සාරාංශය (Abstract)
මෙම ලිපිය මඟින් මැස්සා පිළිබඳ හදීසයේ විවිධ පාඨමය ආකෘතීන් ගවේෂණය කරමින් සහ එහි භාවිත කර ඇති ප්‍රධාන වචනවල විභව අර්ථයන් සමාලෝචනය කරමින් එය විවේචනාත්මක විශ්ලේෂණයකට ලක් කරයි. මෙමඟින් හදීසය ආගමික වශයෙන් අනිවාර්ය නීතිමය බැඳීමක් (Obligation) පනවන්නේද යන්න කෙරෙහි අවධානය යොමු කරමින්, සියවස් ගණනාවක් පුරා මුස්ලිම්වරුන් මෙම හදීසය සමඟ පැවැත්වූ ඓතිහාසික සම්බන්ධතාවය ගවේෂණය කරනු ලබයි. එමෙන්ම මෙම ලිපිය හදීසය සහ විද්‍යාත්මක සොයාගැනීම් අතර ඇති සංකීර්ණ සබඳතාවය දෙසට ද යොමු වන අතර, එහිදී විද්‍යාත්මක සාක්ෂි මඟින් හදීසයේ සත්‍යතාවය අවසාන වශයෙන් ඔප්පු නොකළ හැකි වුවද, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය යැයි බැහැර කළ නොහැකි බවට තර්ක කරයි. තවද, හදීසයේ වැදගත්කම තහවුරු කරමින් සැලකිය යුතු සාක්ෂි සපයන පර්යේෂණ අධ්‍යයනයන් ද මෙහි ඉදිරිපත් කෙරේ. සදොස් විශ්ලේෂණයක් මඟින්, හදීසයේ විද්‍යාත්මක සත්‍යතාවය පිළිබඳව මුස්ලිම්වරුන් දැරිය හැකි විවිධ ස්ථාවරයන් පිළිබඳව ආවර්ජනය කරන අතරම, හදීසයේ ප්‍රධාන අංග සහ එහි නීතිමය ස්වභාවය පිළිබඳ නිරීක්ෂණ දෙසට නැවත සාකච්ඡාව යොමු කරයි.
1. හැඳින්වීම (Introduction)
“ඔබෙන් කෙනෙකුගේ පානයකට මැස්සෙකු වැටුණහොත්, ඔහු එය සම්පූර්ණයෙන්ම (එම පානයේ) ගිල්වා ඉන්පසු ඉවතට ගත යුතුය. මන්ද උගේ එක් පියාපතක රෝගයක්ද, අනෙක් පියාපතේ එම රෝගයට සුවයද පවතී” යන මැස්සා පිළිබඳ හදීසය නූතන යුගයේ දැඩි සංවාදයකට හා මතභේදයකට ලක් වූ මාතෘකාවක් වී ඇත. බොහෝ පුද්ගලයන් මෙය සලකන්නේ ඉස්ලාමීය ඉගැන්වීම්වල ඇති දුර්වලතාවයට ප්‍රධාන උදාහරණයක් ලෙසය. මැස්සෙකු පානය කිරීමට පෙර එය හිතාමතාම ද්‍රවයක ගිල්වීමට යෝජනා කරන මෙම ආගමික උපදෙස විද්‍යාත්මකව වැරදි පමණක් නොව, එය මතිභ්රමයන්ගෙන් පිරුණු අතාර්කික ක්‍රියාවක් ලෙසද සමහරු දකිති. විවේචකයන් තර්ක කරන්නේ මෙය ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ අපගේ වර්තමාන විද්‍යාත්මක දැනුමට පටහැනි වන අතර සනීපාරක්ෂාව පිළිබඳ මූලික මූලධර්ම උල්ලංඝනය කරන බවයි.
පසුගිය සියවසක පමණ කාලය පුරා මෙම හදීසය විවේචනයට ලක්ව ඇත. විසිවන සියවසේ මුල් භාගයේදී, තවුෆික් සිද්කි (මියගියේ 1920) සහ මහමුද් අබු රයියා (මියගියේ 1970) වැනි නූතනවාදීන් එවකට පැවති විද්‍යාත්මක දැනුම ආලෝකයෙන් මෙයට විරෝධය පළ කිරීම නිසා මෙය වඩාත්ම කතාබහට ලක්වූ හදීස් වාර්තාවක් විය. කුර්ආනය සහ නූතන විද්‍යාව අතර ඇති එකඟතාවය පෙන්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් මොරිස් බුකයිල් (Maurice Bucaille, මියගියේ 1998) පවා මෙම හදීසය දෙස සුභවාදීව බැලුවේ නැත. මැස්සා පිළිබඳ හදීසය ඇතුළු හදීස් වාර්තා කිහිපයක් සාකච්ඡා කරමින් ඔහු මෙසේ ලිවීය: “විද්‍යාත්මකව පිළිගත නොහැකි ඇතැම් හදීස් පවතින බව නිගමනය කළ හැකිය.”[1]
අතීත සහ සමකාලීන සංවේදිතාවන් සහ ඒවායේ විවිධ අන්තර්ක්‍රියාවන් සැලකිල්ලට ගනිමින්, අපි මෙම හදීසයේ පාඨය සහ සාම්ප්‍රදායික අර්ථකථනය විශ්ලේෂණය කරමු.
