ඉස්ලාම් දහම හා වහල් භාවය පිලිබඳ වැරදි වැටහීම

ජීවිතයේ සෑම අංශයක් ගැනම කතා කරන ඉස්ලාම් දහම, එම අංශ සඳහා නිසි ඉගැන්වීම් ලබා දී තිබෙනවා. පෞද්ගලික ජීවිතය හැඩ ගස්සාගන්නේ කෙසේද, පවුලේ කටයුතු, සමාජීය මෙහෙවර, රාජ්‍ය පාලනය වැනි සියලු දේවල් ඉස්ලාමීය ඉගැන්වීම් වල අඩංගුයි. මේ නිසාම මුස්ලිම්වරයෙකු වහල් පුද්ගලයෙකු සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද යන්නත් ඉස්ලාම් දහම පැහැදිලිවම පවසනවා. වහලුන් සඳහා නීති ඉස්ලාම් දහම තුළ සඳහන් වන්නේ කුමන හේතුවක් නිසාද යන්න මුලින්ම දැන ගත යුතුයි. මීට අදාළ ඉතිහාසය අප සලකා බලමු.

විවිධ හේතූන් නිසා අතීතයේ විවධ රාජ්‍යයන් අතර යුද්ධ ඇති වී තිබෙන අතර යුද්ධයෙන් දිනු පාර්ශවය යුද්ධයෙන් පරාජය වූ පාර්ශවය සිරභාරයට ගන්නවා. මෙම සිරභාරයට ගත් අය අතර පිරිමින් මෙන්ම කාන්තාවන්ද සිටින්න පුළුවන්. මෙලෙස සිරභාරයට ගත් පිරිස රඳවා තබා ගන්න එකල සිර ගෙවල් තිබුනේ නැහැ. ඔවුන්ට ජීවත්වන්න ඉඩ සැපයීම, අහාර සැපයීම, නත්තු කිරීම, ඇඳුම් ලබාදීම යනාදිය සඳහා ධනය වැය කිරීමද අපහසු කාර්යයක්. එනිසා අත් අඩංගුවට ගනු ලැබූ අය සටනට සහභාගී වූ අයට ඛෙදා දීමේ සම්ප්‍රදායක් අතීතයේ තිබුණා. ඔවුන්ගෙන් වැඩ අර ගෙන ඔවුනට ආහාර දීම අපහසුවක් කාර්යයක් ලෙස තිබුනේ නැහැ. ඒවගේම වැඩ කරන්නට කෙනෙක් අවශ්‍ය නැතැයි සිතන අය තමන්ට ලැබුණු වහලූන් පොහොසත් අයට විකුණා දමනවා. මේ නිසා වහල් වෙළඳපොළවල් පවා එකළ ක්‍රියාත්මක වී තිබෙනවා.

