අල්-කුර්ආනයේ සංරක්ෂණය පිළිබඳ නිතර මතු කරන තවත් ප්‍රශ්නයක් වන්නේ, උතුම් අල්-කුර්ආනයේ 33 වන පරිච්ඡේදය වන සූරා අල්-අහ්සාබ්හි මුළු වාක්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙනි. අද පිළිගත් අල්-කුර්ආනය ද, ඉතිහාසය පුරා හඳුනාගෙන ඇති සියලු ම අත්පිටපත්වල ද, සූරා අහ්සාබ්හි වාක්‍ය සංඛ්‍යාව 73ක් ලෙස පවතී. එහෙත්, මෙම සංඛ්‍යාවට පටහැනි අදහසක් ඇති කරන වාර්තා කිහිපයක් ද සඳහන් වී ඇත.
1.මෙම කරුණට අදාළ වාර්තා මුස්නද් අහ්මද්, අල් මුස්තද්රක් අල් හාකිම්, බයිහකී, සහීහ් ඉබ්නු හිබ්බාන්, නසාඉ (සුනන් අල් කුබ්රා), තියාලිසි සහ වෙනත් හදීස් සංග්‍රහ රැසක සඳහන් වේ. එම මූලාශ්‍රවලින් උපුටා දක්වමින් ඉබ්නු කසීර්, අල් කුර්තුබි සහ කන්සුල් උමල් වැනි ග්‍රන්ථවල ද එය සඳහන් කර ඇත.
2. වාර්තාවක
මෙම කරුණ සම්බන්ධයෙන් බොහෝවිට උපුටා දක්වන වාර්තාව පැමිණෙන්නේ උබෙයි ඉබ්නු කඅබ් (රලි) මාර්ගයෙනි. ඔහු මුහම්මද්තුමාණන්ගේ ප්‍රකට සහාබාවරයෙකි.
පහත දැක්වෙන්නේ මුස්නද් අහ්මද්හි සඳහන් වන ආකාරයට එම වාර්තාවේ පාඨය යි.
عن عاصم بن بهدلة عن زر قال قال لي أبي بن كعب : كأين تقرأ سورة الأحزاب أو كأين تعدها قال قلت له ثلاثا وسبعين آية فقال قط لقد رأيتها وإنها لتعادل سورة البقرة ولقد قرأنا فيها الشيخ والشيخة إذا زنيا فارجموهما البتة نكالا من الله والله عليم حكيم
ආසිම් බින් බහ්දලා විසින් වාර්තා කරයි. ඔහු එය සි(Z)ර් වෙතින් වාර්තා කළේය. ඔහු පැවසුවේ. උබෙයි බින් කඅබ් (රලි) තුමා මට මෙසේ පැවසීය.”ඔබ සූරා අල්-අහ්සාබ්හි කොපමණ ප්‍රමාණයක් පාරායනය කරනවාද? නැතහොත් එහි වාක්‍ය සංඛ්‍යාව කීයක් ලෙස ගණන් කරනවාද?” එවිට සි(Z)ර් පැවසුවේ.”වාක්‍ය හැත්තෑ තුනකි (73)” එවිට උබෙයි ඉබ්නු කඅබ් (තුමා) මෙසේ පැවසීය. ” මෙපමණයි ද? අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි, මම එය (සූරා අල්-අහ්සාබ්) සූරතුල් බකරා පරිච්ඡේදය ට සමාන ප්‍රමාණයකින් යුක්තව තිබූ බව දැක තිබෙනවා. තව ද, අපි එහි මෙසේ පාරායනය කළෙමු. “වයෝවෘධ පුරුෂයෙකු හෝ වයෝවෘධ ස්ත්‍රියෙකු දුරාචාරයේ නියැලුනහොත්, අල්ලාහ්ගෙන් වූ දඬුවමක් වශයෙන් ඔවුන් දෙදෙනාට ගල් ගසා දඬුවම් කරන්න. අල්ලාහ් සර්වඥය, සර්ව ප්‍රඥාවන්තය.” (මුස්නද් අහ්මද්, හදීස් අංක 21245)
3. මෙම වාර්තාව සඳහන් කරන සියලු ම හදීස් සංග්‍රහවල පාඨය බොහෝ දුරට එක ම ආකාරයෙන් පවතී. එහෙත්, එක් සංග්රහයක මෙම කරුණ පැහැදිලි කිරීමට වැදගත් වන අමතර වචන කිහිපයක් ද ඇතුළත් වී ඇත. ඒ පිළිබඳව අපි පසු ව සඳහන් කරන්නෙමු.
