ඇතැම් විවේචකයෝ, සෙයිද් ඉබ්න් තාබිත් (රලි) අල් කුර්ආනය එක් සංග්‍රහයකට එකතු කිරීමේ කාර්යය ආරම්භ කරන විටත්, වෙනත් කුර්ආන් පිටපත් එකල සංසරණයේ තිබූ බවට පෙන්වීමට උත්සාහ කරති.
1. සෛද් බින් තාබිත් තුමා ඇතුළු සතර දෙනෙකු සතුව අල් කුර්ආණ සංග්‍රහයන් තිබුණේද?
අනස් ඉබ්න් මාලික් (රලි) මෙසේ වාර්තා කළේය:
“අල්ලාහ්ගේ දූතයාණන් ﷺ තුමාණන් ජීවත්ව සිටි කාලයේ දී පුද්ගලයන් සිව්දෙනෙක් උතුම් අල් කුර්ආනය එකතු කළහ. (එනම් සම්පූර්ණයෙන් ම මතකයේ තබාගත්හ). ඔවුන් සියල්ලෝ ම අන්සාර්වරු වූහ. මුආද් ඉබ්න් ජබල්, උබෛ ඉබ්න් කඅබ්, සෙයිද් ඉබ්න් තාබිත් සහ අබූ සෙයිද්.” එවිට කතාදා “අනස්! අබූ සයිද් කියන්නේ කවුදැයි?” ඇසීය. එවිට අනස් (රලි) තුමා “ඔහු මගේ මාමාවරුන්ගෙන් එක් අයෙකි.” යැයි පිළිතුරු දුන්නේය. (සහීහ් මුස්ලිම්, හදීස් අංක 4507)
කෙසේ වෙතත්, මෙම පුවත අදහස් කරන්නේ සම්පූර්ණ අල් කුර්ආනය මතකයේ තබා ගැනීම පිළිබඳව මිස, එය ලිඛිත ග්රන්ථයක් (මුස්හෆ්) ලෙස සම්පාදනය කිරීම පිළිබඳ නො වේ. ජලාලුද්දීන් අස් සුයූති විසින් රචිත අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන් හි මෙම කරුණ සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.
2. අබූ හුධෛෆා නිදහස් කළ සේවකයා වූ සාලිම් (රලි) උතුම් අල් කුර්ආනය ලිඛිතව සම්පාදනය කළ පළමු පුද්ගලයා ද?
අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන් හි සඳහන් වාර්තාවක් උපුටා දක්වමින්, අබූ බක්ර් (රලි) නොව, සාලිම් මව්ලා අබී හුධෛෆා අල් කුර්ආනය සම්පූර්ණයෙන් ම එක් ලේඛන සංග්‍රහයක් එකතු කළ පළමු පුද්ගලයා බවට පෙන්වීමට ඇතැම්හු උත්සාහ කරති.
එම වාර්තාව මෙසේය:
ඉබ්න් බුරෛදා මෙසේ පැවසීය.
“අල් කුර්ආනය එක් ලිඛිත ග්රන්ථයක් (මුස්හෆ්) ලෙස පළමුවෙන් ම එකතු කළ පුද්ගලයා වූයේ අබූ හුධෛෆා නිදහස් කළ සේවකයා වූ සාලිම් ය.”
කෙසේ වෙතත්, Sam Shamoun තම සුපුරුදු බුද්ධිමය අවංකභාවයේ හිඟය (intellectual dishonesty) ප්‍රදර්ශනය කරමින්, මෙම වාර්තාව පිළිබඳ ජලාල් අද්-දීන් අස්-සුයූති විසින් ම ඉදිරිපත් කරන ලද විවේචනය උපුටා දැක්වීමට හෝ එම විවේචනයට අභියෝග කිරීමට හෝ ඔහු උත්සාහ නො කරයි. ඔහු එය සම්පූර්ණයෙන් ම නොසලකා හරියි. ඇත්ත වශයෙන් ම, අල් ඉත්කාන් කෘතියේ කතුවරයා වන අස් සුයූතිතුමාගේ මෙම වාර්තාව උපුටා දැක්වීමට පෙර ම ඔහු මෙසේ පවසයි:
“අල් කුර්ආනය මුස්හෆ් එක ( ලිඛිත ග්‍රන්ථය)කට පළමුවෙන් ම එක්රැස්ක කළ පුද්ගලයා පිළිබඳ වඩාත් ම අසාමාන්‍ය වාර්තාව වන්නේ, ඉබ්න් අෂ්තා තම කිතාබුල් මසාහිෆ් හි වාර්තා කරන ලද මෙම වාර්තාවයි…”
ඉන්පසු පමණක් ඔහු ඉහත සඳහන් වාර්තාව උපුටා දක්වයි.
