ගල් ගසා මැරීමේ දණ්ඩ නීතිය පිළිබඳ කුර්ආන් වැකිය කුර්ආනයෙන් ඉවත් වෙලා ද?

ක්‍රිස්තියානි මිෂනාරිවරුන් සහ ඉස්ලාම් විරෝධී ප්‍රචාරකයන්, ගල් ගසා මරණ දඬුවම පිළිබඳ පහත සඳහන් හදීසය වැරදි ලෙස අර්ථකථනය කරමින්, කුරානයේ විශ්වාසනීයත්වය හා අධිකාරිය ප්‍රශ්න කිරීමට උත්සාහ කරති.

“…..ඒ අතරතුර, උමර් (රලි) මින්බරයට නැඟී සිටියේය. සලාතය සඳහා වූ අදානය (කැඳවීම) අවසන් වූ පසු, ඔහු නැඟී සිට අල්ලාහ්ට යෝග්‍ය පරිදි ප්‍රශංසා හා ගෞරවය පුද කරමින් මෙසේ පැවසීය.

‘දැන්, අල්ලාහ් මට පැවසීමට ලියා දී ඇති කරුණක් මම ඔබට කියන්නෙමි. මෙය මගේ මරණය ළඟා වන බවට ලකුණක් විය හැකිදැයි මම නො දනිමි. එබැවින්, මෙය හොඳින් තේරුම්ගෙන මතක තබාගන්නා කවුරුන් හෝ, තමන්ගේ ගමන ඔහුව කොතැනට ගෙන ගියත්, එය අන් අයට ද පවසන්න. නමුත්, තමන් මෙය නිසි ලෙස තේරුම්ගෙන නැතැයි යමෙකු බිය වන්නේ නම්, මා ගැන බොරු ප්‍රකාශ කිරීම ඔහුට නීතිවිරෝධී (හරාම්) වේ.’

“අල්ලාහ් මුහම්මද්තුමාණන්ව සත්‍යය සමඟ එවීය සහ ඔහුට උතුම් ග්‍රන්ථය පහළ කළේය. අල්ලාහ් පහළ කළ දෑ අතර, රජ්ම් (විවාහක පුරුෂයෙකු හෝ කාන්තාවක විසින් දුරාචාරයේ යෙදුණහොත් ගල් ගසා මරණ දඬුවම ලබා දීම) පිළිබඳ ආයතය ද තිබුණි. අපි එම ආයතය පාරායනය කළෙමු, එය අවබෝධ කරගත්තෙමු, මතක තබාගත්තෙමු.

අල්ලාහ්ගේ දූතයාණෝ රජ්ම් දඬුවම ක්‍රියාත්මක කළෝය. ඔහුගෙන් පසු ව අපි ද එය ක්‍රියාත්මක කළෙමු. දිගු කාලයක් ගත වූ පසු ‘අල්ලාහ්ගේ ග්‍රන්ථයේ රජ්ම් පිළිබඳ ආයතය අපට හමු නො වේ’ යැයි යමෙකු පවසනු ඇතැයි මම බිය වෙමි. එසේ පවසමින්, අල්ලාහ් නියම කළ වගකීමක් අත්හැර දැමීම නිසා ඔවුන් නොමඟ යනු ඇත. අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම්, හෝ ගැබ් ගැනීමක් හෝ තමන්ගේ ම පාපොච්චාරණයක් තිබේ නම්, දුරාචාරයේ යෙදුණු සෑම විවාහක පුරුෂයෙකුටම සහ කාන්තාවකටම රජ්ම් දඬුවම පැනවිය යුතු ය.”

