අල්ලාහ්ගේ අණට අකීකරු වීමට සුර දූතයින්ට (මලාඉකාවරුන්ට) හැකියාවක් තිබෙනවාද?

අල් කුර්ආනයේ ඇතැම් පරස්පරවිරෝධිතා තිබෙන බව අල් කුර්ආනය වෙවේචනය කරන ඇතැම් අය පවසනවා. නමුත් අල් කුර්ආනය අධ්‍යයනය කරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මෙවන් පරස්පර විරෝධිතා කිසිවක් අල් කුර් ආනයේ නොමැති බව අපට වටහා ගන්න පුළුවන්.

අල්ලාහ්ගේ අණට අකීකරු වීමට සුර දූතයින්ට (මලාඉකාවරුන්ට) හැකියාවක් තිබෙනවාද?

අල්ලාහ්ගේ නිර්මාණයක් වූ සුර දූතයින් යනු අල්ලාහ්ට අකීකරු නොවන පිරිසක්.

අහස්හි තිබෙන දැය ද පොළොවෙහි සිටින ජීවින් ද සුර දූතවරු ද අල්ලාහ්ට සජ්දා කරති. සුර දූතවරු උඩඟු නොවෙති. තමන්ට ඉහළින් සිටින තම දෙවියන්ට ඔවුහු බිය වෙති. අණ වන ලද දේ ඉටු කරති. [අල් කුර්ආනය 16 : 49,50]

කෙසේනමුත් අල් කුර්ආනයේ 18 : 50 වැකියේ “ආදම්ට යටහත් පහත් වන්නැ”යි අපි සුර දූතයින්ට ප්‍රකාශ කළ විට ඉබ්ලීස් හැර සියල්ලෝ ම යටහත් පහත් වූහ” නමැති වාක්‍ය දෙස මතුපිටින් බැලීමේදී ඉබ්ලීස් නැමැත්තාද සුර දූතයෙක් යැයි කෙනෙක් තේරුම් ගන්න පුළුවන්. එනිසා සුර දූතයින් යනු අල්ලාහ්ගේ අණට අකීකරු නොවන පිරිසක් යැයි පැවසෙන 16 : 49,50 වැකිය 18:50 වැකියට පරස්පරවිරෝධී වන බව ඇතැම් විවේචකයන් පවසනවා.

මෙවන් පරස්පරවිරෝධීතාවයක් ගොඩනැගෙන්නේ “ඉබ්ලීස්” සුර දූතයෙකු නම් පමණි. නමුත් මොහු ජින් වරයෙකු බව පැහැදිලි කරුණක්.

“ආදම්ට යටහත් පහත් වන්නැ”යි අපි සුර දූතයින්ට ප්‍රකාශ කළ විට ඉබ්ලීස් හැර සියල්ලෝ ම යටහත් පහත් වූහ. ඔහු ජින් වරුන්ගෙන් කෙනෙක් විය. ඔහු තම දෙවියන්ගේ අණ කඩ කළේය. මා හැර ඔහු ද ඔහුගේ පැවතෙන්නන් ද භාරකරුවන් ලෙස නුඹලා ගන්නෙහු ද? ඔවුහු නුඹලාට සතුරෝ ය. අපරාධකරුවන් හුවමාරු කළ දේ ඉතා නරක ය. [අල් කුර්ආනය 18 : 50]

ඉබ්ලීස් යනු සුරදූතයෙක් නොවන බවත් අල් කුර්ආනයේ 18:50 වැකියේ “ආදම්ට යටහත් පහත් වන්නැ”යි අපි සුර දූතයින්ට ප්‍රකාශ කළ විට ඉබ්ලීස් හැර සියල්ලෝ ම යටහත් පහත් වූහ” වාක්‍යයඋපයෝගී කරගෙන ඉබ්ලීස් යනු සුර දූතයෙකු බවට තර්ක කළ නොහැකි බවත් ඉබ්ලීස් (සාතන්) යනු සුර දූතයෙක්ද? ලිපියෙන් පැහැදිලිව සාකච්ඡා වී තිබෙනවා.

මීට අමතරව හාරුත්, මාරුත් නම් සුර දූතයින් අල්ලාහ්ගේ අණට අකීකරු වූ බව අල් කුර්ආනයේ 2:102 වැකියේ සඳහන් බව පවසමින් නැවතත් පරස්පරවිරෝධීතාවයක් ගොඩනගන්න ඇතැම් විවෙචයක් උත්සහ දරනවා. බහුතරයක් අල් කුර්ආන් පරිවර්තන වල හාරුත්, මාරුත් යනු සුර දූතයින් දෙදෙනෙක් බව පරිවර්තනය කර තිබීම මෙම චෝදනවාට පදනම් වී තිබෙනවා. කෙසේනමුත් 2:102 වැකියේ හාරුත්, මාරුත් යනු සාතන්වරු දෙදෙනෙක් ලෙසද අරාබි භාෂාවට අනුව පරිවර්තනයන කරන්න පුළුවන්[1].

සුලෛමාන්ගේ පාලනයේ දී ෂෙයිතාන්වරු ප්‍රකාශ කළ දේ ඔවුහු අනුගමනය කළහ. සුලෛමාන් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප නොකළේය. (ජිබ්රීල්, මීකායීල් නැමැති) ඒ සුර දූතවරු දෙදෙනාට (හූනියම) පහළ වූයේ නැත. බාබිල් නගරයෙහි ජනතාවට හූනියම ඉගැන් වූ හාරූත්, මාරූත් නමැති ෂෙයිතාන්වරු ම ප්‍රතික්ෂේප කළහ, “අපි ඉගැන්මක් ව සිටින්නෙමු. එබැවින් (මෙය ඉගෙන ගෙන දෙවියන්) ප්‍රතික්ෂේප නොරකන්නැ”යි ප්‍රකාශ නොකර එම දෙදෙනා කිසිවෙකුටත් ඉගැන් වූයේ නැත. “අඹු සැමියා අතර භේද ඇති කර වන දැය ද ඔවුන් දෙදෙනාගෙන් ඔවුහු ඉගෙන ගත්හ. අල්ලාහ්ගේ කැමැත්තෙන් තොරව එමගින් කිසිවෙකුටත් අයහපතක් සිදු කිරීමට ඔවුනට නොහැකිය. තමන්ට අයහපත ගෙන දෙන්නක් ද ප්‍රයෝජනවත් නොවන දෙයක් ද ඔවුහු ඉගෙන ගත්හ. මෙය මිල දී ගත් අයට පරලොවේ දී කිසිඳු භාග්‍යයක් නොමැති බව ඔවුහු ස්ථීරව ම දැන සිටිති. ඔවුහු කවරක් උදෙසා තමන් විකුණා ගත්තේ ද එය ඉතා නරක ය. ඔවුන් දැනගත යුතු නොවේ ද? [අල් කුර්ආනය 2:102]

මේ අනුව බැලීමේදී, අල් කුර්ආනයේ 2:102 වැකිය හා සුර දූතයින් යනු අල්ලාහ්ගේ අණට අකීකරු නොවන පිරිසක් යැයි පැවසෙන 16 : 49,50 වැකිය අතර කිසිඳු පරස්පරවිරෝධීතාවයක් නොමැති බව අපට තේරුම් ගන්න පුළුවන්.

මූලාශ්‍රයන්,

[1] P.සෙයිනුල් ආබ්දීන්, හාරූත්, මාරූත් සුර දූතවරු ද? අල් කුර්ආන් විග්‍රහයන් (අංක 395), http://sinhalaquran.lk/

Loading