නබිතුමන්ගේ (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) සහ සෆීයා -රළියල්ලාහු අන්හා- මෑණියගේ විවාහය යනු ඉස්ලාමයේ විවේචකයන් නිතර ම මතු කරන තවත් මාතෘකාවකි. ඔවුන් පවසන්නේ:
- නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) කාන්තාවකගේ සැමියා සහ පියා ඝාතනය කිරීමෙන් පසු ඇය ව විවාහ කර ගත්තේය, එවැනි තත්ත්වයක දී ඇය කැමැත්තෙන් හෝ සතුටින් සිටියේ කෙසේද?
- මෙම විවාහයේ දී ඉද්දා (සැමියා මිය යාම/ දික්කසාදයත් සමග එළෙඹෙන විශේෂ කොන්දේසි සහිත කාල සීමාව) නීති උල්ලංඝනය විය.
පිළිතුර
පහත සඳහන් කරුණුවලින් අපි සමස්ත සිදුවීම විස්තරාත්මක ව පැහැදිලි කරමු. සභීහ් අල්-බුහාරි හි සඳහන් හදීස් මගින් සැබවින්ම සිදු වූයේ කුමක්දැයි පැහැදිලි කරයි.
فَأَصَبْنَاهَا عَنْوَةً فَجُمِعَ السَّبْيُ فَجَاءَ دِحْيَةُ الْكَلْبِيُّ رَضِيَ اللَّهُ عَنْهُ فَقَالَ يَا نَبِيَّ اللَّهِ أَعْطِنِي جَارِيَةً مِنْ السَّبْيِ قَالَ اذْهَبْ فَخُذْ جَارِيَةً فَأَخَذَ صَفِيَّةَ بِنْتَ حُيَيٍّ فَجَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا نَبِيَّ اللَّهِ أَعْطَيْتَ دِحْيَةَ صَفِيَّةَ بِنْتَ حُيَيٍّ سَيِّدَةَ قُرَيْظَةَ وَالنَّضِيرِ لَا تَصْلُحُ إِلَّا لَكَ قَالَ ادْعُوهُ بِهَا فَجَاءَ بِهَا فَلَمَّا نَظَرَ إِلَيْهَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ خُذْ جَارِيَةً مِنْ السَّبْيِ غَيْرَهَا قَالَ فَأَعْتَقَهَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَتَزَوَّجَهَا فَقَالَ لَهُ ثَابِتٌ يَا أَبَا حَمْزَةَ مَا أَصْدَقَهَا قَالَ نَفْسَهَا أَعْتَقَهَا وَتَزَوَّجَهَا حَتَّى إِذَا كَانَ بِالطَّرِيقِ جَهَّزَتْهَا لَهُ أُمُّ سُلَيْمٍ فَأَهْدَتْهَا لَهُ مِنْ اللَّيْلِ فَأَصْبَحَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَرُوسًا فَقَالَ مَنْ كَانَ عِنْدَهُ شَيْءٌ فَلْيَجِئْ بِهِ وَبَسَطَ نِطَعًا فَجَعَلَ الرَّجُلُ يَجِيءُ بِالتَّمْرِ وَجَعَلَ الرَّجُلُ يَجِيءُ بِالسَّمْنِ قَالَ وَأَحْسِبُهُ قَدْ ذَكَرَ السَّوِيقَ قَالَ فَحَاسُوا حَيْسًا فَكَانَتْ وَلِيمَةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
“අපි කයිබර් ප්‍රදේශය ජයගෙන, යුද සිරකරුවන් එක්රැස් කරනු ලැබූ අතර, යුද භාණ්ඩ ද එක්රැස් කරන ලදී. දිහ්යා (රලි) පැමිණ, ‘අල්ලාහ්ගේ දූතයාණෙනි! සිරකරුවන් අතරින් මට එක් දාසියක් ලබා දෙන්න’ යැයි පැවසීය. නබිතුමාණෝ, ‘ගොස් ඕනෑ ම දාසියක් තෝරා ගන්න’ යැයි පැවසූහ. ඔහු සෆීයා බින්ත් හුයෙයි ව තෝරා ගත්තේය. එවිට පුද්ගලයෙකු නබිතුමන් වෙත පැමිණ, ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ දිහ්යාට කුරෙයිලා සහ අන්–නදීර් ගෝත්‍රවල නායිකාව වූ සෆීයා බින්ත් හුයෙයි ව ලබා දුන්නේය. ඇය ඔබට මිස වෙනත් කිසිවෙකුට සුදුසු නැත’ යැයි පැවසීය. එවිට නබිතුමාණෝ, ‘ඔහු ව ඇය සමඟ මෙහි කැඳවාගෙන එන්න’ යැයි පැවසූහ. දිහ්යා ඇය සමඟ පැමිණි විට නබිතුමන් ඇය දෙස බලා දිහ්යාට, මැය හැර වෙනත් ඕනෑ ම දාසියක් ‘සිරකරුවන් අතරින් තෝරා ගන්න’ යැයි පැවසූහ.
