ඉස්ලාම් භීතිකාවෙන් පෙළෙන්නන් (Islamophobes) ඉස්ලාම් ධර්මයට අපහාස කිරීමටත්, හදීස් ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් සමස්ත හදීස් එකතුව කෙරෙහිම සැකයක් මතු කිරීමටත් එක්තරා සුවිශේෂී වාර්තාවක් (හදීසයක්) භාවිතා කරති.
එම වාර්තාව
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි ﷺ තුමාණන් මෙසේ පැවසුවේය, “ඊශ්‍රායෙල්වරුන්ගෙන් පිරිසක් අතුරුදන් විය. ඔවුන්ට කුමක් සිදුවූයේ දැයි කිසිවෙකු නොදනී. නමුත් ඔවුන් ශාපයට ලක්ව මීයන් බවට පත් වූවා හැරෙන්නට වෙනත් කිසිවක් මම නොදකිමි. මන්ද, ඔබ මීයෙකු ඉදිරියේ ඔටු දෙනකගේ කිරි තැබුවහොත් ඌ එය පානය නොකරයි. නමුත් බැටළුවෙකුගේ කිරි ඌ ඉදිරියේ තැබුවහොත් ඌ එය පානය කරයි.” මම මේ බව කඃබ් (Ka’b) ට පැවසූ විට ඔහු මගෙන් ඇසුවේ, “ඔබ මෙය නබි ﷺ තුමාණන්ගෙන් ඇසුවා ද?” කියාය. මම “ඔව්” යැයි පැවසුවෙමි. කඃබ් මගෙන් එම ප්‍රශ්නයම කිහිප වතාවක්ම ඇසුවේ ය. එවිට මම කඃබ්ට මෙසේ පැවසුවෙමි. “මම තෝරාව (Torah) කියවනවා ද? (එනම්: මම මෙය ඔබට පවසන්නේ නබිතුමාණන්ගෙන් අසාය)” (සහීහ් බුහාරි, හදීස් 3060)
කරුණේ සත්‍ය තත්ත්වය
සහීහ් බුහාරි හි එන මෙම හදීසය පිළිබඳව අදහස් දක්වමින් හාෆිස් ඉබ්නු හජර් මෙසේ ලිවීය: “බහුතරයක් විද්වතුන් මෙයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, නබි ﷺ තුමාණන් මෙය පවසා ඇත්තේ මෙම කාරණයේ සැබෑ තත්ත්වය පිළිබඳව එතුමාණන්ට වහී (දේව අනාවරණයක්) ලැබීමට පෙර බව පවසමිනි. මේ හේතුව නිසා, මේ පිළිබඳව එතුමාණන්ගේ ස්ථිර ප්‍රකාශයක් මෙහි නොමැත, නමුත් ඉබ්නු මස්ඌද්ගේ වාර්තාවේ මෙය ප්‍රතික්ෂේප කර ඇති බව දක්නට ලැබේ.” (ෆත්හුල් බාරි 11/166)
ඉබ්නු මස්ඌද් රළියල්ලාහු අන්හු තුමා විසින් වාර්තා කරන ලද දීර්ඝ හදීසයක අවසානයට වන්නට, ශුද්ධ වූ නබි ﷺ තුමාණන් මෙසේ පැවසූ බව අපට කියවීමට ලැබේ: “නියත වශයෙන්ම, ස්වරූපය වෙනස් කිරීමට (ශාපයකට) ලක්වූවන්ගේ වර්ගයා වර්ධනය වීමට හෝ ඔවුන්ගෙන් පැටවුන් බිහි වී ඔවුන්ගේ පරම්පරාව ඉදිරියට යාමට අල්ලාහ් සැලැස්සුවේ නැත…” (සහීහ් මුස්ලිම්, හදීස් 4815)
ඉස්ලාම් දහමට වෛර කරන මිෂනාරිවරුන් මෙම මාතෘකාව සාකච්ඡා කිරීමේ දී කිසිවිටෙකත් මෙම හදීසය එහි නිසි දෘෂ්ටිකෝණයෙන් යුතුව ඉදිරිපත් නො කරනු ඇත.
