නබිතුමා ﷺ සමඟ විවාහ වන අවස්ථාවේ කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස

සාරාංශය

නූතන යුගය ආරම්භ වීමත් සමඟ නබි මුහම්මද් ﷺ තුමාගේ ජීවිත චරිතයට අදාළ තොරතුරු දැඩි විමර්ශනයකට ලක්ව ඇති අතර, ඇතැම් අවස්ථාවල ඒවා නැවත අර්ථකථනය කිරීමට (Revisionism) ද උත්සාහ කර ඇත. එවැනි විවාදයන් අතුරින් එකක් වනුයේ, කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය නබිතුමා ﷺ සමඟ විවාහ වන විට ඇයගේ වයස පිළිබඳවයි.

මෙම ලිපියෙහි, එම වයස සම්බන්ධයෙන් පාරම්පරික මූලාශ්‍රවල සඳහන් විවිධ මතයන් විමර්ශනය කරමින්, විශ්ලේෂණාත්මක පදනමක් මත, මුල්ම ඉතිහාස මූලාශ්‍රවලින් ලැබෙන සාක්ෂි අනුව ප්‍රචලිත අවුරුදු හතළිහ (40) යන මතයට ප්‍රබල පදනමක් ඇති බවත්, මෑත කාලයේ නැවත ප්‍රචලිත වී ඇති අවුරුදු විසිඅට (28) යන මතය ඊට සාපේක්ෂව දුර්වල හා සීමිත සම්ප්‍රදායක් මත පදනම් වූවක් බවත් තහවුරු කිරීමට උත්සාහ දරයි.

1. හැඳින්වීම

මුස්ලිම් හා පෙරදිග විද්වත් (Orientalist) ඉතිහාසඥයන්ගේ බහුතර එකඟතාවය වන්නේ, අල්ලාහ්ගේ දූතයාණන් ﷺ සමඟ විවාහ වන අවස්ථාවේ ඔහුගේ පළමු බිරිඳ වූ කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු හතළිහක් වූ බවයි.

එහෙත් පසුගිය දශක කිහිපය තුළ, ඇතැම් විද්වතුන් ඇයගේ සැබෑ වයස අවුරුදු විසිඅටක් බවට මත පළ කර ඇත. මෙම අදහස ප්‍රචලිත කළ විද්වතුන් අතර ආචාර්ය මුහම්මද් හමීදුල්ලාහ් සහ ආචාර්ය අක්රම් දියා අල්-උම්රී යන මහත්වරුන් ප්‍රධාන වෙති. මෑත කාලයේ ජනප්‍රිය දේශකයෙකු වන ආචාර්ය යාසිර් කාදී ද, විවාහ වන විට කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු විසිඅටක් වූ බවට ඇති මතය වඩාත් ප්‍රබල මතය බව ප්‍රකාශ කර ඇත.

අද වන විට අල්ලාහ්ගේ දූතයාණන් ﷺගේ චරිතාපදානය සම්බන්ධ කරුණු විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් වන බැවින්, මෙම නව මතයත් සමඟ, සාම්ප්‍රදායික හා වඩාත් ප්‍රසිද්ධ මතය පසුකාලීන ආරක්ෂාකාරී අරමුණු මත ගොඩනැගුණු එකක් බවට ද අදහසක් ඉදිරිපත් වී ඇත.

එබැවින්, මේ පිළිබඳව පවතින සියලු සාක්ෂි නිවැරදිව හා විද්වත් ආකාරයෙන් විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම ලිපිය එම අරමුණ ඉටු කිරීමට ගත් උත්සාහයකි.

කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය විවාහ වන විට ඇයගේ වයස පිළිබඳ විවිධ මතයන් ඉතිහාසයේ වාර්තා වී ඇත. පුදුමයට කරුණක් ලෙස, අවුරුදු තිහ [1] සහ අවුරුදු හතළිස් පහ [2] යන වයස් ද ඇතැම් වාර්තාවල සඳහන් වේ. එහෙත් වඩාත් ප්‍රසිද්ධ හා වැඩි වශයෙන් සාකච්ඡා වී ඇත්තේ අවුරුදු හතළිහ යන මතය සහ අවුරුදු විසිඅට යන මතයයි.

2. කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු හතළිහක් වූ බවට තිබෙන්නා වූ සාක්ෂි

ප්‍රචලිත අවුරුදු හතළිහ යන මතයට සාක්ෂි වර්ග දෙකක් ඇත.

පළමුවැන්න, නබිතුමා ﷺ සමඟ විවාහ වන අවස්ථාවේ කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස පැහැදිලිව සඳහන් කරන වාර්තා වේ.

දෙවැන්න, නබිත්වය ප්‍රකාශ කිරීමෙන් පසු දසවන වසරේ ඇයගේ මරණය සිදු වූ අවස්ථාවේ ඇයගේ වයස සඳහන් කරන හදීස් වාර්තා වේ.

2.1 විවාහ වන අවස්ථාවේ වයස පැහැදිලිව සඳහන් කරන වාර්තා

කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය විවාහ වන විට අවුරුදු හතළිහක් වයසැති වූ බව තහවුරු කරන වාර්තා හතරක් පවතී. ඉන් දෙකක් ඇයගේ බෑණනුවන් වූ හකීම් ඉබ්නු හිසාම් (Hakim bin Hizam) වෙතින් වාර්තා වී ඇත.

أخبرنا محمد بن عمر. أخبرنا المنذر بن عبد الله الحزامي عن موسى بن عقبة عن أبي حبيبة مولى الزبير قال: سمعت حكيم بن حزام يقول: تزوج رسول الله – صلى الله عليه وسلم – خديجة وهي ابنة أربعين سنة ورسول الله – صلى الله عليه وسلم – ابن خمس وعشرين سنة. وكانت خديجة أسن مني بسنتين. وولدت قبل الفيل بخمس عشرة سنة وولدت أنا قبل الفيل بثلاث عشرة سنة.

මුහම්මද් ඉබ්නු උමර් (අල්-වාකිදී) අපට මෙසේ වාර්තා කළේය. අල්-මුන්සිර් ඉබ්නු අබ්දුල්ලාහ් අල්-හිසාමී, මූසා ඉබ්නු උක්බා වෙතින් ද, ඔහු අබූ හබීබා (අස්-සුබෛර්ගේ නිදහස් කරන ලද සේවකයා) වෙතින් ද වාර්තා කළේය. ඔහු මෙසේ පැවසීය:

මම හකීම් ඉබ්නු හිසාම් මෙසේ පවසනු ඇසුවෙමි. අල්ලාහ්ගේ දූතයාණන් කදීජා (රළියල්ලාහු අන්හා) සමඟ විවාහ වන විට ඇයගේ වයස අවුරුදු හතළිහක් වූ අතර, දූතයාණන් ගේ වයස අවුරුදු විසිපහක් විය. කදීජා මට වඩා අවුරුදු දෙකකින් වැඩිමහල් වූවාය. ඇය ඇතාගේ සිද්ධියට (عام الفيل) වසර පහළොවකට පෙර උපත ලැබූ අතර, මා උපත ලැබුවේ එයට වසර දහතුනකට පෙරය.”[3]

තවත් වාර්තාවක මෙසේ සඳහන් වේ.