අනස් -රළියල්ලාහු අන්හු- තවදුරටත් මෙසේ පැවසීය: පසුව නබිතුමා ඇයව නිදහස් කර ඇයව විවාහ කර ගත්තේය. සාබිත්, අනස් -රළියල්ලාහු අන්හු-) ගෙන්, ‘අබූ හම්සා තුමනි (අනස් තුමාගේ අන්වර්ත නාමයක්) ! නබිතුමන් ඇයට මහර් (Mahr) ලෙස දුන්නේ කුමක් ද?’ යැයි ඇසීය. ඔහු, ‘ඇගේ නිදහස ම ඇගේ මහර් (කාන්තාට ස්වාමිපුර්ෂයා විසින් ලබා දිය යුතු විවාහ දීමනාව) විය, මන්ද නබිතුමාණන් ඇය ව නිදහස් කර පසු ව විවාහ කරගත් බැවිනි’ යැයි පැවසීය.
අනස් -රළියල්ලාහු අන්හු- තවදුරටත් මෙසේ පැවසීය: ‘අතරමග දී, උම්මු සුලෙයිම් (රලි) තුමිය ඇය ව විවාහ මංගල්‍යය සඳහා සූදානම් කර, රාත්‍රියේ දී ඇය ව මනාලියක ලෙස නබිතුමණන් වෙත යැවීය. මෙසේ නබිතුමා මනාලයා වූ අතර, ‘යමෙකු ළඟ යම් ආහාරයක් තිබේ නම් එය රැගෙන එන්න’ යැයි පැවසූහ. එතුමා සමෙන් කළ ඇතිරිල්ලක් එලූ අතර, ඇතැමුන් රටඉඳි ද තවත් අය ගිතෙල් ද රැගෙන ආහ. (අනස් -රළියල්ලාහු අන්හු-) සවීක් (ආහාරයක්) ගැන ද සඳහන් කළ බව මට සිතේ). මෙසේ ඔවුන් ‘හයිස්’ නම් ආහාර වේලක් සූදානම් කළහ. එය අල්ලාහ්ගේ දූතයාණන්ගේ (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) වලීමා (විවාහ සංග්‍රහය) විය.'”
(බුහාරි, හදීස් 358)
ඉද්දා නීති උල්ලංඝනය වූවා ද?
පහත සඳහන් හදීසය ඉතා සැලකිල්ලෙන් කියවිය යුතු ය;
عن أبي سعيد الخدري ورفعه أنه قال في سبايا أوطاس لا توطأ حامل حتى تضع ولا غير ذات حمل حتى تحيض حيضة
අබූ සඊද් අල්–ඛුද්රි (රලි) තුමන්, අව්තාස් (Awtas) හි යුද සිරකරුවන් පිළිබඳ ව අල්ලාහ්ගේ දූතයාණන්ගේ (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) ප්‍රකාශය වාර්තා කරයි: “ගැබිනි කාන්තාවක ප්‍රසූත කරන තෙක් හෝ ගැබිනි නොවන කාන්තාවක ඇගේ එක් ඔසප් චක්‍රයක් අවසන් වන තෙක් ඇය සමඟ ලිංගික සබඳතා පැවැත්වීම නොකළ යුතු ය.”
