මුහම්මද් නබිතුමා සිය බිරිඳ වන ආයිෂා මෑණියට පහර දුන්නේද?

ඉස්ලාම් භක්තිකයන්ට වෛර කරන ඇතැම් දේශකයින් පවසන්නේ මුහම්මද් නබිතුමා (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සැබවින්ම සිය බිරිඳ වන ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියට පහර දුන් බවයි. ඔවුන් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන මෙම වාර්තාව (හදීසය) සැබවින්ම කුමක්ද සහ එයින් සැබෑවටම අදහස් කරන්නේ කුමක්ද කියා අපි විග්‍රහ කර බලමු.

ඔවුන් භාවිත කරන මෙම නිවේදනය ‘සහීහ් මුස්ලිම්’ (Sahih Muslim) හදීස් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද්දකි:

මුහම්මද් බින් කයිස් (ජනතාවට) මෙසේ පැවසීය: “මාගේ සහ මාගේ මවගේ අධිකාරියෙන් (නබිතුමාගේ) හදීසයක් මා ඔබට ප්‍රකාශ කරන්න ද?” ඔහු අදහස් කළේ ඔහුව මෙලොවට බිහි කළ මව ගැන යැයි අපි සිතුවෙමු. පසුව ඔහු (මුහම්මද් බින් කයිස්) ප්‍රකාශ කළේ මෙය ආයිෂා තුමිය විසින් නිවේදනය කරන ලද්දක් බවයි: ඇය “මා සහ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගැන මම ඔබට ප්‍රකාශ  කරන්න ද?” යැයි විමසුවාය. අපි “එසේය”(පවසන්න) කියා පැවසුවෙමු.

ඇය මෙසේ පැවසුවාය: “නබිතුමා මා සමඟ ගත කිරීමට නියමිතව තිබූ රාත්‍රිය පැමිණි විට, එතුමා (ඇඳෙහි) ඇලවුණේය. ඉන්පසු තමන්ගේ උඩුකය වස්ත්‍රය (පොරවනය) ඉවත් කර, සපත්තු දෙක ගලවා පාමුල තබා, තම ඉසාරයේ (සරමකට සමාන යටකය වස්ත්‍රයක්) කෙළවරක් ඇඳ මත එළා (නින්දට යන අයුරින්) වැතිරුණේය. එතුමා එසේ සිටියේ මා නිදාගෙන ඇතැයි සිතන තුරු පමණි.

ඉන්පසු එතුමා ඉතා සෙමින් උඩුකය වස්ත්‍රය ගෙන, සෙමින් සපත්තු දෙක පැළඳ, දොර ඉතා සෙමින් හැර පිටතට ගොස්, නැවතත් දොර ඉතා සෙමින් වසා දැමුවේය. (මෙය දුටු) මම වහාම මගේ හිස වසාගෙන, මුහුණු ආවරණය පැළඳ, මගේ ඉණ වටා ඇති වස්ත්‍රය තද කරගෙන එතුමාගේ පියවර අනුගමනය කරමින් පිටතට ගියෙමි.

අවසානයේ එතුමා ‘බකීඃ’ (සුසාන භූමිය) වෙත ළඟා වී එහි නැවතී සිටියේය. එතුමා එහි බොහෝ වේලාවක් සිටගෙන සිටියේය. ඉන්පසු එතුමා තුන් වතාවක්ම තම දෑත් (ප්‍රාර්ථනා කිරීම සඳහා) ඉහළට එසවීය. ඉන්පසු එතුමා ආපසු හැරුණු විට මම ද ආපසු හැරුණෙමි. එතුමා වේගයෙන් ඇවිදින විට මම ද වේගයෙන් ඇවිද ගියෙමි. එතුමා දුවන්නට වූ විට මම ද දිව්වෙමි. එතුමා (නිවස දෙසට) වේගයෙන් පැමිණි විට මම ද වේගයෙන් පැමිණියෙමි. කෙසේ හෝ මම එතුමාට වඩා ඉදිරියෙන් පැමිණ නිවසට ඇතුළු වී ඇඳෙහි වැතිරුණෙමි. මම වැතිරී සුළු මොහොතකින් අල්ලාහ්ගේ දූතයාණන් නිවසට ඇතුළු විය.

