ඇතැම් කිතුනු මෂනාරි විවේචකයෝ, උබෙයි (Ubayy) -රළියල්ලාහු අන්හු- තුමාගේ වාර්තාව උපුටා දක්වමින් අල් කුර්ආනයේ 33:6 වැකිය නිසි ලෙස සංරක්ෂණය වී නොමැති බව සනාථ කිරීමට උත්සහ කරති
අල්-කුර්ආනයේ අප මෙම වැකිය කියවන්නේ මෙලෙස ය;
“නබිවරයා (මුහම්මද් තුමාණන්) විශ්වාසවන්තයින්ට ඔවුන්ගේම ආත්මයන්ට වඩා සමීප වන අතර, ඔහුගේ භාර්යාවන් ඔවුන්ගේ මව්වරුන් වේ…” (33:6)
එසේ වුව ද, නබිතුමාගේ සහායකයෙකු (සහබා) වූ උබෙයි බින් කඃබ් (Ubayy bin Ka’b – අල්ලාහ්ගේ ප්‍රසාදය ඔහුට හිමි වේවා) මෙම වැකිය මෙලෙස කියවීමට පුරුදුව සිටි බවට වාර්තා කිහිපයක් තිබේ;
“නබිවරයා විශ්වාසවන්තයින්ට ඔවුන්ගේම ආත්මයන්ට වඩා සමීප වන අතර, ඔහු ඔවුන්ට පියෙකු වේ, තවද ඔහුගේ භාර්යාවන් ඔවුන්ගේ මව්වරුන් වේ.”
එබැවින්පැ හැදිලිවම, යටින් ඉරි ඇඳ ඇති වාක්‍ය ඛණ්ඩය ස්ථාපිත (පොදු) කියවීමට කරන ලද එකතු කිරීමක් බව මෙම විවේචකයෝ පවසති.
සත්‍යය:
අල්-කුර්ආනයේ දුර්ලභ පාරායනයන්හි (recitals) යථාර්ථය පිළිබඳව සාකච්ඡා කෙරුණු මීට පෙර පළ කිරීමක දී අප උගත්තේ;
‘සමහර අවස්ථාවල දී, නබිතුමාගේ ජීවිතයේ අවසාන දිනවල දී ඇතැම් පාරායනයන් අවලංගු කරන ලද (abrogated) නමුත්, එය දැනටමත් කටපාඩම් කරගෙන සිටි සමහර සහාබාවරු (Companions) මෙම අවලංගු කිරීම පිළිබඳ ව නොදැනුවත්ව සිටි බැවින්, ඔවුන් තමන් ඉගෙනගත් ආකාරයට ම එය දිගට ම පාරායනය කළහ. අනෙකුත් සහායකයින් මෙය අවලංගු කර ඇති බව දැන සිටි නිසා, ඔවුන් එය පාරායනය නොකළ අතර එය තවදුරටත් නිවැරදි පාරායනයක් ලෙස සැලකුවේ ද නැත.’
අප සලකා බලන මෙම සිදුවීමේදී ද සිදු ව ඇත්තේ උක්ත කරුණ ම බවට අපට සාක්ෂි තිබේ.
- අතිරේක වචන අවලංගු කරන ලදී:
හසන් -රළියල්ලාහු අන්හු- තුමා මෙම වැකිය පාරායනය කළේ, “නබිවරයා විශ්වාසවන්තයින්ට ඔවුන්ගේම ආත්මයන්ට වඩා සමීප වන අතර, ඔහුගේ භාර්යාවන් ඔවුන්ගේ මව්වරුන් වේ” යනුවෙන් බව අබූ මූසා -රළියල්ලාහු අන්හු- තුමා වාර්තා කර ඇත. හසන් විසින් නබිතුමා (PBUH) මෙසේ පැවසූ බව උපුටා දක්වන ලදී, ‘මම සෑම විශ්වාසවන්තයෙකුට ම ඔහුගේම ආත්මයට වඩා සමීප වෙමි.’ හසන් පැවසුවේ; ආරම්භක පාරායනයේ දී [මෙම වැකිය තිබුණේ], ‘විශ්වාසවන්තයින්ට ඔවුන්ගේම ආත්මයන්ට වඩා සමීප වන අතර, ඔහු ඔවුන්ට පියෙකු වේ‘ යනුවෙනි.
