බස්සාම් සවාදි විසිනි
සමහර ඉස්ලාම් විවේචකයෝ මුහම්මද් නබිතුමාට (එතුමාට ශාන්තිය අත්වේවා) බිරින්දෑවරුන් හතර දෙනෙකුට වඩා සිටීම පිළිබඳ ව එතුමාණන් ව විවේචනය කිරීමට පෙළඹෙති. ඔවුහු මෙසේ ප්‍රශ්න කරති: “කුරානය මඟින් සෑම පිරිමියෙකුට ම විවාහ කර ගත හැකි බිරින්දෑවරුන් ගණන 4 දෙනෙකුට සීමා කර තිබිය දී (සූරා 4:3), මුහම්මද් නබිතුමාට (එතුමාට ශාන්තිය අත්වේවා) පමණක් ඊට වඩා වැඩි ගණනක් තබා ගැනීමට හැකි වූයේ කෙසේද?”
සමහර අය මෙය නබිතුමාට (එතුමාට ශාන්තිය අත්වේවා) ලැබුණු සුවිශේෂී වරප්‍රසාදයක් ලෙස දැකිය හැකි ය. කෙසේ වෙතත්, එවැනි වරප්‍රසාද සමඟ ම සීමාවන් සහ තහංචි ද පැවතුණි.
බැඳීම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් නබිතුමා සහ සෙසු මුස්ලිම්වරුන් අතර වෙනස්කම් කිහිපයක් තිබුණි. උදාහරණයක් ලෙස, ‘කියාමුල් ලෙයිල්’ (රාත්‍රියෙන් තුනෙන් දෙකක කාලය තුළ කරනු ලබන යාඥාවන්) සාමාන්‍ය මුස්ලිම්වරුන්ට අනිවාර්ය නොවේ; නමුත් එය මුහම්මද් නබිතුමාට (එතුමාට ශාන්තිය අත්වේවා) අනිවාර්ය කර තිබුණි.
අල්ලාහ් දෙවියන් වහන්සේ නබිතුමාට (එතුමාට ශාන්තිය අත්වේවා) මෙසේ පැවසීය:
සූරාව 17:79
“තවද රාත්‍රියෙහි කොටසක නුඹ වෙත අතිරේක (සලාත)යක් වශයෙන් ම එහි තහජ්ජුද් (සලාතය) ඉටු කරනු. නුඹේ පරමාධිපති නුඹව මකාම් මහ්මූද් (හෙවත් ප්‍රශංසාලාභී ස්ථානයෙ)හි සැබැවින් ම නුඹව නැගිටුවනු ඇත”
මෙම වැකිය සෘජු ව ම අමතනු ලබන්නේ මුහම්මද් නබිතුමාට (එතුමාට ශාන්තිය අත්වේවා) ය.
ඉබ්නු කසීර් (Ibn Kathir) තුමා මෙම වැකිය පිළිබඳ ඔහුගේ අර්ථකථනයෙහි (තෆ්සීර්) මෙසේ සඳහන් කර ඇත:
(තවද රාත්‍රියෙන් කොටසක [එසේම] ඔබට අතිරේක යාඥාවක් ලෙස එයින් සලාතය ඉටු කරන්න.) මෙහි දී අල්ලාහ් දෙවියන් වහන්සේ නබිතුමාට අනිවාර්ය යාඥාවලින් පසු ව රාත්‍රියේ දී තවත් අතිරේක යාඥාවන් ඉටු කරන ලෙස අණ කරයි. සහීහ් මුස්ලිම් (Sahih Muslim) ග්‍රන්ථයේ අබු හුරෙයිරා තුමාගෙන් වාර්තා වන පරිදි, අනිවාර්ය යාඥාවලට පසු හොඳ ම යාඥාව කුමක්දැයි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් විමසූ විට, එතුමා මෙසේ පැවසීය:
(රාත්‍රී යාඥාව) අල්ලාහ් සිය දූතයාණන්ට අනිවාර්ය යාඥාවන් ඉටු කිරීමෙන් පසු රාත්‍රී යාඥාව කරන ලෙස අණ කළ අතර, ‘තහජ්ජුද්‘ (Tahajjud) යන පදය මඟින් අදහස් කරන්නේ නින්දෙන් පසුව කරනු ලබන යාඥාව යි. මෙය අල්කමා, අල්–අස්වද්, ඉබ්‍රාහිම් අන්–නඛඊ සහ අනෙකුත් විද්වතුන්ගේ මතය විය. එමෙන් ම ඒ බව අරාබි භාෂාවේ ද ඉතා ප්‍රසිද්ධ කරුණකි. හදීස් (Hadiths) කිහිපයක්ම වාර්තා කරන්නේ අල්ලාහ්ගේ දූතයාණන් නින්දෙන් අවදි වූ පසු තහජ්ජුද් යාඥා කළ බව යි. ඉබන් අබ්බාස්, ආයිෂා සහ අනෙකුත් සහාබාවරුන්ගෙන් (අල්ලාහ් ඔවුන් පිළිබඳව තෘප්තිමත් වේවා) ලැබුණු වාර්තා මීට ඇතුළත් වේ. මේ පිළිබඳ ව සුදුසු ස්ථානයේ දී සවිස්තරාත්මක ව සාකච්ඡා කර ඇත, අල්ලාහ්ට ප්‍රශංසා වේවා. අල්-හසන් අල්-බස්රි තුමා පැවසුවේ, “මෙය ඉෂා (Isha) යාඥාවෙන් පසුව එන දෙයකි, නැතහොත් එයින් අදහස් කරන්නේ නින්දෙන් පසුව එන දෙය විය හැකියි“ යනුවෙනි.