2. මැස්සා පිළිබඳ හදීසයේ පාඨමය විශ්ලේෂණය (Textual Analysis of the Hadith of the Fly)
මෙම හදීසය සහාබිවරුන් කිහිපදෙනෙකු හරහාම අප වෙත පැමිණ ඇත. එනම් අබු හුරෛරා,[2] අබු සයීඩ් අල්-කුද්රි,[3] අනස්,[4] සහ අලි බින් අබි තාලිබ්[5] යන අයයි. සහීහ් බුහාරි (හදීස් අංක 3320) හි සඳහන් වන පරිදි, අබු හුරෛරා වාර්තා කළේ අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) මෙසේ පැවසූ බවයි:
إذا وقع الذباب في شراب أحدكم فليغمسه ثم لينزعه، فإن في إحدى جناحيه داء والأخرى شفاء
“ඔබෙන් කෙනෙකුගේ පානයකට මැස්සෙකු වැටුණහොත්, ඔහු එය (පානයේ) ගිල්වා ඉවතට ගත යුතුය. මන්ද උගේ එක් පියාපතක රෝගයක්ද, අනෙක් පියාපතේ සුවයද පවතී.”
සුනන් අබු දාවුද් (හදීස් අංක 3844) හි මේ පිළිබඳව තවදුරටත් විස්තර සඳහන් වේ:
إذا وقع الذباب في إناء أحدكم، فامقلوه فإن في أحد جناحيه داء، وفي الآخر شفاء، وإنه يتقي بجناحه الذي فيه الداء فليغمسه كله
“මැස්සෙකු ඔබෙන් කෙනෙකුගේ භාජනයකට වැටුණු විට, ඔහු එය සම්පූර්ණයෙන්ම ගිල්විය යුතුය. මන්ද උගේ එක් පියාපතක රෝගයක්ද, අනෙකෙහි සුවයද ඇත. ඌ (භාජනයට වැටීමේදී) ආරක්ෂා වීමට උත්සාහ කරන්නේ රෝගය පවතින පියාපතෙනි, එබැවින් එය සම්පූර්ණයෙන්ම ගිල්වන්න.”
එලෙසම අබු සයීඩ් අල්-කුද්රිගෙන් උපුටා දක්වමින් ඉබ්න් මාජා (හදීස් අංක 3504) හි සඳහන් වන්නේ නබිතුමා (ﷺ) මෙසේ පැවසූ බවයි:
في أحد جناحي الذباب سم، وفي الآخر شفاء، فإذا وقع في الطعام، فامقلوه فيه، فإنه يقدم السم، ويؤخر الشفاء
“මැස්සාගේ එක් පියාපතක විෂ ද්‍රව්‍යයක් පවතින අතර අනෙකෙහි සුවය පවතී. එය ආහාරයට වැටුණහොත්, එය එහි ගිල්වන්න. මන්ද ඌ මුලින්ම විෂ සහිත පියාපත ඉදිරිපත් කරන අතර සුවය සපයන පියාපත පස්සට තබා ගනී.”
3. පාරිභාෂිතයේ වැදගත්කම: හදීසයේ එන මැස්සා සහ උගේ පියාපත් (Significance of Terminology)
හදීසයේ භාවිත කර ඇති “අල්–දුබාබ්” (al-dhubab) යන පදය පොදුවේ ඕනෑම මැස්සෙකු හැඳින්වීම සඳහා භාවිත කළ හැක. එක් වාර්තාවක නබිතුමා (ﷺ) මෙසේ පැවසූ බව සඳහන් වේ: “මී මැස්සා (dhubab al-nahl) හැර අනෙකුත් සියලුම මැස්සන් (dhubab) නිරයට යනු ඇත.”[6] ප්‍රථම හැඟීමෙන් මෙය සාමාන්‍ය ගෘහස්ථ මැස්සා (Musca domestica) ගැන කියවෙන්නක් යැයි සිතිය හැකි වුවද, මෙම වචනය වඩාත් නිශ්චිත වර්ගීකරණයකට ඉඩ සලසයි. මෙම හදීසය පිළිබඳ සාකච්ඡාවලදී ඇතැම් විද්වතුන් පෙන්වා දී ඇත්තේ ස්පාඤ්ඤ මැස්සා (Spanish Fly/Cantharis) ලෙස හැඳින්වෙන “දරාරිහ්” (dhararih)[7][8] නම් සුවිශේෂී මැස්සන් වර්ගය සඳහාද මෙය සත්‍ය වන බව නිරීක්ෂණය වී ඇති බවයි.
මීළඟට, හදීසයෙහි “ජනාහ්” (janah) යන වචනය භාවිත කර ඇති අතර එය සාමාන්‍යයෙන් “පියාපත” ලෙස පරිවර්තනය කෙරේ. මෙය වචනයේ බහුලවම වටහා ගන්නා අර්ථය වුවද, එය ශරීරයේ පැත්තක් හෝ කොටසක් හැඳින්වීමටද භාවිත කළ හැකිය.[9] එය අනිවාර්යයෙන්ම පියාසර කිරීමට භාවිත කරන අවයවයක්ම විය යුතු නොවේ.[10] කුර්ආනයේ “ජනාහ්” යන වචනය දෑත් විස්තර කිරීමටද භාවිත කර ඇත. දෙමාපියන්ට කරුණාවන්ත වන ලෙස මිනිසුන්ට දන්වන වැකියක එය මෙසේ සඳහන් වේ: “තවද කරුණාව පෙරදැරිව ඔවුන් දෙදෙනා ඉදිරියේ යටහත් පහත්කමේ පියාපත (janah al-dhul) පහත් කරන්න“ (කුර්ආන් 17:24). ඇත්ත වශයෙන්ම, එය ඉංග්‍රීසි බසින් “wing” යන වචනය භාවිත වන ආකාරයට සමාන වේ. එහිදී පියාසර කරන සතුන්ගේ ශරීර කොටසට අමතරව පොදුවේ යමක පැත්තක් හෝ කොටසක් හැඳින්වීමටද එම වචනය භාවිත කෙරේ.
