මුහම්මද් ﷺ තුමාණෝ ජව්නියා නම් කාන්තාව දික්කසාද කළේ කුමන හේතුව නිසාද?

සාරාංශය

මෙම ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ, ජව්නියා (Jauniyya) තුමිය විවාහයෙන් පසු නබිනායකතුමන් ව (ﷺ) හමුවූ පළමු අවස්ථාවේ දී ඇය දැක්වූ අමුතු සහ නොපැහැදිලි හැසිරීම සම්බන්ධයෙන් ගොඩනැගී ඇති තර්ක විතර්ක පිළිබඳ අධ්‍යයන අනුමානයක් කෙරෙහි ය. මෙම හමුවීම ඉතා කෙටි එකක් වුව ද, එය අමුතු ස්වභාවයක් ගත් අතර අවසානයේ ක්ෂණික දික්කසාදයකින් කෙළවර විය. මෙම සිදුවීම සිදුවූ ආකාරය නිසා, විශේෂයෙන්ම ප්‍රාථමික හදීස් එකතුවක සටහන් වී ඇති තනි තනි වාර්තා, විවිධ අනුමානයන්ට සහ ඒ ඔස්සේ නොමඟ යවන සුළු ප්‍රචාරයන්ට ලක්වීමේ ප්‍රවණතාවක් ඇති විය. මෙම ලිපිය මගින් එම ගැටලුව සම්බන්ධයෙන් වාර්තා වී ඇති තොරතුරු එක්රැස් කර, මතුවී ඇති සැකසංකා රැසක් දුරු කරමින් පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කරයි.

1. හැඳින්වීම

කින්දා (Kindah) ගෝත්‍රයේ අනුගෝත්‍රයක් වන බනී ජවුන් (Bani Jaun) හි කාන්තාවක, නබිනායකතුමන් (ﷺ) සමඟ විවාහ වූ නමුත් එම විවාහය අඹු-සැමි ජීවිතය ඇරඹීමට පෙර ම අවසන් විය. අල්-බුහාරි (මියගියේ 256/870) සහ වෙනත් හදීස් විශාරදයින්, යම් යම් නීතිමය කරුණු පැහැදිලි කිරීම සඳහා ඇය මදීනාවට පැමිණීම සහ නබිනායකතුමන් (ﷺ) සමඟ ඇති වූ කෙටි හමුවීම සඳහන් වන පුවත් වාර්තා කර ඇත. මෙම විශාරදයින් තමන් අදහස් කළ කරුණු පැහැදිලි කිරීමට මෙම වාර්තා ඇතුළත් කළ ද, ඔවුන් එම වාර්තා තෝරාගත් ආකාරය නිසා විවිධ ප්‍රශ්න මතු වූ අතර, නබිනායකතුමන්ට (ﷺ) එරෙහි ව එම පුවත් උපුටා දැක්වීමට විවේචකයන්ට ඉඩකඩ සැලසුණි. අතීත විද්වතුන්ගේ විද්වත් සංස්කෘතියෙන් බොහෝ ඈත සිටින පුද්ගලයන් මෙම වාර්තා වෙත දුෂ්ට චේතනාවෙන් සහ අපහාසාත්මක ලෙස එළඹීම සම්බන්ධයෙන් අතීත විද්වතුන්ට දොස් පැවරිය නොහැකි වුව ද , ඩිජිටල් කියවීම් යුගයේ දී බොහෝ විට මඟහැරී යන මෙම කතාවේ සම්පූර්ණ තොරතුරු පාඨකයන්ට ලබා දීම අත්‍යවශ්‍ය වේ. තවද, සම්ප්‍රදායික ඉස්ලාමීය හදීස් ව්‍යාඛ්‍යානකරුවන් මුල් මූලාශ්‍රවලින් ලත් වාර්තා එක්රැස් කරමින් එම විස්තර ලබා දීමට උත්සාහ කර එය සාර්ථක ව ඉටු කළ ද, මුස්ලිම්වරුන් විසින් කරන ලද නූතන හදීස් පරිවර්තන පවා බොහෝ විට වෙන් වෙන් වශයෙන් පෙනෙන වාර්තාවලින් ඔබ්බට පාඨකයාට කිසිදු අවබෝධයක් ලබා දීමට අපොහොසත් වේ. බොහෝ අවස්ථාවල දී පරිවර්තනය මගින් සිදු වන්නේ වාර්තාවල වචනානුසාරයෙන් පරිවර්තනයක් ලබා දීම පමණි. අපගේ යුගයේ සාමාන්‍ය ජනයාට පහසුවෙන් තොරතුරු සොයා කියවීමට ඇති හැකියාව නිසා (click-to-read) දැනටමත් සංකීර්ණ වී ඇති වටහා ගැනීමේ ගැටලුව, මෙම පරිවර්තන ක්‍රමය නිසා තවදුරටත් උග්‍ර වේ.

2. සහීහ් අල්බුහාරි හි ජව්නියා පිළිබඳ වාර්තාවක් සහ ඇසුරින් නැගුණු චෝදනා

සහීහ් අල්-බුහාරි හි සඳහන් ජව්නියා පිළිබඳ වාර්තා ප්‍රථමයෙන්ම සටහන් වන්නේ දික්කසාද පිළිබඳ පරිච්ඡේදයේ (අධ්‍යාය: “යමෙකු (තම බිරිඳ) දික්කසාද කළේ නම්, සහ මිනිසෙකු තම බිරිඳට මුහුණට මුහුණ ඇය දික්කසාද කළ බව පැවසීම,”)[1] වන අතර, පසු ව පාන වර්ග පිළිබඳ පරිච්ඡේදයේ ය.[2] දික්කසාද පිළිබඳ පරිච්ඡේදයෙන් හමුවන මෙම වාර්තාවල වඩාත්ම විස්තරාත්මක සටහන මෙසේ දැක්වේ;

عن أبي أسيد رضي الله عنه، قال: خرجنا مع النبي صلى الله عليه وسلم حتى انطلقنا إلى حائط يقال: له الشوط، حتى انتهينا إلى حائطين، فجلسنا بينهما، فقال النبي صلى الله عليه وسلم: «اجلسوا ها هنا» ودخل، وقد أتي بالجونية، فأنزلت في بيت في نخل في بيت أميمة بنت النعمان بن شراحيل، ومعها دايتها حاضنة لها، فلما دخل عليها النبي صلى الله عليه وسلم قال: «هبي نفسك لي» قالت: وهل تهب الملكة نفسها للسوقة؟ قال: فأهوى بيده يضع يده عليها لتسكن، فقالت: أعوذ بالله منك، فقال: «قد عذت بمعاذ» ثم خرج علينا فقال: «يا أبا أسيد، اكسها رازقيتين، وألحقها بأهلها»

මුහ්සින් කාන් මෙය මෙසේ පරිවර්තනය කළේය;