(අබූ දාවූද්, හදීස් 2157. අල්බානි තුමන් මෙම වාර්තාව සභීහ් ලෙස වර්ගීකරණය කර ඇත)
මෙම හදීසය මගින් නීතියක් පනවන අතර, ඒ අනුව යම් සිරකාරියක ඔසප් වී පිරිසිදු වන තෙක් ඇය සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට පිරිමියෙකුට අවසර නැත. මෙසේ කරනු ලබන්නේ මාතෘත්වය සහ පීතෘත්වය (පරම්පරාව) පිළිබඳ කිසිදු පටලැවිල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා ය.
දැන් සෆීයා (රලි) තුමිය සැබවින්ම යුද සිරකාරියක ව සිට පසු ව නිදහස් කර නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) විසින් විවාහ කරගත් තැනැත්තියක යන කරුණ සලකා බලන විට; ඉහත හදීසයට අනුව, විවාහය පූර්ණ කිරීමට (එක්වීමට) පෙර ඇයගේ ඔසප් චක්‍රය අවසන් වී පිරිසිදු වන තෙක් නබිතුමන්ට (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) බලා සිටීමට සිදු වූ අතර, එතුමාණන් සිදු කළේ ද එය ම ය.
සභීහ් අල්-බුහාරි හි මෙසේ සඳහන් වේ:
عَنْ أَنَسِ …فَاصْطَفَاهَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِنَفْسِهِ فَخَرَجَ بِهَا حَتَّى بَلَغْنَا سَدَّ الصَّهْبَاءِ حَلَّتْ فَبَنَى بِهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ
අනස් බින් මාලික් (රලි) තුමන් වාර්තා කරයි:
“…නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) ඇයව තමන් උදෙසා තෝරාගත් අතර, ඇය සමඟ පිටත්ව ගියහ. අපි සද්–අස්–සහ්බා (Sadd-as-Sahba’) නම් ස්ථානයට ළඟා වූ විට, සෆීයා තුමිය ඇගේ ඔසප් චක්‍රයෙන් පිරිසිදු වූවාය. ඉන්පසු අල්ලාහ්ගේ දූතයාණන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) ඇයව විවාහ කර ගත්තේය (විවාහය පූර්ණ කළේය).”
(බුහාරි, හදීස් 3889)
සෆීයා (රලි) තුමිය මෙම විවාහයට කැමති වූවාද?
සෆීයා (රලි) තුමිය මෙම විවාහයට කැමති වූවාද නැද්ද යන ප්‍රශ්නයට කිසිවෙකුගේ අනුමාන කිරීම්වලට වඩා ඇගේ ම වචනවලින් කරුණු පැහැදිලි කරගත හැක. පහත සඳහන් වාර්තාව එය විස්තරාත්මක ව පැහැදිලි කරයි:
لما دخلت صفية على النبي، صلى الله عليه وسلم، وسلم قال لها: لم يزل أبوك من أشد يهود لي عداوة حتى قتله الله. فقالت: يا رسول الله إن الله يقول في كتابه ولا تزر وازرة وزر أخرى. فقال: لها رسول الله: اختاري، فإن اخترت الإسلام أمسكتك لنفسي وإن اخترت اليهودية فعسى أن أعتقك فتلحقي بقومك. فقالت: يا رسول الله لقد هويت الإسلام وصدقت بك قبل أن تدعوني حيث صرت إلى رحلك وما لي في اليهودية أرب وما لي فيها والد ولا أخ، وخيرتني الكفر والإسلام فالله ورسوله أحب إلي من العتق وأن أرجع إلى قومي
