ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගන්න පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ නිවැරදි ක්‍රමවේදය අප දැන සිටිය යුතුයි. මීට අමතරව ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන යන ලිපියද කියවන්න. මෙම ලිපිය තුළින් ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් මඟපෙන්වීම් වල පදනම තේරුම් ගන්න පුළුවන්. මෙම කරුණු පිළිබඳව මනා අවබෝධයක් අප සතුව තිබෙනවා නම් විවෙචයක් එල්ල කරන පහත චෝදනා සඳහා වූ නිසි පිළිතුරු මොනවාද යන්න අපට තේරුම් ගන්න පුළුවන්.
ඉස්ලාමය කාන්තාවන්ට දේපල අයිතිය ලබා දී තිබෙනවාද?
දේපල අයිතීන් ගැන සැලකීමේදී, තමාගේ දේපල වලට හිමිකම් ලැබීමේ අයිතිය 19 වෙනි සියවස දක්වාම කාන්තාවන්ට නොතිබුණු බව යුරෝපානු ඉතිහාසය අපට කියා දෙනවා [1]. ඔවුන් විවාහ වූ පසු තම දේපල තම ස්වාමි පුරුෂයාට පැවරෙනවා නොඑසේ නම් තම ස්වාමි පුරුෂයාගේ අනුමැතිය නොමැතිව එම දෙපලින් කිසිවක් ඇයට වැය කරන්න බැහැ. යෝරෝපානු රටවල් අතුරින් ප්‍රථම වරට දේපල අයතීන් කාන්තාවන්ට ලබා දුන්නේ බ්‍රිතාන්‍යයයි. මෙම අයිතිය “විවාහක කාන්තාවන්ගේ දේපල නීතිය” (Married Women Property Act) ලෙස නම් වන අතර මෙය සම්මත වූයේ වසර 1860 දීයි. කෙසේනමුත් ඊට අවුරුදු 1300කට කලින්ම මෙම අයිතිය ඉස්ලාම් දහම කාන්තාවන්ට ලබා දී තිබෙනවා.
අල්ලාහ් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර තිබීමෙහිලා තණ්හා නොවන්න. පුරුෂයින්ට ඔවුන් උපයා ගත් දැයින් කොටසක් හිමිය. ස්ත්‍රීන්ට ද ඔවුන් උපයා ගත් දැයින්කොටසක් හිමිය. අල්ලාහ්ගෙන් ඔහුගේ දයාව පතන්න. අල්ලාහ් සියලූ දේ ගැන සර්වඥයෙක් වේ. [අල් කුර්ආනය 4 : 32]
කෙනෙක් මියගිය විට ඔහුගේ දේපල ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් අතර බෙදී යා යුත්තේ කෙසේද යන්න ඉස්ලාම් දහම පැහැදිලිව හා විස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙනවා. (මෙහිදී එක් විශේෂ කරුණක් තිබෙනවා, එනම් මෙම දේපල බෙදී යාමේ නීතිය ඉදිරිපත් වී ඇත්තේ බාග සංඛ්‍යා වලින් නිසා ඇතැම් අවස්තාවලදී දේපල බෙදීම කිසිඳු අසාධාරණයක් සිදු නොවන අන්දමට සිදු කළ යුතු බවත් ඉස්ලාම් දහම පවසනවා.) මෙම දේපල බෙදීම පිළිබඳව කරුණු ඉදිරිපත් වන කුර්ආන් වැකි කිහිපයක් සලකමු.
