මුහම්මද් නබිතුමා (ﷺ) බහුභාර්ය වූයේ ඇයි?

සාමාන්‍ය මුස්ලිම්වරයෙකුට අවසර දී ඇති ප්‍රමාණයට වඩා, එනම් හතරකට වඩා වැඩි බිරින්දෑවරුන් සංඛ්‍යාවක් මුහම්මද් නබිතුමාට (ﷺ) එක් කාලයකදී සිටියේ මන්දැයි මුස්ලිම් නොවන අය නිතරම ප්‍රශ්න කරති. ඔවුන්ගෙන් සමහරෙක් නබිතුමාව බහුභාර්යය අයෙකු බවට පත් කළේ කාමුක ආශාවන් යැයි පවසමින් අපහාසාත්මක ලෙස චෝදනා කරති. සන්දර්හය නොදත් අඥාන විවේචකයන්ට පහත කරුණු පිළිබඳව අවබෝධයක් නොමැති බවට ඒකාන්තයෙන්ම පිළිඹිබු වේ.

මෙම කරුණ පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා, පහත සඳහන් කරුණු සලකා බලන්න; ඇතැම් කරුණු ශුද්ධ වූ නබිතුමාට (ﷺ) පමණක් සීමා වී තිබුණි:

ශුද්ධ වූ නබිතුමාට (ﷺ) පමණක් සුවිශේෂී වූ එකම කරුණ මෙය නොවන බව පැහැදිලි විය යුතුය, ඇත්ත වශයෙන්ම එවැනි කරුණු බොහෝමයක් තිබුණි. උදාහරණයක් වශයෙන්, අපි මුස්ලිම්වරුන් ලෙස රාත්‍රී භාගයේ යෙදෙන නැමදුම් (තහජ්ජුද්) ඉතා උතුම් භක්තිමත් ක්‍රියාවක් ලෙස විශ්වාස කළද, සාමාන්‍ය මුස්ලිම්වරුන් වන අපට එය අනිවාර්ය නොවේ. නමුත් එය ශුද්ධ වූ නබිතුමාට (ﷺ) අනිවාර්ය කර තිබුණි (කුර්ආනය 17:79, 73:2-4 බලන්න). තවද නින්දෙන් අවදි වී රාත්‍රී (තහජ්ජුද්) නැමදුම්වල යෙදීම සහ එයද කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මඟ නොහැර නිතිපතා සිදු කිරීම සැබවින්ම දැඩි කැපවීමක් අවශ්‍ය වන්නකි. මෙම සඳහන් කරුණ ශුද්ධ වූ නබිතුමා (ﷺ) තමා වෙනුවෙන්ම ඇතැම් නිදහස් කිරීම් සකසා ගත්තේය (දෙවියන් වහන්සේ අපව ආරක්ෂා කරත්වා!) යන මතය ප්‍රතික්ෂේප කිරීමට ගත හැකි එක් කරුණක් පමණි.

ශුද්ධ වූ නබිතුමා (ﷺ) විවාහ වූයේ තම ශාරීරික ආශාවන් නිසා නොවේ!

එතුමා වයස අවුරුදු 54 දක්වාම සිටියේ එකම බිරිඳක් සමඟ පමණක් බැවින්, තම ශාරීරික ආශාවන් නිසා වැඩිපුර කාන්තාවන් විවාහ කර නොගත් බව පැහැදිලිය. වයස අවුරුදු 50 වන තෙක් එතුමාට සිටියේ එකම බිරිඳක් වූ සයියිදා කලීජා තුමිය පමණි. ඇය එතුමාට වඩා වයසින් අවුරුදු 15ක් වැඩිමහල් වූ අතර ඊට පෙර දෙවතාවක් වැන්දඹු වූ තැනැත්තියකි. ඊළඟ වසර 4 තුළ එතුමාගේ එකම බිරිඳ වූයේ සයියිදා සව්දා තුමියයි, ඇයද වයස්ගත කාන්තාවකි. එතුමාගේ බිරින්දෑවරුන්ගෙන් එක් අයෙකු හැර අනෙක් සියලුම දෙනා වැන්දඹුවන් හෝ දික්කසාද වූවන් වූහ. එතුමාගේ විවාහ ජීවිතය තුළ බිරින්දෑවරුන් සිව්දෙනෙකු එකවර සිටියේ එතුමාට වයස අවුරුදු 55ක් වූ පසුවය.

