සාරාංශය
මුස්නද් අහ්මද් ග්‍රන්ථයෙහි සඳහන් එක් පුවතක් වැරදි ලෙස පරිවර්තනය කර, විවේචකයින් විසින් අතිශයෝක්තියෙන් යුතුව ප්‍රචාරය කර ඇත. මෙම ලිපිය, අරාබි වචනවල භාෂාමය සාධක වෙනත් වාර්තා (variant narrations), අල්-කුර්ආනයේ සමාන ප්‍රකාශයන් සහ සම්භාව්‍ය විවරණයන් (classical commentaries) මත පදනම්ව, එම වාර්තාවේ සැබෑ අර්ථය පැහැදිලි කරයි. එහි සඳහන් වන්නේ, ජින්වරුන් අල්-කුර්ආනයට සවන් දීම සඳහා දේවදූත මුහම්මද් (ﷺ) තුමා වටා රැස්වුණු අතර ඇතැම් විවේචකයන් විසින් ආරෝපණය කර ඇති පහත් මට්ටමේ අර්ථකථනය නො වේ.
1. හැඳින්වීම
ඉමාම් අහ්මද් ඉබ්නු හන්බල් (මරණය: හි. 241 / ක්‍රි.ව. 855) විසින් සම්පාදිත මුස්නද් අහ්මද් ග්‍රන්ථයේ සඳහන් එක් පුවතක් ඇතැම් විවේචකයන් සංවේදී බවක් ඇති කරන ආකාරයෙන් ප්‍රචාරය කරමින්, අශෝභන සහ නොමඟ යවන භාෂාවකින් ඉදිරිපත් කර ඇත. ඔවුන් එම පුවත සම්පූර්ණයෙන් ම උපුටා දක්වන නමුත්, එහි එක් විශේෂ වාක්‍ය ඛණ්ඩයක් හිතාමතා ම වැරදි ලෙස පරිවර්තනය කරමින්, එහි සන්දර්භය මෙන් ම සම්පූර්ණ පුවතේ අදහස් ප්‍රවාහය ද නොසලකා හරිති. සැබවින් ම, එම පුවත අවසන් වන්නේ දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන්ගේ ගෞරවනීය තත්ත්වය පැහැදිලිව තහවුරු කරන ප්‍රකාශයකිනි. එම වැරදි පරිවර්තනය පිළිබඳව සෘජුව ම සාකච්ඡා කිරීමට පෙර, මෙම පුවත සැබවින් ම ප්‍රකාශ කරන්නේ කුමක් දැයි? යන්න සංක්ෂිප්තව සලකා බලමු.
2. හදීස වාර්තාවේ සංක්ෂිප්ත සාරාංශය
මුස්නද් අහමද් ග්‍රන්ථයෙහි සංරක්ෂිත මෙම පුවතේ සඳහන් වන්නේ, එක් අවස්ථාවක දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන් ඉබ්නු මස්ඌද් (රලි) තුමා සමඟ යම් ස්ථානයකට ගොස්, ඔහු වටා රේඛාවක් ඇඳ, එය ඉක්මවා නොයන ලෙස උපදෙස් දුන් බවයි. ඉබ්නු මස්ඌද් (රලි) තුමා එම ස්ථානයේ රැඳී සිටිය දී, දේවදූත මුහම්මද් (ﷺ) තුමාණෝ මඳක් ඈතට ගියහ. එවිට ඉබ්නු මස්ඌද් (රලි) තුමා උසින් දිගු, සිරුරෙන් සිහින්, සුට් (Zutt) ජනවර්ගයට සමාන පුද්ගල රූප සමූහයක් දුටුවේය. ඔවුන් ඇඳුම් රහිතව සිටින බවක් පෙනුණ ද, ඔවුන්ගේ රහස්‍ය අවයව නොපෙනුණු බව ඔහු විශේෂයෙන් ම සඳහන් කරයි. මෙම අවස්ථාව පිළිබඳ එම පුවතේ මෙසේ සඳහන් වේ.
