මිනිසා නිර්මාණය වී ඇත්තේ කෙසේද? පිරිමියකුගේ ශුක්‍රාණුවක් හා ස්ත්‍රියකුගේ ඩිම්බයක් එක් වීමෙන් මිනිසා නිර්මාණය වී තිබෙන බව අද අපි සෑම දෙනෙකුම වාගේ දන්නෙමු. මෙහිදී පිරිමියා තුළ නිෂ්පාදනය වන ශුක්‍රානු ස්ත්‍රියගේ ප්‍රජනක පද්ධතියට ඇතුල් වී ඩිම්බය සමඟ සංසේචනය වේ. පසුව හටගන්නා කළලය විවිධ අදියරයන් හරහා වර්ධනය වී දරුවෙකු බවට පත් වේ. මෙම අදියරයන් ගැන සුවිශේෂී විස්තරයක් අල් කුර්ආනයේ සඳහන් වේ. නමුත් මෙම ලිපියේ අරමුණ එම අදියරයන් පිළිබඳව සාකච්ඡා කිරීම නොව ශුක්‍රාණුව හා ඩිම්බය සංසේචනයට පෙර පිරිමියා තුළ නිපදවෙන ශුක්‍ර තරලය විසර්ජනය වීම ගැන පවසන අල් කුර්ආන් වැකිය ගැන තරමක් ගැඹුරින් සාකච්ඡා කිරීමයි.
අල් කුර්ආනයේ තාරික්(86) පරිච්ඡේදයේ 5 සිට 7 දක්වා වැකිවල මේ විෂය ගැන කරුණු සඳහන් වේ. බොහෝ පරිවර්තකයින් මෙම වැකි පහත පරිදි පරිවර්තනය කර තිබේ.
මිනිසා කුමක් මඟින් නිර්මාණය කර ඇත්තේදැයි අවධානය කරත්වා. වේගයෙන් ඉකුත් වන ද්‍රවයකින් නිර්මාණය කරනු ලැබුවේය. එය කොඳු නාරටිය හා ඉළ ඇට මධ්‍යයෙන් ඉකුත් වන්නේය [අල් කුරාන් පරිච්ඡේදය අත් තාරික්(86):5-7]
මෙම වැකිය උපුටා දක්වන ඇතැම් විවේචකයෝ, මිනිස් නිර්මාණයට අවශ්‍යවන්නේ ශුක්‍රාණු බවත් එම ශුක්‍රාණු නිෂ්පාදනය වන්නේ කොඳු නාරටියෙන් හෝ ඉළ ඇටවලින් නොව වෘෂණ කෝෂවල බවත් පවසමින් ඉහත කුර්ආන් වැකිය නූතන විද්‍යාවට පටහැනි බව සනාථ කිරීමට උත්සහ කරති. කෙසේනමුත් ඉහත කුර්ආන් වැකි කිහිපය ඉතා සූක්ෂමව ගවේෂණය කරන කෙනෙකුට මෙම වැකියේ කිසිඳු විද්‍යාත්මක දෝෂයක් නොමැති බව පහසුවෙන්ම වටහා ගත හැක.
ශුක්‍රානු ද? ශුක්‍ර තරලයද?
අල් කුර්ආනයේ 86:6 වන වැකියේ සඳහන් වන්නේ හුදෙක් ශුක්‍රාණු ගැන නොවේ. ශුක්‍රාණුවලට අරාබි භාෂාවෙන් පවසන්නේ “මනි” (manny ) ලෙස ය [1]. මෙම අරාබි වචනය අපි සාකච්ඡා කරන අල් කුර්ආන් වැකියේ නොමැත. මෙම වැකියේ භාවිත වී ඇත්තේ “මා” (maa) නම් අරාබි පදයයි. එහි අර්ථය “ද්‍රවය” යන්නයි [2]. තවද මෙම වැකිය තුළ “ද්‍රවය” යන වචනයට “වේගයෙන් ඉකුත් වන” නමැති විශේෂණය යොදා තිබේ. එනම් මෙම අල් කුර්ආන් වැකියේ සඳහන් වන්නේ වේගයෙන් ඉකුත්වන එක්තරා විශේෂ ද්‍රවයක් ගැන ය. මෙම වේගයෙන් ඉකුත්වන ද්‍රවය කුමක්ද?
