මෙම ලිපියෙන්, ඉමාම් අස්-සුයූතිගේ අල්-ඉත්කාන් කෘතියේ සඳහන් කර ඇති, ඉබ්නු උමර් (රලි) තුමා වෙත ආරෝපණය කරන ලද වාර්තාව පිළිබඳව පවතින අසත්‍ය ප්‍රකාශ හා වැරදි අවබෝධයන් විමර්ශනය කරන්නෙමු. එම වාර්තාව පිළිබඳ ඇතැම් අය මෙසේ අර්ථ දක්වති. ‘ අල්-කුර්ආනයේ විශාල කොටසක් අහිමි වී ඇති බැවින් මම සම්පූර්ණ අල්-කුර්ආනය ම ලබාගෙන ඇතැයි කිසිවෙකු ප්‍රකාශ නොකළ යුතු ය.” මෙම ලිපියේ අරමුණ වන්නේ එවැනි අර්ථකථනවල නිවැරදිභාවය විමසා බැලීම සහ ඒ සම්බන්ධ වැරදි මත නිවැරදි කිරීමය.
1. හැඳින්වීම
ඉස්ලාමය සහ එහි මූලික ඉගැන්වීම් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කිරීම, සෑම් ෂමූන් (Sam Shamoun) සහ ඩේවිඩ් වුඩ් (David Wood) වැනි උද්‍යෝගිමත් ක්‍රිස්තියානි ප්‍රචාරකයන්ගේ සාමාන්‍ය ක්‍රියාමාර්ගයක් බවට පත්ව ඇත. පසුගිය දශකය තුළ ඔවුන්ගේ බොහෝ වැරදි ප්‍රකාශ සහ කරුණු විකෘති කිරීම් හෙළිදරව් කර ඇති අතර, එවැනි තත්ත්වයක් තිබියදීත් ඔවුන් තවමත් එක ම ක්‍රමවේදයන් සහ ප්‍රවේශයන් භාවිතා කරන්නේ මන්දැයි ප්‍රශ්නයක් මතු වේ. ඔවුන්ගේ ශාස්ත්‍රීය සුදුසුකම් පිළිබඳ සැක මතු වන අතර, රැවටීම සහ අසත්‍ය ප්‍රකාශ කිරීමේ කීර්තිනාමය ඔවුන් යන සෑම තැනක ම ඔවුන් පසුපස පැමිණ ඇත. අතීතයේ පෙරදිවාදීන්ගේ (Orientalists) අදහස්වලින් බොහෝ දුරට ආභාෂය ලැබූ මෙම ප්‍රචාරකයන් අතර සමහරුන් අවංක වූවත් වැරදි අදහස් දැරූ අය වූ අතර, තවත් සමහරුන්ට විනාශකාරී අරමුණු තිබිණි. කෙසේ වෙතත්, ඉස්ලාමය මධ්‍යස්ථ හා අපක්ෂපාතී දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කිරීමට ඔවුන් තුළ අවංක කැමැත්තක් දක්නට නො ලැබේ. ඉස්ලාමය කෙරෙහි ඔවුන් දක්වන දැඩි විරෝධය හේතුවෙන්, ඔවුන් ඉස්ලාමයේ ශුද්ධ ග්‍රන්ථය වන අල්-කුර්ආනයට එරෙහිව බුද්ධිමය පදනමක් නොමැති විවේචන රැසක් එල්ල කර ඇත. ඒ සඳහා බොහෝ විට පරිවර්තන මත පමණක් රඳා පවතිමින්, අපැහැදිලි ප්‍රකාශ හෝ සන්දර්භයෙන් වෙන් කළ තොරතුරු සොයාගෙන, අල් කුර්ආනයේ විශ්වසනීයත්වය සහ අඛණ්ඩතාව පිළිබඳ සැක මතු කිරීමට උත්සාහ කර ඇත. දෙවියන් වහන්සේට ආරෝපණය කරන ලද සුභාරංචි (Gospels) මිනිසුන් විසින් රචනා කරන ලද කෘති බව පිළිගැනීමට නොහැකි වූ බැවින්, එයින් ඇතිවන අපහසුතාවයෙන් මිදීමට ඔවුන් අල්-කුර්ආනය විවේචනය කිරීමේ මාර්ගය තෝරාගෙන ඇත. කෙසේ වෙතත්, අප පහත පෙන්වා දෙන පරිදි, අල්ලාහ් තමන් පොරොන්දු වූ ආකාරයටම අල්-කුර්ආනය සුරක්ෂිතව ආරක්ෂා කර ඇති බව කිසිදු සැකයකින් තොරව පැහැදිලි වේ.
“නියත වශයෙන් ම අපි ම මෙම සිහිකැඳවීම (අල්-කුර්ආනය) පහළ කළෙමු. තව ද, සැබවින් ම එය (විකෘති වීමෙන්) ආරක්ෂා කරන්නන් ද අපි ම වෙමු.” (අල්-කුර්ආනය 15:9)
හාෆිස් අස්-සුයූති (හිජ්රි 911 දී මියගිය) විසින් රචිත අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන් කෘතියේ උපුටා දක්වා ඇති, අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමා වෙත ආරෝපණය කරන ලද එක් වාර්තාවක්, බොහෝ පෙරදිගවාදීන්, ක්‍රිස්තියානි ප්‍රචාරකයන් සහ තවත් සමහර අන්තවාදී විවේචකයන් අතර විශාල අවධානයක් දිනාගෙන ඇත.