එවිට එතුමා ඇසුවේය: “ඕ අයිෂා, ඔබට කුමක් වීද? ඔබ මේ තරම් හති දමන්නේ මන්ද?” මම පැවසුවෙමි: “කිසිවක් නැත.” එවිට එතුමා පැවසීය: “ඔබ මට (සත්‍යය) පැවසිය යුතුය, නැතහොත් සියුම් දේ පවා දන්නා, සියල්ල දන්නා (අල්ලාහ්) මට ඒ පිළිබඳව දැනුම් දෙනු ඇත.” මම පැවසුවෙමි: “අල්ලාහ්ගේ දූතයාණෙනි, මගේ පියා සහ මව ඔබට කැපවේවා!” ඉන්පසු මම එතුමාට සම්පූර්ණ සිදුවීම පැවසුවෙමි.

එවිට එතුමා ඇසුවේය: “එසේ නම් මා ඉදිරියෙන් දුටු ඒ අඳුරු සෙවනැල්ල (රූපය) ඔබ ද?” මම “එසේය” යි කීවෙමි.

එවිට එතුමා මගේ පපුවට තල්ලුවක් (පහරක්) දුන් අතර එයින් මට වේදනාවක් දැනුණි. ඉන්පසු එතුමා ඇසුවේය: “අල්ලාහ් සහ ඔහුගේ දූතයා ඔබට අසාධාරණයක් කරනු ඇතැයි ඔබ සිතුවා ද?” (එනම්, ඔබේ වාරය තිබිය දී මම වෙනත් බිරිඳක් වෙත ගියේ යැයි ඔබ සැක කළේද?)

ඇය (අයිෂා තුමිය) පැවසුවාය: “මිනිසුන් කුමක් සැඟවුව ද අල්ලාහ් එය දන්නේය. එසේය (මම එසේ සිතුවෙමි).”

නබිතුමා මෙසේ පැවසීය: “ඔබ මා දකින විට ජිබ්රීල් (දේවදූතයා) මා වෙත පැමිණියේය. ඔහු ඔබට නොපෙනෙන සේ රහසින් මට කතා කළේය. ඔබ එවිට සම්පූර්ණයෙන් වස්ත්‍ර හැඳ නොසිටි බැවින් ඔහු ඔබේ කාමරයට ඇතුළු වූයේ නැත. මම ද ඔබට රහසින් ඔහුට පිළිතුරු දුන්නෙමි. ඔබ නිදාගෙන ඇතැයි මම සිතූ නිසා, ඔබ ව අවදි කිරීමට මම අකමැති වූයෙමි. (මා නොමැති බව දැක) ඔබ බිය වනු ඇතැයි මම බිය වීමි. ජිබ්රීල් මට පැවසුවේ: ‘ඔබේ පරමාධිපතියාණන් ඔබට බකීඃහි සිටින අය වෙත ගොස් ඔවුන් වෙනුවෙන් පාපක්ෂමාව අයදින ලෙස අණ කරයි’ යනුවෙනි.”

මම (අයිෂා තුමිය) ඇසුවෙමි: “අල්ලාහ්ගේ දූතයාණෙනි, මම ඔවුන් වෙනුවෙන් කෙසේ ප්‍රාර්ථනා කළ යුතු ද?”

එතුමා පැවසීය: “මෙම නගරයේ (සුසාන භූමියේ) වෙසෙන මුඃමින්වරුන්ට (විශ්වාසවන්තයින්ට) සහ මුස්ලිම්වරුන්ට ශාන්තිය අත්වේවා! අපෙන් කලින් මියගිය අය කෙරෙහි ද, පසුව මියයන අය කෙරෙහි ද අල්ලාහ් කරුණාව දක්වත්වා! අල්ලාහ් කැමති නම්, නියත වශයෙන්ම අපි ද (මතු දිනක) ඔබ හා එකතු වන්නෙමු.” කියා පවසන්න.”

භාවිත කර ඇති වචනය:

මෙම නිවේදනයේ ඉහත උද්දීපනය කර ඇති කොටස සලකා බලන්න. විවේචකයින් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නේ මෙම වචන මාලාවයි. එහි අරාබි පාඨය මෙසේය:

فَلَهَدَنِي فِي صَدْرِي لَهْدَةً أَوْجَعَتْنِي

“He struck (lahad) me on the chest which caused me pain.”

(“එතුමා මාගේ පපුවට පහරක් දුන් අතර එයින් මට වේදනාවක් දැනුණි.”)

