අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.
නූහ් නබි තුමාගේ ජනතාව ඔහුව තම නගරයෙන් පිටමං කළාද?
නූහ් යනු අල්ලාහ් විසින් තෝරා පත් කළ එක් දේව පණිවුඩකරුවෙක්. සිටින එකම දෙවියන් අල්ලාහ් පමණක් බවත්, නමස්කාර කළ යුත්තේ අල්ලාහ්ට පමණක් බවත් ඔහු තම ජනතාවට දේශනා කළා. ඒ වගේම පැමිණෙන්න තිබෙන විශාල ව්‍යසනයක් ගැනද ඔහු තම ජනතාවට ප්‍රකාශ කළා. නමුත් ඔහුගේ ජනතාව ඔහුගේ දේශනය ප්‍රතික්ෂේප කළා.
ඔවුනට පෙර නූහ්ගේ ජන සමාජය අසත්‍ය යැයි සිතූහ. ඔවුහු අපගේ වහලා බොරුකාරයෙක් යැයි පැවසූ හ. උන්මත්තකයෙක් යැයි ද පැවසූ හ. ඔහුව ප්‍රතික්ෂේප කරනු ලැබීය. [අල් කුර්ආනය 54:09]
පසුව නූහ් තුමා පැමිණීමට තිබෙන ව්‍යසනයෙන් බේරීමට අල්ලාහ්ගේ අණ පරිදි විශාල නැවක් සෑදීමට පටන් ගත්තා. මෙය දුටු ඔහුගේ ජනතාව මොහුට විහිළු තහළු කළා. මේ බව අල් කුර්ආනයේ සඳහන් වෙනවා.
ඔහු නැව තැනීමට පටන් ගත්තේ ය. ඔහුගේ ජන සමාජයේ ප්‍රධානීහූ ඔහු පසු කරමින් යන සෑම විටෙක ම ඔහුට විහිළු කළහ. [අල් කුර්ආනය 11:38]
මෙම වැකි වල කිසිඳු පරස්පරවිරෝධීතාවයක් නැහැ. නමුත් ඇතැම් කුර්ආන් පරිවර්තන වල 54:09 වැකියේ “ඔහුව ප්‍රතික්ෂේප කරනු ලැබීය” යැයි සඳහන් වන ස්ථානයේ “ඔහුව පළවා හරිනු ලැබීය” ලෙස පරිවර්තනය කර තිබෙනවා. මෙම දෙවන පරිවර්තනය සලකන ඇතැම් විවේචකයන් පවසන්නේ නූහ් තුමාව තම ජනතාව තම ප්‍රදේශයෙන් පළවා හැරියේ නම් ඔහු නැව සාදන ස්ථානය ඔහුගේ ජන සමාජයේ ප්‍රධානීහූ පසුකර ගිය යැයි පැවසීමට හැකියාවක් නොමැති බවයි. එනිසා 54:09 හා 11:38 වැකිය පරස්පරවිරෝධී බව මෙම විවේචකයන් පවසනවා. 54:09 වැකියේ සඳහන් අරාබි වචනය වන “වස්(z)දුජිර්” නම් වචනයට “ඔහුව ප්‍රතික්ෂේප කරනු ලැබීය”, “ඔහුව පළවා හරිනු ලැබීය” යන අර්ථකතන දෙකම දෙන්න පුළුවන්. නමුත් මෙවන් අවස්තාවලදී නිවැරදි අර්ථය අනෙකුත් වැකි අනුසාරයෙන් ලබා ගත යුතුයි. පරස්පරවිරෝධිතාවයක් ඇති නොවන අන්දමින් වැකියක් පරිවර්තනය කිරීමට හැකියාවක් තිබියදී පරස්පරවිරෝධිතාවයක් ඇති කරන පරිවර්තනයක් අප පිළිගත යුතු වන්නේ නැහැ.
කෙසේනමුත් “ඔහුව පළවා හරිනු ලැබීය” යන පරිවර්තනය මොහොතකට පිළිගත්තද මෙයින් පරස්පරවිරෝධීතාවයක් ගොඩනැගෙන්නේ නැහැ. නූහ් තුමාව පළවා හරිනු ලැබූවේ තම ජනතාව සමඟ කිසිම සම්බන්ධයක් ඇති කර ගත නොහැකි ස්ථානයකට බව අල් කුර්ආනය පවසන්නේ නැහැ. මොහුව නගරයෙන් පළවා හැර තිබීමට පුළුවන්. එනිසා එම නගරයට පිටත ඇති ස්ථානයක ඔහු නැව සාදන්න පටන් අරගෙන තිබෙන්නද පුළුවන්. එනිසා නගරයට යන, නාගරයෙන් පිටතට එන ජනතාව මොහු නැව සාදනවා දැක ඔහුට විහිළු කර තිබෙන්න පුළුවන්. මුහම්මද් ﷺ තුමාවද තම ජනතාව පළවා හැරිය විට ඔහු මක්කා නගරයෙන් පිටත ඇති ස්ථානයකට ගොස් සිටියා. අපගේ සමාජයේ පවා කෙනෙකුව පළවා හැරිය විට ඔහු මග තොටේ තම ජීවිතය ගත කරන අතර නගර වැසියන් කිසිම විටකදී මොහුව නොදකින අන්දමින් ඔහුව පිටමං කළ බව මෙහි අදහස නොවේ.
![]()