අබූ උසෙයිද් (රළියල්ලාහු අන්හු) තුමාගෙන් වාර්තා විය: අපි නබිනායකතුමන් සමඟ ‘අෂ්-ෂවුත්’ ලෙස හැඳින්වෙන වත්තක් වෙත පිටත්ව ගියෙමු. එහි දී අපි තාප්ප දෙකක් අතරට පැමිණ වාඩි වූවෙමු. නබිනායකතුමා, “මෙහි වාඩි වන්න” යැයි පවසා ඇතුළට ගියේය. ජව්නියා (බනී ජවුන් ගෝත්‍රයේ කාන්තාවක්) කැඳවාගෙන ඇවිත්, උමයිමා බින්ත් අන්-නුඃමාන් බින් ෂරාහීල්ගේ නිවසේ, ඉඳිඅතු වලින් තැනූ ගෙයක නතර කර සිටි අතර ඇගේ කිරි අම්මා ද ඇය සමඟ සිටියාය. නබිනායකතුමා ඇය වෙත ගොස් අයට, “ඔබ ව මට පවරා දෙන්න (විවාහය සඳහා)” යැයි පැවසීය. ඇය, “රාජකීය කුමරියක් සාමාන්‍ය මිනිසෙකුට තමන්ව පවරා දෙයි ද?” යැයි ඇසුවාය. (ඇය නබිතුමා අල්ලාහ්ගේ දූතයාණන් බව නොදැන සිටි බැවින්) ඇය ව සන්සුන් කිරීම සඳහා නබිනායකතුමා ඇය ව අතගෑමට අත එසවීය. එවිට ඇය, “ඔබෙන් ආරක්ෂා වන ලෙස මම අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමි” යැයි කීවාය. නබිතුමාණෝ, “ඔබ ආරක්ෂාව ලබා දෙන්නාගෙන්ම ආරක්ෂාව ඉල්ලා සිටියාය” යැයි පැවසූහ. ඉන්පසු නබිනායකතුමා අප වෙත පැමිණ, “ඕ අබූ උසෙයිද්! ඇයට ඇඳීමට සුදු කොමුපිළි (ලිනන් ඇඳුම්) දෙකක් දී ඇගේ පවුලේ අය වෙත යවන්න (එනම් ඇය දික්කසාද කර ඇත)” යැයි පැවසූහ.[3]

උන්මන්තක භාවයේ සීමාවට ආසන්න ව තර්ක ඉදිරිපත් කරන මිෂනාරි විවේචකයෝ මේ තුළින් කරුණු හතරක් මතු කිරීමට උත්සාහ කරති;

  • ජව්නියා හට කිරිඅම්මාවරයෙකු සිටි නිසා ඇය කුඩා දරුවෙකු විය යුතු ය.
  • නබිනායකතුමන් (ﷺ) ඇයට තමන්ව පවරා දෙන ලෙස ඉල්ලා සිටීමෙන් පෙනී යන්නේ එතුමාණන් ඇය සමඟ විවාහයකින් තොර ව ලිංගික ව එක්වීමට උත්සාහ කළ බවයි.
  • නබිනායකතුමන් (ﷺ) ඇයට පහර දීමට උත්සාහ කළහ.
  • ජව්නියා, නබිනායකතුමන්ගේ (ﷺ) හැසිරීම කෙරෙහි පැවති පිළිකුල නිසා එතුමාණන්ගෙන් බේරීමට අල්ලාහ්ගේ ආරක්ෂාව පැතුවාය.

මෙවැනි නිගමනවලට එළඹීමට “පේළි අතරින් කියවීම” (උපකල්පන) අවශ්‍ය වන බව විවේචකයින් විසින්ම පිළිගනු ලැබුව ද,[4] ජව්නියා පිළිබඳ වාර්තා වී ඇති තොරතුරු අවධානයෙන් අධ්‍යයනය කරන විට මෙවැනි කියවීමක ඇති විකාරභාවය පැහැදිලි වේ. ඉදිරි ඡේදවල දී සාමාන්‍ය පාඨකයන්ට ගැටලුකාරී විය හැකි මෙම සහ තවත් කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සිද්ධියේ තොරතුරු අධ්‍යයනය කෙරේ.

3. ජව්නියා යනු කවුද?

විවේචකයන් නගන තර්කවලට පිළිතුරු දීමට පෙර, ජව්නියා පිළිබඳ සමස්ත තොරතුරු කිහිපයක් දෙස අවධානය යොමු කරමු. එම තොරතුරු මගින්ම විවේචකයන්ගේ තර්කවල පදනම් විරහිත භාවය පැහැදිලි වේ.

ඇය පිළිබඳ වාර්තාවල යම් යම් නොගැලපීම් පැවතුණ ද, ඇය කින්දා (Kinda) ගෝත්‍රයේ [අල්-] උමයිමා අස්මා බින්ත් නුඃමාන් අල්ජව්නියා බව සාමාන්‍යයෙන් පිළිගැනේ.

ඉහත සඳහන් කළ සහීහ් බුහාරි වාර්තාවේ ඇගේ නම උමයිමා බින්ත් නුඃමාන් බින් ෂරාහීල්ලෙස දක්වා ඇති අතර, ඉබ්නු ඉෂාක් සහ තවත් අය ඇගේ නම අස්මා ලෙස පැහැදිලි ව ම සඳහන් කරති. අල්-කල්බි ඇගේ සම්පූර්ණ නම අස්මා බින්ත් නුඃමාන් බින් ෂරාහීල් බින් අල්අස්වද් බින් අල්ජව්න් අල්කින්දියා ලෙස දක්වයි. ඇගේ මුතුන්මිත්තෙකුගේ නමක් වූ ‘කඃබ්’ යන්න මගින් ඇතැම් අය ඇය ව අස්මා බින්ත් කඃබ් ලෙස ද හඳුන්වා ඇත. මෙම විස්තර සඳහන් කරන ඉබ්නු හජර්, ඇගේ නම අස්මා වූ අතර ඇයට උමයිමායන උපනාමය පැවති බව දක්වමින් මෙම වාර්තා එකඟතාවකට පත් කරයි.[5] එබැවින් අපට ඇය ව “[අල්-]උමයිමා අස්මා බින්ත් නුඃමාන් අල්ජව්නියා අල්කින්දියා ලෙස හැඳින්විය හැක.[6]

ඉබ්නු සඃද්, ඇගේ පසුබිම මෙන්ම නබිනායකතුමන් (ﷺ) සමඟ පැවති සම්බන්ධතාවයේ සහ හමුවීමේ තොරතුරු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරයි:

قدم النعمان بن أبي الجون الكندي… فقدم على رسول الله – صلى الله عليه وسلم – مسلما فقال: يا رسول الله ألا أزوجك أجمل أيم في العرب كانت تحت ابن عم لها فتوفي عنها فتأيمت وقد رغبت فيك وحطت إليك. فتزوجها رسول الله – صلى الله عليه وسلم – على اثنتي عشرة أوقية ونش. فقال: يا رسول الله لا تقصر بها في المهر. [فقال رسول الله: ما أصدقت أحدا من نسائي فوق هذا ولا أصدق أحدا من بناتي فوق هذا] . فقال نعمان: ففيك الأسى. قال: فابعث يا رسول الله إلى أهلك من يحملهم إليك فأنا خارج مع رسولك فمرسل أهلك معه. فبعث رسول الله معه أبا أسيد الساعدي …

