සෙයිද් ඉබ්නු තාබිත් (රලි) තුමා මෙසේ වාර්තා කරයි:
“යමාමා සටනේ දී ( උතුම් අල් කුර්ආනය වනපොත් කර සිටි බොහෝ කුර්රාවරුන් මිය යෑමෙන් පසු) අබූ බක්ර් (රලි) තුමා මා කැඳවන ලදී. එහි දී උමර් ඉබ්න් අල්-ඛත්තාබ් (රලි) තුමා ද එහි සිටියේය.
අබූ බක්ර් (රලි) තුමා මට මෙසේ පැවසීය:
උමර් මා වෙත පැමිණ “යමාමා සටනේ දී මිනිසුන් විශාල වශයෙන් මිය ගොස් ඇත. ඉදිරි සටන්වල දී ද උතුම් අල් කුර්ආනය මතකයෙන් දැන සිටින (කුර්රාවරුන්) තවත් බොහෝ දෙනෙක් මිය යා හැකි බවට මම බිය වෙමි. එසේ වුවහොත් කුර්ආනයේ විශාල කොටසක් අහිමි වීමට ඉඩ ඇත. එබැවින් උතුම් අල් කුර්ආනය ග්රන්ථයක් ලෙස සම්පාදනය කළ යුතු බව මගේ අදහස යි.” යැයි පැවසීය.
(මූලාශ්‍රය: සහීහ් අල්-බුහාරි, කිතාබුත් තෆ්සීර්, හදීස් අංක 4603)
ඉහත සඳහන් පුවතට අනුව, යමාමා සටනේ දී උතුම් අල් කුර්ආනය මතකයෙන් දැන සිටි (කුර්රා) පිරිසක් ෂහීද් වීම (දිවි පිදීම) උතුම් අල් කුර්ආනය එක් නිල සංග්‍රහයකට (මුස්හෆ්/ ලිඛිත පිටපතක් වූ ග්රන්ථයක් ලෙස) එකතු කිරීමට අවසාන වශයෙන් හේතු වූ ප්‍රධාන සාධකය විය. කෙසේ වෙතත්, ක්‍රිස්තියානි මිෂනාරිවරුන් සහ ඉස්ලාම් විවේචකයන් මෙම සිදුවීම සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය ඔවුන්ගේ පරස්පර විරෝධී සහ අසාර්ථක ප්‍රවේශය පැහැදිලිව පෙන්නුම් කරයි.
එක් පැත්තකින්, ෂ්වාලී (Schwally), රිචඩ් බෙල් (Richard Bell) සහ මොන්ට්ගොමරි වොට් (Montgomery Watt) වැනි පුද්ගලයන්, මේ සම්බන්ධ සම්ප්‍රදායික වාර්තා බොහෝ විවේචනයට ලක් කළ හැකි බවත්, යමාමා සටනේ දි මියගිය අය අතර උතුම් අල් කුර්ආනය වනපොත් කළ අය (කුර්රාවරුන්) ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් නොසිටි බවට තර්ක කරති. ඔවුන්ගෙන් එක් අයෙකු මෙසේ ලියයි.
“එම සටනේ මියගිය අයගේ ලැයිස්තුවේ, උතුම් අල් කුර්ආනයේ සැලකිය යුතු ප්‍රමාණයක් කටපාඩම් කරගෙන සිටින්නට ඉඩ තිබූ පුද්ගලයන් සඳහන් වන්නේ ඉතා සුළු පිරිසක් පමණි.” තව ද ඔහු මෙසේ ද සඳහන් කරයි.”මියගිය අයගෙන් බොහෝ දෙනෙක් මෑතක දී ඉස්ලාමය වැළඳගත් අය වූහ.” (Montgomery Watt: Bell’s Introduction to the Qur’an, Chapter 3: Online Source)
නමුත්, අනෙක් පාර්ශ්වයේ සිටින ඇතැම් මිෂනාරිවරු සම්පූර්ණයෙන් ම වෙනස් තර්කයක් ඉදිරිපත් කරති. ඔවුන් පවසන්නේ “යමාමා සටනේ දී උතුම් අල් කුර්ආනය මතකයෙන් දැන සිටි අති විශාල සංඛ්‍යාවක් මියගිය අතර, ඔවුන් පමණක් දැන සිටි කුර්ආනයේ කොටස් ද ඔවුන්ගේ මරණයත් සමඟ සදහට ම අහිමි වූ බවයි”.
