ආදම් තුමාට නමස්කාර කරන ලෙස අල්ලාහ් සුරදූතයින්ට අණ කළාද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.

ආදම් තුමාට නමස්කාර කරන ලෙස අල්ලාහ් සුරදූතයින්ට අණ කළාද?

සර්ව බලධාරී දෙවියන් පළමු මිනිසා වන ආදම් නිර්මාණය කළ විගස ම ඔහුගේ දක්ෂතාව හෙළි කරවා ඔහුට සජ්දා කරන ලෙස සුර දූතයින්ට අණ කළ බව පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 2:34, 7:11, 15:29-31, 17:61, 18:50, 20:116, 38:72 යනාදී වැකි වල සඳහන් වී තිබෙනවා.

“ආදම්ට යටහත් පහත් (සජදා) වන්නැ” යි අපි සුර දූතයින්ට ප්‍රකාශ කළ විට ඉබ්ලීස් හැර සියල්ලෝ ම යටහත් පහත් වූහ. ඔහු ප්‍රතික්ෂේප කොට උඩඟු විය. (අප) ප්‍රතික්ෂේප කරන්නෙක් බවට පත් විය. [අල් කුර්ආනය 2 : 34]

මෙහි සජදා යනු සිරස නමා පසඟ පිහිටුවා නැමදුම් යැයි කෙනෙක් සිතන්න පුළුවන්.

“සජ්දා” යන වචනයට ඇත්තේ මෙම අර්ථය පමණක්ද?

සලාත්-යාච්ඥාව, සව්ම්- උපවාසය වැනි වචන නබි නායක (සල්) තුමාණන් ඉපදීමට පෙර දී ම අරාබිවරුන් විසින් භාවිත කරන ලද වචනයන් ය. නමුත් අපි වර්තමානයේ භාවිත කරන අර්ථයෙන් මේ වචන භාවිත නොවීය. අපි වර්තමානයේ දී යාච්ඤාව හැඟවීමට “සලාත්” යන වචනය භාවිත කරන්නෙමු. නමුත් මෙහි වචනාර්ථය ප්‍රාර්ථනා කිරීම යන්නයි. අරාබිවරු මේ වචනය භාවිත කළේ මේ අර්ථයෙනි. නියමිත ක්‍රියාකාරකම් කිහිපයක් සහිත නියමිත නැමදුමක් සඳහා “සලාත්” යන වචනය ඉස්ලාම් භාවිත කළේය. “සව්ම්” යන වචනය උපවාසය හැඟවීමට අද භාවිත වේ. නමුත් නබි නායක (සල්) තුමාණන්ට පෙර “දමනය කර ගැනීම” යන අර්ථයෙන් මෙම වචනය භාවිත කරන ලදී. ඉස්ලාම් අලූත් වචන සොයා නැමදුම් වලට නම් තැබුවේ නැත. භාවිතයේ පැවති වචන වලින් සුදුසු වචන තෝරා ගෙන නැමදුම් වලට නම් තැබීය. මෙලෙස ම “සජ්දා” යන වචනය නබි නායක (සල්) තුමාණන්ට පෙර දී ම අරාබි භාෂාවේ භාවිතයේ පැවතුණි. නළල, නාසය, අත්ල දෙක, දණ හිස් දෙක, දෙපයේ ඇඟිලි ආදිය පොළොවට ස්පර්ශ වන අයුරින් පහත් වීම “සජ්දා” යැයි නබි නායක (සල්) තුමාණන් පැහැදිලි කළහ. නබි නායක (සල්) තුමාණන් මේ විග්‍රහය ලබා දීමට පෙර මේ වචනයට මෙවන් අර්ථයක් නොවීය. මෙහි අර්ථය වූයේ “හොඳින් පහත් වීම”යන්නයි. යටහත් පහත්කම පෙන්වන සියලූ කටයුතු “සජ්දා” යැයි හඳුන්වනු ලැබීය. ශබ්ද කෝෂයේ පමණක් නොව පරිශුද්ධ වූ අල් කුර්ආනයේ ද “හොඳින් පහත් වීම” යන අර්ථයෙන් මේ වචනය බොහෝ තැන් වල භාවිත වී ඇත.