ස්ත්‍රීන් දෙදෙනෙකුගේ කොටසමෙන් පිරිමියෙකුට හිමි යැයි නුඹලාගේ දරුවන් විෂයයෙහි අල්ලාහ් අවධාරණය කරයි. ඔවුන් සියල්ලන්ම ස්ත්‍රීන් නම් හෝ (දෙදෙනකු නැතහොත්) දෙදෙනෙකුට වැඩි වූවාහූනම් හෝ (දෙමාපියන්) හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට හිමිය. එකම එක් ස්ත්‍රියක් පමණක් සිටියහොත් ඇයට (මුළු දේපළෙන්)අඩක් හිමිය. ඔහුට දරු පරපුරක් සිටින්නේ නම් ඔහු හැර දමා ගියදැයින් මා පිය දෙදෙනාගෙන් එක් එක් අයකුට හයෙන් එකක් හිමිය. ඔහුට දරු පරපුරක් නොමැති නම් ඔහු හැරදමා ගිය දැයට මා පිය දෙදෙනා ම උරුමක්කරුවෝ වෙති. ඔහුගේ මවට තුනෙන් එකක් හිමිය. ඔහුට සොහොයුරන් සිටින්නේ නම් ඔහුගේ මවට හයෙන් එකක් හිමිය.(මේ සියල්ල) ඔහු විසින් ප්‍රකාශ කරන ලද අන්තිම කැමැත්ත ඉටු කිරීමෙන් හා ණය පිය වීමෙන් පසුව ය. නුඹලාගේ දෙමාපියන් හා දරුවන්ගෙන් නුඹලාට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ කවරෙක්දැයි නුඹලා නොදන්නෙහු ය. (මෙය)අල්ලාහ් නියම කළ අනිවාර්ය යුතුකමකි. අල්ලාහ් සර්වඥයෙකු ද ප්‍රඥාවන්තයෙකු ද වේ.
නුඹලාගේ භාර්යාවන්ට දරුවෙකු නොමැති නම් ඔවුන් හැරදමා ගිය දැයින් අඩක් නුඹලාට හිමිය. ඔවුනට දරුවෙකු සිටින්නේ නම් ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එකක් නුඹලාට හිමිය. (කොටස් බෙදීම කළයුත්තේ) ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද අන්තිම කැමැත්ත ඉටු කිරීමෙන් හා ණය පිය වීමෙන් පසුව ය. නුඹලාට දරුවෙකු නොමැති නම් නුඹලා හැරදමා ගිය දැයින් හතරෙන් එකක් නුඹලාගේ භාර්යාවන්ට හිමිය. නුඹලාටදරුවෙකු සිටින්නේ නම් නුඹලා හැරදමා ගිය දැයින් අටෙන් එකක් ඔවුනටහිමිය. (කොටස් ඛෙදීම කළ යුත්තේ)නුඹලා විසින් ප්‍රකාශ කරන ලද අන්තිම කැමැත්ත ඉටු කිරීමෙන් හා ණය පිය වීමෙන් පසුව ය. මරණයටපත් පිරිමියෙක් හෝ ස්ත්‍රියක් හෝ දරුවකු නොමැති අයෙක් වී ඔවුනට සොහොයුරෙක් හෝ සොහොයුරියක් හෝ සිටින්නේ නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් අයෙකුට හයෙන් එකක් හිමිය. ඊටත් වඩාවැඩියෙන් සිටින්නේ නම් තුනෙන් එකකට ඔවුහු සියල්ලෝ මහවුල්කරුවෝ වෙති. (කොටස් ඛෙදීම කළ යුත්තේ) ඔහු විසින් ප්‍රකාශ කරන ලද අන්තිම කැමැත්ත ඉටුකිරීමෙන් හා ණය පියවීමෙන් පසුව ය.(මෙම සියලූ ම කොටස් ඛෙදීම කළයුත්තේ කිසිවෙකුට) බලපෑමක් සිදුනොවන අයුරිනි. මෙය අල්ලාහ්ගෙන් අණයි. අල්ලාහ් සර්වඥයෙකි. ඉවසිලිවන්තයෙකි. [අල් කුර්ආනය 4 : 11-12]
ඔවුහු “කළාලා” පිළිබඳව (මුහම්මද්,) ඔබෙන් ආගමික විනිශ්චයක් පතති. “අල්ලාහ් මේ ගැන නුඹලාට විනිශ්චයක් දෙන්නේ යැ”යි පවසන්න. දරුවෙකු නොමැති මිනිසෙක් මරණයට පත් වන විට ඔහුට සොහොයුරියක් සිටියා නම් ඔහු හැර දමා ගිය දැයින් අඩක් ඇයට හිමිය. ඇයට දරුවෙකු නොමැති නම් (ඇය මරණයට පත් වන විට) ඔහු (ඇගේ සොහොයුරා) ඇයට උරුමක්කරු වේ. සොහොයුරියන් දෙදෙනෙකු සිටියා නම් ඔහු හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට හිමිය. පිරිමින් හා ස්ත්‍රීන් වශයෙන් එක කුස උපන් අය සිටියා නම් ස්ත්‍රීන් දෙදෙනකුට හිමි කොටස මෙන් කොටසක් පිරිමියෙකුට හිමිය. නුඹලා නොමග නොයනු පිණිස අල්ලාහ් නුඹලාට පැහැදිලි කරයි. අල්ලාහ් සියලූ දේ පිළිබඳව සර්වඥයෙකි. [අල් කුර්ආනය 4 : 176]
ඉහත කුර්ආන් වැකි වලට අනුව බොහෝ අවස්තාවලදී කාන්තාවට හිමිවන්නේ පිරිමියාට හිමිවන ප්‍රමාණයෙන් භාගයක් බව පැහැදිලියි. නමුත් සෑම අවස්ථාවකදීම මෙසේ සිදු වන්නේ නැහැ. එනම්,
- මියගිය පුද්ගලයාට කිසිඳු මව්පිය පරම්පරාවක් හෝ දරු පරම්පරාවක් නොමැතිවී, එකම මවකට උපන් සහෝදරයෙකු හා සහෝදරියක් සිටි නම් මේ දෙදෙනාටම දෙපලින් 1/6 ක් බැගින් හිමි වෙනවා.