සෑම් ෂමූන් මෙය පහත පරිදි පරිවර්තනය කර ඉදිරිපත් කරයි:
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමා මෙසේ පැවසූ බව වාර්තා වේ.
“ඔබ අතරින් කිසිවෙකුත් ‘මම සම්පූර්ණ අල්-කුර්ආනය ම ලබාගෙන ඇත’ යැයි නො කියන්න. සම්පූර්ණ අල්-කුර්ආනය කුමක් දැයි ඔහු දන්නේ කෙසේ ද? අල්-කුර්ආනයේ විශාල කොටසක් නැති වී ඇත. ඒ වෙනුවට, ‘ඉතිරි වී ආරක්ෂා වී ඇති කොටස මම ලබාගෙන ඇත’ යැයි ඔහු පැවසිය යුතු ය.”
(ජලාල් අද්-දීන් අබ්දුර් රහ්මාන් ඉබ්න් අබී බක්ර් අස්-සුයූති, අල්-ඉත්කාන් ෆී උලූම් අල්-කුර්ආන්, හලාබි ප්‍රකාශනය, කයිරෝ, 1935/1354 හිජ්රි, වෙළුම 2, පිටුව 25.)
සෑම් ෂමූන් සහ ඔහුගේ මතවාදය බෙදාගන්නා අනෙකුත් අය මෙම වාර්තාවට ආරෝපණය කිරීමට උත්සාහ කරන අර්ථකථන සම්පූර්ණයෙන් ම වැරදි පමණක් නොව, ඔවුන් ඉදිරිපත් කරන පරිවර්තනය ද නොමඟ යවන සුළු ය.
එබැවින්, පළමුව මෙම වාර්තාවේ සැබෑ අර්ථය පැහැදිලි කර, අනතුරුව ඒ සඳහා අදාළ සාක්ෂි සහ තාර්කික කරුණු මත පදනම් වූ නිවැරදි පරිවර්තනය ඉදිරිපත් කරන්නෙමු.
2. වාර්තාවේ සැබෑ අර්ථය
අල්-කුර්ආන් කලාව (උලූම් අල්-කුර්ආන්) පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන සෑම සිසුවෙකු ම දන්නා කරුණක් වන්නේ, මුල දී අල්-කුර්ආනයේ කොටසක් ලෙස පහළ කළ ඇතැම් ආයත් (වාක්‍ය) පසු ව නස්ක් (අහෝසි කිරීම) මගින් අවලංගු කරන ලද බවයි.
නස්ක් යන සංකල්පයේ මූලික ස්වභාවය පිළිබඳව අප මීට පෙර සාකච්ඡා කර ඇත.
අල්-සුයූති මෙම වාර්තාව තම කෘතියේ “හතළිස් හත්වැනි පරිච්ඡේදය: නාසික් (අහෝසි කරන) සහ මන්සූක් (අහෝසි වූ) ආයත් පිළිබඳව” යන ශීර්ෂය යටතේ සඳහන් කරයි. [1]
එසේ ම, අල්-සුයූතිගේ තවත් කෘතියක ද මෙම වාර්තාව නස්ක් (අහෝසි කිරීම) පිළිබඳ කොටස තුළ ම සඳහන් කර ඇත. [2]
අල්-සුයූති මෙම වාර්තාව උපුටා ගන්නා ලද අබූ උබෙයිද්ගේ (හිජ්රි 228 දී මියගිය) කෘතියේ, එය “හෙළිදරව් කිරීමෙන් පසු අල්-කුර්ආනයෙන් නස්ක් (අහෝසි) කරන ලද සහ මුස්හෆ්වලට ඇතුළත් නොකළ දේ පිළිබඳව” යන ශීර්ෂය යටතේ ඇති පරිච්ඡේදයේ පළමු වාර්තාව ලෙස සඳහන් වේ. [3]
වඩාත් වැදගත් කරුණ වන්නේ, හාෆිස් ඉබ්න් හජර් (හිජ්රි 852 දී මියගිය) විසින් උපුටා දක්වන ලද වාර්තාව යි. එය අප මෙහි සාකච්ඡා කරන වාර්තාවේ අර්ථය තවදුරටත් පැහැදිලි කරමින් සහ නිවැරදිව තහවුරු කරයි.
ඉබ්නු හජර් මෙසේ ලියයි:
وقد أخرج بن الضريس من حديث بن عمر أنه كان يكره أن يقول الرجل قرأت القرآن كله ويقول إن منه قرآنا قد رفع
ඉබ්නු අල් ලුරෙයිස් විසින් ඉබ්නු උමර් (රලි) වෙතින් වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එහි සඳහන් වන්නේ, “මම සම්පූර්ණ අල්-කුර්ආනය කියවා අවසන් කළෙමි” යැයි පවසන පුද්ගලයා එසේ පැවසීම, ඉබ්නු උමර් (රලි) තුමා අකමැති වූ බව ය. ඔහු (ඉබ්නු උමර්) මෙසේ පැවසූ බව වාර්තා වේ: “නමුත් (යථාර්ථය නම්) අල්-කුර්ආනයේ කොටසක් නස්ක් (අවලංගු) කර ඇත.” [4]
මෙම වාර්තාව මගින් ඉබ්නු උමර්ගේ ප්‍රකාශය සරලව ම අල්-කුර්ආනයෙන් නස්ක් (අවලංගු) කරන ලද කොටස් පිළිබඳව පමණක් සඳහන් කරන බව තහවුරු වේ.
