189..
[4] Fatoohi, Louay, Abrogation in the Qur’an and Islamic Law, (Kuala Lumpur: Islamic Book Trust, 2013) 302-303..
[5] Critique methodology in traditional hadith science is based on solid rational grounds. On this see, al-‘Awni, Hatim Sharif, Al-Usus Al-ʿAqliyyah li Manhaj Naqd Al-Muhaddithin, (Cairo: Markaz Ihya’ lil-Buhuth wa al-Dirasat, 2020); for sections most relevant to the analysis that follows in this article, see pp. 91-148 (sections 4 and 5).
[6] Al-Shawkani, Muhammad b. ‘Ali, al-Fawa’id al-Majmu‘a fi al-Ahadith al-Mawdu‘a, Edited by Al-Mu ‘allami al-Yamani, (Beirut: DKI, 1995) 8 (intro)..
[7] Sharah Al-Nawawi 5/183.
[8] The truth is that Muslim b. Hajjaj himself never suggested that every single narration in his work was authentic to the letter. In fact in his introduction to the work he himself mentioned that he would point to certain defects in specific narrations of the reports. See, Sahih Muslim, Translated by Nasiruddin al-Khattab, (Riyadh: Darussalam Publishers, 2007) Vol.1, 42 (Intro.)
A contemporary authority on hadith Shaykh Muhammad ‘Awwama discusses the fact and methodology of Muslim b. Hajjaj in presenting narrations defective in certain details thereof in a dedicated treatise; Min Manhaj al-Imam Muslim fi ‘Ard al-Hadith al-Mu‘allal fi Sahihihi (On the Methodology of Imam Muslim in Presenting Defective Narrations in his Sahih). He qualifies his study with over twenty examples from this wonderful hadith collection. He argues that the claim of the authenticity of the narrations in Sahih Muslim and the consensus on it is for the collectivity of narrations in every chapter of the work and not for each of them in all their respective details.
Further, Muhammad ‘Awwama points out that whenever the defect or point of concern is in the content of a narration Muslim b. Hajjaj brings the narration with the defect first and follows it with the narration free from it. On the other hand when the defect is in the chain of narrators he brings the defective narration latter. See, ‘Awwama, Muhammad, Min Manhaj al-Imam Muslim fi ‘Ard al-Hadith al-Mu‘allal fi Sahihihi, (Jeddah: Dar al-Minhaj, 2017) 22-24
In the subject case too we find Muslim b. Hajjaj quoting the ‘Abdullah b. Abi Bakr’s narration of the report first and that of Yahya b. Sa‘id latter, alluding to the problem with uncorroborated words in the former.
සිංහල පරිවර්තනය: හදීස් විෂයේ සමකාලීන විද්වතෙකු වන ෂෙයික් මුහම්මද් අව්වාමා, මුස්ලිම් බින් හජ්ජාජ් විසින් ඇතැම් විස්තරාත්මක කරුණු වල දෝෂ සහිත වාර්තා ඉදිරිපත් කළ ආකාරය සහ එහි ක්‍රමවේදය පිළිබඳව විශේෂ ග්‍රන්ථයක් තුළ සාකච්ඡා කරයි. එම ග්‍රන්ථය “මින් මන්හජ් අල්-ඉමාම් මුස්ලිම් ෆී අර්ද් අල්-හදීත් අල්-මු‘අල්ලල් ෆී සහීහිහි” (මුස්ලිම් ඉමාම්වරයා තම සහීහ් ග්‍රන්ථයේ දෝෂ සහිත රිවායත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව) යන නාමයෙන් හැඳින්වේ.
මෙම විශිෂ්ට හදීස් සංග්‍රහයෙන් උදාහරණ විස්සකට වඩා ගෙන ඔහු තම අධ්‍යයනය තහවුරු කරයි. ඔහු පෙන්වා දෙන්නේ, සහීහ් මුස්ලිම් ග්‍රන්ථයේ ඇති වාර්තා සත්‍ය බව පිළිබඳ ප්‍රකාශය සහ ඒ සම්බන්ධයෙන් ඇති එකඟතාවය අදහස් කරන්නේ එහි එක් එක් පරිච්ඡේදයේ ඇති වාර්තා සමූහය පිළිබඳව බවයි; ඒවායේ සෑම වාර්තාවකම සෑම විස්තරාත්මක කොටසක්ම අනිවාර්යයෙන්ම නිවැරදි බව නොවේ.