වාර්තාවන්හි විශ්වසනීයත්වය
4. සමහර ඉස්ලාමීය විද්වතුන් මෙම වාත්තාව සහීහ් (නිවැරදි) වාර්තාවක් ලෙස පිළිගෙන ඇති අතර, තවත් සමහරු එය ලඊෆ් (දුර්වල) වාර්තාවක් ලෙස වර්ගීකරණය කර ඇත. කෙසේ වෙතත්, බැලූ බැල්මට මෙම වාර්තාව හොඳින් තහවුරු වූ පුවතක් ලෙස පෙනේ. එය විවිධ වාර්තා මාර්ග ඔස්සේ පැමිණ ඇති අතර, හදීස් සංග්‍රහ රැසක ම මෙය සඳහන් වී තිබේ. දැන් ඒ පිළිබඳ විස්තර සොයා බලමු.
5. පහත වගුවේ මෙම පුවත විවිධ හදීස් සංග්‍රහවල සටහන් වී ඇති ඉස්නාද් (වාර්තා දාම/වාර්තා මාර්ග) පෙන්වා දී ඇත.

6. දැන්, මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් සහ සිත්ගන්නා සුලු නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කළ හැකි ය.
අ. උබෙයි ඉබ්නු කඅබ් (රලි) තුමා වෙතින් මෙම විස්තරය වාර්තා කර ඇත්තේ එක් පුද්ගලයෙකු වන සි(Z)ර්තුමා පමණි. මේ කරුණ මේ පිළිබඳ යම් සැකයක් ඇති කිරීමට හේතුවක් වේ
ආ. සි(Z)ර්තුමා වෙතින් මෙම විස්තරය වාර්තා කර ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් නම් ආසිම් ඉබ්නු බහ්දලා (අබූ අන්-නජූද් ලෙස ද හඳුන්වනු ලබයි) සහ යසීද් ඉබ්නු අබී සියාද් ය.
7. මෙම දෙදෙනාගෙන් පසු ව මෙම විස්තරය බොහෝ වාර්තාකරුවන් (වාර්තා මාර්ග) ඔස්සේ පැමිණ ඇත. එහෙත් මෙහි අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ, මෙම විස්තරය දුර්වල (ලඊෆ්) බවට තීරණය කළ විද්වතුන්, මෙම වාර්තාකරුවන් දෙදෙනාගේ විශ්වසනීයත්වය පිළිබඳ විවේචන ඉදිරිපත් කර ඇති බවයි.
අ. Shu’aib al-Arna’ut විසින්, ආදිල් මුර්ෂිද් සහ සඊද් අල් හාම් සමඟ සකස් කරන ලද මුස්නද් අහ්මද් ග්‍රන්ථයේ ශ්‍රේණිගත කිරීම බලන්න. එය Al-Resalah Publishers, බේරූට්, 1999, වෙළුම 35, පිටුව 134 හි සඳහන් වේ.
යසීද් ඉබ්නු අබී සියාද් මාර්ගයෙන් පැමිණෙන මෙම පුවත සම්බන්ධයෙන් ඔවුහු මෙසේ පවසති.
“මෙම ඉස්නාද් (වාර්තා දාමය) දුර්වලය (ලඊෆ්) වේ. එයට හේතුව යසීද් ඉබ්නු අබී සියාද්ගෙ දුර්වලතාවය යි.”
ආසිම් ඉබ්නු බහ්දලා මාර්ගයෙන් පැමිණෙන මෙම වාර්තාව සම්බන්ධයෙන් ඔවුන් මෙසේ අදහස් දක්වති.