පිරිමියාගේ වෘෂණ කෝෂ වල නිපදවෙන ශුක්‍රාණු ශුක්‍ර නාල ඔස්සේ ඉහළට, එනම් උදර පෙදෙසට ගමන් කරයි. පසුව මෙම ශුක්‍රාණු ශුක්‍ර ආශෛකාවලට ගමන් කර ශුක්‍ර අශෛකා වල නිපදවෙන වෙනත් තරල සමඟ ශුක්‍රාණු මිශ්‍ර වේ. මෙම මිශ්‍රණය පසුව ගමන් කරන්නේ Prostate ග්‍රන්තිකාවලට ය. මෙහිදීද ද්‍රවයන් ශුක්‍ර මිශ්‍රණයට එක් වේ. මෙලෙස විවිධ තරල සමඟ මිශ්‍ර වී ශුක්‍ර තරලය නම් විශේෂ තරලයක් නිපදවේ. ශුක්‍ර තරලයේ 60%ක් පමණ ෆ්රක්ටෝස් අදික ද්‍රව තිබේ. Prostate ග්‍රන්තිකා ශුක්‍ර තරලයේ 30%ක් පමණ කොටසක් නිපදවීමට දායක වේ. අවසාන වශයෙන් මෙම ශුක්‍ර තරලය ශිෂ්ණය හරහා වේගයෙන් ශරීරයෙන් පිට වේ. පිටවන ශුක්‍ර තරලයේ ඇත්තෙන්ම ශුක්‍රාණු තිබෙන්නේ 1%ක පමණ ප්‍රමාණයක් පමණයි [3]. ශුක්‍ර තරලය වේගයෙන් ඉකුත් වීමට (විසර්ජනය වීමට) හේතු වන්නේ ශුක්‍ර ප්‍රනාල සංකෝචනය හා ශුක්‍ර තරල මඟින් ඇති කරන පීඩනයයි [4].
අල් කුර්ආනයේ 86:6 වැකියේ සඳහන් වන්නේ මෙම ශුක්‍ර තරලය පිළිබඳ විස්තරයක් බව දැන් ඔබට පහසුවෙන් වටහා ගන්න හැක.
වේගයෙන් ඉකුත්වන ශුක්‍ර තරලය ඉකුත්වන ස්ථානය
විවේචකයෝ පවසන්නේ කුර්ආනයට අනුව ශුක්‍රාණු කොඳු නාරටියෙන් හා ඉළ ඇටවලින් නිෂ්පාදනය වන බවයි. නමුත් ඉහත අල් කුර්ආන් වැකි ශුක්‍රාණු පිළිබඳව නොව ශුක්‍ර තරලය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන බව ඉහත සාකච්ඡා වී ඇත. තවද මෙම ද්‍රවය (එනම් ශුක්‍ර තරලය) නිෂ්පාදනය වන්නේ කොඳු නාරටියෙන් හා ඉළ ඇටවලින් යයි කුර්ආනය පවසන්නේ ද නැත. කුර්ආනය පවසන්නේ කොඳු නාරටිය හා ඉළ ඇට මාධ්‍යයෙන් මෙම දියරය ඉකුත් වන බවයි. එනම් කුර්ආනය පවසන්නේ මෙම ද්‍රවය ඉකුත්වන ස්ථානය කොඳු නාරටිය හා ඉළඇට අතර තිබෙන බවයි. ශුක්‍ර තරලය නිපදවෙන ශුක්‍ර ආශෛකා, Prostate ග්‍රන්ති කොඳු නාරටිය හා ඉළ ඇට අතර තිබෙන බව පැවසීම තුළ කිසිඳු විද්‍යාත්මක දෝෂයක් නොමැත. තිරස් අතට බැලීමේදී මෙම පෙදෙස තිබෙන්නේ කොඳු නාරටිය හා ඉළ ඇට අතරයි. පහත රූප සටහන තුළින් මෙම කරුණ පහසුවෙන්ම වටහා ගත හැක.

මෙහිදී තවත් කරුණක් සඳහන් කළ යුතු වේ. විවේචකයෝ පවසන පරිදි මෙම වැකිය (86:6) කරුණු ඉදිපත් කරනුයේ හුදෙක් ශුක්‍රාණු ගැන යයි වාදයක් පිණිස මදකට පිළිගත්තද එම ශුක්‍රාණු නිෂ්පාදනය වන වෘෂණ කෝෂ පිහිටා තිබෙන්නේ කොඳු නාරටිය හා ඉළඇට අතර බව පැසීම තුළ ද කිසිඳු විද්‍යාත්මක දෝෂයක් නොමැත. තිරස් අතට බැලීමේදී වෘෂණ කෝෂ තිබෙන්නේ ද කොඳු නාරටිය හා ඉළ ඇට අතරයි. මේ බව ද ඉහත රූප සටහන තුළින් වටහා ගත හැකිය.
සුනම්‍ය නව පරිවර්තනය
අප සාකච්ඡා කළ කුර්ආනයේ වැකිවල කිසිඳු විද්‍යාත්මක දෝෂක් නොමැති බව ඉහත කරුණුවලින් මනාව පැහැදිලි වේ. කෙසේනමුත් මෙම විස්තර කිරීම ඉතා සාමාන්‍ය බවත් එය සුනම්‍ය පැහැදිලි කිරීමක් නොවන බවත් ඇතැමෙකුට සිතිය හැක. පැහැදිලි කිරීම සුනම්‍ය ද නැද්ද යන්න ද්වීතීයික කරුණකි. මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත්තේ මෙම වැකිවල විද්‍යාත්මක දෝෂයක් නොමැති බවයි.
සුනම්‍ය පරිවර්තනයක් සඳහා අරාබි භාෂාව හා විද්‍යාව උපයෝගී කර ගත හැකිය. මෙම වැකිවල “තරාඉබ්” යන පදය බොහෝ දෙනා පරිවර්තනය කර ඇත්තේ “ඉළ ඇට” ලෙසය. නමුත් මෙම පදයට තවත් අර්ථ තිබේ [5].