- මියගිය පුද්ගලයාට දරුවන් හා දෙමාපියන් සිටී නම් මවට හා පියාට දෙපලින් 1/6ක් බැගින් හිමි වෙනවා.
ඇතැම් අවස්තාවලදී පිරිමියාට හිමි වන ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් කාන්තාවට හිමි වෙනවා.
- මියගිය පුද්ගලයා කාන්තාවක් නම් ඇයට කිසිඳු දරුවෙකු හෝ සහෝදර සහෝදරියකු නොමැති අතර ජීවතුන්ව සිටින්නේ ස්වාමි පුරුෂයා හා දෙමාපියන් නම් දෙපලින් භාගයක් ස්වාමි පුරුෂයාට හිමි වන අතර මවට 1/3ක ප්‍රමාණයක්ද පියාට 1/6ක ප්‍රමාණයක්ද හිමි වෙනවා. (මෙහිදී පියාට මෙන් දෙගුණයක් මවට හිමි වෙනවා)
අනෙකුත් බොහෝ අවස්තාවලදී කාන්තාවට හිමි වන්නේ පිරිමියාට හිමි වන ප්‍රමාණය මෙන් භාගයකි. උදාහරණයක් ලෙස,
- ගැහැණු දරුවාට හිමි වන්නේ පිරිමි දරුවාට ලැබෙන ප්‍රමාණය මෙන් භාගයක්.
- මිය ගිය පුද්ගලයාට කිසිඳු දරුවෙකු නොමැති නම් බිරිඳට 1/8ක්ද ස්වාමි පුරුෂයාට 1/4ක් ද හිමි වෙනවා
- මිය ගිය පුද්ගලයාට දරුවන් සිටි නම් බිරිඳට 1/4ක්ද ස්වාමි පුරුෂයාට 1/2ක් ද හිමි වෙනවා
මෙවන් නීතියක් තිබීම අසාධාරණ බව ඇතැමුන්ට සිතෙන්න පුළුවන්. නමුත් මෙම නීතිය තේරුම් ගත යුත්තේ මුස්ලිම් සමාජයම සැලකිල්ලට ගනිමිනුයි.
ඉස්ලාමීය සමාජයේ, පවුල් සංවිධානය තුළ කාන්තාවන්ට වඩා පුරුෂයින් මත අධිකව වගකීම් පැවරී තිබෙනවා. එනිසා ඉස්ලාම් දහමට අනුව ධනය ඉපයීමේ වගකීම හිමි වන්නේ පිරිමියාට මිසක් කාන්තාවට නොවේ.
