මුස්ලිම් පල්ලි වැඩිවෙමින් පැවතීම තර්ජනයක් නොවේ ද?

ආගමික මධ්‍යස්ථානයක අවශ්‍යතාව

සෑම දහමකම එම දහමේ කටයුතු සඳහා ආගමික ස්ථාන පිහිටුවා තිබීම අප පොදුවේ දකින තත්ත්වයකි. නැමදුම් ඉටු කිරීම, ආගමික දේශනා පැවැත්වීම, ආගමික අධ්‍යාපන කටයුතු කරගෙන යෑම මෙන්ම සමාජ හා සංස්කෘතික කටයුතු ඉටු කිරීම වැනි මිනිසාගේ යහපත උදෙසා කරන්නා වූ ක්‍රියාවන් සඳහා මෙම ආගමික ස්ථාන කටයුතු කරන බව අපි දැක ඇත්තෙමු. එක් ජනාවාස ප්‍රදේශයක ආගමික මධ්‍යස්ථානයක් නොමැති වූ විට එම ප්‍රදේශයේ ජනයාගේ ඉහත සඳහන් ක්‍රියාකාරකම් නිසි අයුරින් ඉටු කිරීමට විශාල බාධාවන් ඇතිවන අතර ජනයාගේ ආධ්‍යාත්මික හා සාරධර්ම වර්ධනයට විශාල ගැටළුවක් ඇති වීමට තිබෙන්නා වූ ඉඩකඩ අති මහත්ය. මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම් වැනි සමාජ විරෝධී ක්‍රියා බහුලව පැවති ප්‍රදේශයන් හි කළ ගවේශනයන් අනුව හෙළිදරවු වී ඇති එක් වැදගත් සත්‍යයක් නම් එම ප්‍රදේශයන්හි ආධ්‍යාත්මික හා සාරධර්ම වර්ධනය සඳහා වූ ආගමික ස්ථාන නොතිබීම හෝ තිබූ ආගමික ස්ථාන හා ප්‍රදේශවාසීන් සමඟ බැඳියාවක් නොතිබූ බවය. මෙම සමාජ සත්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමේදී සදාචාරාත්මක සමාජයක් අපේක්ෂා කරන සැමගෙන් සිදු විය යුත්තේ ආගමික ස්ථාන පිළිබඳ ව පදනම් විරහිත විරෝධතාවන් මතු කරනවාට වඩා අවංක ලෙසම ඒ පිළිබඳව ධනාත්මක දැක්මක් ඇති කර ගැනීම නොවේ ද? මෙම සාධාරණ හේතු පදනම් කරගෙන සෑම ජනාවාස ප්‍රදේශයකම සියලු දහම් හි ආගමික මධ්‍යස්ථාන තිබීම ජනයාගේ යහපත පිණිසමය යන මුලික සිද්ධාන්තය පිළිගැනීමට කිසිවෙකුට දුෂ්කරතාවක් ඇතැයි අපි නොසිතන්නෙමු.    

ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානය 

ඉස්ලාමීය ආගමික ස්ථානයන් වන මුස්ලිම් පල්ලි ‘මස්ජිද්’ නමින් හැඳින් වේ. දෛනිකව පස්වේලක් අනිවාර්යයෙන් ඉටු කළ යුතු නැමදුමට ‘සලාතය’ යනුවෙන් කියනු ලැබේ. එම සලාතයේ ඉරියව්වක් වන දණින් වැටී නළල බිම තබා කරන ‘සුජූද්’ යන ඉරියව්ව පදනම් කර ගෙන මෙයට ‘මස්ජිදය’ යන නම ලැබී ඇත. මස්ජිදයේ මුලික අරමුණු පහත සඳහන් අයුරින් නිර්වචනය කළ හැක.

“මස්ජිදයක මුලික අරමුණු ලෙස අදාළ මුස්ලිම් ජන සමුහයේ ආගමික, සමාජ, සංස්කෘතික, ආධ්‍යාත්මික හා අධ්‍යාපනික කටයුතු පිළිබඳ අභිවෘද්ධිය උදෙසා උපකාරීවීම හා ප්‍රවර්ධනය කිරීම මෙන්ම ඉස්ලාම් දහම සුරැකීම ලෙස දැක් විය හැක.”      

