ඉස්ලාමීය පාලනය යටතේ පවතින “දිම්මි” සංකල්පය පිළිබඳව බොහෝ දෙනෙකුට වැරදි වැටහීමක් ඇත. ඇතැම් අය මෙය මුස්ලිම් නොවන සුළුතරයන් බිය ගැන්වීම සඳහා භාවිතා කරන ලේබලයක් ලෙස සලකති. නමුත් සැබෑ තත්ත්වය එය නොවේ. මෙම වචනයේ සැබෑ තේරුම “කෙනෙකුගේ වගකීම තමන් වෙත ලබාගෙන ඇත” යන්නයි. එනම්, ඉස්ලාමීය රජය විසින් යම් පුද්ගලයෙකුගේ ජීවිතය, ආගම සහ දේපළ ආරක්ෂා කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම භාරගෙන ඇති බවයි.
“අහ්ල් දිම්මා” (Ahl Dhimma – දිම්මි වැසියන්) ගැන එඩ්වඩ් විලියම් ලේන් (Edward William Lane) ඔහුගේ අරාබි-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ (Arabic-English Lexicon Book I p. 976) මෙසේ ලියා ඇත.
ඉස්ලාමීය සාහිත්‍යයේ ඔවුන් “මුආහිද්” (Mu’ahid) ලෙසද හඳුන්වනු ලැබේ. ආචාර්ය ජේම්ස් රොබ්සන් (Dr. James Robson) හදීස් දේශනයක පැහැදිලි කිරීම් සටහනක මෙසේ පවසයි: “මෙම වචනය ආරක්ෂාව ලත් ප්‍රජාවක සාමාජිකයෙකු සඳහා භාවිතා කරන අතර, සාම ගිවිසුමකට එළඹ ඇති මුස්ලිම් නොවන ඕනෑම ප්‍රජාවක සාමාජිකයෙකු සඳහාද භාවිතා වේ.” (මිෂ්කාත් අල්-මසාබිහ් 1 වන වෙළුම, පි. 735)
කෙටියෙන් කිවහොත්, “දිම්මි” යනු ඉස්ලාමීය පාලනය විසින් සියලු ආකාරයේ ආරක්ෂාව සහ සහනශීලීත්වය ලබා දීමට පොරොන්දු වී ඇති “ගිවිසුමේ ජනතාව” (People of Covenant) වේ.
1. ශුද්ධ වූ අල් කුර්ආනයේ මඟ පෙන්වීම් (Quranic Verses)
ඉස්ලාමීය රාජ්‍යයක් තුළ ජීවත් වන මුස්ලිම් නොවන ජනතාව සමඟ සාමයෙන් සහ යුක්තිගරුකව කටයුතු කළ යුතු බව අල් කුර්ආනය ඉතා පැහැදිලිව අණ කරයි:
- ආගමික නිදහස පිළිබඳ මූලධර්මය:
“ආගමෙහි කිසිදු බලකිරීමක් නැත. නිවැරදි මාර්ගය වැරදි මාර්ගයෙන් පැහැදිලිවම වෙන් වී ඇත.” (අල් කුර්ආන් 2:256)
- යුක්තිගරුකව සැලකීම:
“ආගමික කරුණු මත ඔබට එරෙහිව සටන් නොවැදුණු, සහ ඔබව ඔබේ නිවාසවලින් පලවා නොහැරි අය කෙරෙහි කරුණාවෙන් හා යුක්තිගරුකව කටයුතු කිරීම අල්ලාහ් තහනම් නොකරයි. සැබවින්ම අල්ලාහ් යුක්තිගරුකව කටයුතු කරන්නන්ට ප්‍රිය කරයි.” (අල් කුර්ආන් 60:8)
- සාමකාමී සංවාද සහ ගෞරවය:
“ග්‍රන්ථධාරීන් (යුදෙව් සහ ක්‍රිස්තියානි භක්තිකයන්) අතරින් අසාධාරණ ලෙස කටයුතු කරන්නන් හැර, අන් අය සමඟ වඩාත් අලංකාර (ගෞරවනීය) අයුරින් මිස සංවාද නොකරන්න.” (අල් කුර්ආන් 29:46)
