සුනන් ඉබ්නු මාජා (Sunan Ibn Majah) ග්‍රන්ථයේ එන වාර්තාවක් උපයෝගී කරගනිමින්, සමහරුන් චෝදනා කරන්නේ එළුවෙකු විසින් අනුභව කිරීම හේතුවෙන් අල් කුර්ආනයේ ඇතැම් වැකි අහිමි වී ඇති බවයි. මෙම ප්‍රකාශය (හදීසය) විශ්ලේෂණය කර, එහි සත්‍යතාව වටහා ගැනීමට අපි උත්සාහ කරමු.
එම වාර්තාව මෙසේ දැක්වේ:
عن عائشة قالت لقد نزلت آية الرجم ورضاعة الكبير عشرا ولقد كان في صحيفة تحت سريري فلما مات رسول الله صلى الله عليه وسلم وتشاغلنا بموته دخل داجن فأكلها
ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් වාර්තා වේ: “අභිචාරයේදී (කාමමිථ්යාචාරයේදී) ගල්ගසා මරාදැමීමේ වැකිය සහ වැඩිහිටියෙකුට දස වතාවක් මව්කිරි දීමේ වැකිය පහළ කරන ලද අතර, ඒවා කොළයක ලියා මගේ ඇඳ (හෝ කොට්ටය) යට තබා තිබුණි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ අප එම අවමංගල්‍ය කටයුතුවල කාර්යබහුල ව පසුවන විට, නිවසට ඇතුළු වූ එළුවෙකු එම කොළය අනුභව කළේය.” (සුනන් ඉබ්නු මාජා, හදීස් අංක 1944)
1. වාර්තාවේ විශ්වාසවන්තභාවය (Authenticity)
යම් හදීස් වාර්තාවක් අප වෙත ලැබුණු විට, එය සත්‍ය සහ පිළිගත හැකි එකක් ද (සහීහ් ද) යන්න සොයා බැලීම අත්‍යවශ්‍ය වේ. සැබවින් ම මෙම නිශ්චිත වාර්තාව තුළ බරපතළ ගැටලු කිහිපයක් පවතී.
සුනන් ඉබ්නු මාජාහි දැක්වෙන නිශ්චිත වාර්තාකරුවන්ගේ දාමය (Sanad) පරීක්ෂා කිරීමේදී, එහි එක් වාර්තාකරුවෙකු වන මුහම්මද් බින් ඉස්හාක් විසින් මෙම හදීසය වාර්තා කිරීමට ‘අන්‘ (عن – වෙතින්) යන වචනය භාවිතා කර ඇති බව පෙනී යයි. එය තරමක් අපැහැදිලි වාර්තාකරණ ශෛලියක් (ක්‍රමයක්) වන අතර, එමඟින් එම වාර්තාව දුර්වල තත්ත්වයට පත් කරනු ලබයි. ‘තද්ලීස්’ (Tadlis – වාර්තාකරුවන්ගේ දාමයේ ඇතැම් සබඳතා සූක්ෂ්ම ලෙස මඟ හැරීම) සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන වාර්තාකරුවෙකු විසින් මෙලෙස අපැහැදිලි ලෙස කරුණු දැක්වීම, එම වාර්තාව දුර්වල (Da’if) තත්ත්වයට පත් කරයි. මුහම්මද් ඉබ්නු ඉස්හාක් යනු එවැනි ගතිලක්ෂණ පෙන්නුම් කළ වාර්තාකරුවෙකි.
එබැවින්, ඉහත සඳහන් කළ දෝෂය හේතුවෙන් සුනන් ඉබ්නු මාජා හි එන මෙම නිශ්චිත වාර්තාදාමය දුර්වල මෙන් ම පිළිගත නොහැකි තත්ත්වයට පත් වේ. බීරූට් හි දාරුල් ඉහ්යා අල්-තුරාත් අල්-අරබි ප්රකාශනයක් වන ‘තක්මලා ෆත් අල්-මුල්හිම්‘ (1/69) කෘතියෙහි ෂෙයික් මුහම්මද් තකී උස්මානි විසින් ද මෙම කරුණ පැහැදිලි කර ඇත.