أتوا فجعلوا يركبون رسول الله ﷺ قال وجعل نبي الله ﷺ يقرأ عليهم
“ඔවුහු පැමිණ අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) තුමාණන් වෙත “යර්කබූන්” කිරීමට පටන් ගත්හ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) ඔවුන්ට අල්-කුර්ආනය පාරායනය කිරීමට පටන් ගත්හ.”
(මෙහි විවේචකයන් “යර්කබූන්” යන වචනය හිතාමතාම “නැඟී ගියහ” හෝ “පිටේ නැඟී සවාරි ගියහ (ride/mount)” ලෙස පරිවර්තනය කරයි.)
මෙම දර්ශනය දැක ඉබ්නු මස්ඌද් (රලි) තුමාණන් දැඩි භීතියට පත් විය. ඔවුහු මුහම්මද්තුමාණන් වටා එක්රොක්ව සිටියහ. උදෑසන උදාවත් සමඟ ඔවුහු පිටත්ව ගියහ. ඉන් අනතුරුව මුහම්මද් (ﷺ) තුමාණන් ආපසු පැමිණියේ දැඩි වෙහෙසට පත්ව සහ එම සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස ශාරීරික වේදනාවෙන් ද පීඩා විඳිමින්ය.
දේවදූත මුහම්මද් (ﷺ) තුමාණෝ විවේක ගැනීම සඳහා තම හිස ඉබ්නු මස්ඌද් (රලි) තුමාගේ ඔඩොක්කුව මත තැබූහ. ටික වේලාවකට පසු, මෙවර දිගු සුදු වස්ත්‍ර පැළඳ සිටි තවත් පිරිසක් පැමිණියහ. ඔවුහු ඉතා ගෞරවයෙන් කතා කරමින්, දේවදූතයාණන්ගේ (ﷺ) දෑස් නිදා සිටිය ද, ඔහුගේ හදවත අවදියෙන් පවතින බව සඳහන් කළහ. අනතුරුව, ඔහුගේ දූත මෙහෙවරේ සත්‍යතාව තහවුරු කරන උපමාවක් ඉදිරිපත් කළහ. ඔවුහු, මුහම්මද් (ﷺ) තුමාණන් ලෝවැසියන්ගේ පරමාධිපති අල්ලාහ්ගේ නාමයෙන් ස්වර්ගය වෙත ආරාධනා කරන පුද්ගලයා බව ප්‍රකාශ කළ අතර, ඔවුන්ගේ සංවාදය තුළ දූතයාණන් (ﷺ) තුමාණන්ගේ උතුම් ගුණාංග සහ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සාක්ෂි ද දැරූහ. මුහම්මද් (ﷺ) තුමාණන් අවදි වූ පසු, ඔවුන් පැවසූ සියල්ල තමන්ට ඇසුණු බව තහවුරු කළ අතර, ඔවුන් මලක්වරුන් (සුරදූතයින්) බව හඳුන්වා දුන්හ. [1]
3. විවේචකයන්ගේ තර්කය
මෙම අවස්ථාවේ දී, විවේචකයින් “යර්කබූන්” යන ක්‍රියාපදය (“නැඟීම” හෝ “පිටේ නැඟීම” යන මූලික අර්ථය ඇති වචනය) අල්ලාගෙන, එය හැකි තරම් පහත් නින්දිත අර්ථයකින් කියවීමට උත්සාහ කරති. ඔවුහු එම පුවත දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන් කිසියම් ලිංගික ක්‍රියාවකට ලක් වූ බවක් නිරූපණය කරන ලෙස අර්ථකථනය කරති. සන්දර්භය සහ අරාබි භාෂාවේ ව්‍යවහාරමය භාවිතය සම්පූර්ණයෙන් ම නොසලකා හරිමින් සිදු කරන මෙම වැරදි පරිවර්තනය ම, ඔවුන්ගේ සංවේදී හා නොමඟ යවන ප්‍රකාශවලට පදනම වී ඇත.
