මුහම්මද් නබිතුමා (ﷺ) සහ සෙයිනබ් තුමිය බින්ත් ජහ්ෂ් (රලි) තුමියගේ විවාහයේ පසුබිම

1. හැඳින්වීම

සෙයිනබ් තුමිය බින්ත් ජහ්ෂ් තුමියගේ සෙයිද් තුමා සමඟ පැවති විවාහය, ඔවුන්ගේ දික්කසාදය, සහ ඉන්පසුව ඇය මුහම්මද් නබිතුමා (ﷺ) සමඟ සිදු කරගත් විවාහය පිළිබඳ කථාව, මුහම්මද් නබිතුමාගේ ජීවිතයේ තවත් එක් සිදුවීමකි. මෙය එතුමාගේ මුල් කාලීන විරුද්ධවාදීන් මෙන් ම, ඉස්ලාමීය දහම සහ මුහම්මද් නබිතුමාගේ උතුම් චරිතය පිළිබඳ ව ප්‍රශ්න කිරීමට වෙනත් මගක් නොමැති  ව, සම්ප්‍රදායික ඉස්ලාමීය ග්‍රන්ථවල ඇතුළත් වී ඇති පදනම් විරහිත පුවත් මත පදනම් වන පෙරදිගවාදීන් (Orientalists) සහ මිෂනාරීන්ගේ ද නිරන්තර විවේචනයට ලක්වූ මාතෘකාවකි. එවැනි කරුණු සම්භාව්‍ය ඉස්ලාමීය ග්‍රන්ථවල සංරක්ෂණය වී තිබීම පමණක්, ඒවා සත්‍ය බවට සාක්ෂියක් නොවේ. මන්ද, මුල්කාලීන ඉස්ලාමීය විද්වතුන්ගේ ක්‍රමවේදය වූයේ තමන්ට හමුවූ සියලු ම වාර්තා සහ තොරතුරු එකතු කර සටහන් කිරීම යි. ඒවායේ සත්‍යතාව පරීක්ෂා කිරීම, විවේචනාත්මකව විග්‍රහ කිරීම සහ නිවැරදි දේ තෝරාගැනීම ඔවුන්ගේ සමකාලීන විද්වතුන්ටත්, පසු පරම්පරාවල විද්වතුන්ටත් භාර දෙන ලදී.

මෙම මාතෘකාව සම්බන්ධයෙන්, එහි වාර්තාවල විශ්වාසනීයත්වය සහ පාඨ විශ්ලේෂණය ඇතුළත් දීර්ඝ සාකච්ඡා සහ විශේෂිත ලිපි ලේඛන රැසක් ලියැවී ඇත. කෙසේ වෙතත්, ඉංග්‍රීසි භාෂාවෙන් මෙම විෂයයේ සියලු පැති ආවරණය වන පරිදි පැහැදිලි සහ පූර්ණ ලේඛනයක් නොමැත. මෙම ලිපිය එම අඩුව පිරවීම සඳහා කරනු ලබන උත්සාහයකි.

මෙම සිදුවීම ප්‍රධාන වශයෙන් අල්-කුර්ආනයේ එක් ආයතයක් (වගන්තියක්) හා බැඳී පවතින අතර, මෙහි දී පොදුවේ සාකච්ඡා කෙරෙන්නේ ද ඊට අදාළ ව ය. එබැවින්, භාග්‍යවත් මුහම්මද් නබිතුමාගේ (ﷺ) උතුම් පෞරුෂයට අපහාස වන පරිදි ගොඩනගා ඇති අසත්‍ය ප්‍රචාරයන්ට හේතු වූ වාර්තා පිළිබඳ ව සවිස්තරාත්මක විවේචනාත්මක විශ්ලේෂණයකට යොමු වීමට පෙර, අපි එම ආයතයෙන් සහ මෙම සිදුවීමේ සරල සම්ප්‍රදායික විස්තරයෙන් ආරම්භ කරමු. අල්ලාහ් මෙසේ පවසයි:

وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَاتَّقِ اللَّهَ وَتُخْفِي فِي نَفْسِكَ مَا اللَّهُ مُبْدِيهِ وَتَخْشَى النَّاسَ وَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَاهُ فَلَمَّا قَضَى زَيْدٌ مِنْهَا وَطَرًا زَوَّجْنَاكَهَا لِكَيْ لَا يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِي أَزْوَاجِ أَدْعِيَائِهِمْ إِذَا قَضَوْا مِنْهُنَّ وَطَرًا وَكَانَ أَمْرُ اللَّهِ مَفْعُولًا

තවද අල්ලාහ් කවුරුන්හට අනුග්‍රහය පහළ කළේ ද එමෙන් ම ඔබත් කවරෙකු කෙරෙහි උපකාර කළේ ද ඔහුට “ඔබගේ භාර්යාව ඔබ වෙත ම තබා ගනු. තවද අල්ලාහ්ට බිය වනු” යැයි ඔබ පැවැසූ අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ ඔබගේ මනසෙහි සඟවා තැබුවෙහිය. ඔබ බිය වීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ් ය. තවද සෙයිද් තුමා (තම බිරිඳ වන) ඇයගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් කල්හි අපි ඇය ව ඔබට විවාහ කර දුනිමු. මන්දයත් දේවත්වය විශ්වාස කරන්නන්හට, ඔවුන් විසින් දරුකමට හදා ගත් අය ඔවුන්ගේ භාර්යාවන්ගෙන් (දික්කසාද වීමට) තීන්දු කර ගත් විට (එම කාන්තාවන්ව විවාහ කර ගැනීමේ දී එය ඔවුනට) වරදක් නො වනු පිණිස ය. සැබැවින් ම මෙය සිදු කරනු ලබන අල්ලාහ්ගේ නියෝගයක් විය. [1]

අභාවප්‍රාප්ත පාකිස්තාන විද්වත් මුෆ්ති මුහම්මද් ෂෆී (Mufti Muhammad Shafi’) උක්ත උතුම් අල්-කුර්ආන් ආයතය පිළිබඳ සිය තෆ්සීර් (අර්ථකථන) සටහනෙහි මෙසේ ලියයි:

මුහම්මද් නබිතුමාගේ (ﷺ) උපදෙස් පරිදි, සෙයිනබ් තුමිය බින්ත් ජහ්ශ් තුමියගේ විවාහය සෙයිද් තුමා ඉබ්නු හාරිසා තුමා සමඟ සිදු කරන ලදී. නමුත්, ඔවුන්ගේ ස්වභාවයන් එකිනෙකට ගැළපුණේ හෝ අනුගත වූයේ නැත. සෙයිනබ් තුමිය තුමියගේ කතා විලාසයේ වූ සැරපරුෂ බව, ඇගේ උපතින්ම ලැබුණු වංශවත් භාවය නිසා ඇති වූ  හැසිරීම් සහ ඇය තමන්ට අවනත නොවීම පිළිබඳ ව සෙයිද් තුමා නිතර පැමිණිලි කළේය. අනිත් පසින්, සෙයිද් තුමා ඇය ව දික්කසාද කරන බවත්, ඉන්පසු ඇය ව මුහම්මද් නබිතුමාට විවාහ කර දෙන බවත් දේව අනාවරණය (වහී) මගින් මුහම්මද් නබිතුමාට දැනුම් දී තිබුණි. යම් දිනක, සෙයිද් තුමා මෙම පැමිණිලි නැවතත් උතුම් මුහම්මද් නබිතුමා ඉදිරියේ තබමින් ඇය ව දික්කසාද කිරීමට ඇති සිය අභිලාෂය ප්‍රකාශ කළේය. සෙයිද් තුමා ඇය ව දික්කසාද කරන බවත් ඉන්පසු ඇය ව තමන්ට විවාහ කර දෙන බවත් දේව අනාවරණය මගින් මුහම්මද් නබිතුමා දැන සිටිය ද… එතුමාණෝ සෙයිද් තුමා ව දික්කසාද කිරීමෙන් වැළැක්වූහ… මන්ද, එතුමාගේ උතුම් හදවත තුළ මෙවැනි අදහසක් පැවැතුණි: ‘ඉතින් සෙයිද් තුමා ඇය ව දික්කසාද කර, එහි ප්‍රතිඵලයක් ලෙස සෙයිනබ් තුමිය තමන් සමඟ විවාහ වුවහොත්, අඥාන යුගයේ (ජාහිලියියා) පැවති සිරිතට අනුව අරාබිවරුන් තමන් සිය පුතුගේ බිරිඳ ව විවාහ කරගත් බවට චෝදනා කරමින් නින්දා කරනු ඇත.’

උතුම් මුහම්මද් නබිතුමා පැවසූ දේ එතුමාගේ දැක්මෙන් නිවැරදි හා සාධාරණ විය. නමුත්, දේව අනාවරණය මගින් සිදුවීමට නියමිත සිදුවීම පිළිබඳ ව දැනගැනීමෙන් පසුව සහ සෙයිනබ් තුමිය සමඟ නිකාහ් (විවාහ) වීමේ අභිලාෂය එතුමාගේ හදවතේ ඇති වූ පසු ව, සෙයිද් තුමාට දික්කසාද නොකරන ලෙස දුන් මෙම උපදෙස එක්තරා ආකාරයක විධිමත් යහපත් ප්‍රාර්ථනාවක මට්ටමේ පමණක් පැවති එකක් විය. එය අල්ලාහ්ගේ දූතයෙකුගේ තත්ත්වයට සුදුසු වූවක් නොවේ. විශේෂයෙන්ම, ඒ සමඟම ජනයාගෙන් එල්ල විය හැකි නින්දා අපහාස පිළිබඳ බියක් ද එහි අන්තර්ගත වී තිබූ බැවිනි. එබැවින්, අල්ලාහ් එළිදරව් කිරීමට සිටි දෙය ඔබ ඔබගේ සිත තුළ සඟවා ගනිමින් සිටියෙහිය යන වචනවලින් මෙම අවවාදය පහළ විය. සෙයිනබ් තුමිය සමඟ විවාහ වීම පිළිබඳ තොරතුර අල්ලාහ් වෙතින් එතුමාට දැනුම් දී තිබිය දී සහ විවාහ වීමේ අභිලාෂය දැනටමත් එතුමාගේ හදවතට ඇතුළු වී තිබිය දී, මෙම අභිලාෂය සඟවා ගැනීම සහ එවැනි නිල ප්‍රකාශයන්හි නිරත වීම එතුමාගේ තත්ත්වයට සුදුසු නො වීය. ජනයාගෙන් එල්ල වන නින්දා පිළිබඳ බිය සම්බන්ධයෙන් ගත් කල, තවද ඔබ මිනිසුන්ට බිය වූවෙහිය, නමුත් ඔබ බිය විය යුත්තේ අල්ලාහ්ට පමණි යනුවෙන් පවසන ලදී. වෙනත් වචනවලින් කිවහොත්, ‘මෙම කරුණ අල්ලාහ් විසින් නියම කරන ලද දෙයක් ලෙස සිදුවීමට නියමිත බව ඔබ දැන සිටි පසු – එහි එතුමාගේ අප්‍රසාදයේ කිසිදු බියක් හෝ අනතුරක් නොමැති ව – හුදෙක් මිනිසුන්ගේ නින්දාවලට ඇති බිය නිසා ම මෙවැනි ප්‍රකාශ කිරීම සුදුසු නොවීය.’ [2]

සංක්ෂේපයෙන් කිවහොත්, සිදුවීමට නියමිතව තිබූ දේ පිළිබඳව දේව අනාවරණය (වහී) මගින් දැනුම් දෙනු ලැබීමෙන් පසුව සහ එය පදනම් විරහිත සමාජයීය තහනමක් ඉවත් කිරීම සඳහා සිදු වන්නක් බව දැන සිටි බැවින්, මුහම්මද් නබිතුමා සෙයිනබ් තුමිය ව විවාහ කරගනිමින් එම අල්ලාහ්ගේ අණට කීකරු වීමට සූදානමින් හා කැමැත්තෙන් සිටියහ. එසේ වුව ද, සෙයිද් තුමා සහ සෙයිනබ් තුමිය අතර පැවති ගැටලු පිළිබඳ ව සෙයිද් තුමා නබිතුමාට පැමිණිලි කළ විට, සිය පුතුගේ බිරිඳ ව විවාහ කරගත් බවට මිනිසුන් තමන්ට නින්දා කරනු ඇතැයි පැවති බිය නිසා, ඇය ව දික්කසාද නො කරන ලෙස නබිතුමාණෝ සෙයිද් තුමාට උපදෙස් දුන්හ. ඔවුන්ගේ විවාහ ජීවිතයේ පැවති ගැටලු ගැන සෙයිද් තුමා සඳහන් කළ අවස්ථාවේ දී පවා, එය අල්ලාහ් විසින් සැලසුම් කරන ලද, කෙසේ හෝ සිදුවීමට නියමිත දෙයක් බව දේව අනාවරණය මගින් එතුමාට පවසා තිබිය දී ත්, එතුමා ඇය ව දික්කසාද කරන ලෙස සෙයිද් තුමාට පැවසුවේ නැත. මෙම කරුණ පදනම් කරගෙන, ධර්ම දූතයෙකු (ﷺ) ලෙස එතුමා මිනිසුන්ට වඩා අල්ලාහ්ට බිය විය යුතු ව තිබූ බවට මුහම්මද් නබිතුමාට අවවාද කරන ලදී.

අල්-කුර්ආනීය විස්තරයට අතිශය සපූර්ණයෙන්ම ගැළපෙන සරල, පැහැදිලි කථාව මෙය යි. පහතින් අපි මෙම මාතෘකාවට අදාළ වාර්තාවල විශ්වාසනීයත්වය පරීක්ෂා කරමින්, ඉහත විස්තරය තහවුරු වන්නේ ද යන්න සහ අනෙකුත් වාර්තාවල සත්‍යතාව කුමක් ද යන්න පිළිබඳ ව සාකච්ඡා කරමු.

2. වාර්තා වී ඇති පුවත් සහ ඒවායේ විශ්වාසනීයත්වය

2.1 අනස් බින් මාලික් තුමාගේ වාර්තාව

මුහම්මද් නබිතුමාගේ (ﷺ) සමීප සහාබිවරයෙකු වූ අනස් බින් මාලික් (මියගියේ හි.වව 92/ක්‍රි.ව. 712) මෙම කරුණ පිළිබඳ ව වාර්තා කර ඇත. එතුමාගේ වාර්තාව අප වෙත ලැබී ඇත්තේ පහත පරිදිය:

محمد بن أبي بكر المقدمي، حدثنا حماد بن زيد، عن ثابت، عن أنس، قال: جاء زيد بن حارثة يشكو، فجعل النبي صلى الله عليه وسلم يقول: «اتق الله، وأمسك عليك زوجك»، قال أنس: لو كان رسول الله صلى الله عليه وسلم كاتما شيئا لكتم هذه، قال: فكانت زينب تفخر على أزواج النبي صلى الله عليه وسلم تقول: زوجكن أهاليكن، وزوجني الله تعالى من فوق سبع سموات، وعن ثابت: {وتخفي في نفسك ما الله مبديه وتخشى الناس} [الأحزاب: 37]، «نزلت في شأن زينب وزيد بن حارثة»

මුහම්මද් බින් අබී බක්ර් අල්-මුකද්දමී, හම්මාද් බින් සෙයිද් තුමා , සබිත් යන අය අනස් තුමා මගින් වාර්තා කළේය:

සෙයිද් තුමා බින් හාරිසා සිය බිරිඳ පිළිබඳව පැමිණිලි කරමින් මුහම්මද් නබිතුමා වෙත පැමිණියේය. එවිට මුහම්මද් නබිතුමාණෝ (ඔහුට), “අල්ලාහ්ට බිය වන්න, තවද ඔබගේ බිරිඳ ඔබ ළඟ ම තබා ගන්න” යැයි දිගින් දිගට ම පවසන්නට වූහ. අනස් පැවසුවේය: “අල්ලාහ්ගේ දූතයාණන් (අල්-කුර්ආනයෙන්) යමක් සඟවන්නේ නම්, එතුමා මෙම ආයතය සඟවනු ඇත.” සෙයිනබ් තුමිය මුහම්මද් නබිතුමාගේ (අනෙකුත්) බිරින්දෑවරුන් ඉදිරියේ ආඩම්බරයෙන් මෙසේ පවසන්නට වූවාය: “ඔබ ව විවාහ කර දෙන ලද්දේ ඔබගේ පවුල්වල අය විසිනි, නමුත් මාව (මුහම්මද් නබිතුමාට) විවාහ කර දෙන ලද්දේ අහස් හතට ඉහළින් සිටින අල්ලාහ් විසිනි.”

තවද ‘නමුත් (මුහම්මද්,) අල්ලාහ් එළිදරව් කිරීමට සිටි දෙය ඔබ ඔබගේ සිත තුළ සඟවා ගත්තෙහිය, ඔබ මිනිසුන්ට බිය වූවෙහිය’ (33:37) යන ආයතය පාරායනය කරමින්, එය සෙයිනබ් තුමිය සහ සෙයිද් තුමා බින් හාරිසා සම්බන්ධයෙන් පහළ වූ බව සාබිත් විසින් පැවසීය. [3]

ඉහත දක්වන ලද වාර්තාව මෙන්ම, හම්මාද් බින් සයිද්ගේ (මියගියේ හි.ව 179/ක්‍රි.ව. 795) පහත සඳහන් ශිෂ්‍යයන් ද සාබිත් (මියගියේ හි.ව 127/ක්‍රි.ව. 745) හරහා අනස්ගෙන් මෙම හදීසය වාර්තා කර ඇත:

  • මුහම්මද් බින් අබී බක්ර් අල්-මුකද්දමී (මියගියේ හි.ව 234/ක්‍රි.ව. 848)
  • මුඅල්ලා බින් මන්සූර් (මියගියේ හි.ව 211/ක්‍රි.ව. 826) [4]
  • අෆ්ෆාන් මුස්ලිම් (මියගියේ හි.ව 220/ක්‍රි.ව. 835) [5]
  • මුහම්මද් බින් අල්-ෆද්‍ල්, අබූ නුඃමාන් අරීම් (මියගියේ හි.ව 224/ක්‍රි.ව. 839) [6]
  • අබ්දුල්ලාහ් බින් අබ්දුල් වහ්හාබ් අල්-හාජබී (මියගියේ හි.ව 228/ක්‍රි.ව. 843) — සෙයිද් තුමාට සෙයිනබ් තුමිය ව දික්කසාද කිරීමට අවශ්‍ය වූ අතර ඔහු ඒ පිළිබඳ ව මුහම්මද් නබිතුමාගෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණි බව මොහු වැඩිදුරටත් සඳහන් කරයි [7]
  • අහ්මද් බින් අබ්දා අල්-දබ්බී (මියගියේ හි.ව 245/ක්‍රි.ව. 859) — සෙයිද් තුමාට සෙයිනබ් තුමිය ව දික්කසාද කිරීමට අවශ්‍ය වූ අතර ඔහු ඒ පිළිබඳව මුහම්මද් නබිතුමාගෙන් උපදෙස් ලබා ගැනීමට පැමිණි බව මොහු ද වැඩිදුරටත් සඳහන් කරයි [8]
  • මුහම්මද් බින් සුලෙයිමාන් අල්-අසදී (මියගියේ හි.ව 246/ක්‍රි.ව. 861) [9]
  • මුහම්මද් බින් මූසා (මියගියේ හි.ව 248/ක්‍රි.ව. 862) [10]
  • මුඃමල් බින් ඉස්මාඊල් (මියගියේ හි.ව 206/ක්‍රි.ව. 822) — මොහු එක ම ඉස්නාද් (වාර්තාකරුවන්ගේ නාමාවලිය) හරහා අනස්ගෙන් වාර්තා කළ ද, මොහුගේ වාර්තාවේ යම් නුහුරු එකතු කිරීම් පවතී. අහ්මද් බින් හන්බල් සටහන් කරන්නේ:

حدثنا مؤمل بن إسماعيل، حدثنا حماد بن زيد، حدثنا ثابت، عن أنس قال: أتى رسول الله صلى الله عليه وسلم منزل زيد بن حارثة، فرأى امرأته زينب فكأنه دخلهلا أدري من قول حماد، أو في الحديثفجاء زيد يشكوها إليها، فقال له النبي صلى الله عليه وسلم: ” أمسك عليك زوجك، واتق اللهقال: فنزلت: {واتق الله وتخفي في نفسك ما الله مبديه} [الأحزاب: 37] ، إلى قوله {زوجناكها} [الأحزاب: 37] يعني زينب

මුඃමල් බින් ඉස්මාඊල්, හම්මාද් බින් සෙයිද් තුමා, සබිත් යන අය අනස් තුමා මගින්:

අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) සෙයිද් බින් හාරිසා තුමාගේ නිවසට පැමිණි අතර, ඔහුගේ බිරිඳ වූ සෙයිනබ් තුමිය ව දුටූහ. නබිතුමා එහි ඇතුළු වූවාක් මෙන් ය – (මුඃමල් පැවසුවේය:) එය හම්මාද්ගේ ප්‍රකාශයක් ද නැතහොත් හදීසයේ ම කොටසක්දැයි මම නොදනිමි – සෙයිද් බින් හාරිසා තුමා සිය බිරිඳ පිළිබඳ ව පැමිණිලි කරමින් එතුමා වෙත පැමිණියේය. එවිට මුහම්මද් නබිතුමා‌ණෝ ඔහුට, “ඔබගේ බිරිඳ ඔබ ළඟම තබා ගන්න, අල්ලාහ්ට බිය වන්න” යැයි පැවසූහ.

