بسم الله الرحمن الرحيم الحمد لله وحده و الصلاة و السلام على من لا نبي بعده و على آله و أصحابه أجمعين
ඇතැම් ඉස්ලාම්භීතිකාවන් (Islamophobes) පතුරුවන්නෝ, ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ මුස්හෆ් (පෞද්ගලික කුර්ආන් පිටපත) තුළ අල්-කුර්ආනයේ 33:56 වන වැකියේ වෙනස් විචල්‍යයක් තිබූ බව හැඟවීම සඳහා අල්-සුයුති තුමාගේ ‘අල්-ඉත්කාන්’ (al-Ittiqan) ග්‍රන්ථයේ එන එක්තරා වාර්තාවක් උපයෝගී කර ගනිති. එමෙන්ම ඇතැම් අන්තවාදී කල්ලි ද ප්‍රධාන ප්රවාහයේ මුස්ලිම් මූලාශ්‍ර සහ විද්වතුන්ට පහර දීම සඳහා මෙම වාර්තා ව ම භාවිතා කරති.
අපි මෙම අසත්‍යයේ සහමුලින්ම පැහැදිලි කරමු.
අදාළ වාර්තාව:
අබු උබයිද් කාසිම් බින් සලාම්ගේ ‘ෆදායිල් අල්-කුර්ආන්’ (Fada’il al-Qur’an) ග්‍රන්ථය උපුටා දක්වමින්, ඉමාම් අල්-සුයුති තුමා මෙම වාර්තාව මෙසේ ඉදිරිපත් කරයි:
عَنْ حُمَيْدَةَ بِنْتِ أَبِي يُونُسَ قَالَتْ قَرَأَ عَلَيَّ أَبِي وَهُوَ ابْنُ ثَمَانِينَ سَنَةً فِي مُصْحَفِ عَائِشَةَ ” إِنَّ اللَّهَ وملائكته يصلون على النبي يأيها الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا وَعَلَى الَّذِينَ يُصَلُّونَ الصُّفُوفَ الْأُوَلَ ” قَالَتْ قَبْلَ: أَنْ يُغَيِّرَ عُثْمَانُ الْمَصَاحِفَ
හුමයිදා බින්ත් අබි යුනුස් මෙසේ වාර්තා කරයි: “අසූ වියැති මගේ පියා, ආයිෂා තුමියගේ මුස්හෆ් එකෙන් සලාතය පිළිබඳ වැකිය මට කියවා පෙන්නුවේය: “නියත වශයෙන්ම අල්ලාහ් සහ උන්වහන්සේගේ මලයිකාවරු (සුරදූතයෝ) නබිවරයාට ප්‍රශංසා කරති. විශ්වාස කළවුනි! ඔබලා ද එතුමාට ප්‍රශංසා -සලවාත්- කර, පූර්ණ ගෞරවයෙන් යුතුව සලාම් පවසන්න. තවද (සලාතයේ) පළමු පේළි වෙත පැමිණෙන අය කෙරෙහි ද (ප්‍රශංසා -සලවාත්- පවසන්න).” ඇය පැවසුවාය: “[එය එසේ තිබුණේ] උස්මාන් තුමා මුස්හෆ් (පිටපත්) වෙනස් කිරීමට පෙර ය.””
(අල්-ඉත්කාන් 3/82, 47 වන කොටස)
මෙම වාර්තාව අබු උබයිද්ගේ ‘ෆදායිල් අල්-කුර්ආන්’ (Fada’il al-Qur’an) 1/324 හි සඳහන් වේ. තවද ඉබ්න් අබි දාවුද් විසින් ඔහුගේ ‘කිතාබුල් මසාහිෆ්’ (Kitabul Masahif) හි 238 වන වාර්තාව ලෙස ද මෙය වාර්තා කර ඇත.
ගැටලුව:
මෙහි ප්‍රධාන ගැටලු දෙකක් තිබේ.
1- ආයිෂා (රළියල්ලාහු අන්හා) තුමිය සැබවින්ම “තවද (සලාතයේ) පළමු පේළි වෙත පැමිණෙන අය කෙරෙහි ද” යන වදන් අල්-කුර්ආන් පාඨයේ කොටසක් ලෙස සැලකුවාද?
2- උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා සැබවින්ම මුස්හෆ් (පිටපත්) විකෘති කිරීමේ අදහසින් ඒවා වෙනස් කළාද? එතුමා මුස්හෆ් වෙනස් කළේ ඇයි?
වාර්තාවේ විශ්වසනීයත්වය (Authenticity):
පළමුවෙන්ම, වාර්තාකරණ විධිවිදානවලට අනුව මෙම වාර්තාව විශ්වාසදායක නොවේ. එහි සිටින ‘මුහම්මද් බින් අබි හුමයිද්’ (Muhammad bin Abi Humayd) නම් උප-වාර්තාකරුගේ දුර්වලතාවය හේතුවෙන් මෙය ‘ලඊෆ්’ (Da’if – දුර්වල) වාර්තාවක් ලෙස වර්ගීකරණය කර ඇත. මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු සඳහා බලන්න:
- සෞදි ප්‍රකාශන අමාත්‍යාංශයේ (Saudi Ministry of Publications) ‘මර්කස් දිරාසත් අල්-කුර්ආනියා’ (Markaz Dirasat al-Qur’ania) හි විද්වතුන්ගේ පර්යේෂණ සහිත Al-Ittiqn fi ‘Uloom al-Qur’an, පිටුව 1458.
- බෙයිරූට් හි ‘දාරුල් බෂාඉර් අල්-ඉස්ලාමිය්යා’ (Darul Basha’ir al-Islamiyya) මඟින් 2002 දී ප්‍රකාශිත, ආචාර්ය මුහිබ්බුද්දීන් වාඉස් (Dr. Muhibbudin Wa’iz) තුමාගේ පර්යේෂණ සහිත Kitabul Masahif, 1 වන කොටස, පිටුව 370.
ගැටලුවල සැබෑ තත්ත්වය (Reality of the issues):
මෙම වාර්තාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු දෙක පිළිබඳව පැහැදිලි කිරීම.
33:56 වන අල්-කුර්ආන් වැකියට එකතු වී ඇති අතිරේක වදන්වල සත්‍යතාවය:
1- “තවද (සලාතයේ) පළමු පේළි වෙත පැමිණෙන අය කෙරෙහි ද” යන අතිරේක වදන් කිසිසේත්ම අල්-කුර්ආන් පාඨයේ කොටසක් නොවීය. මෙම වචන සැබවින්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ –එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ප්‍රශංසාව අත්වේවා– හදීසයක් (නබිවදනක්) වේ. මේ පිළිබඳ වාර්තාවන් බරාඃ බින් අල්-ආසිබ් සහ ආයිෂා –එතුමන්ලා දෙපළ කෙරෙහි අල්ලාහ්ගේ ප්‍රසාදය අත්වේවා– යන දෙදෙනාගෙන්ම පැමිණේ. ආයිෂා –ඇය කෙරෙහි අල්ලාහ්ගේ ප්‍රසාදය අත්වේවා– මෑණියගෙන් පැමිණෙන වාර්තාවන් Sahih Ibn Hibban (හදීස් 2163, 2164) හි ද දැකිය හැකි නමුත්, අප සාකච්ඡා කරන වාර්තාවට සමාන වදන් අබු බක්ර් මුහම්මද් බින් ඉබ්රාහීම් ඉබ්න් අල්-මුක්රිඃ (මියගියේ හිජ්රි 381) තුමාගේ al-Mu’jam ග්‍රන්ථයේ දක්නට ලැබේ:
عَنْ عَائِشَةَ قَالَتْ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى الصُّفُوفِ الْأُوَلِ
ආයිෂා මෑණියගෙන් වාර්තා වේ, ඇය මෙසේ පැවසුවාය: නබිතුමාණෝ –එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ප්‍රශංසාව අත්වේවා– මෙසේ පැවසූහ:
“නියත වශයෙන්ම සර්වබලධාරී අල්ලාහ් සහ උන්වහන්සේගේ මලයිකාවරු (සලාතයේ) පළමු පේළිවල (සලාත් කරන) අය කෙරෙහි ප්‍රශංසා කරති.”