ජෝන් බැගොට් ග්ලබ් (John Bagot Glubb) මෙම සත්‍යය පහත සඳහන් වචනවලින් සඳහන් කළේය;

“කෙසේ වෙතත්, එතුමාගේ සියලුම බිරින්දෑවරුන් අතුරින් එතුමා විවාහ වන විට කන්‍යාවකව සිටියේ ආයිෂා පමණක් බව සැලකිල්ලට ගැනීම වටී. සයිනබ් බින්ත් ජහෂ් දික්කසාද වූ බිරිඳක් වූ අතර අනෙක් සියලුම දෙනා වැන්දඹුවන් වූහ. ඔවුන්ගෙන් සමහරෙක් එතරම් ආකර්ශනීය පෙනුමක් ඇති අය නොවූ බව පෙනේ. එපමණක් නොව, දූතයාණන් වහන්සේ කලීජා සමඟ විවාහ වන විට එතුමාට වයස විසිපහක් වූ අතර ඇය එතුමාට වඩා බෙහෙවින් වයසින් වැඩි වැන්දඹුවක් වූවාය. ඇය මිය යන තෙක්ම වසර විසිහතරක් පුරා එතුමා ඇයට සම්පූර්ණයෙන්ම විශ්වාසවන්තව සිටියේය.” (The Life and Times of Muhammad p.237, pub. Stein And Day, New York, 1971)

තවදුරටත් ඔහු මෙසේ පවසයි;

“මදීනාවේදී මුහම්මද්ට(ﷺ) විවේක කාලය ලැබුණේ ඉතා අඩුවෙන් වන අතර, විශේෂයෙන්ම එතුමා තම පනස්වන වියේ සහ පසුව හැටවන වියේ පසුවූ බැවින් මානසිකව හා ශාරීරිකව බෙහෙවින් වෙහෙසට පත්ව සිටින්නට ඇත. මිනිසුන් අධික කාමුකත්වයේ නිරත වීමට උනන්දු වන තත්වයන් මේවා නොවේ. එබැවින් එතුමා වයස අවුරුදු හැටදෙකේදී මිය යන විට බිරින්දෑවරුන් එකොළොස් දෙනෙකු සිටි නිසා එතුමා කාමභෝගී අයෙකු වූයේය යන උපකල්පනය, බොහෝ දෙනා සිතන පරිදි නියත නිගමනයක් නොවේ. විශේෂයෙන්ම එතුමාට වයස අවුරුදු පනහ වන තෙක් සිටියේ එකම බිරිඳක් පමණක් යන කරුණ සැලකිල්ලට ගන්නා විට මෙය වඩාත් පැහැදිලි වේ.” (p.239)

මේ සියල්ල ඉස්ලාමයේ අවසාන නබිතුමා (ﷺ) තම ශාරීරික ආශාවන් උදෙසා කිහිප වතාවක් විවාහ වූයේය යන මතය මුසාවක් බව ඔප්පු කරයි. ජෝන් ඩේවන්පෝට් (John Davenport) සාධාරණ ප්‍රශ්නයක් අසයි;

“..එසේ නම් මෙසේ ඇසිය හැක: බහුභාර්යය සේවනය සාමාන්‍ය සිරිතක් වූ රටක ජීවත් වූ අතිශය කාමුක මිනිසෙකු, තමාට වඩා වසර පහළොවක් වයසින් වැඩි එකම බිරිඳක් සමඟ වසර විසිපහක් පුරා සෑහීමකට පත්ව ජීවත් විය හැකිද?” (An Apology for Muhammed and the Koran p.26 pub. J. Davy and Sons, London)

ස්ටැන්ලි ලේන් පූල් (Stanely Lane Poole) ද මෙසේ ලියයි;

“…මුහම්මද් (ﷺ) කාමභෝගී අයෙකු යැයි පැවසීම අසත්‍යයකි. අවසාන කාලය දක්වාම ඔහුගේ එදිනෙදා ජීවිතයේ පැවති සරල චාම් බව, නිදා ගැනීමට භාවිතා කළ තද පැදුර, ඔහුගේ සරල ආහාර වේල සහ ඔහු විසින්ම කරගත් සාමාන්‍ය වැඩකටයුතු ඔහුව හඳුන්වා දෙන්නේ කාමභෝගියෙකු ලෙස නොව තාපසයෙකු ලෙසය.” (Studies in a Mosque p.77, pub. W. H. Allen & Co. London, 1883)

තවත් යුරෝපීය ජාතිකයෙකු වූ තෝමස් කාලයිල් (Thomas Carlyle), නබිතුමා (ﷺ) පිළිබඳව නිතර නිතර පැවසෙන මෙම බොරුව ගැන මෙසේ අදහස් දැක්වීය;