මස්ජිදය නැමදුම් ස්ථානයකි

සලාතය

සෑම මුස්ලිම්වරයෙකුටම දෛනිකව පස්වතාවක් සලාතය ඉටු කිරීම අනිවාර්ය වගකීමක් වන්නේය. සලාතය තනිව ඉටු කරනවාට වඩා මස්ජිදයේ සාමුහිකව ඉටු කළහොත් 27 වාරයක අධික කුසල් අත්වන බව ඉස්ලාමය උගන්වයි. මෙම සාමුහිකත්ව හමුවීම මගින් ප්‍රදේශවාසීන් අතර ශක්තිමත් සහෝදරත්ව බැඳියාව, සුහදත්වය, හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදාවන්නේය. සමාජ යහ පැවැත්මට අත්‍යාවශ්‍ය සාමුහිකත්වය ගොඩනැගීම සඳහා සාමුහික සලාතයෙන් ලැබෙන ශ්‍රේෂ්ඨ දායකත්වය කාටනම් ප්‍රතික්ෂේප කළ හැක්කේ දැයි අසන්නට කැමැත්තෙමු.

මෙම සලාතයන් අතුරින් අලුයම 4.30 ට පමණ ‘ෆජ්ර්’ සලාතය ද රාත්‍රී 8.00 ට පමණ ‘ඉෂා’ සලාතය ද ඉටු කළ යුතු ව ඇත. තම ප්‍රදේශයේ දුරස්ථ තැනක ප්‍රධාන මස්ජිදය පිහිටා ඇත්නම් අලුයම හා රාත්‍රී කාලයන් හි මෙම සලාතයන් සාමුහිකව ඉටු කිරීම සඳහා යෑම දුෂ්කර කරුණකි.මෙම හේතූන් මෙන්ම වයෝවෘධ හා රෝගී තත්ත්වයේ පසුවන්නන්ගේ පහසුව මුලික වශයෙන් සැලකිල්ලට ගෙන යම් ප්‍රදේශයක කුඩා ජන සමූහයක් පදනම් කර ගෙන නිසි අනුමැතිය ලබා කුඩා මස්ජිදයන් සාදා ගැනීම සිදුවේ. මෙලෙස කුඩා මස්ජිදයන් සාදා ගැනීමේ ක්‍රියාවලිය පිටුපස මේ හැර කිසිම ආකාරයක වැරදි පරමාර්ථයක් නොමැති බව අවධාරණයෙන් පවසන්නට කැමැත්තෙමු. තවත් වැදගත් කරුණක් වනුයේ ජනයා සලාතය සඳහා මස්ජිදයට කැඳවීම පිණිස ‘අzසාන්’ නම්  කැඳවුම ද මස්ජිදයෙන් දෛනිකව පස් වරක් සිදුවේ. මෙමගින් සලාතය ඉටු කළ යුතු වේලාවන් නිවැරදිව දැන ගැනීමට සැමට අවස්ථාවක් උදා වේ.

සිකුරාදා දින ජුමුආ සලාතය

සෑම සිකුරාදාවක ම ජුමුආ සලාතය සඳහා අවට කුඩා මස්ජිදයන් හි පස්වේල සලාතය ඉටු කරන්නන් සැවොම ප්‍රදේශයේ එක් ප්‍රධාන මස්ජිදයකට රැස්වේ. මෙම සලාතය අනිවාර්යයෙන්ම සාමුහිකව හැර ඉටු කළ නොහැක. මිලියන දෙකක් පමණ වන ලාංකේය මුස්ලිම් ජනයාගෙන් අවම වශයෙන් මිලියනක ප්‍රමාණයක් එක්වර එකම වේලාවක සිකුරාදා දින මේ නැමදුම සඳහා සහභාගීවන හෙයින් විශාල ඉඩකඩ ප්‍රමාණයක් ඇති විශාල මස්ජිදයන් හි අවශ්‍යතාව මතු වන බව පිළිගැනීමට දුෂ්කරතාවක් කෙසේ නම් තිබිය හැකි වන්නේ ද? ඇතැම් මස්ජිදයන් හි මෙම අනිවාර්යය නැමදුම සඳහා ඇතුළත ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයේ මස්ජිදයට පිටතත් ජනයා සලාතයේ නිරත වීම අප දකින්නා වූ සුලබ දර්ශනයකි. මෙම කරුණත් අපට හඬ නගා පවසන්නේ සමහර ප්‍රදේශයන් හි මස්ජිදයන් හි ඉඩකඩ ප්‍රමාණවත් අයුරින් නොමැති බව නොවේ ද?

ජනාzසා සලාතය

මුස්ලිම් වරයෙකුගේ මෘත දේහයක් වළ දැමීමට පෙර කළ යුතු වගකීම් අතුරින් ජනාzසා සලාතය නමින් හැඳින්වෙන මෘත දේහය සඳහා වූ සලාතය ඉටු කළ යුතුව ඇත. මෙවන් අවස්ථාවක දී අවට ගම් වැසියන් පමණක් නොව පිට ගම් හි නෑහිතවතුන් ද එකතු වන හෙයින් මේ සඳහා ද විශාල ඉඩකඩක් ඇති මස්ජිදයක අවශ්‍යතාව මතු වේ.