(අතිරේක යාඥාවක් [නවාෆිල්]) යන්නෙන් අදහස් කරන්නේ රාත්‍රී යාඥාව නබිතුමාට ම පමණක් සුවිශේෂී වූ අතිරේක යාඥාවක් ලෙස පත් කර ඇති බ වයි. මන්දයත් එතුමාගේ පෙර සහ පසුකාලීන සියලු වැරදිවලට සමාව දී ඇති බැවිනි. නමුත් එතුමාගේ උම්මතයේ (අනුගාමිකයින්ගේ) අනෙකුත් සාමාජිකයින් සඳහා, ස්වේච්ඡාවෙන් කරනු ලබන අතිරේක යාඥාවන් ඔවුන් අතින් සිදුවන වැරදි සඳහා ප්‍රමුඛස්ථානයක් ගනිමින් ඒවා කම කර දැමීමට හේතු විය හැක. මෙය මුජාහිද් තුමාගේ මතය වූ අතර එය අල්-මුස්නද්හි අබු උමාමා අල්-බාහිලි තුමාගෙන් වාර්තා වී ඇත.
(තෆ්සීර් ඉබ්නු කසීර්, මූලාශ්‍රය)
එබැවින්, ඇතැම් අවස්ථාවල දී දෙවියන් වහන්සේ මුහම්මද් නබිතුමාට (එතුමාට ශාන්තිය අත්වේවා) සුවිශේෂී ලෙස නීති ලිහිල් කර හෝ වෙනස් කර ඇති ආකාරය පිළිබඳ උදාහරණයක් අපට මෙහිදී දැකගත හැකි ය. යම් හෙයකින් නබිතුමා (එතුමාට ශාන්තිය අත්වේවා) ඉස්ලාම් දහම තමා විසින්ම ගොතා ගනිමින්, තමාටම වරප්‍රසාද ලබා දීමට කටයුතු කළේ නම්, එතුමා රාත්‍රී කාලයේ දී නිදි වරාගෙන යාඥා කිරීම තමාට ම අනිවාර්ය කර ගත්තේ මන්ද? මෙය තමාගේ ම පෞද්ගලික වාසිය පමණක් තකා කටයුතු කළ පුද්ගලයෙකුගේ හැසිරීමක් ලෙස පෙනෙන්නට තිබේද?
නබිතුමාට (එතුමාට ශාන්තිය අත්වේවා) බිරින්දෑවරුන් හතර දෙනෙකුට වඩා තබා ගැනීමට අවසර දීමේ සුවිශේෂී කරුණ වෙත නැවත අවධානය යොමු කරන්නේ නම්; නබිතුමා (එතුමාට ශාන්තිය අත්වේවා) සිදු කර ගත් සෑම විවාහයක් පිටුපස ම ඉතා ගැඹුරු ප්‍රඥාවක් සහ අරමුණක් පැවතුණි (මේ පිළිබඳව වැඩිදුර තොරතුරු http://www.bismikaallahuma.org/archives/2005/why-was-the-prophet-polygamous/ වෙබ් අඩවියෙන් කියවිය හැක). එම නිසා, නබිතුමා (එතුමාට ශාන්තිය අත්වේවා) විසින් එම විවාහ සබඳතාවන් ඒ අයුරින්ම පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක් විය.