මුහම්මද් ﷺ තුමා තමාගේ දේව දූත මෙහෙවර ආරම්භ කිරීමට පෙරම මෙම වහල්භාවය ලෝකයේ තිබුණා [1]. එනිසා වහල් භාවය සම්බන්ධවත් නිසි මගපෙන්වීමක් ලබා දීම මුහම්මද් ﷺ තුමා දේශනා කළ ඉස්ලාම් දහමේ වගකීමක් ලෙස තිබුණා. “නොයෙකුත් සමාජ දූෂණ කටයුතු එකම විධානයකින් තුරන් කළ ඉස්ලාම් වහලූන් ද තුරන් කළ යුතු නොවේ ද? ඉස්ලාම් එය පිළිගත යුත්තේ ඇයි?” යනාදී ප්‍රශ්න ඇතැමුන්ට මතු වෙන්න පුළුවන්. මෙහි දී නොයෙකුත් කාරණා සැලකිල්ලට ගත යුතුයි. යුද බිමේ සිර භාරයට ගැනීමෙන් වහලූන් බිහි වූවත් යුද විරුවෝ එවෙලේ ම ඔවුන් අලෙවි කර මුදල් කර ගන්නවා. එනිසා බොහෝ දුරට වහලූන් සිටියේ මිල දී ගත් පොහොසත් අය ලඟයි. මින් මතුවට වහලූන් නොසිටිය යුතු යැයි අණක් පනවන ලද්දේ නම් වහලූන් මිල දී ගත් පොහසතුන් බොහෝ සෙයින් අලාභ ලබා තිබෙන්නට පුළුවන්. ඒ වගේම ඔවුන් සියල්ලන්ට ම වන්දි ගෙවීමක් කළේ නම් රජය නඩත්තු කළ නොහැකි වී යනවා. වන්දි ගෙවීමත් නොකර අණක් පැනවූයේ නම් නීත්‍යානුකූලව අවසර තිබිය දී කරන ලද වෙළඳාමෙන් ජනතාවට අලාභයක් සිදු වීම අසාධාරණ බව පැහැදිලි කරුණක්. ඒවගේම සියලූ ම වහලූන් වෙනුවෙන් වන්දි ගෙවීමක් සිදු කර වහලූන් නිදහස් කරන්නට නබි මුහම්මද් ﷺ  තුමාණන් අණ කර තිබුණත් එයින් ද විනාශයක් ම වෙනවා නියතයි. හේතුව, නිතර ම යුද්ධ සිදු වෙමින් පැවති එකල වාතාවරණයක දී නබි මුහම්මද් ﷺ තුමාණන් පමණක් ඒක පාර්ශ්විකව මෙලෙස දන්වා සිටින විට මුස්ලිම් සිරකරුවන් අනෙක් රට වල වහලූන් වන තත්ත්වයක් උදා වනවා. එපමනක් නොව සතුරන් වහාම නිදහස් වන තත්ත්වයක් ද උදා වෙනවා. නබි මුහම්මද් ﷺ තුමාණන්ට එරෙහිව සටන් කළේ නම් තමන්ට විශාල අලාභයක් සිදු වන්නේ නැහැ, අලාභ ඇති වන්නේ ඔහුටම ය යන හැඟීම අවට රට වලට ද ඇති වෙන්න පුළුවන්. එනිසා මුහම්මද් ﷺ තුමා එකම අණකින් වහල් බව තුරන් කළේ නැහැ. ලොවේ රටවල් සියල්ලක් ම ඒකමතික ව තීරණයකට එළඹෙන තෙක් නබි මුහම්මද් ﷺ තුමාණන් පමණක් තීරණයක් ගැනීම යහපතක් ගෙන දෙන්නේ නැහැ.

ක්‍රමවේදයක් හුදෙක් සිද්ධාන්තයක් ලෙස පවසනවාට වඩා එය ප්‍රායෝගික විය යුතුයි. එනිසා වහල්භාවය සම්බන්ධව ඉස්ලාම් දහම විවිධ මට්ටමින් ඉගැන්වීම් ලබා දී තිබෙනවා. නබි මුහම්මද් ﷺ තුමාණන් වහල් භාවය තුරන් කිරීමට විවිධ සැලසුම් දියත් කර තිබෙන බව ඉස්ලාමීය ඉගැන්වීම් වල පැහැදිලිවම සඳහන් වෙනවා.

වහලා හා ස්වාමියා අතර ගෞරවාන්විත බැඳීමක් ඇති කිරීම

අල් ම’රුර් මෙසේ පවසා සිටියා: අර් රබධාවේ(අර් රබධා නම් ස්ථානයේ) කබායක් ඇඳගෙන සිටි අබූ දර්ව මා මුණ ගැසුනෙමි. ඔහුගේ වහලාද එම කබාය වගේම කබායක් ඇඳගෙන සිටියේය. මෙයට හේතුව කුමක්ද යන්න මම ඔහුගෙන් විමසුවෙමි. එයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය, “මා කෙනෙකුගේ මවට නුසුදුසු නම් භාවිතා කරමින් ඔහුව නින්දාවට පත් කලෙමි”. (එනිසා) නබිවරයා (මුහම්මද් ﷺ තුමා) මට මෙසේ පැවසුවේය, ‘අබූ දර්! ඔහුගේ මවට නුසුදුසු නම් භාවිතා කරමින් ඔහුව නින්දාවට පත් කළාද? ඔබට තවමත් නූගත්කමේ ලක්ෂණ තිබෙන්නේය. “ඔබගේ වහලුන් ඔබගේ සොහොයුරන්ය, අල්ලාහ් ඔවුන්ව ඔබ යටතේ තබා ඇත්තේය. එනිසා ඔබ යටතේ සහෝදරයෙක් සිටි නම් ඔබ ඔහුට ඔබ ගන්නා අහාරම සැපයිය යුතුය, ඔබ අඳිනා වස්ත්‍රම ලබා දිය යුතුය. ඔවුන්ගේ හැකියාවට ඔබ්බෙන් තිබෙන දේවල් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සොසිටිය යුතුය, එසේ ඉල්ලා සිටියේ නම් ඔබ ඔවුන්ට උදව් කළ යුතුය [2].