“මෙම ඉස්නාද් (වාර්තා දාමය) දුර්වලය (ලඊෆ්) වේ. එයට හේතුව ආසිම් ඉබ්නු බහ්දලා ය. ඔහු පිළිගත හැකි වාර්තාකරුවෙකු වුව ද, ඔහුගේ දුර්වල මතකය හේතුවෙන් සමහර අවස්ථාවල අතපසු වීම් සිදු කළේය. එබැවින් මෙවැනි වැදගත් වාර්තාවක් සඳහා ඔහු මත පමණක් පදනම් විය නො හැක.”
ආ. ඒ ආකාරයෙන් ම, Abd al-Sami’ Abd al-Bari al-Saygh විසින් මුස්නද් අහ්මද්හි ඇතුළත් ජාබිර් ඉබ්නු සමුරා සහ උබෙයි ඉබ්නු කඅබ් යන සහාබාවරුන් දෙදෙනාගෙන් පැමිණෙන විස්තර පිළිබඳ කළ පර්යේෂණය සහ පැහැදිලි කිරීමේ දී, මෙම වාර්තාකරුවන් දෙදෙනා ම විවේචනය කර ඇත. යසීද් ඉබ්නු අබී සියාද්ගෙමාර්ගයෙන් පැමිණෙන වාර්තා පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේ පවසයි.
“මෙම ඉස්නාද් (වාර්තා දාමය) ඔස්සේ පැමිණෙන විස්තරය දුර්වල (ලඊෆ්) වේ. එයට හේතුව මෙහි යසීද් ඉබ්නු අබී සියාද් ප්‍රවේශ වීමයි. (පිටුව 441) “
ආසිම් ඉබ්නු බහ්දලා මාර්ගයෙන් පැමිණෙන විස්තරයේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේ පවසයි:
“මෙම ඉස්නාද් (වාර්තා දාමය) ඔස්සේ පැමිණෙන විස්තරය දුර්වල (ලඊෆ්) වේ. එයට හේතුව මෙහි ආසිම් ඉබ්නු බහ්දලා ඇතුළත් වීමයි. ඔහු (සාමාන්‍යයෙන්) පිළිගත හැකි වාර්තාකරුවෙකු වුව ද, ඔහුට ඇතැම් අවස්ථාවල අතපසුවීම් සිදුවී ඇත.”(පිටුව 439)
මෙම කෘතියේ මුල් ශීර්ෂය වන්නේ “Marwiyat al-Sahabayn Jalilayn Jabir bin Samrah wa Ubayy bin Ka’b fi Musnad al-Imam Ahmad” යන්න යි. එය Umm al-Qura University විසින් 1988 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලදී. වෙළුම 1.
ඇ. සම්භාව්‍ය (පැරණි) ඉස්ලාමීය විද්වතුන් පවා මෙම විස්තරයේ විශ්වසනීයත්වය සහ අධිකාරීභාවය පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත.
නූරුද්දීන් අල් හයිතමි (මියගියේ 807 හිජ්රි වර්ෂයේදී) තුමා මෙම වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පවසයි:
“මෙහි ඉස්නාද් (වාර්තා දාමය) තුළ ආසිම් බින් බහ්දලා සිටින අතර, ඔහු දුර්වල (ලඊෆ්) වාර්තාකරුවෙකි.”
(Mawarid al-Zam’an ila Zawa’id Ibn Hibban, හදීස් අංක 1756)
ඒ ආකාරයෙන් ම, ෂිහාබුද්දීන් අහ්මද් අල් බූස්රි (මියගියේ 840 හිජ්රි වර්ෂයේ දී) තම Ithaf al-Khira al-Mahra ග්‍රන්ථයේ (හදීස් අංක 5792), මෙම වාර්තාව Musnad Abi Dawud al-Tayalisi, Sahih Ibn Hibban සහ Musnad Ahmad ibn Mani’ වෙතින් උපුටා දක්වා, මෙසේ පවසයි:
“මෙම සියලු ඉස්නාද් (වාර්තා දාම) ආසිම් ඉබ්නු බහ්දලා මත රඳා පවතින අතර, ඔහු දුර්වල (ලඊෆ්) වාර්තාකරුවෙකි.”