“උපරිම බිරින්දෑවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් නබිතුමාට ලබා දී ඇති විශේෂ ව්‍යතිරේකය [කුරානය, 33:50], සෙසු සැමට හිමි වන වරප්‍රසාදයන්ගෙන් එතුමාට සහ එතුමාණන්ගේ බිරින්දෑවරුන්ට පනවා ඇති විශේෂ සීමාවන් ද ඇතුළත් වන බව සැලකිල්ලට ගත යුතු ය. උදාහරණයක් ලෙස, එතුමාගේ බිරින්දෑවරුන් ‘මුඃමින්වරුන්ගේ (විශ්වාසවන්තයින්ගේ) මව්වරුන්‘ වන බැවින්, එතුමාගෙන් පසුව නැවත විවාහ වීමට ඔවුන්ට අවසර නොතිබුණි [කුරානය, 33:53]. යම් හෙයකින් නබිතුමාට උපරිම සීමාව වන හතර දෙනෙකුට වඩා වැඩි බිරින්දෑවරුන්ව දික්කසාද කිරීමට සිදු වූයේ නම්, එය ඔවුන්ට කරන අසාධාරණයක් වනු ඇත; මන්ද ඔවුන්ව දික්කසාද කළ පසු නැවත විවාහ වීමට ද අවසර නොලැබෙන බැවිනි.
එපමණක් නොව, නබිතුමාගේ සෑම විවාහයක් පිටුපස ම නිශ්චිත ආදර්ශයක්, සමාජීය හෝ ව්‍යවස්ථාදායකමය පාඩමක් පැවතුණි. එතුමාගේ බිරින්දෑවරුන් කිහිප දෙනෙකුව දික්කසාද කිරීමෙන් එම පාඩම් ඵල රහිත වී යනු ඇත, විශේෂයෙන්ම විවිධ ගෝත්‍රවලින් සහ පසුබිම්වලින් පැමිණි කාන්තාවන් විවාහ කර ගැනීමෙන් ඇති වූ එකමුතුකමේ කාර්යභාරය ඉන් නැති වී යයි. මෙම විවිධත්වය හේතුවෙන් එතුමාගේ පෞද්ගලික ජීවිතය සහ ඉගැන්වීම් සමීප ව නිරීක්ෂණය කිරීමටත්, ඒවා ඔවුන්ගේ අදාළ ජනතාව වෙත සන්නිවේදනය කිරීමටත් අවස්ථාව ලැබුණි. එසේ ම, ඕනෑ ම සාමාන්‍ය මුස්ලිම්වරයෙකු මෙන් නොව, නබිතුමාට තමාගේ කිසිදු බිරියක දික්කසාද කර වෙනත් අයෙකු විවාහ කර ගැනීමට අවසර නොතිබුණි.”
මූලාශ්‍රය – ජමාල් ඒ. බදාවි, මුහම්මද් නබිතුමාගේප(එතුමාට ශාන්තිය අත්වේවා) විවාහ
නබිතුමාගේ බිරින්දෑවරුන්ට නැවත විවාහ වීමට අවසර නොදුන්නේ මන්දැයි මිනිසුන් ප්‍රශ්න කළ හැකි ය. නබිතුමාගේ පැරණි බිරින්දෑවරුන් ව විවාහ කර ගන්නේ කවුද යන්න පිළිබඳ ව මිනිසුන් එකිනෙකා සමඟ සටන් කිරීමට පෙළඹුණේ නම්, කෙතරම් විශාල ‘ෆිත්නාවක්’ (මතභේද / විනාශයක් / භීෂණයක්) ඇති වන්නට තිබුණේදැයි සිතා බලන්න. එසේ ම, අද වන විට ෂියා (Shias) මුස්ලිම්වරුන් නබිතුමාගේ මුනුපුරු මිනිපිරියන් සම්බන්ධයෙන් කටයුතු කරන්නා සේ ම, නබිතුමාගේ බිරින්දෑවරුන්ගෙන් උපදින දරුවන්ව මිනිසුන් දේවත්වයෙන් ලා සලකන්නට (භක්තියෙන් උන්මාද වන්නට) පටන් ගත්තේ නම් ඇති විය හැකි ව තිබූ ෆිත්නාව ද සිතා බලන්න.
අල්ලාහ් දෙවියන් වහන්සේගේ තීරණ පිටුපස ඇති ප්‍රඥාව කුමක්දැයි අනුමාන කිරීමට අපට උත්සාහ කළ හැකි ය; කෙසේ වෙතත්, බිරින්දෑවරුන් හතර දෙනෙකුට වඩා තබා ගැනීම හේතුවෙන් මුහම්මද් නබිතුමා (එතුමාට ශාන්තිය අත්වේවා) කිසිදු ආකාරයකින් කුහකයෙකු ලෙස විවේචනය කිරීමට කිසිවෙකුට කිසිදු අයිතියක් නැත.
![]()