විනිශ්චය දිනයේ සිටින කණ්ඩායම් ගණන කීයද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.

විනිශ්චය දිනයේ සිටින කණ්ඩායම් ගණන කීයද?

මෙම ලෝකයේ මිනිසා හා ජින්වරුන් කළ ක්‍රියා විනිශ්චය දිනයේදී (අවසාන දිනයේදී) අල්ලාහ් විසින් විනිශ්චයට ලක්කරනු ලබනවා. විනිශ්චය දිනයේදී මෙම පිරිස මූලික වශයෙන් කණ්ඩායම් තුනකට බෙදී සිටින බව අල් කුර්ආනය පවසනවා.

පොළොව එකවර ම කම්පනය කරවන විට, කඳු සුනු විසුනු වන විට, ඒවා විසුරුණු දූවිලි බවට පත් වෙයි. නුඹලා කණ්ඩායම් තුනක් වන්නෙහු ය. (පළමු කණ්ඩායම) දකුණු පසින් සිටින අය වෙති. දකුණු පසින් සිටින අය යනු කුමක් ද? (දෙවන කණ්ඩායම) වම් පසින් සිටින අය වෙති. වම් පසින් සිටින අය යනු කුමක් ද? (තෙවන කණ්ඩායම) ඉක්මන් වූ අය වෙති. (සුදුසුකම් වලින් ද) ඉක්මන් වූ අයයි. [අල් කුර්ආනය 56:7-10]

අල් කුර්ආනයේ 56:7 වැකියේ කණ්ඩායම් තුනක් ලෙස සඳහන් වූවත් මෙහි තුන්වන කණ්ඩායම පළමු කණ්ඩායමේ (දකුණු පසින් සිටින කණ්ඩායමේ), එක් විශේෂිත කණ්ඩායමක් බව අල් කුර්ආනයේ ඉගැන්වීම් තුළින් අපට අවබෝධකර ගන්න පුළුවන්. විවිධ දායාද ගැන පැවසීමෙන් පසු එම දායාද ලැබෙන පිරිස ගැන මෙසේ අල් කුර්ආනය පවසනවා:

….මෙය පළමු කණ්ඩායමෙන් පිරිසක් ද අවසාන කණ්ඩායමෙන් පිරිසක් ද වන දකුණු පසින් සිටින අයට හිමිය. [අල් කුර්ආනය 56 : 38,39,40]

එනම් තුන්වන කණ්ඩායමත් පළමු කණ්ඩායමේම එක් විශේෂ කොටසක් බව අපට තේරුම් ගන්න පුළුවන්. මෙය අල් කුර්ආනයේ කරුණු ඉදිරිපත් කරන එක් ශෛලියක්. උදාහරණයක් ලෙස පහත සඳහන් කුර්ආන් වැකිය සලකන්න පුළුවන්.

යමෙක් අල්ලාහ්ට ද ඔහුගේ සුර දූතයින්ට ද ඔහුගේ ධර්ම දූතයින්ට ද ජිබ්රීල්ට ද මීකායීල්ට ද සතුරු වන්නේ ද එවැනි ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් ද සතුරු ව සිටියි. [අල් කුර්ආනය 2:98]

මෙහිදී ජිබ්රීල් හා මීකායීල් යනු සුර දූතයින් වුවද ඔවුන්ගේ යම් විශේෂත්වයක් නිසා ඔවුන්ව වෙනමද සඳහන් වී තිබෙනවා.

අපගේ සාමාන්‍ය භාවිතයේදී පවා අප මෙම ක්‍රමය උපයෝගී කරගන්නවා. උදාහරණයක් ලෙස අප මිනිසා, සත්වයින් හා ශාක ලෙස සාමාන්‍යයෙන් වර්ග කරන්න පුරුදු වෙලා තිබෙනවා. එනම් මිනිසාව සත්වයින්ගෙන් වෙන් කර පෙන්වන්න අපි සාමන්‍යයෙන් පුරුදු වෙලා සිටිනවා. මීට හේතුව මිනිසා හා අනෙකුත් සතුන් අතර සැලකිය යුතු වෙනස්කම් රාශියක් තිබීමයි. නමුත් මිනිසාද සත්ව රාජධානියේ තවත් ජීවී විශේෂයක් බව නොරහසක්.