أخبرنا محمد بن عمر. أخبرنا مغيرة بن عبد الرحمن الأسدي عن أهله قالوا: سألنا حكيم بن حزام أيهما كان أسن رسول الله – صلى الله عليه وسلم – أو خديجة. فقال: كانت خديجة أسن منه بخمس عشرة

මුහම්මද් ඉබ්නු උමර් (අල්-වාකිදී) වාර්තා කළේය. මුගීරා ඉබ්නු අබ්දුර් රහ්මාන් අල්-අසදී තම පවුලේ අය වෙතින් මෙසේ වාර්තා කළේය.

අපි හකීම් ඉබ්නු හිසාම්ගෙන්, අල්ලාහ්ගේ දූතයාණන් සහ කදීජා අතරින් වයසින් වැඩිමහල් කවුදැයි විමසුවෙමු. එවිට ඔහු පැවසුවේ, කදීජා දූතයාණන් වඩා අවුරුදු පහළොවකින් වැඩිමහල් වූවාය. යනුවෙනි[4]

තෙවන වාර්තාව පැමිණෙන්නේ, කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ විවාහ යෝජනාව දූතයාණන් ﷺ වෙත ගෙන ගිය නෆීසා බින්ත් මුන්යා වෙතිනි. විවාහ යෝජනාව හා විවාහය පිළිබඳ ඇයගේ දීර්ඝ වාර්තාව අවසානයේ, ඇය දෙදෙනාගේ වයස් ද සඳහන් කරයි.

මුහම්මද් ඉබ්නු සඅද් මෙසේ සඳහන් කරයි.

قال: أخبرنا محمد بن عمر بن واقد الأسلمي. أخبرنا موسى بن شيبة عن عميرة بنت عبيد الله بن كعب بن مالك عن أم سعد بنت سعد بن الربيع عن نفيسة بنت منيةقالت: … وتزوجها رسول الله – صلى الله عليه وسلم – وهو ابن خمس وعشرين سنة. وخديجة يومئذ بنت أربعين سنة. ولدت قبل الفيل بخمس عشرة سنة

මුහම්මද් ඉබ්නු උමර් (අල්-වාකිදී) මූසා ඉබ්නු ශෛබා වෙතින් ද, ඔහු උමෛරා බින්ත් උබෛදුල්ලාහ් වෙතින් ද, ඇය උම්මු සඅද් බින්ත් සඅද් වෙතින් ද, ඇය නෆීසා බින්ත් මුන්යා වෙතින් ද මෙසේ වාර්තා කළාය.

“…අල්ලාහ්ගේ දූතයාණන් ඇය සමඟ විවාහ වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය. එම අවස්ථාවේ කදීජාගේ වයස අවුරුදු හතළිහක් විය. ඇය ඇතාගේ සිද්ධියට වසර පහළොවකට පෙර උපත ලැබුවාය.”[5]

මීට අමතරව, අල්-වාකිදී (හි.207/737) මෙසේ වාර්තා කරයි.

حدثنا محمد بن عبد الله، عن الزهري، قال: وحدثنا كثير بن زيد، عن المطلب بن عبد الله بن حنطب قالا: كانت أول امرأة تزوجها رسول الله صلى الله عليه وسلم قبل النبوة خديجة بنت خويلد … ثم تزوجها رسول الله – صلى الله عليه وسلم – وهو يومئذ ابن خمس وعشرين سنة وخديجة ابنة أربعين سنة

මුහම්මද් ඉබ්නු අබ්දුල්ලාහ් අස්-සුහ්රී වෙතින් ද, කසීර් ඉබ්නු සෛද් අල්-මුත්තලිබ් ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු හන්තබ් වෙතින් ද වාර්තා කළහ.

නබිත්වය ලැබීමට පෙර අල්ලාහ්ගේ දූතයාණන් විවාහ කරගත් පළමු කාන්තාව වූයේ කදීජා බින්ත් කුවෛලිද්යපසුව දූතයාණන් ඇය සමඟ විවාහ වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහක් වූ අතර, කදීජාගේ වයස අවුරුදු හතළිහක් විය.”[6]

එසේම, අත්-තබරී (310/923) හිෂාම් ඉබ්නු මුහම්මද් අල්-කල්බීගේ වචන මෙසේ උපුටා දක්වයි.

قال هشام بن محمد: نكح رسول الله ص خديجة، وهو ابن خمس وعشرين سنة، وخديجة يومئذ ابنة أربعين سنة.

හිෂාම් ඉබ්නු මුහම්මද් (අල්-කල්බී) මෙසේ ප්‍රකාශ කළේය.

අල්ලාහ්ගේ දූතයාණන් හදීජා සමඟ විවාහ වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහක් වූ අතර, කදීජාගේ වයස එවකට අවුරුදු හතළිහක් විය.”[7]

2.2 කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මරණය සිදු වූ අවස්ථාවේ වයස පිළිබඳ වාර්තා

කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය, නබිත්වය ප්‍රකාශ කිරීමෙන් පසු දසවන වසරේදී, එනම් අල්ලාහ්ගේ දූතයාණන් ﷺ සමඟ විවාහ වී වසර විසිපහකට පසු මියගිය බව ඉතිහාසමය වශයෙන් තහවුරු වී ඇත.

عن هشام بن عروة قال: توفيت خديجة بنت خويلد رضي الله عنها وهي ابنة خمس وستين سنة

හිෂාම් ඉබ්නු උර්වා මෙසේ පැවසීය.

කදීජා බින්ත් ඛුවෛලිද් (රළියල්ලාහු අන්හා) තුමිය මිය යන විට ඇයගේ වයස අවුරුදු හැටපහක් විය.”[8]

තවත් වාර්තාවක මෙසේ සඳහන් වේ.

محمد بن صالح، وعبد الرحمن بن عبد العزيز، قالا: توفيت خديجة لعشر خلون من شهر رمضان وذلك قبل الهجرة بثلاث سنين وهي يومئذ بنت خمس وستين سنة

මුහම්මද් ඉබ්නු සාලිහ් සහ අබ්දුර්රහ්මාන් ඉබ්නු අබ්දුල්අසීස් දෙදෙනාම මෙසේ පවසා ඇත.

කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය රමළාන් මාසයේ දසවන දින මිය ගියාය. එය හිජ්රතයට වසර තුනකට පෙර සිදු වූ අතර, එම අවස්ථාවේ ඇයගේ වයස අවුරුදු හැටපහක් විය.”[9]

එසේම, අල්-වාකිදී ද ඉහත පළමු වාර්තාවේම සම්ප්‍රේෂකයන් මඟින් මෙසේ වාර්තා කරයි.

حكيم بن حزام يقول: توفيت خديجة بنت خويلد في شهر رمضان سنة عشر من النبوة وهي يومئذ بنت خمس وستين

හකීම් ඉබ්නු හිසාම් මෙසේ පැවසීය.

හදීජා බින්ත් කුවෛලිද් නබිත්වයේ දසවන වසරේ රමළාන් මාසයේදී මිය ගියාය. එවකට ඇයගේ වයස අවුරුදු හැටපහක් විය.”[10]

එලෙසම, අස්-සුහ්රී සහ අල්-මුත්තලිබ් ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු හන්තබ්ගේ වාර්තාවේද මෙසේ සඳහන් වේ.