මෙම තර්ක දෙක එකිනෙකට සම්පූර්ණයෙන් ම පටහැනි ය. එක් අතකින්,” උතුම් අල් කුර්ආනය වනපොත් කළ ඉතා සුළු පිරිසක් පමණක් මිය ගියහ.” යැයි පැවසෙන අතර, අනෙක් අතකින් ” උතුම් අල් කුර්ආනයේ කොටස් අහිමි වන තරම් විශාල සංඛ්‍යාවක් මිය ගියහ” යැයි පැවසේ.
මෙය ඉස්ලාමීය මූලාශ්‍ර සම්බන්ධයෙන් ඇතැම් විවේචකයින් සහ මිෂනාරිවරුන් අනුගමනය කරන අසාර්ථක සහ පරස්පර විරෝධී ප්‍රවේශය පැහැදිලිව ප්‍රදර්ශනය කරයි. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ, තර්ක දෙක එකිනෙකට පටහැනි වුව ද, කුමන ආකාරයකින් හෝ අල් කුර්ආනය සහ හදීස් සම්බන්ධයෙන් දෝෂයක් සොයා ගැනීමට උත්සාහ කිරීම බව මෙයින් පෙනී යයි. සැබවින් ම මෙම තර්ක දෙක ම වැරදි ය. යමාමා සටනේ දී උතුම් අල් කුර්ආනය වනපොත් කළ අය අතුරින් සැලකිය යුතු කිහිපදෙනෙකු (කුර්රාවරුන්) සැබවින් ම දිවි පිදූ (ෂහීද් වරුන් වූ) හ. එනිසාවෙනි උමර් ඉබ්න් අල්-ඛත්තාබ් (රලි) තුමා කුර්ආනය එක් සංග්‍රහයකට සම්පාදනය කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කළේය. ෂහීද් වූවන් අතර, අබූ හුධෛෆා, සාලිම් මව්ලා අබී හුධෛෆා (සම්පූර්ණ කුර්ආනය පිළිබඳ විශිෂ්ට දැනුමක් තිබූ සහගාමීන් සිව්දෙනාගෙන් එක් අයෙකි), සෙයිද් ඉබ්න් අල්-ඛත්තාබ්, තාබිත් ඉබ්න් කයිස්, තුෆයිල් ඉබ්න් අම්ර්, යසීද් ඉබ්න් තාබිත් සහ සාඉබ් ඉබ්න් අල්-අව්වාම් ඇතුළු පිරිසක් වූහ.
මොවුන් සියල්ලෝ ම උතුම් අල් කුර්ආනය පිළිබඳ ගැඹුරු දැනුමක් තිබූ අය ලෙස ප්‍රසිද්ධියට පත් වූහ. මීට අමතරව, ෂහීද් වූවන් අතර මුහාජිරීන් (මක්කාවේ සිට මදීනාවට සංක්‍රමණය කළ සහගාමීන්) 18 දෙනෙකු ද, අන්සාර්වරුන් අතරින් බද්ර් සටන සඳහා සහභාගි වූ 20 දෙනෙකු ද, උහද් සටන සඳහා සහභාගි වූ 10 දෙනෙකු ද සිටියහ. (යමාමා සටනේ දී ෂහීද් වූ සියලු දෙනාගේ සම්පූර්ණ ලැයිස්තුව සඳහා අල්-බිදායා වන් -නිහායා සහ අල්-කාමිල් ෆිත් තාරීඛ් බලන්න.) මෙයින් පැහැදිලි වන්නේ, ප්‍රසිද්ධ පෙරදිග විද්වතුන් (Orientalists) ඉදිරිපත් කරන “ෂහීද් වූවන් බහුතරය මෑතක දී ඉස්ලාමය වැළඳගත් අය වූහ” යන ප්‍රකාශය සම්පූර්ණයෙන් ම පදනම් විරහිත බවත්, එය ඉස්ලාමීය මූලාශ්‍ර පිළිබඳ ඔවුන්ගේ මතුපිට දැනුම පමණක් පිළිබිඹු කරන බවත් ය. එසේ ම, උතුම් අල් කුර්ආනය සම්පූර්ණයෙන් ම මතකයේ තබාගෙන සිටි සියලු දෙනා ම යමාමා සටනේ දී මිය ගියහ යන අදහස ද වැරදි ය. උතුම් අල් කුර්ආනය වනපොත් කළ (කුර්රාවරුන්) කිහිපදෙනෙකු යුද්ධයේ දී සතුරන් විසින් ඝාතනයට ලක් වීමෙන් උතුම් අල් කුර්ආනයේ කිසිදු කොටසක් අහිමි නො වේ. මන්ද ඔවුන්ගෙන් කීදෙනෙකු ෂහීද් වූවත්, සම්පූර්ණ අල් කුර්ආනය ම මතකයේ තබාගෙන සිටි තවත් බොහෝ සහාබාවරුන් තවමත් ජීවත්ව සිටියහ.