සෆීයා තුමිය නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) වෙත පැමිණි විට, එතුමාණෝ ඇයට මෙසේ පැවසූහ: “යූදෙව්වන් අතරින් ඔබේ පියා අල්ලාහ් ඔහු ව විනාශ කරන තෙක්ම මට දැඩි ලෙස සතුරුකම් කිරීම නතර කළේ නැත.” ඇය මෙසේ පැවසුවාය: “අල්ලාහ්ගේ දූතයාණනි! සැබවින්ම අල්ලාහ් උන්වහන්සේගේ ග්‍රන්ථයේ ‘කිසිවෙකු තවත් කෙනෙකුගේ පාපයේ බර නො දරන්නේය’ යනුවෙන් පවසයි.” එවිට නබිතුමාණෝ (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) ඇයට මෙසේ පැවසූහ: “ඔබේ තේරීම කරන්න, ඔබ ඉස්ලාමය තෝරා ගන්නේ නම් මම මගේ බිරිඳ ලෙස ඔබ ව තබා ගන්නෙමි. ඔබ යුදෙව් ආගම (Judaism) තෝරා ගන්නේ නම් මම ඔබව නිදහස් කර ඔබේ සෙනඟ වෙත යවන්නෙමි.” ඇය මෙසේ පැවසුවාය: “අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ මට මෙම ඇරයුම ලබා දීමටත් පෙර, මම ඔබ වෙත පැමිණි අවස්ථාවේ සිට ම ඉස්ලාමයට කැමැත්තෙන් සිටි අතර ඔබ ව විශ්වාස කළෙමි. යුදෙව්වන් අතර මට පියෙකු හෝ සහෝදරයෙකු හෝ කිසිදු භාරකරුවෙකු නැත. මම දේව ප්‍රතික්ෂේප කිරීමට (කුෆ්ර්) වඩා ඉස්ලාමය තෝරා ගනිමි. නිදහස ලබා මගේ සෙනඟ වෙත ආපසු යාමට වඩා අල්ලාහ් සහ උන්වහන්සේගේ දූතයාණන් මට ප්‍රියමනාප ය.”
(ඉබ්නු සඅද් 8/123)
ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර සෆීයා (රලි) තුමිය අල්ලාහ්ගේ ග්‍රන්ථයේ “කිසිවෙකු තවත් කෙනෙකුගේ පාපයේ බර නොදරන්නේය“ යනුවෙන් සඳහන් වන බව දැන සිටියේ කෙසේදැයි යමෙකුට සැකයක් ඇති නොවීමට මෙය පැහැදිලි කළ යුතු ය: යුදෙව් ආගමික ලියවිලිවල ද (උදාහරණයක් ලෙස එසකියෙල් 18:20 හි) මෙය සඳහන් කර ඇත. එබැවින් යුදෙව් පසුබිමකින් පැමිණි ඇය ඒ පිළිබඳ ව දැන සිටීම තේරුම් ගත හැකි ය.
සහාබිවරයෙකු කූඩාරමෙන් පිටත ආයුධ සන්නද්ධ ව සිටීම සහ සෆීයා -රළියල්ලාහු අන්හා- මෑණියගේ හැඟීම් පිළිබඳ ව:
නබිතුමාණන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) සහ සෆීයා (රලි) තුමිය අතර ඇති වූ මෙවැනි කරුණාවන්ත සංවාදයක් පිළිබඳ ව නොදැන සිටි උදාර සහාබිවරයෙකු වූ අබූ අය්යූබ් (රලි) තුමන්, යුද්ධයේ දී පියා සහ සහෝදරයා මියගිය සෆීයා තුමියගෙන් නබිතුමන්ට (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) යම් අනතුරක් සිදුවේ යැයි වූ බිය නිසා, ඔවුන්ගේ කූඩාරමෙන් පිටත ආයුධ සන්නද්ධ ව ආරක්ෂාවට සිටියේය.
(ඉබ්නු සඅද් 8/126).