وتوفيت خديجة لعشر خلون من شهر رمضان في السنة العاشرة من النبوة قبل الهجرة بثلاث سنين وهي بنت خمس وستين سنة

කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය නබිත්වයේ දසවන වසරේ රමළාන් මාසයේ දසවන දින, හිජ්රතයට වසර තුනකට පෙර මිය ගියාය. එවකට ඇයගේ වයස අවුරුදු හැටපහක් විය.”[11]

2.3 හකීම් ඉබ්නු හිසාම්ගේ වයස සමඟ කරන සංසන්දනය

කලින් සඳහන් කළ පරිදි, හකීම් ඉබ්නු හිසාම් හදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ බෑණනුවන් වූ අතර, ඔහු ඇයට වඩා අවුරුදු දෙකකින් පමණක් බාල විය.

විවිධ ඉතිහාස මූලාශ්‍ර අනුව, ඔහු හිජ්රී 54 වසරේදී වයස අවුරුදු 120 දී මිය ගිය බව සඳහන් වේ.[12]

මෙයින් පැහැදිලි වන්නේ, හකීම් ඉබ්නු හිසාම් අල්ලාහ්ගේ දූතයාණන් ﷺට වඩා අවුරුදු දහතුනකින් වැඩිමහල් වූ බවයි. එවිට කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය නබිතුමා ﷺට වඩා අවුරුදු පහළොවකින් වැඩිමහල් වූ බවද තහවුරු වේ. ඒ අනුව, හදීජාගේ වයස අවුරුදු හතළිහක් වූ බවට ඇති මතය තවදුරටත් ශක්තිමත් වේ.

3. කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු විසිඅටක් වූ බවට ඇති සාක්ෂි

පැහැදිලිව සඳහන් කරන වාර්තා අනුව, අවුරුදු විසිඅට යන මතය පදනම් වී ඇත්තේ වාර්තා දෙකක් මත පමණි.

أخبرنا هشام بن محمد بن السائب عن أبيه عن أبي صالح عن ابن عباس قال:كانت خديجة يوم تزوجها رسول الله – صلى الله عليه وسلم – ابنة ثمان وعشرين سنة

හිෂාම් ඉබ්නු මුහම්මද් ඉබ්නු අස්-සාඉබ්, තම පියා (මුහම්මද් ඉබ්නු අස්-සාඉබ් අල්-කල්බී) වෙතින් ද, ඔහු අබූ සාලිහ් වෙතින් ද, ඔහු ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) වෙතින් ද මෙසේ වාර්තා කරයි.

අල්ලාහ්ගේ දූතයාණන් කදීජා සමඟ විවාහ වන අවස්ථාවේ ඇයගේ වයස අවුරුදු විසිඅටක් විය.”[13]

තවත් වාර්තාවක මෙසේ සඳහන් වේ.

عن محمد بن إسحاق، أن أبا طالب وخديجة بنت خويلد هلكا في عام واحد، وذلك قبل مهاجر النبي صلى الله عليه وسلم إلى المدينة بثلاث سنين، ودفنت خديجة بالحجون، ونزل في قبرها رسول الله صلى الله عليه وسلم، وكان لها يوم تزوجها ثمان وعشرون سنة

මුහම්මද් ඉබ්නු ඉස්හාක් මෙසේ පවසයි.

අබූ තාලිබ් සහ හදීජා බින්ත් ඛුවෛලිද් එකම වසරේදී මිය ගියහ. එය අල්ලාහ්ගේ දූතයාණන් මදීනාවට හිජ්රත් කිරීමට වසර තුනකට පෙර සිදු විය. හදීජා (රළියල්ලාහු අන්හා) අල්හජූන් සුසාන භූමියේ තැන්පත් කරන ලද අතර, අල්ලාහ්ගේ දූතයාණන් ඇයගේ සොහොනට බැස ඇයව භූමදානය කළහ. නබිතුමා ඇය සමඟ විවාහ වන විට ඇයගේ වයස අවුරුදු විසිඅටක් විය.”[14]

4. සාක්ෂි පිළිබඳ සංසන්දනාත්මක විශ්ලේෂණය

ඉහත සඳහන් මත දෙක සඳහා ඉදිරිපත් කරන ලද සාක්ෂි විවිධ අංශ ඔස්සේ සංසන්දනය කළ හැකිය.

4.1 වාර්තා සංඛ්‍යාව

මෙම මත දෙකට අදාළ වාර්තා සංඛ්‍යාව අතර ඉතා සැලකිය යුතු වෙනසක් පවතී.

අවුරුදු හතළිහ යන මතය සඳහා,

  • හකීම් ඉබ්නු හිසාම්ගෙන් වාර්තා තුනක්,
  • නෆීසා බින්ත් මුන්යාගෙන් එක් වාර්තාවක්,
  • අස්-සුහ්රීගෙන් එක් වාර්තාවක්,
  • අල්-මුත්තලිබ් ඉබ්නු අබ්දුල්ලාහ් ඉබ්නු හන්තබ්ගෙන් එක් වාර්තාවක්,
  • හිෂාම් ඉබ්නු මුහම්මද් අල්-කල්බීගෙන් එක් වාර්තාවක්,
  • හිෂාම් ඉබ්නු උර්වාගෙන් එක් වාර්තාවක්,
  • මුහම්මද් ඉබ්නු සාලිහ්ගෙන් එක් වාර්තාවක්,
  • අබ්දුර්රහ්මාන් ඉබ්නු අබ්දුල් අසීස්ගෙන් එක් වාර්තාවක්

යන ලෙස වාර්තා රැසක් ඇත.

නමුත් අවුරුදු විසිඅට යන මතයට ඇත්තේ වාර්තා දෙකක් පමණි.

  1. ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) වෙතින් අල්-කල්බී හරහා සහ.
  2. ඉබ්නු ඉස්හාක්ගේ වාර්තාව.

4.2 වාර්තාවල විශ්වසනීයත්වය

අවුරුදු හතළිහ යන මතයට අදාළ වාර්තා අතරින් එකක් හැර අනෙක් සියල්ලම මුහම්මද් ඉබ්නු උමර් අල්-වාකිදී මඟින් සම්ප්‍රේෂණය වී ඇත.

අල්-වාකිදී පිළිබඳ හදීස් විද්වතුන් දැඩි විවේචන ඉදිරිපත් කර තිබුණද,[15] ඉතිහාසය, විශේෂයෙන්ම සහාබාවරුන්ගේ චරිත හා නබිතුමා ﷺගේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් ඔහු සතුව තිබූ පුළුල් දැනුම නිසා ඉතිහාසඥයන් ඔහුව නොවැළැක්විය හැකි මූලාශ්‍රයක් ලෙස සලකති.[16]

අනෙක් අතට, අවුරුදු විසිඅට යන මතයට අදාළ ඉබ්නු අබ්බාස්ගේ වාර්තාව පැමිණෙන්නේ හදීස් විද්වතුන් “බොරු සම්ප්‍රේෂණ දාමය” (Silsilat al-Kadhib) ලෙස ප්‍රකට කර ඇති අබූ සාලිහ් මුහම්මද් ඉබ්නු සාඉබ් අල්කල්බී යන දාමය මඟිනි.[17]

එපමණක් නොව, විද්වතුන් සඳහන් කර ඇත්තේ, අල්-වාකිදීට විවේචන තිබුණද, ඔහු අල්-කල්බී පිය පුතුන්ට වඩා බොහෝ විශ්වසනීය බවයි.