සහීහ් අල් බුහාරි හි එන මෙම හදීසයේ සිද්ධිය, රටඉඳි ගස් පරාගණය කිරීමේ සිදුවීම සහ අල්-ගීලා (al-Ghila) පිළිබඳ වාර්තාවල සිද්ධියට බොහෝ සෙයින් සමාන වේ. නබි ﷺ තුමාණන් මීයන් පිළිබඳව එම ප්‍රකාශය කළේ, යුදෙව්වන් ඔටු දෙනකගේ කිරි තමන්ට අනුමත යැයි නොසැලකූ ආකාරයටම මීයන් ද ඔටු දෙනකගේ කිරි පානය නොකළ බවට එතුමාණන් කළ නිරීක්ෂණය මත පදනම්ව ය. එබැවින් එය, වාර්තාවේ ස්වභාවයෙන්ම පැහැදිලි වන පරිදි නිරීක්ෂණයක් මත පදනම් වූ එතුමාණන්ගේ අනුමානයක් පමණි.
මෙය පරස්පර විරෝධීතාවයක් පිළිබඳ ගැටලුවක් ද නොවේ. අල්ලාහ්ගේ දූතයාණන් ﷺ කළ පහත ප්‍රකාශය අප මතක තබා ගත යුතුය: “එබැවින්, මාගේ අනුමාන කිරීම්වලදී මා අනුගමනය නොකරන්න (එයම දැඩිව අල්ලාගෙන නොසිටින්න). නමුත් මම අල්ලාහ් වෙනුවෙන් යමක් ඔබට පවසන විට, එය ස්ථිරව පිළිගන්න, මන්ද මම කිසිවිටෙකත් අල්ලාහ් වෙනුවෙන් බොරුවක් නොපවසමි.” (සහීහ් මුස්ලිම්, හදීස් 4356)
පැහැදිලි කිරීම
කෙසේ වෙතත්, යමෙකු ඉහත කාරණය ශුද්ධ වූ අල් කුර්ආනයේ එන පහත සඳහන් වාක්‍යයන් සමඟ සසඳා බැලීමට උත්සාහ කළ හැකිය:
“තවද එතුමාණන් (තම) කැමැත්තෙන් කතා නොකරයි. එය, (එතුමාණන්ට) දන්වනු ලබන දේව අනාවරණයක් (වහී) මිස අන් කිසිවක් නොවේ.” (53: 3-4)
“මෙම වාක්‍යයන් අපට පවසන්නේ අල්ලාහ්ගේ දූතයාණන්ට ﷺ බොරු ගොතා ඒවා අල්ලාහ්ට ආරෝපණය කිරීම සම්පූර්ණයෙන්ම කළ නොහැක්කක් බවයි. එතුමාණන් පවසන කිසිවක් එතුමාණන්ගේ ම කැමැත්තක් හෝ ආශාවක් නොවේ. එතුමාණන් ජනයා වෙත ප්‍රකාශ කරන්නේ තමාට ප්‍රකාශ කිරීමට අණ කරන ලද දේ පමණක් වන අතර, එය කිසිදු අඩු වැඩි කිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කරයි.”
දේව අනාවරණයන්ගේ (වහී) වර්ගවලට අමතරව එනම් අල් කුර්ආනයට ඇතුළත් වූ ඒවා සහ ඇතුළත් නොවූ ඒවා ඇතැම් අවස්ථාවල දී නබි ﷺ තුමාණන් ඉජ්තිහාද් [ijtihad] (එනම් පෞද්ගලිකව කරුණු විමර්ශනය කර නිගමනවලට එළඹීම ආදිය) කළේ ය.
“මෙහිදී නිගමනයේ දෝෂයක් සිදුවීමේ සම්භාවිතාවක් පවතී. නමුත් නබිතුමාණන්ගේ ﷺ සහ අනෙකුත් සියලුම නබිවරුන්ගේ ලක්ෂණය වන්නේ, ඔවුන් අතින් යම් තීරණාත්මක දෝෂයක් සිදුවුවහොත්, ඔවුන් නොදැනුවත්වම එම වැරදි නිගමනවල දිගටම රැඳී නොසිටීම සඳහා අල්ලාහ් විසින් එය නිවැරදි කිරීමට දේව අනාවරණයක් පහළ කිරීමයි.” (ෂෙයික් මුෆ්ති මුහම්මද් ෂෆී, මආරිෆ් අල්-කුර්ආන්, ඉංග්‍රීසි පරිවර්තනය 8 වන වෙළුම, 202 පිටුව)
නබි ﷺ තුමාණන්ගේ ඉජ්තිහාද් පිළිබඳව සාපේක්ෂව සවිස්තරාත්මක සාකච්ඡාවක් සඳහා, ආචාර්ය මුහම්මද් අල්-සදූකිගේ කෘතිය වන ‘අල්-ඉමාම් මුහම්මද් බින් හසන් අල්-ෂයිබානි ව අත්රුහු ෆිල් ෆික්හ් අල්-ඉස්ලාමි’ (Darul Thaqafah, දෝහා, 1987, පිටු 16-20) බලන්න.
![]()