අබූ බක්ර් ඉබ්න් තය්යිබ් අල්-බාකිලානි (හිජ්රි 403 දී මියගිය) තම විශිෂ්ට කෘතිය වන අල්-ඉන්තිසාර් ලිල්-කුර්ආන් (අල්-කුර්ආනය ආරක්ෂා කිරීම/පක්ෂව කරුණු ඉදිරිපත් කිරීම) තුළ, සමාන අදහසක් ඇති තවත් වාර්තාවක් උපුටා දක්වා, පසු ව එම වාර්තා දෙක ම එකට සම්බන්ධ කරමින් විග්‍රහ කරයි.
ඔහු මෙසේ ලියයි:
ونحوُ روايةِ عبدُ الله بنُ عباسِ عن أبي أنه سمعه وقد قال له رجل: “يا أبا المنذر إني قد جمعت القرآن، فقال له: ما يدريكَ لعله قد سقطَ قرآن كثير فما وُجد بعد
එසේ ම, අබ්දුල්ලාහ් ඉබ්න් අබ්බාස් (රලි) විසින් උබෙයි ඉබ්නු කඅබ් වෙතින් වාර්තා කරන ලද සමාන අදහසක් ඇති තවත් වාර්තාවක් ද ඇත. එහි සඳහන් වන්නේ, ඔහු (උබෙයි) එක් පුද්ගලයෙකු තමන්ට මෙසේ පැවසූ බව ඇසූ බවයි.
“අබූ අල්-මුන්ධර්, නියත වශයෙන් ම මම සම්පූර්ණ අල්-කුර්ආනය ම රැස් කරගෙන ඇත්‌තෙමි. (එනම්, කටපාඩම් කරගෙන ඇත්තෙමි).”එවිට උබෙයි (රලි) ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය.”ඔහු (සම්පූර්ණය කුමක් දැයි) නො දනී. මන්ද, අල්-කුර්ආනයේ විශාල කොටසක් නස්ක් (අවලංගු) කරනු ලැබූ අතර, පසු ව එය සොයාගත නොහැකි විය.” [5]
ඉන්පසුව, එය පැහැදිලි කරමින් ඔහු මෙසේ ලියයි:
“අල්-කුර්ආනය ලෙස හෙළිදරව් කරන ලද සියල්ල එහි නාසික් (අවලංගු කරන කොටස) සහ මන්සූක් (අවලංගු කරන ලද කොටස) යන දෙක ම යමෙකු තමන් ඉගෙනගෙන ඇතැයි ප්‍රකාශ කිරීම කළ නො හැක.‘පසු ව එය සොයාගත නොහැකි විය’ යන ඔවුන්ගේ ප්‍රකාශයෙන් අදහස් වන්නේ, අපගේ කාලයේ දී අවලංගු කරන ලද සහ එහි කියවීම අත්හැර දමන ලද සියලු කොටස් කටපාඩම් කරගත් කිසිවෙකු අපට හමු නොවන බව ය. මෙය සිදුවීම අනිවාර්ය වූ කරුණකි.” [6]
3. දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන් විසින් සංරක්ෂණය කළ අල්-කුර්ආනයෙන් කිසිවක් අහිමි වී නොමැත.
අබ්දුල් අසීස් ඉබ්න් රුෆායි විසින් වාර්තා කරන ලදී.
ෂද්දාද් ඉබ්න් මක්ඉල් සහ මම ඉබ්න් අබ්බාස් (රලි) වෙත ගියෙමු. ෂද්දාද් ඉබ්න් මක්ඉල් ඔහුගෙන් “දේවදූත මුහම්මද් (ﷺ) තුමා අල්-කුර්ආනය හැර වෙනත් කිසිවක් ඉතිරි කර ගියේ දැයි?”විමසීය.”මුල් පිටු දෙක අතර (එනම්, අල්-කුර්ආනයේ මුස්හෆ් දෙපස ආවරණ අතර) ඇති දේ හැර වෙනත් කිසිවක් ඔහු ඉතිරි කර ගියේ නැත” යැයි ඔහු පිළිතුරු දුන්නේය. ඉන්පසු ව අපි මුහම්මද් ඉබ්න් අල්-හනෆිය්යා වෙත ගොස්, ඔහුගෙන් ද එම ප්‍රශ්නය ම විමසුවෙමු. “දේවදූත මුහම්මද් (ﷺ) තුමා මුස්හෆ් දෙපස ආවරණ අතර ඇති දේ හැර වෙනත් කිසිවක් ඉතිරි කර ගියේ නැත.” යැයි ඔහු පිළිතුරු දුන්නේය: [7]
මෙම හදීසය, අල්-කුර්ආනයෙන් කිසිවක් අහිමි වී නොමැති බවට පැහැදිලි හා තීරණාත්මක සාක්ෂියකි. මන්ද, අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) තම ජනතාවට ඉතිරි කළ සියල්ල, එම මුස්හෆ්හි ආවරණ දෙක අතර ඇතුළත් කර ඇති දේම වන බැවිනි.
හාෆිස් ඉබ්න් හජර්තුමා මෙසේ ලියයි.