මෙහිදී “තරාඉබ්” යන පදයට පාද අස්ථිය යන පරිවර්තනය තෝරා ගන්නේ නම් “ශුක්‍ර” තරය ඉකුත් වන ස්ථානය පිළිබඳ ඉතා සුනම්‍ය පැහැදිලි කිරීමක් මෙම වැකිය තුළින් ඉදිරිපත් වේ. මෙම නව පරිවර්තනය මෙසේ ය:
මිනිසා කුමක් මඟින් නිර්මාණය කර ඇත්තේදැයි අවධානය කරත්වා. වේගයෙන් ඉකුත් වන ද්‍රවයකින් නිර්මාණය කරනු ලැබුවේය. එය කොඳු නාරටිය හා පාද අස්ථි මාධ්‍යයෙන් ඉකුත් වන්නේය [අල් කුරාන් පරිච්ඡේදය අත් තාරික්(86):5-7]
මේ නව පරිවර්තනයට අනුව ශුක්‍ර තරලය ඉකුත් වන ශුක්‍ර ආශෛකා Prostate ග්‍රන්ති වැනි අවයව පිහිටා තිබෙන්නේ කොඳු නාරටිය හා පාද අස්ථිය (ඌර්වස්තිය) මාද්‍යයේ බව පහසුවෙන් අවබෝධ කරගත හැකිය. මෙම කරුණ ද ඉහත ඉදිරපත් කර ඇති රූප සටහන තුළින් පහසුවෙන්ම වටහා ගත හැක.
වෙනත් අර්ථකතන
අප සාකච්ඡා කළ කුර්ආන් වකිවලට තවත් විද්වතුන් වෙනත් සරල පැහැදිලි කිරීම් ලබා දී තිබේ. නිදසුනක් ලෙස කොඳුනාරටිය හා ඉළඇට අතර තිබෙන ගර්භාෂයෙන් ළදරුවා පිටතට පැමිණීම මෙම කුර්ආන් වැකියෙන් ඉදිරිපත් වන බව ඇතැම් චින්තකයෝ පවසති [6]. මේ සඳහා මෙම කුර්ආන් වැකි සඳහන් පරිච්ඡේදයේ ප්‍රධාන තේමාව උපයෝගී කර ගනිති. තවත් සමහර විද්වත්හු “සුල්බ්” යන්නෙන් ව්‍යංගාර්ථයෙන් පිරිමියා ද තාරිබ් යන්නෙන් ව්‍යංගාර්ථයෙන් කාන්තාව නියෝජනය වන බවත්, ඒ අනුව මිනිසා පිරිමියෙකුගෙන් හා කාන්තාවකගෙන් බිහි වී ඇති බව පවසති [7]. මෙසේ පැවසීමට ද අරාබි භාෂාවේ ඉඩ කඩ තිබේ. මේ කිසිඳු අර්ථකතනයක් විද්‍යාවට පටහැනි නොවේ.
අපගේ ගවේෂණය තුළ අපි අදාළ කුර්ආන් වැකි (86:5-7) ඉතා යෝග්‍ය ලෙස අරාබි භාෂාවට පටහැනි නොවන අයුරින් පරිවර්තනය කර ඇත්තෙමු.
සාරාංශය
සාකච්ඡා වී ඇති අල් කුර්ආන් වැකිවල කිසිඳු විද්‍යාත්මක දෝෂයක් නොමැත. ශුක්‍ර තරලය පිළිබඳව වැරදි මත රාශියක් තිබුණු අවදියක පවා එම වැරදි තොරතුරු අල් කුර්ආනයට ඇතුළත් වී නොමැත [8]. අප විවේචකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අල් කුර්ආනයේ සඳහන් ස්වභාවික සංසිද්ධීන් පිළිබඳ ගවේෂණය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරන ලෙසය.
අවසන් වරට යාවත්කාලීන කළේ: 2026 ජූලි 26
මූලාශ්‍රයන්
[1] almaany.com/en/dict/ar-en/مني/
[2] https://www.almaany.com/en/dict/ar-en/%D9%85%D9%8E%D8%A7%D8%A1/
[3] Peter H. Raven, George B. Johnson, “Biology Eighth Edition”, TATA McGRAW-HILL, 2010, pp 1073-1075
[4] How an Erection/Ejaculation Occurs, http://my.clevelandclinic.org/anatomy/male_reproductive_system/hic_how_an_erection-ejaculation_occurs.aspx
[5] Lane’s Lexicon, p.301
[6] Ibn ‘Attiya Al-Andalusi. (2001). Al-Muḥarrar Al-Wajīz Fī Tafsir Al-Kitab Al-‘Aziz. Beirut: Dār Al-Kutub Al-‘Ilmiyya, vol. 5, p. 465; Qurtubi., Al-. (2006). Al-Jāmi’
[7] Mātūrīdi, Al-. (2007). Tawīlāt Al-Quran. Istanbul: Dār Al-Mīzān, vol. 17, p. 159.
[8] http://www.news-medical.net/health/Semen-and-Culture.aspx
![]()