හජ් හා රමළාන් උත්සව සලාතය

ලෝ වැසි මුස්ලිම්වරුන් වර්ෂයකට දෙවතාවක් රමළාන් උපවාස මාසය අවසන් වීම සමගත් හජ් මාසයේ 10 වැනි දිනත් උත්සවයන් පවත්වති. මෙම උත්සවයන්ට අදාළ සලාතය ද ප්‍රදේශයේ සියල්ලන්ට එකවර එකට රැස්විය හැකි ආකාරයේ  විශාල මස්ජිදයන් හි සිදු කරනු ලැබේ. උත්සව සලාතය සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය මෙන්ම කුඩා දරුවන් ද මෙම සලාතය සඳහා සහභාගී වන හෙයින් මිලියන දෙකක පිරිසකට එක්වර එකම වේලාවක රැස්විය හැකි විශාල මස්ජිදයන් හි අවශ්‍යතා ව මතු වේ. 

රමළාන් මාසයේ බොහෝ ක්‍රියාකාරකම් මස්ජිදය මුල්කරගෙන සිදු වේ. රමළාන් උපවාසය සාමුහිකව පවාරණය කිරීම, විශේෂිත රාත්‍රී සලාතයන් සාමුහිකව ඉටු කිරීම මෙන්ම මෙම මාසයේ අවසන් දින දහයේ ‘ඉඃතිකාෆ්’ නම් වූ මස්ජිදයේ ම රැඳී ආගමික වතාවත් හි නියැලීම ආදී කටයුතු මෙහි දී සිදු කරනු ලැබේ. 

ඉහත සඳහන් ආගමික වගකීම් ඉටු කිරීමට මුස්ලිම්වරුන්ට ප්‍රමාණවත් මස්ජිදයක් හැර වෙනත් විකල්ප තිබේ ද? කරුණාකර සිතා බලන්න. පදනම් විරහිත ලෙස ආගමික ස්ථාන පිළිබඳව විරෝධතා දක්වනවාට වඩා අවශ්‍ය ව ඇත්තේ සත්‍යය අවබෝධ කරගෙන යථාර්ථවාදීව කටයුතු කිරීම නොවේ ද?  

සමාජ, සංස්කෘතික හා අධ්‍යාපනික මධ්‍යස්ථානයකි  මස්ජිදය

නැමදුම් කටයුතු වලට අමතරව මුස්ලිම් වරයෙකුගේ ජීවිතයේ සමාජයීය, සංස්කෘතික හා අධ්‍යාපනික කටයුතු සඳහා වූ මධ්‍යස්ථානයක් ලෙස ද මස්ජිදය මගින් විශාල කාර්යභාරයක්  ඉටු වේ.

අධ්‍යාපනික කටයුතු

පිරිසිදුකම, නැමදුම් පිළිවෙත්, ඇඳුම්, ආහාර, විවාහ ජීවිතය, ඥාති සබඳතාවන්, සහජීවනය ආදී ජීවිතයේ මුලික කරුණු පිළිබඳව ඇති මඟ පෙන්වීම සෑම මුස්ලිම් වරයෙකුම දැනගත යුතු කරුණු වේ. මේවා අරමුණු කොට ගෙන වයස අවුරුදු 5-10 අතර දරුවන් සඳහා දහම් පාසල් සතියේ දිනවල මස්ජිදයේ පැවැත්වේ. මෙම දහම් පාසල් ඇතැම් උදවිය ‘මක්තබ්’ යනුවෙන් හඳුන්වති. අන් දහම් හි සති අන්ත දහම් පාසල් පවත්වන අයුරින්ම කුඩා දරුවන් සඳහා වූ මෙම දහම් පාසල දෛනිකව පැයක හෝ පැය 1½ක කාලයක් තුළ පැවැත්වේ. ඉස්ලාමීය මූලාශ්‍ර සියල්ල අරාබි භාෂාවෙන් ඇති හෙයින් හා සලාතය හා බොහෝ ආගමික කටයුතු අරාබි භාෂාවෙන් ඉටු කරන හෙයින් මෙම දහම් පාසල්වල මූලික අරාබි භාෂා දැනුම ද ලබා දෙනු ලැබේ.

‘අහදිය්යා’ නමින් හැඳින්වෙන සති අන්ත දහම් පාසල් ද මස්ජිදයේ පවත්වාගෙන යනු ලැබේ. පෙරපාසල් අධ්‍යාපනය ද පාසල් සිසුන්ගේ අමතර පන්ති පැවැත්වීම ද බොහෝවිට මස්ජිදයන්හි සිදු කරනු ලැබේ. 