ඉබ්නු තෛමියියා (රහිමහුල්ලාහ්) මෙසේ සඳහන් කරයි.

ومعلوم أن الواقدي نفسه خير عند الناس من مثل هشام بن الكلبي وأبيه محمد بن السائب وأمثالهما

ජනතාව අතර අල්වාකිදී, හිෂාම් ඉබ්නු අල්කල්බී, ඔහුගේ පියා මුහම්මද් ඉබ්නු අස්සාඉබ් සහ ඔවුන් වැනි අයට වඩා උසස් තත්ත්වයේ පුද්ගලයෙකු බව ප්‍රකට කරුණකි.”[18]

4.3 මුල් තොරතුරු සපයන්නන්

අවුරුදු හතළිහ යන මතයේ මුල් වාර්තාකරුවන් වන්නේ,

  • කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ බෑණනුවන් වූ, ඇයට වඩා අවුරුදු දෙකකින් පමණක් බාල හකීම් ඉබ්නු හිසාම්, සහ
  • විවාහ යෝජනාව රැගෙන ගිය නෆීසා බින්ත් මුන්යා ය.

නමුත් අවුරුදු විසිඅට යන මතයේ එකම සහාබා වාර්තාකරු වන ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා), කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මරණයෙන් පසුව හෝ එම කාලසීමාවේදී උපත ලැබූ අයෙකි.[19]

අනෙක් සියලු වාර්තාකරුවන් පසු පරම්පරාවල අය වෙති.

4.4 වාර්තාවල අනුකූලතාව

අවුරුදු හතළිහ යන මතය සඳහා ඇති වාර්තා අතර අනුකූලතාවක් දක්නට ලැබේ. එහි ප්‍රධාන සම්ප්‍රේෂකයා වන අල්-වාකිදී ඇතුළු වාර්තාකරුවන් කිසිවෙකු වෙනත් වයසක් සඳහන් කර නැත.[20]

නමුත් අවුරුදු විසිඅට යන මතයේ සම්ප්‍රේෂණ දාමයේ සිටින හිෂාම් ඉබ්නු මුහම්මද් අල්-කල්බී, අත්-තබරී විසින් උපුටා දක්වනු ලබන තවත් වාර්තාවක අවුරුදු හතළිහ යන මතයද ඉදිරිපත් කරයි.

4.5 විද්වතුන් අතර පිළිගැනීම

මුල්කාලීන සහ පසුකාලීන විද්වතුන් අතර පිළිගැනීම සැලකූ විටද අවුරුදු හතළිහ යන මතය පැහැදිලිවම ප්‍රමුඛ ස්ථානයක් ගනී.

අල්-වාකිදී, මෙම මතයට වාර්තා ගණනාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ සඳහන් කරයි.

ونحن نقول ومن عندنا من أهل العلم إن خديجة ولدت قبل الفيل بخمس عشرة سنة. وإنها كانت يوم تزوجها رسول الله – صلى الله عليه وسلم – بنت أربعين سنة.

අපද, අප සමඟ සිටින විද්වතුන්ද පවසන්නේ, කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය අලියාගේ සිද්ධියට වසර පහළොවකට පෙර උපත ලැබූ බවත්, අල්ලාහ්ගේ දූතයාණන් ඇය සමඟ විවාහ වන විට ඇයගේ වයස අවුරුදු හතළිහක් වූ බවත්ය.”[21]

එසේම, මුල්කාලීන තවත් ප්‍රකට ඉතිහාසඥයෙකු වන අල්-බලාධුරී මෙසේ සඳහන් කරයි.

وتزوج رسول الله صلى الله عليه وسلم خديجة وهو ابن خمس وعشرين سنة، وهي ابنة أربعين سنة. وذلك الثبت عند العلماء

අල්ලාහ්ගේ දූතයාණන් කදීජා සමඟ විවාහ වන විට ඔහුගේ වයස අවුරුදු විසිපහක් වූ අතර, ඇයගේ වයස අවුරුදු හතළිහක් විය. විද්වතුන් අතර ස්ථිරව පිළිගත් මතය මෙයයි.”[22]

ඉබ්නු හබීබ්, අල්-මුතහ්හිර් අල්-මක්දිසී, අල්-මාවර්දී, ඉබ්නු අබ්දුල්බර්, ඉබ්නු අල්-ජව්සී, ඉබ්නු අල්-අසීර්, ඉබ්නු සෛයිද් අන්-නාස්, ඉබ්නු ජමාඅහ් අල්-කිනානී, අල්-මක්රීසී, අල්-මාල්තී සහ අස්-සර්කානී ඇතුළු විද්වතුන් ද අවුරුදු හතළිහ යන මතය පිළිගෙන හෝ එය ස්ථිර මතයක් ලෙස ඉදිරිපත් කර ඇත.[23–33]

අනෙක් අතට, අවුරුදු විසිඅට යන මතය ප්‍රමුඛ ලෙස පිළිගත් විද්වතුන් සංඛ්‍යාව ඉතා සීමිතය.

අල්-හාකිම් (හි.405/1015) පමණක් මෙම මතයට අනුග්‍රහය දක්වමින්, හිෂාම් ඉබ්නු උර්වාගේ අවුරුදු හතළිහ යන වාර්තාව සඳහන් කිරීමෙන් පසු මෙසේ පවසයි.

هذا قول شاذ، فإن الذي عندي أنها لم تبلغ ستين سنة

මෙය විරල (ශාද්) මතයකි. මගේ අදහස අනුව ඇයගේ වයස අවුරුදු හැට දක්වා නොපැමිණියේය.”[34]

එබැවින්, ප්‍රකට විද්වතුන් අතරින් අවුරුදු විසිඅට යන මතය අවුරුදු හතළිහ යන මතයට වඩා ප්‍රමුඛ කර ඇත්තේ අල්-හාකිම් පමණක් බව පැහැදිලි වේ. අනෙක් අතට, අල්-වාකිදී, අල්-බලාධුරී සහ ඔවුන්ගේ සමකාලීනයන් මෙන්ම ඔවුන්ගෙන් පසුව පැමිණි ප්‍රසිද්ධ විද්වතුන් බහුතරයම කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය නබිතුමා සමඟ විවාහ වන විට ඇයගේ වයස අවුරුදු හතළිහක් වූ බවට ඇති මතය පැහැදිලිව අනුමත කර ඇත.

4.1 මුස්අබ් ඉබ්නු අබ්දුල්ලාහ්ගේ ප්‍රකාශය ලෙස පවසන අදහස පිළිබඳ විමර්ශනය

ඇතැම් පර්යේෂකයන්, මුස්අබ් ඉබ්නු අබ්දුල්ලාහ් අල්සුබෛරී (හි.236/851) වෙත ආරෝපණය කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින්, ඔහුද කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය විවාහ වන විට අවුරුදු විසිඅටක් විය යන මතය පිළිගත් බව ප්‍රකාශ කර ඇත.[35]

කෙසේ වෙතත්, එම ප්‍රකාශය විමර්ශනය කිරීමට පෙර, ඒ සඳහා සාක්ෂියක් ලෙස උපුටා දක්වන ලද මුල් පාඨය සම්පූර්ණයෙන්ම විමසා බැලීම වැදගත්ය.