4. මැස්සා පිළිබඳ හදීසය සමඟ ඓතිහාසික සම්බන්ධතාව (Historical Engagement)
ඖෂධීය[11] මෙන්ම පවිත්‍රතා[12] අංශ දෙකටම බලපාන මෙම හදීසය, යම් නිශ්චිත බුද්ධිමය නැඹුරුවක් ඇති පුද්ගලයන්ගේ විරෝධතාවලට ලක්ව ඇත. එහි වලංගුභාවය ප්‍රශ්න කළ අය අතර ‘මුඃතසිලාවරු’ (Mu’tazilites) ප්‍රධාන වූහ. ඔවුන්ගේ විරෝධය මතු වූයේ මැස්සෙකුගේ ශරීරය තුළ විෂක් සහ ඊට එරෙහි ප්‍රතිවිෂක් පැවතීම යන සංකල්පය මතම නොවේ; ඒ වෙනුවට ඔවුන් අවධානය යොමු කළේ එකම ශරීරයක් තුළ විෂ සහ ප්‍රතිවිෂ යන ප්‍රතිවිරුද්ධ දේ දෙකක් සහජීවනයෙන් පවතින්නේ කෙසේද යන්න පිළිබඳවයි. තවද, හානිකර ද්‍රව්‍ය රැගෙන යන්නේ කුමන පියාපතද සහ සුවය රැගෙන යන්නේ කුමන පියාපතද යන්න හඳුනා ගැනීමට මැස්සෙකුට ඇති හැකියාව පිළිබඳවද සමහරු සැක මතු කළහ.
මෙම ප්‍රශ්න සහ විරෝධතාවලට පිළිතුරු දෙමින් ඉබ්න් කුතෙයිබා (මියගියේ 276/889),[13] අල්-තහාවි (මියගියේ 321/933),[14] අල්-ඛත්තාබි (මියගියේ 388/998) සහ ඉබ්න් අල්-කයියිම් (මියගියේ 751/1350)[15] වැනි ප්රමුඛ විද්වතුන් සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ලබා දුන්හ. අල්-ඛත්තාබි මෙසේ ලිවීය:
“කිසිදු දැහැමි බවක් නැති අයෙකු මෙම සම්ප්රදාය (හදීසය) ගැන මෙසේ පවසයි: ‘මෙය සිදුවන්නේ කෙසේද? මැස්සෙකුගේ පියාපත් දෙකෙහි රෝග කාරකයක් සහ ඖෂධයක් පවතින්නේ කෙසේද? රෝග කාරකය අඩංගු පියාපත ඉදිරියට දැමීමටත්, ඖෂධය අඩංගු පියාපත පස්සට තබා ගැනීමටත් මැස්සා එය දන්නේ කෙසේද? ඌට එසේ කිරීමට මඟ පෙන්වන්නේ කුමක්ද?’ මේවා නූගත් අයෙකුගේ හෝ නූගත් බව රඟපාන අයෙකුගේ ප්‍රශ්න වේ. මන්ද, තමන් තුළ සහ අනෙකුත් සතුන් තුළ උෂ්ණත්වය සහ සීතල මෙන්ම තෙතමනය සහ වියලි බව – එනම් එකිනෙක හමු වූ විට විනාශ වන ප්‍රතිවිරුද්ධ මූලද්‍රව්‍ය දෙකක් – එක්ව පවතින බව දකින, සහ දෙවියන් වහන්සේ ඒවා එකට එකතු කර එක් වීමට බලකර ඇති බව දකින ඕනෑම අයෙකු, එම එකමුතුව සතුන්ගේ පැවැත්මට සහ යහපත් සෞඛ්‍යයට හේතු වන බව වටහා ගනී. එසේ වටහා ගන්නා අයෙකු එකම සතෙකුගේ ශරීරයේ කොටස් දෙකක රෝගයක් සහ ඖෂධයක් එක්ව පැවතීම ප්‍රතික්ෂේප නොකරනු ඇත. මී මැස්සාට අතිවිශිෂ්ට ලෙස පැණි වදයක් තැනීමට සහ එහි මී පැණි නිපදවීමට මඟ පෙන්වූ, සහ කුහුඹුවාට වෙහෙස මහන්සි වී ආහාර උපයා ගැනීමටත් එය අවශ්‍ය කාලය සඳහා ගබඩා කර ගැනීමටත් මඟ පෙන්වූ තැනැන්වහන්සේම, මැස්සාවද මවා ඌට නිවැරදි මඟ පෙන්වීම ලබා දුන් සේක. එමඟින් ඌ එක් පියාපතක් ඉදිරිපත් කර අනෙක් පියාපත පස්සට තබා ගනී. උන්වහන්සේ මෙය භක්තිය උරගා බලන පරීක්ෂණයක් ලෙස අදහස් කර ඇති අතර, උන්වහන්සේට සෑම දෙයකදීම ප්‍රඥාවක් සහ සලකුණක් ඇත, එය බුද්ධිමත් අය හැර අන් කිසිවෙකු වටහා නොගනිති.”[16]
5. මෙම හදීසය මඟින් අනිවාර්ය බැඳීමක් පනවන්නේද? (Does the Hadith Impose an Obligation?)