(බුහාරි හදීස් අංක 6328)

ඉස්ලාම් විරෝධී මෙම සියලු විවේචනවල ඇති ප්‍රධාන ගැටලුව වන්නේ, ඔවුන් හදීස් ප්‍රකාශ එකක් හෝ දෙකක් පමණක් තෝරාගෙන, ඉස්ලාමීය හදීස් සම්ප්‍රදායේ සමස්ත පසුබිම නොසලකා, තමන්ගේ ම අර්ථකථන මත පදනම්ව තර්ක ගොඩනැගීමය. ඉස්ලාමීය හදීස් සම්ප්‍රදාය ඉතා පුළුල් හා සම්පූර්ණ වන අතර, ප්‍රමාණවත් පර්යේෂණයකින් තොරව තමන් ව විද්වත් පර්යේෂකයන් ලෙස හඳුන්වා ගන්නා අයගේ දුර්වල තර්ක හෙළිදරව් කිරීමට එයට හැකියාව ඇත. දැන්, මෙම කරුණ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව විමසා බලමු.

චෝදනා කරනු ලබන එම වාක්‍යයේ සම්භවය පිළිබඳ සත්‍යය

සමහර හදීස් වාර්තාවලට අනුව, එම ආයතයේ වචන මෙසේ වූ බව සඳහන් වේ: “විවාහක පුරුෂයෙකු හෝ කාන්තාවක අනාචාරයේ යෙදුණහොත්, ඔවුන් ගල් ගසා මරණයට පත් කරන්න.”

නමුත්, මේ සම්බන්ධ සියලු හදීස් එකට සලකා බැලූ විට පැහැදිලි වන්නේ, මෙම වාක්‍යය කිසිවිටෙකත් කුරානයේ කොටසක් වීමට අදහස් කළ එකක් නොවූ බව ය. මෙහි “පහළ කරන ලදී” (revealed) යන ප්‍රකාශය භාවිත කර ඇත්තේ සෘජු අර්ථයෙන් නොව, රූපකමය (metaphorical) අර්ථයකිනි. මෙය බොහෝ විට යුදෙව්වරුන්ගේ එක් ශුද්ධ ග්‍රන්ථයක සඳහන් වූ නියෝගයක් විය හැකි අතර, එය කුරානයේ කොටසක් ලෙස පහළ නොකළ ද, එහි නීතිමය නියෝගය වහී ( දිව්‍යමය හෙළිදරව්ව) මගින් ස්ථිර කරනු ලැබූ බැවින්, එම නියෝගය වලංගුව පවතී.

ඉමාම් තබරීගේ තෆ්සීර් ග්‍රන්ථයේ වාර්තා වී ඇති පහත සඳහන් පුවතෙන්, එම වාක්‍යය පෙර පැවති දිව්‍යමය හෙළිදරව්වල (ශුද්ධ ග්‍රන්ථවල) කොටසක් වූ බවට ඇඟවීමක් ලැබේ.

ඉබ්නු ජරීර් අල්-තබරී තම තෆ්සීර් ග්‍රන්ථයේ, සූරා අල් මාඉදා පිළිබඳ විවරණයේ දී, යුදෙව්වන්ට රජ්ම් (ගල් ගසා මරණ ) දඬුවම පැනවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ වාර්තා කරයි.

අල්ලාහ්ගේ දූතයා ඔවුන්ගෙන් මෙසේ විමසීය: “ඔබ අතර නීතිය (තව්රාත්) ගැන වඩාත් දැනුමැති තැනැත්තා කවුද?”

ඔවුහු පිළිතුරු දුන්නේ: “අල්-අඃවර් (එනම් අබ්දුල්ලාහ් ඉබ්නු සූරියා) ය.” ඔහු කැඳවනු ලැබූ අතර, ඔහු පැමිණියේය.

එවිට එතුමාණෝ ඔහුගෙන් මෙසේ ඇසූහ: “ඔබ ඔවුන් අතර නීතිය ගැන වඩාත් දැනුමැති තැනැත්තා ද?”

ඔහු පැවසුවේ: “යුදෙව්වෝ එසේ සිතති.”