“මහමත් (මුහම්මද්) තුමා(ﷺ) ගැන කුමන දේ පැවසුවද, ඔහු කාමුක මිනිසෙකු නොවීය. ප්‍රධාන වශයෙන් පහත් සැප සම්පත් —නැතහොත් ඕනෑම ආකාරයක සැප සම්පත්— පමණක්ම අපේක්ෂා කළ සාමාන්‍ය කාමභෝගී පුද්ගලයෙකු ලෙස අප මෙම මිනිසා දෙස බැලුවහොත් අපට බරපතල ලෙස වැරදෙනු ඇත.” (On Heroes, Hero-Worship, and the Heroic in History p.65 Lecture II, pub. Champan and Hall, London, 1840)

ඔහුගේ විවාහයන් පිටුපස ඇති ප්රඥාව

ඔහුගේ සියලුම විවාහයන් පිටුපස විශාල ප්‍රඥාවක් තිබුණි. ඔහුගේ බහු විවාහයන් සිදු වූයේ ඉස්ලාමයේ අවසර ලත් සියලුම ආකාරයේ විවාහයන් ප්‍රායෝගිකව පෙන්වීමට වන අතර, එය එවකට බිහිවෙමින් පැවති මුස්ලිම් ප්‍රජාවට අසාමාන්‍ය දේශපාලන ප්‍රතිලාභයන් ද ලබා දුන්නේය.

1. ඔහු කදීජා (RA) තුමිය සමඟ සිදු කළ විවාහයෙන් පෙන්වා දෙන්නේ අවිවාහක පුද්ගලයෙකුට වැන්දඹුවක් විවාහ කර ගැනීමට, තමාට වඩා වයසින් වැඩි කාන්තාවක් විවාහ කර ගැනීමට, (සාපේක්ෂව) දිළිඳු සහ අනාථ මිනිසෙකුට ධනවත් කාන්තාවක් විවාහ කර ගැනීමට සහ සේවකයෙකුට තම සේවායෝජකයා විවාහ කර ගැනීමට අවසර ඇති බවයි. කදීජා (RA) තුමිය සමඟ ඔහුගේ සබඳතාවය අන්‍යෝන්‍ය විශ්වාසයේ සහ විශ්වාසවන්තභාවයේ පරිපූර්ණ නිරූපණයක් විය. නබිතුමා (ﷺ) ඇගේ ජීවිත කාලය තුළ වෙනත් විවාහයක් සිදු නොකිරීමම ඔහුට එල්ල වන සියලුම කාමුක චෝදනා අසත්‍ය බව ඔප්පු කරයි. ඇතැම් විපරීත විවේචකයන් පැවසීමට උත්සාහ කළේ කදීජා (RA) තුමිය ජීවත්ව සිටියදී නබිතුමාට (ﷺ) තවත් විවාහයක් කර ගැනීමට බාධාවක් වූයේ ඔහුගේ මූල්‍ය අපහසුතා පමණක් බවයි.

ඉස්ලාම් දහම දැඩි ලෙස විවේචනය කළ ස්ටැන්ලි ලේන් පූල්ට (Stanely Lane Poole) පවා එවැනි ප්‍රකාශයක ඇති අතාර්කික බව පිළිගැනීමට සිදු විය. ඔහු මෙසේ ලියයි;

“කදීජා (RA) කෙරෙහි මුහම්මද් (ﷺ) දැක්වූ විශ්වාසවන්තභාවය, මූල්‍යමය සුරක්ෂිතභාවය පිළිබඳ චේතනාවන් ඉදිරිපත් කරමින් බැහැර කිරීමට උත්සාහයක් ගෙන ඇත. ඔවුන් පවසන්නේ මුහම්මද් (ﷺ) දිළිඳු මිනිසෙකු වූ බවත්, කදීජා (RA) ධනවත් හා බලවත් සබඳතා ඇති අයෙකු වූ බවත්ය; ස්වාමිපුරුෂයාගේ පාර්ශවයෙන් සිදුවන ඕනෑම ආදර සබඳතාවක් දික්කසාදයකින් කෙළවර වී, ඒ සමඟම දේපළ හා තනතුරු අහිමි වීමට හේතු වනු ඇතැයි ඔවුහු පවසති. එවකට අරාබියේ එතරම් වැදගත් කරුණක් නොවූ දරිද්‍රතාවයට ඇති බිය, සැබවින්ම කාමුක මිනිසෙකු වසර විසිපහක් පුරා පාලනය කිරීමට සමත් නොවන බව පෙන්වා දීම අවශ්‍ය නොවේ; විශේෂයෙන්ම මාතෘ සෙනෙහසකින් යුතුව මුළු හදවතින්ම ඔහුට ආදරය කළ කදීජා (RA), කුමන හේතුවක් නිසා හෝ දික්කසාදයක් පතනු ඇතැයි කිසිසේත්ම ස්ථිර නොවන පසුබිමක එය තවත් පැහැදිලි වේ. තවද මෙම පැහැදිලි කිරීම මඟින් මුහම්මද් (ﷺ) තම පැරණි බිරිඳ පිළිබඳව දැක්වූ ආදරණීය මතකය පැහැදිලි කිරීමට අපොහොසත් වේ. ඇගේ මුදල් පමණක් ඔහුව වසර විසිපහක් පුරා පාලනය කළේ නම්, ඇගේ මරණයෙන් පසු ඔහු එම වෙස්මුහුණ ගලවා දමා, නිදහස් වීම ගැන දෙවියන්ට ස්තූති කර, වහාම කාමුක ජීවිතයකට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. නමුත් ඔහු එවැනි කිසිවක් කළේ නැත.” (Studies in a Mosque p.79, pub. W. H. Allen & Co. London, 1883)