අල්-බෛහකී (හි. 458 / 1066) මෙසේ සඳහන් කරයි.

قال أبو عبد الله: قرأت بخط أبي بكر بن أبي خيثمة قال: حدثنا مصعب بن عبد الله الزبيري قال: أكبر ولد رسول الله صلى الله عليه وسلم القاسم , ثم زينب، ثم عبد الله، ثم أم كلثوم، ثم فاطمة، ثم رقية قال مصعب: هم هكذا: الأول فالأول، ثم مات القاسم وهو أول ميت من ولده، مات بمكة، ثم مات عبد الله، ثم بلغت خديجة خمسا وستين سنة، ويقال خمسين سنة وهو أصح،

අබූ අබ්දුල්ලාහ් [අල්-හාකිම්] මෙසේ පැවසීය.

මම අබූ බක්ර් ඉබ්නු අබී හයිසමාගේ අත්පිටපතෙහි මෙසේ කියවා ඇත්තෙමි: මුස්අබ් ඉබ්නු අබ්දුල්ලාහ් අල්සුබෛරී අපට මෙසේ වාර්තා කළේය. අල්ලාහ්ගේ දූතයාණන් ගේ පළමු දරුවා අල්කාසිම්ය. ඊළඟට සයිනබ්, පසුව අබ්දුල්ලාහ්, ඉන්පසු උම්මු කුල්සූම්, පසුව ෆාතිමා, අවසානයේ රුකයියා ය. මුස්අබ් පැවසුවේ, ඔවුන්ගේ උපත් අනුපිළිවෙල මෙසේය. පසුව අල්කාසිම් මිය ගියේය. නබිතුමාගේ දරුවන් අතරින් මුලින්ම මියගියේ ඔහුය. ඔහු මක්කාවේදී මිය ගියේය. ඉන්පසු අබ්දුල්ලාහ් මිය ගියේය. වන විට කදීජාගේ වයස අවුරුදු හැටපහක් වී තිබුණි. තවත් මතයක් අනුව ඇයගේ වයස පනහක් වූ බව කියනු ලබන අතර, එය වඩාත් නිවැරදි මතය බව සඳහන් වේ.”[36]

පළමු බැල්මට, මෙම උපුටා දැක්වීමේ අවසාන කොටස—අපගේ විෂයයට අදාළ වන කදීජාගේ වයස පිළිබඳ ප්‍රකාශයද—මුස්අබ් ඉබ්නු අබ්දුල්ලාහ්ගේම වචන බවක් පෙනී යා හැකිය.

එහෙත්, සත්‍ය වශයෙන්ම එය එසේ නොවේ.

වාසනාවකට මෙන්, මුස්අබ් ඉබ්නු අබ්දුල්ලාහ්ගේ මුල් කෘතිය අද දක්වා සුරක්ෂිතව පවතින අතර, එය නසබ් කුරෛෂ් නමින් ප්‍රකාශයට පත් කර ඇත.

එම කෘතියේ මෙම වාර්තාව පහත පරිදි සඳහන් වේ.

فولد رسول الله – صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ -: القاسم، وهو أكبر ولده؛ ثم زينب؛ ثم عبد الله؛ ثم أم كلثوم، ثم فاطمة؛ ثم رقية؛ هم هكذا، الأول فالأول. ثم مات عبد الله. ثم ولدت له مارية بنت شمعون بن إبراهيم، وهي القبطية التي أهداها إلى رسول الله – صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ – المقوقس صاحب الإسكندرية، …

අල්ලාහ්ගේ දූතයාණන් මුලින්ම උපන්නේ අල්කාසිම්ය. ඔහු දරුවන් අතරින් වැඩිමහල්යා විය. ඉන්පසු සයිනබ්, අබ්දුල්ලාහ්, උම්මු කුල්සූම්, ෆාතිමා සහ රුකයියා උපත ලැබූහ. ඔවුන්ගේ උපත් අනුපිළිවෙල මෙයයි. පසුව අබ්දුල්ලාහ් මිය ගියේය. ඉන් අනතුරුව මාරියා බින්ත් ශම්ඌන් නබිතුමා ඉබ්රාහීම් නම් පුත්‍රයෙකු බිහි කළාය. ඇය අලෙක්සැන්ඩ්‍රියාවේ පාලක මුකව්කිස් විසින් නබිතුමා ත්‍යාග කළ කිබ්ති කාන්තාවකි…”[37]

මුස්අබ්ගේම කෘතිය සෘජුවම පරීක්ෂා කළ විට පැහැදිලි වන්නේ, කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස පිළිබඳ කිසිදු සඳහනක් එහි නොමැති බවයි.

පසුකාලීන විද්වතුන් රැසක් මෙම කොටස, මුස්අබ්ගේ බෑණනුවන් වූ සුබෛර් අල්බක්කාර් (හි. 256/870) වෙතින් උපුටා දක්වා ඇත. ඔවුන්ගේ උපුටා දැක්වීම්වලද සාමාන්‍යයෙන් කදීජාගේ වයස පිළිබඳ කිසිදු අදහසක් සඳහන් නොවේ.[38]

ඔවුන්ගෙන් සමහරෙක්, ඉබ්නු අසාකීර් (හි.571 /1176) [39] සහ ඉබ්නු කසීර් (හි.774 / 1373) [40] වැනි විද්වතුන්, මුස්අබ්ගේ සම්පූර්ණ වාර්තාව — නබිතුමා ﷺ ගේ දරුවන්ගේ උපත්, හදීජාගෙන් ලැබුණු පුතුන්ගේ මරණය සහ පසුව මාරියාගෙන් ඉබ්රාහීම්ගේ උපත—දක්වා සම්පූර්ණයෙන්ම උපුටා දක්වති.

අනෙක් අතට, ඉබ්නු මන්දා (හි. 395 / ක්‍රි.ව. 1005) [41] සහ ඉබ්නු අබ්දුල්බර් (හි. 463 / ක්‍රි.ව. 1071) [42] වැනි විද්වතුන්, එම කොටසින් පසුව සම්පූර්ණයෙන්ම වෙනත් සාකච්ඡාවකට යොමු වෙති.

මෙම සියලු කෘතිවල කදීජාගේ (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස පිළිබඳ අදහසක් සම්පූර්ණයෙන්ම නොමැති වීම, අල්-බෛහකීගේ කෘතියේ දක්නට ලැබෙන එම අදහස මුස්අබ්ගේම වචන නොවන බවට ප්‍රබල සාක්ෂියකි.

ඒ අනුව, එම අදහස අල්-බෛහකීගේම අදහසක් හෝ, වැඩිම වශයෙන් ගත් කල, ඔහුගේ ගුරු වූ අබූ අබ්දුල්ලාහ් අල්හාකිම්ගේ අදහසක් විය හැකි බව පෙනේ. මීට පෙර සඳහන් කළ පරිදි, අල්-හාකිම් විසින් කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු විසිඅටක් වූ බවට ඇති මතය පිළිගෙන තිබූ බව දන්නා කරුණකි.