මෙම හදීසය සම්බන්ධයෙන් ඇති සාම්ප්‍රදායික සාකච්ඡාවේ තවත් පැතිකඩක් නම්, මෙය අනිවාර්යයෙන්ම කළ යුතු පිළිවෙතක් (Obligatory practice) ලෙස වටහා ගත්තේ ද යන්නයි. [වෙනත් වචනවලින් කිවහොත්, ඉස්ලාමයට අනුව ආහාර පානවලට මැස්සෙකු වැටුණු විට ඇති නීතිමය තීන්දුව කුමක්ද? නැතහොත් මැස්සෙකු වැසුණු ආහාරයක් කෑමට ගත හැකිද?]. සෑම මුස්ලිම්වරයෙකුම මැස්සෙකු ද්‍රවයකට වැටුණු සෑම අවස්ථාවකම ඌව සම්පූර්ණයෙන්ම ගිල්වා, පසුව එම ද්‍රවය පරිභෝජනය කළ යුතු බවට ආගමික නීතියක් මෙයින් පැනවෙන්නේද?
මෙම හදීසය සඳහන් කිරීමෙන් පසු, ඉස්ලාමීය නීති ක්ෂේත්රයේ (usul al-fiqh) ප්‍රසිද්ධ කතුවරයෙකු වන අල්-ෂාෂි (Al-Shashi, මියගියේ 344/955) මෙසේ ප්‍රකාශ කරයි:
“මෙහි ප්‍රකාශයේ සන්දර්භය පෙන්නුම් කරන්නේ මැස්සා ගිල්වීම අපෙන් හානිය වළක්වා ගැනීමට මිස ෂරියා නීතිය මඟින් අප මත පටවන ලද ආගමික වතාවතක් ලෙස නොවන බවයි. එබැවින් එය අනිවාර්ය (Obligation) ක්‍රියාවක් නොවේ.”[17]
අල්-කස්තලානි (Al-Qastalani, මියගියේ 923/1517),[18] අල්-මුනාවි (Al-Munawi, මියගියේ 1031/1622),[19] අල්-අමීර් අල්-සන්ආනි (Al-San‘ani, මියගියේ 1182/1768),[20] සහ අල්-බුජ්මීරි (Al-Bujmiri, මියගියේ 1221/1806)[21] ඇතුළු තවත් බොහෝ විද්වතුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම හදීසයේ සඳහන් උපදෙස ආගමික අනිවාර්ය නියෝගයකට වඩා යහපත උදෙසා කරනු ලබන උපදෙසක් (irshad) පමණක් බවයි. ප්‍රසිද්ධ සමකාලීන සෞදි විද්වතෙකු වූ මුහම්මද් ඉබ්න් අල්-උතෙයිමීන් (මියගියේ 2001) ද මීට සමාන අදහසක් දැරූ අතර, යමෙකු එම පානයට අකමැති නම් එය බීමට ආගමික වශයෙන් කිසිදු බැඳීමක් නොමැති බව අවධාරණය කළේය. ඔහු තම මතය තහවුරු කිරීම සඳහා නබිතුමා වෙත පිළිගන්වන ලද කටුස්සෙකු (al-dhabb – ශාකභක්ෂක කටුස්සෙක්) පිළිබඳ උදාහරණය ගෙනහැර දැක්වීය. එහිදී නබිතුමා එය අනුභව කිරීම ප්‍රතික්ෂේප කරමින්, “එය මාගේ ජනයාගේ දේශයේ නුපුරුදු ආහාරයකි, එබැවින් මම එයට අකමැත්තෙමි“ යැයි පැවසූහ.[22]
ඒ අනුව ඇතැම් විද්වතුන් මෙම හදීසයේ ප්‍රායෝගික භාවිතය සීමා කිරීමට අදහස් කර ඇත. අන්වර් ෂා අල්-කෂ්මීරි (Anwar Shah Al-Kashmiri, මියගියේ 1934) මෙසේ ලියයි:
“හදීසයේ මැස්සා පානයක ගිල්වීමට දෙන උපදෙස පොදු එකක් ලෙස පෙනුනද, මාගේ වැටහීමට අනුව එය සීමා වන්නේ ආහාරය හෝ පානය රත් වී නොමැති අවස්ථාවන්ට පමණි. මන්ද මැස්සෙකු උණුසුම් පානයක ගිල්වීමෙන් හානිය තවත් වැඩි වන බැවිනි.”[23]
මෙම කරුණු මඟින් තහවුරු වන්නේ මැස්සෙකු වැටුණු පමණින් වෙනත් සාධක හෝ රුචිකත්වයන් නොසලකා එම පානය බීමට මුස්ලිම්වරයෙකුට කිසිදු බලකිරීමක් නොමැති බවයි.
