පරමාණුව කියන වචනය අද ජීවත් වන අපට නුපුරුදු වචනයක් නොවෙයි. පරමාණුව භෞතික වස්තූන්ගේ මූලික ඒකකය ලෙස සරලව හඳුන්වාදෙන්න පුළුවන්.
පරමාණුව පිළිබඳව අපට පමණක් නොව අතීතයේ සිටි විද්වතුන්ටත් තරමක අවබෝධයක් තිබුණා. නමුත් අතීතයේ සිටි පැරැන්නන්ට වඩා අද ජීවත් වන අප පරමාණුව ගැන බොහෝ කරුණු දන්නවා. මෙයට හේතුව අප ජීවත් වන කාලයේ තිබෙන විද්‍යාත්මක දියුණුවයි.
අතීතයේ පැරැන්නන් පරමාණුව පිළිබඳව පිළිගත් එක් මතයක් තිබුණා. එනම් “පදාර්ථයේ කුඩාම ඒකකය පරමාණුවයි” යන මතය ඔවුන් තුල තිබුණා. මෙම මතය මුලින්ම ඉදිරිපත් කළේ අතීත ග්‍රීක විද්වතුන් විසිනුයි. විශේෂයෙන්ම ශතවර්ෂ 23ට පෙර ජීවත් වූ ඩිමොක්‍රටිස් නම් විද්‍යාඥයා “පදාර්ථයේ කුඩාම ඒකකය පරමාණුවයි” යන මතය ඉදිරිපත් කළා. ඩිමොක්‍රටිස්ට පසුව පැමිණි අයත් ඩිමොක්‍රටිස්ගේ මෙම මතය පිළිගත්තා. අතීතයේ සිටි අරාබිවරුන් පවා පිළිගත්තේ මෙම මතයයි. අරාබි භාෂාවේ “සzර්රහ්” නම් වචනය පොදුවේ භාවිතා වනුයේ පරමාණුව හැඳින්වීමටයි.
නමුත් නූතන විද්‍යාවේ සොයාගැනීම් අපට කියා දෙන්නේ පරමාණුව පාවා කුඩා කොටස් වලට බෙදිය හැකි බවයි. එනම් “පදාර්ථයේ කුඩාම ඒකකය පරමාණුවයි” නම් මතය තවදුරටත් වලංගු නැහැ. 20 වෙනි සියවසේ සිටින අපට “පරමාණුවද කුඩා කොටස් වලට බෙදිය හැකියි” යන සත්‍යය සාමාන්‍ය දෙයක් වූවත් මීට ශතවර්ෂ 14ට පෙර සිටි අරාබිවරුන්ට මෙන්ම එකල සිටි අන් සියල්ලටම මෙය අසාමාන්‍ය සංකල්පයක්.
එකල සිටි අරාබිවරුන් පදාර්ථය කුඩා කොටස් වලට බෙදීමේ සීමාව “සzර්රහ්” (පරමාණුව) ලෙසින් හැඳින්වූවා. පරමාණුවට එහා පදාර්ථය තවදුරටත් බෙදිය නොහැකි බව ඔවුන් පිළිගෙන තිබුණා. නමුත් ශතවර්ෂ 14ට පෙර පහළ වූ අල් කුරානය “පදාර්ථයේ කුඩාම ඒකකය පරමාණුවයි” යන පැරැන්නන්ගේ මතය ප්‍රතික්ෂේප කරනවා. අල් කුරානය පවසන්නේ පදාර්ථයේ බෙදීමේ සීමාව පරමාණුවෙන් නොනවතින බවයි.
“….අහසෙහි හෝ භූමියෙහි හෝ ඇති පරමාණුව තරම් වූ දෙය හෝ ඊට වඩා කුඩා දෙය හෝ විශාල දෙය හෝ ඔහුට(අල්ලාහ්ට) නොදැනී පවතින්නේ නැත. …” [අල් කුරානය පරිච්ඡේදය සබා'(34):3]
පරමාණුවට වඩා කුඩා දේවල් තිබෙන බව අල් කුරානය පවසන්නේ මීට අවුරුදු 1400 ට පමණ පෙරය. පරමාණුව පිළිබඳව එකල ඇති මතය පවා නොපිළිගනිමින් පරමාණුවට වඩා කුඩා දේවල් තිබෙනවා යැයි අල් කුරානය පවසනවා. නවීන විද්‍යාව පරමාණුවේ ඇති මෙම කුඩා දේවල් අනුපරමාණුක අංශු (subatomic particles) වශයෙන් හඳුන්වනවා. මෙවන් ගවේශනාත්මක කරුණක් අවුරදු 1400කට කලින්ම අල් කුරානයේ ඉතා සරල ආකාරයට සඳහන් වී තිබීම විශ්මයක් නොවේද?
අල් කුරානය, ලියන්න කියවන්න නොදත් මුහම්මද්(සල්) නබි තුමාගේ නිර්මාණයක් නොව විශ්වයේ සියලු දේවල් ගැන දන්නා විශ්වයේ මැවුම්කරු විසින් මුහම්මද්(සල්) නබි තුමාට අනාවරණය කළ දේව පණිවුඩයක් බව ඉහත කරුණ තුලින් පැහැදිලිවම වටහාගන්න පුළුවන්.
![]()