“මෙම පරිච්ඡේදය සකස් කර ඇත්තේ, අල්-කුර්ආනය දැන සිටි අයගේ මරණයත් සමඟ එහි විශාල කොටසක් අහිමි වී ගිය බවට සිතන අයගේ මතය ප්‍රතික්ෂේප කිරීම සඳහා ය.” [8]
අල්-අයිනි (හිජ්රි 855 දී මියගිය) ද මෙයට සම්පූර්ණයෙන් ම සමාන අදහසක් ඉදිරිපත් කරයි. [9]
ෂිහාබුද්දීන් අල්-ආලූසි (හිජ්රි 1270 දී මියගිය) විසින් කරන ලද විවරණය, මෙම සමස්ත කරුණ වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී වේ.
“සැබැවින් ම, (එනම්, සුන්නත්හි අනුගාමිකයන් වන) ඔවුන් අතර එකඟතාවයක් පවතින්නේ, අද අපට මුස්හෆ්හි ආවරණ දෙක අතර දක්නට ලැබෙන ආකාරයට, අඛණ්ඩව වාර්තා වූ අල්-කුර්ආනයෙන් කිසිදු අඩුවීමක් සිදු වී නොමැති බව ය. “ඔව්, (අබූ බක්ර්) අස්-සිද්දීක්ගේ කාලයේ දී, අඛණ්ඩව වාර්තා නොවූ සහ (ඒ වෙනුවට) නස්ක් (අවලංගු) කරන ලද කොටස් නිල මුස්හෆ්යෙන් ඉවත් කරන ලදී…මේ සම්බන්ධයෙන් අබූ උබයිද් විසින් ඉබ්න් උමර් වෙතින් වාර්තා කරන ලද එම ප්‍රකාශය ද අදාළ වේ. ඔහු මෙසේ පැවසීය. ” ඔබ අතරින් කිසිවෙකු තමන් සම්පූර්ණ අල්-කුර්ආනය ලබාගෙන ඇතැයි නො කියන්න. සම්පූර්ණය කුමක් දැයි ඔහු දන්නේ කෙසේ ද? අල්-කුර්ආනයේ විශාල කොටසක් ඔහුගෙන් මඟ හැරී ඇත! ඒ වෙනුවට, “පැහැදිලිව තහවුරු වූ අල්-කුර්ආනයෙන් මම ලබාගෙන ඇත්තෙමි” යැයි ඔහු පැවසිය යුතුය. ” [10]
ඉහත සඳහන් සහීහ් අල්-බුහාරි ග්‍රන්තයෙහි වාර්තාව ඉතා වැදගත් වේ.”දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන් මුස්හෆ්හි ආවරණ දෙක අතර ඇති දේ හැර වෙනත් කිසිවක් ඉතිරි කර ගියේ නැත” යැයි පැවසූ දෙදෙනාගෙන් එක් අයෙකු වූයේ ඉබ්න් අබ්බාස් (රළි) තුමා ය.
තව ද, අල්-බාකිලානි විසින් උපුටා දක්වන ලද වාර්තාවේ දී, ඉබ්නු අබ්බාස් තම ගුරුවරයා වූ උබෙයි ඉබ්නු කඅබ් (රලි) තුමාගේ අදහස වාර්තා කරමින් සහ එය අසා සිටි බව අපට දක්නට ලැබේ. එම අදහස ඉබ්නු උමර් (රලි) තුමාගේ ප්‍රකාශයට සමාන වේ.
මෙම කරුණු එකට සම්බන්ධ කළ විට, උබෙයි ඉබ්නු කඅබ්ගේ අදහස වූයේ, දේවදූත මුහම්මද් (ﷺ) තුමා සමස්ත මුස්ලිම් ප්‍රජාවට ඉතිරි කළ අල්-කුර්ආනයේ යම් කොටසක් අහිමි වී, සම්පූර්ණය කටපාඩම් කළ බව පවසන පුද්ගලයාට එය තවදුරටත් සොයාගත නොහැකි වූ බව ඉබ්නු අබ්බාස් තේරුම්ගෙන සිටි බව පැහැදිලි වේ. ඒ වෙනුවට, එයින් පැහැදිලි වන්නේ ඉබ්නු අබ්බාස් හොඳින් දැන සිටියේ, උබෙයි ඉබ්නු කඅබ් සඳහන් කළේ දේවදූත මුහම්මද් (ﷺ) තුමා සමස්ත මුස්ලිම් ප්‍රජාවට සදාකාලික මඟපෙන්වීමක් ලෙස ඉතිරි කළ දෙයට අයත් නොවන විශේෂිත කරුණක් පිළිබඳව බවය. එනම්, එය නස්ක් (අවලංගු කරන ලද කොටස) පිළිබඳ ව ය. තව ද, ඉබ්නු අල් ලුරයිස්ගේ අධිකාරිය මත ඉබ්නු හජර් විසින් උපුටා දක්වන ලද ඉබ්න් උමර්ගේ වාර්තාව ද මෙම කරුණ ම ඉතා පැහැදිලිව තහවුරු කරන බව අප මීට පෙර දැක ඇත.