අලි තුමා පවසා සිටින්නේ මුහම්මද් ﷺ තුමාගේ අවසාන වචන වූයේ “නැමදුම! , නැමදුම! ඔබගේ වහලුන්ගේ විශයේදී අල්ලාහ්ට බිය වන්න” යන වචන බවයි[3].

සැබෑ මුස්ලිම්වරයෙක් තම වහලාට උදව් උපකාර කරන උතුම් පුද්ගලයෙකු වශයෙන් කටයුතු කළ යුතු බව මෙම ඉගැන්වීම් වලින් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ පවතින වහල්භාවයට සහමුලින්ම එරෙහිවන ඉගැන්වීම් ඉස්ලාම් දහම තුළ තිබෙන බව මෙතුළින් අපට වටහා ගන්න පුළුවන්. වහල්භාවය යන වචනය ඇසීමේදී අපගේ මනසේ ගොඩ නැගෙන්නේ, “ස්වාමියා විසින් හිංසාවට ලක් වන පුද්ගලයෙක්” වුවද ඉස්ලාමීය ඉගැන්වීම් වල අරමුණ වහලා කෙරෙහි සිතන මෙම වැරදි චින්තනය ස්වාමියාගේ මනසින් මෙන්ම ලෝකයාගේ මනසින් ඉවත් කිරීමයි. මීට අමතරව වහලුන්ට හිංසාවක් සිදු වන මොහොතේදී එයට විරුද්ධව නැගී සිටීම මුස්ලිම්වරයෙකු කළ යුතු බවද ඉස්ලාමීය ඉගැන්වීම් අපට පවසනවා.  

එක් පුද්ගලයෙකු ඔහුගේ වහල් කාන්තාවක් සමඟ කෝප වී ඇයගේ කම්මුලට ගැසුව බව හිලාල් ඉබ්නු යසාෆ් සඳහන් කළේය. මෙයට සුවෛද් ඉබ්නු මුකර්රින් ඔහුට මෙසේ පැවසුවේය: “ශරීරයේ වැදගත් අංශයක් වන මුහුණ හැරෙන්න ඇයට ගසන්න වෙන ස්ථානයක් ඔබට තිබුනේ නැද්ද?. බලන්න මම මුකර්රින්ගේ දරුවන් සත්දෙනාගෙන් එක්කෙනෙකි, අපට සිටින්නේ එක් වහල් කාන්තාවක් පමණි. අපගෙන් බාලයා ඇයගේ කම්මුලට ගැසුවේය. එනිසා අල්ලාහ්ගේ දුතයා (මුහම්මද් ﷺ තුමා) ඇයව නිදහස් කරන ලෙස අපට අණ කර සිටියේය [4].