2. ඔහු සව්දා බින්ත් සමා’ (RA) තුමිය සමඟ කළ විවාහයෙන් පෙන්නුම් කරන්නේ බිරිඳ මියගිය වැන්දඹු පුරුෂයෙකුට තම දරුවන් බලා ගැනීමට හැකි මධ්‍යම වයසේ, කාරුණික, ප්‍රීතිමත් වැන්දඹු කාන්තාවක් විවාහ කර ගැනීමට තෝරා ගත හැකි බවයි. එවකට තම දරුවන් රැකබලා ගැනීමට කෙනෙකු අවශ්‍ය වූ බැවින්, නබිතුමාට (ﷺ) ඇගේ වයසේ පසුවන කාන්තාවක් විවාහ කර ගැනීම අත්‍යවශ්‍ය වන්නට ඇත.

3. ඔහු තරුණ හා බුද්ධිමත් ආයිෂා බින්ත් අබු බකර් (RA) තුමිය විවාහ කර ගත්තේ, ඇය විවාහ ජීවිතයට සහ අනෙකුත් කරුණුවලට අදාළ සියලු දෑ මතක තබාගෙන ඒවා සාමාන්‍ය ජනයාට දිගටම උගන්වනු ඇතැයි යන අරමුණ ඇතිවය. මෙම විවාහයේ තවත් අරමුණක් වූයේ අබු බකර් (RA) තුමා සමඟ ඇති මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ඥාති සහෝදරයෙකු නොවන, මිත්‍ර සහෝදරයෙකුගේ දියණිය විවාහ කර නොගැනීමේ පදනමක් නැති අරාබි සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කිරීමයි. එමෙන්ම මෙය කන්‍යාවක විවාහ කර ගත හැකි බවට වූ ප්‍රායෝගික නිරූපණයක් ද විය.

4. ඔහු තම වැදගත් සගයෙකු සමඟ වඩා හොඳ සබඳතා ගොඩනඟා ගැනීම සඳහා උමර් (RA) තුමාගේ දියණිය වූ හෆ්සා (RA) තුමියව විවාහ කර ගත්තේය.

5. බදර් සටනේදී දිවි පිදූ උබයිදා (RA) තුමාගේ වැන්දඹුව වූ සයිනබ් බින්ත් කුසයිමා (RA) තුමිය සමඟ ඔහු කළ විවාහයෙන්, දිවි පිදූවන්ගේ වැන්දඹුවන් කෙරෙහි ඔහු දැක්වූ සැලකිල්ල පෙන්නුම් කළ අතර, ඉස්ලාමය වෙනුවෙන් දිවි පිදූවන්ගේ වැන්දඹුවන්ගේ තත්ත්වය කෙරෙහි සංවේදී වන ලෙස මුස්ලිම් පුරුෂයන්ට ප්‍රායෝගික උත්තේජනයක් ලබා දුන්නේය.

6. ඔහු මක්කාවේ නායකයා වූ අබු සුෆියාන්ගේ දියණිය වූ උම්මු හබීබා (RA) තුමියව විවාහ කර ගත්තේය. මෙම විවාහය ඔහුව කුරෙයිෂ්වරුන් අතර වැදගත් පවුලක් වූ උමයියාද්වරුන්ට සමීප කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාමකාමී සහ ලේ වැගිරීම්වලින් තොර මක්කා ජයග්‍රහණයක් කරා මඟ පෑදුණි. විලියම් මුයර් (William Muir) මෙම අරමුණ ඔහුගේ කෘතියේ මෙසේ සඳහන් කර ඇත;