4. භාෂාමය සන්දර්භය
විවාදයට ලක් වී ඇති මෙම වාක්‍ය ඛණ්ඩය, එහි පුළුල් භාෂාමය සන්දර්භය තුළ තේරුම් ගත යුතු ය. එඩ්වඩ් විලියම් ලේන් (Edward William Lane, මරණය: 1876) විසින් රචිත Arabic-English Lexicon හි පහත සඳහන් ව්‍යවහාරමය ප්‍රකාශය දැක්වේ.
“رَكِبَ النَّاسُ بَعْضُهُمْ بَعْضًا (රකිබන් නාසු බඃලුහුම් බඃලා)” — “මිනිසුන් එකිනෙකා මත තෙරපෙමින්, එකිනෙකාට තද වී, රැස් වූහ (නැඟී සිටින බවක් මෙන්); මෙය ප්‍රසිද්ධ හා නිතර භාවිත වන ව්‍යවහාරයකි.” [2]
මෙයින් පැහැදිලි වන්නේ “රකිබ යන ක්‍රියාපදය සෑම විටම “පිටේ නැඟීම” යන වචන අර්ථයෙන් ම භාවිත නොවන බව ය. ඇතැම් සන්දර්භවලදී එය “තෙරපෙමින් රැස් වීම, එක්රොක් වීම හෝ තදින් වට කර ගැනීම” යන අර්ථ ද ප්‍රකාශ කළ හැකි ය.
5. මෙම සිදුවීම පිළිබඳ වෙනත් වාර්තා
මෙම සිදුවීම පිළිබඳ වෙනත් වාර්තා ද මෙම අර්ථකථනයට සහාය දක්වයි. ඉමාම් අල්-දාරිමි (මරණය: හි. 255 / ක්‍රි.ව. 869) සහ ඉමාම් අල්-තිර්මිදි (මරණය: හි. 279 / ක්‍රි.ව. 892) විසින් වාර්තා කරන ලද අනුවාදවල, එම ජීවීන් පිළිබඳ මුස්නද් අහ්මද්හි විස්තර කර ඇති ආකාරයට ම විස්තර කර ඇත. එහෙත් “යර්කබූන්” යන ක්‍රියාපදය භාවිත කරනවා වෙනුවට, එහි මෙසේ සඳහන් වේ:
ثم يصدرون إلى رسول الله صلى الله عليه وسلم
“පසු ව ඔවුහු අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) තුමාණන් වෙත යොමු වූහ/දෙසට හැරුණහ (යස්දුරූන්).” [3]
එසේම, ඉමාම් අල්-බස්සාර් (මරණය: හි. 292 / ක්‍රි.ව. 905) විසින් සම්පාදිත මුස්නද් අල් බස්සාර් ග්‍රන්ථයේ ද මෙම සිදුවීම පිළිබඳ පහත සඳහන් වෙනත් පුවතක් සඳහන්ව ඇත.
ثم يصيرون إلى رسول الله صلى الله عليه وسلم
“පසු ව ඔවුහු අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) තුමාණන් වෙත ගියහ. (යසීරූන්)” [4]
මෙම විකල්ප වචන භාවිතයන් පැහැදිලි කරන්නේ, “යර්කබූන්” යන ක්‍රියාපදය සමහරවිට උප වාර්තාකරුවෙකු (sub-narrator) විසින් පමණක් භාවිත කර ඇති වචනයක් විය හැකි වුව ද එය වචනාර්ථයෙන් “පිටේ නැඟීම” හෝ “ඉහළට නැඟීම” යන අදහසින් භාවිත කර නොමැති බවයි. ඒ වෙනුවට, එය ව්‍යවහාරමය අර්ථයෙන් දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන් වටා ඉතා තදින් එක්රොක් වීම, ඔහු වටා තෙරපෙමින් රැස් වීම, එසේත් නැතිනම් ඔහුව සම්පූර්ණයෙන් ම වට කර ගත්තාක් මෙන් ඔහු වටා රොක් වීම යන අදහස ප්‍රකාශ කරයි.