අබූ මසූද් අල් බද්රි මෙසේ වාර්තා කළේය: “මම මාගේ වහලාට කසයෙන් ගසමින් සිටියෙමි, එවිට මාගේ පසුපසින් හඬක් ඇසුණි: “වටහා ගන්න අබූ මසූද්!”, නමුත් මා තුළ තිබුණු දැඩි කෝපය නිසා ඒ හඬ කාගේද යන්න හඳුනා නොගත්තෙමි. ඔහු ලඟට පැමිණි විට මට ඇමතුවේ අල්ලාහ්ගේ දූතයා (මුහම්මද් ﷺ තුමා) බව මා හඳුනා ගත්තෙමි. ඔහු (මුහම්මද් ﷺ තුමා) මට මෙසේ පැවසුවේය: මතක තියා ගන්න අබූ මසූද්! මතක තියා ගන්න අබූ මසූද්!, එවිට මා මාගේ අතේ තිබුණු කසය විසිකර දැමුවෙමි. පසුව ඔහු (මුහම්මද් ﷺ තුමා) මෙසේ පැවසුවේය, “මතක තියා ගන්න අබූ මසූද්! මෙම වහලා කෙරෙහි ඔබ සතු බලය හා හැකියාවට වඩා දෙවිඳුන්ට ඔබ කෙරෙහි බලය හා හැකියාව ඇත”. පසුව මා(අබූ මසූද්) මින් පසුව මාගේ සේවකයන්ට ගසන්නේ නැති බව මුහම්මද් ﷺ තුමාට පැවසුවෙමි.[5]

මෙම ඉගැන්වීම් වලින් පමණක් නොවතුනු ඉස්ලාම් දහම වහලුන් නිදහස් කිරීමටද දිරි ගන්වා තිබෙනවා.

වහලුන් නිදහස් කිරීම

කෙනෙක් අල්ලාහ් මත දිවුරා එය කඩ කළේ නම් හෝ උපවාසයක් කඩ කළේ නම් හෝ මෙවැනි වැරදි වලට ප්‍රතිකර්මයක් ලෙස පොහොසත් අය වහලූන් නිදහස් කළ යුතුයැයි නබි මුහම්මද් ﷺ තුමාණන් දිරි ගන්වා තිබෙනවා. ඒ වගේම ගිවිසුමට අනුව වහලූන් නිදහස් කිරීමට ක්‍රමයක්ද ඔහු ඇති කළා. එනම්, මම නුඹව නිදහස් කරමි. නුඹ උපයා ටිකෙන් ටික මාගේ ණය පියවිය යුතුයැයි හාම්පුතුන් වහලූන් සමඟ ගිවිසුම් ඇති කරගෙන නිදහස් කිරීමට දිරිමත් කළා. ඒ වගේම යම් වහල් පිරිමියෙක් හෝ කාන්තාවක් මෙවන් ගිවිසුමක් යටතේ ඔවුන්ව නිදහස් කරන ලෙස තම හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටින්නේ නම් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් ඉස්ලාම් දහම පවසනවා.

විවාහයක් සිදු කර ගැනීමට පහසුකම් නොමැති අය අල්ලාහ් තම දයාවෙන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත් කරන තෙක් ඔවුහු තම පතිවත රැක ගනිත්වා` නුඹලාගේ වහලූන්ගෙන් ලියවිල්ල ඉල්ලා සිටින අය කෙරෙහි නුඹලා යහපතක් දුටුවහොත් ඔවුනට ලියවිල්ල ලියා දෙන්න. අල්ලාහ් නුඹලාට පිරිනමා තිබෙන ධනයෙන් ඔවුනට පිරිනමන්න. මෙලොව ජීවිතයෙහි සම්පත් ලබා ගනු පිණිස පතිවත රැක ගැනීමට අදහස් කරන නුඹලාගේ ස්ත්‍රීන් දුරාචාරයට බල නොකරන්න. යමෙක් ඔවුනට බල කරන්නේ ද බල කරන ලද එම කාන්තාවන්ට අල්ලාහ් ක්ෂමා කරන්නෙකි, අසම සම දයාවන්තයෙකි. [අල් කුර්ආනය 24:33]

මීට අමතරව යම් කෙනෙක් වහලූන් නිදහස් කළේ නම් ඒ වහලා පසු කාලයේ උපයන දැයට ඔහුගේ හාම්පුතා උරුම්මක්කරු වේ යැයි නීතියක් සම්පාදනය කර වහලූන් නිදහස් කිරීමට ඉස්ලාමය දිරි ගන්වා තිබෙනවා. පොදු වේ මිනිසා කරන යහපත් ක්‍රියා වල වහලූන් නිදහස් කිරීම වඩාත් යහපත් යැයි පවසමින් ඔවුන්ව නිදහස් කිරීමට ඉස්ලාම් දහම දිරි ගන්වා තිබෙනවා. මේ අකාරයෙන් තම ජීවිත කාලයේ සෑහෙන ප්‍රමාණයක් වහලූන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට මුහම්මද් ﷺ තුමා සමත් වුණා.