‘අල්ලාහ්ට බිය වන්න, අල්ලාහ් එළිදරව් කිරීමට සිටි දෙය ඔබ ඔබගේ සිත තුළ සඟවා ගත්තෙහිය’ යන්නෙහි සිට ‘අපි ඇයව ඔබට විවාහ කර දුන්නෙමු’ (33:37) යන්න දක්වා වූ ආයතය පහළ වූයේ සෙයිනබ් තුමිය සම්බන්ධයෙන් බව අනස්තුමා පැවසීය. [11]

චෝදනා කරන ආකාරයේ කිසිදු කරුණක් මෙම වාර්තාවේ පවා නොමැති නමුත්, මෙහි ගැටලු කිහිපයක්ම ඇත:

(අ) මුඃමල් බින් ඉස්මාඊල්ගේ මතක ශක්තියේ දුර්වලතා සහ එමගින් අඩුපාඩු සිදුවීමට ඇති ප්‍රවණතාව නිසා ඔහු විවේචනයට ලක් ව ඇත. එබැවින් වෙනත් සාක්ෂි මගින් තහවුරු නොවන්නේ නම් ඔහුගේ වාර්තා විශ්වාස කළ නො හැක. ඒ අනුව ෂුඅයිබ් අල්-අර්නාවූත් සහ ඔහුගේ කණ්ඩායම මෙම වාර්තාව ‘ළඊෆ්’ (දුර්වල) වාර්තාවක් ලෙස වර්ගීකරණය කර ඇත. [12]

(ආ) මුහම්මද් නබිතුමා (ﷺ) සෙයිද් තුමාගේ නිවසට පැමිණ එහි ඇතුළු වීමට ආසන්න වූ බව කියැවෙන කොටස මුඃමල්ගේ ම පමණක් වූ අනන්‍ය (තනි) වාර්තාවකි. අනෙකුත් වාර්තාකරුවන් අටදෙනෙකු (8) හම්මාද් බින් සෙයිද්ගේ මූලාශ්‍රයෙන් වාර්තා කරන්නේ මෙවැනි කිසිදු සඳහන් කිරීමකින් තොර ව ය. (ඒ පිළිබඳ විස්තර ඉහත දක්වා ඇත).

(ඇ) මුඃමල් විසින්ම මෙම වාර්තාවේ ඇති අදාළ නුහුරු කොටස පිළිබඳ ව තමා තුළ ඇති සැකය සඳහන් කර ඇත.

2.2 කතාදා තුමාගේ වාර්තාව

අබ්දුර් රස්සාක් අල්-සන්ආනී (Abdul Razzaq al-San‘ani) මෙසේ වාර්තා කරයි:

عن معمر , عن قتادةقال قتادة: جاء زيد النبي صلى الله عليه وسلم فقال: إن زينب اشتد علي لسانها , وأنا أريد أن أطلقها , قال له النبي صلى الله عليه وسلم: {أمسك عليك زوجك واتق الله} [الأحزاب: 37] , والنبي يحب أن يطلقها ويخشى قالة الناس إن أمره أن يطلقها , فأنزل الله تعالى: {وتخفي في نفسك ما الله مبديه وتخشى الناس والله أحق أن تخشاه فلما قضى زيد منها وطرا} [الأحزاب: 37] قال قتادة: لما طلقها زيد {زوجناكها} [الأحزاب: 37]

මඃමර්, කතාදා: … කතාදා ප්‍රකාශ කළේය:

සෙයිද් තුමා මුහම්මද් නබිතුමා (ﷺ) වෙත පැමිණ, “සෙයිනබ් තුමිය ඇගේ කතාවෙන් මට ඉතා තදින් (සැරපරුෂ ලෙස) සලකන්නීය, එබැවින් මට ඇය ව දික්කසාද කිරීමට අවශ්‍යයි” යනුවෙන් පැවසීය. නමුත් මුහම්මද් නබිතුමාණෝ (ﷺ) ඔහුට, “ඔබගේ බිරිඳ ඔබ ළඟ ම තබා ගන්න, අල්ලාහ්ට බිය වන්න” යැයි පැවසූහ. කෙසේ වෙතත්, සෙයිද් තුමා ඇය ව දික්කසාද කරනු ඇතැයි මුහම්මද් නබිතුමා‌ණෝ (ﷺ) ප්‍රාර්ථනා කළ නමුත්, තමා සෙයිද් තුමාට ඇය ව දික්කසාද කරන ලෙස පැවසුවහොත් මිනිසුන් කුමක් පවසනු ඇත්දැයි බිය වූහ. මේ අවස්ථාවේ දී අල්ලාහ් මෙසේ පහළ කළේය: ‘අල්ලාහ් එළිදරව් කිරීමට සිටි දෙය ඔබ ඔබගේ සිත තුළ සඟවා ගනිමින් සිටියෙහිය. තවද ඔබ මිනිසුන්ට බිය වූවෙහිය, නමුත් ඔබ බිය විය යුත්තේ අල්ලාහ්ට පමණි. පසුව සෙයිද් තුමා ඇය කෙරෙහි වූ සිය බලාපොරොත්තුව/අවශ්‍යතාව අවසන් කළ (දික්කසාද වීමට තීරණය කළ) පසු,’

කතාදා තුමා මෙසේ පැහැදිලි කළේය: “සෙයිද් තුමා ඇයව දික්කසාද කළ පසු, ‘අපි ඇයව ඔබට විවාහ කර දුන්නෙමු.’ ” [13]

මෙම කෙටි වාර්තාකරුවන්ගේ නාමාවලිය විශ්වාසනීය (සහීහ්) වේ. තවද, යසීද් බින් සුරෙයි සහ සඊද් බින් අබී අරූබා හරහා නැවත කතාදා වෙත දිවෙන තවත් වාර්තාකරුවන්ගේ නාමාවලියකින් මෙය තහවුරු වේ. [14]

කෙසේ වෙතත්, කතාදාගේ ‘මුර්සල්’ (Mursal – වාරතාකරුවන්ගේ නාමාවලියේ සහාබිවරයෙකුගේ නම හැලී ඇති) වාර්තා කෙරෙහි විද්වතුන්ගේ ප්‍රසාදයක් නොමැත. අල්-ෂඃබී (Al-Sha‘bi) විසින් ඔහු ව හඳුන්වා දී ඇත්තේ, අන්ධකාරයේ දර එකතු කරන්නෙකු ලෙස ය; එනම්, තමාගේ අත තබා ඇත්තේ ලී කැබැල්ලකට ද නැතහොත් සර්පයෙකුටදැයි නොදැන, අවසානයේ සර්පයෙකු දෂ්ට කිරීමෙන් මියයන අයෙකු ලෙස යි. [15] ඊට අමතර ව, කතාදා වැනි අයගේ බොහෝ මුර්සල් වාර්තා සැබවින්ම ‘මුඃදල්’ (Mu’dal) සහ ‘මුන්කති’ (Munqati’) එනම් සබඳතා දෙකක් හෝ ඊට වැඩි ගණනක් මඟහැරී ඇති ගණයට වැටෙන බව අල්-දහබී තුමා (Al-Dhahabi) පෙන්වා දී ඇත. [16]

කෙසේ වෙතත්, කතාදාගේ වාර්තාවේ ඇති වැදගත්ම කරුණ නම්, මුහම්මද් නබිතුමා (ﷺ) සෙයිනබ් තුමිය ව දුටු විට එතුමාගේ හදවතේ යම් කැළඹීමක් හෝ වෙනසක් ඇති වූ බවක් එයින් අදහස් නො වීමයි. එහි සඳහන් වන්නේ මුහම්මද් නබිතුමා (ﷺ) සෙයිද් තුමාට එසේ කිරීමට නියෝග නොකර, සෙයිද් තුමා ම සිය කැමැත්තෙන්ම ඇය ව දික්කසාද කරනු ඇතැයි එතුමා අපේක්ෂා කළ බව පමණි. මෙම සන්දර්භය මනසේ තබා ගත් විට, මෙයින් සරල ව අදහස් වන්නේ, සර්වබලධාරී අල්ලාහ් විසින් සැලසුම් කරන ලද දේ පිළිබඳව උන්වහන්සේට දැනුම් දී තිබියදීත්, සෙයිනබ් තුමිය ව දික්කසාද කිරීමේ අභිලාෂය ගැන පැමිණිලි කිරීමට සහ උපදෙස් ලබා ගැනීමට සෙයිද් තුමා පැමිණි විට පවා, මුහම්මද් නබිතුමා දික්කසාද කරන ලෙස ඔහුට නොපැවසූ අතර, නියම වී ඇති දේ පිළිබඳ ව ඔහුට දැනුම් දුන්නේ ද නැත. එය එතුමාගේ නියෝගයක් ලෙස වැරදියට වටහා ගනු ඇතැයි බියෙන්, තමන්ට දැනුම් දී තිබූ දේ එතුමාණෝ තමන් තුළ ම සඟවා ගත්හ.

2.3 අල්-ෂඃබී තුමාගේ (al-Sha‘bi) වාර්තාව

මෙම වාර්තාව ආමීර් බින් ෂුරාහ්බීල් අල්-ෂඃබීගේ (Amir b. Shurahbil al-Sha‘bi) මූලාශ්‍රයෙන්, ඔහුගේ නිදහස් කළ දාසයා වූ අබූ සලමා සුලෙයිම් (අල්-හමදානී) මගින් ද වාර්තා වී ඇත.

ඉබ්නු ඉස්හාක්ගේ ‘අස්-සීරා’ ග්‍රන්ථයට කළ එකතු කිරීම් අතර, යූනුස් බින් බුකෙයිර් පහත සඳහන් වාර්තාව සඳහන් කරයි:

يونس عن أبي سلمة الهمذاني مولى الشعبي عن الشعبي قال: مرض زيد بن حارثة فدخل عليه رسول الله صلى الله عليه وسلم يعوده، وزينب ابنة جحش امرأته جالسة عند رأس زيد، فقامت زينب لبعض شأنها، فنظر إليها رسول الله صلى الله عليه وسلم، ثم طأطأ رأسه فقال: سبحان اللَّه مقلب القلوب والابصار، فقال زيد: أطلقها لك يا رسول الله؟ فقال: لا، فانزل اللَّه عز وجل: «وَإِذْ تَقُولُ لِلَّذِي أَنْعَمَ اللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ» إلى قوله: «وَكانَ أَمْرُ اللَّهِ مَفْعُولًا

යූනුස්, ෂඃබීගේ නිදහස් කළ දාසයා වූ අබී සලමා අල්-හමදානී, යන අය වාර්තා කරති. ෂඃබී තුමා පැවසුවේය:

සෙයිද් බින් හාරිසා තුමා රෝගාතුර විය. අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) ඔහුගේ සුව දුක් විමසීමට පැමිණියහ. සෙයිද්ගේ බිරිඳ වූ සෙයිනබ් බින්ත් ජහ්ෂ් තුමිය, සෙයිද්ගේ හිස අසල අසුන්ගෙන ඔහුට සාත්තු කරමින් සිටියාය. සෙයිනබ් තුමිය යම් කාර්යයකට එතැනින් නැගිට යද්දී, අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) ඇය දෙස බලා, සිය හිස නමා, “හදවත් සහ දෑස් වෙනස් කරන අල්ලාහ් සුපරිශුද්ධ යැයි” පැවසූහ. එවිට සෙයිද් තුමා, “අල්ලාහ්ගේ දූතයාණෙනි, මම ඇය ව ඔබ උදෙසා දික්කසාද කරන්න ද?” යි ඇසීය. මුහම්මද් නබිතුමාණෝ (ﷺ), “නැත” යැයි පැවසූහ. මේ අවස්ථාවේ දී අල්ලාහ් මෙසේ පහළ කළේය: “(නබිවරය,) අල්ලාහ්ගේ අනුග්‍රහය ද ඔබගේ අනුග්‍රහය ද ලැබූ තැනැත්තාට ඔබ පැවසූ අවස්ථාව මතකයට නඟන්න…” යන්නෙහි සිට “…අල්ලාහ්ගේ නියෝගය ඉටු කරනු ලැබිය යුත්තක්ම විය” යන්න දක්වා. [17]

ඉබ්නු අදී (Ibn ‘Adi) පහත සඳහන් වාර්තාකරුවන්ගේ නාමාවලිය (ඉස්නාද්) හරහා මෙම වාර්තාව සඳහන් කරයි:

حدثنا الساجي، حدثنا الحسن بن علي الواسطي، قال: حدثنا علي بن نوح، حدثنا محمد بن كثير، حدثنا سليم مولى الشعبي عن الشعبي

අල්-සාජී, අල්-හසන් බින් අලී අල්-වාසිති, අලී බින් නූහ්,  මුහම්මද් බින් කසීර් හා ෂඃබීගේ නිදහස් කළ දාසයා වූ සුලෙයිම් යන අය ෂඃබී මගින් වාර්තා කරති… [18]

මෙහි ගැටලු කිහිපයක් පවතී:

  1. අල්-ෂඃබී (උපත හි.වව 21/ක්‍රි.ව. 641) වාර්තා කරන්නේ පුද්ගලයන් තිදෙනෙකු පමණක් සිටි අවස්ථාවක් පිළිබඳ ව ය: එනම් මුහම්මද් නබිතුමා (ﷺ) (මියගියේ හි.වව 11/ක්‍රි.ව. 632), සෙයිද් බින් හාරිසා තුමා (මියගියේ හි.වව 8/ක්‍රි.ව. 629) සහ සෙයිනබ් බින්ත් ජහ්ෂ් තුමිය (මියගියේ හි.ව 20/ක්‍රි.ව. 641) යන අය යි. මොවුන් සියලු දෙනා ම ෂඃබීගේ උපතට පෙර අභාවප්‍රාප්ත වූහ.
  2. තවද, ඔහුගේ නමින් වාර්තා කර ඇති මෙම කථාවේ, එම පුද්ගලයන් තිදෙනාගෙන් කිසිවෙකුත් මෙම සිදුවීම විස්තර කළ බවක් සඳහන් නොවේ. ඒ වෙනුවට එය සම්පූර්ණයෙන්ම ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් (third person) වාර්තා කර ඇති අතර, එයින් ඔහුගේ මූලාශ්‍රයට මෙම තොරතුර අදාළ පුද්ගලයන් තිදෙනාගෙන් අයෙකුගෙන් සෘජු ව ම ලැබුණේ ද යන්න පිළිබඳ ව කුතුහලයක් ඇති කරයි. මෙම වාර්තාව පිළිගත යුතු නම්, ෂඃබී සහ අදාළ පුද්ගලයන් අතර අවම වශයෙන් අතරමැදි වාර්තාකරණ දෙකක් හෝ ඊට වැඩි ගණනක් තිබිය යුතු ය. එනම් ෂඃබී සහ සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් අතර අවම වශයෙන් තවත් වාර්තාකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටිය යුතු ය.  මන්ද ෂඃබී සහ අදාළ පාර්ශ්වය අතර පවත්නා කාල පරාසය අනුව මෙම සිදුවීම ෂඃබී සෘජු ව ම දැනගත නොහැක. ඔහු එය දැනගැනීමට නම් ඔහු හා මේ සිදුවීම අතර අතරමැදි වාර්තාකරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටිය යුතු ය.
  3. එපමණක් නොව අබූ සලමා යන උපනාමයෙන් හැඳින්වුණු, ෂඃබීගේ නිදහස් කළ දාසයා වූ සුලෙයිම්, දුර්වල වාර්තාකරුවෙකු ලෙස සැලකේ. [19] ඔහු නිවැරදි ව වාර්තා නො කළ වාර්තාකරුවන්ගේ නාමාවලියේ සිදු වූ වැරදි නිසා ඔහු විශේෂයෙන් විවේචනයට ලක් ව ඇත. [20]

ඉබ්නු අදීගේ වාර්තාවේ එන අලී බින් නූහ් යනු ප්‍රකට වාර්තාකරුවෙකු නොවන අතර, එම නිසා ඔහුගේ විශ්වාසනීයත්වය තහවුරු කළ නොහැක. [21] මුහම්මද් බින් කසීර් සම්බන්ධයෙන් ගත් කල, සුලෙයිම් මෙන් ම ඔහු ද කූෆා (Kufa) නගරයේ අයෙකු ලෙස සැලකුවහොත්, ඔහු අබූ ඉස්හාක් මුහම්මද් බින් කසීර් අල්-කුරෂී වන අතර, ඔහු දුර්වල වාර්තාකරුවෙකු ලෙස සලකනු ලැබීය. [22]

මෙම පරස්පරතාවලින් කිහිපයක් පෙන්වා දෙමින්, ප්‍රකට හදීස් වර්ගීකරණ විශේෂඥයෙකු වන අල්-අල්බානී තුමා (Al-Albani) මෙම වාර්තාව දුර්වල සහ ප්‍රතික්ෂේපිත වාර්තා පිළිබඳ ඔහුගේ කෘතියට ඇතුළත් කර ඇත. මෙම වාර්තාව සඳහා ඔහුගේ අවසාන වර්ගීකරණය වන්නේ “අතිශයින්ම ප්‍රතික්ෂේපිතයි” (මුන්කර් ජිද්දන් / munkar jiddan) යන්න යි. [23]

සුලෙයිම් උපන්නේ කවදා ද නැතහොත් මියගියේ කවදා දැයි අපි නො දනිමු. කෙසේ වෙතත්, ඔහුගෙන් වාර්තා කළ යූනුස් බින් බුකෙයිර්, හිජ්රි 199/ක්‍රි.ව. 815 දී අසූවෙනි වියට ආසන්න ව සිටිය දී අභාවප්‍රාප්ත වූ බව අපි දනිමු. [24]

2.4 ඉක්‍රිමා තුමාට අයත් යැයි පැවසෙන වාර්තාව

අල්-සුයූතී (Al-Suyuti – මියගියේ හි.වව 911/ක්‍රි.ව. 1505) මෙසේ ලියයි:

وأخرج عبد بن حميد وابن المنذر عن عكرمة رضي الله عنهأن النبي صلى الله عليه وسلم دخل يوما بيت زيد فرآها وهي بنت عمته فكأنها وقعت في نفسه

අබ්ද් බින් හුමෛද් සහ ඉබ්නු අල්-මුන්දියර්, ඉක්‍රිමාගෙන් වාර්තා කරයි… දිනක් මුහම්මද් නබිතුමා (ﷺ) සෙයිද්ගේ නිවසට ඇතුළු වී සෙයිනබ් තුමිය ව දුටූහ – ඇය එතුමාගේ පියාගේ සහෝදරියගේ දියණිය (ඥාති සොහොයුරියක්) වූවාය – තවද ඇය එතුමාගේ සිත ඇදගත්තාක් මෙන් විය. [25]

අබ්ද් බින් හුමෛද්ගේ (මියගියේ හි.වව 249/ක්‍රි.ව. 863) සහ ඉබ්නු අල්-මුන්දිර්ගේ (මියගියේ හි.වව 319/ක්‍රි.ව. 931) තෆ්සීර් (අර්ථකථන) කෘතීන් දැනට විද්‍යමාන ව නොමැත. [26] එබැවින්, මෙම කතුවරුන් දෙදෙනා සහ ඉක්‍රිමා (මියගියේ හි.ව 115/ක්‍රි.ව. 735) අතර දීර්ඝ කාලානුක්‍රමික වාර්තාකරණ හිඩැසක් පවතී. [27] ඊට අමතර ව, ඉක්‍රිමා යනු තාබිඊවරයෙකු (සහාබිවරුන් ව දුටු අයෙකු) පමණක් වන බැවින්, ඔහුගේ වාර්තාව උපරිමයෙන් ‘මුර්සල්’ (Mursal) එකක් පමණක් විය හැක. එබැවින්, වාර්තාකරණ විශ්වාසනීයත්වය අතින් මෙම වාර්තාවට කිසිදු පදනමක් නොමැත.