6. අල්-කුර්ආනයේ සමාන්තර උදාහරණයක්
මෙම ආකාරයේ ම රූපක භාෂා භාවිතය අල්-කුර්ආනයේ ද දක්නට ලැබේ:
وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا
“තව ද, අල්ලාහ්ගේ ගැත්තා (මුහම්මද් ﷺ) අල්ලාහ්ට ප්‍රාර්ථනා කරමින් නැඟී සිටි විට, ඔවුහු ඔහු වටා තෙරපෙමින් රැස්වන්නට වූහ.”
(අල්-කුර්ආන් 72:19; පරිවර්තනය: මුහම්මද් තකී උස්මානි)
මෙම වාක්‍ය පිළිබඳ තෆ්සීර් විද්වතුන් විවිධ පැහැදිලි කිරීම් ඉදිරිපත් කර ඇත. ඉබ්නු අබ්බාස් (රලි) තුමා වෙත ආරෝපණය කරන ලද එක් වාර්තාවක, ජින්වරුන්ගේ හැසිරීම “رَكِبَ بَعْضُهُمْ بَعْضًا (රකිබ බඃලුහුම් බඃලන්)” යන ප්‍රකාශයෙන් විස්තර කර ඇති අතර, එහි අදහස වන්නේ අල්-කුර්ආනයට සවන් දීමට තිබූ දැඩි උනන්දුව හේතුවෙන් ඔවුහු එකිනෙකා මත තෙරපෙමින්, එක්රොක් වූහ යන්නයි. තවත් මතයකට අනුව, ජින්වරුන් ව විස්තර කරන්නේ දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන්ගේ සහගාමීන් සලාතයේ (යාඥාවේ) දී ඔහු අනුගමනය කිරීමට කෙතරම් ඉක්මනින් එක් රොක් වූයේ ද එ් ආකාරයට යි. ඔවුහු එකවර රුකූʿ සහ සුජූද් ඉටු කරමින් ඔහු පසුපස ගමන් කළහ. තවත් විද්වතුන් වන අල්-හසන්, කතාදා සහ ඉබ්නු සයිද් යන අයගේ අදහස වූයේ, මෙහි සඳහන් “එක්රොක් වීම” යන්නෙන් අදහස් කරන්නේ, දේවදූතයාණන් (ﷺ) තුමාණන්ගේ දූත මෙහෙවරට විරුද්ධ වීම සඳහා මිනිසුන් සහ ජින්වරුන් එක්ව රැස් වූ බවයි. [5]
කෙසේ වෙතත්, මෙම සියලු විවරණවල පොදු අදහස වන්නේ “තෙරපෙමින් ළං වීම, ඉක්මනින් රැස් වීම හෝ එක්රොක් වීම යන්නයි. එය අල්-කුර්ආනයට සවන් දීමට තිබූ දැඩි උනන්දුව නිසා විය හැකි ය. නබිතුමාණන්ව (ﷺ) අනුගමනය කිරීමේ ආශාව නිසා විය හැකිය. නැතහොත් ඔහුගේ දූත මෙහෙවරට විරුද්ධ වීමේ අරමුණින් විය හැකි ය.