සමහර ක්‍රිස්තියානි මිෂනාරිවරු මෙම සිදුවීම උපුටා දක්වමින්, සෆීයා (රලි) තුමිය ව බලහත්කාරයෙන් විවාහ කරගත් බවත් ඇය දැඩි ලෙස අසතුටින් සිටි බවත් පෙන්වීමට උත්සාහ කරති. කෙසේ වෙතත්, ඉහත සඳහන් කළ සංවාදය ම එම මතය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සනාථ කරයි. එසේ ම, අබූ අය්යූබ් (රලි) තුමන් එතැන සිටියේ තමන්ගේම කැමැත්තෙන් මිස, සෆීයා තුමියගේ සැබෑ සිතුවිලි සහ තත්ත්වය හොඳින්ම දැන සිටි නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) ඔහු ව එතැන නොරඳවා බව ද වටහා ගත යුතු ය.
එම උදාර සහාබිවරයා අහිංසක ලෙස මේ බව නොදැන සිටි අතර, නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) කයිබර් වෙත ළඟා වීමට බොහෝ කලකට පෙර සිට ම, සර්වඥ වූ අල්ලාහ් තආලා විසින් සෆීයා -රළියල්ලාහු අන්හා- මෑණියගේ හදවතේ නබිතුමන් කෙරෙහි වූ ආදරයේ බීජය රෝපණය කර තිබූ බවට වූ සත්‍යයෙන් ද්වේෂසහගත විවේචකයෝ පලා යති.
نَزَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْبَرَ وَصَفِيَّةُ عَرُوسٌ فِي مَجَاسِدِهَا، فَرَأَتْ فِي الْمَنَامِ كَأَنَّ الشَّمْسَ نَزَلَتْ حَتَّى وَقَعَتْ عَلَى صَدْرِهَا، فَقَصَّتْ ذَلِكَ عَلَى زَوْجِهَا، فَقَالَ: وَاللَّهِ مَا تَمَنَّيْنَ إِلا هَذَا الْمَلِكَ الَّذِي نَزَلَ بنا، فَفَتَحَهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَضَرَبَ عُنُقَ زَوْجِهَا صَبْرًا، وَتَعَرِّضَ مِنْ هُنَاكَ مِنْ فِتْيَةِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِيَتَزَوَّجَهَا
අල්ලාහ්ගේ දූතයාණන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) කයිබර් වෙත පැමිණෙන විට සෆීයා තුමිය නව මනාලියක ලෙස ඇගේ නිවසේ සිටියාය. හිරු බැස ඇගේ ළමැඳ මතට වැටෙන අයුරු ඇය සිහිනයකින් දුටුවාය. ඇය ඒ බව ඇගේ සැමියාට පැවසූ විට ඔහු; “අල්ලාහ් මත දිවුරා පවසමි, ඔබ ප්‍රාර්ථනා කරන්නේ අප වෙත පැමිණ සිටින මේ රජුව මිස වෙන කෙනෙකුව නොවේ“ යැයි පැවසීය. අල්ලාහ්ගේ දූතයාණන් කයිබර් ජයගත් අතර ඇගේ සැමියා මියගියේය. (එම සිහිනය දුටු) එතැන් පටන් නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) ඇයව විවාහ කර ගනු ඇතැයි ඇය දැඩි ලෙස කැමැත්තෙන් සිටියාය.