අන්තර්ගතය අතින් ගත් කල, මෙය අල්-ෂඃබීගේ වාර්තාවේ මුහම්මද් නබිතුමාට (ﷺ) ආරූඪ කර ඇති ප්‍රකාශය පිළිබඳ අර්ථකථනයක්/පැහැදිලි කිරීමක් සපයයි; එනම් සෙයිනබ් තුමිය සැබවින්ම එතුමාගේ සිත ඇදගත් අතර එතුමාගේ පැහැදීමට ලක් වූ බව යි. තවද, එහි ආකෘතියෙන් පැහැදිලි වන්නේ, සෙයිනබ් තුමිය සහ මුහම්මද් නබිතුමා (ﷺ) ඥාති සොහොයුරන් බව සඳහන් කරමින්, ඉන්පසු මුහම්මද් නබිතුමාගේ (ﷺ) හැඟීම් පිළිබඳ ව අනුමාන කළ යම් වාර්තාකරුවෙකුගේ නැවත සකස් කිරීමක් (paraphrasing) සහ එකතු කිරීමක් (interpolation) මෙහි ඇති බව යි. ස්වාභාවිකවම, තවත් කෙනෙකුගේ හැඟීම් පිළිබඳ ව — විශේෂයෙන්ම ඔබට කිසි දිනක හමු වීමට හෝ ආශ්‍රය කිරීමට අවස්ථාවක් ලැබී නැති කෙනෙකු ගැන — කරනු ලබන අනුමානයකින් කිසිවක් තහවුරු වන්නේ නැත.

2.5 අබූ බක්ර් බින් සුලෙයිමාන් බින් අබී හත්මගේ වාර්තාව

අල්-තබරානී (Al-Tabarani) මෙසේ වාර්තා කරයි:

حدثنا محمد بن عبد الله الحضرمي، ثنا الحسن بن علي الحلواني، ثنا محمد بن خالد بن عثمة، حدثني موسى بن يعقوب، عن عبد الرحمن بن المنيب، عن أبي بكر بن سليمان بن أبي حثمة، أن رسول الله صلى الله عليه وسلم جاء بيت زيد بن حارثة فاستأذن، فأذنت له زينب ولا خمار عليها، فألقت كم درعها على رأسها، فسألها عن زيد، فقالت: ذهب قريبا يا رسول الله، فقام رسول الله صلى الله عليه وسلم وله همهمة، قالت زينب: فاتبعته فسمعته يقول: «تبارك مصرف القلوب» فما زال يقولها حتى تغيب

මුහම්මද් බින් අබ්දුල්ලාහ් අල්-හද්රමී – අල්-හසන් බින් අලී අල්-හුල්වානී – මුහම්මද් බින් ඛාලිද් බින් අස්මා – මූසා බින් යාකූබ් – අබ්දුර් රහ්මාන් බින් අල්-මුනීබ් – යන අය අබූ බක්ර් බින් සුලෙයිමාන් බින් අබී හත්මා මගින් වාර්තා කරයි:

අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) සෙයිද් බින් හාරිසා තුමාගේ නිවස තෙ ගොස් ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියහ. සෙයිනබ් තුමිය හිස වසන මොට්ටැක්කිලිය නොමැති ව සිටිය දී ම එතුමාට ඇතුළු වීමට අවසර දුන්නාය. එබැවින් ඇය සිය ලෝගුවේ අත් කොටස හිස මත තබා ගත්තාය. මුහම්මද් නබිතුමාණෝ ඇගෙන් සෙයිද් තුමා පිළිබඳ ව විමසූහ. ඇය, “අල්ලාහ්ගේ දූතයාණෙනි, ඔහු මීට ස්වල්ප මොහොතකට පෙර පිටව ගියේය!” යයි පැවසුවාය. අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) යමක් මිමිණෙමින් ආපසු හැරී යාමට නැඟී සිටියහ. සෙයිනබ් තුමිය මෙසේ පැවසුවාය: “මම එතුමා පසුපස ගිය අතර, ‘හදවත් වෙනස් කරන තැනැත්තා ශ්‍රේෂ්ඨය’ යි එතුමා පවසනු මට ඇසුණි. එතුමා නොපෙනී යන තෙක් ම එය පවසමින් සිටියහ.” [28]

අබූ බක්ර් බින් සුලෙයිමාන් බින් අබී හත්මා යනු පසුකාලීන ‘තාබිඊන්වරුන්’ (Tabi‘in – සහාබිවරුන් මුණගැසී ඔවුන්ගෙන් වාර්තා කළ පරම්පරාව) අතර වූවෙකි. ඔහුගෙන් වාර්තා කරන අබ්දුර් රහ්මාන් බින් අල්-මුනීබ් (හෝ ඉබ්නු මන්දඃ හි සඳහන් වන පරිදි අබ්දුර් රහ්මාන් බින් අබ්දුල්ලාහ් බින් අල්-මුනීබ්) නැමැත්තා පිළිබඳ ව කිසිදු තොරතුරක් නොමැත (ඔහු අඥාන/නාඳුනන වාර්තාකරුවෙකි). සැබවින්ම, ඔහුට පසුව සිටින වාර්තාකරු වූ මූසා බින් යාකූබ් සම්බන්ධයෙන් අබ්දුර් රහ්මාන් බින් අල්-මහ්දී සඳහන් කර ඇත්තේ, ඔහුට අඥාන/නාඳුනන ගුරුවරුන් සිටි බව යි. (lahu masha’ikh majhulun). [29] මූසා බින් යාකූබ් ද දුර්වල මතක ශක්තියක් තිබූ අයෙකු ලෙස විවේචනයට ලක්ව ඇත. [30]

එබැවින්, මෙම වාර්තාව ‘මුර්සල්’ (Mursal) එකක් වීම නිසා පමණක් නොව, එහි එක් වාර්තාකරුවෙකු නාඳුනන අයෙකු වීම සහ තවත් වාර්තාකරුවෙකු දුර්වල මතක ශක්තියක් සහිත අයෙකු වීම නිසා ද දුර්වල (ළඊෆ්) වේ. අල්-හයිතමී (Al-Haithami) මෙහි ඇති දුර්වලතාවය පෙන්වා දී ඇත. [31] අල්-අල්බානී තුමා ද (Al-Albani) මෙය දුර්වල වාර්තාවක් ලෙස වර්ගීකරණය කර ඇත. [32]

මෙහි අන්තර්ගතය ද විශ්වාස කළ නොහැකි කතා නිර්මාණය කිරීමේ ලක්ෂණ පෙන්නුම් කරයි. එනම්, හිජාබ්/තිරය (Hijab) අනිවාර්ය කරන ලද්දේ මුහම්මද් (ﷺ) තුමාගේ සහ සෙයිනබ් තුමියගේ විවාහයෙන් පසුව බව සාමාන්‍යයෙන් හොඳින් ම දන්නා කරුණකි. එසේ තිබිය දී, හිජාබ් තවමත් අනිවාර්ය වී නොතිබූ කාලයක සෙයිනබ් තුමිය සිය හිස ලෝගුවකින් ආවරණය කර ගැනීමට තරම් වෙහෙසක් ගත්තේ මන්ද?

2.6 මුහම්මද් බින් යහ්යා බින් හබ්බාන්ගේ වාර්තාව

ඉබ්නු සඃද් (Ibn Sa‘d) මෙසේ සටහන් කරයි:

أخبرنا محمد بن عمر، قال: حدثني عبد الله بن عامر الأسلمي، عن محمد بن يحيى بن حبان قال: جاء رسول الله صلى الله عليه وسلم بيت زيد بن حارثة يطلبه وكان زيد إنما يقال له زيد بن محمد فربما فقده رسول الله صلى الله عليه وسلم الساعة، فيقول: «أين زيد؟» فجاء منزله يطلبه فلم يجده وتقوم إليه زينب بنت جحش زوجته فضلا فأعرض رسول الله صلى الله عليه وسلم عنها فقالت: ليس هو هاهنا يا رسول الله فادخل بأبي أنت وأمي فأبى رسول الله أن يدخل وإنما عجلت زينب أن تلبس لما قيل لها رسول الله صلى الله عليه وسلم على الباب فوثبت عجلى فأعجبت رسول الله فولى وهو يهمهم بشيء لا يكاد يفهم منه إلا ربما أعلن: «سبحان الله العظيم سبحان مصرف القلوب» فجاء زيد إلى منزله فأخبرته امرأته أن رسول الله أتى منزله، فقال زيد: ألا قلت له أن يدخل، قالت: قد عرضت ذلك عليه فأبى، قال: فسمعت شيئا؟ قالت: سمعته حين ولى تكلم بكلام ولا أفهمه وسمعته، يقول: «سبحان الله العظيم سبحان مصرف القلوب» فجاء زيد حتى أتى رسول الله، فقال: يا رسول الله بلغني أنك جئت منزلي فهلا دخلت بأبي أنت وأمي يا رسول الله لعل زينب أعجبتك فأفارقها، فيقول رسول الله: «أمسك عليك زوجك» فما استطاع زيد إليها سبيلا بعد ذلك اليوم فيأتي إلى رسول الله فيخبره فيقول رسول الله: «أمسك عليك زوجك» فيقول: يا رسول الله أفارقها فيقول رسول الله: «احبس عليك زوجك» ففارقها زيد واعتزلها وحلت يعني انقضت عدتها، قال: فبينا رسول الله جالس يتحدث مع عائشة إلى أن أخذت رسول الله غشية فسري عنه وهو يتبسم وهو يقول: «من يذهب إلى زينب يبشرها أن الله قد زوجنيها من السماء؟» …

මුහම්මද් බින් උමර් [අල්-වාකිදී] – අබ්දුල්ලාහ් බින් ආමිර් අල්-අස්ලමී යන අය මුහම්මද් බින් යහ්යා බින් හබ්බාන් තුමාගෙන් වාර්තා කළහ:

මුහම්මද් බින් යහ්යා බින් හබ්බාන්තුමා පවසයි,

අල්ලාහ්ගේ දූතයාණන් සෙයිද් බින් හාරිසා තුමාගේ නිවසට පැමිණියේ ඔහු ව සොයමිනි. එකල සෙයිද් තුමාව හඳුන්වන ලද්දේ ‘සෙයිද් බින් මුහම්මද්’ (මුහම්මද්ගේ පුත් සෙයිද්) යනුවෙනි. ඇතැම් විට අල්ලාහ්ගේ දූතයාණන්ට යම් මොහොතක ඔහු ව මඟහැරුණු විට, “සෙයිද් කොහේද?” යැයි විමසති. එතුමා ඔහු ව සොයා ඔහුගේ නිවසට පැමිණිය ද ඔහු ව හමු නොවීය. සෙයිද්ගේ බිරිඳ වූ සෙයිනබ් බින්ත් ජහ්ෂ් තුමිය, සැහැල්ලු (එදිනෙදා) ඇඳුමෙන් සිටිය දී ම එතුමා පිළිගැනීමට නැඟී සිටියාය. එබැවින් අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) ඇය දෙසින් අහක බලා ගත්හ. ඇය, “අල්ලාහ්ගේ දූතයාණෙනි, ඔහු මෙහි නැත. මාගේ පියා සහ මව ඔබට කැප වේවා, ඇතුළට එන්න!” යැයි පැවසුවාය. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් ඇතුළු වීම ප්‍රතික්ෂේප කළහ. “අල්ලාහ්ගේ දූතයාණන් දොර අසල සිටිනවා” යැයි පැවසූ විට සෙයිනබ් තුමිය ඉක්මනින් ඇඳුම් ලා ගැනීමට තැත් කරමින් කලබලයෙන් නැඟී සිටියාය. ඇය කෙරෙහි අල්ලාහ්ගේ දූතයාණන්ගේ පැහැදීමක්/සිත්ගැනීමක් ඇති විය. එබැවින් එතුමා පැහැදිලි ව වටහාගත නොහැකි යමක් මිමිණෙමින් ආපසු හැරී ගියහ. කෙසේ වෙතත්, එතුමාණෝ ප්‍රසිද්ධියේ මෙසේ පැවසූහ: “මහා ශ්‍රේෂ්ඨ අල්ලාහ් සුපරිශුද්ධ ය! හදවත් වෙනස් කරන අල්ලාහ් සුපරිශුද්ධ ය!”

සෙයිද් තුමා නිවසට පැමිණි විට, අල්ලාහ්ගේ දූතයාණන් නිවසට පැමිණි බව ඔහුගේ බිරිඳ ඔහුට පැවසුවාය. සෙයිද් තුමා, “ඔබ එතුමාණන්ට ඇතුළට එන්න කීවේ නැද්ද?” යැයි ඇසීය. ඇය, “මම ඇරයුම් කළා, නමුත් එතුමා එය ප්‍රතික්ෂේප කළා” යැයි පිළිතුරු දුන්නාය. “එතුමා කිසිවක් පවසනු ඔබ ඇසුවාද?” යැයි ඔහු ඇසීය. ඇය, “එතුමා ආපසු හැරී යන විට මට තේරුම් ගත නොහැකි යමක් පැවසූ අතර, ‘මහා ශ්‍රේෂ්ඨ අල්ලාහ් සුපරිශුද්ධ ය! හදවත් වෙනස් කරන අල්ලාහ් සුපරිශුද්ධ ය!’ යැයි පවසනු මට ඇසුණා” යැයි පැවසුවාය.

එබැවින් සෙයිද් තුමා පිටත්ව ගොස් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ මෙසේ පැවසීය: “අල්ලාහ්ගේ දූතයාණෙනි, ඔබ මාගේ නිවසට පැමිණි බව මට දැනගන්නට ලැබුණි. මාගේ පියා සහ මව ඔබට කැප වේවා, ඔබ ඇතුළට නොගියේ මන්ද? අල්ලාහ්ගේ දූතයාණෙනි, සමහර විට සෙයිනබ් තුමිය කෙරෙහි ඔබගේ සිත ඇදී යන්නට ඇත, එසේ නම් මම ඇගෙන් වෙන් වන්නෙමි.” එවිට අල්ලාහ්ගේ දූතයාණෝ, “ඔබගේ බිරිඳ ඔබ ළඟම තබා ගන්න” යැයි පැවසූහ. එදිනට පසු සෙයිද් තුමාට ඇය වෙත ළඟා වීමට (සබඳතාව පැවැත්වීමට) කිසිදු මගක් සොයාගත නොහැකි විය. ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ඒ බව පවසන විට ද, එතුමාණෝ, “ඔබගේ බිරිඳ ඔබ ළඟම තබා ගන්න” යැයි පැවසූහ. ඔහු, “අල්ලාහ්ගේ දූතයාණෙනි, මම ඇගෙන් වෙන් වන්නෙමි” යැයි කී විට ද, “ඔබගේ බිරිඳ ඔබ ළඟම තබා ගන්න” යැයි පැවසූහ.

පසුව සෙයිද් තුමා ඇගෙන් වෙන් වී ඇය ව අත්හැරියේය. ඇගේ ඉද්දා (විවාහයෙන් පසු බලපවත්වන නියමිත කාල සීමාව) අවසන් විය. වාර්තාකරු පවසන්නේ: අල්ලාහ්ගේ දූතයාණන් ආයිෂා සමඟ කතා කරමින් සිටිය දී, එතුමාට යම් මූර්ඡා ස්වභාවයක් (දේව අනාවරණ පහළ වන විට සිදුවන ස්වභාවය) ඇති විය. එය පහව ගිය පසු එතුමාණෝ සිනාසෙමින්, “අල්ලාහ් ඇයව අහසේ සිට මට විවාහ කර දුන් බවට වූ සුබ ආරංචිය සෙයිනබ් තුමිය වෙත ගෙන යන්නේ කවුද?” යැයි පැවසූහ… [33]

මෙම පුවතේ වාර්තාකරණ දුර්වලතාවය ඉතා පැහැදිලි ය. එහි ගැටලු තුනක් පවතී:

(අ) මුහම්මද් බින් යහ්යා බින් හබ්බාන් අභාවප්‍රාප්ත වූයේ හිජ්රි 121/ක්‍රි.ව. 738-739 දී වයස අවුරුදු හැත්තෑ හතරේ දී ය. මෙයින් අදහස් වන්නේ ඔහු උපත ලබා ඇත්තේ මුහම්මද් නබිතුමාගේ සහ සෙයිනබ් බින්ත් ජහ්ශ් තුමියගේ විවාහයෙන් වසර පනහකට ආසන්න කාලයකට පසුව සහ කතාවේ චරිත අතුරින් අවසානයට ම අභාවප්‍රාප්ත වූ සෙයිනබ් තුමියගේ මරණයෙන් වසර තිහකටත් වඩා වැඩි කාලයකට පසුව බව යි.

(ආ) අබ්දුල්ලාහ් බින් ආමිර් අල්-අස්ලමී යනු දුර්වල වාර්තාකරුවෙකු ලෙස ඒකමතික ව තීරණය කර ඇත. [34]

(ඇ) අල්-වාකිදී, ප්‍රකට දැඩි විවේචනයට ලක් වූවෙකි. [35]

කතාවේ විකාශනය සහ වර්ධනය දැන් ඉතා හොඳින් දර්ශනය වේ. අවසාන වාර්තාවේ සෙයිනබ් තුමියගේ හිස පමණක් ආවරණය නොවී තිබූ අතර, මෙහි දී ඇගේ ඇඳුම සම්බන්ධයෙන් ඊටත් වඩා බරපතල යමක් ඇඟවෙන සුළු ස්වරූපයක් ඇත. කතාදාගේ වාර්තාවේ සෙයිද් තුමා පැමිණිලි කළේ සෙයිනබ් තුමියගේ වචන සහ හැසිරීම් ගැන වන අතර ඒ නිසා ඇය ව දික්කසාද කිරීමට අවශ්‍ය වූ අතර, මෙහි දී ඔහු මුහම්මද් නබිතුමා (ﷺ) වෙනුවෙන් කැපකිරීමක් කිරීමට සූදානම්ව සිටියි.