ඉහත කී දහම් පාසල් මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කොට ඔවුන්ගේ අනුමැතිය හා අනුග්‍රහය යටතේ අනුමත පොදු පාඨමාලාවක් අනුව පවත්වාගෙන යනු ලැබේ.

වැඩිහිටි අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස ද මස්ජිදය කටයුතු කරයි. ඉස්ලාමීය විද්වතුන්ගේ දේශනා හා විවිධ පුහුණු කිරීම් වැඩ සටහන් මස්ජිදයේ පැවැත්වේ. මෙවන් අධ්‍යාපනික කටයුතු රාශියක් සිදුවන හෙයින් මස්ජිදය මුස්ලිම් වරයෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් ස්ථානයක් බවට පත්ව ඇත.

සදාචාර සම්පන්න යහ අනාගත පරපුරක් බිහි කිරීම සඳහා ආගමික අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සාධකයක් බව පිළිගැනීමට දුෂ්කරතාවක් ඇත්තේ කාහට ද කියා අසන්නට කැමැත්තෙමු.ආගමික අධ්‍යාපනය නොලබා සාරධර්ම සපිරුණු සමාජයක් බිහි කළ හැක්කේ කෙසේ ද? අනාගත පරපුර රැක ගැනීමට මෙවන් දහම් පාසල්වලට දරුවන් යොමු කිරීම වැඩිහිටි අප කාගේත් වගකීම නොවේ ද? ලක්ෂ 5ක් පමණ වූ වයස 5 හා 10 අතර දරුවන්ට දහම් අධ්‍යපනය දෛනිකව ලබන්නට මස්ජිදය හැර විකල්පයක් තිබේ ද? කරුණාකර සිතා බලන්න.

සමාජ, ආගමික හා සංස්කෘතික කටයුතු

‘නිකාහ්’ යනුවෙන් හැඳින්වෙන ඉස්ලාමීය විවාහ ගිවිසුම් කටයුතු මස්ජිදයේ ඉටු කරනු ලැබේ. ‘zසකාත්’, ‘සදකා’ හා ‘zසකාතුල් ෆිත්ර්’ වැනි පුණ්‍ය දීමනා කටයුතු මස්ජිදය මුල්කරගෙන බොහෝ තැන්වල සිදු කෙරේ. විවිධ පුද්ගල හා සමාජ ප්‍රශ්නයන් ඇති වූ විට ගැටුම් නිරාකරණ මධ්‍යස්ථානයක් ලෙස ද මස්ජිදය කටයුතු කරයි. සහනාධාර බෙදා හැරීම, ලේ දන්දීමේ කඳවුරු, විවිධ ශායනික කටයුතු, ශ්‍රමදාන කඳවුරු, විශේෂ නිවේදනයන් නිකුත් කිරීම ආදිය මස්ජිදය මුල් කරගෙන සිදු වේ.

පල්ලිය හුදෙක් මුස්ලිම් වරුන්ගේ නැමදුම් ස්ථානයකට වඩා මුළු මහත් සමාජයේම යහපත අරමුණු කොට ගෙන ක්‍රියා කරන ජනතා මධ්‍යස්ථානයක් බව මෙම කරුණු අනුව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. සමාජ යහපත උදෙසා ක්‍රියා කරන මෙවන් ආගමික මධ්‍යස්ථාන පිළිබඳව පදනම් විරහිත ලෙස චෝදනා නගමින් ක්‍රියා කිරීම සත්‍යය වශයෙන්ම දැනට අධි වේගයෙන් පිරිහෙමින් පවතින සමාජ සදාචාරය සහමුලින්ම විනාශ කර දැමීමට කරන ක්‍රියාවක් නොවන්නේද?   

මස්ජිදය පිළිබඳ නීතිමය ප්‍රතිපාදන

මස්ජිදයන් පිළිබඳ කටයුතු පාලනය වන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද  පනතකින් ලබා දී ඇති ප්‍රතිපාදනයන්ට අනුකුලවය. පළමුව එම පනතට අදාළ මුලික කරුණු විමසා, මස්ජිද් නිර්මාණය, පරිපාලනය ආදී කරුණු පිළිබඳ ව සාකච්ඡා කරමු.   