“[නබිතුමා(ﷺ)] සමහරවිට උම්මු හබීබාගේ පියා වන අබු සුෆියාන්ව තමාගේ අරමුණ කෙරෙහි වඩාත් හිතකර කර ගැනීමට බලාපොරොත්තු වන්නට ඇත.” (The Life of Mahomet, vol. 4 p.59 pub. Smith, Elder and Co. London, 1861)

ජෝන් බැගොට් ග්ලබ් (John Bagot Glubb) ද මේ හා සමාන අදහසක් දක්වමින් හරවත් නිරීක්ෂණයක් කරයි;

“උම්මු හබීබාව (RA) තමාගේ මනාලිය කර ගැනීම සඳහා ඇයව තමා වෙත එවන ලෙස අබිසීනියාවේ අධිරාජ්‍යයාට ලිවීමට එතුමා වෙහෙස මහන්සි විය. ඔහුගේ අරමුණ තවත් කාන්තාවක් ලබා ගැනීම පමණක් වූයේ නම්, අරාබියේ මීට වඩා ආකර්ශනීය මනාලියන් සිය ගණනක් සිටින්නට ඇත. සමහරවිට ඔහු උම්මු හබීබාව (RA) ගෙන්වා ගත්තේ, දැන් වඩාත් සමාදානශීලී ආකල්පයක් අනුගමනය කරන බව ඔහු නිරීක්ෂණය කළ අබු සුෆියාන් සමඟ සබඳතා ඇති කර ගැනීමට පාලමක් ලෙස විය හැකිය.” (The Life and Times of Muhammad p.304)

7. ඔහු උම්මු සලමා (RA) තුමිය විවාහ කර ගත්තේය. ඇය තම පෙර විවාහයෙන් දරුවන් රැගෙන ආ ඔහුගේ එකම බිරිඳයි. මේ අනුව, පුද්ගලයෙකුගේ බිරිඳට පෙර විවාහයකින් ලැබුණු දරුවන් රැකබලා ගැනීම පිළිබඳව ශුද්ධ වූ නබිතුමා (ﷺ) ප්‍රායෝගික ආදර්ශයක් ලබා දුන්නේය. මෙම විවාහය මඟින් මීට පෙර ඉස්ලාම් දහමට දැඩි ලෙස විරුද්ධ වූ ඇගේ ගෝත්‍රය සන්සුන් කළේය, මන්ද දැන් ඔවුන්ට ශුද්ධ වූ නබිතුමා (ﷺ) සමඟ සබඳතාවක් ඇති වී තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස එම ගෝත්‍රයේ බොහෝ දෙනෙකුට ඉස්ලාමය පිළිබඳ ඔවුන්ගේ අදහස් නැවත සලකා බැලීමට මඟ පෑදුණි.

8. ඔහු සයිනබ් බින්ත් ජහෂ් (RA) තුමිය විවාහ කර ගත්තේ, ජීව විද්‍යාත්මක පුත්‍රයෙකු නොවන, හදාගත් පුත්‍රයෙකුගේ දික්කසාද වූ බිරිඳ විවාහ කර නොගැනීමේ පදනමක් නැති අරාබි සම්ප්‍රදාය මුලිනුපුටා දැමීමටය. ඉස්ලාමය විශ්වාස කරන්නේ යමෙකු කොතරම් ආදරණීය වුවත්, තමාගේම ලෙයින් උපන් පුතෙකු හා සමාන විය නොහැකි බවයි. මොන්ට්ගොමරි වොට් (Montgomery Watt) මෙසේ ලියයි;

” … ඇගේ සිද්ධියේදී දේශපාලනික අරමුණට වඩා සමාජීය අරමුණක් ප්‍රමුඛ වන්නට ඇත – එනම් මුහම්මද් (ﷺ) පැරණි තහංචි බිඳ දැමූ බව පෙන්වීමයි.” (Muhammad at Medina p.288, pub. Oxford, 1956)

9. ඔහු ජුවයිරියා බින්ත් අල්-හාරිත් (RA) තුමිය විවාහ කර ගත්තේ වැදගත් යුදෙව් ගෝත්‍ර සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට සහ සමාජ තත්ත්වය මත පදනම් වූ මිශ්‍ර විවාහයන් සඳහා ඉස්ලාමයේ අවසර ඇති බව පෙන්වීමටය. මෙම විවාහයන්ගෙන් කාන්තාවන්ට ලැබුණු උසස් ගෞරවයද පෙන්නුම් කෙරේ, මන්ද ඔවුන්ව වහලුන් බවට පත් කරනවා වෙනුවට ශුද්ධ වූ නබිතුමා (ﷺ) ