ස්වර්ගයේ තිබෙන උයන් ගණන කීයද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.

ස්වර්ගයේ තිබෙන උයන් ගණන කීයද?

අල්ලාහ්ට කිසිම ආදේශයක් නොතබමින් අල්ලාහ්ගේ අණට අනුව ජීවත් වූ පිරිසට පරලොවේදී හිමි වන්නේ ස්වර්ගයයි. මෙම කරුණ අල් කුර්ආනයේ 39:73,41:30, 57:21, 79:41 වැකි වලද සඳහන් වෙනවා.

තම දෙවියන්ට බිය බැතිමත් වූ අය කණ්ඩායම් වශයෙන් ස්වර්ගය වෙත කැන්දාගෙන ගෙන යනු ලබති. ඔවුන් එහි පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. “නුඹලා කෙරෙහි සලාම් උදා වේවා` නුඹලා සතුටට පත් වන්නෙහු ය. සදාකාලීනව සිටින ලෙසින් ඇතුළු වන්නැ”යි එහි මුරකරුවෝ ඔවුනට පවසති. [අල් කුර්ආනය 39:73]

මෙම ස්වර්ගයේ විවිධ උයන් තිබෙනවා. මෙම කරුණ 18:31, 22:23, 35:33, 78:32වැකි වලද සඳහන් වෙනවා.

ඔවුනට සදාතනික උයන් ඇත. ඔවුනට පහළින් ගංගා ගලා බසයි. එහි දී ඔවුහු රන් වළලූ පළඳවනු ලබති. ඔවුහු සුන්දුස්, ඉස්තබරක් නමැති කොළ පැහැති සේද වස්ත්‍ර අඳිති. ඔවුහු එහි තිබෙන ආසන මත හාන්සි වී සිටිති. මෙයයි, යහපත් කුලිය අලංකාර නවාතැන. [අල් කුර්ආනය 18:31] 

මෙම වැකි වල පරස්පරවිරෝධීතාවයක් තිබෙනවාද? මෙම වැකි වලින් අපට තේරුම් ගත හැක්කේ අල්ලාහ්ට කිසිම ආදේශයක් නොතබමින් අල්ලාහ්ගේ අණට අනුව ජීවත් වූ පිරිසට උයන් රාශියකින් සමන්විත ස්වර්ගයක් පරලොවේදී හිමි වන බවයි.

මෙහි ස්වර්ගය හා උයන් යන වචන දෙකටම අරාබි භාෂාවේ භාවිතා වී ඇත්තේ “ජන්නත්” නම් අරාබි වචනයයි. එනම් “ජන්නත්” නම් වචනයට ස්වර්ගය, උයන යන අර්ථ දෙකම තිබෙනවා. මෙම වැකි දෙකේදීම එකම අර්ථය ලබා දෙනවා නම් පරලොවේදී හිමි වන්නේ එක් උයනක්ද උයන් රාශියක්ද යන ප්‍රශ්නය (නොඑසේ නම් පරලොවේදී හිමි වන්නේ එක් ස්වර්ගයක්ද ස්වර්ග රාශියක්ද යන ප්‍රශ්නය) ඇති වෙන්න පුළුවන්. පරස්පරවිරෝධිතාවයක් ඇති නොවන අන්දමින් මෙම වැකි තේරුම් ගැනීමට හැකියාවක් තිබියෙදී පරස්පරවිරෝධී අදහසක් ගෙනෙන අන්දමින් තේරුම් ගත යුතු වන්නේ නැහැ. එනිසා “ජන්නත්” නම් වචනය 39:73 වැකියේ “ස්වර්ගය” ලෙසත් 18:31 වැකියේ උයන් ලෙසත් තේරුම් ගන්න පුළුවන්. මේ අනුව, පරලොවේදී හිමි වන ස්වර්ගයට උයන් රාශියක් තිබෙන බව අපට තීරණය කරන්න පුළුවන්. මෙම වැකි දෙකටම එකම අර්ථය ලබා දුන්නද එය පරස්පරවිරෝධී නොවන අකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. එනම් ස්වර්ගය යනු විවිධ උයන් වලින් සමන්විත විශාල උයනක් ලෙස අපට තීරණය කරන්න පුළුවන්. මෙහිදී උයන (හෝ ස්වර්ගය) යන ඒක පදය පොදුවේ භාවිතා වුනද එහි උයන් රාශියක් තිබෙනවා යන අදහසත් එහි අඩංගුයි. උදාහරණයක් ලෙස “පරිගණකය අනර්ග නිපැයුමක්” යන ප්‍රකාශය සලකමු මෙම ප්‍රකාශය වලංගු වන්නේ එක් පරිගණකයකට පමණක් නොවේ මෙය සියලු පරිගණක සඳහා වලංගුයි.

මේ අනුව බැලීමේදී මෙම වැකි පරස්පරවිරෝධී නොවන බව අපට තීරණය කරන්න පුළුවන්.

Loading