6. හදීසයේ විද්‍යාත්මක ඇගයීම පිළිබඳ මුස්ලිම් දෘෂ්ටිකෝණයන් (Muslim Perspectives on Scientific Assessment)
කෙසේ වෙතත්, මෑත කාලයේදී සාකච්ඡාවන් යොමු වී ඇත්තේ මැස්සාගේ එක් පියාපතක ප්‍රතිවිෂ පවතින බවට වන කරුණෙහි සැබෑ සත්‍යතාවය දෙසටයි. මෙම ප්රශ්නය ඉතා වැදගත් වන්නේ, මුහම්මද් නබිතුමා (ﷺ) විසින් ප්‍රකාශ කරන ලද සහ පසුව එතුමා විසින්ම නිවැරදි කර හෝ ඉල්ලා අස්කර නොගත් ඕනෑම ප්‍රකාශයක්, එය නබිත්වයේ ප්‍රධාන වගකීමට අයත් නොවන වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්රයකට අයත් වුවද, එය සත්‍ය සහ නිවැරදි ප්‍රකාශයක් ලෙස මුස්ලිම් විද්වතුන් අතර පුළුල් ලෙස පිළිගැනෙන බැවිනි.
6.1 කාලාන්තර මුස්ලිම් දෘෂ්ටිකෝණය: හදීසයේ වලංගුභාවය සහ විද්‍යාත්මක ඇගයීමේ සීමාවන්
එබැවින්, මෙම හදීසයට එරෙහිව නැඟෙන විද්‍යාත්මක විරෝධතාවලට මුහුණ දීමේදී, අතීතයට මෙන්ම වර්තමානයටද පොදුවේ අදාළ වන ස්ථාවර මුස්ලිම් ප්‍රතිචාරය වන්නේ, එවැනි විරෝධතා දැනුමේ හිඟකම නිසා මතු වන ඒවා වන අතර, එබැවින් ඒවා උපරිමයෙන්ම නොදැනුවත්කම මත පදනම් වූ තර්ක (Arguments from ignorance) වන බවයි. බොහෝවිට කෙනෙකුට පැවසිය හැක්කේ මෙම හදීසයේ නිරවද්‍යතාවය හෝ එහි අඩංගු ප්‍රකාශයන් තහවුරු කිරීමට දැනට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පමණි. කෙසේ වෙතත්, මෙය විද්‍යාත්මකව පිළිගත නොහැකි යැයි පැවසීම, 19 වන සියවසේ වෛද්‍යවරයෙකු විසින් දිලීර (Fungus/Penicillin) ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කළ හැකිය යන මතයට සමච්චල් කිරීමට සමාන වේ, එය පසුව දෙවන ලෝක යුද්ධ සමයේදී ‘ආශ්චර්යමත්’ සොයාගැනීමක් ලෙස පිළිගැනීමට ලක්විය. එබැවින් වර්තමාන විද්‍යාත්මක දැනුම හදීසයේ ප්‍රකාශයන් තහවුරු නොකළද, එයින් එය අසත්‍ය බව ඔප්පු නොවේ.
එබැවින්, සාමාන්‍ය මුස්ලිම්වරයෙකු සඳහා මධ්‍යතන යුගයේ ට්රාන්සොක්සානියානු හනෆි ලේඛකයෙකු වූ මුහම්මද් බින් අබි ඉෂාක් අල්-බුහාරි (මියගියේ 380/990) වැනි සම්භාව්‍ය විද්වතුන් අනුගමනය කළ ප්‍රවේශය ප්‍රමාණවත් වේ. මෙම හදීසය සාකච්ඡා කරමින් ඔහු මෙසේ පැවසීය:
“එහි ශරීරයට හානි කරන රෝගයක් තිබිය හැකි අතර, අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) එම රෝගයට පිළියම දැන සිටි අතර එහි සැබෑ ස්වභාවය සම්පූර්ණයෙන්ම හෙළි නොකළද ඒ පිළිබඳව අපට දැනුම් දුන්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නා සේක.”[24]
මෙම තර්කය සාධාරණ වන්නේ හදීසය මඟින් කිසිදු බලකිරීමක් නොකරන බැවින් සහ ඉහත පැහැදිලි කළ පරිදි මැස්සෙකු වැටුණු පානයක් ඉවත දැමීමට පුද්ගලයෙකුට තවමත් නිදහස ඇති බැවිනි.
6.2 හදීසයේ විද්‍යාත්මක තහවුරු කිරීම්
එසේ වුවද, මුස්ලිම් විද්වතුන් විසින් හදීසයේ සඳහන් කරුණ තහවුරු කරන සමහර අධ්‍යයනයන් ද පෙන්වා දී ඇත. ඩොක්ටර් මුහම්මද් මුහ්සින් ඛාන් (මියගියේ 2021) මෙම හදීසයේ විවරණයක මෙසේ සඳහන් කරයි:
*”ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව මිනිසුන් ඉතා අඩුවෙන් දැන සිටි මීට වසර 1400කට පමණ පෙර නබිතුමා පැවසූ පරිදි, මැස්සෙකුගේ ශරීරයේ ඇතැම් කොටස්වල රෝග කාරක (Pathogens) පවතින බව දැන් වෛද්‍ය විද්‍යාවෙන් මැනවින් තහවුරු වී ඇත. එලෙසම, අල්ලාහ් මෙම රෝග කාරක විනාශ කරන ජීවීන් සහ අනෙකුත් යාන්ත්‍රණයන් ද මවා ඇත. උදාහරණයක් ලෙස පෙනිසිලින් දිලීරය මඟින් ස්ටැෆිලොකොකස් (Staphylococci) වැනි රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරයි. මෑතකදී අධීක්ෂණය යටතේ සිදු කරන ලද අත්හදා බැලීම්වලින් පෙනී යන්නේ මැස්සා රෝග කාරක මෙන්ම එම රෝග කාරක සඳහා වන ප්‍රතිවිෂ ද රැගෙන යන බවයි.
