කාන්තාවන් තුළ කිසියම් අසුභ නිමිත්තක් තිබේද?

සමාජයෙහි සිටිනා පුද්ගයන් අතුරින් සමහර පිරිසක්, ඉස්ලාම් දහම කාන්තාවන් පහත් කොට සලකන බව සහ ඔවුන්ව නපුරක් හෝ අසුභ ලකුණකට සමාන දෙයක් ලෙස සලකන බව තර්ක කිරීමට ඇතැම් හදීස් වාර්තාවන් භාවිතා කරති. ඔවුන්ගේ ප්‍රකාශ අතුරින් පහත සඳහන් වාර්තාව ද ඉන් එකකි.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الشُّؤْمُ فِي الْمَرْأَةِ وَالدَّارِ وَالْفَرَسِ

අබ්දුල්ලාහ් බින් උමර් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් වාර්තා වේ: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසූහ, “අසුභ නිමිත්ත ඇත්තේ කාන්තාවන්, නිවස සහ අශ්වයා තුළය ” (බුහාරි, හදීස් 4703)
මුඃජම් තබරානි අල්-අව්සත් (හදීස් 7710) හි සෙයිදිනා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) ඇතුළු තවත් සගයන් කිහිපදෙනෙකු මඟින් ද මෙය මෙසේම වාර්තා වී ඇත.

මෙම වාර්තාවල ඇති සත්‍ය පැතිකඩ වන්නේ :
මෙම භක්තිමත් සගයන් අසා ඇත්තේ හා වාර්තා කරන්නේ නබිතුමාගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශයෙන් කොටසක් පමණි. මෙම ප්‍රකාශය සඳහන් වන සම්පූර්ණ වාර්තාව හරහා සත්‍ය ප්‍රකාශය තහවුරු කර ගත හැකිය.

عَنْ أَبِي حَسَّانَ قَالَ دَخَلَ رَجُلَانِ مِنْ بَنِي عَامِرٍ عَلَى عَائِشَةَ فَأَخْبَرَاهَا أَنَّ أَبَا هُرَيْرَةَ يُحَدِّثُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ الطِّيَرَةُ مِنْ الدَّارِ وَالْمَرْأَةِ وَالْفَرَسِ فَغَضِبَتْ فَطَارَتْ شِقَّةٌ مِنْهَا فِي السَّمَاءِ وَشِقَّةٌ فِي الْأَرْضِ وَقَالَتْ وَالَّذِي أَنْزَلَ الْفُرْقَانَ عَلَى مُحَمَّدٍ مَا قَالَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَطُّ إِنَّمَا قَالَ كَانَ أَهْلُ الْجَاهِلِيَّةِ يَتَطَيَّرُونَ مِنْ ذَلِكَ

අබූ හසන් වාර්තා කළේය: බනූ ආමීර් ගෝත්‍රයේ පිරිමින් දෙදෙනෙකු ආයිෂා තුමිය වෙත පැමිණ, ‘නිවසක්, කාන්තාවක් සහ අශ්වයෙකු තුළ අසුභ නිමිත්තක් තිබේ‘ කියා නබිතුමා පැවසූ බව අබූ හුරෙයිරා තුමා වාර්තා කරන බව පැවසූහ. ඇය දැඩි ලෙස කෝපයට පත්ව මෙසේ පැවසුවාය; ‘මුහම්මද් තුමාට කුර්ආනය පහළ කළ තැනැත්තා මත දිවුරා කියමි, අල්ලාහ්ගේ දූතයාණන් එසේ පැවසුවේ නැත. උන්වහන්සේ ඇත්තටම පැවසුවේ අඥානකමේ කාලයේ (ජාහිලියියා යුගයේ) මිනිසුන් මෙම කරුණු තුළ අසුභ නිමිති දුටු බවයි.‘
(මුස්නද් අහ්මද් හදීස් 24841. ෂුඅයිබ් අර්නවුත් සඳහන් කළේ මෙය සහීහ් මුස්ලිම් කොන්දේසිවලට අනුව සහීහ් හදීසයක් බවයි. අල්බානි තුමා ද සහිහා ්‍ය.993 හි මෙය තහවුරු කර ඇත)