තව ද, ඉමාම් අත්-තබරි, අල් ලහ්හාක්ගෙන් පහත ප්‍රකාශය ද වාර්තා කරයි. يَرْكَبُونَهُ كَادُوا ( කාදූ යර්කබූනහ්) حِرْصًا عَلَىٰ مَا سَمِعُوا مِنْهُ مِنَ الْقُرْآنِ “ඔවුහු ඔහුගෙන් අල්-කුර්ආනයෙන් ඇසූ දේ කෙරෙහි තිබූ දැඩි උනන්දුව හේතුවෙන්, ඔහු වටා තෙරපෙමින් එක්රොක් වීමට ආසන්න වූහ.” [6]
මෙහි “කාදූ” (ආසන්න වූහ almost ) යන වචනයට විශේෂ වැදගත්කමක් ඇත. එය මෙම ක්‍රියාපදය ව්‍යවහාරමය අර්ථයෙන් තේරුම් ගත් බව පැහැදිලි කරයි. එනම්, ඔවුහු දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන්ට ඉතා සමීපව තෙරපෙමින් ළං වූහ, ඔහුව වටකර ගත්තාක් මෙන් රැස් වූහ යන්නය. ඔහුගේ කය මත නැඟීමට ඔවුන් උත්සාහ කළ බවක් කිසිසේත් අදහස් නො වේ.
7. සම්භාව්‍ය විවරණ
ඒ අනුව මුස්නද් අහ්මද්හි සඳහන් මෙම පුවත වඩාත් නිවැරදිව තේරුම් ගත යුත්තේ මෙය ව්‍යවහාරමය අර්ථය අනුව ය. එය නම්, දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන් අල්-කුර්ආනය පාරායනය කරමින් සිටිය දී ජින්වරුන් ඔහු වටා තෙරපෙමින් එක්රොක් වූ ආකාරය විස්තර කරන ප්‍රකාශයකි. මෙම අර්ථය, අල්-කුර්ආනය 72:19 පිළිබඳ ඉබ්නු අබ්බාස් (රලි) තුමාගේ විවරණයට ද සම්පූර්ණයෙන් ම අනුකූල වන අතර, ඇතැම් විවේචකයින් විසින් ආරෝපණය කර ඇති පහත් මට්ටමේ අර්ථකථනයට කිසිදු සහායක් නො දක්වයි.
එම නිසා, අබූ අල්-හසන් අල්-සින්දි (මරණය: හි. 1138 / ක්‍රි.ව. 1726) මුස්නද් අහ්මද් පිළිබඳ තම විවරණයේ මෙම වාක්‍ය ඛණ්ඩය සෘජුව ම මෙසේ පැහැදිලි කරයි:
يَرْكَبُونَ) أي: يزحمونه ويقربون منه)
“ යර්කබූන්” යන්නෙන් අදහස් වන්නේ, ඔවුන් ඔහු වටා තෙරපෙමින් රැස් වී, ඔහුට ඉතා සමීප වූහ යන්නයි.” [7]
මේ අනුව, අල්-කුර්ආනයේ සහ හදීස්වල අභ්‍යන්තර සාක්ෂි මෙන් ම සම්භාව්‍ය විද්වතුන්ගේ විවරණ ද එකඟව පෙන්වා දෙන්නේ, අද ඇතැම් පිරිස් ප්‍රචාරය කරන විකෘති අර්ථකථන සඳහා කිසිදු ඉඩක් නොමැති බව ය.
8. නිවැරදි ක්‍රමවේදය
ආගමික ග්‍රන්ථයක තිබෙන යම් තොරතුරක් එම ආගමට හෝ ආගමික ශාස්තෘවරයාට අපහාස වන අකාරයෙන් විකෘති කර ඉදිරිපත් කිරීම නිවැරදි ක්‍රමයක් නොවේ. නිදසුනක් ලෙස බයිබලයේ සඳහන් යේසුස් තුමාගේ “Beloved One” නම් පුද්ගලයා ගැන සඳහන් කරමින් යේසුස් තුමා හා තවත් පුද්ගලයෙකු අතර සමරිසි සම්බන්ධතාවයක් තිබු බව ඇතැමුන් පැවසීමට උත්සහ කරති [8].