2. “දිම්මි” වැසියන් පිළිබඳ නබි වදන් (Hadith Narrations)
මුස්ලිම් නොවන පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව මුහම්මද් නබිතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දැඩි අනතුරු ඇඟවීම් කර ඇත:
- නබිතුමා විනිශ්චය දිනයේදී පෙනී සිටීම:
“ගිවිසුමකට එළඹ ඇති (මුස්ලිම් නොවන) පුද්ගලයෙකුට යමෙකු අසාධාරණයක් කරන්නේ නම්, හෝ ඔහුගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නේ නම්, හෝ ඔහුට දරාගත නොහැකි බරක් පටවන්නේ නම්, හෝ ඔහුගේ කැමැත්තෙන් තොරව ඔහුගෙන් කිසිවක් ලබා ගන්නේ නම්, විනිශ්චය දිනයේදී මම ඔහුට (එම වැරදිකරුට) එරෙහිව පෙනී සිටින්නෙමි.” (සුනන් අබු දාවුද්, හදීස් 3052. සහීහ් අල්බානි)
- ස්වර්ගයේ සුවඳ පවා අහිමි වීම:
“කවුරුන් හෝ මුආහිද් කෙනෙකුව (මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව සහ පොරොන්දුව ලත් අයෙකුව) අසාධාරණ ලෙස ඝාතනය කරන්නේ නම්, ඔහුට ස්වර්ගයේ සුවඳ පවා විඳීමට නොලැබෙනු ඇත. සැබවින්ම ස්වර්ගයේ සුවඳ වසර හතළිහක (ගමන්) දුරකට වුවද දැනේ.” (සහීහ් බුහාරි, හදීස් 2930)
- පීඩාවට පත් වූවාගේ ප්‍රාර්ථනාව:
“පීඩාවට පත් වූ පුද්ගලයාගේ ප්‍රාර්ථනාවට බිය වන්න (එයින් ආරක්ෂා වන්න). මන්ද ඔහු ප්‍රතික්ෂේප කරන්නෙකු (මුස්ලිම් නොවන අයෙකු) වුවද, ඔහු සහ අල්ලාහ් අතර කිසිදු තිරයක් (බාධාවක්) නොමැත.” (මුස්නද් අහ්මද්, හදීස් 12542. සහීහ්)
3. ජෙරුසලමේ වැසියන් වෙනුවෙන් උමර් (රලි) තුමාගේ ගිවිසුම
කලීෆා උමර් (රලියල්ලාහු අන්හු) තුමාගේ ගිවිසුම යනු ඉස්ලාමීය පාලනය යටතේ සාමකාමීව ජීවත් වන මුස්ලිම් නොවන අය කෙරෙහි ඉස්ලාමය දක්වන ප්‍රවේශය පෙන්වන අපූරු ඓතිහාසික ලේඛනයකි. එය අල්-තබරී (al-Tabari) හි මෙසේ වාර්තා වී ඇත:
“මහා කාරුණික වූත්, අසීමිත දයාලු වූත් අල්ලාහ්ගේ නාමයෙන්. මෙය අල්ලාහ්ගේ දාසයා වූ, ඇදහිලිවන්තයන්ගේ නායක උමර් විසින් ජෙරුසලමේ වැසියන්ට ලබා දෙන සාම ගිවිසුමයි. ඔවුන්ගේ ජීවිත, දේපළ, පල්ලි (Churches) සහ කුරුස (Crosses) පවතින ඕනෑම තත්ත්වයක් යටතේ ආරක්ෂා කරනු ලැබේ. ඔවුන් සැමට එකම ආරක්ෂාව හිමිවේ. ඔවුන්ගේ පල්ලිවල කිසිවෙකු පදිංචි නොවනු ඇත, ඒවා විනාශ නොකෙරේ, ඔවුන්ගේ බඩු බාහිරාදියෙන් කිසිවක් අඩු නොකෙරේ. ඔවුන්ගේ කුරුස හෝ දේපළවලින් කිසිවක් පැහැර නොගනු ඇත. ඔවුන්ගේ ආගම සම්බන්ධයෙන් කිසිදු බල කිරීමක් සිදු නොවන අතර ඔවුන්ගෙන් කිසිවෙකුට කරදරයක් සිදු නොකෙරේ.” (තාරික් අල්-තබරී 2/308)