එපමණක් නොව, එම වාර්තාව සඳහන් කළ වහාම අස්-සුයූති ඉතා පැහැදිලිව මෙසේ නිගමනය කරයි:
“මෙහි වාර්තාකරුවන්ගේ දාමය (ඉස්නාද්) කඩවී ඇත (منقطع).”
(මූලාශ්‍රය:අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන් 1/145, 18 වන පරිච්ඡේදය.)
එබැවින්, Sam Shamoun සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරන මෙම වාර්තාව විශ්වාසදායක වාර්තාවක් නොවන බව එය උපුටා දක්වන ප්‍රධාන මූලාශ්‍රයේ කර්තෘ වන අස්-සුයූති ම පැහැදිලිව ප්‍රකාශ කරයි. එබැවින් අබූ බක්ර් (රලි) තුමාට පෙර සාලිම් (රලි) අල් කුර්ආනය නිල මුස්හෆ් එක (ලිඛිත ග්‍රන්ථය)ක් ලෙස සම්පාදනය කළ බවට මෙම වාර්තාවෙන් සාක්ෂියක් ගොඩනැගිය නො හැක.
3. අලී (රලි) තුමා උතුම් අල් කුර්ආනය සම්පූර්ණ මුස්හෆ් එක (ලිඛිත ග්‍රන්ථය)ක් ලෙස සම්පාදනය කළ පළමු පුද්ගලයා ද?
ඇතැමුන්, නිල වශයෙන් උතුම් අල් කුර්ආනය සම්පාදනය කිරීමට පෙර අලී ඉබ්න් අබී තාලිබ් (රලි) තුමා සම්පූර්ණ අල් කුර්ආනය ම එක්රැස් කළ බව සඳහන් වන වාර්තා උපුටා දක්වති. ඒ සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් සහ ඒවායේ සැබෑ තත්ත්වය පහත දැක්වේ.
ඉබ්නු අබී දාවූද් ඉබ්නු සිරීන් වෙතින් මෙසේ වාර්තා වේ. ඔහු පැවසුවේ “අලී (රලි) මෙසේ පවසමින් සිටියේය. “අල්ලාහ්ගේ දූතයාණන් මරණයට පත් වූ විට, සම්පූර්ණ කුර්ආනය ම එක්රැස් කරන තුරු සිකුරාදා නමස්කාරයට (ජුමුආ) පමණක් නිවසින් පිටතට යෑම හැර සම්පූර්ණ අල් කුර්ආනය එකතු කර අවසන් කරන තුරු අමතර වස්ත්‍රයක් පවා නොඅඳින බවට මම අධිෂ්ඨාන කර ගත්තෙමි. එසේම මම එය ඉටු කළෙමි. “
කෙසේ වෙතත්, මෙම වාර්තාව එය තහවුරු කිරීම සඳහා සාක්ෂියක් ලෙස භාවිත කළ නොහැක. එයට හේතුව එහි දුර්වලත්වය යි.
ජලාල් අද්-දීන් අස්-සුයූති, ඉබ්න් හජර් අල්-අස්කලානි ගේ අදහස උපුටා දක්වමින් මෙසේ සඳහන් කරයි:
“මෙම වාර්තාව දුර්වල (ලඊෆ්) වාර්තාවකි. මන්ද, එහි වාර්තාකරුවන්ගේ දාමය (ඉස්නාද්) කඩවී ඇත (මුන්කතිඃ). එය සහීහ් යැයි උපකල්පනය කළත්, එයින් අදහස් වන්නේ අලී (රලි) තුමා සම්පූර්ණ අල් කුර්ආනය මතකයේ තබාගත් බවයි.”
(අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන්, 1/144, 18 වන පරිච්ඡේදය.)
එම අදහසම අඩංගු තවත් වාර්තාවක් මෙසේ සඳහන් වේ.
ඉක්රිමා මෙසේ වාර්තා කරයි:
“අබූ බක්ර් (රලි) වෙත බයිඅත් (පක්ෂපාතීත්වයේ ප්‍රතිඥාව) ලබා දීමෙන් පසු, අලී (රලි)තුමා තම නිවසේ ම රැඳී සිටියහ. “
එවිට අබූ බක්ර් (රලි) තුමාට, අලී ඔබට බයිඅත් දීමට අකමැති වූ බව දැනුම් දෙන ලදී.
අබූ බක්ර් (රලි) අලී (රලි) කැඳවා මෙසේ ඇසීය.