තවද, මුහම්මද් අව්වාමා පෙන්වා දෙන්නේ, යම් වාර්තාවක දෝෂය හෝ සැලකිල්ලට ගත යුතු කරුණ එහි අන්තර්ගතය (මතන්) තුළ තිබේ නම්, මුස්ලිම් බින් හජ්ජාජ් එම දෝෂය සහිත වාර්තාව මුලින් ඉදිරිපත් කර, පසුව එම දෝෂයෙන් තොර වාර්තාව ඉදිරිපත් කරන බවයි. එහෙත් දෝෂය වාර්තාකරුවන්ගේ දාමය (සනද්) තුළ තිබේ නම්, ඔහු දෝෂ සහිත වාර්තාව පසු ව ඉදිරිපත් කරයි.
බලන්න: අව්වාමා, මුහම්මද්, මින් මන්හජ් අල්-ඉමාම් මුස්ලිම් ෆී අර්ද් අල්-හදීත් අල්-මු‘අල්ලල් ෆී සහීහිහි (ජෙද්දා: දාර් අල්-මින්හාජ්, 2017), පිටු 22–24.
මෙම කරුණට අදාළ සිද්ධියේදීද, මුස්ලිම් බින් හජ්ජාජ් මුලින් අබ්දුල්ලාහ් බින් අබී බක්ර්ගේ වාර්තාව උපුටා දක්වා, පසුව යහ්යා බින් සඊද්ගේ වාර්තාව ඉදිරිපත් කරන බව අපට දැකගත හැක. මෙයින් ඔහු පළමු වාර්තාවේ ඇති, වෙනත් සාක්ෂි මගින් තහවුරු නොවූ වචන සම්බන්ධ ගැටලුවක් වෙත ඉඟි කරන බව පෙනේ.
[9] Muslim b. Hajjaj, al-Sahih, Hadith 1452 (25) [3598-3599];.
[10] al-Shafi‘i, Muhammad b. Idris, al-Musnad (tartib al-Sindi), Edited by Muhammad Zahid al-Kawthari (Beirut: DKI, 1951) Hadith 67; al-San‘ani, ‘Abdul Razzaq, al-Musannaf, (Dabhel: Majlis al-‘Ilmi, 1983 Hadith 13913; al-Jawzjani, Sa‘id b. Mansur, al-Sunan, (Bombay: Dar al-Salafiyya, 1982) Hadith 976; Abu ‘Awana, al-Mustakhraj, (Beirut: Dar al-Ma’rifa, 1998) Hadith 4422; al-Tahawi, Abu Ja ‘far, Sharh Mushkil al-Athar, (Beirut: al-Resalah Publishers, 1994) Hadith 2065-2066, 4567- 4568; al-Fakihi, Abu Muhammad, al-Fawa’id, (Riyadh: Maktaba al-Rushd, 1998) Hadith 31; al-Daraqutni, Abu al-Hasan, al-Sunan, (Beirut: al-Resalah Publications, 2004) Hadith 4384; al-Baihaqi, Abu Bakr, al-Sunan al-Kubra, (Beirut: DKI, 2003) Hadith 15620
[11] al-Shafi‘i, al-Musnad, Hadith 67; al-Baihaqi, al-Sunan al-Kubra, Hadith 15621..
[12] Abu ‘Awana, al-Mustakhraj, Hadith 4423; al-Asbahani, Abu Nu‘aim, al-Musnad al-Mustakhraj ‘ala Sahih Muslim, (Beirut: DKI, 1996) Hadith 3400..
[13] Ibn Majah, al-Sunan, (Beirut: al-Resalah Publishers, 2009) Hadith 1942; classified as sahih by al-Albani and Shu‘aib al-Arnaut; see also; al-Tahawi, Sharh Mushkil al-Athar, Hadith 2064, 4561; ; al-Fakihi, al-Fawa’id, Hadith 30..
[14] al-Sajistani, Abu Dawud, al-Sunan, (Riyadh: Darussalam Publishers, 2007) Hadith 2062; al-Nasa’i, Abu ‘Abdul Rahman, al-Sunan, Edited by ‘Abdul Fattah Abu Ghoddah (Aleppo: Maktab al-Matbu‘at al-Islamiyya, 1986) Hadith 3307; Malik b. Anas, al-Muwatta, (Abu Dhabi: Mo’assasa Zayd bin Nahyan, 2005) Hadith 540/2253; al-Darimi, al-Musnad, (Riyadh: Dar al-Mughni, 2000) Hadith 2299; Ishaq b. Rahawayh, al-Musnad, (Madina: Maktaba al-Iman, 1991) Hadith 1007; al-Shafi‘i, Muhammad b. Idris, al-Musnad, Hadith 66; al-Tahawi, Abu Ja‘far, Sharh Mushkil al-Athar, Hadith 2063, 4566; al-Fakihi, al-Fawa’id, Hadith 32; al-Busti, Ibn Hibban, al-Sahih, (Beirut: Al-Resalah Publishers, 1988) Hadith 4221-4222; al-Baihaqi, al-Sunan al-Kubra, Hadith 15619
[15] Al-Tirmidhi, Abu ‘Isa, al-Jami‘ al-Kabir – Sunan al-Tirmidhi, (Beirut: Al-Resalah Publishers, 2009) Vol.3, 9 Hadith 1184;..
[16] Al-Sindi, Abu al-Hasan, Hashia ‘ala Sunan Ibn Majah, (Beirut: Dar al-Jil, n.d.) Vol.1, 598; see also, al-Qurtubi, Abu al-‘Abbas, al-Mufhim lima Ashkal min Talkhis Kitab Muslim, (Beirut: Dar Ibn Kathir, 1996) Vol.4, 185.
Whether the five-suckling thing was abrogation in recitation i.e. from the text of the Qur’an alone or the ruling too was abrogated is a point of contention among scholars. Hanafis and Malikis hold that the ruling itself was abrogated. Shafi‘is and Hanbalis, on the other hand, say that it was abrogated only in recitation and that it is a proof of their position that foster relation is established through five-suckling only. No doubt some early scholars did subscribe to the five-suckling view, it is presumptive to say that it was revealed as Qur’an and then abrogated in recitation. Narrations of the hadith to this effect only affirm the change of ruling from ten-suckling to five-suckling and not that five-suckling was then read in Qur’an as well. At the most some reports use the word “nazal” (lit. revealed) in mentioning the shift to five-suckling which is obviously not the same as being from Qur’an for the Prophet’s (ﷺ) instructions otherwise too had the divine sanction through revelation.
සිංහල පරිවර්තනය: කිරි උරා බීමේ වාර පහක් පිළිබඳ කරුණ සම්බන්ධයෙන්, එය කියවීමේ අවලංගු කිරීමක් (නස්ක් අල්-තිලාවා පමණක්ද — එනම් අල්-කුර්ආනයේ පාඨයෙන් පමණක් ඉවත් කිරීමක් ද — නැතහොත් එහි නීතිමය තීන්දුවද අවලංගු කරන ලද්දේ යන්න විද්වතුන් අතර මතභේදයට ලක්වූ කරුණකි.)
හනෆි සහ මාළිකි විද්වතුන්ගේ මතය වන්නේ, එහි නීතිමය තීන්දුවම අවලංගු කරන ලද බවයි. අනෙක් අතට, ෂාෆිඊ සහ හන්බලි විද්වතුන් පවසන්නේ, එය කියවීමේදී පමණක් අවලංගු කරන ලද බවත්, කිරි උරා බීමේ වාර පහක් මගින් පමණක් කිරි ඥාති සම්බන්ධතාවය ස්ථාපිත වන බව ඔවුන්ගේ මතයට සාක්ෂියක් ලෙස එය භාවිත කරන බවත්ය.
සැකයකින් තොරව, මුල් කාලීන විද්වතුන්ගෙන් සමහරු කිරි උරා බීමේ වාර පහක් යන මතය පිළිගත්හ. නමුත් එය මුලින් අල්-කුර්ආනය ලෙස පහළ වී පසුව කියවීමෙන් අවලංගු කරන ලද්දක් යැයි පැවසීම පූර්ව උපකල්පනයක් මත පදනම් වූ අදහසකි.
මෙම කරුණ සම්බන්ධ හදීස් වාර්තා මගින් තහවුරු කරන්නේ, කිරි උරා බීමේ වාර දහයක සිට වාර පහක් දක්වා නීතිය වෙනස් වූ බව පමණි. එම වාර්තා මගින් වාර පහක් අල්-කුර්ආනයේද කියවනු ලැබූ බවක් තහවුරු නොකරයි.