එවිට මුහම්මද්තුමා මෙසේ පැවසීය: “අල්ලාහ්ගේ නාමයෙන් ද, ඔහු මෝසස්තුමාට සිනායි කන්දෙහි දී පහළ කළ නීතියේ නාමයෙන් ද, දුරාචාරයේ යෙදුණු අය පිළිබඳ නීතියේ ඔබ සොයා ගන්නේ කුමක් දැයි? මට කියන්න.”

ඔහු පිළිතුරු දුන්නේ: “අබුල් කාසිම් (මුහම්මද්තුමා), ඔවුහු පහත් තැනැත්තා (දුරාචාරයේ යෙදුනු තැනැත්තා ව) ගල් ගසා මරා දමති. ධනවන්තයෙකු එවැනි වරදක් කළහොත්, ඔහු ඔටුවෙකු මත හිඳුවා, ඔහුගේ මුහුණ කළු කර, ඔටුවාගේ පසුපස දෙසට මුහුණලා හිඳුවති. පහත් තැනැත්තෙකු ධනවත් කාන්තාවක් සමඟ අනාචාරයේ යෙදුණහොත්, ඔහුටත් ඇයටත් ගල් ගසා මරා දමති.”

නැවතත් නබිතුමා මෙසේ ඇසීය: “අල්ලාහ්ගේ නාමයෙන් ද, ඔහු මූසාට සීනායි හි දී ලබාදුන් නීතියේ නාමයෙන් ද, නීතියේ ඇත්තේ කුමක්ද?”

එවිට ඔහු සෘජු පිළිතුරක් නොදී මඟහැරීමට උත්සාහ කළේය. නමුත් මුහම්මද්තුමා අල්ලාහ්ගේ නාමයෙන් ද, මූසාට සීනායි හි දී ලබාදුන් නීතියේ නාමයෙන් ද ඔහුගෙන් දිගින් දිගට ම විමසූ විට, අවසානයේ ඔහු මෙසේ පැවසීය: “අබුල් කාසිම් (මුහම්මද්තුමා), ‘විවාහක පුරුෂයෙකු හෝ කාන්තාවක අනාචාරයේ යෙදුණහොත්, ඔවුන් ගල් ගසා මරා දමන්න.'”

එවිට මුහම්මද්තුමා මෙසේ පැවසීය: “එය එසේ ම ය. ඔවුන් (අනාචාරයේ යෙදුණු යුදෙව්වන්) රැගෙන ගොස්, ඔවුන්ට ගල් ගසා දඬුවම් කරන්න.”

(තෆ්සීර් ඉබ්නු ජරීර් අල්-තබරී, වෙළුම 10, පිටුව 328, වාර්තාව අංක 11976)

දැන් පැහැදිලි වන්නේ, අබ්දුල්ලාහ් ඉබ්නු සූරියා සඳහන් කළ මෙම වාක්‍යය,  නීතියේ (එනම් තව්රාතයේ) සඳහන් නියෝගයකට සමාන බව ය. අද පවා මෙයට සමාන නියෝගයක් බයිබලයේ, විශේෂයෙන් Deuteronomy හි 22 වන පරිච්ඡේදයේ දක්නට ලැබේ.

අදාළ හදීසයේ අර්ථය

ඉස්ලාමීය දෘෂ්ටිකෝණයට අනුව, දිව්‍යමය හෙළිදරව්ව (වහී) යන්නෙන් අදහස් කරන්නේ කුරානයට පමණක් සීමා වූ දෙයක් නොවන බව සැලකිල්ලට ගත යුතු ය. ඇත්ත වශයෙන් ම, වෙනත් ආකාරයේ දිව්‍යමය හෙළිදරව් ද තිබූ බව සඳහන් වේ. මන්ද, මුහම්මද්තුමාණන් තමන්ගේ ම කැමැත්තෙන් කතා නොකළ බව කුරානයේ සඳහන් වේ.

