අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.
ආදම් තුමාට නමස්කාර කරන ලෙස අල්ලාහ් සුරදූතයින්ට අණ කළාද?
සර්ව බලධාරී දෙවියන් පළමු මිනිසා වන ආදම් නිර්මාණය කළ විගස ම ඔහුගේ දක්ෂතාව හෙළි කරවා ඔහුට යටහත් පහත් වන ලෙස සුර දූතයින්ට අණ කළ බව පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 2:34, 7:11, 15:29-31, 17:61, 18:50, 20:116, 38:72 යනාදී වැකි වල සඳහන් වී තිබෙනවා.
“ආදම්ට යටහත් පහත් වන්නැ”යි අපි සුර දූතයින්ට ප්‍රකාශ කළ විට ඉබ්ලීස් හැර සියල්ලෝ ම යටහත් පහත් වූහ. ඔහු ජින් වරුන්ගෙන් කෙනෙක් විය. ඔහු තම දෙවියන්ගේ අණ කඩ කළේය. මා හැර ඔහු ද ඔහුගේ පැවතෙන්නන් ද භාරකරුවන් ලෙස නුඹලා ගන්නෙහු ද? ඔවුහු නුඹලාට සතුරෝ ය. අපරාධකරුවන් හුවමාරු කළ දේ ඉතා නරක ය. [අල් කුර්ආනය 18 : 50]
මෙම වැකියේ “ආදම්ට යටහත් පහත් වන්නැ”යි අපි සුර දූතයින්ට ප්‍රකාශ කළ විට ඉබ්ලීස් හැර සියල්ලෝ ම යටහත් පහත් වූහ” නමැති වාක්‍ය දෙස මතුපිටින් බැලීමේදී ඉබ්ලීස් නැමැත්තාද සුර දූතයෙක් යැයි කෙනෙක් තේරුම් ගන්න පුළුවන්. සුර දූතයින් යනු ආලෝකයෙන් නිර්මාණය කරන ලද කොට්ඨාශයක්. නමුත් ඉබ්ලීස් යනු ඇත්තෙන්ම ගින්දරින් නිර්මාණය වූ “ජින්” වර්ගයට අයත් කෙනෙක්. ඉබ්ලීස් යනු ජින්වරයෙක් බව ඉහත කුර්ආන් වැකියේම සඳහන් වෙනවා. ජින්වරුන් යනු ගින්දරින් නිර්මාණය කරන ලද කොට්ටාශයක් බව පහත කුර්ආන් වැකියෙන් අපට තේරුම් ගන්න පුළුවන්.
මඩෙහි වූ කළු මැටියෙන් අඹන ලදුව අපි මිනිසා නිර්මාණය කළෙමු. තද උණුසුමක් සහිත ගින්නෙන් මීට පෙර අපි ජින් වරයා නිර්මාණය කළෙමු. [අල් කුර්ආනය 15 : 26,27]
ඒ වගේම මුහම්මද් තුමාගේ ඉගැන්වීම් වලින්ද මේ දේවල් අපට තේරුම් ගන්න පුළුවන්.
මුහම්මද් තුමා පැවසු බවට ඔහුගේ බිරිඳ ආයිෂා තුමිය මෙසේ පවසනවා: “සුරදූතයින් ආලෝකයෙන් නිර්මාණය කරන ලදී, ජින්වරුන් ගින්දරින් නිර්මාණය කරන ලදී. ඔබට (අල් කුර්ආනයේ) දැනුම් දී ඇති අකාරයෙන් අදාම්ව නිර්මාණය කරන ලදී”
ඉබ්ලීස් යනු ගින්දරින් නිර්මාණය වූ කෙනෙක් බව පැහැදිලිවම අල් කුර්ආනයේ තවත් තැනක සඳහන් වී තිබෙනවා.