අල්-නුඃමාන් බින් අබී අල්-ජව්න් අල්-කින්දි ඉස්ලාම් දහම වැළඳගෙන අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) වෙත පැමිණ මෙසේ පැවසීය; අල්ලාහ්ගේ දූතයාණෙනි, අරාබියේ සිටින ලස්සනම වැන්දඹු කාන්තාව ඔබට විවාහ කර දෙන්න ද? ඇය විවාහ වී සිටියේ ඇගේ බාප්පාගේ පුතෙකු සමඟ යි. ඔහු මියගිය පසු ඇය වැන්දඹුවක් වූවාය. ඇය ඔබ කෙරෙහි කැමැත්තෙන් පසුවන අතර ඔබ ව විවාහ කර ගැනීමට අපේක්ෂා කරන්නීය.” එවිට අල්ලාහ්ගේ දූතයාණෝ දිර්හම් පන්සියයක මහර් (මනමාලයා විසින් විවාහ තෑග්ග) මුදලකට ඇය ව විවාහ කර ගත්හ. නුඃමාන්, අල්ලාහ්ගේ දූතයාණෙනි, ඇගේ මහර් මුදල අඩු නොකරන්න යැයි ඉල්ලා සිටියේය. අල්ලාහ්ගේ දූතයාණෝ ඊට පිළිතුරු දෙමින්, මම මගේ කිසිදු බිරිඳකට හෝ දියණියකට මීට වඩා වැඩි මහර් මුදලක් නියම කර නැත යැයි පැවසූහ. එවිට නුඃමාන්, ඔබගේ ආදර්ශය උතුම් ම මඟපෙන්වීමයි යැයි කීය. ඔහු තවදුරටත්, අල්ලාහ්ගේ දූතයාණෙනි, ඔබගේ බිරිඳ කැඳවාගෙන ඒම සඳහා කෙනෙකු මා සමඟ එවන්න, මම ඔහු සමඟ ගොස් ඇයව එවානම් යැයි පැවසීය. ඒ අනුව අල්ලාහ්ගේ දූතයාණෝ අබූ උසෙයිද් අල්-සාඉදි තුමා ව ඔහු සමඟ යැවූහ…[7]

ඇගේ පියා ඇගේ අත(වගකීම) නබිනායකතුමන්ට (ﷺ) භාර දුන් අතර, මහර් මුදල පිළිබඳ යම් සාකච්ඡාවකින් පසු නබිනායකතුමා (ﷺ) එය පිළිගත්තේය. ඉන්පසු අබූ උසෙයිද් නම් සහාබිවරයා ඇය ව මදීනාවට කැඳවාගෙන ආ අතර, අඹු-සැමි දිවිය ඇරඹීමට පෙරාතු ව ම එම විවාහය කෙළවර විය. මෙම විවාහය සිදුවූයේ රබීඋල් අව්වල් මස 9 දීය/ ක්‍රි.ව. 630 ජූලි මාසයේ දී ය,[8] එනම් නබිනායකතුමන්ට විවාහ සම්බන්ධයෙන් වූ සීමාවන් පැනවීමට පෙර ය.[9]

4. ජව්නියා කුඩා දරුවෙකු වූවා ද?

ඉබ්නු සඃද්ගේ වාර්තාවේ අප දුටු පරිදි, ජව්නියා යනු සැබවින්ම වැන්දඹුවක් වූ අතර, නුඃමාන් නබිනායකතුමන්ට (ﷺ) පැවසූ පරිදි ඇය නබිතුමා කෙරෙහි වූ ඇගේ පැහැදීම සහ කැමැත්ත තම පියාට ප්‍රකාශ කර තිබුණි. ඇය එකල කුඩා දරුවෙකු නොවූ බව ඔප්පු කිරීමට මේ කරුණ පමණක් වුව ද ප්‍රමාණවත්ය. තවද, සියලු ම වාර්තාවල ඇය ව හඳුන්වා දී ඇත්තේ “කාන්තාවක්” (ඉම්රා – imra’) ලෙස ය.

ඇය මදීනාවට පැමිණෙන විට කිරිඅම්මාවරයෙකු ඇය සමඟ පැමිණි බව සඳහන් වීම ඇසුරින්, ඇය කුඩා දරුවෙකු වූ බවට අනුමාන කිරීමට විවේචකයෝ උත්සාහ කරති. අපි හදීසයේ ඇති වචන සහ ඒවායේ අර්ථයන් පිළිබඳ ව අවධානයෙන් බලමු. හදීස් වාර්තාවේ ඇය සමඟ පැමිණි තැනැත්තිය හඳුන්වා දී ඇත්තේ “දායතුහා හාළිනතුන් ලහා” (dayatuha hadinatun laha) ලෙස ය. “දායා” (dayah) යන්නෙහි සැබෑ අර්ථය ‘ප්‍රසව හෙදියක්’ (mid-wife) යන්න වන අතර, “හාළිනා” (hadinah) යන්නෙන් ‘කිරිඅම්මා’ (wet-nurse) මෙන්ම ‘ආයා/දරුවා ව පුරුදු පුහුණු කරන්නිය’ (governess) යන අර්ථයන් ද ගෙනදෙයි. එබැවින්, මෙම හදීස් වාර්තාවෙන් අපට කියැවෙන්නේ උමයිමාගේ උපතේ දී ප්‍රසව හෙදියක් ලෙස කටයුතු කළ කාන්තාව, පසුව ඇගේ උපකාරිකාවක /ආයම්මා කෙනෙකු (hadinah) ලෙස ඇය සමඟ රැඳී සිටි බව යි. අයිෂා බිව්ලි (Aisha Bewley) මෙය ඉතා නිවැරදි ව පරිවර්තනය කළේ “ඇයගේ ආයා ලෙස කටයුතු කළ ඇගේ කිරිඅම්මා ඇය සමඟ සිටියා ය” ලෙ සයි. උමයිමා වැනි උසස් සාමාජික මට්ටමක් පැවැති කාන්තාවන්ට මෙවැනි සේවිකාවන් තබාගැනීමේ පහසුකම් තිබුණි. එබැවින්, එමගින් ඇගේ වයස පිළිබඳ ව කිසිවක් අඟවනවාට වඩා කියැවෙන්නේ ඇගේ සමාජීය තත්ත්වය පිළිබඳ ව පමණි. පහතින් සාකච්ඡා කෙරෙන පරිදි එම කරුණ ද වාර්තාව මගින්ම තහවුරු වේ.

5. විවාහය සිදු වී තිබුණා ද නැතහොත් නබිනායකතුමා යෝජනාවක් කළාද?

5.1 පරිවර්තකයාගේ වරද

මුහ්සින් කාන්ගේ පරිවර්තනයේ, නබිනායකතුමන් (ﷺ) ජව්නියාට පැවසූ “හබී නෆ්සකි ලී” (habi nafsaki li) යන වචන, “ඔබ ව මට පවරා දෙන්න (විවාහය සඳහා)” (අංක 5255) ලෙස පරිවර්තනය කර ඇත. මෙයින් අඟවන්නේ නබිනායකතුමන් (ﷺ) එම අවස්ථාවේ දී විවාහ යෝජනාවක් කළ බවත්, එය ද මහර් (විවාහ තෑග්ග) අත්හැරීමක් සහිත ව සිදු කළ බවත් ය. ක්ෂණික නිගමනවලට එළඹෙන ඇතැම් විවේචකයෝ මෙය තවදුරටත් උපුටා දක්වමින්, මෙහි අරමුණ විවාහය නො ව ඇය සමඟ ලිංගික ව එක්වීම පමණක් බව අඟවන්නට උත්සාහ කරති.

නමුත් සැබවින්ම, ඉබ්නු සඃද්ගේ වාර්තාවට අමතර ව, ඉහත සඳහන් කළ වාර්තාවට පසුව අල්-බුහාරි විසින් වාර්තා කරන ලද තවත් වාර්තාවක් මගින් තහවුරු වන්නේ මෙම සිදුවීමට පෙරාතු ව ම නබිනායකතුමන් (ﷺ) ජව්නියා සමඟ විවාහ වී සිටි බවයි.