දැන්, ‘ලහද්’ (lahad) යන වචනයේ තේරුම සඳහා, අපි ලේන්ගේ ශබ්දකෝෂය (Lane’s Lexicon) වෙත යොමු වෙමු. ඔහු මෙසේ ලියයි:

(එඩ්වඩ් විලියම් ලේන්, අරාබිඉංග්‍රීසි ශබ්දකෝෂය, පිටුව 2676)

එහි සරල අර්ථය වන්නේ තල්ලු කිරීම” (to push) යන්න යි. එබැවින් වඩාත්ම සුදුසු පරිවර්තනය විය යුත්තේ: එතුමා මාගේ පපුවට [තදින්] තල්ලුවක් දුන් අතර එයින් මට වේදනාවක් දැනුණි යන්න යි.

පසුබිම් විග්‍රහය:

මෙම සිදුවීම විස්තර කරන හදීස් පාඨය ස්වයං-පැහැදිලි එකක් වුව ද, බොහෝ විට මිනිස්සු එය නිවැරදි ව තේරුම් ගැනීමට උපකාර වන කරුණු මඟ හැර කෙටි කර දක්වති:

  1. එදින රාත්‍රියේ මුහම්මද් නබිතුමා සිටියේ ආයිෂා තුමිය සමඟ ය. එහිදී ජිබ්රීල් (ගාබ්‍රියෙල්) සුරදූතයා පැමිණ එතුමාට ‘බකීඃ’ සුසාන භූමිය වෙත යන ලෙස දන්වා සිටියේය.
  2. නබිතුමා ඇඳෙන් නැගිට බකීඃ සුසාන භූමිය බලා පිටත් විය.
  3. ආයිෂා තුමිය, එතුමා කොහේ යන්නේදැයි දැනගැනීමේ කුතුහලයෙන් යුතු ව එතුමා පසුපස රහසින් ගිය අතර, නබිතුමා ආපසු හැරී එන බව දැක ඇය එතුමාට පෙර නිවසට පැමිණීමට වේගයෙන් දිව ආවාය. එම නිසා ඇයට හති වැටී තිබුණි.
  4. නබිතුමා ඒ පිළිබඳ ව ප්‍රශ්න කළ විට ආයිෂා තුමිය මුළු සිදුවීමම පැවසුවාය. එවිට නබිතුමා ඇගේ පපුවට තදින් තල්ලුවක් දුන්නේය.
  5. පපුවට මෙලෙස තල්ලු කිරීමෙන් (තද කිරීමෙන්) ආයිෂා තුමියට යම් වේදනාවක් දැනුණ ද, එය කිසිසේත්ම “පහරදීමක්” (beating) අරමුණු කරගෙන කරන ලද්දක් නොවේ. ඒ වෙනුවට, එය ඇගේ සිතට පැමිණ තිබූ වැරදි සිතුවිල්ල දුරු කිරීම සඳහා කරන ලද ක්‍රියාවකි. නබිතුමා පැවසූ මෙම වචනවලින් එය පැහැදිලි වේ: අල්ලාහ් සහ උන්වහන්සේගේ දූතයා ඔබට අසාධාරණයක් කරනු ඇතැයි ඔබ සිතුවෙහිද?” (එනම්, අල්ලාහ් සිය දූතයාණන්ට ආයිෂා තුමියගේ වාරය මඟ හැර වෙනත් බිරිඳක් වෙත යන ලෙස පවසනු ඇතැයි ඇය වැරදියට සිතීම වැළැක්වීමට ය).

වැරදි සිතුවිලි සහ සැකයන් දුරු කිරීමට නබිතුමා මෙලෙස ක්‍රියා කළ බවට තවත් සාක්ෂි:

නබිතුමා මිනිසුන්ගේ සිත් තුළ ඇති වන වැරදි සිතුවිලි හෝ සැකයන් දුරු කිරීම සඳහා පපුවට මෙලෙස තල්ලු කිරීම හෝ අතින් තට්ටු කිරීම සිදු කළ බවට තවත් හදීස් වාර්තා කිහිපයක්ම පවතී.

පහත උදාහරණ දෙක බලන්න:

උබෙයි (Ubayy) තුමා ප්‍රකාශ කළේය: “මාගේ සිත තුළ (ඉස්ලාමය ගැන) යම් ආකාරයක ප්‍රතික්ෂේප කිරීමක් (සැකයක්) මතු විය. එය මා ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර (ජාහිලියියා යුගයේ) පවා මට ඇති නොවූවකි. මා තුළ ඇති වූ මෙම වැරදි සිතුවිල්ල අල්ලාහ්ගේ දූතයාණන් දුටු විට, එතුමා මාගේ පපුවට (අතින්) තට්ටු කළේය. එවිට මට දහඩිය දැමූ අතර, මම බියෙන් යුතු ව අල්ලාහ් දෙස බලා සිටින්නාක් මෙන් මට දැනුණි.”