වහල් වෙළඳාම, වහල් මෙහෙය ධනවත් හා ප්‍රභූ පැළැන්තිය බුක්ති විඳි සමාජ වරප්‍රසාදයක් ලෙස සැලකු යුගයක වහලුන් නිදහස් කිරීම සඳහා ඉස්ලාමය අනුගමනය කළ පිළිවෙත සැමගේ ප්‍රශංසාවට ලක් වුවක්. ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා ආගමික අධ්‍යයන අංශයේ සහායක මහාචාර්ය ජොනතන් බ්‍රොකොප් මහතා පවසන අන්දමට සමාජ ව්‍යුහයේ ව්‍යාකුලත්වයක් ඇති නොකොට සමහර පාපයන්ට ප්‍රතිකර්මයක් ලෙස මෙන්ම දානමය මුදල් වහලුන් නිදහස් කිරීමට යෙදවීම පිළිබඳව ඇති ඉස්ලාමීය ඉගැන්වීම සැබැවින්ම අද්විතීය එකක් බවයි. [6]

මෙලෙස වහල් කමින් නිදහස් වූ බිලාල් ඉබ්නු රබාහ් තුමාව ඉස්ලාමීය සමාජයේ ඉතාම උසස් අයෙකු ලෙස ගෞරව ලැබීමටද ආගමික මෙන්ම රාජ්‍ය පාලන කටයුතු වල උසස් වගකීම් දරන්නටද මුහම්මද් ﷺ තුමා තෝරා ගත්තා.

වහලුන් ලෙස සිටින කාන්තාවන් සඳහා වූ විශේෂ නීතිය

වහල්භාවයට පත් වූවන් අතුරින් කාන්තාවන්ද සිටින්න පුළුවන්. මෙවන් අවස්ථාවකදී මෙම වහල් කාන්තාවන්ට ජීවත් වීමට සිදු වන්නේ තමාගේ හාම්පුතාගේ නිවසේ බව නොරහසක්. මෙම කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයා වෙනත් රටක සිටින්න පුළුවන්. නො එසේනම් ස්වාමි පුරුෂයෙක් නොසිටින්නත් පුළුවන්. මෙවන් තත්ත්වයක දී අන්‍යයින් විසින් ඇය නොමනා ලෙස බැලීමෙන් වළක්වනු පිණිස වැටක් බැඳිය යුතු වෙනවා. ඒ වගේම ඇයට ආරක්ෂාව, ඇයගේ අවශ්‍යතා සපුරා දීම, ඇයට අසනීප වූ විට හොඳින් බලා ගැනීම යනාදියද සැලකිය යුතුයි. මෙම වගකීම් සියල්ල හිමි වන්නේ මෙම කාන්තාවගේ හම්පුතාටයි. “මේ මාගේ වහල් කාන්තාවයි, එනිසා මට උවමනා ඕනෑම අකාරයෙන් ඇයට සලකන්න පුළුවන්” යැයි මුස්ලිම් හාම්පුතුන් සිතිය නොයුතුයි. මේ බව ඉහත කරුණු වලින් අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.

තමා නොදන්නා රටක කිසිඳු පිහිටක් නොමැතිව තනියෙන් සිටින ඇතැම් වහල් කාන්තාවන්ට ස්වාමි පුරුෂයෙකුගේ ස්ථානයේ හාම්පුතෙක් සිටිය යුතුයි යන අපේක්ෂාවද තිබෙන්න පුළුවන්. මෙම අපේක්ෂාවේ කිසිදු වැරැද්දක් නැහැ. ඉතිහාසය පිලිබඳ කරුණු ඉදිරිපත් කරන ජෝන් මැක්ක්ලින්ටෝක් මේ පිළිබඳව මෙසේ පවසනවා:

තම පියවරුන් හා ස්වාමි පුරෂයින් සමඟ යුද්ධයට යන කාන්තාවන් විවාහ ගිවිසුමකට පෙර අඳින්නාක් මෙන් තමා සතුව තිබෙන අලංකාරම ඇඳුම් හා ආභරණය පැළඳ ගන්නවා. මෙසේ කරන්නේ තමාගේ පාර්ශවය යුද්ධයේදී පරාජය වුවහොත් තමාගේ සේනාව පරාජය කළ අයගෙන්  වරප්‍රසාද හිමි කර ගැනීමේ බලාපොරොත්තුවෙනුයි [7].