(අල් කුර්ආනය 53:3)

මෙය පැවසීමෙන් පසු, දැන් අදාළ හදීසයේ භාවිත කර ඇති වචන පිළිබඳව විමසා බලමු.

පළමුව, එහි සඳහන් වන්නේ: “අල්ලාහ් මුහම්මද්තුමාණන්ව සත්‍යය සමඟ එවීය” යන්නයි. මෙහි “සත්‍යය” යන්නෙන් අදහස් කරන්නේ සියලු ආකාරයේ හෙළිදරව් ය. එනම්  අල් කුර් ආනය සහ මුහම්මද්තුමාගේ ප්‍රකාශ (හදීස්) යන දෙක ම ඇතුළත් වේ.

ඊළඟට අපි කියවන්නේ: “ඔහුට ශුද්ධ ග්‍රන්ථය පහළ කළේය” යන්නයි. මෙහි පළමු වචනය වන “සහ”  යන්න වාක්‍ය දෙකක් වෙන් කරමින් සම්බන්ධක අර්ථයෙන් භාවිත කර ඇත. එයින් පසු ව “ඔහුට ශුද්ධ ග්‍රන්ථය පහළ කළේය” යන්න සඳහන් වන අතර, මෙහි ශුද්ධ ග්‍රන්ථය යන්නෙන් අදහස් කරන්නේ අල් කුර්ආනය යි.

ඉන්පසු මෙසේ සඳහන් වේ: “අල්ලාහ් පහළ කළ දෑ අතර, රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබඳ වාක්‍යය ද තිබුණි.” මෙහි “අල්ලාහ් පහළ කළ දෑ” යන්නෙන් අදහස් කරන්නේ එක් වර්ගයක හෙළිදරව්වක් පමණක් නොව, දිව්‍යමය හෙළිදරව් දෙවර්ගය ම ඇතුළත් වන බව ය. එයට හේතුව, නැවතත් “සහ” යන සම්බන්ධක පදය භාවිත කරමින් කරුණු දෙකක් වෙන් කර දක්වා තිබීමය.

එබැවින්, රජ්ම් පිළිබඳ “ආයතය” මුහම්මද්තුමාගේ ප්‍රකාශයක (හදීසයක) දක්නට ලැබේ.

අජ්මා (රලි) තුමිය විසින් වාර්තා කරන ලදී. ඇය පැවසුවාය: “අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසනු මම ඇසුවෙමි: ‘විවාහක පුරුෂයෙකු හෝ කාන්තාවක අනාචාරයේ යෙදුණහොත්, ඔවුන් දෙදෙනාට ම ගල් ගසා මරණ දඬුවම ලබා දෙන්න.'”

(තබරානී අල්-කබීර්, හදීස් අංක 20321. ඉබ්නු හජර් විසින් ඔහුගේ මුවාෆකතුල් කුබ්ර් අල්-ඛබර් ග්‍රන්ථයේ 2/304 හි මෙය හසන් ලෙස ශ්‍රේණිගත කර ඇත. මෙය අල්-මුස්තද්රක් හිද (8070) සඳහන් වේ. අල්-හාකිම් එය සහීහ් (ඉතා නිවැරදි) ලෙස වර්ගීකරණය කළ අතර, අල්-ධහබී ද ඔහු සමඟ එකඟ විය.)

එය කිසිවිටෙකත් අල් කුරානයේ ලිඛිත පාඨයේ කොටසක් ලෙස අදහස් කර නො තිබුණි.

එය අල් කුර්ආනයේ පාඨයක් ලෙස ඇතුළත් කිරීමට අදහස් නොකළ බව පෙන්වන තවත් සාක්ෂි කිහිපයක් තිබේ.