මෙය හොඳින් සලකා බලන්න. එසේ ම, ඉහත දැක්වූ වගුව ද නැවත පරීක්ෂා කරන්න. එවිට, කෙසේ බැලුවත් මෙම වාර්තාව පිළිගත නොහැකි එකක් බව අපට පෙනී යයි.
මෙම වාර්තාවට අදාළ වෙනත් දුර්වල හදීස් වාර්තා
8. ආයිෂා (රලි) තුමියගෙන් මෙයට සමාන වාර්තාවක් අල්-ඉත්කාන් ග්‍රන්ථයේ ද සඳහන් වේ. (සංසන්දනය කරන්න: අබූ උබෙයිද්ගේ “ෆලාඉල් අල්-කුර්ආන්”, හදීස් අංක 700) එහෙත් එම වාර්තාව ද ඉතා ම දුර්වල (ඉතා ලඊෆ්) වාර්තාවකි. එහි වාර්තා දාමයේ (ඉස්නාද්හි) ඉබ්නු ලිහියා නම් වාර්තාකරුවා සිටින අතර, ඔහු විශ්වාසනීය නොවන වාර්තාකරුවෙකු ලෙස ප්‍රසිද්ධය. වැඩි විස්තර සඳහා “අල්-ඉත්කාන්” ග්‍රන්ථයේ මර්කස් දිරාසාත් අල්-කුර්ආනියා පර්යේෂණ කමිටුව විසින් සංස්කරණය කළ සංස්කරණයේ 47 වන කොටස, සෞදි අරාබියේ ඉස්ලාමීය ප්‍රකාශන අමාත්‍යාංශය විසින් ප්‍රකාශිත, පිටුව 1456 බලන්න.”
9. කන්සුල් උම්මාල් (හදීස් අංක 4550) ග්‍රන්ථයේ, හුසෛෆා (රලි) තුමා මාර්ගයෙන්, මෙයට සමාන කරුණක් උමර් (රලි) තුමාට ආරෝපණය කරමින් වාර්තාවක් සඳහන් වේ. කෙසේ වෙතත්, මම පුළුල් ලෙස සොයා බැලුව ද, එහි වාර්තාකරුවන්ගේ වාර්තා දාමය (ඉස්නාද්) කිසිදු මූලාශ්‍රයකින් සොයා ගැනීමට නොහැකි විය. එබැවින්, එය සාක්ෂියක් ලෙස පිළිගත නොහැකි බව මම සලකමි. තව ද, උබෙයි (රලි) තුමාගෙන් වාර්තා වූ ප්‍රකාශය මෙන් ම, මෙහි ද ගල් ගසා මරණ දඬුවම (රජ්ම්) පිළිබඳ වාක්‍ය ගැන සඳහන් වන අතර, එම හේතුවෙන් මෙම වාර්තාව ද සැක සහිත බව පෙනේ. මෙම කරුණ මම ඉදිරියේ දී කෙටියෙන් පැහැදිලි කරන්නෙමි.
තව ද, අල්-ඉත්කාන් ග්‍රන්ථයේ උපුටා දක්වා ඇති ආයිෂා (රලි) තුමියගෙන් වාර්තා වූ ප්‍රකාශයේ, ගල් ගසා මරණ දඬුවම (රජ්ම්) පිළිබඳ වාක්‍ය ගැන කිසිදු සඳහනක් නොමැති බව ද සලකන්න.
රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබඳ සඳහන් වාක්‍ය
10. උබෙයි ඉබ්නු කඅබ් (රලි) තුමාණන්ගේ මාර්ගයෙන් වාර්තා වූ ප්‍රකාශයේත්, උමර් (රලි) තුමාට ආරෝපණය කර ඇති ප්‍රකාශයේත් තවත් ගැටලුවක් ඇත. එනම්, “ඉවත් කරනු ලැබූ” වාක්යලට අයත් බව පවසන දේ අතර “රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබඳ වාක්‍යය” ද සඳහන් කර තිබීමය. (මම “ඉවත් කරනු ලැබූ” යන වචනය භාවිත කරන්නේ විශේෂ හේතුවක් නිසා ය. එය තව ස්වල්ප වේලාවකින් පැහැදිලි කරමි. පාඨකයන් මෙම ලිපියේ ඇති කුතුහලය රඳවා තබන අංගය ද අගය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.)
11. පරිච්ඡේද තුළ වාක්‍ය පිහිටුවීම සිදු කරන ලද්දේ අල්ලාහ්ගේ නියෝගය හා මඟපෙන්වීම අනුව බව සියලු විද්වතුන්ගේ එකඟ මතය යි. මෙය බොහෝ හදීස් වාර්තාවලින් ද පැහැදිලිව තහවුරු වේ. එබැවින්, වාක්‍යවල පිහිටීම කිසිවිටෙකත් පුද්ගලික විනිශ්චය මතය හෝ අනුමාන මත තීරණය කරන ලද්දක් නො වේ.
ربّما نزلَ على رسول – صلى الله عليه وسلم – الصدرُ من السور فأكتبُها، ثم ينزل عليه فيقول: “يا أُبيُّ اكتب هذه في السورة التي يُذكرَ فيها كذا وكذا”، وربّما نزل عليه فأقفُ حتى أنظرَ ما يقولُ حتى يحذدثَ إليّ فيقول: “تلك الآياتُ ضعها في سورةِ كذا وكذا
“සමහර විට පරිච්ඡේදයක ආරම්භක කොටස මුහම්මද්තුමා වෙත පහළ වන අතර, මම එය ලියා තබමි. ඉන්පසු තවත් වහි (දිව්‍යමය හෙළිදරව්) පහළ වූ විට, එතුමාණෝ “උබෙයි, මෙය අර මෙවැනි කරුණ සඳහන් වන පරිච්ඡේදයේ ලියා තබන්න” යැයි පවසති. තවත් සමහර අවස්ථාවල දිව්‍යමය හෙළිදරව් පහළ වූ විට, එහි නියම ස්ථානය ගැන එතුමා මට දැනුම් දෙන තෙක් මම එතුමාගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටිමි.”(අල්-ඉන්තිසාර් ලිල්-කුර්ආන් 1/291)
තවත් බොහෝ වාර්තාවලින් ද, පරිච්ඡේද තුළ එක් එක් වාක්‍යය නිශ්චිතව තැබිය යුතු ස්ථානය ලේඛකයන්ට වහී (දිව්‍යමය හෙළිදරව් ලියන්නන්ට) දැනුම් දුන්නේ මුහම්මද්තුමාණන් බව පැහැදිලිව තහවුරු වේ.
12. ඉහත කරුණු හිතේ තබාගෙන, රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබඳ යැයි කියන වාක්‍ය සම්බන්ධයෙන් පහත සඳහන් වාර්තා දැන් අපි සලකා බැලිය යුතු ය.
අ. කසීර් ඉබ්න් සල්ත් මෙසේ වාර්තා කරයි. සෙයිද් ඉබ්න් තාබිත් (රලි) තුමා පැවසුවේ,
“විවාහක පුරුෂයෙකු හෝ විවාහක කාන්තාවක් කාමමිථ්‍යාචාරය නියැලුනේ නම්, ඔවුන් දෙදෙනාට ම ගල් ගසා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න” යැයි අල්ලාහ්ගේ දූතයාණන් පවසන බව මම ඇසුවෙමි.
එවිට අම්ර් මෙසේ පැවසීය:
فقال عمرو : لما نزلت أتيت النبي صلى الله عليه وسلم فقلت : أكتبها ؟ فكأنه كره ذلك
“මෙය පහළ වූ අවස්ථාවේ දී මම මුහම්මද්තුමාණන් වෙත පැමිණ, එය ලියා තැබීමට මට අවසර තිබේ දැයි විමසුවෙමි. නමුත් එතුමාණෝ එයට අකමැති වූහ.”