عن عباس بن سهل، عن أبيه، وأبي أسيد، قالا: «تزوج النبي صلى الله عليه وسلم أميمة بنت شراحيل، فلما أدخلت عليه بسط يده إليها، فكأنها كرهت ذلك فأمر أبا أسيد أن يجهزها ويكسوها ثوبين رازقيين»

සහ්ල් සහ අබූ උසෙයිද් වාර්තා කළහ: නබිනායකතුමා උමයිමා බින්ත් ෂරාහීල්ව විවාහ කර ගත්හ (තසව්වජ අන්-නබිය්‍යු ස්වල්ලල්ලාහු අලෙයිහි වසල්ලම උමයිමා බින්ත් ෂරාහීල්). ඇය ව එතුමා වෙත කැඳවාගෙන ආ විට, එතුමා ඇය දෙසට අත දිගු කළහ. ඇය එය අප්‍රිය කරන බවක් පෙනෙන්නට තිබූ බැවින්, ඇයට අවශ්‍ය දේ සූදානම් කර දී ඇයට සුදු හෙළිපිළි (ලිනන් ඇඳුම්) දෙකක් ලබා දෙන ලෙස නබිනායකතුමා අබූ උසෙයිද්ට නියෝග කළහ.[10]

තවද, අල්-බුහාරි විසින් “හබී නෆ්සකි ලී” (ඔබ ව මට පවරා දෙන්න) යන වචන සහිත වාර්තාව ‘දික්කසාද පිළිබඳ පරිච්ඡේදයේ’ ඇතුළත් කර තිබීමෙන්ම, විවාහය ඊට පෙර සිදුවී තිබූ බව පැහැදිලි වේ.

විවේචකයන් නැගූ විවාහයෙන් පිටස්තර සම්බන්ධයක් පිළිබඳ අභූත චෝදනාවට පිළිතුරු දීමටත් වඩා, පරිවර්තකයා මෙය විවාහ යෝජනාවක් ලෙස දැක්වීමෙන් සිදු කර ඇති වරද ද මෙයින් පැහැදිලි වේ. ජව්නියාගේ පිළිතුර වූ “වහල් තහබුල් මලිකතු නෆ්සහා ලිස්සුකහ්?” (وهل تهب الملكة نفسها للسوقة؟) යන්න “රාජකීය කුමරියක් සාමාන්‍ය මිනිසෙකුට තමන් ව පවරා දෙයිද?” ලෙස පරිවර්තනය කිරීමේ දී, “විවාහය සඳහා” (in marriage) යන වචන ඇතුළත් කිරීම අනවශ්‍ය මෙන්ම සත්‍ය තොරතුරුවලට ද පටහැනි වේ. මේ සියල්ල සිදුවූයේ විවාහය නිල වශයෙන් සිදු කර අවසන් වූ පසු ව සිදු වූ පළමු හමුවීමේ දී ය.

5.2 “ඔබ ව මට පවරා දෙන්න යන්නෙහි අර්ථය

ඉහත දැක්වුණු කරුණු සැලකිල්ලට ගැනීමේ දී, “ඔබ ව මට පවරා දෙන්න” (Give yourself to me) යන වචන, දැනටමත් සිදු කර තිබූ විවාහයක් සඳහා වූ යෝජනාවක් නොවන බවත්, මහර් (විවාහ තෑග්ග) මුදල අත්හැරීමට කළ ඉල්ලීමක් නොවන බවත් පැහැදිලි වේ. මන්ද ඉබ්නු සඃද්ගේ වාර්තාවේ සඳහන් වන පරිදි මහර් මුදල ද ඊට පෙර ම තීරණය කර තිබුණි. එබැවින් මෙය අඹු-සැමියන් අතර සිදු වූ ආදරණීය සමීප කතාබහක් පමණි.[11] මෙම වචන විග්‍රහ කරමින් ඉබ්නු හජර් තුමා මෙසේ ලියයි:

ويكون قوله هبي لي نفسك تطييبا لخاطرها واستمالة لقلبها ويؤيده قوله في رواية لابن سعد إنه اتفق مع أبيها على مقدار صداقها وأن أباها قال له إنها رغبت فيك وخطبت إليك

‘ඔබ ව මට පවරා දෙන්න’ යන එතුමාගේ වචන, ඇගේ සිත සැනසීමට සහ ඇගේ සිත දිනා ගැනීමට (ආකර්ෂණය කර ගැනීමට) කරන ලද්දකි. නබිතුමා ඇගේ පියා සමඟ මහර් ප්‍රමාණය පිළිබඳ ව එකඟ වූ බවත්, ‘ඇය ඔබ කෙරෙහි කැමැත්තෙන් පසුවන අතර ඔ බව විවාහ කර ගැනීමට අපේක්ෂා කරන්නීය’ ලෙස ඇගේ පියා නබිනායකතුමන්ට පැවසූ බවත් සඳහන් වන ඉබ්නු සඃද්ගේ වාර්තාව මගින් ද මෙය තහවුරු වේ.[12]

සැබවින්ම, මඃමර් ඉබ්නු අල්-මුථන්නාගේ (මියගියේ 209/824) වාර්තාවක් මගින් මෙම කරුණ තවදුරටත් පැහැදිලි කරයි:

تزوج رسول الله ص من اليمن أسماء بنت النعمان بن الجون بن شراحيل بن النعمان، من كنده، فلما دخل عليها، فدعاها اليه، فقالت: تعال أنت، وأبت ان تجيء فطلقها.

නබිනායකතුමන්, කින්දා ගෝත්‍රයේ නුඃමාන් බින් අල්-ජව්න් බින් ෂරාහීල් බින් අල්-නුඃමාන්ගේ දියණිය වූ අස්මා නමැති යේමන් ජතික කාන්තාව විවාහ කර ගත්හ. එතුමා ඇය හමුවීමට ගොස් ඇයට [තමන් වෙතට] පැමිණෙන ලෙස ඇරයුම් කළ විට, ඇය “[නැත], ඔබ මා වෙතට පැමිණෙන්න!” යැයි කීවාය. ඇය එතුමා වෙත පැමිණීම ප්‍රතික්ෂේප කළ බැවින් එතුමා ඇය ව දික්කසාද කළහ.[13]

මෙම වාර්තාවෙන් ද මුළු සිදුවීම ම ආවරණය නොවුණ ද, ජව්නියාට “ඔබ ව මට පවරා දෙන්න” යැයි පැවසීමෙන් නබිනායකතුමන් (ﷺ) සැබවින්ම අදහස් කළේ තමන් වෙත පැමිණෙන ලෙස ඇයට ආරාධනා කිරීම බව මෙයින් පැහැදිලි වේ.