2.7 මුහම්මද් බින් අල්-සායිබ් අල්-කල්බීගේ වාර්තාව

යහ්යා බින් සලාම් සිය තෆ්සීර් (අර්ථකථන) සටහනෙහි මෙසේ දක්වයි:

وقال الكلبي: إن رسول الله صلى الله عليه وسلم أتى زينب زائرا، فأبصرها قائمة فأعجبته، فقال رسول الله صلى الله عليه وسلم سبحان الله مقلب القلوب، فرأى زيد أن رسول الله صلى الله عليه وسلم قد هويها فقال: يا رسول الله ائذن لي في طلاقها، فإن فيها كبرا وإنها تؤذيني بلسانها، فقال له رسول الله صلى الله عليه وسلم: اتق الله وأمسك عليك زوجك، فأمسكها زيد ما شاء الله ثم طلقها، فلما انقضت عدتها أنزل الله نكاحها رسول الله صلى الله عليه وسلم من السماء

[මුහම්මද් බින් අල්-සායිබ්] අල්-කල්බී පැවසීය:

අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) සෙයිනබ් තුමිය ව හමු වීමට පැමිණි අතර, ඇය සිටගෙන සිටිනු දැකීමෙන් ඇය කෙරෙහි එතුමාට පැහැදීමක් ඇති විය. මේ අවස්ථාවේ දී අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ), ‘හදවත් වෙනස් කරන අල්ලාහ් සුපරිශුද්ධ ය’ යි පැවසූහ. මුහම්මද් නබිතුමා (ﷺ) සෙයිනබ් තුමිය ව ප්‍රාර්ථනා කරන බව සෙයිද් තුමා නිරීක්ෂණය කර, ‘අල්ලාහ්ගේ දූතයාණෙනි, ඇය ව දික්කසාද කිරීමට මට අවසර දෙන්න. මන්ද ඇය තුළ උඩඟුකමක් පවතින අතර ඇය ඇගේ වචනවලින් මට රිදවන්නීය’ යි පැවසීය. අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) ඔහුට, ‘අල්ලාහ්ට බිය වන්න, තවද ඔබගේ බිරිඳ ඔබ ළඟ ම තබා ගන්න’ යැයි පැවසූහ. අල්ලාහ් අභිමත කළ තාක් කල් සෙයිද් තුමා ඇය ව තබාගෙන සිට පසු ව දික්කසාද කළේය. ඉන්පසු ව ඇගේ ඉද්දා කාලය අවසන් වූ විට, මුහම්මද් නබිතුමා සමඟ ඇගේ විවාහය පිළිබඳ ව අල්ලාහ් දේව අනාවරණයක් පහළ කළේය. [36]

මුහම්මද් බින් අල්-සායිබ් අල්-කල්බී (මියගියේ හි.වව 146/ක්‍රි.ව. 763) ඔහුගේ වාර්තාව සඳහා කිසිදු මුලාශ්‍රයක් හෝ පූර්වගාමී වාර්තාකරුවෙකු සඳහන් කර නොමැති අතර, ඔහු ද ප්‍රතික්ෂේපිත වාර්තාකරුවන් අතුරින් කෙනෙකි. [37]

මුහම්මද් නබිතුමාට (ﷺ) සෙයිනබ් තුමිය කෙරෙහි වූ හැඟීම් නිරීක්ෂණය කිරීම නිසා සෙයිද් තුමා ඇය ව දික්කසාද කළ නමුත්, බාහිරින් ඊට හේතුව ලෙස ඇගේ හැසිරීම සඳහන් කළ බව මෙම වාර්තාවෙන් ඇඟවෙයි. මෙය සංක්ෂිප්ත වාර්තාවක් තුළට කිසිදු පදනමක් නොමැති අනුමානයක් ඇතුළත් කර, එම ක්‍රියාවලිය හරහා සමස්ත කතාවේ ස්වාභාවික ප්‍රවාහයට හා පැවැත්මට බාධා කළ පැහැදිලි අවස්ථාවකි.

2.8 මුකාතිල් බින් සුලෙයිමාන්ගේ වාර්තාව

කිසිදු නිවේදක පරම්පරාවක් (සනද්) සඳහන් නොකර, මුකාතිල් බින් සුලෙයිමාන් විසින් සෙයිද් තුමා සහ සෙයිනබ් තුමියගේ විවාහ යෝජනාව සහ විවාහය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරයි. ඔහුගේ වාර්තාවෙන් කොටසක් මෙසේ ය:

فلم يلبث إلا يسيرا حتى شكا إلى النبيصلّى الله عليه وسلّمما يلقى منها فدخل النبيصلى الله عليه وسلمفوعظها فلما كلمها أعجبه حسنها وجمالها وظرفها ، وكان أمرا قضاه اللهعز وجلثم رجع النبيصلى الله عليه وسلموفي نفسه منها ما شاء اللهعز وجلفكان النبيصلى الله عليه وسلميسأل زيدا بعد ذلك كيف هي معك؟ فيشكوها إليه فقال له النبيصلى الله عليه وسلم-: اتق الله وأمسك عليك زوجك وَفِي قلبه غَيْر ذَلِكَ،ثُمّ إن النَّبِيّصَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَأتى زيدا فأبصر زينب قائمة، وكانت حسناء بيضاء من أتم نساء قريش فهويها النبيصلّى الله عليه وسلّمفقال: سبحان الله مقلب القلوب. ففطن زيد، فقال: يا رسول الله، ائذن لي في طلاقها فإن فيها كبرا، تعظم علي وتؤذيني بلسانها، فقال النبيصلى الله عليه وسلم-: أمسك عليك زوجك واتق الله، ثم إن زيدا طلقها بعد ذلك،

නොබෝ දිනකින් සෙයිද් තුමා, සයිනබ්ගෙන් තමාට විඳින්නට සිදු වූ දේ පිළිබඳ ව මුහම්මද් නබිතුමා (ﷺ) වෙත පැමිණිලි කළේය. මුහම්මද් නබිතුමාණෝ (ﷺ) ඔවුන් වෙත පැමිණ ඇයට අවවාද කළහ. එතුමා ඇය සමඟ කතා කරන අතරතුර ඇගේ රූපලාවණ්‍යය, මුහුණේ සිරියාව සහ බුද්ධිමත් බව කෙරෙහි එතුමාට පැහැදීමක් ඇති විය. එය අල්ලාහ් තීරණය කර තිබූ දෙයකි. ඉන්පසු මුහම්මද් නබිතුමා (ﷺ) ආපසු පැමිණි අතර, අල්ලාහ් අභිමත කළ දෙයක් එතුමාගේ සිත තුළ විය. ඊට පසු, මුහම්මද් නබිතුමා (ﷺ) සෙයිද් තුමාගෙන් “ඇය ඔබ සමඟ කෙසේ සිටින්නීද?” යැයි විමසූහ. ඔහු නැවතත් ඇය ගැන පැමිණිලි කළේය. මුහම්මද් නබිතුමාගේ (ﷺ) සිත තුළ වෙනත් යමක් තිබිය දී ත්, එතුමාණෝ, “අල්ලාහ්ට බිය වන්න, තවද ඔබගේ බිරිඳ ඔබ ළඟ ම තබා ගන්න” යැයි පැවසූහ… ඉන්පසු මුහම්මද් නබිතුමාණෝ (ﷺ) සෙයිද්ගේ නිවසට පැමිණ සෙයිනබ් තුමිය සිටගෙන සිටිනු දුටුවහ – ඇය අතිශය රූපසුන්දර, සුදු පැහැති සිරුරක් හිමි, කුරෙයිෂ් කාන්තාවන් අතුරින් විශිෂ්ටතම කාන්තාවක් වූවාය – එබැවින් මුහම්මද් නබිතුමාණෝ (ﷺ) තුළ ඇය කෙරෙහි ඇල්මක් ඇති වූ අතර (නික්ම යන විට), “හදවත් වෙනස් කරන අල්ලාහ් සුපරිශුද්ධ ය” යැයි පැවසූහ. සෙයිද් තුමා මෙය වටහාගෙන, “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඇයව දික්කසාද කිරීමට මට අවසර දෙන්න. මන්ද ඇය තුළ උඩඟුකමක් පවතින අතර, ඇය මාව පහත් කොට සලකයි, ඇගේ වචනවලින් මට රිදවයි” යයි පැවසීය. මුහම්මද් නබිතුමා (ﷺ), “ඔබගේ බිරිඳ ව ඔබ ළඟ ම තබා ගන්න, තවද අල්ලාහ්ට බිය වන්න” යැයි පැවසූහ. කෙසේ වෙතත්, සෙයිද් තුමා අවසානයේ ඇය ව දික්කසාද කළේය. [38]

මුකාතිල් බින් සුලෙයිමාන් හිජ්රි 150/ක්‍රි.ව. 767 දී අභාවප්‍රාප්ත වූ අතර, මෙහි දී ඔහු කිසිදු වාර්තාකරණ නාම ලේඛනයක් (සනද්) සඳහන් කර නොමැත. එබැවින්, මෙය ‘මුඃදල්’ (Mu‘dal – වාර්තාකරණ සබඳතා කිහිපයක් බිඳී ගිය) වාර්තාවකි. ඊට අමතර ව, ඔහු විෂය කරුණු පිළිබඳ විශාල දැනුමකින් යුක්ත අයෙකු ලෙස පිළිගැනීමට ලක්ව  තිබුණ ද, වාර්තාකරුවෙකු ලෙස ඔහු ව දැඩි ලෙස හෙළා දැක ඇත. අල්-දහබී (Al-Dhahabi) සඳහන් කරන්නේ ඔහුගේ වාර්තා ප්‍රතික්ෂේප කිරීමට විද්වතුන් ඒකමතික ව එකඟ වී ඇති බව යි. [39]

ඔහුගේ වාර්තාවේ අන්තර්ගතය ද අනෙකුත් වාර්තා සමඟ පරස්පර වේ. මෙහි සඳහන් වන්නේ මුහම්මද් නබිතුමා (ﷺ) සෙයිනබ් තුමියට උපදෙස් දීමට සහ අවවාද කිරීමට යන අතරතුර, ඇය සමඟ කතා බස් කරද් දී ඇගේ රූපලාවණ්‍යයෙන් එතුමාගේ සිත ඇදී ගිය බව යි. මුකාතිල්, අල්-කල්බීගෙන් මූලාශ්‍ර ලබාගත් අයෙකු ලෙස ප්‍රකට අතර, ඔහු මෙහි දී ඉහත සඳහන් කළ අල්-කල්බීගේ කථාව තවදුරටත් වර්ධනය කර දක්වයි.

2.9 ‘අබ්දුර් රහ්මාන් බින් සෙයිද් තුමා [බින් අස්ලම්] ගේ වාර්තාව

අල්-තබරී (Al-Tabari) මෙසේ සටහන් කරයි:

حدثني يونس بن عبد الأعلى، قال: أخبرنا ابن وهب، قال: قال ابن زيد: كان النبي ص قد زوج زيد بن حارثة زينب بنت جحش ابنه عمته، فخرج رسول الله ص يوما يريده، وعلى الباب ستر من شعر، فرفعت الريح الستر فانكشف وهي في حجرتها حاسره، فوقع إعجابها في قلب النبي ص، فلما وقع ذلك كرهت إلى الآخر، قال: فجاء فقال: يا رسول الله، إني أريد ان افارق صاحبتي، فقال: مالك! أرابك منها شيء! فقال: لا والله يا رسول الله، ما رابني منها شيء، ولا رأيت إلا خيرا فقال له رسول الله ص: امسك عليك زوجك واتق الله، فذلك قول الله عز وجل: «وإذ تقول للذي أنعم الله عليه وأنعمت عليه أمسك عليك زوجك واتق الله وتخفي في نفسك ما الله مبديه» ، تخفى في نفسك ان فارقها تزوجتها.

යූනුස් බින් ‘අබ්ද් අල්-අඃලා – ඉබ්නු වහ්බ් – ඉබ්නු සෙයිද් තුමා වාර්තා කළේය:

අල්ලාහ්ගේ දූතයාණන් සෙයිද් බින් හාරිසා තුමා ව තමාගේ පිය පාර්ශ්වයේ නැන්දණියගේ දියණිය වූ සෙයිනබ් බින්ත් ජහ්ෂ් තුමියට විවාහ කර දී තිබුණි. දිනක් අල්ලාහ්ගේ දූතයාණෝ සෙයිද් තුමා ව සොයමින් පිටතට පැමිණියහ. එකල දොරටුව මත එළු රෝමවලින් කළ තිරයක් තිබූ අතර, සුළඟින් එම තිරය එසවී දොරටුව විවෘත විය. සෙයිනබ් තුමිය ඇගේ කාමරය තුළ ඇඳුම් නොමැතිව සිටි අතර, ඇය කෙරෙහි වූ පැහැදීම මුහම්මද් නබිතුමාගේ සිතට ඇතුළු විය. එය සිදු වූ පසු, අනෙක් තැනැත්තාට (සෙයිද් තුමාට) ඇය කෙරෙහි වූ ප්‍රියමනාප බව නැති වී ගියේය.

එබැවින් ඔහු පැමිණ, “අල්ලාහ්ගේ දූතයාණෙනි, මට මාගේ සහකාරියගෙන් වෙන් වීමට අවශ්‍යයි” යැයි පැවසීය. මුහම්මද් නබිතුමාණෝ, “කුමක් වීද? ඇයගේ පාර්ශ්වයෙන් ඔබට කිසියම් සැකයක් හෝ අකමැත්තක් ඇති වූයේද?” යැයි විමසූහ. සෙයිද් තුමා, “නැත, අල්ලාහ් මත දිවුරා කියමි, අල්ලාහ්ගේ දූතයාණෙනි! ඇයගෙන් මට කිසිදු වරදක් වී නැත, යහපතක් මිස අන් කිසිවක් මම ඇගෙන් නොදුටුවෙමි” යැයි පිළිතුරු දුන්නේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් ඔහුට, “ඔබගේ බිරිඳ ඔබ ළඟ ම තබා ගන්න, තවද අල්ලාහ්ට බිය වන්න” යයි පැවසූහ.

අල්ලාහ්ගේ මෙම වචනවල අර්ථය එය යි: “අල්ලාහ් යමෙකුට අනුග්‍රහ කළේද, ඔබද යමෙකුට අනුග්‍රහ කළේද, ඔහුට ‘ඔබගේ බිරිඳ ඔබ ළඟම තබා ගන්න, තවද අල්ලාහ්ට බිය වන්න’ යයි ඔබ පැවසූ අවස්ථාව මතකයට නඟන්න. තවද අල්ලාහ් හෙළි කිරීමට සිටි දෙය ඔබ ඔබගේ සිත තුළ සඟවා ගත්තෙහිය.” එනම් “ඔහු ඇගෙන් වෙන් වුවහොත් මම ඇයව විවාහ කර ගන්නෙමි” යන සිතුවිල්ල ඔබ ඔබගේ සිත තුළ සඟවා ගත්තෙහිය. [40]

මෙහි සඳහන් වන ඉබ්නු සෙයිද් තුමා නමැති වාර්තාකරු වන්නේ අබ්දුර් රහ්මාන් බින් සෙයිද් තුමා බින් අස්ලම් අල්-අදවී ය. ඔහු අයත් වන්නේ සහාබිවරුන්ගේ අනුගාමිකයන්ගෙන් පැවත එන පරම්පරාවට (තාබිඊන්වරුන්ට පසු පරම්පරාවට) වන අතර, හිජ්රි 182/ක්‍රි.ව. 798 දී අභාවප්‍රාප්ත විය. එබැවින්, ඔහුගේ වාර්තාව ‘මුඃදල්’ (Mu‘dal – වාර්තාකරණ සබඳතා කිහිපයක් බිඳී ගිය) එකකි. ඊට අමතර ව, ඔහු දුර්වල වාර්තාකරුවෙකු ලෙස ඒකමතික ව තීරණය කර ඇත. [41]

මෙම වාර්තාව තුළ, කතාව කරුණු දෙකක් ඔස්සේ තවදුරටත් විකාශනය වේ:

  1. පළමුවැන්න, මෙහි දී සෙයිනබ් තුමිය සිය හිස ආවරණය නොකර සිටින අයෙකු ලෙස හෝ මුහම්මද් නබිතුමා (ﷺ) උදෙසා දොර ඇරීමට ඉක්මනින් ඇඳුම් ලා ගන්නා අයෙකු ලෙස හෝ නොදැක්වේ. ඒ වෙනුවට, සුළඟින් දොරටුවේ තිරය ඉවත් වූ විට මුහම්මද් නබිතුමා (ﷺ) විසින් ඇයව දකිනු ලබන්නේ ඉතා නොහොබිනා/අසෝබන අයුරිනි.
  2. දෙවැන්න, මෙහි එන සෙයිද් තුමාට සිය බිරිඳ පිළිබඳ ව කිසිදු පැමිණිල්ලක් නොමැති අතර, ඔහු හුදෙක් මුහම්මද් නබිතුමා (ﷺ) වෙනුවෙන් ඇය ව දික්කසාද කිරීමට අපේක්ෂා කරයි.

මෙය හුදෙක් කතාව වර්ණවත් කිරීමක් හෝ වර්ධනය කිරීමක් පමණක් නොව, සෙයිද් තුමා විසින් සෙයිනබ් බින්ත් ජහ්ෂ් තුමිය පිළිබඳ ව මුහම්මද් නබිතුමා (ﷺ) වෙත පැමිණිලි කරමින් දික්කසාදය ගැන උපදෙස් ඇසූ බවට වන අනස්ගේ වාර්තාවට ද සම්පූර්ණයෙන්ම පරස්පර වේ.

3. විවේචනාත්මක විශ්ලේෂණය

3.1 නිවේදක පරම්පරා (ඉස්නාද්) පිළිබඳ විශ්ලේෂණය

3.1.1 ඉස්නාද් පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණය

පළමුවෙන්ම, මෙම සියලු වාර්තාවල ඉස්නාද් (නිවේදක නාමාවලී) දෙස බලන විට, ඒවා අඛණ්ඩව දුර්වල වෙමින් පවතින බව අපට පෙනී යයි. තවද, එකිනෙක වාර්තාවල ඇති දුර්වලතාවය කොතරම් ද යත්, ඒවා එකිනෙකට ආධාරකයක් ලෙස පවා ප්‍රමාණවත් නොවේ.

  • අනස්ගේ වාර්තාව: හම්මාද් බින් සෙයිද් තුමා වෙතින් වාර්තා කළ අනෙකුත් නිවේදකයින් අටදෙනා (08) විසින් වාර්තා නොකරන ලද, මුඃමල් බින් ඉස්මාඊල් විසින් හම්මාද් බින් සෙයිද් තුමා වෙතින් වාර්තා කර ඇති නුහුරු එකතු කිරීම් හැරුණු විට, අනස්ගේ වාර්තාව විශ්වාසනීය (සහීහ්) වේ.
  • කතාදාගේ වාර්තාව: මෙහි ඇති අවම දුර්වලතාවය වන්නේ එය ‘මුඃදල්’ වීම යි. එනම් ඔහු සහ සිදුවීමට අදාළ පුද්ගලයන් අතර වාර්තාකරණ සබඳතා දෙකක් මඟහැරී ඇත.
  • ෂඃබීගේ වාර්තාව: මෙය ‘මුර්සල්’ එකක් වීමට අමතර ව (එහිද සබඳතා දෙකක් මඟහැරීමේ හැකියාව, එනම් ‘මුඃදල්’ වීමේ හැකියාව ද බැහැර කළ නොහැක), මෙහි සුලෙයිම් නැමැති දුර්වල වාර්තාකරුවෙකු ද සිටියි.
  • ඉක්‍රිමාගේ යැයි පවසනු ලබන ඇති වාර්තාව: මෙය ස්වභාවයෙන්ම ‘මුර්සල්’ වීමට අමතර ව, මෙහි දැනට විද්‍යමාන කිසිදු නිවේදක පරම්පරාවක් නොමැත. ඒ අනුව, එයින් කිසිවක් තහවුරු නොවේ.
  • අබූ බක්ර් බින් සුලෙයිමාන් බින් අබී හත්මගේ වාර්තාව: මෙය ‘මුර්සල්’ වීමට අමතර ව, මෙහි නාඳුනන වාර්තාකරුවෙකු (ඉබ්නු අල්-මුනීබ්) සිටින අතර, තවත් වාර්තාකරුවෙකු වන මූසා බින් යාකූබ් ද ඇතැමුන්ගේ විවේචනයට ලක්ව ඇත.
  • මුහම්මද් බින් යහ්යා බින් හබ්බාන්ගේ වාර්තාව: මෙය ‘මුර්සල්’ වීමට අමතර ව, ඒ්කමතික ව දුර්වල යැයි තීරණය කර ඇති අබ්දුල්ලාහ් බින් ආමිර් අල්-අස්ලමී සහ බොරු කීමේ චෝදනාවට ලක් ව ප්‍රතික්ෂේප කර ඇති අල්-වාකිදී යන අයගෙන් සමන්විත වේ.
  • අල්-කල්බීගේ වාර්තාව: අල්-කල්බී යනු විද්වතුන්ගේ ඒකමතික එකගත්වයෙන්ම ප්‍රතික්ෂේපිත වාර්තාකරුවෙකි. තවද, ඔහු සිය වාර්තාව සඳහා කිසිදු මූලාශ්‍රයක් ලබා නො දෙයි.
  • මුකාතිල්ගේ වාර්තාව: එලෙස ම, මුකාතිල් ද විවාදයකින් තොර ව ප්‍රතික්ෂේපිත අයෙකි. ඔහු ද සිය වාර්තාව සඳහා මූලාශ්‍ර සඳහන් කිරීමට තැකීමක් කර නැත.
  • අබ්දුර් රහ්මාන් බින් සයිද්ගේ වාර්තාව: මෙය ‘මුඃදල්’ (සබඳතා දෙකක් හෝ ඊට වැඩි ගණනක් මඟහැරී ඇති) එකක් පමණක් නොව, විද්වතුන්ගේ ඒකමතික එකගත්වයෙන් ඔහු දුර්වල වාර්තාකරුවෙකු ලෙස හෙළා දැක ඇති බැවින් දැඩි ලෙස දුර්වල වාර්තාවකි.