(මුස්තද්රක් අල්-හාකිම්, හදීස් අංක 8184. හාකිම් එය සහීහ් (ඉතා නිවැරදි) ලෙස වර්ගීකරණය කළේය.)
මෙම වාර්තාව මුස්නද් අහ්මද් (හදීස් අංක 21636) ග්‍රන්ථයේ ද සඳහන් වේ. ෂෙයික් ෂුඅයිබ් අර්නඌත් මෙසේ පැවසීය. “එහි සියලු ම වාර්තාකරුවන් විශ්වාසනීය අය වෙති. ඔවුහු සහීහෙයින් (එනම් බුහාරි සහ මුස්ලිම්) ග්‍රන්ථවල වාර්තාකරුවන් අතර සිටින අය වෙති. නමුත් කසීර් ඉබ්න් සල්ත් හැර ය. නසාඉ ඔහුගෙන් වාර්තා කර ඇති අතර, ඔහු ද විශ්වාසනීය වාර්තාකරුවෙකි.”
ආ. තව ද කසීර් ඉබ්න් සල්ත් මෙසේ පවසයි. ඔහු සෙයිද් ඉබ්න් තාබිත් සහ මර්වාන් ඉබ්න් හකම් යන අය එය කුර්ආනීය මුද්‍රණ පිටපතේ (මුස්ෆ්හි) ලියා නොතිබීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡා කරමින් සිටියහ. එම අවස්ථාවේ දී උමර් ඉබ්න් කත්තාබ් (රලි) තුමා ඔවුන් සමඟ සිට ඔවුන්ගේ සාකච්ඡාවට සවන් දෙමින් සිටියේය. පසු ව ඔහු පැවසුවේ,“මේ කරුණ ඔවුන් දෙදෙනාට වඩා මම හොඳින් දනිමි” යනුවෙනි. ඉන්පසු ඔහු මෙසේ පැවසීය.“මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ මෙසේ පැවසුවෙමි:”
يا رسول الله أكتبني آية الرجم قال فأتيته فذكرته قال فذكر آية الرجم قال فقال يا رسول الله أكتبني آية الرجم قال لا استطيع ذاك
“අල්ලාහ්ගේ දූතයාණෙනි, රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබඳ වූ වාක්‍ය මට ලියා තබන්නට අවසර දෙන්න.’ යැයි මම පැවසුවෙමි. එවිට එතුමාණන් පැවසුවේ “මට එය කළ නොහැක” යනුවෙනි.
(සුනන් අල්-කුබ්රා අල්-බයිහකී 8/21, සුනන් අල්-කුබ්රා අන්-නසාඊ, හදීස් අංක 7148. අල්බානි විසින් (සහීහා 6/412) සඳහන් කර ඇත්තේ, බයිහකී එහි සත්‍යතාවය සහීහ් (ඉතා නිවැරදි බව) වෙත ඉඟි කළ බවයි)
13. මෙම වාර්තාවලින් පැහැදිලි වන්නේ, නබිතුමාණන් රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබඳ වචන ලියා තැබීමට කිසිවිටෙක අවසර නොදුන් බව ය. එය ලියා තැබීමට කිසිවිටෙක අවසර නොලැබුණු බැවින්, එහි ස්ථානය ද එතුමාණන් විසින් තීරණය කරන ලද්දක් නොවන බව තේරුම් ගත හැක.
තව ද, දේවදූත මුහම්මද්තුමාණන් එය සලාතයේ දී හෝ වෙනත් අවස්ථාවක පාරායනය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. මෙම අවස්ථා දෙක ම ඉවත් කළ විට, මෙම වාක්‍ය කාණ්ඩය යම් නිශ්චිත පරිච්ඡේදයක කොටසක් වූ බවට ඇති අදහස සැක සහිත වේ.
(මෙම වචනවල සැබෑ තත්ත්වය සහ රජ්ම් පිළිබඳ “ආයතයේ” යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා කරුණාකර මෙය බලන්න.)