මුස්ලිම් පල්ලි හා පුණ්‍යභාර හෝ වක්ෆ් පනත

මුස්ලිම් බැතිමතුන් තම ආගමික භක්තිය නිසා පුණ්‍ය කටයතු සඳහා කරනු ලබන පරිත්‍යාග පුණ්‍යභාර හෝ වක්ෆ් පුණ්‍යභාරයන්ට බැර කරනු ලැබේ. මෙම දේපල පිළිබඳ භෞතික අයිතිකරුවෙකු නොමැත. එමෙන්ම එම පරිත්‍යාග සදාකාලික ව පැවතිය යුතු වන්නේය. පුණ්‍යභාරයන්ට ලැබෙන දේපල හා සම්පත් විකිණීම හෝ අන්සතු කිරීම තහනම් ය. මෙම පුණ්‍යභාර අරමුදල් සඳහා දැනට වලංගුව පවතින්නේ 1956 අංක 51 දරන “මුස්ලිම් පල්ලි සහ පුණ්‍යභාර හෝ වක්ෆ්” පනතයි. එම පනත 1962 අංක 21 සහ 1982 අංක 33 දරන පනත් වලින් සංශෝධනයට ලක්කර ඇත. වක්ෆ් මණ්ඩලය පත් කිරීම සිදු කරන්නේ රජය විසිනි. එය රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. මුස්ලිම් පල්ලි හා පුණ්‍යභාර හෝ වක්ෆ් පනතේ වගකීම් පහත සඳහන් අයුරින් සංක්ෂිප්තව දැක්විය හැක.

  1. මස්ජිද් නිර්මාණය සඳහා අනුමැතිය හා ලියාපදිංචිය
  2. මස්ජිද් පරිපාලන කමිටු ලියාපදිංචි කිරීම හා එම කමිටු පිළිබඳ පරිපාලන වගකීම්
  3. මස්ජිද් හි ගිණුම් කටයුතු පිළිබඳ පාලනය කිරීම
  4. මුස්ලිම්වරුන්ගේ දිළිඳුකම අඩු කිරීමට ක්‍රියා කිරීම
  5. මුස්ලිම්වරුන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම
  6. මුස්ලිම්වරුන්ගේ යහපත සඳහා සුදුසු හා අවශ්‍යය යැයි තීන්දු කරන වෙනත් දෑ කිරීම
  7. මුස්ලිම් නීතිය මගින් අනුමත කවර හෝ පුණ්‍ය ක්‍රියා සිදු කිරීම

මස්ජිදයක් නිර්මාණය කිරීමට දායක වීම ස්වර්ගයේ මාලිගාවක් ලැබීමේ භාග්‍ය අත් කරගත හැකි ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ලෙස ඉස්ලාමය උගන්වයි. මස්ජිදයන් නිර්මාණය කිරීම සඳහා ප්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමේ දායකත්වය නිරතුරුව ලැබේ. මතුලොව ලැබිය හැකි අති ශ්‍රේෂ්ඨ යහ විපාක අපේක්ෂාවෙන් ජාත්‍යන්තර මුස්ලිම් ප්‍රජාව ද මස්ජිද් නිර්මාණය කිරීම සඳහා දායක වීම දකින්නට ඇත. මස්ජිද් නිර්මාණයේදී මෙයට පෙර මස්ජිද් අතර දුර ප්‍රමාණය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා ඇති බව සමහර තැන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන කරුණකි. වක්ෆ් මණ්ඩලය ප්‍රදේශයේ අවශ්‍යතාව මුල්කොට ගෙන නව මස්ජිද් ඉදි කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට ඇත. එමෙන්ම ජම්ඉය්යතුල් උලමා (සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය) ද මේ පිළිබඳව අවධානය යොමු කොට කටයුතු කරන හෙයින් මෙවන් ප්‍රශ්න ඉදිරියේදී මතු වීමට ඉඩකඩ කොහෙත්ම නොමැති බව දන්වන්නට කැමැත්තෙමු.  

කාර්ය මණ්ඩල වැටුප්, විදුලි හා ජල බිල්පත්, ගොඩනැගිලි නඩත්තු වියදම් ආදිය මස්ජිදයේ සාමාජික පිරිසගේ මාසික දායකත්වය මගින් ගෙවනු ලැබේ. ‘මුස්ලිම් පල්ලි සහ පුණ්‍යභාර හෝ වක්ෆ්’ පනත අනුව සෑම මස්ජිදයක් ම තම මුදල් ලැබීම් හා වියදම් වාර්තාවක් වක්ෆ් මණ්ඩලය වෙත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය.

පුර්ණ පාරදෘශ්‍යභාවයෙන් යුක්තව පාර්ලිමේන්තුවේ සම්මත පනතක් අනුව  සිදුවෙමින් පවතින මස්ජිද් පිළිබඳ කාර්යයන් කෙලෙස නම්  නීති විරෝධි විය හැක්කේ ද? අපගේ මාතෘ භුමියේ ඉදිකරන ලද පළමු පල්ලිය ලෙස සැලකෙන බේරුවල අබ්රාර් පල්ලිය හා කොළඹ පිටකොටුවේ ඇති රතු පල්ලිය පෞරාණික වටිනාකමක් ඇති ලෝක උරුමයන් ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් නම් කොට ඇත.

