ඕනෑම කුරාන් වැකියක් අධ්‍යයනය කරනවා නම්. එම කුරාන් වැකියට හේතු වූ පසුබිම, එම කුරාන් වැකියට අදාළ විෂය සම්බන්දව අනෙකුත් කුරාන් වැකි පවසන විස්තර. මෙම කුරාන් වැකියට නබි මුහම්මද් (සල් ) තුමාගේ විවරණය වැනි දේවල් සැලකිය යුතුයි. තමාට උවමනා දේවල් පමණක් පද සම්බන්දයකින් තොරව උපුටා අරගෙන, එම දේවල්වල නියම අර්ථය වෙනස් වන අකාරයෙන් ඉදිරිපත් කිරීමත් නිවැරදි ක්‍රමයක් නොවේ. මෙම දේවල් සිතේ තබා ගනිමින් පහත කුරාන් වැකිය දිහා බලමු .
නුඹලාගේ බිරින්දෑවරුන් නුඹලාගේ වගා භූමියයි. එනිසා නුඹලාගේ වගා භූමියට කැමති අකාරයෙන් ඇතුල් වෙන්න. [අල් කුරාන් 2:223]
නබි මුහම්මද් (සල්) තුමාගේ කාලයේ යුදෙව්වන් ” ඇතැම් ක්‍රමවලින් තම බිරිඳ සමඟ සංසර්ගයේ යෙදිය නොයුතුයි ” යැයි පවසමින් සිටියා. ” එසේ සංසර්ගයේ යෙදුනහොත් ඉපදෙන දරුවන් වපර ඇස් ඇති ළමුන් ලෙස ඉපදෙනවා ” කියලත් ඔවුන් විශ්වාස කළා. (මුලාශ්‍රය සහිහුල් මුස්ලිම්, පුවත් අංක 2592)
මෙම වැරදි විශ්වාසයට විරුද්ධ වෙමිනුයි කුරානයේ දෙවෙනි පරිච්චේදයේ 223 වෙනි වැකිය පහල කරන ලද්දේ. ඇතැම් දිනයන් වලදී පමණක් තම බිරිඳ සමඟ එක්විය යුතුයි කියන මිත්‍යා මතයන් පවා මෙම කුරාන් වැකිය ප්‍රතික්ෂේප කරනවා. “ඔබට කැමති අයුරින්” කියන වචනවලින් මෙම අදහස වටහා ගන්න පුළුවන්.
ගිහි ජීවිතයේ ඇතැම් කරුනු ඉදිරිපත් කිරීමත් ආගමක වගකීමක් නේද ? මෙය ඉතා සුදුසු වචන භාවිතා කරමින් අල් කුරානය මිනිසාට කියාදෙනවා.
මේ හැරුණුවිට අද නවීන ලෝකයේ එක ප්‍රශ්නයකටද මෙම කුරාන් වැකිය පිළිතුරු සපයන බව බුද්ධිමත් කෙනෙකුට වටහා ගන්න පුළුවන්.
ළමයින් වැදිය නොහැකි තත්වයකදී, එසේත් නැත්නම් කලලයක් හට නොගන්නා අවස්තාවලදී කෘතීම අකාරයෙන් ගැබ්ගන්වන විවිධ ක්‍රමයන් අද අපිට දැක ගන්න පුළුවන්. මෙම ක්‍රමවලින් අනුමත ක්‍රමය කුමක්ද අනුමත නොවන ක්‍රමය කුමක්ද යන ප්‍රශ්න වලට මෙම කුරාන් වැකිය පැහැදිලි පිළිතුරක් ලබා දෙනවා.
“නුඹලාගේ බිරින්දෑවරුන් නුඹලාගේ වගා භූමියයි…” කියන පදවලින් පුරුෂයාගේ ශුක්රානුව එම පුද්ගලයාගේම බිරිඳගේ ගර්භාෂයට ඇතුල් කල හැකි බවත් ස්වාමි පුරුෂයා නොවන වෙනත් කෙනෙකුගේ ශුක්රානුවක් රැගෙන මෙලෙස කිරීමට අනුමැතියක් නොමැති බවත් වටහා ගන්න පුළුවන්.
මුස්ලිම් ජනතාව ඉස්ලාම් දහමේ නීති උපුටාගන්නේ කුරානය හා නබි මුහම්මද් (සල්) තුමාගේ වදන්, ක්‍රියා හා අනුමැතියන් වලින් පමණයි. එනිසා අනාගතයේ ඇති වියහැකි ගැටලුවලට පවා පිළිතුරු කුරානය හා නබි මුහම්මද් (සල්) තුමාගේ වදන්, ක්‍රියා හා අනුමැතියන් වල අඩංගුයි. මේ අකාරයෙන්ම කුරානයේ 2:223 වැකිය එකල නොතිබූ නමුත් අද තිබෙන ගැටලුවකට පිළිතුරු සපයනවා.