1- කතීර් බින් සල්ත් විසින් වාර්තා කරන ලද පුවතක මෙසේ සඳහන් වේ:

සෙයිද් (බින් සාබිත්) පැවසීය: “විවාහක පුරුෂයෙකු හෝ කාන්තාවක අනාචාරයේ යෙදුණහොත්, ඔවුන් දෙදෙනාට ම ගල් ගසා මරණයට පත් කරන්න” යැයි අල්ලාහ්ගේ දූතයාණන් පවසනු මම ඇසුවෙමි.”

මෙය ඇසූ අම්ර් මෙසේ පැවසීය: “මෙය පහළ වූ අවස්ථාවේ, මම නබිතුමා වෙත පැමිණ, එය ලියා තැබීමට මට අවසර දෙන ලෙස ඉල්ලා සිටියෙමි. නමුත් ඔහු එයට අකමැති විය.”

(මුස්තද්රක් අල්-හාකිම්, හදීස් අංක 8184. අල්-හාකිම් එය සහීහ් ලෙස වර්ගීකරණය කළ අතර, අල්-ධහබී ද එයට එකඟ විය.)

2- මෙම “වාක්‍යය” සම්බන්ධයෙන් කතීර් බින් සල්ත් මෙසේ සඳහන් කරයි: ඔහු, සෙයිද් බින් සාබිත් සහ මර්වාන් බින් හකම් යන අය, එය අල් කුර්ආන් පිටපතේ ලියා නොතිබීමට හේතුව පිළිබඳව සාකච්ඡා කරමින් සිටියහ. එවිට උමර් බින් අල් කත්තාබ් ඔවුන් සමඟ සිට ඔවුන්ගේ සාකච්ඡාවට සවන් දෙමින් සිටියේය. ඔහු මෙසේ පැවසීය: “මේ කරුණ ඔබ දෙදෙනාට වඩා මම හොඳින් දනිමි.” පසු ව ඔහු මෙසේ පැවසීය: “මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ මෙසේ පැවසුවෙමි:”

“අල්ලාහ්ගේ දූතයාණෙනි, රජ්ම් පිළිබඳ ආයතය මට ලියා තැබීමට ඉඩ දෙන්න.”

එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: “මට එසේ කළ නොහැක.”

(සුනන් අල්-කුබ්රා අල්-බයිහකී, 8/211 සහ සුනන් අල්-කුබ්රා අන්-නසායි, හදීස් අංක 7148. අල්බානි විසින් සහීහ් අල්-සහීහා 6/412 හි සඳහන් කර ඇත්තේ, අල්-බයිහකී මෙම වාර්තාවේ සත්‍යතාවයට ඉඟි කළ බවයි.)

මෙය අල් කුර් ආනයේ ලියා තැබීමට නියමිත වාක්‍යයක් වූයේ නම්,  මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව එය ලිවීමට අණ කිරීමෙන් වැළැක්විය හැක්කේ කවරෙකුට ද? ඇත්ත වශයෙන් ම, එය කුරානයේ ලියා තැබීමට අදහස් කර නොතිබූ බැවින්, එය ලියා තැබීමේ අදහසට මුහම්මද්තුමා අකමැති වූ බව මෙයින් පෙනේ.

එය “වාක්‍යයක්” (verse) ලෙස හඳුන්වන්නේ ඇයි?

ඇත්ත වශයෙන් ම, ඉහත තබරීගේ වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි, එය පෙර පැවති ධර්ම ග්‍රන්ථයක තිබූ වාක්‍යයක් විය. එහි නියෝගය දිව්‍යමය හෙළිදරව්වක් (වහී) මගින් තහවුරු කර පවත්වාගෙන ගිය බැවින්, එය “ආයතයක්” ලෙස හැඳින්වූ අතර, ඒ සඳහා “පහළ කරන ලදී” හෝ “හෙළිදරව් කරන ලදී” යන වචන ද භාවිත කර ඇත.

අද පවතින උතුම් අල් කුර් ආනයේ රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබ සඳහන් වේද?