(al-Mu’jam li-Ibn al-Muqri’ හදීස් 1218, දාරුල් කුතුබ් අල්-ඉල්මිය්යා, බෙයිරූට්, 2003, පිටුව 225. මෙම වාර්තාව ‘සහීහ්’ හෙවත් නිවැරදි වාර්තාවක් ලෙස වර්ගීකරණය කර ඇත)
ආයිෂා –ඇය කෙරෙහි අල්ලාහ්ගේ ප්‍රසාදය අත්වේවා– මෑණිය මෙය සැබවින්ම හදීසයක් ලෙස නබිතුමාණන්ගෙන් සෘජු ව ම අසා ඇති බව මෙයින් පැහැදිලි වේ. එම නිසා, මෙම කරුණ එහි සඳහන් කරුණට (33:56 වැකියට) සෘජු ව ම සම්බන්ධ වන බැවින්, ඇය තම පෞද්ගලික අත්පිටපතෙහි 33:56 වැකියට යාබද ව මෙම වචන පෙළ ලියා තැබූ බව වටහා ගැනීම ඉතා පහසු ය. ඇත්ත වශයෙන්ම, මෙම කරුණෙහි ඇති වැදගත්කම නිසා ම, ආයිෂා මෑණිය අල්ලාහ් සහ මලයිකාවරුන් ප්‍රශංසා කිරීම පිළිබඳව සඳහන් වන සමාන අදහසක් ඇති මෙම වැකිය අසලින් එම නබිවදන ලියා තබා ඇත.
සහාබාවරුන් (නබි සගයන්) තම පෞද්ගලික මුස්හෆ් තුළ අතිරේක පැහැදිලි කිරීම් ලියා තැබීමේ සත්‍යතාවය පිළිබඳ ව ඉබ්න් අල්-ජස්රි මෙසේ ලියයි:
“ඇතැම් අවස්ථාවල දී ඔවුහු කරුණු පැහැදිලි කරගැනීම සහ විස්තර කරගැනීම සඳහා අල්-කුර්ආන් වැකි කියවීමට අමතර ව එහි අර්ථ විවරණ ද එකතු කළහ. මන්ද ඔවුහු දැනුමෙන් පිරිපුන් මිනිසුන් වූහ. ඔවුහු අල්-කුර්ආනය සෘජු ව ම නබිතුමාණන්ගෙන් –එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ප්‍රශංසාව අත්වේවා– ඉගෙන ගෙන තිබූ බැවින්, (සැබෑ කුර්ආන් පාඨය සහ එහි අර්ථ විවරණය අතර) කිසිදු පැටලීමකින් තොර ව ඔවුහු ආරක්ෂිතව සිටියහ. තවද ඇතැම් අවස්ථාවල දී ඔවුන්ගෙන් සමහරෙක් එම අර්ථ විවරණ සැබෑ කුර්ආන් පාඨය සමඟ ම ලියා තැබූහ.” (al-Nashr fil Qira’at al-‘Ashr 1/32. මෙය al-Ittiqan fi ‘Uloom al-Qur’an හි ද උපුටා දක්වා ඇත)
ආයිෂා –ඇය කෙරෙහි අල්ලාහ්ගේ ප්‍රසාදය අත්වේවා– මෑණියගේ පෞද්ගලික මුස්හෆ් සම්බන්ධයෙන් ද මීට සමාන තත්ත්වයක් අපි කලින් පැහැදිලි කළෙමු.
උස්මාන් තුමා මුස්හෆ් (පිටපත්) විකෘති කළා ද?
දෙවන ගැටලුව වන්නේ, උස්මාන් තුමා සැබවින්ම මුස්හෆ් විකෘති කළා ද යන්න යි. සැක සහිත වදන් සහිත එම වාර්තාව දෙස බලන සාමාන්‍ය පාඨකයෙකුට, උස්මාන් තුමා මුස්හෆ් විකෘති කළේය’ යන වැරදි වැටහීම ඇති විය හැක. නමුත් මෙය අතිශය අසත්‍ය වූවකි!