මෙම නිගමනය තවදුරටත් තහවුරු කරන කරුණක් වන්නේ, අද ප්‍රකාශයට පත් කර ඇති මුස්අබ්ගේනසබ් කුරෛෂ්කෘතිය, අබූ බක්ර් ඉබ්නු අබී ඛෛථමා (මියගියේ හි. 279 / ක්‍රි.ව. 893) විසින් සම්ප්‍රේෂණය කරන ලද පිටපත මත පදනම් වී තිබීමයි.[43]

අල්-හාකිම් කියවා තිබූ එම අත්පිටපතේම, අද අප සතුව ඇති මුල් කෘතිය තුළ හදීජාගේ වයස පිළිබඳ එම වචන සම්පූර්ණයෙන්ම නොමැති වීම, ඒවා මුස්අබ් ඉබ්නු අබ්දුල්ලාහ් වෙත ආරෝපණය කළ නොහැකි බවට තවත් පැහැදිලි සාක්ෂියක් වේ.

5. ජෛව විද්‍යාත්මක පදනම මත ඉදිරිපත් කරන තාර්කික තර්ක

කෙසේ වෙතත්, පසුගිය සියවස තුළ, ජෛව විද්‍යාත්මක කරුණු පදනම් කර ගනිමින්, කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු හතළිහක් වූ බවට ඇති මතය දුර්වල කිරීමටත්, අනෙකුත් මතයන් ශක්තිමත් කිරීමටත් ඇතැම් පර්යේෂකයන් උත්සාහ කර ඇත.

මෙවැනි තර්ක ඉදිරිපත් කර ඇත්තේ පෙරදිගවාදී (Orientalist) විද්වතුන් පමණක් නොව, මුස්ලිම් සමාජයේ සාම්ප්‍රදායික නොවන විද්වතුන් බොහෝ දෙනාද වේ.

පෙරදිගවාදී විද්වතුන් අතරින් ඩබ්ලිව්. මොන්ට්ගොමරි වොට් (W. Montgomery Watt, මියගියේ 2006) මෙසේ ලියයි.

කදීජාගේ වයස සම්බන්ධයෙන් අතිශයෝක්තියක් සිදුවී තිබිය හැකිය. ඇය නබි මුහම්මද් දරුවන් හත්දෙනෙකු බිහිකළ බව මූලාශ්‍රවල සඳහන් වේ. ඔවුන් නම් අල්කාසිම්, රුකයියා, සයිනබ්, උම්මු කුල්සූම්, ෆාතිමා, අබ්දුල්ලාහ් (අත්තය්යිබ්) සහ අත්තාහීර් . පිරිමි දරුවන් සියල්ලම කුඩා වියේදීම මිය ගියහ. ඉබ්නු සඅද්ගේ එක් මූලාශ්‍රයක සඳහන් පරිදි ඔවුන් වසරකට එක් දරුවෙකු බැගින් උපත ලැබූවා නම්, අවසන් දරුවා උපදින විට කදීජාගේ වයස අවුරුදු හතළිස් අටක් වනු ඇත. එය කිසිසේත්ම අසම්භවයක් නොවේ. එහෙත් එය අසාමාන්‍ය සිදුවීමක් බැවින්, ඉතිහාසඥයන් පිළිබඳ විශේෂයෙන් සඳහන් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එය ප්‍රාතිහාර්යයක් ලෙස පවා සැලකිය හැකි දෙයකි. නමුත් ඉබ්නු හිෂාම්, ඉබ්නු සඅද් හෝ අත්තබරී යන කිසිවෙකුගේ කෘතියක එවැනි අදහසක් හෝ සඳහනක් දක්නට නොලැබේ.”[44]

ආචාර්ය මුහම්මද් හමීදුල්ලාහ් (2002) මෙසේ ලියයි.

බොහෝ ඉතිහාසඥයන්ට අනුව, විවාහ වන විට කදීජාගේ වයස අවුරුදු හතළිහක් විය. නමුත් ඉබ්නු හබීබ් සහ අල්බලාදූරී අපට තහවුරු කරන්නේ ඇයගේ වයස අවුරුදු විසිඅටක් පමණක් වූ බවයි.”[45]

මෙයට යටින් ඇති සටහනක ඔහු තවදුරටත් මෙසේ සඳහන් කරයි.

ජෛව විද්‍යාත්මක පදනම අනුව, මෙම දෙවන වාර්තාව වඩාත් පිළිගත හැකි බව පෙනේ. මන්ද කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය නබිතුමා දරුවන් හත්දෙනෙකු බිහිකළ නිසාය.”[46]

මෙම අදහසම ආචාර්ය අක්රම් දියා අල්උම්රී [47] සහ ආචාර්ය යාසිර් කාදී [48] විසින්ද සඳහන් කර ඇත.

එසේම, ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස සම්බන්ධ සංශෝධනවාදී මතයන් පිළිබඳ දීර්ඝ කෘතියක් රචනා කළ හකීම් නියාස් අහ්මද් ද, මෙවැනිම “තාර්කික” තර්ක පදනම් කර ගනිමින්, හදීජාගේ වයස අවුරුදු හතළිහක් වූ බවට ඇති මතය ප්‍රශ්න කරයි.[49]

කෙසේ වෙතත්, මොන්ට්ගොමරි වොට්ම පිළිගන්නා පරිදි, කාන්තාවක් තම හතළිස් වියේදී දරුවන් බිහිකිරීම කිසිසේත්ම අසම්භවයක් නොවේ.

මෙය විශේෂයෙන්ම සත්‍ය වන්නේ, පෙළපත් විද්‍යාව (Genealogy) පිළිබඳ ප්‍රවීණයෙකු වූ අස්සුබෛර් ඉබ්නු බක්කාර් කළ පහත සඳහන් නිරීක්ෂණය සලකා බැලූ විටය.

قال: الزبير وسمعت علماءنا يقولون لا تحمل امرأة بعد ستين سنة إلا من قريش، ولا بعد خمسين إلا عربية.

අපගේ විද්වතුන් මෙසේ පවසන බව මම අසා ඇත්තෙමි. කුරෛෂ් ගෝත්‍රයට අයත් කාන්තාවක් හැර, අවුරුදු හැටෙන් පසුව කිසිම කාන්තාවක් දරුවන් නොලබයි. එසේම, අරාබි කාන්තාවක් හැර, අවුරුදු පනහෙන් පසුව දරුවන් නොලබයි.”[50]

එසේම, අල්ජාහිස් (හි. 255 / ක්‍රි.ව. 869) ද මෙවැනිම නිරීක්ෂණයක් ඉදිරිපත් කරයි.

أنه يقال إن النساء لا يلدن إذا بلغن الستين إلا ما يحكى عن نساء قريشٍ خاصة

කාන්තාවන් අවුරුදු හැටට පැමිණි පසු දරුවන් නොලබන බව කියනු ලැබේ. එහෙත් කුරෛෂ් ගෝත්‍රයේ කාන්තාවන් පිළිබඳ වාර්තා වන්නේ ඊට වෙනස් ආකාරයකිනි.”[51]

මෙම ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ, අරාබි හෝ කුරෛෂ් ගෝත්‍රයට අයත් කාන්තාවන් තම හතළිස් හෝ පනස් වියේදී දරුවන් ලැබීම අසාමාන්‍ය හෝ විශ්මයජනක සිදුවීමක් නොවූ බවයි.