6. රාජකීය කුමරියක් සහ සාමාන්‍ය මිනිසෙක්

ජව්නියා නබිනායකතුමන්ට (ﷺ) පැවසූ “රාජකීය කුමරියක් සාමාන්‍ය මිනිසෙකුට තමන්ව පවරා දෙයි ද?” යන වචන පිළිබඳ ව, ඉබ්නු හජර් තුමා විසින් ඉබ්නු අල්-මුනෙයියිර්ගේ (මියගියේ 683/1284) ප්‍රකාශයක් මෙසේ උපුටා දක්වයි;

هذا من بقية ما كان فيها من الجاهلية والسوقة عندهم من ليس بملك كائنا من كان فكأنها استبعدت أن يتزوج الملكة من ليس بملك وكان صلى الله عليه وسلم قد خير أن يكون ملكا نبيا فاختار أن يكون عبدا نبيا تواضعا منه صلى الله عليه وسلم لربه ولم يؤاخذها النبي صلى الله عليه وسلم بكلامها معذرة لها لقرب عهدها بجاهليتها

මෙය ඇය තුළ පැවති අඥාන යුගයේ (ජාහිලියියා) සිරිත් විරිත්වල බලපෑමකි. ඔවුන්ගේ ව්‍යවහාරයේ ‘සූකා’ (Suqah – සාමාන්‍ය මිනිසා) යන්නෙන් අදහස් කළේ රජෙකු නොවන ඕනෑ ම අයෙකි. රජෙකු නොවන අයෙකු රාජකීය කුමරියක විවාහ කර ගැනීම ඇය අසාමාන්‍ය ලෙස දුටු බැවින් ඇය එසේ පැවසුවාය. නබිනායකතුමන්ට (ﷺ) ‘රජෙකු වූ නබිවරයෙකු’ වීමට තේරීමක් තිබූ නමුත්, එතුමාණෝ තම දෙවියන් වහන්සේට අවනත වීම සහ යටහත් පහත් බව පෙන්වීම සඳහා ‘ගැති නබිවරයෙකු’ වීම තෝරා ගත්හ. ඇය අඥාන යුගයේ සිට මෑතක දී ඉස්ලාමයට පැමිණි තැනැත්තියක වූ බැවින් (ඇයට ඉස්ලාමීය හැඩගැස්ම ලැබී නොතිබූ බැවින්) නබිනායකතුමා (ﷺ) ඇගේ මෙම වචන කෙරෙහි කෝප නොවී ඇයට සමාව දුන්හ.[14]

ඇය එකල ඉස්ලාම් දහම වැළඳගත් ගෝත්‍ර නායකයාගේ දියණිය වූවාය. නබිනායකතුමන් (ﷺ) මුස්ලිම්වරුන්ගේ නායකයා බව දැන සිටි ඇය, එතුමා සාමාන්‍ය රාජකීය විලාසිතාවෙන් ජීවත් වන අයෙකු ලෙස සිතන්නට ඇත. නමුත් මදීනාවට පැමිණි පසු, නබිනායකතුමන් (ﷺ) කොතරම් සරල හා අල්පේච්ඡ ජීවිතයක් ගත කළා ද යත්, එය රජවරුන් තබා සාමාන්‍ය ගෝත්‍ර නායකයන්ගේවත් සිරිතක් නොවන බව ඇයට වැටහෙන්නට ඇත. මෙම පසුබිම ඇගේ එම ප්‍රකාශය තේරුම් ගැනීමට උපකාරී වේ. ඇයට ඉස්ලාමීය උදාර සංකල්ප පිළිබඳ අවබෝධයක් නොතිබූ බැවින් නබිනායකතුමාණෝ (ﷺ) එම ප්‍රකාශය නොසලකා හැරියහ.

7. නබිනායකතුමන් () ජව්නියාට පහර දීමට උත්සාහ කළා ද?

ජව්නියාගේ හැසිරීම වෙනුවෙන් නබිනායකතුමන් (ﷺ) ඇයට පහර දීමට උත්සාහ කළ බවට කිසිදු අඟවීමක් හෝ නොමැත. ඒ වෙනුවට, මෙම වාර්තාවෙන් ඉතා පැහැදිලි ව ම කියවෙන්නේ නබිනායකතුමන් (ﷺ) ඇයව “සන්සුන් කිරීම සඳහා” අතගෑමට උත්සාහ කළ බව යි. සැබවින්ම එය එතුමා ඇය වෙත ලංවීමේ පියවරක් වූ අතර, නබිනායකතුමන් (ﷺ) ඇගේ ගෙල ප්‍රදේශය ස්පර්ශ කළ බව සඳහන් වන වෙනත් වාර්තාවකින් ද එය පැහැදිලි වේ.[15] යමෙකුට තමන්ට අවශ්‍ය පරිදි කතාවක් ගෙතීමට අවශ්‍ය නම් මිස, මෙම හදීසය තුළින් පහර දීමක් පිළිබඳ අර්ථයක් ලබා ගැනීමට කිසිසේත්ම ඉඩක් නොමැත.

8. ජව්නියා නබිනායකතුමන්ගෙන් () ආරක්ෂාව පැතූයේ ඇයි?

ඉහත සාකච්ඡා කළ සියලු කරුණුවලට අදාළ වන වඩාත්ම වැදගත් ප්‍රශ්නය වන්නේ; ජව්නියා නබිනායකතුමන්ගෙන් (ﷺ) ආරක්ෂාව පැතූයේ ඇයි ද යන්නයි. එය මෙතෙක් සාකච්ඡා කළ කරුණුවලට සම්බන්ධ වන්නේ, බැලූ බැල්මට එය නබිනායකතුමන් කෙරෙහි ඇගේ අකැමැත්ත සහ කෝපයේ උපරිමය නිරූපණය කරන බැවිනි. කෙසේ වෙතත්, වරක් නබිනායකතුමන් කෙරෙහි කැමැත්තෙන් සිටි කාන්තාවක්, නබිනායකතුමන් ස්වාමිපුරුෂයෙකු ලෙස ඇය වෙත පැමිණි මොහොතේම මෙතරම් අමුතු ලෙස හැසිරීමට හේතුව කුමක්දැයි යන්න ද මෙයින් කෙනෙකුට කුතුහලයක් ඇති කරයි.

මේ සඳහා වාර්තා වී ඇති පිළිතුර, අවම වශයෙන් බැලූ බැල්මට නම්, එතරම් තර්කානුකූල නොවේ. කලින් සාකච්ඡා කළ ඉබ්නු සඃද්ගේ වාර්තාව අවසානයේ මෙසේ සඳහන් වේ;

ودخل عليها داخل من النساء فدأين لها لما بلغهن من جمالها وكانت من أجمل النساء. فقالت: إنك من الملوك فإن كنت تريدين أن تحظي عند رسول الله – صلى الله عليه وسلم – فإذا جاءك فاستعيذي منه فإنك تحظين عنده ويرغب فيك.

ඇය කාන්තාවන් අතරින් වඩාත්ම ලස්සන තැනැත්තියක වූ බැවින්, ඇගේ රූපසම්පත්තිය ගැන ආරංචි වූ විට (මදීනාවේ) කාන්තාවෝ ඇය හමුවීමට පැමිණියහ. ඔවුන්ගෙන් එක් අයෙක් ඇයට මෙසේ කීවාය: ඔබ රාජකීය කාන්තාවක්, ඔබට අල්ලාහ්ගේ දූතයාණන් () ඉදිරියේ වැඩි අවධානයක් සහ ආදරයක් දිනා ගැනීමට අවශ්‍ය නම්, එතුමා ඔබ වෙත පැමිණි විට මම ඔබෙන් ආරක්ෂාව පතමි යැයි පවසන්න. (එවිට) ඔබ එතුමාගේ ආදරයට පාත්‍ර වන අතර එතුමා ඔබ කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනු ඇත.[16]

තවත් වාර්තාවක මෙසේ සඳහන් වේ;

الجونية استعاذت من رسول الله – صلى الله عليه وسلم – وقيل لها هو أحظى لك عنده. ولم تستعذ منه امرأة غيرها وإنما خدعت لما رؤي من جمالها وهيئتها. ولقد ذكر لرسول الله من حملها على ما قالت لرسول الله [فقال رسول الله: إنهن صواحب يوسف وكيدهن عظيم]