මුස්නද් අහ්මද් (Musnad Ahmad) ග්‍රන්ථයේ ද මෙම වාර්තාව එම දාමය හරහා ම පැමිණිය ද, එහි වාර්තාකරණ ශෛලිය වඩාත් පැහැදිලි බැවින් ඉබ්නු මාජා ග්‍රන්ථයේ ඇති ඉහත දෝෂය එහි දක්නට නොලැබේ. කෙසේ වුව ද, මෙම වාර්තාව තවදුරටත් දැඩි විවේචනයට ලක්ව ඇත්තේ මව්කිරි දීම පිළිබඳ සිදුවීම තවත් බොහෝ විශ්වාසවන්ත වාර්තාකරුවන් ආයිෂා තුමියගෙන් වාර්තා කර තිබුණ ද, මුහම්මද් බින් ඉස්හාක්ට වඩා බෙහෙවින් ස්ථාවර එම වාර්තාකරුවන් කිසිවෙකුත් මෙම දාමයේ ඇති වචන (එළුවා පිටපත අනුභව කිරීම පිළිබඳව) වාර්තා කර නොමැති බැවිනි. වඩාත් විශ්වාසවන්ත වාර්තාකරුවන්ගේ සාක්ෂිවලට පටහැනිව, මෙම වචන ඔහු විසින් පමණක් තනිවම වාර්තා කර ඇති බැවින් ඉස්ලාමීය විද්වතුන් මෙහි සත්‍යතාව ප්‍රශ්න කර ඇත. ෂෙයික් ෂුඅයිබ් අර්නාවුත් (Shaykh Shu’aib Arnaud) විසින් මුස්නද් අහ්මද් පිළිබඳ ඔහුගේ වර්ගීකරණයේදී මෙය ‘දඊෆ්‘ (Da’if – දුර්වල) හදීසයක් ලෙස නම් කර ඇත. (මුස්නද් අහ්මද් 6/269, හදීස් අංක 26359 බලන්න).
2. මෙම වාර්තාව මඟින් අල් කුර්ආනයේ පරිපූර්ණත්වය කිසිසේත් ප්‍රශ්න නොකෙරේ.
මෙම වාර්තාව සත්‍ය (සහීහ්) එකක් යැයි උපකල්පනය කළද, අල් කුර්ආනය සම්පූර්ණයෙන්ම ආරක්ෂා වී ඇති බවට වන ස්ථාවරයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවේ. ඒ සඳහා වන සාක්ෂි මෙසේය:
මෙම වාර්තාවට අනුව අහිමි වූ බව කියන වැකි දෙකෙන් එකක් වූයේ විවාහක අවිචාරකයින්ට ගල්ගසා මරාදැමීමේ දඬුවම පිළිබඳ වැකියයි. කෙසේ වෙතත්, අනෙකුත් ප්‍රබල වාර්තා මඟින් සනාථ වන්නේ ගල්ගසා මරාදැමීම පිළිබඳ නියෝගයක් පහළ වූ නමුත්, එය අල් කුර්ආනයේ ලිඛිත කොටසක් ලෙස ඇතුළත් කිරීමට මුහම්මද් නබිතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවසර නොදුන් බවයි. මෙයින් ගම්‍ය වන්නේ එය අල් කුර්ආනයේ අනිවාර්ය ශුද්ධ පදයක් ලෙස පැවතීමට අදහස් නොකළ එකක් බවයි (එනම් එහි නීතිය පමණක් ඉතිරි කර වැකිය පසුව අහෝසි කරන ලද්දකි).