මස්ජිදය හා මුස්ලිම් සමාජය

ඉහත කරුණු සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීමේදී අන් දහම් තම ආගමික ස්ථානය උපයෝගී කරගන්නා ප්‍රමාණයට වඩා ඉස්ලාමිකයින් හට මස්ජිදයේ බැඳියාව හා අවශ්‍යතාව ඉමහත් බව පෙනී යනු ඇත. එහෙයින් ජනගහන අනුපාතය අනුව එක් එක් දහම් සඳහා අවශ්‍ය ආගමික ස්ථාන පොදු සම්මතයක් අනුව තීන්දු කිරීම සාධාරණ එකක් නොවන බව පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. සලාතය ඉටු කිරීමේදී ඉහතින් විස්තර කළ පරිදි අනිවාර්යයෙන්ම කළ යුතු ‘සුජුද්’ නමින් හැඳින්වෙන දණින් වැටී නළල බිම තබා ඉටු කරන ඉරියව්ව සඳහා එක් අයෙකුට වර්ග අඩි 2 X 4 = 8 ක් අවම වශයෙන් අවශ්‍ය වන්නේය. මේ අනුව 200 ක් වැනි කුඩා පිරිසක් නැමදුමට සහභාගී වන ස්ථානයක වුව ද ඉදි කළ යුතු මස්ජිද ගොඩනැගිල්ලේ විශාලත්වය පිළිබඳව අපට අදහසක් ඇති කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මෙය නැමදුම් අවකාශ ප්‍රමාණය පිළිබඳ පමණක් වන අතර මස්ජිදයක තිබිය යුතු තවත් අංගයන් කිහිපයක් ඇත්තේය. මස්ජිදයේ නැමදුම් කටයුතු මෙහෙයවන ඉමාම් වරයාට (ඉස්ලාමීය විද්වතාට) හා අවම වශයෙන් තවත් සේවකයින් දෙදෙනෙකුට නවාතැන් පහසුකම් සැලසීමට අවශ්‍ය ගොඩනැගිලි අවකාශයන් අනිවාර්යයෙන්ම මස්ජිදයක තිබිය යුතුය. මස්ජිදයේ විශාලත්වය අනුව සේවක පිරිස් සංඛ්‍යාව ද වැඩි විය හැක. සලාතයට පෙර ‘වුළු’ නමින් හැඳින්වෙන දෝවනයක් අනිවාර්යයෙන්ම කළ යුතුව ඇති හෙයින් වැඩි ප්‍රමාදයකින් තොරව වැඩි පිරිසකට එක්වර මෙම කටයුත්ත කර ගැනීමට හැකිවන පරිදි ජලය සැපයීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. මේ සඳහා ද විශාල ගොඩනැගිලි අවකාශයක් වෙන් කිරීමට සිදු වන්නේය. සලාතයට සහභාගීවන පිරිසේ ප්‍රමාණය අනුව වැසිකිලි පහසුකම් ද මස්ජිදයේ තිබිය යුතුය. පරිපාලන කටයුතු සඳහා කාර්යාල පහසුකම් ද එහි තිබිය යුතු වන්නේය. ස්ත්‍රීන් සඳහා ද අවකාශයක් වෙන්කළ යුතු වන්නේය. මේ කරුණු සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීමේ දී කුඩා මුස්ලිම් ප්‍රජාවක් ජීවත්වන ප්‍රදේශයකට වුවද අවශ්‍ය මස්ජිදයක ගොඩනැගිලි අවකාශය කෙතරම් ද යන්න අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.   