අස්-සුබෛර් ඉබ්නු බක්කාර්ගේ මෙම ප්‍රකාශය, අවුරුදු හැට ඉක්මවා දරුවෙකු බිහිකළ කාන්තාවකගේ උදාහරණයක් සඳහන් කරන සන්දර්භයකදී ඉදිරිපත් කර ඇත.

මීට තවත් උදාහරණයක් ලෙස, උම්මු අයිමන් (රළියල්ලාහු අන්හා) සඳහන් කළ හැකිය. ඇය සෛද් ඉබ්නු හාරිථා සමඟ විවාහ වූ අතර, උසාමා ඉබ්නු සෛද් බිහිකළේ ඇයගේ වයස අවුරුදු හැටට ආසන්න කාලයේදී බව සඳහන් වේ.[52]

එසේම, ආයිෂා (රළියල්ලාහු අන්හා) විසින්ද, කුරෛෂ් ගෝත්‍රයේ කාන්තාවන් හැර, අවුරුදු පනහ ඉක්මවූ කාන්තාවන්ට ගැබ් ගැනීම ඉතා දුර්ලභ දෙයක් බව සඳහන් කර ඇති බව වාර්තා වේ.[53]

බොහෝ ඉතිහාසඥයන්ගේ මතය අනුව, කදීජා (රළියල්ලාහු අන්හා) තුමියට දියණියන් සිව්දෙනෙකු සහ පුතුන් දෙදෙනෙකු සිටියහ.

ඔවුන් අතර බාලයා වූයේ අබ්දුල්ලාහ්ය. ඔහු නබිත්වය ප්‍රකාශ කිරීමට පෙරද, පසුවද උපත ලැබුවේද යන්න පිළිබඳ විද්වතුන් අතර මතභේදයක් පවතී.[54]

වඩාත් ප්‍රමාද වූ ගණනය අනුව, ඔහු උපත ලැබුවේ නබිත්වය ප්‍රකාශ කිරීමෙන් වසරකට පසුවය. එවකට නබිතුමා ﷺගේ වයස අවුරුදු හතළිස් එකක් වූ අතර, කදීජාගේ (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු පනස් හයක් විය.[55]

එබැවින්, ජෛව විද්‍යාත්මක හේතු හෝ මුල් ඉතිහාසඥයන්ගේ විශ්මය ප්‍රකාශ නොකිරීම වැනි කරුණු පදනම් කර ගනිමින්, මුල් කාලයේ සිටම විද්වතුන් විසින් පුළුල් ලෙස පිළිගෙන ඇති අවුරුදු හතළිහ යන මතය ප්‍රශ්න කිරීම තාර්කික නොවන බව පැහැදිලි වේ.


6. නිගමනය

කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය අල්ලාහ්ගේ දූතයාණන් ﷺ සමඟ විවාහ වන විට අවුරුදු හතළිහක් වයසැති වූවාය යන ප්‍රසිද්ධ මතය, සෘජු හා වක්‍ර යන දෙවර්ගයේම සාක්ෂි සැලකූ විට ඉතාමත් ශක්තිමත් පදනමක් සහිත මතයකි.

ඊට සාපේක්ෂව, අවුරුදු විසිඅට යන මතය ඇතුළු අනෙකුත් සියලු මතයන්, එක්කෝ ඉතා දුර්වල සාක්ෂි මත පදනම් වූ ඒවාය; නැතහොත් කිසිදු විශ්වාසනීය පදනමක් නොමැති මතයන්ය.

එබැවින්, ඉතිහාසමය සාක්ෂි, සම්ප්‍රේෂණ දාමයන්ගේ විශ්වසනීයත්වය, මුල් වාර්තාකරුවන්ගේ ස්ථානය, විද්වතුන්ගේ එකඟතාව සහ සමස්ත විශ්ලේෂණය සැලකූ විට, කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය නබිතුමා සමඟ විවාහ වන විට ඇයගේ වයස අවුරුදු හතළිහක් වූ බවට ඇති සාම්ප්‍රදායික මතය වඩාත් නිවැරදි හා ශක්තිමත් මතය බව මෙම පර්යේෂණය නිගමනය කරයි.

ආශ්‍රිත ග්‍රන්ථ හා සටහන් (References & Notes)

[1] Al-Zarqani, Sharh Mawahib al-Laduniya, Beirut: Dar al-Kotob al-‘Ilmiyya, 1996, වෙළුම 4, පි. 364.

[2] Al-Nawawi, Tahdhib al-Asma’ wa al-Lughat, Beirut: Dar al-Kotob al-‘Ilmiyya, වෙළුම 2, පි. 342.

[3] Ibn Sa‘d, Muhammad, Tabaqat al-Kubra, Beirut: Dar al-Kotob al-‘Ilmiyya, 1990, වෙළුම 8, පි. 13.

[4] එම ග්‍රන්ථය (Ibid.), වෙළුම 8, පි. 12.

[5] එම ග්‍රන්ථය, වෙළුම 1, පි. 105.

[6] එම ග්‍රන්ථය, වෙළුම 8, පි. 174.

[7] Al-Tabari, Muhammad bin Jarir, Tarikh al-Rusul wal Muluk, Beirut: Dar al-Turath, 1387 AH, වෙළුම 2, පි. 180.

[8] Al-Hakim, Abu ‘Abdullah, al-Mustadrak, Beirut: Dar al-Kotob al-‘Ilmiyya, 1990, වෙළුම 3, පි. 201, හදීස් අංක 4838.

[9] Ibn Sa‘d, Tabaqat al-Kubra, වෙළුම 8, පි. 14.

[10] එම ග්‍රන්ථය, වෙළුම 8, පි. 15.

[11] එම ග්‍රන්ථය, වෙළුම 8, පි. 174.

[12] Al-Busti (Ibn Hibban), al-Thiqat, Hyderabad: Da’ira al-Ma‘arif, 1973, වෙළුම 3, පි. 71; Al-Baghawi, Mu‘jam al-Sahaba, Kuwait: Dar al-Bayan, 2000, වෙළුම 2, පි. 112; Al-Nawawi, Tahdhib al-Asma’ wa al-Lughat, වෙළුම 1, පි. 157; Al-Sam‘ani, al-Ansab, Hyderabad: Da’ira al-Ma‘arif, 1962, පි. 214.

[13] Ibn Sa‘d, Tabaqat al-Kubra, වෙළුම 8, පි. 13.

[14] Al-Hakim, al-Mustadrak, වෙළුම 3, පි. 200, හදීස් අංක 4837.

[15] Ibn Hajar al-‘Asqalani, Tahdhib al-Tahdhib, Hyderabad: Da’ira Ma‘arif al-Nizamiyya, 1326 AH, වෙළුම 9, පි. 366–367.

[16] Al-Dhahabi, Tadhkirat al-Huffaz, Beirut: Dar al-Kitab, 1998, වෙළුම 1, පි. 254; එසේම Siyar A‘lam al-Nubala’, Cairo: Dar al-Hadith, 2006, වෙළුම 8, පි. 158; Al-Hamawi, Mu‘jam al-Udaba’, Beirut: Dar al-Gharb al-Islami, 1993, වෙළුම 6, අංක 1096.

[17] Al-Suyuti, Tadrib al-Rawi fi Sharh Taqrib al-Nawawi, Dar al-Tayba, වෙළුම 1, පි. 198.