ඒවගේම මැතිව් බී ශුවර්ට් නම් විද්වතාද මෙසේ පවසනවා:

ලස්සන කාන්තාවන් රොක් වන්නේ පරාජය කළ විරුවන් අවට නොව ජය ලබා ගත් විරුවන් අවටය. ජය ලබාගත් විරුවා කාන්තාවන්ගේ ආකර්ෂණයට ලක් වන බව යුද්දයකදී සිදු වන නිශ්චිත කරුණක් [8].

මෙනිසා මෙම වහල් කාන්තාවන්ට නිසි ආරක්ෂාව, ලිංගික අවශ්‍යතා ඇතුළු අනෙකුත් සියලු අවශ්‍යතා ලබා දීම හාම්පුතාගේ වගකීමයි. එනිසා මෙවන් අවස්ථාවකදී මෙම වහල්කාන්තාවන් සමඟ ලිංගිකව එක් වීම වැරැද්දක් නොවන බව ඉස්ලාම් දහම පවසනවා.(4:3, 4:24,25, 4:36, 16:71, 23:6, 24:31, 24:33, 24:58, 33:50, 33:52, 33:55, 70:30). කෙසේනමුත් වහල් කාන්තාවක් සමග මෙසේ කටයුතු කිරීමට ඇය මුස්ලිම් කාන්තාවක් වීම අනිවාර්යය කරුණක්. ඒ වගේම කෙනෙකුට ඉස්ලාම් දහම වැළඳ ගන්න මෙන් බල කරන්න බැරි නිසා වහල් කාන්තාවන්ටද ඉස්ලාම් දහම වැළඳ ගන්නා ලෙස බල කරන්න කිසිම අයිතියක් මුස්ලිම් හාම්පුතාට නැහැ.

මෙහිදී හාම්පුතා සිදු කළ යුත්තේ තම වහල් කාන්තාවට ඉස්ලාම් දහම පැහැදිලි කර දීමයි. එසේ පැහැදිලි කර දුන් පසු ඇතැම් විට ඇය ඉස්ලාම් දහම වැළඳ ගන්න පුළුවන්. මෙවන් කාන්තාවන් නිදහස් කර ඔවුන්ව තමාම සරණපාවා ගැනීමට හෝ වෙනත් කෙනෙකුට සරපාවා දීමට ඉස්ලාම් දහම අනුමැතිය ලබා දෙන අතර සරණපාවා නොගෙන ඇගේ කැමැත්ත අනුව එක්ව ජීවත්වීමටද ඉස්ලාම් දහම අනුමැතිය ලබා දෙනවා. කෙසේනමුත් ලිංගික ආශාවක් නොමැති එම අවශ්‍යතාවය නොමැති වහල් කාන්තාවන්ද සිටින්න පුළුවන්. එනිසා මෙහිදී කිසිඳු බල කිරීමක් තිබිය නොයුතුයි. ඒවගේම ලිංගිකව එක් වීමට අනුමැතියක් ලබා දීම, බලහත්කාරකම් කිරීමට අනුමැතියක් ලෙස සැලකීම නිවැරදි නැහැ. මේ බව පහත කරුණු තුළින් තවදුරටත් තහවුරු කර ගන්න පුළුවන්.

