අල්ලාහ් අහස් හා පොළොව නිර්මාණය කළේ දින කීයකින්ද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය විවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.

අල්ලාහ් අහස් හා පොළොව නිර්මාණය කළේ දින කීයකින්ද?

අල්ලාහ් අහස් හා පොළොව දින හයකින් නිර්මාණය කළ බව අල් කුර්ආනයේ නොයෙකුත් වැකි වල (7:54, 10:3, 11:7, 57:4) සඳහන් වනවා.

අහස් හා පොළොව දින හයකින් නිර්මාණය කළේ නුඹලාගේ දෙවියන් වන අල්ලාහ් ම ය. [අල් කුර්ආනය 7 : 54]

අහස් හා පොළොව නිර්මාණය කළ ආකාරය විස්තරාත්මකව අල් කුර්ආනයේ 41:9 සිට 41:12 යන වැකි වල සඳහන් වෙනවා.

පොළොව දින දෙකකින් නිර්මාණය කළ තැනන් ද, නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ? තව ද ඔහුට සමානයන් කල්පනය කරන්නෙහු ද? ඔහු ය, විශ්වයේ අධිපති” යැයි පවසන්න. ඔහු දින හතරකින් එයට ඉහළින් කුඤ්ඤ පිහිටුවීය. එහි සෞභාග්‍ය පහළ කළේ ය. එහි ආහාර එහි නිශ්චය කළේය. ප්රශ්න අසන්නන්ට නිවැරදි පිළිතුර මෙයයි. පසුව අහස දුමාරයක්ව තිඛෙන විට එයට යොමු විය. “කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා අවනත ව කටයුතු කළ යුතුයැ”යි එයටත් පොළොවටත් පැවසීය. “කැමැත්තෙන් ම අවනත වූයෙමු”යි ඒවා පැවසීය. ඔහු දින දෙකකින් අහස් සත පිහිටුවීය. සෑම අහසක ම එහි අණ දැනුම් දුන්නේ ය. යටි අහස පහන් වලින් අලංකාර කළෙමු. (ඒවා) ආරක්ෂා කරන ලද්දක් (කළෙමු). මෙය සර්වඥ වන අබිබවන්නාගේ නියමයයි. [අල් කුර්ආනය 41:9-12]

ඉහත වැකි දෙස බැලීමේදී පෙනී යන්නේ පොළොව නිර්මාණය කිරීම යන කාරණාව කොටස් දෙකකට බෙදා පැහැදිලි කර ඇති බවයි. එනම් පෘථීවිය නමැති ග්‍රහලොව නිර්මාණය කිරීමට දින දෙකක් ගත වූ බවද මිනිසා ජීවත් වීමට එහි විවිධාකාර දේවල් සූදානම් කළ යුතුය. ශාක වැඩීමට අවශ්‍ය පිළියෙල කිරීම්, කූඤ්ඤ වශයෙන් කඳු සවි කිරීම, භූගත ජලය වැනි නොයෙකුත් පිළියෙල කිරිම් පොළොවේ පිහිටුවීමට දින හතරක් ගත වූ බවත් ඉහත වැකි වල සඳහන්. කෙසේනමුත් මෙහි අදහස පොළොව නිර්මාණය කිරීමෙන් පසුව එහි අනෙකුත් දේවල් පිළියෙළ කිරීමට දින හතරක් ගත වූ බව නොවේ. වෙනත් අකාරයකින් පවසනවා නම් දින හතරකින් පොළොවේ පිළියෙළ කිරීම් කළා යන වැකියේ පොළොව නමැති ග්‍රහලෝකය නිර්මාණය කිරීමට ගත වූ දින දෙකද අඩංගු වී තිබෙනවා. මෙම වැකියට විවරණයක් ලබා දුන් විද්වතෙකු වන ඉමාම් කුර්තුබි උදාහරණයක් තුළින් මෙම අදහස පහත අයුරින් පැහැදිලි කරනවා.

“දින හතරකින්” – මෙම වැකිය හරියට මෙසේ පවසනවා වාගේ, “මම බස්රාව නම් නගරයේ  සිට බග්දාද් නම් නගරයට දින දහයකින් ගිය අතර කුෆා නම් නගරයට දින පහළොවකින් ගියෙමි” එනම් ගමන සඳහා ගත වූ මුළු දින ගණන පහළොවකි.[1]

ඒ වගේම අහස නිර්මාණය කිරීම සඳහා තව දින දෙකක් ගත වූ බව ඉහත වැකි වල සඳහන් වෙනවා. ඒ අනුව පොළොව හා එහි සියලු පිළියෙළ කිරීම් ඇති කිරීම සඳහා දින හතරක්ද අහස නිර්මාණය කිරීම සඳහා දින දෙකක්ද වශයෙන් අහස හා පොළොව නිර්මාණය කිරීමට සම්පූර්ණ දින හයක් ගත වී තිබෙනවා. අල් කුර්ආනයේ  41:9-12 වැකි වල අදහස මෙයයි.

මෙම වැකිය (41:9-12) නිසි ආකාරව තේරුම් නොගත් ඇතැම් විවෙචකයන් පවසන්නේ 41:9-12 වැකියට අනුව අහස හා සියලු පිළියෙළ කිරීම් වලින් යුත් පොළොව නිර්මාණය කිරීම සඳහා දින අටක් ගත වී ඇති බවයි. එනිසා මෙම වැකිය අහස හා පොළොව දින හයකින් නිර්මාණය කළා යැයි සඳහන් අනෙකුත් කුර්ආන් වැකි වලට(7:54, 10:3, 11:7, 57:4) පරස්පරවිරෝධී වන බවත් ඔවුන් පවසනවා. මෙම වැරදි වැටහීමට හේතුව පොළොව නිර්මාණය කිරීමෙන් පසුව එහි අනෙකුත් දේවල් පිළියෙළ කිරීමට දින හතරක් ගත වූ බව ඔවුන් විශ්වාස කිරීමයි. මෙවන් විශ්වාසයක් ගොඩනැගීමට කිසිඳු පැහැදිලි පදනමක් මෙම වැකියේ සදහන් වී නැහැ. ඒ වගේම අල් කුර්ආනයේ අනෙකුත් වැකි වල අහස හා පොළොව නිර්මාණය කිරීමට දින හයක් ගත වූ බව පැහැදිලිවම සඳහන් වී තිබෙන නිසා අල් කුර්ආනයේ 41:9-12 වැකි වල නිසි අර්ථය පහසුවෙන් අපට තේරුම් ගන්න පුළුවන්. එනම් අල් කුර්ආනයේ 41:9-12 වැකිට අනුව පොළොවේ විවිධ පිළියෙළ කිරීම් සඳහා ගත වූ දින හතර තුළ පොළොව නමැති ග්‍රහලෝකය නිර්මාණය කිරීමේ දින දෙකද අඩංගු බව අපට තේරුම් ගන්න පුළුවන්.

මූලාශ්‍රයන්

[1] al-Jaami’ li Ahkaam al-Qur’aan, vol. 15, p. 343

Loading