ජව්නියා, අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (ﷺ) ආරක්ෂාව පැතූයේ එම වචනය පැවසීමෙන් ඇය නබිනායකතුමාගේ ආදරයට පාත්‍ර වන බව ඇයට පවසා තිබූ බැවිනි. වෙනත් කිසිම කාන්තාවක් එතුමාගෙන් ආරක්ෂාව පතා නොමැත. ඇගේ රූපසම්පත්තිය සහ පෙනුම නිසා ඇය ව මෙසේ රවටා තිබුණි. ඇයට මෙසේ පැවසීමට පෙළඹවූ අය ගැන අල්ලාහ්ගේ දූතයාණන්ට පවසනු ලැබූ විට එතුමා, ඔවුන් යූසුෆ් (නබිතුමා) වටා සිටි කාන්තාවන් වැනි ය, ඔවුන්ගේ උපක්‍රමශීලී බව මහත්ය යැයි පැවසූහ.[17]

තවත් වාර්තාවක සඳහන් වන්නේ ආයිෂා (රළියල්ලාහු අන්හා) සහ හෆ්සා (රළියල්ලාහු අන්හා) යන අය විසින් ඇයව මෙලෙස රැවටූ බව යි.[18] නමුත් යමෙකු එසේ පවසන ලෙස ඉල්ලා සිටිය ද, කාන්තාවක තම ස්වාමිපුරුෂයාට මෙවැනි දෙයක් පවසනු ඇතැයි සිතීම පවා අපහසු ය. කෙසේ වෙතත්, ජව්නියාගේ මෙම හැසිරීම තේරුම් ගැනීමට උපකාරී වන එක් වාර්තාවක් පවතී.

عن ابن مناح قال: استعاذت من رسول الله ص، وكانت قد ذهلت وذهب عقلها.

ඉබ්නු මන්නාහ් වාර්තා කරයි: ඇය නබිනායකතුමාට එරෙහිව ‘මම අල්ලාහ්ගේ ආරක්ෂාව පතමි’ (අඌදු බිල්ලාහ්) යන වාක්‍යය ප්‍රකාශ කළාය, මන්ද ඇය මහත් තිගැස්මකට/විමතියට පත්ව සිටි අතර ඇගේ මනස විකල් වී (සිහිමුළා වී) තිබුණි.[19]

මෙම කරුණ මගින් මුළු සිදුවීම පිළිබඳ ව ම නිවැරදි දැක්මක් ලබා දෙයි. නබිනායකතුමන් (ﷺ) කෙරෙහි ඇය දැක්වූ සියලු ම නොපැහැදිලි සහ අමුතු හැසිරීම්වලට හේතුව මෙයින් පැහැදිලි වන අතර,[20] සමහර විට ඇය සමඟ ආයා කෙනෙකු පැමිණීමට ද එක් හේතුවක් මෙය විය හැක. නබිනායකතුමන්ගේ (ﷺ) බිරින්දෑවරුන් ඇය ව රවටා මෙම ආරක්ෂාව පැතීමේ ප්‍රකාශය කරවූ බවට ඇති වාර්තා විශ්වසනීයත්වයෙන් අඩු වාර්තාකරුවන් හරහා පැමිණිය ද, නබිනායකතුමන් (ﷺ) විවාහ කරගත් ජව්නියා ගෝත්‍රයේ මෙම අතිශය රූපසුන්දර කාන්තාව මානසික ව අසමතුලිත තත්ත්වයක සිටින බව නබිනායකතුමන්ට (ﷺ) දැනුම් දීමට ඔවුන් භාවිතා කළ උපක්‍රමශීලී ක්‍රමයක් ලෙස ද මෙය විග්‍රහ කළ හැක.

9. වැඩිදුර නිරීක්ෂණ සහ පැහැදිලි කිරීම්

9.1 සහීහ් අල්බුහාරි හි වාර්තාවක නිවැරදි පරිවර්තනය

අවසාන සංක්‍ෂිප්තය සහ නිගමනයට එළඹීමට පෙර, මෙම මුළු සාකච්ඡාවම ප්‍රධාන වශයෙන් ගොඩනැගී ඇති සහීහ් අල්-බුහාරි හි සටහන් වූ හදීස් වාර්තාවේ නිවැරදි පරිවර්තනය එකට ගොනු කරමු.

අබූ උසෙයිද් වාර්තා කළ බව කියැවේ: අපි නබිනායකතුමන් (ﷺ) සමඟ පිටත්ව ගොස් ‘අල්-ෂවුත්’ ලෙස හැඳින්වෙන තාප්පවලින් වටවූ වත්තකට පැමිණ, තාප්ප දෙකක් අතර වාඩි වූවෙමු. නබිනායකතුමා (ﷺ), ‘මෙහි වාඩි වන්න’ යැයි පවසා ඇතුළට ගියේය. [නබිනායකතුමන් (ﷺ) විවාහ කරගෙන සිටි] ජව්නියා කාන්තාව වූ උමයිමා බින්ත් අල්-නුඃමාන් ඉබ්නු ෂරාහීල්ව කැඳවාගෙන ඇවිත්, ඉඳිඅතු වලින් තැනූ ගෙයක නතර කර සිටියාය. ඇගේ ආයා ලෙස කටයුතු කළ ඇගේ කිරිඅම්මා ඇය සමඟ පැමිණ සිටියාය. අල්ලාහ්ගේ දූතයාණන් (ﷺ) ඇය වෙත පැමිණ, ‘ඔබ ව මට පවරා දෙන්න’ යැයි පැවසීය. ඇය පිළිතුරු දෙමින්, ‘රාජකීය කුමරියක් සාමාන්‍ය මිනිසෙකුට තමන් ව පවරා දෙයි ද?’ යැයි ඇසුවාය. ඇය ව සන්සුන් කිරීම සඳහා එතුමා ඇය දෙසට අත දිගු කළ අතර, එවිට ඇය, ‘මම ඔබෙන් අල්ලාහ්ගේ ආරක්ෂාව පතමි!’ යැයි කීවාය. එතුමාණෝ, ‘ඔබ ආරක්ෂාව ලබාදෙන්නාගෙන්ම ආරක්ෂාව ඉල්ලා සිටියාය’ යැයි පැවසූහ. ඉන්පසු එතුමා අප වෙත පැමිණ, ‘අබූ උසෙයිද්, ඇයට දිගු සුදු හෙළිපිළි (ලිනන් ඇඳුම්) දෙකක් දී ඇගේ පවුලේ අය වෙත ආපසු කැඳවාගෙන යන්න’ යැයි පැවසූහ.[21]

අනෙකුත් තොරතුරු ඉහතින් සාකච්ඡා කර ඇති අතර, මුල් අරාබි වාර්තාවේ පහත යෙදුමේ යම් දෝෂයක් පැවති බව පෙන්වා දිය හැක;

فأنزلت في بيت في نخل في بيت أميمة بنت النعمان بن شراحيل

මුහ්සින් කාන්ගේ පරිවර්තනයේ ද එම දෝෂය එලෙස ම නැවත දක්වා ඇත;

ජව්නියා (බනී ජවුන් ගෝත්‍රයේ කාන්තාවක්) කැඳවාගෙන ඇවිත්, උමයිමා බින්ත් අන්-නුඃමාන් බින් ෂරාහීල්ගේ නිවසේ, ඉඳිඅතු වලින් තැනූ ගෙයක නතර කර සිටියාය.