ඉමාම් බුහාරිතුමාගේ මෙම වාර්තාව සම්බන්ධයෙන් තවත් වැදගත් නිරීක්ෂණයක් වන්නේ, අල්-කුර්ආනය ආරක්ෂා වී ඇති බවට සාක්ෂි දුන් දෙදෙනාගෙන් එක් අයෙකු වූයේ අලි ඉබ්න් අබී තාලිබ් (රලි) තුමාගේ ඥාති සොහොයුරෙකු වන ඉබ්නු අබ්බාස් (රලි) තුමාණන් වන අතර, අනෙක් අයෙකු වූයේ අලි ඉබ්නු අබී තාලිබ් (රලි) තුමාගේ පුත් මුහම්මද් ඉබ්නු අල්-හනෆිය්යා (රලි) වීමයි. අල්-කුර්ආනයේ වෙනස්කම් සිදු කර ඇති බවටත්, අලි (රලි) තුමාගේ පක්ෂයට වාසිදායක වූ වගන්ති ඉවත් කර ඇති බවටත් සමහර අන්තවාදී ෂියා පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන අනුමානාත්මක චෝදනා ප්‍රතික්ෂේප කිරීමට මෙම දෙදෙනාගේ සාක්ෂිය පමණක් ප්‍රමාණවත් වේ. එය සැබවින් ම එසේ වූයේ නම්, අලි (රලි) තුමාගේ මෙම සමීප ඥාතීන් දෙදෙනා ඒ පිළිබඳව කිසිදු සඳහනක් නොකර සිටීමට ඉඩ නො තිබුණි.
4. විරෝධතා/ප්‍රශ්නවලට පිළිතුරු
මෙම වාර්තාව පැහැදිලි කිරීමෙන් පසු ව, දැන් අපි මතුවිය හැකි ප්‍රශ්න හෝ විමසුම් දෙකක් වෙත අවධානය යොමු කරමු.
4.1 ඉබ්න් උමර් අවලංගු කරන ලද ආයත් “අල්-කුර්ආනය” ලෙස සඳහන් කළේ ඇයි?
මෙම ප්‍රශ්නයට පිළිතුර සොයා බැලීමට පෙර, ඉබ්න් අල්-ලුරයිස් විසින් වාර්තා කරන ලද ඉබ්නු උමර්ගේ ප්‍රකාශය නැවත වරක් සලකා බලමු.
“තමන් ‘මම සම්පූර්ණ අල්-කුර්ආනය කියවා අවසන් කළෙමි’ යැයි පවසන පුද්ගලයාට ඉබ්නු උමර් (රලි) අකමැති විය. ඔහු (ඉබ්නු උමර්) මෙසේ පැවසීය: ‘නමුත් (යථාර්ථය නම්) අල්-කුර්ආනයේ කොටසක් නස්ක් (අවලංගු) කර ඇත.”
අප මෙහි සාකච්ඡා කරන වාර්තාවට ලබා දුන් අපගේ පැහැදිලි කිරීම හා බොහෝ සමානව, මෙම වාර්තාවෙන් ද පෙන්වා දෙන්නේ ඉබ්න් උමර් (රලි) නස්ක් (අවලංගු) කරන ලද ආයත් “අල්-කුර්ආනය” ලෙස සඳහන් කළ බව ය.
මෙම වාර්තාවේ අවසාන වචනවල ඇති පැහැදිලිභාවය හේතුවෙන්, මෙම ප්‍රශ්නයට ලබා දිය හැකි විවාදාත්මක බලය සම්පූර්ණයෙන් ම ඉවත් වන අතර, එය ඉදිරිපත් කළ පැහැදිලි කිරීමේ වලංගුභාවය පිළිබඳ කිසිදු සැකයක් ඇති කිරීමට හැකියාවක් නොමැති සාමාන්‍ය විමසුමක් බවට පමණක් පත් වේ.
සුනන් සඊද් ඉබ්නු මන්සූර් පිළිබඳ තම පර්යේෂණයේ දී, ආචාර්ය සඅද් ඉබ්නු අබ්දුල්ලාහ් අල්-හුමය්යිද් මෙම වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පවසයි.
“ඉබ්න් උමර්ගේ ප්‍රකාශයෙන් පෙනී යන්නේ, ඔහුගේ මතයට අනුව නස්ක් (අවලංගු) කරන ලද ආයත්, ඒවා අවලංගු කිරීමෙන් පසු ව ද ‘අල්-කුර්ආනය’ ලෙස හැඳින්විය හැකි බව ය. එසේ නැතහොත්, ඒවා වරක් අල්-කුර්ආනයේ කොටසක්ව තිබූ බැවින් එම අර්ථයෙන් ද ඒවා ‘අල්-කුර්ආනය’ ලෙස හැඳින්විය හැකි බව ය.” [11]
මෙය පහසුවෙන් තේරුම්ගත හැකි ය. මන්ද, අල්-කුර්ආනය යනු අල්ලාහ්ගේ වදන් ම වන අතර, නස්ක් (අවලංගු) කරන ලද වැකි තවදුරටත් ඉගෙන ගැනීමට හෝ ඒවා අනුව ක්‍රියා කිරීමට අවශ්‍ය නොවූවත්, ඒවායේ දිව්‍යමය මූලාරම්භය හේතුවෙන් ඒවාට ගෞරවය පිරිනමන ලදී.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉබ්නු උමර් (රලි) සහ අප වැනි පසුකාලීන පරම්පරාවන් අතර වැදගත් වෙනසක් පවතී. මුතවාතිර් (බහුලව වාර්තා වූ) පුවත් මගින් ස්ථිරව තහවුරු කිරීමක් නොමැති බැවින්, කියවීම (තිලාවත්) නස්ක් කරන ලද ඇතැම් වදන් වරක් අල්-කුර්ආනයේ කොටසක් වූ බව පිළිබඳව අපට ඉබ්න් උමර් (රලි) තුමාට තිබූ තරම් නිශ්චිතභාවයක් ඇති විය නො හැක.