උමර් බින් කත්තාබ් විසින් කාලිද් බින් වලීද්ව එක් සේනාවක යවන ලදී, කාලීද් විසින් ධරාර් බින් අල් අවුස්වාර්ව එක් කණ්ඩායමක යැවු අතර අවුන් බනි අසාද් නම් ගෝත්‍රයට අයිති නගරයක් වැටලුවෝය. එහිදී ඔවුන් එක් ලස්සන කාන්තාවක් යටත් කර ගත්තෝය. ධරාර් ඇයට කැමති වූ අතර ඔහු තම සහයකයන්ගෙන් ඇයව තමාට දෙන ලෙස ඉල්ලා සිටි අතර ඔවුන්ද එසේ කළෝය. පසුව ඔහු ඇය සමඟ ලිංගිකව එක් වුණේය. තමාගේ යුධමය කාර්යභාරය අවසන් වූ පසු ඔහු තමා වරදකරුවෙකු බව වැටහී ගිය නිසා කාලිද් වෙත ගොස් ඔහු කළ දෙය ගැන පැවසුවේය. කාලිද් මෙසේ පැවසුවේය, “මම මෙය ඔබට අනුමත කළෙමි”. එයට ඔහු (ධරාර්) මෙසේ පැවසුවේය: “නැහැ, ඔබ උමර්ට මේ පිළිබඳව දන්වන තුරු (මට සෑහීමකට පත්වන්න බැහැ). (උමර් තුමාට මේ පිළිබඳව දැන්වූ පසු) ඔහු (උමර් තුමා) මෙසේ පිළිතුරු දුන්නේ ඔහුට(ධරාර්ට) ගල් ගසා මරණ ලෙසයි. මෙම පුවත උමර්ගෙන් ලැබෙන මොහොත වන විටත් ධරාර් මිය ගොස් හමාරය. “ධරාර්ව අවමානයට පත් කිරීමට අල්ලාහ්ට අවශ්‍ය නොවූ බව කාලීද් පැවසුවේය. [9]

මෙනිසා වහල් කාන්තාවක් සමඟ මෙලෙස බලෙන් කටයුතු කිරීම සඳහා වූ දඬුවම මරණ දඬුවම බව  ඉස්ලාමීය විද්වතුන් පැහැදිලිවම පවසනවා.

ඉමාම් මාලික් තුමා මෙසේ පවසනවා:

අපගේ දැක්මට අනුව, කන්‍යාවක් වූවත් නැතත් එක් මිනිහෙක් යම් කාන්තාවක් දූෂණය කළේ නම්, ඇය නිදහස් කාන්තාවක් නම් ඔහු දෑවැද්දට සමාන ප්‍රමාණයක් ඇයට ගෙවිය යුතුයි. ඇය වහල් කාන්තාවක් නම් ඇයගේ අගයෙන් අඩු වූ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ගෙවිය යුතුයි. පසුව දූෂකයාට දඬුවම් ලබා දිය යුතු වන අතර දූෂණය වූ කාන්තාවට කිසිඳු දඬුවම් මොනම මොහොතකවත් නොමැත[10]

ඉමාම් ෂාෆි තුමා මෙසේ පවසනවා:

කෙනෙක් යම් වහල් කාන්තාවක් බලෙන් ලබා ගෙන ඇය සමඟ බලෙන් ලිංගිකව එක් වුණේ නම්, ඔහුගේ නොසැලකිල්ලට සමාවද නොලැබුණේ නම්, වහල් කාන්තාව ඔහුගෙන් මුදවා ගත යුතුයි. ඔහු දඩ මුදලක් ගෙවිය යුතු වන අතර දුරාචාරය සඳහා වූ දඬුවම ඔහුට ලැබෙනු ඇත[11]

මින් පෙනී යන්නේ යම් වහල් කාන්තාවක් තම හාම්පුතාගෙන් දූෂණය වූයේ නම් එම හාම්පුතාට අදාළ දඬුවම මරණ දඬුවම බවයි.