قيل لعائشة إن أبا هريرة ، يقول ( قال رسول الله صلى الله عليه وسلم (الشؤم في ثلاثة ( في الدار والمرأة والفرس » فقالت عائشة ( لم يحفظ أبو هريرة لأنه دخل ورسول الله صلى الله عليه وسلم ، يقول ( قاتل الله اليهود ، يقولون إن الشؤم في ثلاثة ( في الدار والمرأة والفرس » فسمع آخر الحديث ولم يسمع أوله

අල්ලාහ්ගේ දූතයාණන් ‘අසුභ නිමිත්ත කරුණු තුනක තිබේ; නිවස, කාන්තාව සහ අශ්වයා‘ කියා පැවසූ බව අබූ හුරෙයිරා තුමාණන් වාර්තා කරන බව ආයිෂා තුමිය ඉදිරියේ සඳහන් විය. එවිට ආයිෂා තුමිය මෙසේ පැවසුවාය; “අබූ හුරෙයිරා තුමාණන්ට එය නිවැරදිව මතක නැත. මන්ද ඔහු ඇතුළු වන විට අල්ලාහ්ගේ දූතයාණන් කියමින් සිටියේ, ‘යූදෙව්වන්ට අල්ලාහ්ගේ ශාපය අත් වේවා කියාය, මන්ද ඔවුන් නිවසක්, කාන්තාවක් සහ අශ්වයෙකු තුළ අසුභ නිමිති ඇති බව කියති.‘ යන්නයි. එබැවින් ඔහුට ඇසුණේ ප්‍රකාශයේ අවසාන කොටස පමණි, මුල් කොටස ඇසුණේ නැත.”
(මුස්නද් තයාලිසී හදීස් 1630. අල්බානි තුමා මෙය සිල්සිලා සහිහා 3/67 හි හසන් ලෙස වර්ගීකරණය කර ඇත).
එබැවින් කාන්තාවන් තුළ අසුභ නිමිති ඇති බව ප්‍රකාශ කළේ නබිතුමා නොවන බව අපට පෙනී යයි. සැබවින්ම උන්වහන්සේ කළේ අඥාන යුගයේ මිනිසුන් මෙසේ සිතූ බව සඳහන් කිරීම සහ එවැනි මතයක් දැරීම ගැන යූදෙව්වන්ව හෙළා දැකීමයි. සිදු වූයේ සමහර සගයන්ට උන්වහන්සේගේ ප්‍රකාශයෙන් කොටසක් පමණක් ඇසීමෙන් පැටලිලි සයගත භවක් ඇති වීමයි. එය විශ්වාසවන්තයන්ගේ මෑණියන් වන සෙයිදිතා ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ පැහැදිලි වචනවලින් නිරවුල් විය.

සැබවින්ම පොදුවේ මෙම විෂය ගැන සහ විශේෂයෙන් කාන්තාවන් ගැන ඉස්ලාම් දහම පවසන්නේ මෙයයි;

قال سمعت رسول الله صلى الله عليه وسلم يقول لا شؤم وقد يكون اليمن في ثلاثة في المرأة والفرس والدار

මහ්මර් බින් මුආවියා පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසනු මට ඇසුණි: “අසුභ නිමිති විශ්වාස නොකරන්න, සුභ ශක්තිය/වාසනාව ඇත්තේ කරුණු තුනකය: කාන්තාව, අශ්වයා සහ නිවසයෙහිය.”
(සුනන් ඉබ්නු මාජා හදීස් 1993. අල්බානි තුමා මෙය සහීහ් ලෙස වර්ගීකරණය කර ඇත)

සැලකිය යුතුයි: ඉහත බුහාරි හි සඳහන් හදීසය මගින් හදීස් එකතුවල විශ්වාසනීයත්වයට හෝ පොදුවේ හදීස්වල අධිකාරී බලයට කිසිදු සැකයක් ඇති නොකරයි. එයින් අවධාරණය කරන්නේ කිසියම් නිගමනයකට පැමිණීමට පෙර හදීස් පිළිබඳ පුළුල් හා ගැඹුරු දැනුමක් තිබීමේ වැදගත්කමයි. කොටසක් පමණක් කියවා නිගමනවලට එළඹීම සැබවින්ම කණගාටුදායකය.

Loading