පහත සඳහන් වාර්තා ඒ බව මැනවින් සනාථ කරයි:
අ) කසීර් බින් සල්ට් වෙතින් එන වාර්තාවක දැක්වෙන්නේ සයිද් බින් සාබිත් මෙසේ පැවසූ බවයි:
“අල්ලාහ්ගේ දූතයාණන් ‘විවාහක පුරුෂයෙකු හෝ ස්ත්‍රියක අවිචාරයේ යෙදෙන්නේ නම්, ඔවුන් දෙදෙනාටම ගල්ගසා මරාදමන්න’ යනුවෙන් පවසනු මට ඇසුණි.” මෙය ඇසූ අම්ර් මෙසේ පැවසීය:
فقال عمرو : لما نزلت أتيت النبي صلى الله عليه وسلم فقلت : أكتبها ؟ فكأنه كره ذلك
“මෙම වැකිය පහළ වූ විට මම නබිතුමාණන් වෙත ගොස්, එය ලියා තබා ගැනීමට අවසර ඉල්ලුවෙමි. නමුත් එතුමාණන් එයට අකමැත්ත පළ කරන බවක් පෙනෙන්නට තිබුණි.” (මුස්තද්රක් අල්-හාකීම්, හදීස් අංක 8184. අල්-හාකීම් විසින් මෙය සහීහ් හදීසයක් ලෙස හඳුන්වා දී ඇත).
ආ) මෙම වැකිය පිළිබඳව කසීර් බින් සල්ට් තවදුරටත් මෙසේ පවසයි:
තමා, සයිද් බින් තාබිත් සහ මර්වාන් බින් හකම් යන අය මෙම වැකිය අල් කුර්ආන් පිටපතෙහි ලියා නොමැත්තේ මන්දැයි සාකච්ඡා කරමින් සිටියහ. එම අවස්ථාවේ එතැන සිටි උමර් බින් ඛත්තාබ් ඔවුන්ගේ සාකච්ඡාවට සවන් දී, තමා ඒ පිළිබඳව ඔවුන්ට වඩා හොඳින් දන්නා බව පවසමින්, තමා අල්ලාහ්ගේ දූතයාණන් වෙත ගොස් මෙසේ පැවසූ බව ප්‍රකාශ කළේය:
يا رسول الله أكتبني آية الرجم قال فأتيته فذكرته قال فذكر آية الرجم قال فقال يا رسول الله أكتبني آية الرجم قال لا استطيع ذاك
“අල්ලාහ්ගේ දූතයාණෙනි, ගල්ගසා මරාදැමීමේ වැකිය මට ලියා ගැනීමට අවසර දෙන්න.” එවිට නබිතුමාණන් ප්‍රකාශ කළේ, “මට එසේ කිරීමට නොහැකිය” යනුවෙනි. (සුනන් අල්-කුබ්රා බයිහකී 8/211 සහ සුනන් අල්-කුබ්රා නසායි, හදීස් අංක 7148. අල්බානි විසින් ‘සහීහා’ 6/412 හි පවසන පරිදි බයිහකී මෙහි සත්‍යතාව පෙන්වා දී ඇත).
මෙම වැකිය අල් කුර්ආනයේ ස්ථිර කොටසක් ලෙස තිබුණේ නම්, නබිතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එය ලිවීමට අකමැති වන්නේ මන්ද? එමෙන්ම එය කිරීමෙන් එතුමාණන් ව වැළැක්වීමට හැකියාව ඇත්තේ කා හට ද?
ආ) දෙවන වැකිය: දස වතාවක් මව්කිරි දීම පිළිබඳ නියෝගය
අහිමි වූ බව කියන දෙවන වැකිය වූයේ වැඩිහිටියෙකුට දස වතාවක් මව්කිරි දීම පිළිබඳ වැකියයි. නමුත් මෙම කරුණ සම්බන්ධයෙන් ද, එම වැකිය අහෝසි කරන ලද (Abrogated) බව නිශ්චිතවම ප්‍රකාශ කරන වෙනත් වාර්තා අප සතුව පවතී. වඩාත්ම සිත්ගන්නා කරුණ නම්, එම වාර්තා ද ලැබෙන්නේ ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය හරහාම වීමයි. සහීහ් මුස්ලිම් (Sahih Muslim) ග්‍රන්ථයේ මෙසේ සදහන් වේ:
عنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ كَانَ فِيمَا أُنْزِلَ مِنْ الْقُرْآنِ عَشْرُ رَضَعَاتٍ مَعْلُومَاتٍ يُحَرِّمْنَ ثُمَّ نُسِخْنَ بِخَمْسٍ مَعْلُومَاتٍ فَتُوُفِّيَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُنَّ فِيمَا يُقْرَأُ مِنْ الْقُرْآنِ
ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් වාර්තා වේ: “පැහැදිලිව හඳුනාගත හැකි පරිදි දස වතාවක මව්කිරි දීමක් මඟින් (විවාහය තහනම් වන පරිදි) මව්කිරි සබඳතා ඇතිවන බව මුලින්ම අල් කුර්ආනයෙහි පහළ කර තිබුණි. පසුව එය අහෝසි කර (ඒ වෙනුවට) පස් වතාවක් ලෙස වෙනස් කරන ලදී…” (සහීහ් මුස්ලිම්, හදීස් අංක 2634)
මෙම වාර්තාව මඟින් දස වතාවක් මව්කිරි දීම පිළිබඳ වැකිය අහෝසි කර ඇති බව පැහැදිලිවම ප්‍රකාශ කෙරේ.