මෙයින් අඟවන්නේ ජව්නියාව උමයිමා බින්ත් අල්-නුඃමාන්ගේ නිවසට කැඳවාගෙන ආ බව යි. නමුත් උමයිමා යනු ජව්නියාගේම නම බව අපි දුටුවෙමු. එබැවින් ඉබ්නු හජර් තුමා නිවැරදි ව පෙන්වා දෙන්නේ මෙසේය;

وإنما جاء الوهم من إعادة لفظ في بيت وقد رواه أبو بكر بن أبي شيبة في مسنده عن أبي نعيم شيخ البخاري فيه فقال في بيت في النخل أميمة إلخ

මෙම දෝෂය ඇති වූයේ “ෆී බයිතින්” (ගෙයක) යන වචන අනපේක්ෂිත ලෙස නැවත යෙදී ම නිසා ය. අබූ බකර් බින් අබී ෂෙයිබා තම ‘මුස්නද්’ ග්‍රන්ථයේ, බුහාරිගේ ද ගුරුවරයෙකු වන අබූ නුඃඅයිම්ගෙන් මෙම හදීසය වාර්තා කරමින්, “[ජව්නියා වූ] උමයිමා ව ඉඳිඅතු වලින් තැනූ ගෙයක නතර කර සිටියාය…” ලෙස සටහන් කර ඇත.[22]

9.2 සිද්ධියේ සියලු තොරතුරු එක්රැස් කර සකස් කළ පැහැදිලි නැවත විග්‍රහය

ජව්නියා මදීනාවට පැමිණීමට පෙර ම නබිනායකතුමන් (ﷺ) සමඟ ඇගේ විවාහය නිල වශයෙන් සිදුවී තිබුණි. ඇය වැන්දඹුවක් වූ පසු නබිනායකතුමන් (ﷺ) කෙරෙහි දැඩි කැමැත්තකින් පසු වූ බව පවසමින් ඇගේ පියා විසින් මෙම විවාහය කටයුතු සූදානම් කර තිබුණි. ඒ සඳහා රිදී කාසි (දිර්හම්) පන්සියයක මහර් මුදලක් ද තීරණය විය. කෙසේ වෙතත්, ඇය මානසික ව අසමතුලිත තත්ත්වයක පසු වූ අතර, නබිනායකතුමන් (ﷺ) ප්‍රථම වරට ඇය හමුවීමට පැමිණි අවස්ථාවේ ඇය ඉතා අමුතු ලෙස හැසිරීමට හේතු ව එය යි. සහීහ් බුහාරි හි වාර්තාව සහ මඃමර් ඉබ්නු මුථන්නාගේ වාර්තාව එකට ගත් විට මේ පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් ලබා දෙයි.

නබිනායකතුමන් (ﷺ) ඇය සිටි තැනට පැමිණ තමන් වෙතට පැමිණෙන ලෙස ඇයට ආරාධනා කළ අතර, ඇය එය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට නබිනායකතුමන්ට (ﷺ) තමන් වෙත පැමිණෙන ලෙස කීවාය. නබිනායකතුමන් (ﷺ) ඇය වෙත පැමිණ ඇය ව සන්සුන් කිරීමට අතගාන අතරතුර, ඇය එතුමාගෙන් ආරක්ෂාව පතන බවට ඉතා අමුතු ප්‍රකාශයක් කළාය. ඇගේ පියාගේ ප්‍රකාශය කුමක් වුවත්, ඇගේ මෙම මානසික අසමතුලිතතාවය නිසා ඇයට විවාහයකට එකඟතාව පළ කිරීමට තබා යෝජනාවක් කිරීමටවත් නිසි මානසික සමබරතාවයක් (හැකියාවක්) නොමැති බව නබිනායකතුමන්ට (ﷺ) මැනවින් පැහැදිලි විය. එබැවින්, එතුමාණෝ ඇය ව දික්කසාද කළ බව අඟවමින් ඇගේ පවුලේ අය වෙත ආපසු යැවූහ.

සමහර විට නබිනායකතුමන්ගේ (ﷺ) බිරින්දෑවරුන් ඇතුළු කාන්තාවන් ඇය ව එතුමා හමුවීමට සූදානම් කරන අතරතුර මෙම තත්ත්වය ප්‍රථමයෙන් වටහාගෙන, ඇගේ තත්ත්වයේ බරපතලකම නබිනායකතුමන්ට (ﷺ) වටහා දීම සඳහා ඇයට මෙම ප්‍රකාශය කිරීමට සැලැස්වූවා විය හැක. නබිනායකතුමන් (ﷺ) ඇය ව නිකම්ම ආපසු යැවූයේ නැත; ඇයට ඇඳුම් දෙකක් ද තෑගි කළහ. මෙයින් ඔප්පු වන්නේ ඇතැම් විවේචකයන් පවසන පරිදි මෙය ක්ෂණික කෝපයක් හෝ හැඟීමක් මත කළ දෙයක් නොව, ඉතා නුවණින් හා කල්පනාකාරී ව ගත් පියවරක් බව යි.

10. නිගමනය

විවිධ වාර්තා හරහා ඉස්මතු කර දැක්වුණු මෙම සිද්ධියේ සම්පූර්ණ විස්තර මගින් පැහැදිලි වන්නේ, ජව්නියා සම්බන්ධයෙන් ද්වේෂසහගත මිෂනාරීන් සහ අනෙකුත් විවේචකයන් ඉදිරිපත් කරන කිසිදු අර්ථකථනයකට කිසිසේත්ම ඉඩක් නොමැති බව යි. සැබවින්ම, නබිනායකතුමාණෝ (ﷺ) අතිශය ආචාරශීලීත්වයෙන් යුතු ව සහ මෙම කාන්තාවගේ සැබෑ මානසික තත්ත්වය තේරුම් ගනිමින්, ඇයට ඇඳුම් දෙකක තෑග්ගක් ද සමඟින් ඇගේ පවුලේ අය වෙත ආපසු යැවූහ. නබිනායකතුමන් කෙරෙහි ඇගේ තිබූ කැමැත්ත ගැන සඳහන් කරමින් පියා විසින් විවාහ කර දුන් මෙම කාන්තාවගෙන් අසාමාන්‍ය හැසිරීමක් අත්විඳීමෙන් පසුව පවා එතුමා මෙසේ කටයුතු කිරීමෙන් කැපී පෙනෙන්නේ, නබිනායකතුමන්ගේ (ﷺ) උදාර චරිත ලක්ෂණ සහ ශ්‍රේෂ්ඨ ගුණාංග පමණි.