නමුත් ඇතැම් වහල් කාන්තාවන් ඉස්ලාම් දහම වැළඳ ගන්නා අතර තම ස්වාමි පුරුෂයෙකුගේ ස්ථානයේ තම හාම්පුතා සිටින්නේ නම් එය ඇයට පිහිටක් වන බව සිතනවා. මෙලෙස කටයුතු කරනවා නම් මෙම වහල් ස්ත්‍රියගේ තත්වය උසස් වන නිසා මැයව වෙනත් කෙනෙකුට මුදලට විකීණීම සම්පූර්ණයෙන් තහනම්. ඒ වගේම මෙලෙස සිටින කාන්තාවන්ට තමාටම දරුවෙකු සිටිය යුතුයි යැයි තම හාම්පුතාගෙන් බලාපොරොත්තු විය හැකි අතර මෙසේ පවුල් ජීවිතයේ නියැලීමේ දී ඇය දරුවෙක් වැදුවා නම් ඇයත් දරුවාත් වහල්කමෙන් නිදහස් වන බව ඉස්ලාම් දහම පවසනවා.

මෙම විශේෂ අනුමැතිය ඒ කාලයේ දී අනුමත නොකළේ නම් ඇය වෙනුවෙන් මැදිහත් වී කථා කරන්නට කිසිවෙක් නොමැති රටක ඇය ඇගේ හාම්පුතා මත රඳා පවතින විට ඔහු ඇය භුක්ති විඳීම කිසිවෙකුට වැළැක්වීමට නොහැකියි. වහලියක් බැවින් අපිත් භුක්ති විඳිමු යන චේතනාව අන් අයටත් හට ගන්න පුළුවන්. නමුත් ඇයගේ ස්වාමි පුරුෂයාගේ ස්ථානයේ හාම්පුතා සිටින්නේ ය යන චේතනාව හටගන්නා විට ඇයට ආරක්ෂාවක් ලැඛෙනවා නියතයි. ඒ වගේම ඇයට ඉපදුණු දරුවා ස්වකීය හාම්පුතාගේ දරුවෙක් යැයි සැලකෙන බැවින් ද මෙය දුරාචාරයක් ලෙස සලකන්න පුළුවන් කමක් නැහැ.  වහල් ස්ත්‍රීන් යනුවෙන් තත්ත්වයක් පැවති කාලයේ දී මෙම අනුමැතිය ලබා දීම හැරෙන්න වෙනත් ප්‍රයෝගික ක්‍රමවේදයක් නැහැ.

කෙසේනමුත් වර්තමානයේ ලොව පුරා වහල්කම තුරන් කරනු ලැබූ බැවින් දැන් මෙය ක්‍රියාත්මක කළ නොහැකියි බවද අප මතක තබා ගත යුතුයි.

මෙම කරුණු ගැන ශාස්ත්‍රීය අවබෝධයක් නොමැති ඇතැම් විවේචකයන් පවසන්නේ ඉස්ලාම් දහම වහල් බව ඇති කළ බවත් වහල් කාන්තාවන්ව දූෂණය කිරීමට ඉස්ලාම් දහම අනුමැතිය ලබා දී තිබෙන බවත්ය. නමුත් මෙම චෝදනාව පදනම් විරහිත බව ඉහත කරුණු අවබෝධයෙන් කියවන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

මූලාශ්‍රයන්

[1] HISTORY OF SLAVERY http://www.historyworld.net/wrldhis/PlainTextHistories.asp?ParagraphID=cio

[2] Volume 1, Book 2, Number 29

[3] Al-Adab al-Mufrad Al-Bukhari , Nr. 158.

[4] Saheeh Muslim Book 015, Number 4082:

[5] Saheeh Muslim Book 015, Number 4086

[6] “Slaves and Slavery” in The Encyclopedia of the Qur’ān, ed. Jane Dammen McAuliffe, et al. Leiden: E.J. Brill, 2001-5, 5:56-60. By Prof. Jonathan E. Brockopp

[7] John McClintock, James Strong, “Cyclopædia of Biblical, Theological, and Ecclesiastical Literature” [Harper & Brothers, 1894], p. 782

[8] Matthew B. Schwartz, Kalman J. Kaplan, “The Fruit of Her Hands: The Psychology of Biblical Women” [Wm. B. Eerdmans Publishing, 2007] , pp. 146-147

[9] Sunan Al Bayhaqi, Volume 2, page 363, Hadith no. 18685

[10] Imam Maalik, Al-Muwatta’, Volume 2, page 734

[11] Imam Al Shaafi’i, Kitaabul Umm, Volume 3, page 253

Loading