නිගමනය (Conclusion)
මෙම වැකි දෙකෙන් කිසිවක් අල් කුර්ආනයේ ස්ථිර කොටසක් ලෙස පැවතීමට අදහස් නොකළ බව වටහා ගත් පසු; අප ඉහත මතභේදාත්මක වාර්තාව (එළුවාගේ සිදුවීම) සත්‍ය යැයි පිළිගත්තද, අපට පැවසීමට ඇත්තේ ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය එම සටහන් ඓතිහාසික වාර්තාවක් (Historical record) ලෙස පමණක් තමා සන්තකයේ තබාගෙන සිටි බවයි. එබැවින්, එළුවෙකු විසින් සැබවින්ම එය අනුභව කළා වුව ද, අල් කුර්ආනයේ කිසිදු කොටසක් මගහැරී හෝ විනාශ වී නොමැත.
එපමණක් නොව, අබු බක්ර් (රළියල්ලාහු අන්හු) සහ උස්මාන් (රළියල්ලාහු අන්හු) යන කලීෆාවරුන්ගේ පාලන සමයන්හි සිදු වූ සමස්ත අල් කුර්ආන් සම්පාදන හා ප්‍රමිතිකරණ ක්‍රියාවලිය පුරාවටම ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය ජීවත්ව සිටි අතර, ඇය ඉස්ලාමීය කරුණු සම්බන්ධයෙන් ඒකමතිකව පිළිගත් ප්‍රධාන මූලාශ්‍රයක් (Authority) වූවාය. එබැවින් යම් හෙයකින් කිසියම් හෝ වැකියක් අල් කුර්ආනයෙන් ගිලිහී ගොස් ඇති බවට ඇයට හැඟීමක් තිබුණේ නම්, ඇය නිසැකවම ඒ පිළිබඳව නබිතුමාණන්ගේ අනෙකුත් සහගාමීන්ගේ (සහාබාවරුන්ගේ) අවධානයට යොමු කරනු ඇත.
සැබවින්ම, නිල අල් කුර්ආන් පිටපත් සම්පාදනය තහවුරු කර ගැනීම සඳහා උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් ආයිෂා තුමියගෙන් උපදෙස් ලබා ගැනීමට සහ ඇය සතු වාර්තා පරිශීලනය කිරීමට විශේෂ උත්සාහයක් ගත් බවට සාක්ෂි පවතී (ඉබ්නු ෂබ්බාගේ ‘තාරීක් අල්-මදීනා‘, පිටුව 997 බලන්න). මේ සියල්ලක්ම සිදු වුවද, ඇය කිසිම අවස්ථාවක එවැනි ගැටලුවක් මතු නොකළ අතර, එමඟින් සනාථ වන්නේ අදාළ (එළුවාගේ) වාර්තාව විශ්වාසවන්ත එකක් ලෙස සැලකුවද, අල් කුර්ආනයේ කිසිදු කොටසක් අහිමි වී නොමැත යන කරුණ සම්පූර්ණයෙන්ම නිවැරදි බවයි.
![]()