උමර් කලීෆාතුමාගේ ප්‍රකාශය වන “මිනිසුන් මෙසේ පවසනු ඇත: ‘අල්ලාහ්ගේ ග්‍රන්ථයේ අපට රජ්ම් දඬුවම සොයාගත නො හැක.'” යන්න සම්බන්ධයෙන්, එය සඳහන් කරන්නේ සෘජුව ම (පැහැදිලි වචනවලින්) එම දඬුවම සඳහන් කිරීමක් නොමැති වීම පිළිබඳව පමණි. එසේ වුව ද, අල් කුර් ආනය රජ්ම් දඬුවම වෙත යොමු කරන බව ඉස්ලාමීය විග්‍රහයන්හි සඳහන් වේ.

විශේෂයෙන්, උතුම් අල් කුර් ආනයේ 5:43 – 44 වාක්‍යයන් රජ්ම් දඬුවම පිළිබඳව පහළ වූ බවට අදහස් ඉදිරිපත් කර ඇත. එහි 43 වන වාක්‍යයේ සඳහන් “අල්ලාහ්ගේ නියෝගය” සහ 44 වන වාක්‍යයේ සඳහන් “අල්ලාහ් පහළ කළ දේ” යන වචන රජ්ම් දඬුවමට යොමු වන බව මෙම අදහස දරන්නෝ පෙන්වා දෙති. මෙය Ibn Kathir, Muhammad ibn Jarir al-Tabari සහ Al-Qurtubi වැනි විවරණකරුවන් ඔවුන්ගේ තෆ්සීර් ග්‍රන්ථවල මෙම වාක්‍යයන් සම්බන්ධයෙන් ගෙන එන වාර්තා සලකා බැලීමෙන් පැහැදිලි වන බව ඔවුහු පවසති.

කලීෆා උමර්තුමා “රජ්ම් යනු අල්ලාහ්ගේ ග්‍රන්ථයේ සඳහන් කර ඇති වගකීමකි” යැයි පැවසූ විට, ඔහු ඉහත සඳහන් කළ සූරා 5 හි 43-44 වැනි වාක්‍යයන් වෙත පමණක් යොමු කළා විය හැක.

එසේ ම, මුහම්මද්තුමාගේ සහචරයන් හදීසයක් මගින් සනාථ වූ කරුණක්, කුරානයේ සඳහන් කරුණක් මෙන් ම වැදගත් සහ විශ්වාසනීය දෙයක් ලෙස සැලකූ බව දැනගත යුතු ය. පහත සඳහන් වාර්තාව එයට සාක්ෂි දරයි.

අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රලි) තුමා පැවසීය.

“ටැටූ (ශරීරයේ පච්ච) කොටන කාන්තාවන්ටත්, එසේ කරවාගන්නා කාන්තාවන්ටත්, මුහුණේ රෝම ඉවත් කරන කාන්තාවන්ටත්, අලංකාර වීම සඳහා දත් අතර කෘත්‍රිම හිස්තැන් සාදාගනිමින් අල්ලාහ්ගේ නිර්මාණය වෙනස් කරන කාන්තාවන්ටත් අල්ලාහ්ගේ ශාපය වේ.”

ඔහුගේ මෙම ප්‍රකාශය බනු අස්ද් ගෝත්‍රයේ උම්මු යඃකුබ් නම් කාන්තාවකට ආරංචි විය. ඇය අබ්දුල්ලාහ් වෙත පැමිණ   “ඔබ මෙවැනි මෙවැනි කාන්තාවන්ට ශාප කළ බව මට දැනගන්නට ලැබුණි” යැයි පැවසුවාය.

“අල්ලාහ්ගේ දූතයාණන් ශාප කළ සහ අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ශාපයට ලක්ව ඇති අය ව මා ශාප නොකර සිටින්නේ ඇයි?” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.

“මම සම්පූර්ණ කුරානය කියවා ඇත්තෙමි. නමුත් ඔබ පවසන දේ එහි මට හමු වී නැතැ යි” උම්මු යඃකුබ් පැවසුවාය.