“නුඹලා මේ ගම්මානයට සජ්දා කළවුන් ලෙසින් දොරටු මාර්ගයෙන් ඇතුළු වන්න.” (අල් කුර්ආන් 2:58, 4:154, 7:161)

මෙම වැකි වල ශබ්ද කෝෂයේතිඛෙන “යටහත් පහත් බව” යන අර්ථයම “සජ්දා” යන වචනයට ගත යුතුය. ඉස්ලාමීය සම්ප්‍රදායේ පවතින සජ්දාවේ අර්ථය මෙහි දී ගත නොහැකිය. මන්දයත් සජ්දා කරමින් දොරටු මාර්ගයෙන් ඇතුළු විය නොහැකිය. මිනිසුන් පමණක් නොව ඉර, හඳ, තරු, තුරුලතා, උරගයින්, කඳු ඇතුළු සියල්ල අල්ලාහ්ට සජ්දා කරන බව පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 22:18 වැකිය පවසයි. මේවාට මුහුණක් හෝ නාසයක් හෝ අත් හෝ දණ හිස් හෝ පාද හෝ නැත. පහත් වී ගෞරව කිරීමට පිට කොන්දක් ද නැත. කඳු වලට හෝ ගස් වලට හෝ ඒවා පිහිටි ස්ථානයෙන් ඉවත් වීමට හෝ ඔබ මොබ යෑමට හෝ නොහැකිය. නමුත් මේවා තමාට”සජ්දා” කරන බව අල්ලාහ් පවසයි. ඉර, හඳ, තරු ආදිය සර්ව බලධාරී දෙවියන් සකස් කර දුන් සැලැස්මකට අනුව භ්‍රමණය වේ. එහි සජ්දාව මෙයයි. තුරුලතා වැඩී, මල් හට ගෙන, ඵලහට ගෙන සෙලවීම ඵ්වාහි සජ්දාවයි. මහ පොළොව පෙරළෙන්නට ඉඩනොදී වළක්වා ගෙන සිටීමේ මෙහෙවර අල්ලාහ්ගේ අණ පරිදි කඳු සිදු කරයි.එය ඵ්වාට අදාළ සජ්දාවන්. සමස්තයක් වශයෙන් නිර්මාණ සියල්ල සර්ව බලධාරී දෙවියන්ගේ උසස් බවත් තමන්ගේ පහත් බවත් පිළිගෙන යටහත් පහත් වේ. මෙහි දී “සජ්දා” යනු ඵ් යටහත් පහත් බවයි. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 12:4, 13:15, 16:48,49 ආදී වැකි වල ද යටහත් පහත් වීම යන අර්ථයෙන් ම “සජ්දා” යන වචනය භාවිත වී තිඛෙන බව පැහැදිලි ව දැනගත හැකිය. සුර දූතවරු ආදම්ට සජ්දා කළ බව පවසන ඉහත වැකි ද අපි අවබෝධ කර ගත යුත්තේ මෙලෙස ය.

මෙය ශක්තිමත් කරන තවත් බොහෝ සාධක ඇත. සුර දූතවරු මිනිසුන් මෙන් නොවෙති. ඔවුන්ට ම කියා නිශ්චිත හැඩරුවක් නැත. ඔවුනට අපට මෙන් සජ්දා කිරීම සඳහා වූ අවයව තිඛෙන බවට සාධක නැත. ඇතැම් අවස්ථා වල දී නබි නායක (සල්) තුමාණන් වෙත ජිබ්රීල් නමැති සුර දූතයා මිනිස් වෙසින් පැමිණ ඇත. ඔහුගේ ස්වරූපය එය ම යැයි කිව නොහැකිය. මන්දයත් අහස හා පොළොව පිරෙන තරම් අති විශාල හැඩරුවකින් ඔහු නබි නායක (සල්) තුමාණන්ට දිස් වී ඇත. සුර දූතයින්ට පියාපත් ද ඇත. (අල් කුර්ආන් 35:1 බලන්න). එබැවින්, සුර දූතයින් මිනිසුන්ගේ හැඩරුවෙන් සිටිතියිි සිතිය නොහැකි ය. ඔවුන් විසින් යටහත් පහත් බව පෙන්නුම් කළ හැක්කේ කෙලෙස ද, එලෙස ඔවුන් යටහත් පහත් බව පෙන්නුම් කළහ යනුවෙන් වටහාගත යුතුය.