ඉහත කරුණු සියල්ල සමස්තයක් ලෙස ගෙන සමාලෝචනය කිරීමේදී මුස්ලිම් සමාජයට මස්ජිදයක අවශ්‍යතාව කෙතරම් ද යන්න පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මස්ජිදය නිරතුරුව ධාර්මික හා සදාචාරසම්පන්න යහ පුරවැසියන් බිහි කිරීමේ ආගමික මධ්‍යස්ථානයක් විනා කිසිම ආකාරයක නීති විරෝධී හෝ සමාජ විරෝධී හෝ ක්‍රියාවන් සඳහා වූ මධ්‍යස්ථානයක් නොවන බව දැඩි අවධාරණයකින් යුක්තව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. සාමයේ කේන්ද්‍රස්ථානයක් වූ මස්ජිදය පිළිබඳව තොරතුරු දැනගැනීමේ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මස්ජිද් චාරිකා සුදානම් කර දිය හැක. බහු වාර්ගික හා බහු ආගමික සමාජයක එකිනෙකා පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කර ගැනීම සමාජ යහ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය කරුණක් ලෙස අපි සලකන්නෙමු. මස්ජිද් චාරිකාවකට එක්වීමෙන් මස්ජිදය මෙන්ම ඉස්ලාමීය ආගමික හා සංස්කෘතික කරුණු පිළිබඳව ද නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වේවි යැයි අපි අපේක්ෂා කරන්නෙමු. කරුණාකර අප සමග එක්වන්න. සත්‍යය තොරතුරු දැන ගැනීමේ දොරටුව ඔබ වෙනුවෙන් සදා විවෘතව ඇත. 

අන් ආගමික ස්ථාන පිළිබඳ ඉගැන්වීම්

ඉස්ලාමීය ඉගැන්වීම්

අන් ආගමික ස්ථාන පිළිබඳව ඇති ඉස්ලාමීය ඉගැන්වීම් දෙසට අපගේ අවධානය පළමුව යොමු කරමු. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අන් ආගමික ස්ථාන සඳහා පූර්ණ නිදහස හා අයිතිය සහතික කොට ඇති බවට ඓතිහාසික ඉස්ලාමීය පාලන යුගයන් හි පැවති අනන්ත අප්‍රමාණ උදාහරණ ගෙන හැර දැක්විය හැක.

මුහම්මද් නබි තුමාණන් මදීනාහ් නගරයට දේශාන්තරණය කිරීමෙන් පසු එම නගරයේ පාලකයා හැටියට ප්‍රමුඛතාවයක් දුන් කාර්යයක් වූයේ මිනිස් ඉතිහාසයේ ලේඛන ගත කළ පළමු මානව අයිතිවාසිකම් පිළිබඳ ව්‍යවස්ථාව සකස් කිරීමයි. මේ අනුව එම නගරයේ ජීවත් වූ කිතුනු යුදෙව් මෙන්ම පාරම්පරික දහම් ඇදහූවන්ගේ පරිපූර්ණ ආගමික අයිතිය සහතික කොට තිබිණි. මේ අනුව අන් ආගම් කෙරෙහි ඉස්ලාමය දක්වනුයේ සාමයික සහනශීලී පිළිවෙතක් බව සහතික වන්නේය. එමෙන්ම යුද තත්ත්වයක දී වුව ද අන් ආගමික ස්ථානන්ට හා පූජක පක්ෂයට කිසිම ආකාරයක හානියක් ඇති කිරීම ඉස්ලාමය දැඩි ලෙස හෙළා දකින අතර ඒවා ආරක්ෂා කිරීම ඉස්ලාමීය හමුදාවෙහි ප්‍රධාන වගකීමක් ලෙස පවතී.

මෙයට තවත් කදිම උදාහරණයක් වනුයේ ස්පාඤ්ඤයේ පැවැති අවුරුදු 800 ක පමණ ඉස්ලාමීය පාලනය යටතේ විසූ යුදෙව්වන් භුක්ති විඳි පූර්ණ ආගමික නිදහසයි. මේ අනුව ඔවුන්ගේ ආගමික දේවස්ථාන හා පූජක පක්ෂයේ ආරක්ෂාව මෙන්ම නැමදුම් කටයුතු නිදහසේ කර ගැනීමට අයිතිය සහතික කොට තිබුණි. මෙය යුදෙව් ජනයාගේ ස්වර්ණමය යුගය ලෙස යුදෙව් ඉතිහාසඥයින් විසින්ම හඳුන්වා දී ඇත.

බෞද්ධ ඉගැන්වීම්

අන් ආගමික ස්ථාන හා ආගම් පිළිබඳ ව බුදුන් වහන්සේගේ පිළිවෙත විමසා බැලීම මෙම ලිපිය වඩාත් අර්ථවත් එකක් බවට පත් කර ගැනීමට උපකාරී වේ යැයි විශ්වාස කරන්නෙමු. මේ පිළිබඳව ආචාර්ය එස්.අයි. ගමගේ මහතා විසින් රචිත ‘බෞද්ධ සමාජ දර්ශනය, බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය‘ යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

‘බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශය දෘෂ්ටි දෙසැටක් ව්‍යාප්ත වී පැවතුණේය. නමුත් බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙළා දැකීමට ඉදිරිපත් නොවූහ. එසේම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම් වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ.