“ඔබ එය කියවා ඇත්නම්, එය ඔබට හමු වී ඇත. ‘දූතයාණන් ඔබට දෙන දේ ගන්න; ඔහු ඔබට තහනම් කරන දේවලින් වැළකී සිටින්න’ යනුවෙන් සඳහන් වාක්‍යය (59:7) ඔබ කියවා නැද්දැයි?” ඔහු ඇසුවේය.

“ඔව්, මම එය කියවා ඇත්තෙමි” යැයි ඇය පිළිතුරු දුන්නාය.

“ඇත්තෙන් ම, අල්ලාහ්ගේ දූතයාණන් මෙවැනි දේවල් තහනම් කළේය” යැයි ඔහු පැවසීය.

(සහීහ් අල්-බුහාරි, හදීස් අංක 4507)

රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබඳ නියෝගය හදීස් මගින් පැහැදිලිව ස්ථාපිත වී ඇති බව අප දන්නා බැවින්, කලීෆා උමර්ගේ ප්‍රකාශය එම පදනම මතද තේරුම් ගත හැකි ය.

 කලීෆා උමර් ඇත්ත වශයෙන් ම කිසියම් වාක්‍යයක් අහිමි වී ඇතැයි සිතුවා ද?

නිසැකව ම, කලීෆා උමර් එම විශේෂ වචන වන “විවාහක පුරුෂයෙකු හෝ කාන්තාවක අනාචාරයේ යෙදුණහොත්, ඔවුන්ට ගල් ගසා මරණ දඬුවම ලබා දෙන්න” යන්න කුරානයේ සැබෑ පාඨයේ කොටසක් වීමට අදහස් කර නොතිබූ බව හොඳින් දැන සිටි අතර, එය තේරුම්ගෙන සිටියේය. මෙය ඔහු කළ තවත් වාර්තාවකින් පැහැදිලි වේ, එහි ඔහු මෙසේ පැවසීය.

“මිනිසුන් ‘උමර් අල්ලාහ්ගේ ග්‍රන්ථයට යමක් එකතු කළේය’ යැයි පවසනු ඇතැයි බිය නොවූයේ නම්, මම එය අල් කුරානයේ මායිමේ (margin) ලියා තබන්නෙමි.”

(මුස්නද් අහ්මද්, හදීස් අංක 151. අහ්මද් ෂාකීර් විසින් මෙය සහීහ් (ඉතා නිවැරදි) ලෙස වර්ගීකරණය කර ඇත.)

තව ද, සුනන් අන්-නසායි අල්-කුබ්රා, හදීස් අංක 7151 හි සඳහන් වචන අනුව, ඔහු මෙසේ පැවසීය: “මම එය ලියා කුරානයට අමුණන්නෙමි.”

දැන්, කුරානයේ මායිමේ ලිවීම හෝ අතිරේක සටහනක් ලෙස එකතු කිරීම යන අදහසින් පැහැදිලි වන්නේ, උමර් අදහස් කළේ එය කුරානයේ මූලික පාඨයට ඇතුළත් කිරීම නොව, අනාගත පරම්පරාවට රජ්ම් දඬුවම පිළිබඳව පැහැදිලි කිරීමක් හෝ විවරණයක් ලෙස සටහන් කිරීම බව ය. ඔහු බිය වූයේ, මිනිසුන් මෙම නියෝගය ප්‍රතික්ෂේප කර නොමඟ යනු ඇති බව ය.

ඉහත විස්තරය අනුව, රජ්ම් පිළිබඳ කිසිදු වාක්‍යයක් කිසිවිටෙකත් කුරානයේ මූලික පාඨයේ කොටසක් නොවූ බව පැහැදිලි වේ.