“ඔබ මට බයිඅත් දීමට අකමැති ද? “
“අල්ලාහ් මත දිවුරා කියමි! එසේ නොවේ” යැයි අලි (රලි) තුමා පිළිතුරු දුන්නේය.
“එසේ නම් ඔබ මා වෙත නොපැමිණියේ ඇයි” දැයි? අබූ බක්ර් (රලි) නැවත ඇසීය.
“අල්ලාහ්ගේ ග්‍රන්ථය (උතුම් අල් කුර්ආනය) විවිධ ලිඛිත කොටස් ලෙස පැතිර තිබෙන බව මම දුටුවෙමි. එබැවින්, එය එක්රැස් කරන තුරු සලාතය සඳහා හැර අමතර වස්ත්‍රයක් නොඅඳින බවට මම අධිෂ්ඨාන කර ගත්තෙමි.” යැයි අලී (රලි) තුමා මෙසේ පිළිතුරු දුන්නේය.
“ඔබ ඉතා යහපත් අදහසක් ඇති කරගෙන තිබෙනවා. ” යැයි එවිට අබූ බක්ර් (රලි) තුමා පැවසීය. (අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන්, 1/144, 18 වන පරිච්ඡේදය.)
මෙම වාර්තාව සම්බන්ධයෙන්ද සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණු කිහිපයක් තිබේ.
1. ඉක්රිමා මෙම වාර්තාව කාගෙන් අසා වාර්තා කළේ ද? යන්න සඳහන් කරන්නේ නැත. එපමණක් නොව, ඔහු අබූ බක්ර් අස්-සිද්දීක් (රලි)ගේ යුගයේ ජීවත්ව සිටි අයෙකු නොවන බව නිසැකය. එබැවින් මෙම වාර්තාවේ වාර්තාකරුවන්ගේ දාමය සම්පූර්ණ නො වේ.
2. මෙම වාර්තාවෙන්, අලී ඉබ්න් අබී තාලිබ් (රලි) සැබැවින් ම ලිඛිත මුස්හෆ් ග්රන්ථයක් සම්පාදනය කළ බව අදහස් නො වේ. එහි ස්වාභාවික අර්ථය වන්නේ, ඔහු සම්පූර්ණ අල් කුර්ආනය මතකයේ තබාගෙන එය එකතු කර ගැනීම (ජම්අ්) පිළිබඳ අධිෂ්ඨානයක් ගත් බවය.
3. මීටත් වඩා වැදගත් කරුණ වන්නේ, මෙම වාර්තාව අලී ඉබ්න් අබී තාලිබ් (රලි) තුමාගෙන් ම සහීහ් (ඉතා නිවැරදි) ලෙස වාර්තා වී ඇති තවත් ප්‍රකාශයකට පටහැනි වීමය.
අලී (රලි) තුමාණන් මෙසේ පවසා ඇත:
“මුස්හෆ් (කුර්ආන් සංග්‍රහ) සම්බන්ධයෙන් වැඩි ම ප්‍රතිඵලය හිමි වන්නේ අබූ බක්ර්ටය. අල්ලාහ් අබූ බක්ර්ට කරුණාව පිරිනමත්වා! මන්ද, අල්ලාහ්ගේ ග්‍රන්ථය ආවරණ දෙකක් (එක් මුස්හෆ් එකක්) ලෙස පළමුවෙන් ම එක්රැස් කළේ ඔහු ය.”
(අල්-මසාහිෆ් 1/16–20, හදීස් 8–12)
ජලාල් අද්-දීන් අස්-සුයූති මෙම වාර්තාව අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන් (1/144, 18 වන පරිච්ඡේදය) හි උපුටා දක්වන්නේ එය හසන් මට්ටමේ පිළිගත හැකි වාර්තාවක් බව තහවුරු කරමින්ය.
මෙම සියලු විස්තර, කිසිදු සාධාරණ පර්යේෂණ ක්‍රමවේදයක් අනුගමනය නොකර අධ්‍යයනය කරන අතර, කුර්ආනය සම්බන්ධයෙන් මතභේද හා සැක ඇති කිරීම පමණක් අරමුණු කරගත් මිෂනාරිවරුන් විසින් ගොඩනඟා ඇති මිථ්‍යා මත බිඳ හෙළන අතර මෙම මතවාද පදනම් විරහිත බව පැහැදිලි වේ. එවැනි සියලු උත්සාහයන් අවසානයේ ඔවුන්ට ගෙන එන්නේ ලැජ්ජාව පමණක් බව අපි ඔවුන්ට සහතික කරමු.
![]()