උපරිම වශයෙන්, සමහර වාර්තා වාර පහක් දක්වා වූ වෙනස සඳහන් කිරීමේදී (nazal) යන වචනය (අර්ථයෙන් “පහළ විය” හෝ “අනාවරණය විය”) භාවිත කරයි. නමුත් එය අනිවාර්යයෙන්ම එය අල්-කුර්ආනයේ කොටසක් වූ බව අදහස් නොකරයි. මන්ද, නබිතුමාගේ (ﷺ) වෙනත් උපදෙස්ද වහී (දිව්‍යමය හෙළිදරව්ව) මගින් අනුමත වූ බැවිනි.
[17] al-Tahawi, Sharh Mushkil al-Athar, Vol.5, 311-312..
[18] al-Tahawi, Sharh Mushkil al-Athar, Vol.5, 311-312..
[19] Al-Jassas, Abu Bakr, al-Fusul fi al-Usul, (Kuwait: Ministry of Awqaf and Islamic Affairs, 1994) Vol.2, 268; Al-Maliki, Ibn al-‘Arabi, ‘Ardah al-Ahwadhi bi Sharh Sahih al-Tirmidhi, (Beirut: DKI, 1997 ) Vol.5, 92..
[20] Musannaf Abdul Razzaq, Hadith 13928.
[21] Takmala Fath al- Mulhim 1/46.
[22] Fatoohi, Louay, Abrogation in the Qur’an and Islamic Law, 303..
[23] Al-San‘ani, ‘Abdul Razzaq, al-Musannaf, Hadith 13928; al-Albani says if the person saying this is Salim the report is sahih, if it is Ibn Juraij it is truncated (munqati‘). See al-Albani, Nasir al-Din, Sahih Sunan Abu Dawud,.
[24] Usmani, Muhammad Taqi, Takmila Fath al-Mulhim, (Beirut: Dar Ihya’ al-Turath, 2006) Vol.1, 68..
[25] Al-Kashmiri, Anwar Shah, al-‘Arf al-Shadhi Sharh Sunan al-Tirmidhi, (Beirut: Dar al-Turath al-‘Arabi, 2004) Vol.2, 396..
[26] Al-San‘ani, ‘Abdul Razzaq, al-Musannaf, Hadith 13928; al-Albani says if the person saying this is Salim the report is sahih, if it is Ibn Juraij it is truncated (munqati‘). See al-Albani, Nasir al-Din, Sahih Sunan Abu Dawud, (Kuwait: Mo’assasa Gheras, 2002. Vol.6, 304 Hadith 1600. This, however, is not a foregone conclusion. Even if Ibn Juraij said it, and it appears more likely, it is quite possible that he got it from people who had learnt from ‘Aisha as we know he had taken from some of ‘Aisha’s pupils including Nafi‘.සිංහල පරිවර්තනය: කෙසේ වෙතත්, මෙය කලින්ම තීරණය කළ හැකි නිගමනයක් නොවේ. ඉබ්නු ජුරයිජ් එය පැවසූ බවත්, එය එසේ වීමට වැඩි ඉඩක් ඇති බවත් පිළිගත්තද, ඔහු එය ලබාගෙන ඇත්තේ ආයිෂා (රලි) තුමියගෙන් ඉගෙන ගත් පුද්ගලයන්ගෙන් විය හැකිය. මන්ද, අප දන්නා පරිදි ඔහු ආයිෂා (රලි) තුමියගේ ශිෂ්‍යයන් කිහිප දෙනෙකුගෙන්, ඒ අතර නාෆි‘ද ඇතුළුව, දැනුම ලබාගෙන තිබූ බැවිනි.
[27] Ibn Abi Shaiba, al-Musannaf, Edited by Muhammad ‘Awwama (Beirut: Dar Qurtuba, 2006) Hadith 17314..
[28] Al-Jassas, Abu Bakr, Ahkam al-Qur’an, (Beirut: Dar Ihya’ al-Turath al-‘Arabi, 1405 AH) Vol.3, 67..
[29] Al-San‘ani, ‘Abdul Razzaq, al-Musannaf, Hadith 13911, 13921; al-Jawhari, ‘Ali b. al-Ja‘d, al-Musnad, (Beirut: Mo’ssasa Nadir, 1990) Hadith 2614; al-Marwazi, Muhammad b. Nasar, al-Sunnah, (Beirut: Mo’ssasa Kutab al-Thaqafiyya, 1408 AH) Hadith 309; al-Baiha.
![]()