මෙම කරුණ, ඉහත උපුටා දක්වා ඇති විද්වතුන්ගේ අදහස තහවුරු කරයි. එනම්, මෙම වාර්තාව දුර්වල එකක් වන අතර, කියනු ලබන ආයතය පිළිබඳ එහි ඇති තර්කානුකූල නොවන ප්‍රකාශය හේතුවෙන් එය සාක්ෂියක් ලෙස භාවිත කළ නොහැකි බවයි.
මෙය උබෙයි (රලි) තුමා මාර්ගයෙන් වාර්තා වූ ප්‍රකාශවලටත් “කන්සුල් උම්මාල්” ග්‍රන්ථයේ සඳහන් වන උමර් (රලි) තුමා වෙත එම කරුණ ආරෝපණය කරන වාර්තාවටත් අදාළ වේ.
මෙය සැබවින් ම උතුම් අල් කුර්ආනයේ සංරක්ෂණය පිළිබඳව ප්‍රශ්නයක් මතු කරනවාද?
14. දැන්, මෙම විස්තර සහ විද්වතුන් අතර ඇති යම් යම් වෙනස්කම් සැබවින් ම කුර්ආනීය පාඨයේ ස්ථාවරත්වය පිළිබඳ සැකයක් මතු කරනවා ද? එසේ නො වේ. මන්ද, මෙම වාර්තාවල වාර්තා දාමයන් පිළිබඳ විවේචන සහ ඉහත සඳහන් කළ තාර්කික කරුණ සම්පූර්ණයෙන් නොසලකා හැර, තර්කය සඳහා පමණක් අපි මෙම වාර්තාව පිළිගත්ත ද, එය උතුම් අල් කුර්ආනය සංරක්ෂණය කිරීමේ දී දෝෂ රහිත බව පිළිබඳ මුස්ලිම්වරුන්ගේ විශ්වාසයේ සත්‍යතාවයට කිසිදු සැකයක් මතු නො කරයි.එයට හේතුව, එවැනි අවස්ථාවක එයින් සරලව අදහස් වන්නේ එම ආයත්වල නස්ක් (අහෝසි කිරීම) සිදු වී ඇති බවත්, ඒ අනුව ඒවා මතකයෙන් ඉවත් වූ බවත්ය. දැන්, මම මෙසේ පවසන්නේ ඇයි? එසේ පවසන්නේ මෙම වාර්තාවේ එක් අනුවාදයක් එය පැහැදිලි කරන බැවිනි.
අබූ දාවූද් අත්-තයාලිසි (මියගියේ හිජ්රි 204දී)ගේ මුස්නද් ග්රන්ථයට අනුව, කියනු ලබන ආයතයේ වචන සඳහන් කිරීමෙන් පසු, උබෙයි (රලි) තුමා මෙසේ පැවසීය.
فَرُفِعَ فِيمَا رُفِعَ
“ඉන්පසු එය ඉවත් කරනු ලැබූ දේවල් සමඟ ඉවත් කරනු ලැබීය.” (මුස්නද් අත්-තයාලිසි, හදීස් අංක 542)
තව ද, අත්-තයාලිසිගේ සංග්‍රහය මෙම වාර්තාව අඩංගු වන පැරණිත ම ග්රන්ථ සංග්රහයන්ගෙන් එකක් බවද පැහැදිලි කළ යුතු ය.
කුර්ආනයේ නස්ක් (අහෝසි කිරීම/අවලංගු කිරීම) පිළිබඳ සංකල්පය සහ එහි ක්‍රමවේදය මෙහි සාකච්ඡා කර ඇත.
15. උබෙයි (රලි) තුමා ම උස්මාන් (රලි) තුමාගේ කාලයේ දී කුර්ආනීය පාඨය එක ම සම්මත ආකාරයකට සකස් කිරීම සඳහා පිහිටුවන ලද සාමාජිකයන් දොළොස් දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයෙකු විය. ඔහු මතකයේ තබාගෙන සිටි බව කියන එම එක් වාක්‍ය කුර්ආනීය පාඨයට ඇතුළත් කිරීමට උත්සාහ කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත (ඉබ්නු අබී දාවූද්ගේ අල්-මසාහිෆ්, හදීස් අංක 72).