මේ සෑම වාර්තාවක ම ඇති මෙවැනි දුර්වලතාවයන් — එනම් හුදෙක් එක් සබඳතාවක් පමණක් නොව සබඳතා දෙකක් හෝ ඊට වැඩි ගණනක් මඟහැරී තිබීම සහ නිවේදකයින් ඒකමතිකව දුර්වල යැයි ප්‍රකාශ කර තිබීම හෝ සම්පූර්ණයෙන්ම නාඳුනන අය වීම හෝ මෙම කරුණු දෙකම පැවතීම — එකිනෙකට විශ්වාසනීයත්වයක් හෝ තහවුරුවක් ලබා දීමට සමත් වන්නේ නැත.

3.1.2 සමුච්චිත ශක්තියක් ද නැතහොත් සංයුක්ත දුර්වලතාවයක්ද?

යම් යම් දුර්වලතා සහිත බහුවිධ වාර්තා, ඒවායේ සමූහ ශක්තිය (collective strength) නිසා පිළිගත හැකි මට්ටමකට පැමිණිය ද, එය අදාළ වන්නේ වෙන් වෙන් වාර්තාවල ඇති දුර්වලතාවය ඉතා සුළු එකක් වන විට පමණි. මෙවැනි සුළු දුර්වලතාවයක් යම් වාර්තාකරුවෙකුගේ දුර්වල මතක ශක්තියක් නිසා හෝ විචාරකයින් අතර යම් මතභේදයක් පැවති වාර්තාකරුවෙකු නිසා හෝ ඇති විය හැක. නමුත් සෑම වාර්තාවක ම ඇති දුර්වලතාවය බරපතල එකක් වන විට, එනම් වාර්තාකරු(වන්) බොරු කීමේ චෝදනාවට ලක් ව ඇති විට හෝ විචාරකයින්ගේ ඒකමතිකත්වයෙන් දුර්වල යැයි තීරණය කර ඇති විට, හුදෙක් වාර්තා සංඛ්‍යාව පමණක් ප්‍රමාණවත් නොවේ. සැබවින්ම විද්වතුන් පවසන්නේ මෙවැනි ‘තහවුරු කිරීම්’ මගින් සිදුවන්නේ දුර්වලතාවය තවදුරටත් සංයුක්ත වීම (වර්ධනය වීම) පමණක් බව යි.

මධ්‍යතන යුගයේ ප්‍රමුඛ හදීස් විද්වතෙකු වූ ජමාල් අල්-දීන් අල්-සයිලඊ (Jamal al-Din al-Zaili’i – මියගියේ හි.වව 762/ක්‍රි.ව. 1360) මෙසේ නිරීක්ෂණය කළේය:

وكم من حديث كثرت رواته وتعددت طرقه ، وهو حديث ضعيف؟بل قد لا يزيد الحديث كثرة الطرق إلا ضعفاً

විශාල නිවේදකයින් සංඛ්‍යාවක් සහ බහුවිධ වාර්තාකරණ මාර්ග (මාර්ග/routes) මගින් වාර්තා වී ඇති කෙතරම් දුර්වල හදීස් ඇත් ද ? … සැබවින්ම බොහෝ වාර්තාවල ඇති බහුවිධ මාර්ග මගින් සිදු වන්නේ එහි ඇති දුර්වලතාවය තවදුරටත් වැඩි වීම පමණි. [41a]

එලෙසම, අහ්මද් ෂාකිර් (Ahmad Shakir – මියගියේ හි.වව 1377/ක්‍රි.ව. 1957) මෙසේ සඳහන් කළේය:

إذا كان ضعف الحديث لسوء حفظ الراوي أو نحو ذلك فإنه يرقى إلى درجة الحسن أو الصحة بتعدد طرقه إن كانت كذلك ، وأما إذا كان ضعف الحديث لفسق الراوي أو اتهامه بالكذب ، ثم جاء من طرق أخرى من هذا النوع ، فانه لا يرقى إلى الحسن بل يزداد ضعفاً إلى ضعف ، إذ أن تفرد المتهمين بالكذب أو المجروحين في عدالتهم بحديث لا يرويه غيرهم يرجح عند الباحث المحقق التهمة ويؤيد ضعف رواياتهم

හදීසයක ඇති දුර්වලතාවය වාර්තාකරුගේ දුර්වල මතක ශක්තිය හෝ එවැනි ආකාරයේ වෙනත් කරුණක් නිසා ඇති වූවක් නම්, බහුවිධ වාර්තාකරණ මාර්ග පැවතීම හේතුවෙන් එය ‘හසන්’ (Hasan – යහපත්/පිළිගත හැකි) හෝ ‘සහීහ්’ (Sahih – විශ්වාසනීය) මට්ටමට උසස් වේ. කෙසේ වෙතත්, හදීසයේ දුර්වලතාවය වාර්තාකරුගේ දුෂ්චරිතය (Fisq) හෝ ඔහු බොරු කීමේ චෝදනාවට ලක්වීම නිසා ඇති වූවක් වන විට සහ එය එවැනිම ආකාරයේ වෙනත් මාර්ග හරහා පමණක් වාර්තා වී ඇති විට, එය ‘හසන්’ මට්ටමට උසස් නොවේ; සැබවින්ම එහි දුර්වලතාවය තව තවත් වැඩි වේ. එබැවින්, වෙනත් කිසිවෙකු විසින් වාර්තා නොකරන ලද හදීසයක් හුදෙක් බොරු කීමේ චෝදනාවට ලක් වූවන් හෝ විශ්වාසනීයත්වය බිඳ වැටුණු අය විසින් පමණක් වාර්තා කර ඇති විට, එය පර්යේෂකයෙකු හමුවේ තහවුරු කරන්නේ ඔවුන්ට එරෙහි චෝදනාව සහ ඔවුන්ගේ වාර්තාවල ඇති දුර්වලතාවය පමණි (වාර්තා සංඛ්‍යාව කොපමණ වුව ද). [42]

ඒ අනුව, අල්-අල්බානී [43] සහ ෂුඅයිබ් අල්-අර්නාවූත් [44] යන විද්වතුන් සිය විවේචනාත්මක පර්යේෂණවල දී, බහුවිධ වාර්තාකරණ මාර්ග පැවතිය ද හදීසයක විශ්වාසනීයත්වයේ මට්ටම ඉහළ නොයන, සැබවින්ම දුර්වලතාවය තව තවත් තහවුරු වන අවස්ථා නිතර පෙන්වා දී ඇත.

අප අධ්‍යයනය කරන මෙම සිදුවීමේ දී, කතාදාගේ වාර්තාවට පසු එන කිසිදු වාර්තාවක් හුදෙක් ‘මුර්සල්’ (Mursal) එකක් පමණක් නොවන බව අපට පෙනී යයි; මන්ද ඒවා තුළ වෙනත් දැඩි දුර්වලතාවයන් ද පවතින බැවිනි.

තවද, මුර්සල් වාර්තා නීතිමය තීන්දු (Legal rulings) සඳහා බොහෝ ඉස්ලාමීය නීතිවේදීන් විසින් පිළිගනු ලබන අතර, චරිතාපදාන දත්ත සහ ඓතිහාසික වැදගත්කමක් ඇති වාර්තා සම්බන්ධයෙන් වන නිර්ණායක ඊට වඩා ලිහිල් වුව ද, මෙම කරුණු දෙක එකට සමපාත නොවේ. මන්ද සහාබිවරුන්ගෙන් පමණක් නීතිමය කරුණු වාර්තා කිරීමට උත්සුක වූ විද්වතුන් පවා, නීතිමය නොවන වෙනත් තොරතුරු තමන්ගේම සමකාලීනයන්ගෙන් වාර්තා කිරීමට පසුබට නොවූ බැවිනි. සැබවින්ම, ඓතිහාසික වාර්තාවල දී සහාබිවරුන් පවා ඇතැම් විට අන් අයගෙන් තොරතුරු වාර්තා කර ඇත. ඒ අනුව, නීතිමය නොවන ස්වභාවයේ වාර්තාවල දී, සහාබිවරුන්ගේ ‘මුර්සල්’ වාර්තා පවා අනිවාර්යයෙන්ම බලවත් එකක් ලෙස සැලකිය නොහැකි බව විද්වතුන් පවසති. [45]

3.2 වාර්තාවල අන්තර්ගතය පිළිබඳ විශ්ලේෂණය

3.2.1 සංසන්දනාත්මක විශ්ලේෂණය

ඉහත සඳහන් නිවේදක පරම්පරා හරහා වාර්තා වී ඇති පාඨ (texts) එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් තහවුරු කරන සුළු ලෙස සැලකිය නොහැකි තරම් එකිනෙකට බෙහෙවින් වෙනස් වේ.

  • අනස්ගේ (මියගියේ හි.වව 92/ක්‍රි.ව. 712) වාර්තාව: සෙයිනබ් තුමියගේ හැසිරීම පිළිබඳ ව සෙයිද් තුමා කළ පැමිණිල්ල සහ ඇය ව දික්කසාද කිරීමට ඔහු තුළ වූ කැමැත්ත මෙහි සඳහන් වේ. කෙසේ වෙතත්, සෙයිනබ් තුමිය කෙරෙහි මුහම්මද් නබිතුමා තුළ පැවති බව කියනු ලබන හැඟීම් පිළිබඳ ව කිසිවක් මෙහි සඳහන් නොවේ.
  • කතාදාගේ (මියගියේ හි.වව 118/ක්‍රි.ව. 737) වාර්තාව: සෙයිද්ගේ පැමිණිල්ල සහ දික්කසාද කිරීමේ කැමැත්ත මෙහි සඳහන් වන අතර, කිසිදු අණ කිරීමකින් හෝ යෝජනාවකින් තොර ව සෙයිද් තුමා සිය කැමැත්තෙන්ම ඇය ව දික්කසාද කරනු ඇතැයි මුහම්මද් නබිතුමා අපේක්ෂා කළ බව ද සඳහන් වේ. සෙයිනබ් තුමිය කෙරෙහි එතුමා තුළ වූ බව කියන හැඟීම් ගැන මෙහි ද කිසිවක් සඳහන් නොවේ.
  • ෂඃබීගේ (මියගියේ හි.වව 103/ක්‍රි.ව. 721) වාර්තාව: මුහම්මද් නබිතුමා රෝගාතුර ව සිටි සෙයිද් තුමා ව බලන්නට ගිය බවත්, සෙයිනබ් තුමිය ව දැකීමෙන් ඇය කෙරෙහි එතුමා තුළ පැහැදීමක් ඇති වූ බව හැඟවෙන අයුරින් අදහස් ප්‍රකාශ කළ බවත් මෙහි සඳහන් වේ.
  • ඉක්‍රිමාගේ (මියගියේ හි.වව 115/ක්‍රි.ව. 735) වාර්තාව: දෘශ්‍යමය විස්තර කිරීමක් මෙහි නොමැති වුව ද, මුහම්මද් නබිතුමාගේ බාහිර ප්‍රතික්‍රියාවට ස්ථිර අර්ථයක් ලබා දුන් මුල් ම වාර්තාව මෙය යි.
  • අබූ බක්ර් බින් සුලෙයිමාන් බින් අබී හත්මගේ වාර්තාව: මුහම්මද් නබිතුමා සයිද්ගේ නිවසට පැමිණි බවත්, එහි දී සෙයිනබ් තුමිය පමණක් තනිව ම හිස ආවරණය නොකර සිටිනු දුටු බවත්, ඇය ලෝගුවකින් හිස ආවරණය කර ගැනීමට තැත් කළ බවත් මෙහි සඳහන් වේ.
  • මුහම්මද් බින් යහ්යා බින් හබ්බාන්ගේ (මියගියේ හි.වව 121/ක්‍රි.ව. 738-739) වාර්තාව: සෙයිනබ් තුමිය නිසි ලෙස ඇඳුම් ලා නොසිටි බවත්, ඇය ව දැකීමෙන් මුහම්මද් නබිතුමාගේ සිත ඇදී ගිය බවත් මෙහි පැවසේ. මුහම්මද් නබිතුමා සෙයිනබ් තුමිය කෙරෙහි කැමැත්තක් ඇති කරගෙන ඇති බව සිතූ සෙයිද් තුමා, ඇය ව දික්කසාද කිරීමට සැරසෙන ආකාරයක් මෙයින් නිරූපණය වේ.
  • අල්-කල්බීගේ (මියගියේ හි.වව 146/ක්‍රි.ව. 763) වාර්තාව: මුහම්මද් නබිතුමාගේ (ﷺ) හැඟීම් පිළිබඳ ව සෙයිද් තුමා කළ අනුමානය සහ සෙයිනබ් තුමියගේ හැසිරීම පිළිබඳ ඔහුගේ පැමිණිල්ල යන කරුණු දෙක ම මෙහි දී එකට මුසු කොට (ගළපා) දක්වයි.
  • මුකාතිල්ගේ (මියගියේ හි.වව 150/ක්‍රි.ව. 767) වාර්තාව: සෙයිද් තුමා කෙරෙහි දක්වන හැසිරීම ගැන සෙයිනබ්ට අවවාද කිරීමට ගිය මොහොතේ ම මුහම්මද් නබිතුමාට (ﷺ) ඇය කෙරෙහි ක්ෂණික හැඟීමක් ඇති වූ බව මෙහි සඳහන් වේ. තවද, සෙයිනබ් තුමියගේ රූපලාවණ්‍යය ගැන සඳහන් කිරීම වැනි පැහැදිලි එකතු කිරීම් (interpolations) මගින් මෙම කතාව සැලසුම් සහගත ව ගොතන ලද්දක් බව මනාව ඇඟවෙයි.
  • අබ්දුර් රහ්මාන් බින් සෙයිද්ගේ (මියගියේ හි.වව 182/ක්‍රි.ව. 798) වාර්තාව: සුළඟ නිසා දොරටුවේ තිරය ඉවත් වූ විට මුහම්මද් නබිතුමා විසින් සෙයිනබ් තුමිය ව ඇඳුම් නොමැති ව දකිනු ලබයි. එවිට සෙයිද් තුමාට සිය බිරිඳ පිළිබඳ ව කිසිදු පැමිණිල්ලක් නො තිබුණ ද, ඔහු ඇය ව දික්කසාද කිරීමට අපේක්ෂා කරයි.

එබැවින්, රෝගාතුර වූ සෙයිද් තුමා ව බලන්නට ගිය විට මුහම්මද් නබිතුමා හුදෙක් සෙයිනබ් තුමිය ව දැකීමේ සිට, ඇය ව තනි ව ම හිස ආවරණය නොකර සිටිනු දැකීම, ඉක්මනින් ඇඳුම් ලා ගන්නවා දැකීම සහ අවසානයේ සම්පූර්ණයෙන්ම ඇඳුම් නොමැති ව දැකීම දක්වා මෙම කතාව ක්‍රමික ව විකාශනය වී ඇති ආකාරය අපට පෙනී යයි.

එලෙස ම, සෙයිද් තුමා පැමිණිලි කරමින් උපදෙස් ඇයදීමේ සිට, ඔහුගේ පැමිණිල්ල සහ කිසිවෙකු නොයිල්ලා ම ඔහු දික්කසාද කරනු ඇතැයි මුහම්මද් නබිතුමා තුළ වූ අපේක්ෂාව, මුහම්මද් නබිතුමා සෙයිනබ් තුමිය කෙරෙහි යම් කැමැත්තක් දක්වන බව සිතා සෙයිද් තුමා ඇය ව දික්කසාද කිරීමට කැමති වීම සහ අවසානයේ සිය බිරිඳ ගැන කිසිදු පැමිණිල්ලක් නැතු ව ම ඇය ව දික්කසාද කිරීමට සූදානම් වීම දක්වා තවත් ක්‍රමික විකාශනයක් ද මෙහි දක්නට ලැබේ.

3.2.2 අන්තර්ගතය පිළිබඳ පොදු නිරීක්ෂණ

මුහම්මද් නබිතුමා (ﷺ) සෙයිනබ් තුමිය ව සෙයිද් තුමාට විවාහ කර දීමටත් පෙර, තමන්ගේ ම නෑනා (පියාගේ නැඟණියගේ දියණිය) වූ ඇය ව අනන්ත වාරයක් දැක තිබිය යුතු ය යන සරල සත්‍යය ම, මුහම්මද් නබිතුමා (ﷺ) අහම්බෙන් ඇය ව දුටු පළමු වරම ඇය කෙරෙහි වශී වූවාක් මෙන් හඟවන මෙම කතාවේ පදනම් විරහිත බව මනාව පැහැදිලි කරයි. ඊට අමතර ව, මුහම්මද් නබිතුමා (ﷺ) තමන්ම ඇය හමුවීමට ගොස් සෙයිද් තුමා වෙනුවෙන් විවාහ යෝජනාව ගෙන ආ බවත්, එම විවාහය සිදුවිය යුතු බවට අවධාරණය කළ බවත් සඳහන් වන වාර්තා පවතී. [46]

තවද, සෙයිද් තුමා සමඟ විවාහ වීමට ඇගේ ආරම්භක අකමැත්ත ප්‍රකාශ කිරීමට පෙර, මුහම්මද් නබිතුමා (ﷺ) එම යෝජනාව ගෙන ආවේ තමන් උදෙසා යැයි ඇය සිතූ බවත්, ඒ සඳහා ඇගේ එකඟතාව පවා දුන් බවත්, නමුත් එය සෙයිද් තුමා උදෙසා බව වටහාගත් පසු ඇය කනගාටුවට පත් වූ බවත් වාර්තාගත සාක්ෂිවලින් පැහැදිලි වේ. [47]

එබැවින්, ඥාති සහෝදරියක වශයෙන් මුහම්මද් නබිතුමා (ﷺ) ඇයව ඉතා හොඳින් හඳුනාගෙන සිටි බවත්, සෙයිද් තුමා වෙනුවෙන් ඇය ව විවාහ කර දීමට නබිතුමා ම ඇයව හමුවීමට පවා ගිය බවත් මෙයින් පැහැදිලි වේ. ඇය ද මුහම්මද් නබිතුමා (ﷺ) සමඟ විවාහ වීමට කැමැත්තෙන් සිටියාය. මෙවැනි තත්ත්වයක් හමුවේ, වාර්තාකරණ විශ්වාසනීයත්වයේ ඇති දුර්වලතාවයට අමතර ව, මෙම අපකීර්තිමත් කතාවේ අන්තර්ගතයේ ඇති පදනම් විරහිත සහ අරුත් සුන් බව තවදුරටත් මනාව තහවුරු වේ.

4. අල්-කුර්ආනයේ 33:37 ආයතයේ අර්ථය තහවුරු කිරීම

ආරම්භයේ දී, අපි 33:37 ආයතය පිළිබඳ සම්ප්‍රදායික අවබෝධය සඳහන් කළෙමු. දැන් එය අල්-කුර්ආනයේ කථාන්දර ගැලපීමට සහ මුල් ඉස්ලාමීය පරම්පරාවල වාර්තාවලට අනුකූල වේදැයි බලමු.

අල්-කුර්ආන් ආයතයේ තීරණාත්මක කොටස වන්නේ, මුහම්මද් නබිතුමා (ﷺ) සඟවා ගත් දෙය සහ අල්ලාහ් හෙළිදරව් කළ දෙය මෙන් ම, ඒ සම්බන්ධයෙන් මුහම්මද් නබිතුමා (ﷺ) මිනිසුන්ට බිය වූ බව සඳහන් වීම යි. එසේ නම් අල්ලාහ් හෙළිදරව් කළේ හෝ ප්‍රකාශයට පත් කළේ කුමක්ද? එය මුහම්මද් නබිතුමාගේ (ﷺ) සහ සෙයිනබ් තුමියගේ විවාහය යි. එහි දී අල්ලාහ්ම ඇය ව මුහම්මද් නබිතුමාට (ﷺ) විවාහ කර දුන් බව පවසා ඇත. අල්ලාහ් හෙළිදරව් කළේ එය මිස මුහම්මද් නබිතුමා තුළ පැවති බව කියන හැඟීම් නොවේ.