කෙසේ නමුත්, පවතින අඩු මට්ටමේ සාක්ෂි මත පදනම්ව, ශාස්ත්‍රීය සාකච්ඡාවල දී ඒවා එලෙස සඳහන් කළ හැකි ය. නමුත් ඉබ්නු උමර් (රලි) තුමාගේ තත්ත්වය එසේ නොවීය. මන්ද, මුහම්මද් (ﷺ) තුමාගෙන් ම ඔහු ඇතැම් වාක්‍ය සෘජුව අසා තිබූ අතර, පසු ව ඒවා නස්ක් (අවලංගු) කරන ලද බව ඔහු දැනගත්තේය.
එබැවින්, පසු ව නස්ක් (අවලංගු) කරන ලද නමුත්, මුල දී අල්ලාහ්ගෙන් අල්-කුර්ආනයේ කොටසක් ලෙස පහළ වූ එම වදන් සම්බන්ධයෙන් ඉබ්න් උමර් (රලි) විශේෂ සැලකිල්ලක් දැක්වීම ස්වාභාවික කරුණකි.
තව ද, මෙම ප්‍රකාශයෙන් එවැනි කරුණු සම්බන්ධයෙන් ඉබ්නු උමර් (රලි) තුමා දැක්වූ අතිශය සැලකිලිමත් හා ප්‍රවේශම් සහගත ආකල්පයක් ද පිළිබිඹු වේ. එහි තවත් එක් හේතුවක් විය හැක්කේ, “මම සම්පූර්ණ අල්-කුර්ආනය ම කටපාඩම් කර ඇත්තෙමි” යන ආකාරයේ ප්‍රකාශයක් යම් අන්දමකින් ස්වයං-ප්‍රශංසාවකට (තමා ගැන උසස් ලෙස කතා කිරීමකට) මඟ පෑදිය හැකි බැවිනි.
මෙම ආකල්පය පහත සඳහන් හදීසයේ ඉගැන්වීමට ද සමාන බව කෙනෙකුට පෙනී යා හැකිය.
අබූ බක්රහ් (රලි) තුමාණන් විසින් වාර්තා කරන ලදී. මුහම්මද් (ﷺ) තුමාණෝ මෙසේ පැවසූහ.
“ඔබ අතරින් කිසිවෙකු, ‘මම මුළු රමළාන් මාසය ම උපවාසය රැක්කෙමි’ හෝ ‘මම මුළු රමළාන් මාසය පුරා ම රාත්‍රී නැමදුම් ඉටු කළෙමි’ යැයි නොපැවසිය යුතු ය.” [12]
(මෙම පුවත වාර්තා කළ පුද්ගලයා මෙසේ පවසයි)
“දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන් එසේ පැවසුවේ ස්වයං ප්‍රශංසාවට අකමැති වූ නිසා ද, නැතහොත් ඔහු අදහස් කළේ ඔහු අනිවාර්යයෙන් ම යම් කාලයක් නිදාගෙන විවේක ගත යුතු’ බව ද යන්න මම නො දනිමි.”
රමළාන් මාසය පුරා උපවාසය රකින පුද්ගලයෙකු සෑම සන්ධ්‍යාවක ම උපවාසය අවසන් කිරීමත්, රාත්‍රියේ යම් කාලයක් නිදා ගැනීමත් ස්වාභාවික කරුණක් බව අපි දනිමු. එසේ වුව ද, එවැනි ප්‍රකාශයක් නොකළ යුතු බවට දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන් විශේෂයෙන් උපදෙස් දී තිබීම සැලකිය යුතු කරුණකි.
ඉබ්නු උමර් (රලි) තුමාගේ ප්‍රකාශය ද මූලික වශයෙන් මෙම හදීසයේ අදහසට සමාන වන අතර, එය ද තමන් පිළිබඳ යම් ප්‍රකාශයක් කිරීම සම්බන්ධ කරුණක් ආවරණය කරයි. එබැවින්, ඉබ්නු උමර් (රලි) තුමාගේ වචනවල සැබෑ අරමුණ සහ එහි ගැඹුරු අර්ථය නිවැරදිව අවබෝධ කර ගැනීමට මෙම හදීසය අපට උපකාරී වේ.
4.2 අල්-කුර්ආනයේ “විශාල කොටසක්” නස්ක් (අවලංගු) කරන ලද්දේ ද?
මෙම වාර්තාවේ මුල් අරාබි පාඨයේ “කුර්ආනුන් කසීර්” (قرآن كثير) යන වචන භාවිත කර ඇති බව අපි දනිමු. එබැවින්, එය”අල්-කුර්ආනයේ විශාල කොටසක්” ලෙස, “විශාල” යන පදයට විශේෂ අවධානය යොමු කරමින් පරිවර්තනය කිරීමට යමෙකු පෙළඹිය හැකි ය. ඇත්ත වශයෙන් ම, සෑම් ෂමූන් එලෙස ම පරිවර්තනය කරමින් මෙසේ ප්‍රශ්න කරයි. “මෙය කෙබඳු හෙළිදරව්වක් ද? එහි ‘යම් කොටසක්’ නොව, ‘විශාල කොටසක්’ම නස්ක් (අවලංගු) කරන ලද ආයත් වලින් සමන්විත වී තිබේ නම්?” බැලූ බැල්මට මෙම තර්කය ඉතා ප්‍රබල එකක් ලෙස පෙනී යා හැකි ය. කෙසේ වෙතත්, එය සැබවින් ම හෙළිදරව් කරන්නේ අරාබි භාෂාවේ නිවැරදි භාවිතය පිළිබඳ අවබෝධයේ ඌනතාවයකි. ලිපියේ කතුවරයාගේ අදහස අනුව, සෑම් ෂමූන් තම ලිපි පුරාවට ම නැවත නැවතත් සිදු කර ඇති වැරැද්ද ද මෙය යි.