එසේ ම, තම ජීවිතයේ පසු කාලයක දී එය එසේ නොකිරීම පිළිබඳ ඔහු කිසිදු පසුතැවීමක් හෝ කණගාටුවක් ප්‍රකාශ කළ බවට ද සාක්ෂි නොමැත.
නිගමනය
16. එබැවින්, සාරාංශයක් ලෙස අපි මෙසේ පවසමු.
අ. මෙම වාර්තාව උබෙයි (රලි) තුමාගෙන් වාර්තා වී ඇත්තේ සැක සහිත වාර්තාකරුවන් මාර්ගයෙන් වන අතර, එයට අමතරව උබෙයි (රලි) තුමාගෙන් පසු එහි ඇත්තේ එක් වාර්තාකරුවෙකු පමණි. සම්භාව්‍ය හා නූතන යුගයේ බොහෝ විද්වතුන් මෙම වාර්තාවේ වාර්තාකරුවන්ගේ දාමයන් (ඉස්නාද්) දුර්වල ලෙස නම් කර ඇත.
ආ. මෙම වාර්තාවේ සැබෑ තාර්කික දෝෂයක් ඇත. එනම්, රජ්ම් (ගල් ගසා මරණ දඬුවම) පිළිබඳ යැයි කියන වාක්‍යයට නිශ්චිත ස්ථානයක් ආරෝපණය කිරීමයි. එහෙත් මුහම්ද්තුමාණන් එය ලියා තැබීමට අවසර නොදුන් බව සඳහන් වන බැවින්, තර්කානුකූලව එයින් අදහස් වන්නේ එතුමාණන් එහි ස්ථානය ද නිශ්චිත කර නොදුන් බවයි.
තව ද, එහි පිහිටීම නිශ්චිත කළ හැකි ආකාරයෙන් මුහම්මද්තුමාණන් එය පාරායනය කළ බවට ද කිසිදු සාක්ෂියක් නොමැත. මෙම කරුණ, මෙම වාර්තාව සහතික කළ විද්වතුන්ගේ මතය තවදුරටත් දුර්වල කරයි.
ඇ. අපි මෙම වාර්තාව පිළිගත්ත ද, එයින් සරලව අදහස් වන්නේ එම ආයත් නස්ක් (අහෝසි කිරීම/අවලංගු කිරීම)ට ලක් වූ බවයි.
ඈ. උබෙයි (රලි) තුමා ම කුර්ආනීය පාඨය සම්මත ආකාරයකට සකස් කිරීමේ කමිටුවේ සාමාජිකයෙකු වූ නමුත්, ඔහු මතකයේ තබාගෙන සිටි බව කියන එම වාක්‍යය කුර්ආනීය පාඨයට ඇතුළත් කිරීමට කිසිදු උත්සාහයක් නො ගත්තේය.
සැබවින් ම උතුම් අල් කුර්ආනය එහි සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති සියලු ම සැකයන්ට ඉහළින් ස්ථාවරව පවතී. ඉතාලි පෙරදිග අධ්‍යයන විශාරදවරියක වූ ලෝරා වෙච්චියා වග්ලියෙරි නිවැරදිව මෙසේ පැවසුවාය.
“එහෙත් උතුම් අල් කුර්ආනයේ දිව්‍යමයභාවය පිළිබඳ තවත් සාක්ෂියක් ඇත. එනම්, එය හෙළිදරව් වූ කාලයේ සිට අද දක්වා යුග ගණනාවක් පුරා කිසිදු වෙනසකින් තොරව සම්පූර්ණ ලෙස සංරක්ෂණය වී පැවතීමයි.” (Apologia dell’ Islamismo, Dr. Aldo Caselli විසින් පරිවර්තනය කරන ලද, An Interpretation of Islam, පිටුව 57, Muslim Book Mark, 2004)
සැබවින්ම, අල්ලාහ්ම හොඳින් ම දනී!
![]()