එසේම සහීහ් බුහාරි හි මෙසේද වාර්තා වේ; උමර් තුමා (ඔහුට පිහියෙන් ඇනීමෙන් පසු) ඔහුගේ අනුප්‍රාප්තිකයාට මෙසේ උපදෙස් දුන්නේය:
“අල්ලාහ්ගේ සහ ඔහුගේ දූතයාණන්ගේ ආරක්ෂාව යටතේ සිටින මුස්ලිම් නොවන අය රැකබලා ගන්නා ලෙසත්, ඔවුන් සමඟ ඇති කරගත් ගිවිසුම්වලට ගරු කරන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන ලෙසත්, ඔවුන්ගේ හැකියාවට වඩා වැඩි බදු ඔවුන් මත පටවන්නේ නැති ලෙසත් මම (නව කලීෆාවරයාගෙන්) ඉල්ලා සිටිමි.” (සහීහ් බුහාරි, හදීස් 2824)
4. අනෙකුත් සහාබාවරුන්ගේ සහ නීතිවේදීන්ගේ අදහස්
- ඛාලිද් බින් වලීද් (රලි): “ආරක්ෂාව ලබා දී ඇති අයෙකුට ඉදිකටුවක් හෝ ඊට අඩු දෙයකින් පවා හානියක් නොකරන්න.” (අබු උබයිඩ්ගේ කිතාබුල් අම්වාල්, අංක 12)
- ඉබ්නු අබ්බාස් (රලි): සා’සා නැමැත්තා පැවසීය: මම ඉබ්නු අබ්බාස්ගෙන් ඇසුවෙමි; “අපි ආරක්ෂාව ලත් (මුස්ලිම් නොවන) අයගේ දේශවල සංචාරය කරන විට, අපි ඔවුන්ගෙන් සමහර දේවල් (නොමිලේ) ලබා ගනිමු.” ඔහු ඇසීය, “මුදල් ගෙවීමකින් තොරවද?” මම “ඔව්” යැයි කීවෙමි. ඔහු දැඩි ලෙස එය ප්‍රතික්ෂේප කරමින් පැවසීය: “ඔබත් ‘නූගතුන්ගේ (අන්‍ය ආගමිකයන්ගේ) කරුණෙහි අපට වරදක් නැත’ යැයි පැවසූ පැරණි දේවගැතිවරුන් මෙන් (වැරදි ලෙස) තර්ක කරන්නේද? (එය සම්පූර්ණයෙන්ම තහනම්ය)” (අබු උබයිඩ්ගේ කිතාබුල් අම්වාල්, අංක 370)
- මුහම්මද් බින් හසන් අල්-ෂයිබානි: “මුස්ලිම්වරුන් ඔවුන්ගේ වගකීම භාරගත් විට, ඔවුන්ගෙන් සිදුවන පීඩාවන් වැළැක්වීමේ බැඳීම පිළිගත් අතර, ඔවුන් ඉස්ලාමීය දේශයේ (දාරුල් ඉස්ලාම්) පුරවැසියන් බවට පත් විය.” (ෂරහ් සයිර් අල්-කබීර් 1/69)
- ෆටාවා හින්දියා (නීති සංග්‍රහය): “යුදෙව්වෙකුට හෝ මැගියන් (Zoroastrian) කෙනෙකුට ඔහු අකමැති නම් ‘ඕ ප්‍රතික්ෂේප කරන්නා’ (O Infidel!) ලෙස (අගෞරවයෙන්) ඇමතීම පාපයකි.” (ෆටාවා හින්දියා 43/382)
5. බටහිර ඉතිහාසඥයන්ගේ (Orientalists) පිළිගැනීම