අරාබි භාෂාවේ “කසීර්” (كثير) යන වචනය සෑම විට ම සංසන්දනාත්මක අර්ථයෙන් “විශාල කොටසක්” හෝ “බොහෝමයක්” යන අදහස පමණක් නො දක්වයි. සංසන්දනාත්මක සන්දර්භයක දී, එය යම් දෙයක් සමඟ සසඳන විට ඊට වඩා අඩු ප්‍රමාණයක් වුව ද දැක්වීමට භාවිත කළ හැකි බව පහත උදාහරණයෙන් පැහැදිලි වේ.
අප මෙහි සාකච්ඡා කරන “නස්ක්” (අවලංගු කිරීම) සම්බන්ධ කරුණ ද එවැනි ම ස්වභාවයක් ගනී. “නස්ක්” කරන ලද අල්-කුර්ආනයේ කොටස, අද පවතින සහ ආරක්ෂා වී ඇති කොටසට වඩා නිසැකවම අඩු ප්‍රමාණයකි.
මෙම අදහස සඳහා සරල සාක්ෂියක් ලෙස පහත හදීසය සඳහන් කළ හැකි ය. එහි, සඅද් ඉබ්න් අබී වක්කාස් (රලි) තුමා තමන් මරණාසන්න බවට බිය වූ අවස්ථාවේ, තම ධනයෙන් කොපමණ ප්‍රමාණයක් සදාකාව (දානය) ලෙස පරිත්‍යාග කළ හැකි දැයි? නබිතුමා (ﷺ) ගෙන් විමසා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සඅද් ඉබ්න් අබී වක්කාස් (රලි) විසින් ම දේවදූත මුහම්මද් (ﷺ) තුමා සමඟ ඇති වූ සංවාදය මෙසේ වාර්තා කරයි.
قُلْتُ: يَا رَسُولَ اللَّهِ، أُوصِي بِمَالِي كُلِّهِ؟ قَالَ: «لاَ» ، قُلْتُ: فَالشَّطْرُ، قَالَ: «لاَ» ، قُلْتُ: الثُّلُثُ، قَالَ: فَالثُّلُثُ، وَالثُّلُثُ كَثِيرٌ
“මම මෙසේ ඇසුවෙමි: ‘මගේ ධනයෙන් තුනෙන් දෙකක් සදාකාවක් (දානයක්) ලෙස පරිත්‍යාග කළ යුතුද?’ එවිට මුහම්මද් (ﷺ) තුමාණෝ ‘නැත.’ යැයි පැවසූහ. ‘එසේ නම්, අඩක් දැයි? මම නැවත ඇසුවෙමි. ‘නැත.’ යැයි එතුමාණෝ නැවතත් පැවසූහ. අනතුරුව එතුමාණෝ තවදුරටත් ‘තුනෙන් එකක් (ප්‍රමාණවත්ය), එසේ වුව ද, තුනෙන් එකත් බොහෝය (وَالثُّلُثُ كَثِيرٌ – වස්-සුලුසු කසීර්) යැයි පැවසූහ.’ [13]
සහීහ් මුස්ලිම් හි පරිවර්තකයා ද එය මෙසේ පරිවර්තනය කර ඇත.
“ඔහු (දේවදූත මුහම්මද් ﷺ) තුමාණෝ පැවසූහ: ‘(ඔව්), තුනෙන් එකකි. තව ද තුනෙන් එකත් සැලකිය යුතු ප්‍රමාණයකි (වස්-සුලුසු කසීර්).” [14]
නිසැකවම, තුනෙන් එක යනු සංසන්දනාත්මක අර්ථයෙන් එනම් ඉතිරි කොටසට වඩා වැඩි ප්‍රමාණයක් යන අර්ථයෙන් “බොහෝ” යන්න නො වේ. බුද්ධිමත් කිසිදු පුද්ගලයෙකුට එවැනි ප්‍රකාශයක් කළ නො හැක.
වසර දෙදහසක දේවධර්මීය විවාද සහ විග්‍රහයන් මගින් “තුනෙන් එකක් සහ තුනක් එකක්” යන සංකල්පයට තාර්කික පැහැදිලි කිරීමක් සොයා ගැනීමට අසමත් වී ඇති ආකාරයට ම, කෙතරම් උත්සාහ කළද “තුනෙන් එක” යන්න සංසන්දනාත්මක අර්ථයෙන් “බොහෝ”යැයි පෙන්වා දිය නො හැක.
ඉබ්නු උමර් (රලි) තුමාගේ අරමුණ වූයේ, අල්-කුර්ආනයේ ඇතැම් වාක්‍ය නස්ක් (අවලංගු) කරන ලද බව පෙන්වා දීම පමණි. තව ද, අල්ලාහ් ළඟ ආරක්ෂා කරන ලද ලේඛනයෙහි (ලව්හුල් මහ්ෆූස්) පවතින එම කොටස් ද ඇතුළුව, තමන් සම්පූර්ණ අල්-කුර්ආනය ම කටපාඩම් කර ඇතැයි කිසිවෙකු ප්‍රකාශ නොකළ යුතු බව ඔහු අවධාරණය කළේය.