[18] Ibn Taymiyyah, Majmu‘ al-Fatawa, Madina: King Fahad Printing Press, 1995, වෙළුම 27, පි. 469.

[19] Ibn Hajar al-‘Asqalani, Fath al-Bari, Beirut: Dar al-Ma‘rifa, 1379 AH, වෙළුම 11, පි. 90; එසේම Al-Dhahabi, Siyar A‘lam al-Nubala’, වෙළුම 4, පි. 383.

[20] ඉබ්නු කසීර් විසින් අල්-වාකිදීට කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ වයස අවුරුදු 45 ක් බවට මතයක් ආරෝපණය කර ඇත (al-Sira al-Nabawiyya, Beirut: Dar al-Ma‘rifa, 1976, වෙළුම 4, පි. 581). කෙසේ වෙතත්, එම මතය කිසිදු සම්ප්‍රේෂණ දාමයකින් හෝ පෙර මූලාශ්‍රයකින් තහවුරු නොවන බැවින් එය පිළිගත නොහැක.

[21] Ibn Sa‘d, Tabaqat al-Kubra, වෙළුම 8, පි. 13.

[22] Al-Baladhuri, Ahmad bin Yahya, Ansab al-Ashraf, Beirut: Dar al-Fikr, 1996, වෙළුම 1, පි. 98.

[23]–[34] මෙම සටහන්වල සඳහන් වන්නේ, කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය විවාහ වන විට අවුරුදු හතළිහක් වූ බවට ඇති මතය පිළිගත් හෝ සඳහන් කළ විද්වතුන්ගේ මුල් මූලාශ්‍රයන් සහ, අල්හාකිම් විසින් අවුරුදු විසිඅට යන මතය ඉදිරිපත් කළ ස්ථානයයි. (මුල් ග්‍රන්ථ විස්තර අංක [23] සිට [34] දක්වා බලන්න.)

[35] ආචාර්ය Yasir Qadhi ගේ වීඩියෝ දේශනය: “Mothers of the Believers – Part 3 | Khadija bint Khuwaylid (Part 1)”, කාල පරාසය 1:06:10 – 1:11:35.

[36] Al-Baihaqi, Dala’il al-Nubuwwa, Beirut: Dar al-Kotob al-‘Ilmiyya, 1988, වෙළුම 2, පි. 70–71.

[37] Al-Zubairi, Mus‘ab b. ‘Abdullah, Nasab Quraysh, සංස්කරණය: Évariste Lévi-Provençal, Cairo: Dar al-Ma‘arif, පි. 21.

[38] Al-Tabarani, al-Mu‘jam al-Kabir, Cairo: Maktaba Ibn Taymiyya, 1994, වෙළුම 21, පි. 397, හදීස් අංක 987.

[39] Ibn ‘Asakir, Tarikh Dimashq, Beirut: Dar al-Fikr, 1995, වෙළුම 3, පි. 131.

[40] Ibn Kathir, al-Sira al-Nabawiyya, වෙළුම 4, පි. 608–609.

[41] Ibn Manda, Ma‘rifat al-Sahaba, UAE University Press, 2006, පි. 930.

[42] Ibn ‘Abd al-Barr, al-Isti‘ab fi Ma‘rifat al-Ashab, Beirut: Dar al-Jil, 1992, වෙළුම 4, පි. 1818–1819.

[43] Évariste Lévi-Provençal (සංස්කාරක), Nasab Quraysh, පි. 7–8 (හැඳින්වීම).

[44] Montgomery Watt, Muhammad at Mecca, Oxford University Press, 1953, පි. 38.

[45] Dr. Muhammad Hamidullah, The Life and Work of the Prophet of Islam, පරිවර්තනය: Dr. Mahmood Ahmad Ghazi, New Delhi: Adam Publishers, 2007, පි. 49.

සටහන: කතුවරයා පෙන්වා දෙන පරිදි, ආචාර්ය හමීදුල්ලාහ්ගේ මෙම ප්‍රකාශය විමතියට කරුණකි. මන්ද, ඉහත සාකච්ඡාවෙන් පෙනී යන පරිදි, ඉබ්නු හබීබ් සහ අල්බලාධුරී යන දෙදෙනාම අවුරුදු විසිඅට යන මතයට වඩා අවුරුදු හතළිහ යන මතය ප්‍රමුඛ කර ඇත.

[46] එම ග්‍රන්ථය, පි. 54.

[47] Akram Diya al-‘Umri, al-Sira al-Nabawiyya al-Sahiha, Madina, 1994, පි. 113.

[48] Yasir Qadhi, “Seerah of Prophet Muhammad – Episode 9: Marriage to Khadija & Re-building Ka‘bah”, කාල පරාසය 21:39 – 24:44.

[49] Hakim Niaz Ahmad, Kashf al-Ghumma ‘an ‘Umar Umm al-Umma, Karachi: Mashkur Academy, වෙළුම 2, පි. 3–5.

[50] Al-Khatib al-Baghdadi, Tarikh Baghdad, Beirut: Dar al-Gharb al-Islami, 2002, වෙළුම 15, පි. 11.

[51] Al-Jahiz, Rasa’il al-Jahiz, Cairo: Maktabat al-Khaniji, 1964, වෙළුම 1, පි. 213; එසේම al-Mahasin wa al-Adad, Beirut: Maktabat al-Hilal, පි. 187.

සටහන: මෙයින් අදහස් වන්නේ වයස අවුරුදු හතළිහ ඉක්මවූ කාන්තාවන් තරුණියන් මෙන් පෙනුණු බව නොව, එවැනි වයසක කාන්තාවක් විවාහ කර ගැනීම අසාමාන්‍ය දෙයක් ලෙස නොසැලකීමට මෙය එක් හේතුවක් විය හැකි බවයි.

[52] සෛද් ඉබ්නු හාරිසා නබිතුමා ﷺට වඩා අවුරුදු 10 කින් බාල වූ අතර (Ibn Sa‘d, Tabaqat al-Kubra, වෙළුම 3, පි. 32), උම්මු අයිමන් නබිතුමාගේ කිරි මව වූවාය (අල්-බුඛාරී, හදීස් 3737). නබිත්වය ප්‍රකාශ කිරීමෙන් පසුව සෛද් සහ උම්මු අයිමන් විවාහ වූ අතර (Al-Hakim, al-Mustadrak, හදීස් 6910), උසාමා උපදින විට සෛද්ගේ වයස අවුරුදු 35 ක් පමණත්, උම්මු අයිමන්ගේ වයස අවුරුදු 60 ට ආසන්නවත් වූ බව පෙනේ.

[53] Al-Baji, al-Muntaqa Sharh al-Muwatta’, Cairo, වෙළුම 1, පි. 126; එසේම Sa‘id Fadel al-Dakhil, Mawsu‘at Fiqh ‘Aisha Umm al-Mu’minin, Beirut, 1989, පි. 95–96.

[54] Ibn al-Qayyim, Zad al-Ma‘ad, Beirut: al-Risala Publishers, 1994, වෙළුම 1, පි. 101.

[55] Muhammad Ilyas al-Faluza, al-Mawsu‘a fi Sahih al-Sirah al-Nabawiyya, Makkah: Matabi‘ al-Safa, 1423 AH, පි. 139.

Loading