අල්ලාහ්ගේ වචන වෙනස් කළ හැකිද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය විවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.

අල්ලාහ්ගේ අණ වෙනස් කළ හැකිද?

අල් කුර්ආනයේ ඇතැම් නීති නව නීති වලින් අහෝසි වූ අවස්ථා දැකගන්න පුළුවන්. මෙම අහෝසි කිරීම් පිළිබඳව අල්ලාහ් මෙසේ පවසනවා.

කිසියම් වැකියක් අපි වෙනස් කළෙමු නම් හෝ එය අමතක කෙරුවෙමු නම් හෝ එයටත් වඩා විශිෂ්ට දෙයක් හෝ එබඳු ම දෙයක් හෝ පිරිනමන්නෙමුග අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙකු බව ඔබ නොදන්නෙහි ද? [අල් කුර්ආනය 2:106]

මෙම අහෝසි කිරීම් පිළිබඳව තවදුරටත් දැන ගැනීමට අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය නම් ලිපිය කියවන්න.

කෙසේනමුත් අල් කුර්ආනයේ ඇතැම් වැකි (6:34, 6:115, 10:64, 18:27, 48:15) වලට අනුව දේව වචනය වෙනස් විය නොහැකි බව ඇතැම් ක්‍රිස්තියානි මින්ෂනාරිවරුන් හා විවේචකයන් පවසනවා. එනිසා මෙම වැකි හා 2:106 යන වැකිය අතර පරස්පරවිරෝධීතාවයක් තිබෙන බවත් මොවුන් පවසනවා. මෙම වැකි වලින් එක් වැකියක් අප සලකමු.

ඔබගේ දෙවියන්ගේ වචනය සත්‍යයෙන් ද යුක්තියෙන් ද පරිපූර්ණය. ඔහුගේ නියෝග(වචන) වෙනස් කරන්නෙක් නැත. ඔහු සවන් දෙන්නා ය, සර්වඥ ය. [අල් කුර්ආනය 6 : 115]

කෙසේනමුත් මෙම වැකි (6:34, 6:115, 10:64, 18:27, 48:15) අල්ලාහ්ගේ පැනවූ නීති වල සිදු වන වෙනසක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. එහි ප්‍රකාශ වන්නේ අල්ලාහ් විසින් ගනු ලබන තීරණ ගැනත් ඔහුගේ නියෝග ගැනත් ය. උදාහරණයක් ලෙස අල්ලාහ් යම් කිසි ජන සමාජයක් විනාශ කිරීමට අදහස් කර, ඊට අදාළ නියෝගය පැන වූයේ නම් තවත් නියෝගයක් පනවා කිසිවෙකු විසින් එය වෙනස් කළ නොහැකිය යන තම බලය ගැන අල්ලාහ් මෙම වැකිවල (6:34, 6:115, 10:64, 18:27, 48:15) පවසනවා. “අල්ලාහ්ගේ නියෝග වෙනස් කරන්නෙක් නොමැත” යන ප්‍රකාශයේ කිසිවෙකු විසින් අල්ලාහ්ගේ අණ වෙනස් කළ නොහැකිය යන අර්ථය ද  එසේ වෙනස් කරන්නේ නම් එය වෙනස් කරන්නේ අල්ලාහ් පමණක්මය යන අර්ථය ද එහි අන්තර්ගතයි.

එනම් අල් කුර්ආනයේ 6:34, 6:115, 10:64, 18:27, 48:15 වැකි හා 2:106 යන වැකිය අතර කිසඳු පරස්පරවිරෝධීතාව්‍යක් නොමැති බව අපට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

Loading