බුදුන් වහන්සේ හැමවිටම අන්තර් ආගමික සහනශීලීතාවය ගරු කළහ. උන් වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත ගියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාමවලට බුදු රදුන් වැඩම කරවූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයින් නිහඬ කරවා උන්වහන්සේ ගෞරවයෙන් පිළිගත්හ. චූල සකුළුදායී පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමයට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයට ද වරින් වර වැඩම කළහ.

ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමිකයෙකුට කවර වූ හෝ කාරණයක් උන් වහන්සේ පැහැදිලි කර දුන්නේ කාරුණිකත්වයෙන් යුක්තවය. උන් වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපයට පත් නොකළහ. බුදුන් වහන්සේ ගේ ආගමික සහනශීලී තාවයෙන් පැහැදිලි වන්නේ කිසිම ආගමික සම්ප්‍රදායකට උන් වහන්සේ දොස් නොපැවරූ බවය. ඒ අනුව බුදුන් වහන්සේ සියලුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වූයේ මිත්‍රශීලී සුහද ආකල්පයකි. ඒ ආකල්පය අද්‍යතන(වර්තමාන) යුගයේ ඒ ඒ ආගම්වල දෘෂ්ටි පක්ෂයත් ඒ ඒ ආගම් අදහන පොදු ජනතාවත් දරන්නේ නම් කිසිවිටකත් ආගම් පදනම් කර ගත් අර්බුද පැන නොනගිනු ඇත. බුදු සමය වැළඳ ගත් ධර්මාශෝක රජතුමා ආගම් පිළිබඳව අනුගමනය කළේ බුදුන් වහන්සේ දැරූ මෙම ආගමික සහනශීලී සංකල්පයයි.” (පිටු 98-101 දක්වා)

අප එකිනෙකාගේ ආගමික ස්ථාන පිළිබඳ විරෝධතා හා අවලාද නගමින් කටයුතු කරනවාට වඩා පළමුව සියලු ආගමිකයින්ට පොදු වූ සමාජ හා සදාචාර විරෝධී ආයතන පිළිබඳව සාමුහිකව අප සැම කටයුතු කළ යුතු නොවන්නේ ද? මෙයින් එක් උදාහරණයක් නම් දිනෙන් දින හතු පිපෙනවාක් මෙන් මතුවන මත්පැන් අලෙවි සැල්ය. දළදා මන්දිරය පිහිටි මහනුවර ශුද්ධ භූමියේ පමණක් මත් පැන් අලෙවි සැල් 45 ක් ඇති බව දැනට දැනගන්නට ඇත. මෙයින් 9ක්ම දළදා වීදියේ හා ඒ අවට ප්‍රදේශයේ පිහිටා ඇත. අනුරාධපුර ශ්‍රී පාද ස්ථානය වැනි ආගමික භූමි අවට ද තත්ත්වය මෙයට දෙවැනි නොවේ. බලපත්‍රලාභී මත් පැන් සැල් 3332 ක් පමණ හා හොර මත් පැන් අලෙවි සැල් ලක්ෂ 2ක් පමණ අපගේ ධර්මද්වීපයේ ක්‍රියාත්මක බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. සියලු ආගමික ස්ථාන එකතු කළ ද අපට මෙම මත්පැන් අලෙවි සැල් අබිබවා යෑමේ සංඛ්‍යාත්මක ශක්තියක් තිබේ ද යන්න කරුණාකර සිතා බලන්න. අපගේ සාමුහික උත්සාහය අන් අයගේ ආගමික ස්ථානවලට එරෙහිව යොදවන්නේ නැතිව සමාජ විරෝධී මෙවන් ආයතනවලට එරෙහිව යොදවන්නේ නම් සාරධර්ම සපිරි සදාචාර සම්පන්න යහ පරපුරක් බිහි කිරීමට උපකාරී වනවා නොවේ ද?

සෑම දහමක්ම කටයුතු කරන්නේ සදාචාර සම්පන්න සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කොට ගෙනය. මෙම මූලික අදහස මත පිහිටා දහම් අතරේ විවේචන සඳහා අපගේ ශක්තිය හා හැකියාවන් නාස්ති නොකොට මුළු සමාජයේම සාරධර්ම පිරිහීමට හේතු සාධක වන කරුණු කෙරෙහි අපගේ සාමුහික අවධානය යොමු කරමින් ඔවුනොවුන්ගේ ආගමික අවශ්‍යතාවන් කෙරෙහි වැටහීමකින් යුක්තව ආගම් අතර සාමයික සංහිදියාව ඇති කිරීමට කටයුතු කිරීමට ඉදිරිපත් වීම වඩාත් යෝග්‍ය ක්‍රියාවක් බව අපි දකින්නෙමු.

Loading