(තෆ්සීර් ඉබ්නු ජරීර් අල්-තබරී 20/209)
ඉක්රිමා -රළියල්ලාහු අන්හු- තුමා මගින් මෙසේ වාර්තා වේ, ‘ආරම්භක පාරායනයේ දී [එය තිබුණේ]; “නබිවරයා විශ්වාසවන්තයින්ට ඔවුන්ගේම ආත්මයන්ට වඩා සමීප වන අතර, ඔහු ඔවුන්ට පියෙකු වේ” යනුවෙනි.’
(දුර් මන්සූර් 8/127 ඉබ්නු අබී හාතිම්)
මෙම වාර්තා දෙක, එම අතිරේක වචන අවලංගු කර ඇති බව මුල්කාලීන මුස්ලිම්වරුන් හොඳින් දැන සිටි බවටත්, ඔවුන් එය එලෙස ම මතක තබා ගත්තා මිස තවදුරටත් සැබෑ පාඨයේ කොටසක් ලෙස නොසැලකූ බවටත් ප්‍රමාණවත් සාක්ෂි වේ.
2- උබෙයි –රළියල්ලාහු අන්හු- තුමා අතින් සිදු වූ මෙම අතපසුවීම අනෙකුත් සහාබාවරු දැන සිටියහ:
තවද, උබෙයි -රළියල්ලාහු අන්හු- තුමා හට මෙම කාරණයේ දී හුදෙක් මතකය අතපසුවීමක් (lapse of mind) සිදු ව ඇති බව අනෙකුත් සහාබාවරුන් වටහාගෙන සිටි බව ඔප්පු කිරීමට අප සතු ව ස්ථිර සාධක තිබේ.
බජාලා අල්-තමීමී වෙතින් මෙසේ වාර්තා වේ: ‘උමර් (තුමාණන්) එක් පිරිමි ළමයෙකු ළඟ තිබූ මුස්හෆ් එකක් (අල් කුර්ආන් අත්පිටපතක්) දුටු අතර, එහි “නබිවරයා විශ්වාසවන්තයින්ට ඔවුන්ගේම ආත්මයන්ට වඩා සමීප වන අතර, ඔහු ඔවුන්ට පියෙකු වේ, තවද ඔහුගේ භාර්යාවන් ඔවුන්ගේ මව්වරුන් වේ” යනුවෙන් ලියා තිබුණි. ඔහු, “ පුතා, එය මකා දමන්න!” යැයි පැවසීය. එවිට එම පිරිමි ළමයා, “අල්ලාහ් මත දිවුරමි, මම එය මකා නොදමමි, උබෙයි බින් කඃබ්ගේ මුස්හෆ් හි එය තිබෙන්නේ ඔය ආකාරයට ම ය” යැයි පිළිතුරු දුන්නේය. එබැවින් උමර්, උබෙයි බින් කඃබ් වෙත ගියේය. [තවත් වාර්තාවකට අනුව ඔහු උබෙයි ඉදිරියේ තම හඬ අවදි කළේය] උබෙයි පිළිතුරු දෙමින්; “වෙළඳපොළේ ඇති ඝෝෂාව නිසා ඔබට (දේවල්) අතපසු වනවා සේම, [නිරන්තරයෙන්] කුර්ආනයෙහි නිරත වීම නිසා මට ද මෙලෙස මතකය අතපසුවීම් සිදු වේ…” යැයි පැවසීය.
(ඉබ්නු හජර්ගේ මතාලිබ් අල්–ආලියා හදීස් අංක 3777. ඉබ්නු හජර් මෙය ‘සහීහ්‘ (විශ්වාසවන්ත) ලෙස වර්ගීකරණය කර ඇත)
මෙම වාර්තාව ම තෆ්සීර් අබ්දුල් රස්සාක් අල්-සනාඉ 5/275 හදීස් අංක 2238 සහ කන්සුල් උම්මාල් 2/569 හදීස් අංක 4746 හි ද දක්නට ලැබේ.
සහීහ් බුහාරි හි එන පහත සඳහන් වාර්තාවෙන් ද මෙය තවදුරටත් තහවුරු වේ.
ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී: උමර් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ පැවසීය,
“අපගේ හොඳ ම කුර්ආන් පාරායනය කරන්නා උබෙයි වන අතර අපගේ හොඳ ම විනිසුරුවරයා අලි වේ; එසේ වුව ද, උබෙයිගේ ඇතැම් ප්‍රකාශ අපි බැහැර කරමු. මන්ද උබෙයි පවසන්නේ, ‘අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා ඇසූ කිසිවක් මම අත්නොහරිමි‘ යනුවෙනි. නමුත් අල්ලාහ් මෙසේ පවසා ඇත: ‘යම් වැකියක් (එළිදරව්වක්) අප අවලංගු කරන්නේ ද නැතහොත් එය අමතක කරවන්නේ ද…’ (2:106)”
(සහීහ් බුහාරි, හදීස් අංක 4121)
සමහර එළිදරව් කිරීම් අවලංගු කර ඇති බව අමතක වීම සම්බන්ධයෙන් උබෙයි -රළියල්ලාහු අන්හු- තුමාගේ මතකය අතපසුවීම් ප්‍රසිද්ධ ව තිබූ බව මෙයින් ඔප්පු වන අතර, කුර්ආන් 33:6 හි ඇති අතිරේක වචන සම්බන්ධයෙන් ද සිදු ව ඇත්තේ එය ම වේ.
3- උබෙයි –රළියල්ලාහු අන්හු- තුමා ස්ථාපිත (පොදු) කියවීමට එකඟ විය:
එලෙස ම, මෙම වචන නොමැති ව ස්ථාපිත කියවීමට උබෙයි -රළියල්ලාහු අන්හු- තුමා එකඟ වූ බවට පැහැදිලි සාක්ෂි තිබේ. එම සාක්ෂි ද්විත්වාකාර වේ;
අ) උමර් (RA) ගේ ප්‍රශ්න කිරීමේ දී, උබෙයි –රළියල්ලාහු අන්හු- තුමා එය තමා කුර්ආනය මතක තබා ගැනීමට බෙහෙවින් වෙහෙස වීම නිසා සිදු වූවක් වුව ද, එය මතකය අතපසුවීමක් (lapse) බව පිළිගත්තේය.
ආ) පුද්ගලික දෝෂ ඉවත් කරමින් කුර්ආන් පාරායනයන් ප්‍රමිතිකරණය කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද දොළොස් දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයෙකු ලෙස උබෙයි –රළියල්ලාහු අන්හු- තුමා ද කටයුතු කළ බව අපි දනිමු.
(බලන්න: ඉබ්නු අබී දාවුද්ගේ අල්–මසාහිෆ්, හදීස් අංක 72)
ඔහුට මේ පිළිබඳ ව වෙනත් මතයක් හෝ ඒ සඳහා සාක්ෂි තිබුණේ නම්, ඔහු ඒ වෙනුවෙන් තර්ක කර එම වචන ප්‍රමිතිගත පාඨයට ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු ව තිබුණි. ඔහුගේ අධීක්ෂණය යටතේ ප්‍රමිතිකරණය කරන ලද අත්පිටපත්වල එම වචන දක්නට නොලැබෙන බැවින්, එම කාලය වන විට ඔහු මේ කාරණයේ දී අනෙකුත් සහාබාවරුන් සමඟ එකඟතාවයකට පැමිණ සිටි බව අප නිගමනය කළ යුතු ය. සැබවින්ම, උමර් -රළියල්ලාහු අන්හු- තුමා ඔහු වෙත පැමිණි සිදුවීම සිදුවූයේ මීට බොහෝ කලකට පෙර ය.
4- මෙම වචන ‘ප්‍රභේද‘ (Variants) ලෙස හැඳින්විය හැකි ද?
ඉහත සඳහන් සියලු කරුණු දැනගත් පසු, අපට මෙම වචන ප්‍රභේදයන් ලෙස හැඳින්විය හැකි ද? ඇත්ත වශයෙන්ම නැත! මන්ද, එම වචන ඉවත් කරන ලෙස මුල් කතුවරයා (අල්ලාහ්) විසින් ම ඉල්ලා සිටි අතර, මෙම වචන අවලංගු කර ඇති බව මිනිසුන් දැනගත් වහා ම ඔවුහු ඒවා අත්හැර දැමූහ. උමර් -රළියල්ලාහු අන්හු- තුමා සහ අනෙකුත් සහාබාවරු ඒවා කලින්ම අවලංගු කර ඇති බව දැනගත් බැවින් ඒවා පාරායනය කිරීම නැවැත්වූහ. උබෙයි -රළියල්ලාහු අන්හු- තුමා එය තරමක් පසු ව දැනගෙන, පසුව ස්ථාපිත කර ඇති දේට එකඟ විය. එබැවින් මෙහි කිසිදු ව්‍යාකූලත්වයක් නොමැති අතර, පෙරදිගවාදීන්ගේ (orientalists) සියලු ඝෝෂාවන් හුදෙක් උපරිම මට්ටමේ පදනම් විරහිත විකාරයන් පමණි!