සාමාන්‍යයෙන් මැස්සෙකු ද්‍රව ආහාරයක වැසුණු විට එය තම රෝග කාරක මඟින් ද්‍රවය දූෂණය කරයි, එබැවින් එම රෝග කාරකයන්ට ප්රතිතුලනයක් ලෙස ක්‍රියා කිරීම සඳහා ප්‍රතිවිෂ ද මුදා හැරීමට ඌව එහි ගිල්විය යුතුය. මේ සම්බන්ධයෙන් මම මගේ මිතුරෙකු මාර්ගයෙන් ඊජිප්තුවේ කයිරෝ නුවර අල්-අස්හාර් විශ්වවිද්‍යාලයේ හදීස් අංශයේ ප්‍රධානී ඩොක්ටර් මුහම්මද් එම්. එල්-සමාහි වෙත ලිපියක් යැවූ අතර, ඔහු මෙම හදීසයේ වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩ ගැන ලිපියක් ලියා තිබුණි. එහි ඔහු සඳහන් කර ඇත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයින් විසින් මැස්සාගේ බඩ ඇතුළත පරපෝෂිතයන් ලෙස ජීවත් වන දිගටි ඊස්ට් සෛල (Yeast cells) පවතින බව ඔප්පු කර ඇති බවයි. මෙම ඊස්ට් සෛල තම ජීවන චක්‍රය නැවත සිදු කිරීම සඳහා මැස්සාගේ ශ්වසන නාල හරහා පිටතට පැමිණෙන අතර, මැස්සාව ද්‍රවයක ගිල්වූ විට මෙම සෛල ද්‍රවය තුළ පුපුරා යන අතර එම සෛලවල අන්තර්ගතය මැස්සා රැගෙන යන රෝග කාරක සඳහා ප්‍රතිවිෂක් ලෙස ක්‍රියා කරයි.”*[25]
මෑත කාලීන අධ්‍යයනයක් ද මෙය තහවුරු කරමින් මෙසේ පවසයි:
“…M. domestica (ගෘහස්ථ මැස්සා) පෙර සිටි පරිසරයෙන් පැමිණි රෝග කාරක බැක්ටීරියාවල වර්ධනය වළක්වාලිය හැකි ප්‍රතිජීවක හෝ ක්ෂුද්‍ර ජීවී නාශක ගුණ සහිත විවිධ ක්ෂුද්‍ර ජීවී සමූහයක් (Microbiome) සතු බව දන්නා කරුණකි. මෙම බැක්ටීරියාවල ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරිත්වය, ප්‍රතිවිරුද්ධ ලෙස හෝ ක්ෂුද්‍ර ජීවී නාශකයක් ලෙස ක්‍රියා කරන එන්සයිම හෝ සංයෝග ශ්‍රාවය කිරීමට ඇති හැකියාව සමඟ සම්බන්ධ විය හැකිය…”
“M. domestica හි දකුණු පියාපතෙන් සහ ශරීර මතුපිටින් හුදෙකලා කරන ලද B. subtilis බැක්ටීරියාව, Pseudo-monas බැක්ටීරියාවල වර්ධනය ඵලදායී ලෙස වළක්වයි. B. subtilis බැක්ටීරියාව ප්‍රතිජීවක එන්සයිම සහ රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව පුළුල් පරාසයක ක්ෂුද්‍ර ජීවී නාශක ක්‍රියාකාරිත්වයක් ඇති අනෙකුත් ද්විතීයික පරිවෘත්තීය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. M. domestica හි දකුණු පියාපතෙහි B. subtilis සහ B. circulans අඩංගු වන අතර ඒවායේ ප්‍රතිජීවක බලපෑම හේතුවෙන් E. coli බැක්ටීරියාවෙන් දූෂිත වූ බීම වර්ග උදාසීන කළ හැකිය. තවද, දකුණු පියාපතෙහි බැක්ටීරියා සෛල විඝටනය (Lysis) වීමට හේතු වන එන්ඩොලයිසින් (Phage lysins) නිපදවයි යැයි සැලකෙන බැක්ටීරියාභක්ෂක (Bacteriophage) අඩංගු වේ.”[26]
මෙම නිරීක්ෂණ මඟින් මැස්සාගේ දකුණු පියාපත සුව කිරීමේ සාරය රැගෙන යන ස්ථානයක් ලෙස හඳුනා ගැනීම සම්බන්ධයෙන් සම්භාව්‍ය මුස්ලිම්වරුන්ගේ නිරීක්ෂණ ද තහවුරු කරන බව පෙනේ.[27] කෙසේ වුවද, ඉහත සාකච්ඡා කළ පරිදි, මෙම හදීසය නිශ්චිත මැස්සන් වර්ගයකට පමණක් අදාළ විය හැකිය. ඒ අතරම, හානිකර ද්‍රව්‍ය සහ ඒවාට අදාළ ප්‍රතිවිෂ පවතින ස්ථානය ලෙස පියාපත් හැර වෙනත් ශරීර කොටස් ද සම්බන්ධ වීමේ හැකියාව පවතී.