“මම නුඹට අණ කළ විට, යටහත් පහත් වීමෙන් නුඹ වැළැක් වූයේ කුමක් දැ”යි (දෙවියන්) ඇසීය. ” මම ඔහුට වඩා උසස් ය. ඔබ මා ගින්නෙන් නිර්මාණය කළෙහි ය. ඔහු මැටියෙන් නිර්මාණය කළෙහි යැ” යි ඔහු පැවසීය. [අල් කුර්ආනය 7:12]
මේ අනුව ඉබ්ලීස් යනු ගින්දරින් නිර්මාණය වූ ජින් කෙනෙකු වන අතර සුරදූතයෙක් නොවන බව පැහැදිලියි. නමුත් “ආදම්ට යටහත් පහත් වන්නැ”යි අපි සුර දූතයින්ට ප්‍රකාශ කළ විට ඉබ්ලීස් හැර සියල්ලෝ ම යටහත් පහත් වූහ” යන වාක්‍යට අනුව ඉබ්ලීස් යනු සුරදූතයෙක් බව ඇතැම් විවේචකයන් පවසනවා. අරාබි භාෂාවේ “තග්ලීබ්” නම් රීතිය ගැන කෙනෙක් දන්නවා නම් ඉහත වාක්‍යය උපයෝගී කරගෙන ඉබ්ලීස් යනු සුරදූතයෙක් බව පැවසීම නිවැරදි නොවන බව ඔහුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.
තග්ලීබ්: මෙම රීතියට අනුව යම් බහුතරයකට ආමන්ත්‍රණය කරන්නේ නම් සුලුතරයත් එයට අඩංගු වෙනවා. උදාහරණයක් ලෙස එක් පන්ති කාමරයක පිරිමි ළමුන් 99ක් හා එක් ගැහැණු ළමයෙක් සිටිනවා යැයි සිතන්න. මෙහිදී “සෑම පිරිමියෙක්ම නැගිටින ලෙස අණ කරනු ලැබුවා” යැයි අරාබි භාෂාවෙන් ප්‍රකාශ කරනවා නම්, තග්ලීබ් රීතියට අනුව මෙම අණ මෙම පන්තියේ සිටින ගැහැණු ළමයාටත් වලංගු වෙනවා. මෙම ගැහැණු ළමයාට ප්‍රකාශ කළ අණ වෙන්ව සඳහන් කළ යුතු වන්නේ නැහැ.
මේ අකාරයෙන්ම අල්ලාහ් සුරදූතයින්ට හා ඉබ්ලීස්ට දුන් අණ කුර්ආනයේ සඳහන් වන්නේ තග්ලීබ් රීතියට අනුවයි. එනිසා “ආදම්ට යටහත් පහත් වන්නැ”යි අපි සුර දූතයින්ට ප්‍රකාශ කළ විට ඉබ්ලීස් හැර සියල්ලෝ ම යටහත් පහත් වූහ” යන වාක්‍යය ඉබ්ලීස්ද සුර දූතයෙකු යැයි පැවසීමට සාධකයක් ලෙස යොදා ගන්න බැහැ. හේතුව මෙම අණ බහුතරයක් වූ සුරදූතයින්ට හා ජින්වරයෙකු වූ ඉබ්ලීස්ටද වලංගු වීමයි.
අල් කුර්ආනයේ 18 : 50 වැකිය අනුව ඉබ්ලීස් යනු සුරදූතයෙක්ද? නොඑසේනම් ජින්වරයෙක්ද යැයි ප්‍රශ්න කරමින් පරස්පරවිරෝධීතාවයක් ගොඩනගන්න ඇතැම් විවේචකයන් උත්සහ දරනවා. නමුත් මෙම උත්සහ අසාර්ථක බව ඉහත කරුණු දෙස බලන කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.
මෙහිදී තවත් වැදගත් කරුණක් පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. එනම් අල් කුර්ආනයේ 2 : 34 වැකියේ සජදා යන වචනයේ අර්ථය “සිරස නමා පසඟ පිහිටුවා නැමදුම් කිරීම” නොවේ. මෙම කරුණ තේරුම් ගැනීමට “ආදම් තුමාට නමස්කාර කරන ලෙස අල්ලාහ් සුරදූතයින්ට අණ කළාද?” යන ලිපිය කියවන්න.
![]()