ලූත් නබි තුමාගේ ජනතාව ඔහුට ලබා දුන් පිළිතුර?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.

ලූත් නබි තුමාගේ ජනතාව ඔහුට ලබා දුන් පිළිතුර?

ලූත් යනු අල්ලාහ් විසින් තෝරා පත් කළ ලද එක් දේව පණිවුඩකරුවෙකි. මොහුගේ කාළයේ ජීවත් වූ පිරිමින් ප්‍රිය කළේ සම ලිංගික සම්බන්ධතා වලටයි. එනිසා කාන්තාවන් සමඟ සම්බන්ධතා පවත්වනවා වෙනුවට මොවුන් පිරිමින් සමඟ සම්බන්ධතා ඇති කර ගත්තා. මෙම දුෂ්ට ක්‍රියාවට එරෙහි වූ ධර්මිෂ්ට ලූත් තුමා සෑම විටම තම ජනතාවට පවසා සිටියේ මෙම දුෂ්ට ක්‍රියාවෙන් ඉවත්වී අල්ලහ්ගෙන් සමාව අයදින ලෙසටයි. අවුරුදු ගණනාවක් ලූත් තුමා තම ජනතාවට මෙම පණිවුඩය කියා සිටියා. නමුත් තම ජනතාව ඔහුට සවන් දුන්නේ නැහැ. ලූත් තුමා තම ජනතාව සමඟ සංවාද කළ අවස්ථා දෙකක් පමණක් අල් කුර්ආනයේ සඳහන් වෙනවා.

“නුඹලා දැන දැන ම අශිෂ්ට සම්පන්න ක්‍රියාව කරන්නෙහු ද? ස්ත්‍රීන් හැර දමා කාමාශාවෙන් පුරුෂයින් වෙතට යන්නෙහු ද? නුඹලා මුග්ධ පිරිසක් ම යැ”යි ලුත් තම ජන සමාජයට ප්‍රකාශ කළේය.”නුඹලාගේ ගම්මානයෙන් ලුත්ගේ පවුලේ අය පිටු වහල් කරන්න. ඔවුහු ශුද්ධවන්ත මිනිස්සු වෙති”යි ප්‍රකාශ කිරීම මිස අන් කිසිවක් ඔහුගේ ජන සමාජයේ පිළිතුර නො වීය. [අල් කුර්ආනය 27 : 54-56]

(අපි) ලුත් ද (එවීමු). “නුඹලා අශිෂ්ට සම්පන්න ක්‍රියාව කරන්නෙහු ය.නුඹලාට පෙර ලෝවැසියන්ගෙන් කිසිවෙක් මෙය නොකළහ.” “නිවැරදි මාර්ගය විසන්ධි කොට පිරිමීන් වෙත යන්නෙහු ය. නුඹලාගේ සභාවෙහි එම පිළිකුල් සහගත ක්‍රියාව කරන්නෙහු දැ”යි ඔහු තම ජන සමාජයට ප්‍රකාශ කළ විට “නුඹ සත්‍යවන්තයෙක් නම් අල්ලාහ්ගේ වේදනාව ගෙන එන්නැ”යි ප්‍රකාශ කිරීම මිස අන් කිසිවක් ඔහුගේ ජන සමාජයේ පිළිතුර නොවීය.” [අල් කුර්ආනය 29 : 28,29]

විවේචකයන් පවසන්නේ 27:56 වෙනි වැකියට අනුව ”නුඹලාගේ ගම්මානයෙන් ලුත්ගේ පවුලේ අය පිටු වහල් කරන්න. ඔවුහු ශුද්ධවන්ත මිනිස්සු වෙති”යි ප්‍රකාශ කිරීම මිස අන් කිසිවක් ඔහුගේ ජන සමාජයේ පිළිතුර නොවන බව පැවසෙන අතර 29:20 වැකියේ  “නුඹ සත්‍යවන්තයෙක් නම් අල්ලාහ්ගේ වේදනාව ගෙන එන්නැ”යි ප්‍රකාශ කිරීම මිස අන් කිසිවක් ඔහුගේ ජන සමාජයේ පිළිතුර නොවන බව පැවසෙන නිසා ලූත් තුමාට ජනතාව පැවසු පිළිතුර එකිනෙකට පරස්පර විරෝධී ලෙස කුර්ආනයේ සඳහන් වී තිබෙන බවයි.  නමුත් විවේචකයන්ගේ මෙම චෝදනාව නිවැරදි නොවන බව මෙම වැකි වල පද සමාජෝයනය දෙස බලන කෙනෙකුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

තම ජීවිත කාලය පුරාවටම ලූත් තුමා හා තම ජනතාව අතර ඇති වූයේ එක් කතාබහක් පමණක් යැයි පැවසීම විහිළු සහගතයි. දේව පණිවුඩකරුවෙකු ලෙස ඔහු තමාට ලැබෙන සෑම අවස්ථාවකදීම තම ජනතාවට කරුණු පැහැදිලි කර දී තිබිය යුතුයි, දුෂ්ට ක්‍රියා වලින් තම ජනතාව බේරා ගැනීමට උත්සහ දරා තිබිය යුතුයි. අල් කුර්ආනයේ සඳහන් වී ඇත්තේ මෙවන් අවස්ථා දෙකක් ගැන පමණයි. 29:28-29 හි ලූත් තුමා භාවිතා කර තිබෙන වචන හා 27:54-56 හි ලූත් තුමා භාවිතා කර තිබෙන වචන ගැන අවධානය යොමු කරනවා නම් එහි පැහැදිලි වෙනස්කම් තිබෙනවා බව අපට තේරුම් ගන්න පුළුවන්. එනම් 29:28-29 හා 27:54-56 යන වැකි වල සඳහන් වී ඇත්තේ ලූත් තුමා අවස්ථා දෙකකදී පැවසු දෝෂාරෝපණ දෙකක් හා එයට තම ජනතාව දැක්වූ පිළිතුරු දෙකක් බව මෙම වැකි දෙක බැලීමේදී අපහසුවකින් තොරව අපට තේරුම් ගන්න පුළුවන්.

Loading