- කාන්තාවක් විවාහ වීමට පෙර ඇයව රැකබලා ගැනීම, ඇයට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ලබා දීම, මුදල් අවශ්‍යතා ඉටු කර දීම, සිටින්න ස්ථානයක් ලබාදීම, අධ්‍යාපනය ලබා දීම යනාදී වගකීම් සියල්ල හිමි වන්නේ පියාට හෝ සහෝදරයන්ටයි. ඇයගේ විවාහයෙන් පසු මේ සියලු වගකීම් හිමි වන්නේ තමාගේ ස්වාමි පුරුෂයාට හෝ පුතුන්ටයි. එනම් මහලූ වියට පත් වූ දෙමාපියන් නඩත්තු කරනු ලබන්නේ මූලික වශයන් පිරිමි දරුවන්. කාන්තාවන්ට නඩත්තු කළ හැක්කේ ඇත්තෙන්ම තම ස්වාමි පුරුෂයාගේ දෙමාපියන් ය. දෙමාපියන්ට මුදල් ඉපැයීමට නොහැකි තත්ත්වයකට පත් වන විට ඔවුන් සලකන්නේ ද පිරිමි දරුවන් ය. එනිසා මෙම අවස්ථාවේදී පිරිමි පාර්ශවයට දෙපලින් දෙගුණයක් ලබා දීම යුක්ති සහගතයි. පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට එක සමාන දේපළ අයිතියක් පිරිනැමුවේ නම් මහලූ වියේ දී දෙමාපියන් මා පමණක් රැක බලා ගත යුත්තේ ඇයි ද යන සිතුවිල්ල පුරුෂයින්ට ඇති වෙන්න පුළුවන්. ඒවගේම ස්වාමි පුරුෂයාගේ නිවසේ ජීවත් වන කාන්තාවන් විසින් තම දෙමාපියන් රැක බලා ගැනීමද ඉතාමත් අසීරු කාර්යයක්. මේ නිසා වැඩිහිටි නිවාස, මහලූ නිවාස, මාතෘ නිවාස යන විවිධ නම් වලින් නිවාස වැඩි වී තිබෙන බව අද අපට දැකගන්න පුළුවන්. දෙමාපියන් කාත් කව්රුත් නොමැතිව අන්ත අසරණව අත් හැර දමනු ලබනවා. එනම් එක් පවුලක අවශ්‍යතා ඉටුකර දීම සඳහා වූ ධනය ඉපයීමේ වගකීම හා එම පවුල රැකබලා ගැනීමේ වගකීම හිමි වන්නේ පුරුෂයාටයි. මෙවන් අධික වගකීම් සැලකිල්ලට ගෙන බොහෝ අවස්තාවලදී කාන්තාවට ලැබෙන ප්‍රමාණය මෙන් දෙගුණයක ප්‍රමාණයක් පිරිමියාට හිමි වන අයුරින් ඉස්ලාමය නීති සපයා ඇති බව අපට වටහා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස එක් පිරිමියෙක් මියයන මොහොතේ රුපියල් ලක්ෂ එකහමාරක් (150,000) හැරගියේ යැයි සිතමු. ඔහුට එක් දුවෙක් හා පුත්‍රයෙක් සිටිනවා නම් පුත්‍රයාට රුපියල් ලක්ෂයක් හිමි වන අතර දුවට රුපියල් පනස් දහසක් හිම වෙනවා. කෙසේනමුත් පවුල රැකබලා ගැනීමේ වගකීම පුත්‍රයාට හිමි වන නිසා ඔහුට හිමි වන ලක්ෂයෙන් සියල්ලම හෝ 50% කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට ඔහුට සිදු වෙනවා. පනස්දහසක් හිමි දුවට මෙම වගකීම හිමි නොවන නිසා ඇයට ලැබුණු මුදලින් සතයක් වත් ඇය වැය කළ යුතු වන්නේ නැහැ. ඇයට හිමි වූ මුදල එලෙසම තබාගැනීමේ අයිතිය ඇයට තිබෙනවා.
- මීට අමතරව කාන්තාවන්ට විවිධ අවස්තාවලදී පිරිමීන්ට හමු නොවෙන වරප්‍රසාද හිමි වෙනවා. උදාහරණයකට දූවරුන්ට තම පියා රන් ආභරණ ලබා දෙනවා. මෙම රන් ආභරණ අලංකාර භාණ්ඩයක් මෙන් ම වටිනා මෙම දූවරුන්ට හිමි දේපළක් ද වෙනවා. මෙවැනි භාණ්ඩ පියා පිරිමි දරුවන්ට සාමාන්‍යයෙන් පිරිනමන්නේ නැහැ.