ඇත්ත වශයෙන්ම, අප කලින් සාකච්ඡා කළ පරිදි, උස්මාන් –ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ප්‍රසාදය අත්වේවා– තුමා මැදිහත් වූයේ අල්-කුර්ආන් පාඨය සම්බන්ධයෙන් මතභේද ඇති කළ හැකි ඕනෑ ම දෙයක් ඉවත් කිරීමේ ක්‍රියාවලියට ය. මෙම සිදුවීමේ දී ද, එතුමා උත්සාහ කළේ සියලු ම මුස්හෆ් ඒකාකාරී (පොදු ප්‍රමිතියකට) පත් කිරීමට හෝ සමහර පෞද්ගලික මුස්හෆ් පිටපත් තමන් භාරයට ගෙන ඒවා විනාශ කිරීමට පමණි.
මුස්හෆ් (අල් කුර්ආන් අත්පිටපත) සංශෝධනය කිරීමට එතුමා ගත් උත්සාහයේ විස්තර පහත දැක්වෙන වාර්තාවලින් වටහා ගත හැක.
උස්මාන් තුමාගේ මෙම ක්‍රියාවලියට ඉබ්න් මස්ඌද් දැක්වූ ප්‍රතිචාරය ගැන කථා කරමින්, හුමයිර් බින් මාලික් මෙසේ පවසයි:
“මුස්හෆ් (අල් කුර්ආන් අත්පිටපත) සංශෝධනය කිරීමට නියෝග කරන ලදී.” (Musnad Ahmad, හදීස් 3929)
තවද, ඉබ්න් අබි දාවුද්ගේ Kitab al-Masahif ග්රන්ථයට අනුව, මාලික් බින් අනස් (ඉමාම් මාලික්ගේ මුත්තණුවන්) තමන්ට පැවසූ බව අබු කිලාබාතුමා වාර්තා කරයි:
“මුස්හෆ් (අත්පිටපත) සකස් කර අවසන් වූ පසු [උස්මාන් තුමා] සියලු නගරවල ජනතාව වෙත මෙසේ ලියා යැවීය: ‘මම මේ මේ දේවල් කර ඇත්තෙමි. තවද මා සතුව තිබූ (අර්ථ විවරණ සහ අවලංගු කරන ලද කොටස්) මම (මුස්හෆ් එකෙන්) ඉවත් කළෙමි. එබැවින් ඔබලා ද ඔබලා සතු (මුස්හෆ් පිටපත්වල ඇති එම අතිරේක කොටස්) මකා දමන්න.’”
(Kitab al-Masahif, වාර්තාව 75)
නිගමනය :
මෙම වාර්තාව පිළිගනු ලැබුව ද, එයින් සමස්ත මුස්ලිම්වරුන් සතු අල්-කුර්ආන් පාඨයේ ස්ථාවරභාවය සහ ඒකාකාරීභාවය පිළිබඳ ව කිසිදු ගැටලුවක් මතු නොවේ. ආයිෂා –ඇය කෙරෙහි අල්ලාහ්ගේ ප්‍රසාදය අත්වේවා– මෑණිය එම වචන එකතු කළේ, ඒවා අල්-කුර්ආන් වැකියට අදාළ වූ නිසාත්, ඇය ඒවා අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් –එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ප්‍රශංසා අත්වේවා– සෘජු ව ම අසා තිබූ නිසාත් පමණි. ඇය කළ දෙය ඇතැම් සහාබාවරුන් අතර පැවති පොදු පුරුද්දක් වූ අතර, එයින් සමස්ත මුස්ලිම් සමාජය තුළ කිසිදා කිසිදු පැටලීමක් හෝ ව්‍යාකූලත්වයක් ඇති නොවුණි.
එමෙන්ම, උස්මාන් –ඔහු කෙරෙහි අල්ලාහ්ගේ ප්‍රසාදය අත්වේවා– තුමා මුස්හෆ් විකෘති කළේ නැත. ඒ වෙනුවට එතුමා සිදු කළේ අනාගතයේ දී ඇති විය හැකි ගැටලු වළක්වා ගැනීම සඳහා මුස්හෆ් පිටපත්වලින් අර්ථ විවරණාත්මක සටහන් ආදිය ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කිරීම පමණි.
ඉන් ශා අල්ලාහ් -අල්ලාහ්ගේ අභිමතය පරිදි- ඉදිරි දිනවල දී මෙවැනි තවත් ප්‍රසිද්ධ ව්‍යාජ කරුණුවලට පිළිතුරු සපයනු ඇත.
නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල මැනවින් දන්නේය!
![]()