ඇතැම් විවේචකයෝ තම විවේචනය සඳහා ඉබ්නු අබී දාවූද්ගේ අල්-මසාහිෆ් කෘතියේ සඳහන් වන පහත සඳහන් වාර්තාවක් උපුටා දක්වති.
සුහ්රී මෙසේ වාර්තා කරයි:
“අපට අසන්නට ලැබී ඇත්තේ, කුර්ආනයේ බොහෝ පාඨ පහළ කරනු ලැබූ නමුත් ඒවා මතකයේ තබාගෙන සිටි පුද්ගලයන් යමාමා සටනේ දී මරණයට පත්වූ බවයි. එම පාඨ ඒ වන විට ලිඛිතව සටහන් කර නොතිබූ අතර, ඒවා මතකයේ තබාගෙන සිටි අය මිය යෑමෙන් පසු ඒවා තවදුරටත් කිසිවෙකු නොදැන සිටියේය. එම අවස්ථාව වන තෙක් අබූ බක්ර්, උමර් හෝ උස්මාන් යන කිසිවෙකුත් කුර්ආනයේ පාඨ එකතු කර සම්පාදනය කර නො තිබුණි. මතකයේ තබාගෙන සිටි අයගේ මරණයෙන් පසු එම නැතිවූ පාඨ වෙනත් කිසිවෙකු වෙතින් සොයාගත නොහැකි විය. මගේ අවබෝධය අනුව, අබූ බක්ර්ගේ පාලන (ඛිලාෆත්) සමයේ දී කුර්ආනය එක්රැස් කර ලිඛිත පත්‍රවල සම්පාදනය කිරීමට ඔවුන් පෙළඹුණු හේතු අතර මෙය ද එකක් විය හැකි ය. එනම්, ඉදිරි සටන්වල දී කුර්ආනයේ විශාල කොටසක් මතකයේ තබාගෙන සිටි මිනිසුන් මිය ගොස්, ඔවුන් සමඟ එම දැනුම ද සදහට ම අහිමි වී, වෙනත් කිසිවෙකු වෙතින් එය නැවත සොයාගත නොහැකි වේ යැයි ඇති වූ බිය නිසා ය.”
ඉබ්නු අබී දාවූද්, අල්-මසාහිෆ්, 1/80, වාර්තාව අංක 65 (පරිවර්තනය සෑම් ෂමූන්ගේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී).
කෙසේ වෙතත්, මෙම වාර්තාව හදීස් සම්ප්රදායේ පිළිගත් වාර්තා (රිවායත්) නීති අනුව වලංගු වාර්තාවක් නො වේ. ඊට හේතුව, ඉබ්න් ෂිහාබ් අල්-සුහ්රි මෙම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු නොවීමත්, ඔහු මෙම තොරතුර ලබාගත්තේ කාගෙන් ද යන්න සඳහන් නොකිරීමත්ය. ඔහු මෙම වාර්තාව ආරම්භ කරන්නේ “بلغنا” (බලඝනා) යන වචනයෙන් වන අතර, එහි අර්ථය වන්නේ “අප වෙත මෙය ළඟා වී ඇත” යන්න යි. හදීස් කලාවේ වාර්තා (රිවායත්) නීති අනුව, මෙවැනි ආකාරයෙන් ඉදිරිපත් කරන වාර්තාවක් (වාර්තාකරුවන්ගේ දාමය පැහැදිලි නොකරන වාර්තාවක්) පිළිගත හැකි සාක්ෂියක් ලෙස නො සැලකේ. එපමණක් නොව, සුහ්රිතුමා තමන්ට මෙම වාර්තාව සෘජුව ම ලබාදුන් ඇසින් දුටු සාක්ෂිකරුවෙකුගේ නම සඳහන් කළත්, ඔහු එය සෘජුව ම ඔහුගෙන් නොඇසුවේ නම්, එම වාර්තාව ද හදීස් කලාවේ නියමයන් අනුව දුර්වල (අවිශ්වාසනීය) ලෙස සැලකෙනු ඇත.