මෙය පිළිගත හැකිද? අප එසේ බයිබලය අර්ථකථනය කළ යුතුද? සැබවින්ම කළ යුත්තේ මෙම පුවත් පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යනයකින් පසුව නිගමනයකට එළඹීමයි.
9. නිගමනය
මෙම පුවත කිසිදු පහත් අදහසක් යෝජනා කරන එකක් නොව, එහි අවසානය සම්පූර්ණයෙන් ම ගෞරවය හා උත්කර්ෂය පෙන්වන ආකාරයකින් අවසන් වේ. ලෝකයාගේ පරමාධිපති අල්ලාහ්ගේ නාමයෙන් මනුෂ්‍යයන්ව ස්වර්ගය වෙත ආරාධනා කරන තැනැත්තා ඔහු බව මලක්වරුන් (සුරදූතයන්) විසින් ම ප්‍රකාශ කර ඇත. සම්පූර්ණ පුවත ම සලකා බැලූ විට, එය පෙන්වන්නේ ජින්වරුන් දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන්ගේ අල්-කුර්ආන් පාරායනයට සවන් දීම සඳහා උනන්දුවෙන් ඔහු වටා එක්රොක් වූ ආකාරය යි. ඊට ප්‍රතිවිරුද්ධව, ඇතැම් විවේචකයන් ඉස්ලාමය සම්බන්ධ සෑම කරුණක් තුළ ම තමන්ගේ ම පහත් අදහස් ඇතුළත් කිරීමට දක්වන උනන්දුව, ඔවුන්ගේ තර්කානුකූල අවබෝධය ම අනාවරණය කරයි. එක් ආකාරයක උනන්දුව දේවදූත මුහම්මද් (ﷺ) තුමාණන්ගේ ගෞරවනීය දූත මෙහෙවරට සාක්ෂි ගෙන ආවේය. අනෙක් ආකාරයේ උනන්දුව සත්‍යය දැකීමෙන් පමණක් වළක්වයි. අවසානයේ දී, මෙම පුවත සටහන් කරන්නේ අල්-කුර්ආනය කෙරෙහි වූ උනන්දුව යි. එහි විරුද්ධවාදීන් හෙළි කරන්නේ එය විකෘති කිරීම කෙරෙහි වූ උනන්දුව යි.
Reference
[1] Ahmad b. Hanbal, al-Musnad, Hadith 3788- graded as da‘if (weak) by Shu‘aib al-Arnaut et al. Ahmad Shakir on the other hand graded it as sahih..
[2] Lane, Edward William, Arabic-English Lexicon, (Beirut: Librairie du Liban, 1968) Book I, Part 3, 1142..
[3] Al-Darimi, Abu Muhammad, al-Musnad, edited by Hussain Salim Asad (Riyadh: Dar al-Mughni, 2000) Vol . 1, 161 Hadith 12 – graded as hasan. Al-Tirmidhi, al-Jami ‘ al-Sahih, Hadith 2861. Al-Albani graded it as hasan sahih..
[4] Al-Bazzar, Abu Bakr, al-Musnad, (Madina: Maktaba al-‘Ulum wa al-Hikam, 1997) Hadith 1886;.
[5] Ibn al-Jawzi, Zad al-Masir fi ‘Ilm at-Tafsir, (Beirut: Dar al-Kitab al-‘Arabi, 1402 AH) Vol.4, 349-350.
[6] al-Tabari, Abu Ja’far, Jami‘ al-Bayan ‘an Ta’wil ay al-Qur’an, Ed. Mahmud Muhammad Shakir (Beirut: al-Resalah Publishers, 2000) Vol.23, 666.
[7] Al-Sindi, Abu al-Hasan, Hashia Musnad al-Imam Ahmad bin Hanbal, (Qatar: Ministry of Auqaf and Religious Affairs, 2008) Vol.3, 321 (Hadith 2022).
[8] https://qspirit.net/john-evangelist-beloved-disciple/
![]()