7. සාරාංශය සහ නිගමනය (Summary and Conclusion)
විවිධ ද්‍රව්‍යවල පවතින රෝග සහ ඒවායේ සුව කිරීමේ ගුණාංග පිළිබඳව අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) විසින් කරන ලද ප්‍රකාශයන්, ඉතිහාසයේ යම් නිශ්චිත කාලයකදී මිනිස් දැනුම එය තේරුම් ගැනීමට තරම් දියුණු වී නොතිබුණද, ඒවා වලංගු සහ සත්‍ය ලෙස සැලකේ.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (ﷺ) ස්ථිර ප්‍රකාශයක් අඩංගු සහ විශ්වාසදායක ලෙස වාර්තා වී ඇති මැස්සා පිළිබඳ හදීසය, මුස්ලිම්වරුන්ගෙන් ඒ කෙරෙහි විශ්වාසය තැබීම අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, මැස්සෙකු වැසුණු පමණින් එම මැස්සාව සම්පූර්ණයෙන්ම ගිල්වා එම පානය පරිභෝජනය කිරීම එයින් අනිවාර්ය නොකරයි.
එබැවින් පැවසිය හැක්කේ, විද්‍යාගාර සාක්ෂි නොමැති වීම එවැනි හදීස් පිළිබඳව සැක පහළ කිරීමට සාධාරණ හේතුවක් නොවන අතරම, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පුද්ගලයන්ට නිදහස ඇති බවයි.
මූලාශ්‍ර:
[1] Bucaille, Dr Maurice, The Bible, the Qur’an, and Science, (New York: Tahrike Tarsile Qur’an, Inc., 2003) 262-263
[2] al-Bukhari, Muhammad b. Isma‘il, al-Sahih, (Riyadh: Darussalam Publishers, 1997) Hadith 3320. See also, Al-Bukhari, al-Sahih, Hadith 5782; al-Sijistani, Abu Dawud, al-Sunan, (Beirut: al-Resalah Publishers, 2009) Hadith 2302; Al-Qazwini, Ibn Majah, al-Sunan, (Riyadh: Darussalam Publishers, 2007) Hadith 3505; Al-Madani, Isma‘il b. Ja‘far, Ahadith Isma‘il b. Ja‘far, (Riyadh: Maktaba al-Rushd, 1998) Hadith 433; Ahmad b. Hanbal, al-Musnad, Ed. Shu‘aib al-Arna’ut (Beirut: Resalah Publishers, 2001) Hadith 7141, 7359, 7572, 8485, 8657, 9168, 9721; Al-Tahawi, Abu Ja‘far, Sharh Mushkil al-Athar, Ed. Shu‘aib al-Arna’ut (Beirut: Resalah Publishers, 1994) Vol. 8, 340-342 Hadith 3289-3290;
[3] Ibn Majah, al-Sunan, Hadith 3504; al-Tiyalsi, Abu Dawud, al-Musnad, (Cairo: Dar Hijr, 1999) Hadith 2302; Ahmad bin Hanbal, Al-Musnad, Hadith 11189, 11643; Al-Tahawi, Sharh Mushkil al-Athar, Vol. 8, 339-340 Hadith 3291-3295 – classified as sahih by al-Albani and Shu‘aib Al-Arna’ut.
[4] al-Bazzar, Abu Bakr, al-Musnad, (Madina: Maktaba al-‘Ulum wa al-Hikam, 1997) Hadith 7323; Al-Tabarani, Abu al-Qasim, al-Mu‘jam al-Awst, (Cairo: Dar al-Haramain, n.d.) Vol.3, 141 Hadith 2753;Al-Haithmi mentions its narrators are those of Sahih Al-Bukhari,. See, Al-Haithami, Nur al-Din, Majm‘ Al-Zawa’id, (Jeddah: Dar al-Minhaj, 2015) Vol.11, 84 Hadith 8063.