මූලාශ්‍ර සහ සටහන්:

[1] අල්-බුහාරි, මුහම්මද් බින් ඉස්මාඊල්, අල්සහීහ්, (රියාද්: දාරුස්සලාම් ප්‍රකාශකයෝ, 1997) හදීස් 5254-5257

[2] අල්-බුහාරි, මුහම්මද් බින් ඉස්මාඊල්, අල්සහීහ්, (රියාද්: දාරුස්සලාම් ප්‍රකාශකයෝ, 1997), හදීස් 5637

[3] කාන්, මුහ්සින්, ට්‍රාන්ස්ලේෂන් ඇන්ඩ් මීනින්ග්ස් ඔෆ් සහීහ් අල්බුහාරි, (රියාද්: මැක්තබා දාර් උස් සලාම්, 1997) කාණ්ඩය 7, පිටු 118-119

[4] සිනා, අලි, අන්ඩර්ස්ටෑන්ඩින්ග් මුහම්මද්, (අලි සිනා, 2008) පිටු 145-146

[5] අල්-අස්කලානි, ඉබ්නු හජර්, ෆත්හුල් බාරි, (බේරූට්: දාරුල් මඃරිෆා, හිජ්රි 1367) කාණ්ඩය 9, පිටුව 358

[6] ඇගේ නම සහ ඇය පිළිබඳ වෙනත් වැදගත් කරුණු පිළිබඳ විස්තර සඳහා අපගේ මෙන්න මෙම ලිපිය බලන්න; Prophet’s Marital Life: Unconsummated Marriages, Unmaterialized Proposals

[7] ඉබ්නු සඃද්, මුහම්මද්, අල්තබකාත් අල්කුබ්රා, (බේරූට්: දාරුල් කුතුබ් අල්-ඉල්මියියා) කාණ්ඩය 8, පිටු 113-114

[8] ඉබ්නු සඃද්, මුහම්මද්, අල්තබකාත් අල්කුබ්රා, කාණ්ඩය 8, පිටුව 115

[9] මෙම සිදුවීමට පෙර නබිනායකතුමන්ට (ﷺ) වෙනත් කිසිදු විවාහයක් කරගැනීම තහනම් කර තිබූ බව පවසමින් ජව්නියා පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරන සැකමුසු විවේචකයන් සුළු පිරිසකට මෙය පිළිතුරකි. වැඩිදුර විස්තර සඳහා අපගේ මෙන්න මෙම ලිපිය බලන්න; “Marriage Related Privileges of the Prophet: A Study in Chronology”

[10] අල්-බුහාරි, අල්සහීහ්, හදීස් 5256-5257

[11] අල්-තහාවි, අබූ ජඃෆර්, ෂර්හ් මුෂ්කිල් අල්ආථාර්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 1994) කාණ්ඩය 15, පිටුව 342

[12] අල්-අස්කලානි, ඉබ්නු හජර්, ෆත්හුල් බාරි, කාණ්ඩය 9, පිටුව 360

[13] අල්-තබරි, ඉබ්නු ජරීර්, තාරීක් අල්රුසුල් අල්මුලූක් (බේරූට්: දාරුල් තුරාත්, හිජ්රි 1387) කාණ්ඩය 11, පිටුව 615; පරිවර්තනය: තැසරෝන්-ලන්ඩාවු, එලා, හිස්ට්‍රි ඔෆ් අල්තබරි: 39 වන කාණ්ඩය බයෝග්‍රෆීස් ඔෆ් ප්‍රොෆෙට්ස් කොම්පැනියන්ස් ඇන්ඩ් දෙයා සක්සෙසර්ස්, (ඇල්බනි: ස්ටේට් යුනිවර්සිටි ඔෆ් නව්යෝර්ක් ප්‍රෙස්, 1998) පිටුව 191; තවත් මූලාශ්‍රයක සඳහන් වන පරිදි ඇය “මා වෙතට පැමිණිය යුතුය, මම යන්නේ නැත” යැයි පැවසීම ද ඇගේ උඩඟුකමේ කොටසක් ලෙස සැලකිය හැක. බලන්න, අල්-මක්දිසි, අල්-මුතහ්හීර්, අල්බදඃ අල්තාරීක්, (පෝර්ට් සයිඩ්: මැක්තබා ථකාෆා අල්-දීනියා, ප්‍රකාශිත වර්ෂයක් නැත) කාණ්ඩය 4, පිටුව 138 සහ කාණ්ඩය 5, පිටුව 9

[14] අල්-අස්කලානි, ඉබ්නු හජර්, ෆත්හුල් බාරි, කාණ්ඩය 9, පිටුව 358; නබිනායකතුමන් (ﷺ) තමන්ගේ යටහත් පහත් බව නිසා රජෙකු වීමට වඩා ගැතියෙකු/දාසයෙකු වීමට තෝරාගත් බව අබූ හුරෙයිරා විසින් වාර්තා කරන ලද සහීහ් හදීසයක් මත පදනම් වේ. බලන්න, අහ්මද් බින් හන්බල්, අල්මුස්නද්, (බේරූට්: අල්-රිසාලා ප්‍රකාශකයෝ, 2001) හදීස් 7160

[15] අල්-තහාවි, ෂර්හ් මුෂ්කිල් අල්ආථාර්, හදීස් 642

[16] ඉබ්නු සඃද්, අල්තබකාත් අල්කුබ්රා, කාණ්ඩය 8, පිටුව 114

[17] උක්ත මූලාශ්‍රය ම වේ.

[18] ඉබ්නු සඃද්, අල්තබකාත් අල්කුබ්රා, කාණ්ඩය 8, පිටුව 115

[19] අල්-තබරි, ඉබ්නු ජරීර්, තාරීක් අල්රුසුල් අල්මුලූක්, කාණ්ඩය 11, පිටුව 612; පරිවර්තනය: තැසරෝන්-ලන්ඩාවු, එලා, හිස්ට්‍රි ඔෆ් අල්තබරි: 39 වන කාණ්ඩය, පිටුව 187; ඉබ්නු සඃද් මෙම වාර්තාව බනූ කිලාබ් ගෝත්‍රයේ කාන්තාව යටතේ සඳහන් කර ඇති බව පෙන්වා දිය හැක (ඉබ්නු සඃද්, අල්තබකාත් අල්කුබ්රා, කාණ්ඩය 8, පිටුව 112). ඊට පිළිතුරු ලෙස මුල් වාර්තාවේ කාන්තාවගේ නම සඳහන් නොවන අතර ඇයව හඳුන්වා දී ඇත්තේ ආරක්ෂාව පැතූ තැනැත්තිය ලෙස පමණක් බව පැවසීම ප්‍රමාණවත් වේ. තවද, කරුණු කිහිපයක් නිසා ජව්නියා සහ කිලාබියා යනු එක් අයෙකු බව තර්ක කළ හැක. මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා අපගේ මෙම ලිපිය බලන්න; “Prophet’s Marital Life: Unconsummated Marriages, Unmaterialized Proposals”

[20] උස්මානි, මුහම්මද් තකී, තක්මිලා ෆත්හුල් මුල්හිම්, (බේරූට්: දාරු ඉහ්යාඅල් තුරාත් අල්-අරබි, 2006) කාණ්ඩය 3, පිටුව 541

[21] අල්-බුහාරි, අල්සහීහ්, හදීස් 5255; ‘ආයිෂා බිව්ලිගේ පරිවර්තනය ඇසුරින් යම් සංශෝධන සහිතව.

[22] අල්-අස්කලානි, ඉබ්නු හජර්, ෆත්හුල් බාරි, කාණ්ඩය 9, පිටුව 358; මුද්‍රිත ‘මුස්නද් ඉබ්නු අබී ෂෙයිබා’ ග්‍රන්ථයේ ඉබ්නු හජර් සඳහන් කළ වචන ඒ ආකාරයෙන්ම දක්නට නැත. කෙසේ වෙතත්, අල්-තහාවි වෙතින් අබූ නුඃඅයිම් හරහාම මෙම වාර්තාව එම වචනවලින් සොයාගත හැක. බලන්න, අල්-තහාවි, ෂර්හ් මුෂ්කිල් අල්ආථාර්, හදීස් 641. මෙය වෙනත් සම්බන්ධතාවයක් හරහා ද වාර්තා වී ඇත. බලන්න, අහ්මද් බින් හන්බල්, අල්මුස්නද්, හදීස් 22869

Loading