නමුත් මෙහි තත්ත්වය ඊටත් වඩා දුර්වල ය. මන්ද, ඔහු මෙම තොරතුර ලබාගත්තේ කාගෙන් ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බැවින්, මෙම වාර්තාව සම්පූර්ණයෙන් ම විශ්වාස කළ නොහැකි එකක් බවට පත්වේ. තව ද, මෙම වාර්තාව, සම්පූර්ණ අල් කුර්ආනය ම මතකයේ තබාගෙන සිටි සහ යමාමා සටනේ දී ෂහීද් නොවූ සහාබාවරුන් පිළිබඳ වඩාත් ශක්තිමත් සහ විශ්වාසදායක වාර්තාවලට ද පටහැනි වේ.
ජලාල් අද්-දීන් අස්-සුයූති තම අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන් නම් කෘතියේ, අන්-නසාඊ විසින් වාර්තා කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වා එය සහීහ් (විශ්වාසදායක) බව තහවුරු කරයි. එම පුවතට අනුව, අබ්දුල්ලාහ් ඉබ්න් උමර් (රලි) තුමා අල්ලාහ්ගේ දූතයාණන් ﷺ තුමාණන් ජීවත්ව සිටි කාලය තුළදී ම සම්පූර්ණ අල් කුර්ආනය ම මතකයේ තබාගෙන සිටියේය. තව ද, ඔහු යමාමා සටනේ දී ෂහීද් නොවූ බව ද අපි හොඳින් දනිමු. මීට අමතරව, සම්පූර්ණ අල් කුර්ආනය මතකයේ තබාගෙන සිටි අතර යමාමා සටනෙන් පසුව ද ජීවත්ව සිටි තවත් දේවදූත මුහම්මද්තුමාණන්ගේ සහගාමීන් අතරට උබෛ ඉබ්න් කඅබ්, අබූ අය්යූබ් අල්-අන්සාරි, උබාදා ඉබ්න් සාමිත්, මුආද් ඉබ්න් ජබල් සහ අබූ දර්දා (රලි) යන අය ද ඇතුළත් වූහ. (මූලාශ්‍රය: අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන්, 1/56, 20 වන පරිච්ඡේදය.) මෙම නම් කිහිපයක් පමණක් වුව ද, ඒවා අල්-ඉත්කාන් නම් එක් කෘතියේ පමණක් සඳහන් වූ ඒවා ය. එම සහගාමීන් සියලු දෙනා ම අල්ලාහ්ගේ දූතයාණන් ජීවත්ව සිටි සමයේදී ම සම්පූර්ණ උතුම් අල් කුර්ආනය ම මතකයේ තබාගෙන සිටි බව එහි පැහැදිලිව සඳහන් වේ. එබැවින්, විවේචකයන් විසින් උපුටා දක්වන ලද සුහ්රිගේ වාර්තාව පදනම් විරහිත බව පෙන්වා දීමට මෙම සාධකය පමණක් වුව ද ප්‍රමාණවත් වේ. මීට අමතරව, අල්ලාහ්ගේ දූතයාණන් ﷺ තුමාණන් ජීවමානව වැඩ සිටි කාලය තුළ සම්පූර්ණ අල් කුර්ආනය මතකයේ තබාගෙන සිටි තවත් බොහෝ සහාබාවරුන් සිටි බව සනාථ කරන වෙනත් විශ්වාසදායක සාක්ෂි ද පවතී.
![]()