එබැවින්, මුහම්මද් නබිතුමා (ﷺ) සඟවා ගත්තේ සෙයිද් තුමා සහ සෙයිනබ් තුමියගේ වෙන්වීම සහ ඉන්පසු සිදුවන එතුමාගේ සහ සෙයිනබ් තුමියගේ විවාහය පිළිබඳ ව දේව අනාවරණය (වහී) හරහා එතුමාට දැනුම් දී තිබූ සත්‍යය බව පැහැදිලි ය. සෙයින් අල්-ආබිදීන් අලී බින් හුසේන් (මියගියේ හි.වව 94/ක්‍රි.ව. 712) වැනි මුල් කාලීන උගතුන්ගෙන් ද වාර්තා වී ඇත්තේ මෙම අදහස ම ය:

حدثنا خلاد بن أسلم، قال: ثنا سفيان بن عيينة، عن علي بن زيد بن جدعان، عن علي بن حسين قال: كان الله تبارك وتعالى أعلم نبيه صلى الله عليه وسلم أن زينب ستكون من أزواجه، فلما أتاه زيد يشكوها، قال: اتق الله وأمسك عليك زوجك، قال الله: (وتخفي في نفسك ما الله مبديه)

ඛල්ලාද් බින් අස්ලම් – සුෆ්යාන් බින් උයයිනඃ – අලී බින් සෙයිද් තුමා බින් ජුද්ආන් යන අය අලී බින් හුසේන් මගින් වාර්තා කළහ:

ශ්‍රේෂ්ඨ වූ අල්ලාහ් තආලා සෙයිනබ් තුමිය නබිතුමාගේ බිරියක වන බව සිය  දූත මුහම්මද් නබිතුමාට (ﷺ) දැනුම් දී තිබුණි. එසේ තිබිය දී සෙයිද් තුමා පැමිණ සෙයිනබ් තුමිය ගැන පැමිණිලි කළ විට, නබිතුමාණෝ “අල්ලාහ්ට බිය වන්න, තවද ඔබගේ බිරිඳ ඔබ ළඟම තබා ගන්න” යැයි පැවසූහ. මේ සම්බන්ධයෙන් අල්ලාහ් (අල්-කුර්ආනයේ) මෙසේ පැවසීය: “තවද අල්ලාහ් හෙළිදරව් කිරීමට සිටි දෙය ඔබ ඔබගේ සිත තුළ සඟවා ගත්තෙහිය.” [48]

ඉස්මාඊල් අල්-සුද්දී (Isma‘il al-Suddi – මියගියේ හි.වව 128/ක්‍රි.ව. 745) වෙතින් ද මෙලෙස ම වාර්තා වී ඇත. [49] මෙම වාර්තාගත අර්ථ නිරූපණය තවදුරටත් පැහැදිලි කරමින් අල්-සඃලබී (Al-Tha‘labi – මියගියේ හි.වව 437/ක්‍රි.ව. 1035) මෙසේ ලියයි:

وهذا التأويل مطابق للتلاوة وذلك أن الله عز وجل حكم واعلم إبداء ما أخفى، والله لا يخلف الميعاد، ثم لم نجده عز وجل أظهر من شأنه غير التزويج بقوله: زوجناكها. فلو كان أضمر رسول الله صلى الله عليه محبتها، أو أراد طلاقها، لكان لا يجوز على الله تعالى كتمانه مع وعده أن يظهره، فدل ذلك على أنه (عليه السلام) إنما عوتب على قوله: أمسك عليك زوجك مع علمه بأنها ستكون زوجته، وكتمانه ما أخبره الله سبحانه به حيث استحيا أن يقول لزيد: إن التي تحتك ستكون امرأتي والله أعلم.

මෙම පැහැදිලි කිරීම අල්-කුර්ආන් පාඨයට සපූර්ණයෙන් ම අනුකූල වේ. මන්ද සඟවන ලද දෙය හෙළිදරව් කරන බව අල්ලාහ් තආලා ප්‍රකාශ කර ඇති අතර, අල්ලාහ් කිසිවිටෙකත් සිය පොරොන්දුව කඩ නො කරයි. ‘අපි ඇය ව ඔබට විවාහ කර දුන්නෙමු’ යි පැවසීම මගින් එම විවාහය හෙළිදරව් කිරීම හැර අන් කිසිවක් අල්ලාහ් විසින් ප්‍රකාශ කරනු අපට දක්නට නො ලැබේ. යම් හෙයකින් අල්ලාහ්ගේ දූතයාණන් සෙයිනබ් තුමිය කෙරෙහි වූ ප්‍රේමයක් සිත තුළ සඟවාගෙන සිටියේ නම් හෝ සෙයිද් තුමා ලවා ඇය ව දික්කසාද කරවීමට අපේක්ෂා කළේ නම්, එය හෙළි කරන බවට පොරොන්දු වීමෙන් පසු අල්ලාහ් තආලාට එය නොහෙළි කර සිටිය නොහැක.

එමගින් තහවුරු වන්නේ, ඇය තමන්ගේ බිරිඳ වන බව දැන දැන ම, “ඔබගේ බිරිඳ ඔබ ළඟ ම තබා ගන්න” යැයි සෙයිද් තුමාට අවවාද කිරීම සම්බන්ධයෙන් පමණක් මුහම්මද් නබිතුමා (ﷺ) අවවාදයට ලක් වූ බව යි. “ඔබේ භාරකාරත්වයේ සිටින බිරිඳ ළඟදී ම මාගේ බිරිඳ වනු ඇත” යැයි සෙයිද් තුමාට පැවසීමට පැකිළුණු (ලජ්ජා වූ) නබිතුමා, අල්ලාහ් තආලා තමන්ට දැනුම් දුන් දෙය මෙසේ සඟවා ගත්හ. අල්ලාහ් වඩාත්ම හොඳින් දන්නේය. [50]

විද්වතුන් ගණනාවක්ම මෙම ආයතය සඳහා ඇති වඩාත්ම සුදුසු සහ නිවැරදි අර්ථ නිරූපණය ලෙස මෙය සලකා ඇත. මෙම මතය අල්-සුහ්රී (al-Zuhri – මියගියේ හි.ව 124/ක්‍රි.ව. 742) සහ බක්ර් බින් ‘අලා’ අල්-කුෂෛරී (Bakr b. ‘Ala’ al-Qushairi – මියගියේ හි.ව 344/ක්‍රි.ව. 955) යන අයට ද සම්බන්ධ කර ඇත. [51] මීට අමතර ව හකීම් අල්-තිර්මිදි (Hakim al-Tirmidhi – මියගියේ හි.ව 320/ක්‍රි.ව. 932 පමණ), [52] කාඩී ඉබ්නු අල්-‘අරබී (Qadi Ibn al-‘Arabi – මියගියේ හි.ව 543/ක්‍රි.ව. 1148), [53] අබූ හයියන් අල්-අන්දලුසී (Abu Hayyan al-Andalusi – මියගියේ හි.ව 745/ක්‍රි.ව. 1344), [54] ඉබ්නු අල්-කයියිම් (Ibn al-Qayyim – මියගියේ හි.ව 751/ක්‍රි.ව. 1350), [55] ඉබ්නු කසීර් (Ibn Kathir – මියගියේ හි.ව 774/ක්‍රි.ව. 1373), [56] ඉබ්නු හජර් (Ibn Hajar – මියගියේ හි.ව 852/ක්‍රි.ව. 1449), [57] අල්-බකාඊ (al-Baqa‘i – මියගියේ හි.ව 885/ක්‍රි.ව. 1480), සහ අල්-ආලූසී (al-Alusi – මියගියේ හි.ව 1270/ක්‍රි.ව. 1854) [59] වැනි විද්වතුන් රැසක් මෙම මතය නිවැරදි එක ලෙස පිළිගෙන ඇත.

ඉහත දැක්වූ කරුණු, මුලින් සඳහන් කළ දුර්වල වාර්තාවලට එරෙහි තීරණාත්මක සාක්ෂියක් ලෙස ක්‍රියා කරනවා පමණක් නොව, සෙයිද් තුමා සෙයිනබ් තුමිය ව දික්කසාද කරනු ඇතැයි මුහම්මද් නබිතුමා (ﷺ) සැබවින්ම අපේක්ෂා කළ බව කියැවෙන කතාදාගේ වාර්තාව වඩාත් හොඳින් වටහා ගැනීමට ද උපකාරී වේ. අසත්‍ය වාර්තාවලින් වෙන් කොට බැලූ විට සහ සෙයිද් තුමා හා සෙයිනබ් තුමිය දික්කසාද වන බවත්, ඉන්පසු තමන් සෙයිනබ් තුමිය ව විවාහ කරගන්නා බවත් මුහම්මද් නබිතුමාට (ﷺ) දැනුම් දී තිබූ බව අප දන්නා බැවින්, කතාදාගේ වාර්තාවෙන් සරලව ම අදහස් වන්නේ:

මෙම ගැටලුව සම්බන්ධයෙන් සෙයිද් තුමා උන්වහන්සේ වෙත උපදෙස් පතා පැමිණි විට පවා, සෙයිද් තුමාට ඇය ව දික්කසාද කිරීමට නියෝග කිරීමට හෝ සිදුවීමට නියමිත ව ඇති දේ ඔහු සමඟ බෙදා ගැනීමට එතුමාට අවශ්‍ය නොවූ බව යි. ඒ වෙනුවට එතුමා අපේක්ෂා කළේ තමන් කිසිදු අයුරකින් ඊට මැදිහත් නොවී සෙයිද් තුමා සිය කැමැත්තෙන්ම සයිනබ්ගෙන් වෙන් වනු දැකීමට යි.

ඒ අනුව යහ්යා බින් සලාම් (Yahya b. Salam – මියගියේ හි.ව 200/ක්‍රි.ව. 815) මෙසේ ලියයි:

كان رسول الله صلى الله عليه وسلم يعجبه أن يطلقها زيد من غير أن يأمره بطلاقها

අල්ලාහ්ගේ දූතයාණන් () අපේක්ෂා කළේ ඇය ව දික්කසාද කරන ලෙස ඉල්ලා නොසිට ම සෙයිද් තුමා සිය කැමැත්තෙන් සෙයිනබ් තුමිය ව දික්කසාද කරනු දැකීමට යි. [60]

පසුව, අබූ අල්-හසන් අල්-වාහිදී (Abu al-Hasan al-Wahidi – මියගියේ හි.ව 468/ක්‍රි.ව. 1076) [61] සහ ඉබ්නු ‘අතීයියා (Ibn ‘Atiya – මියගියේ හි.ව 542/ක්‍රි.ව. 1142) [62] යන අය ද මෙම අර්ථ නිරූපණයම ඉදිරිපත් කළහ.

එබැවින්, (හිජ්රි) දෙවන සියවසේ දෙවන කාර්තුවේ සිට මතුවීමට පටන් ගෙන, පසු ව ලඛිත තෆ්සීර් (අර්ථකථන) ග්‍රන්ථවල සටහන් වන තෙක් විකාශනය වූ සැකසහිත වාර්තාවල අඩංගු අදහස්වලින් සම්පූර්ණයෙන්ම තොර වූ නිවැරදි අවබෝධයක් මුල් කාලයේ සිට ම විද්වතුන් තුළ පැවැති බව ඉතා පැහැදිලි ය. [63]

5. කතාවේ විය හැකි ප්‍රභවයන් සහ ආරම්භය

සහාබිවරුන් කෙසේ වෙතත් ඔවුනගේ අනුගාමිකයන් (තාබිඊන්වරුන්) වෙත පවා විශ්වාසනීය ලෙස සම්බන්ධ කළ හැකි කිසිදු නුසුදුසු කරුණක් නොමැති තැන සිට, හිජ්රි දෙවන/ක්‍රි.ව. අටවන සියවසේ අගභාගය වන විට මෙම කතාව ඉතා නොහොබිනා/අසෝබන අයුරින් විකාශනය වී ඇති ආකාරය අපි දුටුවෙමු. දැන් අපි මෙහි විය හැකි ප්‍රභවයන් සොයා ගැනීමට උත්සාහ කරමු.

5.1 දමස්කස්හි ජෝන් (John of Damascus) අතර පැවති සබඳතාව

මුස්ලිම්වරුන් අතර යූහන්නා බින් මන්සූර් බින් සර්ජූන් අල්-දමිෂ්කි ලෙස ප්‍රකට වූ දමස්කස්හි ජෝන් යනු උමය්යා කලීෆා හිෂාම් බින් ‘අබ්දුල් මලික්ගේ ලේකම්වරයෙකුගේ පුත්‍රයා ය. ඔහු දේවධර්මීය අධ්‍යයනයන් සඳහා කැපවූ අතර ඉස්ලාමය මිථ්‍යා දෘෂ්ටියක් (heresy) ලෙස අර්ථ නිරූපණය කළේය. තමන්ගේ කාලය වන විට මතු ව තිබූ මිථ්‍යා දෘෂ්ටීන් අතර ඉස්ලාමය ද සඳහන් කරමින්, ඔහු මුහම්මද් නබිතුමා (ﷺ) සහ එතුමාගේ ඉගැන්වීම් ගැන මෙසේ ප්‍රකාශ කළේය:

“මුහම්මද්ට සෙයිද් තුමා නමින් මිතුරෙකු සිටියේය. මෙම මිනිසාට ඉතා රූපසුන්දර බිරිඳක් සිටි අතර මුහම්මද් ඇයට පෙම් කරන්නට විය. වරක් ඔවුන් දෙදෙනා එකට වාඩි වී සිටිය දී මුහම්මද් මෙසේ පැවසීය: ‘අනේ, අමතක වුණා, ඔබේ බිරිඳ ව මට ලබා ගන්නා ලෙස දෙවියන් මට අණ කර තිබෙනවා.’ අනෙක් තැනැත්තා පිළිතුරු දෙමින්: ‘ඔබ දේව දූතයෙකි. දෙවියන් ඔබට පැවසූ පරිදි කර මාගේ බිරිඳ ව ලබා ගන්න’ යැයි පැවසීය. කතාව මුල සිට නැවත කියනවා වෙනුවට නබිතුමා ඔහුට මෙසේ පැවසීය: ‘ඔබේ බිරිඳව අත්හරින ලෙස දෙවියන් මට අණ කර ඇත.’ ඔහුද ඇයව අත්හැරියේය. ඉන්පසු දින කිහිපයකට පසු: ‘දැන්,’ ඔහු පැවසීය, ‘ඇයව ලබා ගන්නා ලෙස දෙවියන් මට අණ කර ඇත.’ ඉන්පසු, ඔහු ඇයව ලබාගෙන ඇය සමඟ කාමමිථ්‍යාචාරයේ යෙදුණු පසු, ඔහු මෙම නීතිය සෑදුවේය: ‘තමන්ගේ බිරිඳව අත්හැරීමට කැමති ඕනෑම අයෙකුට එසේ කිරීමට ඉඩ දෙන්න. තවද, ඇයව අත්හැරීමෙන් පසු, ඔහු නැවත ඇය වෙත පැමිණීමට අවශ්‍ය නම්, වෙනත් අයෙකුට ඇයව විවාහ කර ගැනීමට ඉඩ දෙන්න. මන්ද වෙනත් අයෙකු ඇයව විවාහ කර ගන්නා තෙක් ඇයව නැවත ලබා ගැනීම නීත්‍යානුකූල නොවේ. තවද, සහෝදරයෙකු සිය බිරිඳ අත්හැරියහොත්, ඔහුගේ සහෝදරයා කැමති නම් ඇයව විවාහ කර ගනීවා.’ ” [64]

දමස්කස්හි ජෝන් ක්‍රි.ව. 675 සිට 749 දක්වා ජීවත් වූ අතර, එය අප ඉහත දුටු පරිදි මෙම කතාව විකාශනය වූ කාලපරිච්ඡේදයට පුළුල් ලෙස සමපාත වේ. [65]

5.2 ඉස්ලාමයට එරෙහි වූ අනෙකුත් මුල් කාලීන විවේචකයින් සමඟ පැවති කතාව

බයිසන්ටයින් (Byzantine) පාලක තුන්වන ලියෝ – ඉසෝරියන් (Leo-III the Isaurian – මියගියේ ක්‍රි.ව. 741) ද උමය්යා කලීෆා දෙවන උමර් (උමර් බින් ‘අබ්දුල් ‘අසීස් – මියගියේ හි.ව 101/ක්‍රි.ව. 720) සමඟ පැවැත්වූ ලිපි හුවමාරුවේ දී මෙම අසත්‍ය/ප්‍රබන්ධ වාර්තාව ගැන සඳහන් කර ඇති බව පැවසෙයි. ඩේවිඩ් එස්. පවර්ස් (David S. Powers) මෙසේ සඳහන් කරයි:

හිජ්රි පළමු සියවස අගභාගය වන විට, මුහම්මද් නබිතුමා සහ සෙයිනබ් තුමියගේ විවාහය පිළිබඳ වාර්තා, ක්‍රිස්තියානි විරෝධී-ඉස්ලාමීය විවේචකයන්ට (anti-Muslim polemics) හොඳ ආයුධයක් බවට පත්ව තිබුණි. තුන්වන ලියෝ (පාලන සමය ක්‍රි.ව. 717–741) සහ උමර් බින් ‘අබ්දුල් ‘අසීස් (පාලන සමය හි.ව 99–101/ක්‍රි.ව. 717–720) අතර සිදු වූ ලිපි හුවමාරුවක දී, බයිසන්ටයින් අධිරාජ්‍යයා විසින් “සේඩා” [sic – සෙයිනබ්] නමැති කාන්තාව මුහම්මද් නබිතුමන් විසින් “වශී කර ගැනීම/වංචා සහගත ලෙස ලබා ගැනීම”, එතුමාගේ “අශික්ෂිත බව” සහ කූට බව සඳහා සාක්ෂියක් ලෙස දක්වන ලදී. ලියෝ විසින් මුහම්මද් නබිතුමාට පැටවූ සියලු ම “අසම්මත/නොහොබිනා ක්‍රියා” අතුරින් මෙය වඩාත්ම දරුණු එක විය. මන්ද, අල්-කුර්ආනය මගින් මෙම කාන්තාව සමඟ මුහම්මද් නබිතුමාගේ විවාහය දේව මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස නිරූපණය කරන බව ඔහු දැන සිටි බැවිනි (“මේ සියලු නොහොබිනා ක්‍රියාවලට මුල් වූයේ දෙවියන් යැයි චෝදනා කිරීම මෙම සියලු පිළිකුල් සහගත ක්‍රියාවලින් වඩාත්ම දරුණුතම දෙය යි”). [66]

ඇඩෙල් තියෝඩෝර් ඛූරි (Adel Theodore Khoury) සඳහන් කරන්නේ මෙම කතාව අනෙකුත් බයිසන්ටයින් විවේචකයන් විසින් ද උපයෝගී කරගත් බව යි. [67] මුල් කාලීන මුස්ලිම්වරුන් සහ ලෙවන්ට් (Levant – සිරියාව/ලෙබනනය ඇතුළු කලාපය) ප්‍රදේශයේ ක්‍රිස්තියානීන් අතර පොදුවේ පැවැති සාකච්ඡා සහ විවාද ගැන ද ඔහු සඳහන් කරයි. [68] එබැවින්, මුස්ලිම්වරුන් සහ ක්‍රිස්තියානීන් අතර පැවති මුල් කාලීන ආගමික විවාදයන් (polemical disputations) අතරතුර මෙම කතාව ගොඩනැඟුණු බව අපට අනුමාන කළ හැක. ඉන්පසු ව, ජෝන් වී. ටෝලන් (John V. Tolan) සඳහන් කරන පරිදි, සියවස් ගණනාවක් පුරා සහ විවිධ කලාප පුරා විසිරී සිටි ක්‍රිස්තියානි විවේචකයින් රැසක් ඉස්ලාමයේ මුහම්මද් නබිතුමාව පහත් කොට සැලකීම සඳහා මෙම කතාව භාවිතා කළහ. [69]

5.3 දාවුද් (දාවිත්) සහ බාත්ෂෙබාගේ (Bathsheba) කතාව සමඟ සංසන්දනය කිරීම

ක්‍රිස්තියානි-මුස්ලිම් ආගමික විවාදයන් (polemical disputations) අතරතුර මෙම කතාව ගොඩනැඟී විකාශනය වන්නට ඇත යන අදහසට තවදුරටත් ශක්තියක් ලබා දෙන්නේ, බයිබලයේ 2 සාමුවෙල්, 11 වන පරිච්ඡේදයේ එන දාවුද් සහ බාත්ෂෙබාගේ කතාව සමඟ මෙය සංසන්දනය කර තිබීම යි.