(සහීහ් මුස්ලිම්, හදීස් 1356)

මෙහිදී ද නබිතුමා උබෙයි තුමාගේ සිතට පැමිණි අකුසල් සහ වැරදි සිතුවිලි දුරු කිරීම සඳහා එලෙස කළ බව ඉතා පැහැදිලි ය.

තවත් නිවේදනයක මෙසේ සඳහන් වේ:

“උමර් බින් හත්තාබ් ඉස්ලාමය වැළඳගත් අවස්ථාවේ දී, අල්ලාහ්ගේ දූතයාණන් තම අතින් උමර්ගේ පපුවට තුන් වතාවක් තට්ටු කරමින් මෙසේ ප්‍රාර්ථනා කළේය: ‘ඕ අල්ලාහ්, ඔහුගේ හදවතින් වෛරය සහ ක්‍රෝධය ඉවත් කර, ඒ වෙනුවට විශ්වාසය (ඊමාන්) ලබා දෙන්න.'”

(මුස්තද්රක් අල්හාකිම්, හදීස් 4492. හාකිම් විසින් මෙය සත්‍ය හදීසයක් ලෙස තහවුරු කර ඇත)

උමර් තුමා ඉස්ලාමය වැළඳ ගැනීම ඉතා ශ්‍රේෂ්ඨ සිදුවීමක් වූ අතර, එම අවස්ථාවේ දී නබිතුමා ඔහුට ‘පහර දුන්’ බව සිතීම කිසිසේත් කළ නොහැක්කකි. මෙහි දී අරාබි බසින් ‘ළරබ’ (dharab – පහර දීම/තට්ටු කිරීම) යන වචනය භාවිත කර තිබුණ ද, කිසිදු බුද්ධිමත් පුද්ගලයෙකු ‘එයින් අදහස් කරන්නේ නබිතුමා ඔහුට දඬුවම් වශයෙන් පහර දුන් බවයි’ යැයි පවසන්නේ නැත.

එබැවින්, ඉහත සඳහන් කළ උදාහරණ සහ අප කතා කරන ප්‍රධාන හදීසය (ආයිෂා තුමියගේ සිදුවීම) යන සියල්ලෙහිම පසුබිම සලකා බැලීමේ දී, නබිතුමා එම ක්‍රියාව සිදු කළේ එකම හේතුවක් සඳහා, එනම් සිතේ ඇති වන නරක හෝ වැරදි සිතුවිලි පලවා හැරීම සඳහා බව මැනවින් ඔප්පු වේ.

ආයිෂා තුමිය තමන්ට පහර දුන් බවක් සිතුවා ද?

යමෙකු තවමත් සිය වැරදි සහ වංක මතයේම දැඩිව සිටින්නේ නම් හෝ තවමත් ව්‍යාකූලත්වයකින් පසුවන්නේ නම්, ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය මේ පිළිබඳ ව සැබවින්ම සිතුවේ කුමක්ද කියා ඇගේම වචනවලින් කියවා බලමු. එම හදීස් ග්‍රන්ථයේම, එනම් ‘සහීහ් මුස්ලිම්’ හි තවත් නිවේදනයක මෙසේ සඳහන් වේ:

ආයිෂා තුමිය ප්‍රකාශ කළාය: “අල්ලාහ්ගේ මාර්ගයේ (ධර්මය වෙනුවෙන්) සටන් වැදුණු අවස්ථාවක දී හැර, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිසිවිටෙකත් තම අතින් කිසිම කෙනෙකුට ගැහැනියකට හෝ සේවකයෙකුට පහර දී නැත…”

(සහීහ් මුස්ලිම්, හදීස් 4296)

ඕනෑම කෙනෙකුට පැහැදිලි ව ම පෙනී යන පරිදි, ආයිෂා තුමිය ම පවසන්නේ නබිතුමා කිසි ම දිනක කිසිදු කාන්තාවකට හෝ සේවකයෙකුට පහර දී නොමැති බව යි. ඇයගෙන් ලැබුණු මෙතරම් පැහැදිලි සාක්ෂියකින් පසුවත්, ඊට පටහැනි ව කරුණු ප්‍රකාශ කිරීම බුද්ධිමය වංකකමක් (intellectual dishonesty) හැර වෙනත් කුමක් නම් විය හැකි ද?

සැබවින්ම, සියල්ල දන්නා උතුම් අල්ලාහ් මැනවින් දන්නේය!

Loading