(තබරානි කබීර්, හදීස් 19667)
عَنِ ابْنِ عُمَرَ، قَالَ: كَانَ بِعَيْنَيْ صَفِيَّةَ خُضْرَةٌ، فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:مَا هَذِهِ الْخُضْرَةُ بِعَيْنَيْكِ؟فَقَالَتْ: قُلْتُ لِزَوْجِي: إِنِّي رَأَيْتُ فِيمَا يَرَى النَّائِمِ قَمَرًا وَقَعَ فِي حِجْرِي فَلَطَمَنِي، وَقَالَ: أَتُرِيدِينَ مَلِكَ يَثْرِبَ؟ قَالَتْ: وَمَا كَانَ أَبْغَضُ إِلَيَّ مِنْ رَسُولِ اللَّهِ، قَتَلَ أَبِي وَزَوْجِي، فَمَا زَالَ يَعْتَذِرُ إِلَيَّ، فَقَالَ:يَا صَفِيَّةُ إِنَّ أَبَاكِ أَلَّبَ عَلَى الْعَرَبَ، وَفَعَلَ وَفَعَلَحَتَّى ذَهَبَ ذَاكَ مِنْ نَفْسِي
ඉබ්නු උමර් (රලි) තුමන් වාර්තා කරයි: සෆීයා තුමියගේ ඇසේ කැළලක් (ලපයක්) තිබුණි. නබිතුමාණෝ (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) ඇගෙන්, “ඔබේ ඇසේ ඇති මේ කැළල කුමක්ද?” යැයි ඇසූහ. ඇය මෙසේ පැවසුවාය: “සඳක් මාගේ උකුලට වැටෙනු සිහිනයෙන් දුටු බව මම මාගේ සැමියාට කීවෙමි. එවිට ඔහු මගේ කනට ගසා, ‘ඔබ යස්රිබ්හි (මදීනාවේ) රජු කෙරෙහි ආශා කරන්නේද?’ යැයි ඇසීය.” ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “මාගේ පියා සහ සැමියා මියගිය බැවින් අල්ලාහ්ගේ දූතයාණන්ට (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) වඩා මා හට වෙනත් කිසිවෙකු කෙරෙහි දැඩි ද්වේෂයක් තිබුණේ නැත. [නමුත්] නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) මට කරුණු පැහැදිලි කරමින්, ‘සෆීයා, ඔබේ පියා මට එරෙහිව අරාබිවරුන් මෙහෙයවූ අතර, ඔහු මේ මේ දේවල් කළේය…‘ යැයි පැවසූහ. එම මා තුළ වූ (ද්වේෂයේ) හැඟීම මාගේ සිතෙන් පහව යන තෙක්ම එතුමා මට කරුණු පැහැදිලි කරමින් සිටියහ.”
(තබරානි කබීර්, හදීස් 19668. අල්බානි තුමන් මෙය සිල්සිලා සභීහා හි හදීස් අංක 2793 යටතේ සභීහ් ලෙස වර්ගීකරණය කර ඇත)
ඉහත සඳහන් සියලු ම වාර්තා එකට ගෙන බලන විට, සෆීයා (රලි) තුමිය නබිතුමන්ව (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) හමු වීමට පෙර සිට ම එතුමා කෙරෙහි ආදරණීය හැඟීමක් තිබූ බව අපට පෙනී යයි (තබරානි 19667).
යුද්ධයේ දී ඇගේ පියා සහ සැමියා මියගිය විට, ස්වාභාවික හේතූන් මත ඇය තුළ නබිතුමන් කෙරෙහි යම් ද්වේෂයක් ඇති වූ නමුත්, ඇගේ පියා එතුමාණන්ට කළ සියල්ල (සතුරුනකම්) ගැන නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) ඇයට පැහැදිලි කළ විට (තබරානි 19668), ඇගේ පියාට එවැනි අවසානයක් අත් වූයේ ඔහුගේ ම ක්‍රියාකලාපය නිසා බව ඇය වටහා ගත්තාය.
(ඉබ්නු සඅද් 8/123).
ඒ අනුව නබිතුමන් (එතුමාණන්ට සාමය හා ශාන්තිය උදාවේවා) කෙරෙහි ඇය තුළ තිබූ වැරදි අදහස සම්පූර්ණයෙන්ම පහව ගිය අතර, සර්වඥ වූ අල්ලාහ් තආලා සිහිනයක් මගින් ඇගේ හදවතේ තැන්පත් කර තිබූ නබිතුමන් කෙරෙහි වූ ආදරයේ හැඟීම් පමණක් ඇය තුළ ඉතිරි විය.
(තබරානි 19667 සහ 19668).
සැබවින්ම මාගේ දෙවියන්ගේ මාර්ග අතිශයින්ම අනන්‍ය සහ අපූරු ය!
සැබවින්ම අල්ලාහ් හොඳින්ම දනී!
![]()