මුස්ලිම්වරුන් සාමාන්‍යයෙන් තමන් යටතේ සිටි මුස්ලිම් නොවන වැසියන්ට ඉතා හොඳින් සැලකූ බව පිළිගත් කරුණකි. ඉස්ලාමයට පක්ෂපාතී නොවන බටහිර විචාරකයන්ට පවා මෙම යථාර්ථය පිළිගැනීමට සිදුවිය. උදාහරණයක් ලෙස, විලියම් මොන්ට්ගොමරි වොට් (William Montgomery Watt) මෙසේ ලියයි:
“ඉස්ලාමීය අධිරාජ්‍යයේ මුල් අවධියේදී, ඊජිප්තුවේ සහ සාරවත් අඩ සඳ (Fertile Crescent) ප්‍රදේශයේ විසූ ක්‍රිස්තියානි වැසියන්, බයිසන්ටයින් ග්‍රීකයන්ට (Byzantine Greeks) යටතේ සිටියාට වඩා, මුස්ලිම් අරාබි පාලකයන් යටතේ ‘දිම්මිවරුන්’ ලෙස වඩාත් යහපත් තත්ත්වයක පසු වන්නට ඇත.” (Islamic Political Thought, The basic Concepts p. 51)
ඔහු තවදුරටත් මෙසේ පැවසීය:
“සමස්තයක් වශයෙන් ගත් කල, මධ්‍යකාලීන ක්‍රිස්තියානි රාජ්‍යයන් තුළ මුස්ලිම් නොවන අයට ලැබුණු සහනශීලීත්වයට වඩා, ඉස්ලාමය යටතේ මුස්ලිම් නොවන අයට සැබෑ ආගමික සහනශීලීත්වයක් ලැබුණි.” (එම පිටුවම)
ඇත්ත වශයෙන්ම, ස්වර්ණමය මුස්ලිම් පාලන සමයේදී සුළුතරයන්ට දැක්වූ මෙම සහනශීලීත්වය අදටත් අසමසම එකකි. ආගමික හා පුද්ගලික නිදහසේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව පවසන බටහිර ක්‍රිස්තියානි ලෝකය තුළ, මුස්ලිම්වරුන් දැඩි වෙනස්කොට සැලකීම්වලට ලක් වේ. බොහෝ බටහිර රටවල මුස්ලිම් කාන්තාවන්ට ඉස්ලාමය පවසන පරිදි සහ ඔවුන් කැමති පරිදි ඇඳුම් ඇඳීමට අවසර නැත. තවත් බොහෝ රටවල ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ නාමයෙන් ඉස්ලාමීය සාරධර්ම සහ ශ්‍රේෂ්ඨ චරිත සමච්චලයට ලක් කෙරේ. තවද මුස්ලිම්වරුන්න්ට ඔවුන්ගේ පල්ලි සාම්ප්‍රදායික හා හානිකර නොවන ආකාරයෙන් ඉදිකිරීමට පවා අවසර නොදෙන උදාහරණ අප සතුව ඇත. මේ සියල්ල සිදුවන්නේ ආගමික ‘වෛරයෙන්’ මිදී ඇති බව පවසන රාජ්‍යයන් තුළය.
සැබෑ තත්ත්වය නම්, මානව වර්ගයාගේ ඉදිරි ගමන සඳහා ඇති එකම මඟ ඉස්ලාමය වන අතර, සුළුතරයන්ගේ නිදහස සහ සහනශීලීත්වය සහතික කරන එකම පද්ධතිය ශුද්ධ වූ කුරානයෙන් සහ නබිතුමාණන්ගේ සුන්නහ්වෙන් (මඟ පෙන්වීමෙන්) උපුටා ගන්නා ලද පද්ධතිය පමණි.
(සටහන: ඉස්ලාමීය පාලනය යටතේ සුළුතරයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වැඩි විස්තර ඊළඟට පළවන “ජිස්යා” (Jizya) බද්ද පිළිබඳ ලිපියෙන් බලාපොරොත්තු වන්න!)
![]()