ඒ අනුව, ‘අබ්දුල් මලික් බින් ‘අබ්දුල් ‘අසීස් ඉබ්නු ජුරෙයිජ් (Ibn Juraij – මියගියේ හි.ව 150/ක්‍රි.ව. 767) විසින් අල්-කුර්ආනයේ මෙම සුරාවේ 38 වන ආයතය බයිබලයේ එන දාවුද්ගේ කතාවට සම්බන්ධ කර දක්වා ඇති බව අපට පෙනී යයි. අල්-තබරානී (Al-Tabarani) මෙසේ සටහන් කරයි:

عن ابن جريج، في قوله: {وكان أمر الله قدرا مقدورا} [الأحزاب: 38] «كذلك من سنته في داود والمرأة، والنبي صلى الله عليه وسلم وزينب»

ඉබ්නු ජුරෙයිජ් “අල්ලාහ් සිය දූතයාට නියම කළ දෙයෙහි ඔහුට කිසිදු වරදක් නැත. පෙර විසූ අය සම්බන්ධයෙන් ද අල්ලාහ්ගේ සුන්නාව (ක්‍රමවේදය) එය ම ය. – තවද අල්ලාහ්ගේ අණ පූර්වයෙන්ම නියම කරන ලද්දකි” [අල්-අහ්සාබ්: 38] යන ආයතය ගැන මෙසේ පැවසීය: “දාවුද් සහ එම කාන්තාව (එනම් බාත්ෂෙබා) සම්බන්ධයෙන් මෙන්ම, මුහම්මද් නබිතුමා (ﷺ) සහ සෙයිනබ් තුමිය සම්බන්ධයෙන්ද අල්ලාහ්ගේ සුන්නාව (ක්‍රමවේදය) එය ම විය.” [70]

‘අබ්දුල් මලික් ඉබ්නු ජුරෙයිජ් යනු සිය විශ්වාසනීයත්වය, භක්තිමත් බව සහ දැනුම සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ලැබූ අයෙකු වුව ද, ඔහු විශේෂයෙන්ම යූදෙව්-ක්‍රස්තියානි ප්‍රබන්ධ/කථාන්දර (ඉස්රාඊලියියාත් – isra’iliyat) ඇසුරු කරමින් ඒවා වාර්තා කළ අයෙකු ලෙස ප්‍රකට ව සිටියේය. සැබවින්ම ඔහු පැවත ආවේ රෝම ක්‍රිස්තියානි මූලයන් සහිත පවුලකිනි. [71] ඉස්රාඊලියියාත් කෙරෙහි වූ දැඩි උනන්දුව නිසා ම ප්‍රකට වූ මුකාතිල් බින් සුලෙයිමාන් විසින්ද මෙලෙස ම මෙම සම්බන්ධතාවය ගොඩනගන ලදී. [72]

මෙම කතා දෙක අතර පැහැදිලි වෙනස්කම් පැවතිය ද, ඉස්ලාමය ගැන ලියූ මුල්ම ක්‍රිස්තියානි විවේචකයන්ගේ සමකාලීනයන් විසින් ඉතා පුදුම සහගත ලෙස මේ දෙක එකිනෙකට සම්බන්ධ කර වාර්තා කර ඇත — මෙමගින් අඟවන්නේ මෙවැනි සංසන්දනයන් ගොඩනැගුණු අප විසින් ඉහත යෝජනා කරන ලද පසුබිම යි.

6. නිගමනය

මෙම කතාව වාර්තා වී ඇති බහුවිධ නිවේදක පරම්පරාවන් (chains of reporters) සියල්ල ම දැඩි ලෙස දුර්වල වේ. එයට හේතුව වාර්තාකරණයේ ඇති විසන්දි වීම් (disconnection) සහ විශ්වාසනීය නොවන හෝ නාඳුනන වාර්තාකරුවන් සම්බන්ධ වී තිබීම පමණක් නොවේ; කාලයත් සමඟ සිදුවූ අසම්මත/කූට වර්ධනයන් මගින් ඒවා තුළ ඇති පැහැදිලි ප්‍රබන්ධ ලක්ෂණ ද (fabrication) පිළිඹිබු වේ. එබැවින්, මෙහි ඇති වාර්තාකරණ මාර්ගවල බහුලත්වය මගින් සඟවන්නේ සංයුක්ත වූ දුර්වලතාවයක් (compounded weakness) පමණි.

අනස් සහ කතාදා වෙතින් විශ්වාසනීය ලෙස වාර්තා වී ඇති කරුණු දෙස බැලීමේ දී, සෙයිනබ් තුමිය කෙරෙහි මුහම්මද් නබිතුමා (ﷺ) තුළ ක්ෂණික ව ඇති වූවා යැයි කියන ආශාව සඟවා ගත් බවට වන ප්‍රබන්ධ කථාවලට අනුකූල වන හෝ ඒවා තහවුරු කරන කිසිදු කරුණක් ඒවායේ අඩංගු නොවේ.

ඒ වෙනුවට, පහත සඳහන් කරුණු තුන, එනම්:

  1. 2 සාමුවෙල් 11 හි එන දාවුද්-බාත්ෂෙබා කතාවේ ආකෘතිය ඔස්සේ මෙම කතාව විකාශනය වීම,
  2. යූදෙව්-ක්‍රස්තියානි (ඉස්රාඊලියියාත්) ප්‍රබන්ධ උපුටා දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකට මුල් කාලීන ඉස්ලාමීය විද්වතුන් මෙම කතා දෙක එකිනෙකට සම්බන්ධ කිරීම, සහ
  3. හිජ්රි පළමු සහ දෙවන සියවස්වල (ක්‍රි.ව. 7 සහ 8 සියවස්වල) ක්‍රිස්තියානි විවේචකයින් මෙම මාතෘකාව ඉතා උනන්දුවෙන් උපයෝගී කර ගැනීම

යන කරුණු නැවත ආපසු මුල සිට අගට ගළපා බැලූ විට, හිජ්රි 1 සහ 2 වන සියවස්වල (ක්‍රි.ව. 7 සහ 8 සියවස්වල) සිදු වූ ක්‍රිස්තියානි-මුස්ලිම් ආගමික විවාදයන් අතරතුර මෙම කතාව ගොඩනැඟී විකාශනය වූ බවට වන මතයට (theorizing) ශක්තිමත් පදනමක් සැපයෙයි.

ආශ්‍රිත ග්‍රන්ථ සහ සටහන් (References & Notes)

  • [1] අල්-කුර්ආනය 33:37
  • [2] ෂෆී, මුහම්මද්, මආරිෆ් අල්-කුර්ආන්, මුහම්මද් ෂමීම් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී (කරච්චි: මක්තබා-ඊ-දාරුල් ‘උලූම්, ප්‍රකාශිත වර්ෂයක් නැත) වෙළුම 7, පිටු 161-163
  • [3] අල්-බුහාරි, මුහම්මද් බින් ඉස්මාඊල්, අල්-සහීහ්, (රියාද්: මක්තබත් දාරුස්සලාම්, 2007) හදීස් අංක 7420
  • [4] අල්-බුහාරි, අල්-සහීහ්, හදීස් අංක 4787
  • [5] ඉබ්නු සඃද්, තබකාත් අල්-කුබ්රා, (බේරූට්: DKI, 1990) වෙළුම 8, පිටුව 82; අබූ ‘අවානා, අල්-මුස්නද් අල්-මුස්තක්රජ්, (බේරූට්: දාර් අල්-මඃරිෆා, 1998) හදීස් අංක 4177; ඉබ්නු හිබ්බාන්, අල්-සහීහ්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 1988) හදීස් අංක 7045; අල්-හාකිම්, අල්-මුස්තද්රක්, (බේරූට්: DKI, 1990) හදීස් අංක 3563; අල්-බයිහකි, දලාඉල් අල්-නබුව්වා, (බේරූට්: DKI, 1405) වෙළුම 3, පිටුව 466
  • [6] ඉබ්නු සඃද්, තබකාත් අල්-කුබ්රා, වෙළුම 8, පිටුව 82; අල්-තිර්මිදි, අල්-ජාමි‘ අල්-කබීර්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 2009) හදීස් අංක 3213; ‘අබ්ද් බින් හුමයිද්, අල්-මුන්තකබ් මින් අල්-මුස්නද්, (රියාද්: දාර් අල්-බිල්නිසියා, 2002) හදීස් අංක 1205; අබූ ‘අවානා, අල්-මුස්නද් අල්-මුස්තක්රජ්, (බේරූට්: දාර් අල්-මඃරිෆා, 1998) හදීස් අංක 418; අල්-තබරානී, අබූ අල්-කාසිම්, මුඃජම් අල්-කබීර්, (කයිරෝ: මක්තබා ඉබ්නු තයිමියා, ප්‍රකාශිත වර්ෂයක් නැත) වෙළුම 24, පිටුව 43, හදීස් අංක 116
  • [7] අල්-බයිහකි, සුනන් අල්-කුබ්රා, (බේරූට්: DKI, 2003) හදීස් අංක 13915
  • [8] අල්-තිර්මිදි, අල්-ජාමි‘ අල්-කබීර්, හදීස් අංක 3212; අල්-බස්සාර්, අල්-මුස්නද්, (මදීනාව: මක්තබා අල්-‘උලූම් ව අල්-හික්ම්, 2005) වෙළුම 13, පිටුව 287, හදීස් අංක 6860
  • [9] අල්-නසාඊ, සුනන් අල්-කුබ්රා, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 2001) හදීස් අංක 11343
  • [10] අල්-බස්සාර්, අල්-මුස්නද්, වෙළුම 13, පිටුව 287, හදීස් අංක 6860
  • [11] අහ්මද් බින් හන්බල්, අල්-මුස්නද්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 2001) ෂු’අයිබ් අල්-අර්නාවුත් සහ පිරිස විසින් සංස්කරණය කරන ලදී, හදීස් අංක 12511
  • [12] එසේමය. (එනම් ඉහත සඳහන් මූලාශ්‍රයම වේ)
  • [13] අල්-සන්’ආනී, ‘අබ්දුල් රස්සාක්, අල්-තෆ්සීර්, සංස්කාරක මහ්මූද් මුහම්මද් ‘අබ්දුහ්, (බේරූට්: DKI, හි.ව 1419) වෙළුම 3, පිටුව 40, අංක 2346
  • [14] අල්-තබරී, ඉබ්නු ජරීර්, ජාමි‘ අල්-බයාන් ෆී තෆ්සීර් අල්-කුර්ආන්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 2000) වෙළුම 20, පිටුව 273; අල්-තබරානී, මුඃජම් අල්-කබීර්, වෙළුම 24, පිටුව 42, අංක 114
  • [15] අල්-මිස්සී, අබූ අල්-හජ්ජාජ්, තහ්දීබ් අල්-කමාල්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 2000) වෙළුම 23, පිටුව 510
  • [16] අල්-දහබී, අල්-මුඃකිසා ෆී ‘ඉල්ම් අල්-මුස්තලාහ් අල්-හදීස්, (අලෙප්පෝ: මත්බූ’ආත් අල්-ඉස්ලාමීයා හි.ව 1412) පිටුව 40
  • [17] ඉබ්නු ඉස්හාක්, අල්-සීරා අල්-නබවිය්යා, (බේරූට්: DKI, 2004) පිටුව 283
  • [18] ඉබ්නු ‘අදී, අල්-කමිල් ෆී අල්-දු’අෆා, (බේරූට්: DKI, 1997) වෙළුම 4, පිටුව 333
  • [19] අබූ සුර්’ආ, අල්-දු’අෆා, (මදීනාව: ඉස්ලාමීය විශ්වවිද්‍යාලය: 1982) වෙළුම 2, පිටුව 432; ඉබ්නු ‘අදී, අල්-කමිල් ෆී අල්-දු’අෆා, වෙළුම 4, පිටුව 333, අංක 775; අල්-බග්දාදී, ඉබ්නු අල්-නජ්ජාර්, අල්-රද්ද් ‘අලා අබී බක්ර් අල්-ඛතීබ්, ‘අතා, මුස්තෆා ‘අබ්දුල් කදීර් (සංස්කාරක), තාරීක් බග්දාද් ව සුයූලුහු, (බේරූට්: DKI, හි.ව 1407) වෙළුම 22, පිටුව 110; ඉබ්නු අල්-ජව්සී, අල්-දු’අෆා ව අල්-මත්රූකීන්, (බේරූට්: DKI, හි.ව 1406) වෙළුම 2, පිටුව 12, අංක 1493; අල්-‘අස්කලානී, ඉබ්නු හජර්, ලිසාන් අල්-මීසාන්, (බේරූට්: මුඅස්සසා අල්-අඃලමී, 1971) වෙළුම 3, පිටුව 112
  • [20] ඉබ්නු ‘අදී, අල්-කමිල් ෆී අල්-දු’අෆා, වෙළුම 4, පිටුව 333, අංක 775; අල්-‘අස්කලානී, ඉබ්නු හජර්, ලිසාන් අල්-මීසාන්, වෙළුම 3, පිටුව 112
  • [21] අල්-අල්බානී, නාසිර් අල්-දීන්, සිල්සිලා අහාදීස් අල්-ද’ඊෆා ව අල්-මවුදූ’ආ, (රියාද්: දාර් අල්-මආරිෆ්, 1992) වෙළුම 14, පිටුව 799, අංක 6848
  • [22] අල්-‘අස්කලානී, ඉබ්නු හජර්, තහ්දීබ් අල්-තහ්දීබ්, (හයිද්‍රාබාද්: දාඉරා මආරිෆ්, හි.ව 1326) වෙළුම 9, පිටුව 418
  • [23] අල්-අල්බානී, නාසිර් අල්-දීන්, සිල්සිලා අහාදීස් අල්-ද’ඊෆා, අංක 6848
  • [24] අල්-දහබී, සියර් අඃලාම් අල්-නුබලා, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 1985) වෙළුම 9, පිටුව 248
  • [25] අල්-සුයූතී, ජලාල් අල්-දීන්, අල්-දුර්ර් අල්-මන්සූර් ෆී අල්-තෆ්සීර් අල්-මඃසූර්, (කයිරෝ: මරකස් අල්-හිජ්ර්, 2003) වෙළුම 12, පිටු 61-62
  • [26] සැබවින්ම, මෙම කෘති දෙකෙන් කොටස බැගින් ප්‍රකාශයට පත් කර ඇත. තෆ්සීර් ‘අබ්ද් බින් හුමයිද් හි ප්‍රකාශිත කොටස 3 සහ 4 වන සුරාවන් ආවරණය කරයි. බලන්න: අල්-‘උර්ෆ්, මුක්ලිෆ් බනීහ් (සංස්කාරක), කිතඃ මින් තෆ්සීර් ‘අබ්ද් බින් හුමයිද්, (බේරූට්: දාර් ඉබ්නු හස්ම්, 2004). තෆ්සීර් ඉබ්නු අල්-මුන්දර් සම්බන්ධයෙන් ගත් කල, ප්‍රකාශිත කොටස අල්-බකරා හි 272 වන ආයතයෙන් ආරම්භ වී අල්-නිසා හි 92 වන ආයතයෙන් අවසන් වේ. බලන්න: අල්-සඃද්, මුහම්මද් බින් සඃද් (සංස්කාරක), කිතාබ් තෆ්සීර් අල්-කුර්ආන් ලි ඉබ්නු අල්-මුන්දර්, (මදීනාව: දාර් අල්-මඃසිර්, 2002)
  • [27] ඔහුගේ වයස (84 හෝ 88) සහ මියගිය වර්ෂය (හි.ව 104, 105, 106, 107 හෝ 115) පිළිබඳව විවිධ වාර්තා ඇත. හයිසම් බින් ‘අදී, අබූ අල්-හසන් අල්-මදාඉනී, සහ යහ්යා බින් ම’ඊන් පැවසුවේ ඔහු හිජ්රි 115 දී මියගිය බවයි, බලන්න: අල්-මිස්සී, තහ්දීබ් අල්-කමාල් ෆී අස්මා’ අල්-රිජාල්, වෙළුම 20, පිටුව 292
  • [28] අල්-තබරානී, අබූ අල්-කාසිම්, මුඃජම් අල්-කබීර්, වෙළුම 24, පිටුව 44, අංක 121
  • [29] අල්-මිස්සී, තහ්දීබ් අල්-කමාල්, වෙළුම 29, පිටුව 172
  • [30] අල්-‘අස්කලානී, ඉබ්නු හජර්, තක්‍රීබ් අල්-තහ්දීබ්, සංස්කාරක මුහම්මද් ‘අව්වාමා (ඩැමස්කස්: දාර් අල්-රෂීද්, 1986) පිටුව 554, අංක 7026
  • [31] අල්-හයිසමී, නූර් අල්-දීන්, මජ්මඃ අල්-සවාඉද්, (කයිරෝ: මක්තබා අල්-කුද්සී, 1994) වෙළුම 9, පිටුව 247, අංක 15348
  • [32] අල්-අල්බානී, නාසිර් අල්-දීන්, සිල්සිලා අහාදීස් අල්-ද’ඊෆා, අංක 3390
  • [33] ඉබ්නු සඃද්, තබකාත් අල්-කුබ්රා, වෙළුම 8, පිටු 80-81; තවද බලන්න: අල්-තබරී, තාරීක් අල්-රුසුල් ව අල්-මුලූක්, (බේරූට්: දාර් අල්-තුරාස්, හි.ව 1387) වෙළුම 2, පිටු 562-563; අල්-හාකිම්, අල්-මුස්තද්රක්, වෙළුම 4, පිටුව 25; ඉංග්‍රීසි පරිවර්තනය: Fishbein, Michael, The History of al-Tabari – Volume VIII – The Victory of Islam, (Albany: State University of New York Press, 1997) පිටු 2-3
  • [34] අල්-‘අස්කලානී, ඉබ්නු හජර්, තහ්දීබ් අල්-තහ්දීබ්, වෙළුම 5, පිටු 275-276, අංක 471
  • [35] අල්-බර්සින්ජී, මුහම්මද් බින් තාහිර් සහ හල්ලාක්, සුබ්රී හසන්, සහීහ් ව ද’ඊෆ් තාරීක් අල්-තබරී, (බේරූට්: දාර් ඉබ්නු කසීර්, 2007) වෙළුම 7, පිටු 143-144
  • [36] යහ්යා බින් සලාම්, අල්-තෆ්සීර්, (බේරූට්: DKI, 2004) වෙළුම 2, පිටු 721-722
  • [37] අල්-දහබී, සියර් අඃලාම් අල්-නුබලා, වෙළුම 6, පිටු 248-249
  • [38] මුකාතිල් බින් සුලෙයිමාන්, අල්-තෆ්සීර්, (බේරූට්: දාර් ඉහ්යා’ අල්-තුරාස්, හි.ව 1423) වෙළුම 3, පිටු 492-494
  • [39] අල්-දහබී, සියර් අඃලාම් අල්-නුබලා, වෙළුම 7, පිටුව 202
  • [40] අල්-තබරී, ජාමි‘ අල්-බයාන් ෆී තෆ්සීර් අල්-කුර්ආන්, වෙළුම 20, පිටුව 274; අල්-තබරී, තාරීක් අල්-රුසුල් ව අල්-මුලූක්, වෙළුම 2, පිටුව 563; ඉංග්‍රීසි පරිවර්තනය: Fishbein, Michael, The History of al-Tabari – Volume VIII – The Victory of Islam, පිටුව 4
  • [41] අල්-‘අස්කලානී, ඉබ්නු හජර්, තහ්දීබ් අල්-තහ්දීබ්, වෙළුම 6, පිටු 177-179, අංක 362
  • [41a] අල්-සයිල’ඊ, ජමාල් අල්-දීන්, නස්බ් අල්-රායා ලි-අහාදීස් අල්-හිදායා, (බේරූට්: අල්-රයියාන් පදනම, 1997) වෙළුම 1, පිටු 359-360
  • [42] ෂාකිර්, අහ්මද්, අල්ෆියියාත් අල්-සුයූතී ෆී ‘ඉල්ම් අල්-හදීස්, (බේරූට්: මක්තබා අල්-‘ඉල්මියියා, ප්‍රකාශිත වර්ෂයක් නැත) පිටුව 10
  • [43] උදාහරණයක් ලෙස බලන්න: අල්-අල්බානී, සිල්සිලා අල්-අහාදීස් අල්-ද’ඊෆා, වෙළුම 3, පිටුව 618, අංක 1427; තවද බලන්න: සිල්සිලා ද‘ඊෆා, අංක 578, 1288, 1446, 3319, 5549; අල්-ඉර්වා’, අංක 563, 1406, 1961, 2586
  • [44] බලන්න: අහ්මද් බින් හන්බල්, අල්-මුස්නද්, අංක 327, 1444, 8945, 16283; ඉබ්නු හිබ්බාන්, අල්-සහීහ්, අංක 4586; අබූ දාවූද්, අල්-සුනන්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 2009) අංක 3588, 4295, 4869; ඉබ්නු මාජා, අල්-සුනන්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 2009) අංක 1081, 1116, 2099, 4101
  • [45] ‘උස්මානී, මුහම්මද් තකී, ඉන්’ආම් අල්-බාරී, (කරච්චි: මක්තබා අල්-හිරා, 2007) වෙළුම 2, පිටුව 61
  • [46] අල්-තබරී, ජාමි‘ අල්-බයාන් ෆී තෆ්සීර් අල්-කුර්ආන්, වෙළුම 20, පිටුව 271; ‘අතීයියා අල්-‘අව්ෆී සහ ඔහුගේ පරම්පරාව සම්බන්ධ වන ඉස්නාදයක් (වාර්තාකරණ පරම්පරාවක්) හරහා ඉබ්නු ‘අබ්බාස්ගෙන් වාර්තා වී ඇත. වෙනත් ආකාරයකින් විවේචනයට ලක් වුවද, මෙම ඉස්නාදය හරහා එන තෆ්සීර් වාර්තා ලඛිතව සම්ප්‍රේෂණය වූ බව දන්නා බැවින් පිළිගනු ලැබේ. බලන්න: අල්-තුරිෆී, ‘අබ්දුල් ‘අසීස්, අල්-තක්‍රීර් ෆී අසානීද් අල්-තෆ්සීර්, (රියාද්: දාර් අල්-මින්හාජ්, 2011) පිටුව 67-68
  • [47] අල්-තබරී, ජාමි‘ අල්-බයාන් ෆී තෆ්සීර් අල්-කුර්ආන්, වෙළුම 20, පිටු 271-272; අල්-තබරානී, මුඃජම් අල්-කබීර්, වෙළුම 24, පිටුව 45, අංක 123-124; කතාදා වෙතින් වාර්තා වී ඇත. තවද බලන්න: අල්-හයිසමී, මජ්මඃ අල්-සවාඉද්, වෙළුම 7, පිටු 91-92, අංක 11275
  • [48] අල්-තබරී, ජාමි‘ අල්-බයාන් ෆී තෆ්සීර් අල්-කුර්ආන්, වෙළුම 20, පිටුව 274; සුෆියාන් බින් ‘උයයිනාගෙන් පසු වචන මාලාවේ සහ නිවේදක පරම්පරාවේ සුළු වෙනසක් සහිතව මෙම වාර්තාව ඉබ්නු අබී හාතිම් විසින්ද වාර්තා කර ඇත. බලන්න: ඉබ්නු අබී හාතිම්, තෆ්සීර් අල්-කුර්ආන් අල්-‘අසීම්, (රියාද්: මුස්තෆා අල්-බාස්, හි.ව 11997) වෙළුම 9, පිටු 3135, 3137, අංක 17691, 17695; අල්-බයිහකි, අබූ බක්ර්, දලාඉල් අල්-නබුව්වා, (බේරූට්: DKI, හි.ව 1405) වෙළුම 3, පිටුව 466; ‘අලී බින් සෙයිද් තුමා බින් ජුද්’ආන් බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුවද, ඔහුගේ වාර්තා පිළිගත නොහැකි අයෙකු ලෙස නොසැලකේ. සැබවින්ම විද්වතුන් ගණනාවක්ම ඔහුගේ වාර්තා ‘හසන්’ (හොඳ) බව ප්‍රකාශ කර ඇත. ඔහු පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් සඳහා බලන්න: අල්-‘අව්නී, හාතිම්, අල්-මුර්සල් අල්-ඛෆී ව ‘ඉලාකතුහු බි අල්-තද්ලීස්, (රියාද්: දාර් අල්-හිජ්රා, 1997) පිටු 306-322; තවද බලන්න: අහාදීස් ෂුයූක් අල්-සිඛාත් – මෂාඉඛා කාදී මරිස්තාන්, සංස්කරණය: හාතිම් අල්-‘අව්නී (මෙක්කාව: දාර් ‘ආලම් අල්-ෆවාඉද්, හි.ව 1422) වෙළුම 2, පිටුව 469
  • [49] ඉබ්නු අබී හාතිම්, තෆ්සීර් අල්-කුර්ආන් අල්-‘අසීම්, වෙළුම 9, පිටුව 3137, අංක 17696; ‘අලී බින් සෙයිද් තුමා බින් ජුද්’ආන් වෙත එල්ල වී ඇති විවේචන ගැන සඳහන් කරමින්, ඉබ්නු හජර් අල්-‘අස්කලානී සඳහන් කළේ ඉස්නාදය අතින් අල්-සුද්දීගේ වාර්තාව වඩාත් ශක්තිමත් බවයි. බලන්න: අල්-‘අස්කලානී, ඉබ්නු හජර්, ෆත්හ් අල්-බාරී, (බේරූට්: දාර් අල්-මඃරිෆා, හි.ව 1379) වෙළුම 8, පිටුව 523
  • [50] අල්-සඃලබී, අබූ ඉස්හාක්, අල්-කෂෆ් ව අල්-බයාන් ‘අන් තෆ්සීර් අල්-කුර්ආන්, (බේරූට්: දාර් ඉහ්යා’ අල්-තුරාස්, 2002) වෙළුම 8, පිටුව 48
  • [51] අල්-කුර්තුබී, ෂම්ස් අල්-දීන්, අල්-ජාමි‘ ලි-අහ්කාම් අල්-කුර්ආන්, (කයිරෝ: දාර් අල්-කුතුබ් අල්-මිස්රියා, 1964) වෙළුම 14, පිටු 190-191
  • [52] අල්-තිර්මිදි, හකීම්, නවාදිර් අල්-උසූල් ෆී අහාදීස් අල්-රසූල්, (කයිරෝ: මක්තබා අල්-ඉමාම් අල්-බුහාරි, 2008) වෙළුම 1, පිටුව 597
  • [53] ඉබ්නු අල්-‘අරබී, අහ්කාම් අල්-කුර්ආන්, (බේරූට්: DKI, 2003) වෙළුම 3, පිටුව 578
  • [54] අල්-අන්දලුසී, අබූ හයියන්, අල්-බහ්ර් අල්-මුහීත් ෆී අල්-තෆ්සීර්, (බේරූට්: දාර් අල්-ෆික්ර්, හි.ව 1420) වෙළුම 8, පිටුව 482
  • [55] අල්-ජව්සිය්යා, ඉබ්නු අල්-කයියිම්, සාද් අල්-මආද් ෆී හද්යි කයිර් අල්-‘ඉබාද්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 1992) 26 වන මුද්‍රණය, වෙළුම 4, පිටු 266-267
  • [56] අල්-දමිෂ්කී, ඉබ්නු කසීර්, තෆ්සීර් අල්-කුර්ආන් අල්-‘අසීම්, (රියාද්: දාර් අල්-තයිබා, 1999) වෙළුම 6, පිටුව 425
  • [57] අල්-‘අස්කලානී, ඉබ්නු හජර්, ෆත්හ් අල්-බාරී, වෙළුම 8, පිටු 523-524
  • [58] අල්-බකා’ඊ, අබූ බක්ර්, නසම් අල්-දුරර් ෆී තනාසුබ් අල්-ආයාත් ව අල්-සුවර්, (කයිරෝ: දාර් අල්-කිතාබ් අල්-ඉස්ලාමී, ප්‍රකාශිත වර්ෂයක් නැත) වෙළුම 15, පිටුව 358
  • [59] අල්-ආලූසී, ෂහාබ් අල්-දීන් මහ්මූද්, රූහ් අල්-මආනී තෆ්සීර් අල්-කුර්ආන් අල්-‘අසීම් ව සබ්’අ අල්-මසානී, (බේරූට්: DKI, හි.ව 1415) වෙළුම 11, පිටුව 204
  • [60] යහ්යා බින් සලාම්, අල්-තෆ්සීර්, වෙළුම 2, පිටුව 721
  • [61] අල්-වාහිදී, අබූ අල්-හසන්, අල්-වජීස් ෆී තෆ්සීර් අල්-කිතාබ් අල්-අසීස්, (ඩැමස්කස්: දාර් අල්-කලම්, හි.ව 1415) වෙළුම 1, පිටුව 866
  • [62] අල්-මුහාරිබී, ඉබ්නු ‘අතීයියා, අල්-මුහර්රර් අල්-වජීස් ෆී තෆ්සීර් අල්-කිතාබ් අල්-අසීස්, (බේරූට්: DKI, හි.ව 1422) වෙළුම 4, පිටුව 386
  • [63] මේ සම්බන්ධයෙන් ආචාර්ය යසීර් කාඩිගේ ඉදිරිපත් කිරීම පිළිබඳ අදහස් දැක්වීම:

නබි චරිතාපදානය (සීරා) පිළිබඳ තමන්ගේ දේශන මලාවක දී ආචාර්ය යසීර් කාඩි මෙම ගැටලුව හසුරුවා ඇති ආකාරය ගැන මෙහි දී කෙටියෙන් අදහස් දැක්වීම ප්‍රයෝජනවත් විය හැක:

  • වර්ගීකරණය: සෙයිනබ් තුමිය කෙරෙහි මුහම්මද් නබිතුමාගේ (ﷺ) යම් හැඟීම් පහළ වූ බව සඳහන් වන වාර්තා ඔහු ‘A අනුපිටපත’ (Version A) ලෙසත්, ‘අලී බින් හුසේන් සහ ඔහුව අනුගමනය කළ අයගේ තෆ්සීර් මතය ‘B අනුපිටපත’ (Version B) ලෙසත් හඳුන්වයි. ඔහු කතාදාගේ වාර්තාව A අනුපිටපත සමඟ එකතු කරන්නේ එයින් මුහම්මද් නබිතුමා (ﷺ) තුළ සෙයිනබ් තුමිය කෙරෙහි හැඟීම් තිබූ බවත් ඇයව දික්කසාද කිරීමට අවශ්‍ය වූ බවත් හැඟවෙන බැවිනි. කතාදාගේ මතය පිළිබඳ මෙවැනි කියවීමකට ආචාර්ය කාඩිට පූර්වාදර්ශයක් තිබුණ ද, කතාදාගේ මතය B අනුපිටපත ලෙස ඔහු හැඳින්වූ දෙයට අනුකූලව දැකීම වඩාත් සුදුසු ය. යහ්යා බින් සලාම්ගේ උපුටා දැක්වීමෙන් අපට කියැවෙන්නේ, සෙයිද් තුමා සෙයිනබ් තුමිය ව දික්කසාද කිරීමට නියමිත බවත් ඉන්පසු ඇය තමාගේ බිරිඳ වන බවත් මුහම්මද් නබිතුමා (ﷺ) දැන සිටිය ද, සෙයිද්ගෙන් සෙයිනබ් තුමිය ව දික්කසාද කරන ලෙස ඉල්ලා සිටීමට එතුමාට අවශ්‍ය නොවූ බවයි. මෙය කතාදාගේ වාර්තාව ‘අලී බින් හුසේන්ගේ මතයට (B අනුපිටපතට) වඩාත් අනුකූල කරයි.
  • මුහම්මද් නබිතුමා අල්ලාහ්ගේ තීරණයට (කදර්) එරෙහිව සටන් කළේය යන අදහස: ඉහත පරිදි වර්ගීකරණය නැවත සමාලෝචනය කිරීමෙන් ආචාර්ය කාඩිගේ තවත් අදහසකට පිළිතුරු ලැබෙයි; එනම් B අනුපිටපත මගින් මුහම්මද් නබිතුමා (ﷺ) කදර් (දේව නියමය) වෙනස් කිරීමට තැත් කළේය යන බරපතල චෝදනාව මතුවන බව යි. තමාට පවසන ලද පූර්ව නියමය නබිතුමා දැන සිටි අතර එය සතුටින් පිළිගත්තේය, නමුත් එතුමාණෝ ඒ වෙනුවෙන් සක්‍රීයව ක්‍රියා නොකළහ. 37 වන ආයතය අවසන් වන්නේ “තවද අල්ලාහ්ගේ අණ ඉටු කළ යුතු ව තිබුණි” යන වචනවලින් බව මතක තබා ගන්න.
  • මුල් වාර්තාකරුවන් හෝ ප්‍රකාශිත මූලාශ්‍ර මත පදනම් වූ කාලානුක්‍රමය? ඉස්ලාමීය අධ්‍යාපනික සම්ප්‍රදාය තුළ මුවින් මුව පැවැති වාර්තාවල (oral reports) ඇති අභියෝගයට ලක් නොකළ අධිකාරී බලය සැලකිල්ලට ගත් විට, විවිධ වාර්තාවල මූලාරම්භයන් කොපමණ ඈතට දිව යන්නේද යන්න සසඳා බැලීම ආචාර්ය කාඩි මුළුමනින්ම නොසලකා හැරීම පුදුමයට කරුණකි. ඒ අනුව, A අනුපිටපතේ කථාන්තරයට ප්‍රථමයෙන්ම විරෝධය පෑවේ බගවී (මියගියේ හි.ව 510/ක්‍රි.ව. 1117) නොව ‘අලී බින් හුසේන්ය (මියගියේ හි.ව 94/ක්‍රි.ව. 712). කතුවරුන් අනුව ගිය ද, ‘අලීගේ වාර්තාව ඉබ්නු අබී හාතිම් (මියගියේ හි.ව 327/ක්‍රි.ව. 938) සහ බයිහකි (මියගියේ හි.ව 458/ක්‍රි.ව. 1066) විසින් සුරක්ෂිත කර ඇත. B අනුපිටපත වෙනුවෙන් පෙනී සිටි අනෙකුත් මුල් කාලීන විද්වතුන් ගැන ද ඉහත සඳහන් කර ඇත. එබැවින් A අනුපිටපත සෘජුවම විවේචනය කිරීම සහ B අනුපිටපත අනුමත කිරීම පසුකාලීන ප්‍රවණතාවක් පමණක් බව පැවසීම සපථ කළ නොහැකි වැරදි අදහසකි.
  • ඉස්නාද් (නිවේදක පරම්පරා) විශ්ලේෂණය නොසලකා හැරීම: සමහර වාර්තාවල ඉස්නාදයන් පමණක් දුර්වල විය හැකි බවට කෙරෙන සුළු සඳහනක් හැර, ආචාර්ය කාඩි ඉස්නාද් විශ්ලේෂණය මුළුමනින්ම මග හරියි. ඉහත පෙන්වා දුන් පරිදි, ඉස්නාද්වල මතු කර ඇති ගැටලු සුළුපටු ඒවා නොවන බව වටහා ගැනීම වැදගත්ය.
  • ඉබ්නු ‘අබ්බාස්ගේ වාර්තා? සමස්ත ඉස්නාද් ක්‍රමයම නොසලකා හරින බැවින්, ආචාර්ය කාඩි කිසිදු ඉස්නාදයක් නොමැති ව ඉබ්නු ‘අබ්බාස්ගේ නමින් වාර්තා කර ඇති තොරතුරු උපුටා දක්වයි. මේ සම්බන්ධයෙන් ඔහු අබූ ලයිස් අල්-සමර්කන්දීගෙන් (මියගියේ හි.ව 373/ක්‍රි.ව. 985) දීර්ඝ වාර්තාවක් උපුටා දක්වන අතර, ඔහු සිය අර්ථකතන තුළ පූර්ණ ඉස්නාදයන් සටහන් කිරීමට කිසිවිටෙකත් උත්සාහ කර නැත. ඒ අනුව, අපගේ විශ්ලේෂණය තුළ, ‘ඉක්‍රිමාට සම්බන්ධ කළ වාර්තාව මෙන් නොව, ඉස්නාද් සහිත මූලාශ්‍රයකට පවා සම්බන්ධ කර නොමැති බැවින් අපි ඔහුගේ වාර්තාව හැර දැමුවෙමු. එමෙන්ම, මුහම්මද් නබිතුමා (ﷺ) සඟවා ගත්තේ සෙයිනබ් තුමිය කෙරෙහි වූ එතුමාගේ ප්‍රේමය බව ඉබ්නු ‘අබ්බාස් පැවසූ බවට අල්-සඃලබී සහ අල්-බගවී සතු වාර්තාවක් ද ආචාර්ය කාඩි උපුටා දක්වයි. මෙයට ද කිසිදු ඉස්නාදයක් නොමැත.
  • මුහම්මද් නබිතුමා – මානුෂීය ද නැතහොත් අති-මානුෂීය ද? තමන්ගේ දේශනයේ අවසානයට වන්නට සහ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය කාඩි පවසන්නේ, A අනුපිටපත මුහම්මද් නබිතුමාගේ (ﷺ) ශ්‍රේෂ්ඨත්වයට නොගැලපෙන එකක් ලෙස පසුකාලීන ව වැඩි වැඩියෙන් සැලකූ බැවින් B අනුපිටපතට මුල් තැන ලැබුණු බව යි. මෙය මුහම්මද් නබිතුමාව අති-මානුෂීය (superhuman) කෙනෙකු ලෙස දැකීමේ ප්‍රවණතාවලට සම්බන්ධ බව ඔහු සිතයි. එවැනි ප්‍රවණතාවන් දිගු කලක් පැවතිය හැකි වුව ද, මුහම්මද් නබිතුමාගේ ‘මානුෂීය’ ලක්ෂණ පෙන්වන සෑම වාර්තාවක් කෙරෙහිම එල්ල වන විවේචන සුළු කොට තැකීම සාධාරණ නැත. A අනුපිටපත අල්-කුර්ආනයේ පැහැදිලි අර්ථයන් සමඟ පටහැනි වීම සහ ඒ සඳහා එකදු විශ්වාසනීය ඉස්නාදයක්වත් නොමැති වීම යන පැහැදිලි සත්‍යය නිසා, එයින් මුහම්මද් නබිතුමාගේ (ﷺ) කෙබඳු ප්‍රතිරූපයක් මවා පෑව ද, එය බැහැර කිරීම අත්‍යවශ්‍ය වේ.
  • [64] Deffrrari, Roy Joseph, The Fathers of the Church: A New Translation, Vol. 37 (Saint John Of Damascus – Writings), translated by Frederic H. Chase, Jr. (New York: Fathers of The Church, Inc., 1958) 157
  • [65] Sahas, Daniel J., John of Damascus on Islam – the “Heresies of the Ishmaelites”, (Leiden: Brill, 1972) 38-39, 47-48
  • [66] Powers, David S., Muhammad Is Not the Father of Any of Your Men: The Making of the Last Prophet, (Philadelphia: University of Pennsylvania Press, 2009) 29
  • [67] Khoury, Adel Theodore, Polémique Byzantine contre l’islam; VIIIe-XIIIe siècles, (Leiden: Brill, 1972) 91-93, 263-266
  • [68] Khoury, Adel Theodore, Apologetique Byzantine Contre L’Islam (VIIIe-XIIIe siècles), (Altenberge: Christlich-Islamisches Institut, 1982) 8ff
  • [69] Tolan, John V., Saracens – Islam in the Medieval European Imagination, (New York: Columbia University Press, 2002) 54, 61, 92, 149, 152, 210
  • [70] අල්-තබරානී, මුඃජම් අල්-කබීර්, වෙළුම 24, පිටු 42-43, අංක 119, 120
  • [71] නඃනඃ, රම්සී, ඉස්රාඊලියියාත් ෆී කුතුබ් අල්-තෆ්සීර් ව අසරූහා, (ඩැමස්කස්: දාර් අල්-කලම්, 1970) පිටුව 193
  • [72] මුකාතිල් බින් සුලෙයිමාන්, අල්-තෆ්සීර්, වෙළුම 3, පිටුව 496

Loading