මේ අනුව බැලීමේදී අල්ලාහ් සුර දූතයින්ට අණ කළේ සිරස නමා පසඟ පිහිටුවා නැමදුම් කිරීමට නොවන බව අපට තේරුම් ගන්න පුළුවන්.

නමුත් අල් කුර්ආනයේ පහත වැකියේ සජ්දා යන වචනය භාවිතා ඇත්තේ “සිරස නමා පසඟ පිහිටුවා නැමදුම් කිරීම” යන අරත්යෙනුයි.

රැය , දහවල, ඉර, හඳ යනාදිය ඔහුගේ සාධකයන්ගෙන් ය. ඉරට ද සඳට ද සජ්දා නොකරන්න. නුඹලා ඔහුට ම නමදින්නේ නම් ඒවා නිර්මාණය කළ අල්ලාහ්ට ම සජ්දා කරන්න. [අල් කුර්ආනය 41:37]

මේ අනුව අල්ලාහ් විසින් නිර්මාණය කරන ලද දැයට සජ්දා(සිරස නමා පසඟ පිහිටුවා නැමදුම් කිරීම) නොකළ යුතුය. සජ්දා(සිරස නමා පසඟ පිහිටුවා නැමදුම් කිරීම) කළ යුත්තේ මැවුම්කරුට පමණි. අපට පනවන ලද අණ මෙයයි. මුආද් (රලි) තුමා, සල්මාන් (රලි) තුමා වැනි නබි මිත්‍රවරු තමන්ට සජ්දා(සිරස නමා පසඟ පිහිටුවා නැමදුම් කිරීම) කිරීමට ඉදිරිපත් වූ විට නබි නායක (සල්) තුමාණන් එය තහනම් කළහ. මිනිසාට මිනිසෙක් “සජ්දා”(“සිරස නමා පසඟ පිහිටුවා නැමදුම් කිරීම”) නොකළ යුතුයැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළහ. (මූලාශ්‍රය: තිර්මිදි 1079, ඉබ්නු මාජා 1843, අහ්මද් 12153, 18591, 20983, 23331)

ඇතැම් විවේචකයන් අල්කුර්ආනයේ 41:37 වැකිය හා 2:34, 7:11, 15:29-31, 17:61, 18:50, 20:116, 38:72 වැකි වල පරස්පරවිරෝධීතාවයක් තිබෙන බව පැවසීමට උත්සහ දරනවා. එනම් 41:37 වැකිය, අල්ලාහ්ගේ නිර්මාණය වලට “සජදා” නොකරන ලෙස අණ කළද 2:34, 7:11, 15:29-31, 17:61, 18:50, 20:116, 38:72 වැකි වල අල්ලාහ්ගේ නිර්මාණයක් වන ආදම් තුමාට “සජදා” කරන ලෙස පවසා තිබෙන බව මෙම විවෙචයන් පවසනවා.

කෙසේනමුත්  41:37 වැකියේ හා 2:34, 7:11, 15:29-31, 17:61, 18:50, 20:116, 38:72 වැකි වල “සජදා” නමැති වචනය භාවිතා වී ඇත්තේ අර්ථ දෙකකින් බව ඉහත පැහැදිලි කර තිබෙනවා. එනිසා මෙම වැකි වල කිසිඳු පරස්පරවිරෝධීතාවයක් නැහැ.

මූලාශ්‍රයන්,

[1] P. සෙයිනුල් ආබ්දීන්, මිනිසාට සජ්දා කළ හැකි ද?, අල් කුර්ආන් විග්‍රහයන් (අංක 11), http://sinhalaquran.lk/

Loading