විද්වතුන්ගේ අදහස්

රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබඳ කිසිදු ආයතයක් කුරානයේ කොටසක් ලෙස පහළ වී පසු ව අහෝසි (නස්ඛ්) කරනු ලැබුවේ නැත යන අදහස මගේ පෞද්ගලික අදහසක් නො වේ. ඇත්ත වශයෙන් ම, ඉහත විස්තරය ෂෙයික් තකී උස්මානිගේ පැහැදිලි කිරීම මත පදනම් වේ. (බලන්න: තක්මිලා ෆත්හුල් මුල්හිම්, වෙළුම 2, පිටු 354-361).

සෙයියිද් මවුදුදී විසින් ද එම අදහස ම දරන ලදී. (ඔහු මෙම ප්‍රශ්නයට දුන් පිළිතුර බලන්න — එය උර්දු භාෂාවෙන් ඇත.)

අල්-ආලූසි, ඉබ්නු හුමාම් (මියගියේ හිජ්රි 861 දී) එම අදහස වෙනුවෙන් තර්ක කළ බව උපුටා දක්වයි. (බලන්න: රූහුල් මාආනි, 9/278).

අල්-බාකිලානි (මියගියේ හිජ්රි 403 දී) ද තම අල්-ඉන්තිසාර් ග්‍රන්ථයේ, එය කිසිවිටෙකත් කුරානයේ කොටසක් වූ අතර පසු ව අවලංගු කරන ලදී යන අදහස පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. ෂෙයික් ෂුඅයිබ් අර්නාවුත්, මුස්නද් අහ්මද් හි හදීස් අංක 21636 සඳහා කළ සටහන්වල මෙය උපුටා දක්වා ඇති අතර, ඔහු ද එම අදහස සමඟ එකඟ වූ බව පෙනේ.

තව ද, මෙම පැහැදිලි කිරීම මගින් මෙම කරුණ සම්බන්ධයෙන් ඇති සියලු ප්‍රශ්න හා විමසීම් විසඳා දමන බව පැවසේ.

රජම් (ගල් ගසා මරණ දඬුවම) නීතිය

අදාළ කරුණ පිළිබඳ විවාදය කෙසේ වුව ද, රජ්ම් දඬුවමේ නීතිමය වලංගුභාවය පිළිගැනේ. එය සහාබාවරුන් 52 දෙනෙකු පමණ විසින් වාර්තා කරන ලද මුතවාතිර් (Mutawatir) හදීස් මගින් සනාථ වන බව සඳහන් වේ. (සියලු යොමු සඳහා බලන්න: තක්මිලා ෆත්හුල් මුල්හිම්, වෙළුම 2, පිටුව 362)

මුතවාතිර් හදීස් මගින්, සූරා නූර් හි කස පහර දීම පිළිබඳ ආයතයේ අර්ථ සීමාව පැහැදිලි කර, එය විවාහ නොවූ පුද්ගලයන්ට පමණක් අදාළ වන බව සීමා කරයි.

මෙය කුරානයේ සොරකම පිළිබඳ දෙන ලද සාමාන්‍ය නියෝගයට සමාන ය. එහි දී පුරුෂයෙකු හෝ කාන්තාවක සොරකම් කළහොත් ඔහුගේ/ඇයගේ අත කපා දැමිය යුතු බව සඳහන් වේ. එම නියෝගය වචනාර්ථයෙන් ගත් විට ඉතා සුළු වටිනාකමක් ඇති දෙයක් සොරකම් කිරීමකට පවා අදාළ විය හැක. නමුත් මුතවාතිර් හදීස් මගින් එය නිශ්චිත අවම වටිනාකමකට වඩා වැඩි සොරකම් සඳහා පමණක් අදාළ වන බව සීමා කරයි.

සූරා අහ්සාබ් හි එය කොටසක් වූ බව පවසන වාර්තා සම්බන්ධයෙන්, වෙනම සාකච්ඡාව see බලන්න.

නිසැකව ම, අල්ලාහ් වඩාත් හොඳින් දනී!

Loading