[5] Al-Albani, Nasir al-Din, Sahih Al-Jami’ Al-Saghir, Hadith 4249
[6] Al-Bazzar, Abu Bakr/al-Haithami, Kashf al-Astar fi Zawa’id Musnad al-Bazzar, (Beirut: al-Resalah Publishers, 1979) Hadith 3498; See also, Al-San ‘ani, ‘Abdul Razzaq, al-Musannaf, (Dabhel: Majlis al-‘Ilmi, 1983) Hadith 9415; al-Mawsali, Abu Ya‘la, al-Musnad, Ed. Hussain Salim Asad (Damascus: Dar al-Ma’mun, 1984) Hadith 4231; Ibn Hajar says its isnad is acceptable (la ba’sa bihi). See, al-‘Asqalani, Ibn Hajar, Fath al-Bari, (Beirut: Dar al-Ma‘rifa, 1379 AH) Vol.10, 250. al-Tabarani, Abu al-Qasim, al-Mu‘jam al-Awst, Hadith 1575, 3482; al-Tabarani, Abu al-Qasim, al-Mu‘jam al-Kabir, (Cairo: Maktaba Ibn Taimiya, 1994) Vol.10, 207; Vol.11, 65 Hadith 11058. It goes without saying that flies would not go to Hell to be punished, rather they would be a cause of punishment for the dwellers of Hell. One report related in the name of Abu Huraira from the Prophet (ﷺ) adds this clarification, “All flies will go to Hell. They will be made a punishment for the people of Hell, except the honeybee.” See, al-Tirmidhi, Hakim, Nawadir al-Usul, (Cairo: Maktaba al-Imam al-Bukhari, 2008) Vol.1, 405 no. 582; al-Qurtubi, Shams al-Din, al-Jami‘ li Ahkam al-Qur’an, (Cairo: Dar al-Kutab al-Misriyya, 1964) Vol.10, 134. See also, al-Jahiz, Abu ‘Uthman, al-Haywan, (Beirut: DKI, 1424 AH) Vol.3, 187; al-Munawi, Zain al-Din, al-Taisir bi Sharh Jami‘ al-Saghir, (Riyadh: Maktaba al-Imam al-Shafi‘i, 1998) Vol.2, 21
[7] Al-Dhahabi, Abu ‘Abdullah, al-Tibb al-Nabawi, (Beirut: Dar Ihya’ al-‘Ulum, 1990) 120; Ibn Tulun, Shams al-Din, al-Manhal al-Rawi fi al-Tibb al-Nabawi, (Hyderabad Deccan: Anwar al-Ma‘arif, 1987) 219
[8] Lane, Edward William, Arabic-English Lexicon, (Beirut: Librairie du Liban, 1968) Vol.3, 960;
[9] Al-Zabidi, Murtada, Taj al-‘Urus min Jawahir al-Qamus, (Kuwait: Wizarat al-Irshad wa al-Anba’, 1969) Vol.6, 350; Lane, Arabic-English Lexicon, Vol.2, 400;
[10] Miftahi, Shu‘aib Ullah, Hadith-i-Dhubab: Aik Mutali‘a, (Bangalore: Jamia Islamia Maseehul Uloom, n.d.) 9-10
[11] Al-Bukhari placed this report in the Chapters on Medicine (kitab al-tibb) in his Sahih (No. 5782).
[12] Ibn Khuzaima, Abu Bakr, al-Sahih, (Beirut: Maktab al-Islami, 2003), Chapter on mentioning the evidence that the falling of a fly into water does not render it impure (Bab dhikr al-dalil ‘ala anna suqut al-dhubaab fi al-ma’ la yunajjisuhu) Hadith 105
[13] Al-Dainwari, Ibn Qutaiba, Ta’wil Mukhtalif Al-Hadith. (Doha: Mo’assasa Al-Ishraq, 1999) 334-339
[14] Al-Tahawi, Sharh Mushkil al-Athar, Vol.8, 343-344
[15] Al-Jawziyya, Ibn al-Qayyim, Za‘ad al-Ma’ad fi Hadyi Khair al-‘Ibad, (Beirut: al-Resalah Publishers, 1994) Ed. 27 Vol.4, 101-103
[16] Al-Khattabi, Abu Suleman, Ma‘alim Al-Sunan ( Halab, Matb’ Al-‘Ilmiya, 1932) Vol.4, 258; translated in Jayakar, A.S.G., Ad-Damiri’s Hayat Al-Hayawan – A Zoological Lexicon, (London/Bombay: Luzac/Tarapoewala, 1906-08) Vol.1, 822
[17] Al-Shashi, Nizam Al-Din, Al-Usul, (Beirut: Dar Al-Kutab Al-‘Arabi, n.d.) 93; translated in ash-Shashi, Nizam ad-Din, Usul ash-Shashi – Principles of Islamic Jurisprudence, Translation & Introduction by Mansur Ali (London: Turath Publishing, 2017) 89-90
[18] Al-Qastalani, Ahmad Shihab Al-Din, Irshad Al-Sari li-Sharh Sahih Al-Bukhari, (Cairo, Matb’ Al-Amiriya, 1323 AH) Vol.5, 315
[19] Al-Munawi, Al-Taisir Bi-Sharh Al-Jami’ Al-Saghir, Vol.1, 134
[20] Al-San‘ani, Al-Amir Muhammad bin Isma’il, Al-Tanwir Sharh Jami Al-Saghir, (Riyadh, Darussalam, 2011) Vol.2, 235
[21] Al-Bujmiri, Suleman, Tuhfa Al-Habib ‘ala Sharh Al-Khatib. Beirut, Dar Al-Fekr, 1995. Vol.1, 93
[22] Ibn al-‘Uthamin, et al., al-Fatawa Islamiyya, (Riyadh: Dar al-Watan, 1415 AH) Vol.4, 99; See, Al-Bukhari, al-Sahih, Hadith 5391; al-Nasa’i, al-Sunan, Hadith 4317, et al.
[23] Al-Kashmiri, Anwar Shah, Faiḍ Al-Bari ‘ala Sahih Al-Bukhari, (Beirut, Dar Al-Kotob Al-Ilmiya, 2005) Vol.4, 337
[24] Al-Bukhari, Muhammad bin Abi Ishaq, Bahr Al-Fawa’id (Ma’ani Al-Akhbar), (Beirut, Dar Al-Kotob Al-Ilmiya, 1999) 240
[25] Khan, Dr. Muhsin, Translation of the Meanings of Sahih Bukhari, (Riyadh, Darussalam, 1997) Vol.4, 332
[26] Niode, Nurdjannah Jane et al. “A Review of the Antimicrobial Potential of Musca domestica as a Natural Approach with Promising Prospects to Countermeasure Antibiotic Resistance.” Veterinary medicine international vol. 2022 9346791. 30 Dec. 2022, doi:10.1155/2022/9346791
[27] al-‘Asqalani, Ibn Hajar, Fath al-Bari, Vol.10, 251
![]()