අද අප සතුව ඇති, මුස්හෆ්හි ආවරණ දෙක අතර සුරක්ෂිතව පවතින අල්-කුර්ආනය එනම්, අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) තුමාණන් අපට ලබා දුන්, අබූ බක්ර් සහ උස්මාන් (රලි) විසින් සංග්‍රහ කරන ලද අල්-කුර්ආනය මනුෂ්‍ය වර්ගයා සඳහා මාර්ගෝපදේශක පණිවිඩයක් ලෙස විනිශ්චය දිනය දක්වා පවතින ලෙස අල්ලාහ් පහළ කර තීරණය කළ අල්-කුර්ආනය යි.
එයට කිසිදු එකතු කිරීමක්, අඩු කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු වී නොමැත.
5. සාරාංශය සහ නිගමනය
ඉබ්නු උමර් (රලි) සඳහන් කළේ අල්-කුර්ආනයේ නස්ක් (අවලංගු) කරන ලද කොටස පිළිබඳව පමණි. ඔහුගේ මෙම ප්‍රකාශයෙන්, අල්-කුර්ආනයේ එක් අකුරක් හෝ අහිමි වී ඇති බවට කිසිදු ආකාරයකින් අදහස් නො කෙරේ.
ඉබ්න් අල්-ලුරයිස්ගේ අධිකාරිය මත ඉබ්න් හජර් විසින් උපුටා දක්වන ලද ඉබ්න් උමර් (රලි)ගේ අනෙක් වාර්තාව, මෙම අර්ථය ඉතා පැහැදිලිව තහවුරු කරයි.
අබූ උබයිද් සහ අල්-සුයූති යන දෙදෙනා ම මෙම වාර්තාව නස්ක් (අවලංගු) කරන ලද ආයත් පිළිබඳ කොටස් යටතේ ඇතුළත් කර ඇති අතර, එමගින් ඔවුන් ද මෙය එලෙස ම තේරුම් ගත් බව පැහැදිලි වේ. අල්-බාකිලානි සහ අල්-ආලූසිගේ විවරණ ද මෙම අර්ථය ම තහවුරු කරයි.
එසේම, “කසීර්” (كثير) යන අරාබි වචනය සංසන්දනාත්මක අර්ථයෙන් සෑම විටම “බොහෝමයක්” හෝ “බහුතරය” යන අදහස දක්වන්නේ නැත.
එබැවින්, මෙම වාර්තාවේ අදහසට වඩාත් ගැළපෙන නිවැරදි පරිවර්තනය වන්නේ:
عن ابن عمر، قال: لا يقولن أحدكم قد أخذت القرآن كله وما يدريه ما كله؟ قد ذهب منه قرآن كثير، ولكن ليقل: قد أخذت منه ما ظهر من
ඉබ්න් උමර් (රලි) මෙසේ පැවසීය:
“ඔබ අතරින් කිසිවෙකු තමන් සම්පූර්ණ අල්-කුර්ආනය ලබාගෙන ඇතැයි නොපැවසිය යුතු ය. (එහි යම් කොටසක් නස්ක් (අවලංගු) කිරීමට පෙර සම්පූර්ණයෙන් ම එය කුමක්දැයි ඔහු දන්නේ කෙසේද? අල්-කුර්ආනයේ සැලකිය යුතු කොටසක් (නස්ක් කිරීම හේතුවෙන්) ඔහුගෙන් ඉවත්ව ගොස් ඇත. ඒ වෙනුවට ඔහු මෙසේ පැවසිය යුතුය: ‘නස්ක් කිරීමෙන් පසු ව ඉතිරිවී පැහැදිලිව තහවුරු වූ අල්-කුර්ආනයෙන් මම ලබාගෙන ඇත්තෙමි.’”
සැබවින් ම, අල්ලාහ් සියල්ලට ම වඩා හොඳින් දනී!
Reference
[1] Al-Itiqan fil Uloom al-Quran, Haeya al-Masriya al-‘Aamah lil-Kitab, Egypt 1974 vol.3 p.66, 82-83.
[2] Mu’tarik al-Aqran fi Aijaz al-Qur’an, Dar al-Kotob Al-Ilmiyah, Beirut, 1988 vol.1 p.95.
[3] Fada’il al-Qur’an, Dar Ibn Kathir, Damascus, 1995 vol.1 p.320.
[4] Fath al-Bari, Dar al-Ma’rifah, Beirut 1379 A.H. vol.9 p.65.
[5] Al-Intisar lil-Qur’an, Dar al-Fath/Dar Ibn Hazm, Amman/Beirut, 2001 p.406.
[6] Al-Intisar, p.408.
[7] Sahih Bukhari, Book 61, Hadith 537.
[8] Fath al-Bari, vol.9 p.65.
[9] Umdah al-Qari, Dar al-Ahya al-Turath al-‘Arabi, Beirut n.d. vol.20 p.36.
[10] Tafsir Ruh al-M’ani , Dar al-Kotob al-Ilmiyya, Beirut, 1415 A.H. vol.1 p.26.
[11] Sunan Sa’id bin Mansur, Dar al-Sami’i, Beirut, 1993 vol.2 p.433 n.2.
[12] Sunan Abu Dawud, Hadith 2409.
[13] Sahih Bukhari, Book 23, Hadith 383.
[14] Sahih Muslim, Book 13, Hadith 3997.
![]()