- ඒ වගේම කාන්තාවක් විවාහ වීමේදී ඇයව විවාහ කරගන්නා පුරුෂයා ඇයට “මහර්” නම් ත්‍යාගයක් පිරිනැමිය යුතු බව ඉස්ලාම් දහම පවසනවා. මෙම ත්‍යාගයේ අගය තීරණය කරනුයේ විවාහයට පත්වීමට නියමිත කාන්තාවයි. මෙම අගය ඕනෑම අගයක් විය හැකියි. මෙම මහර් තිළිණය ලබා දීමට පුලුවන්නම් පමණක් විවාහය සිදු කරනු ලැබෙනවා. (මෙය ඉස්ලාමීය විවාහයේ එක් වැදගත් ඉගැන්වීමක්). මින් පෙනී යන්නේද කාන්තාවන්ට යම් අකාරයෙන් විශේෂ ධනයක් හිමි වන බවයි. මෙම මහර් ධනය පවුලේ වියදම් සඳහා ඇය වැය කළ යුතු වන්නේ නැහැ. මෙම ධනය කාටවත් නොදී තමා සතුවම තබා ගැනීමේ අයිතිය කාන්තාවන්ට තිබෙනවා. විවාහ වීමට පෙර මෙම කාන්තාවට යම් ධනයක් තිබුණේ නම් විවාහයෙන් පසුවද එහි අයිතිය හිමි වන්නේ අයටයි.
- තවත් වැදගත් කරුණක් වන්නේ පියාගේ දේපළ වර්ධනය කිරීමේ දී ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් බහුල වශයෙන් දායක වීමයි. පියා හැර දමා ගිය ධන දේපළෙන් ඔහු ඉපැයූ දැයට වඩා ඔහුගේ පුත්‍රයින්ගේ ඉපැයීමෙන් අමතරව දේපළ වර්ධනය වනවා. දියණිය බොහෝ දුරට ධනය වර්ධනය කිරීමට දායක වන්නේ නැහැ. මෙනිසා මෙවන් අවස්තාවලදී කාන්තාවට වඩා වැඩි දේපල අයිතියක් පිරිමියාට තිබෙන බව අපට තේරුම් ගන්න පුළුවන්.
- කාන්තාවකට තම ස්වාමි පුරුෂයාගේ නිවසේ ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වූයේ නම් නැවත නිවසට පැමිණ තම සහෝදරයාගේ අනුග්‍රහයෙන් ජීවත් විය යුතු තත්ත්වයක් උදා වෙනවා. “මා ලද දේපළ මෙන් නුඹටත් ලැබී ඇත. එබැවින් මම නුඹව රැක බලා ගත යුත්තේ ඇයි දැ”යි සහෝදරයා නොසිතා ඇයව කරුණා දයාවෙන් රැක බලා ගැනීමට ඔහුට දෙපලින් වැඩි කොටසක් ලැබී තිබීම උපකාර වෙනවා නියතයි. එනම් පුරුෂයින්ට ලැඛෙන දේපළෙන් අඩක් ඇයට ද ලැබුණද ඇයට වඩා අධිකව ලබා ගත් සහෝදරයා මාර්ගයෙන් අන් ආකාරයකින් ඇයට ම ආපසු දේපළ ලැඛෙන තත්ත්වයක් මෙහි දී උදා වෙනවා.
- කාන්තාවක් රැකියාවක් කර ධනය රැස් කළේ නම් මෙම ධනය හිමි වන්නේ ඇයටයි. මෙම ධනය පවුලේ වියදම් සඳහා ඇය වැය කළ යුතු වන්නේ නැහැ. මැය විවාහක කාන්තාවක් නම් මැය උපයාගත් ධනයද පවුලේ වියදම් සඳහා වැයකළ යුතු වන්නේ නැහැ.
- විවාහක කාන්තාවක් දරුවන් සිටින මෝහතකදී දික්කසාද වූයේ නම් මෙම දරුවන් සඳහා වූ වියදම දැරීමේ වගකීම පැවරෙන්නේද දික්කසාද වූ පුරුෂයාටයි.
මෙවන් හේතු රාශියක් සැලකිල්ලට ගනිමින් බොහෝ අවස්තාවලදී දෙපලින් කාතාවන්ට හිමි වන කොටස පිරිමීන්ට හිමි වන කොටසට වඩා අඩක් බව ඉස්ලාම් දහම පවසනවා. මෙම වෙනස දෙස මතුපිටින් බලා විවේචනය කරනවාට වඩා මෙම වෙනසට අදාළ සාධාරණ හේතුන් අපි සැලකිල්ලට ගත යුතුයි. එසේ බලන්නේ නම් මෙහිදී කාන්තාවන්ට කිසිඳු අසාධාරණයක් ඇති වී නොමැති බව අපට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.
මූලාශ්‍රයන්
[1] Marriage: property and children http://www.parliament.uk/about/living-heritage/transformingsociety/private-lives/relationships/overview/propertychildren/
![]()