අල් කුර්ආනය කරුණු ඉදිරිපත් කරන්නේද මෙවන් පදනමක සිටයි.

අල් කුර්ආනයේ 56:7-10 වැකියට අනුව විනිශ්චය දිනයේදී කණ්ඩායම් 3ක් සිටින බව පැවසුවද අල් කුර්ආනයේ 90:18-19 වැකි වලට අනුව සිටින්නේ කණ්ඩායම් දෙකක් බව පවසමින් ඇතැම් විවේචකයන් අල් කුර්ආනයේ පරස්පරවිරෝධීතා තිබෙන බව පවසන්න උත්සහ දරනවා.

වහලූන් නිදහස් කිරීම, සමීප ඥාතීත්වයක් තිබෙන අනාථයාට ද නැතහොත් දුගී බවෙන් තැවෙන දුගියාට ද සාගිනි කාලයේ දී ආහාර දීම, පසුව විශ්වාස කොට, ඉවසීම අනුශාසනා කොට මෛත්‍රීය ද අනුශාසනා කරන අය අතරට එක් වීම (යනාදී මේවා ය, දුර්ග මාර්ගය). ඔවුහු ය, දකුණු පසින් සිටින අය. යම් කෙනෙක් අපේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද ඔවුහු ය, වම් පසින් සිටින අය. [අල් කුර්ආනය 90 : 13-19]

ඇත්තෙන්ම මෙම වැකි තුළින් පරස්පරවිරෝධීතාවයක් ගොඩනගන්න පුලුවන්ද?

මම එක් කෙනෙකුට මාගේ ගෙදර නිදන කාමර තුනක් තිබෙන බව පවසනවා යැයි සිතන්න. පසු දවසක මා ඔහුට, මාගේ ගෙදරට ඇතුල් වීමේ දොරට දකුණු පසින් තිබෙන නිදන කාමරය විශාල බවත්  ඇතුල් වීමේ දොරට  වම් පසින් තිබෙන නිදන කාමරය කුඩා බවත් පවසනවා යැයි සිතන්න. මාගේ ප්‍රකාශයේ පරස්පරවිරෝධීතාවයක් තිබෙනවාද? දෙවන ප්‍රකාශයේ මා සිදු කර ඇත්තේ නිදන කාමර තුනකින් දෙකක් ගැන පමණක් සඳහන් කිරීමයි.

මේ අකාරයෙන්ම අල් කුර්ආනයේ 56:7 වැකියේ  කණ්ඩායම් තුනක් සඳහන් වුවද අල් කුර්ආනයේ  90:18-19 වැකියේ කණ්ඩායම් කීයක් තිබෙනවාද යන්න සඳහන් වී නැහැ. එම වැකියේ අපට දැකිය හැක්කේ කණ්ඩායම් තුනකින් දෙකක විස්තර කිරීමක් පමණයි. මේ අනුව බැලීමේදී තාර්කික පරස්පර විරෝධීතාවයක් මෙම වැකි තුළින් ගොඩ නගන්න බැරි බව මුලින්ම අප තේරුම් ගත යුතුයි.

කෙසේනමුත් අල් කුර්ආනයේ 56:7 වැකියේ සඳහන් තුන්වන කණ්ඩායම පළමු කණ්ඩායමේම කොටසක් නිසා මෙම වැකිය, පළමු කණ්ඩායම හා දෙවන කණ්ඩායම ගැන පවසන 90:18-19 වැකියට පරස්පරවිරෝධී නොවන බව අපට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.

Loading