අවසන් නිගමනය
ඉස්ලාමීය විශ්වාස පද්ධතියේ අත්‍යවශ්‍ය මූලධර්මයන් සැලකීමේ දී මෙම වචනවල කිසිදු වැදගත්කමක් නොතිබූ බැවින්, මුස්ලිම්වරුන්ට මෙම වචන ප්‍රතික්ෂේප කිරීමට හෝ ඒවා කුර්ආනයට ඇතුළත් කරන ලෙස බල කිරීමට කිසිදු හේතුවක් නොතිබූ බව ඕනෑ ම අයෙකුට නිරීක්ෂණය කළ හැකි ය.
ඊට ප්‍රතිපක්ෂව, මුල්කාලීන කිතුනුවන් අතර පැවති මතභේද සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් වන, බයිබලයේ එන ප්‍රභේද (වෙනස් කියවීම්) පිළිබඳ රසවත් උදාහරණ කිහිපයක් අප සතු ව ඇත.
එයට එක් උදාහරණයක් නම් ලූක් 3:22 ය:
වර්තමානයේ බහුල ව භාවිත වන පිටපතෙහි එය මෙසේ කියවෙයි;
“තවද ශුද්ධාත්මයාණන් වහන්සේ පරෙවියෙකුගේ බඳු ශාරීරික රූපයකින් උන්වහන්සේ කෙරෙහි බැසගත් සේක. ස්වර්ගයෙන් හඬක් නික්ම අවුත්, ‘මගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබය; ඔබ කෙරෙහි මම බෙහෙවින් ප්‍රසන්න වී සිටිමි’ යි කීවේය.”
නමුත් මෙහි ඇල අකුරින් දක්වා ඇති වචන වෙනුවට;
“අද දින මම ඔබ ජනිත කළෙමි (බිහි කළෙමි).”
යනුවෙන් සඳහන් වන තවත් කියවීමක් පවතින බව අප දනිමු.
බලන්න: ලූක් 3:22 හි පාදසටහන (The Oxford Annotated Bible R.S.V. 1952 pub. Oxford University Press, New York 1962).
එහි සංස්කාරකවරුන් මෙම කියවීම දැක්වීමට පෙර පැහැදිලිව ම ලියා ඇත්තේ; ‘අනෙකුත් පැරණි මූලාශ්‍රයන්හි මෙසේ කියවෙයි…‘ යනුවෙනි.
මෙම අසාමාන්‍ය කියවීම, හෙබ්‍රෙව් 1:5 සහ 5:5 හි වාර්තා වී ඇති පරිදි ශුද්ධ වූ පාවුළු තුමාගේ වචනවලින්ද තහවුරු වේ.
දැන්, මෙම ප්‍රභේද කියවීමේ වැදගත්කම පැහැදිලි වන්නේ අප ‘ඇඩොප්ෂනිස්ට්වරුන්’ (Adoptionists – දේව පුත්‍රත්වයට බදාගත් පිරිස) ලෙස හැඳින්වෙන කල්ලියක් ගැන කියවන විටය. ඔවුන් විශ්වාස කළේ ජේසුස් වහන්සේ (PBUH) බෞතීස්ම ලැබූ මොහොතේදී දෙවියන් වහන්සේ විසින් ඔහුව පුත්‍රයෙකු ලෙස දරුකමට හදාගත් (adopted) බවයි. ලූක් 3:22, හෙබ්‍රෙව් 1:5 සහ 5:5 මගින් හරියටම සඳහන් කරන්නේද මෙම කාරණයයි.
අඩු තරමින් සුභාරංචි පොත්වලින් (Gospels) හෝ මෙම ඇඩොප්ෂනිස්ට් මතවාදයන්ට ඇති සාක්ෂි ඉවත් කිරීම සඳහා, මෙම අසාමාන්‍ය කියවීම හිතාමතාම යටපත් කර ඇති බවක් පෙනෙන්නට තිබේ!
එබැවින් කිතුනු මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් දෙවියන් වහන්සේගේ අවසාන සහ අවසාන ගිවිසුම වන ශුද්ධ වූ අල්-කුර්ආනය ගැන කනස්සල්ලට පත්වීමට පෙර, කරුණාකර ඔවුන්ගේම ශුද්ධ ලියවිලි පිළිබඳ විශ්ලේෂණයක් සිදු කරන ලෙසයි! සැබවින්ම අල්ලාහ් සියල්ල හොඳින්ම දන්නා සේක!
![]()