ගිහි ජීවිතයට අදාළ බොහෝ කරුණු මෙම කුඩා කුරාන් වැකිය ඉතා සංශිප්තව ඉදිරිපත් කරන බව දැන් ඔබට වැටහෙනවා ඇති.
මෙතැනදී එක වැදගත් දෙයක් වටහාගත යුතුයි. “නුඹලාගේ බිරින්දෑවරුන් නුඹලාගේ වගා භූමියයි…” සඳහන් වෙලා තිබෙන්නේ කාන්තාවන්ව පහත්ව සැලකීමට නොවෙයි. යම් කිසි දෙයක් විස්තර කිරීමට අප උදාහරණයක් භාවිතා කරන විට එම උදාහරණයේ ඇති සියලුම දේවල් විස්තර කිරීමට ලක්වන දෙයින් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක කුඩා ළමයකුට පවා තේරුම් ගන්න පුළුවන්. “මගේ මිත්‍රයා පිරිමි සිංහයෙක් ” යැයි කෙනෙකු පැවසු විට ” ඔබේ මිත්‍රයා සිංහයෙක් නම් කෝ ඔහුගේ වලිගය ” කියා ඇසීම නිවැරදි ක්‍රමයක් නොවේ නේද ? සිංහයෙක් කියන වචනයෙන් මිත්‍රයාගේ එඩිතරකම පමණයි අදහස් වෙන්නේ, පිරිමි සිංහයා දඩයමේ යන්නේ නැති බවත්, එමනිසා කම්මැලි බවත් මින් අදහස් වෙන්නේ නැහැ. “නුඹලාගේ බිරින්දෑවරුන් නුඹලාගේ වගා භූමියයි…” යයි පවසන උදාහරණයත් මේවගේ තමා. ඉන් අදහස් වෙන දේ ඉහත සඳහන් වෙනවා.
බිරිඳක් වගා භූමියට සමාන කිරීමට හේතු කිහිපයක් අපට අවබෝධ කරගන්න පුළුවන්. පිරිමියා කියන මමත්වය දරන පුරුෂයා දරුවෙක් බිහි කිරීම්දී ප්‍රධානව දායක වෙන්නේ ශුක්රානුවකින් පමණයි. බිරිඳ තුල ශුක්රානුව හා ඩිම්බය සංසේචනය වුවාට පසු එය වගා කර, පෝෂණය කරන්නේ කාන්තාවයි. ගොවියා එක බීජයක් වගා භූමුයක සිටවූ පසු එය පෝෂණය කරන්නේ එම වගා භූමියයි. මෙහිදී ආඩම්බර වෙනවානම් ආඩම්බර විය යුත්තේ කාන්තාව මිස පුරුෂයා නොවේ. මෙහිදී කාන්තාව ගෞරවයක්ට පාත්‍ර වෙනවා මිස අපහාසයකට ලක්වන්නේ නැත. වගා භූමියක් කියන්නේ උසස් තත්වයක් යන අදහසින් කුරානය කරුණු ඉදිරිපත් කරන විට වගා භූමියට පහත් අර්ථයක් එය කියවන්නා දරා සිටිනවානම්. ඔහුගේ අර්ථකථනය අනුව යමින් කුරානයට චෝදනා කිරීම සාධාරණ නැහැ නේද ?
විශ්වාස කරන්නනි! නුඹලාගේ ස්ත්‍රීන්ව බලෙන් උරුම කර ගැනීම නුඹලාට අනුමත නැත. ඔවුන් පරපුරුෂ සේවනයෙහි යෙදීම පැහැදිලිව ඔප්පු වුවහොත් මිස නුඹලා විසින් ඔවුන්ට දෙනු ලැබූ දෙයින් කිසිවක් ලබා ගැනීම පිණිස ඔවුනට රළු ලෙස සැලකීමද අනුමත නැත. ඔවුන් සමඟ නුඹලා ගෞරවාන්විත අයුරින් දිවිගත කරන්න. නුඹලා ඔවුන් අප්‍රිය කරන්නේ නම් එම අප්‍රිය කරන දෙයමත අල්ලාහ් බොහෝ යහ දේවල් සලස්වා තිබෙන්නට පුළුවන. [අල් කුරාන් 4:19]
කාන්තාව පහත් යයි ඉස්ලාම් දහම මොනම අවස්ථාවකදීවත් කියන්නේ නැහැ.
![]()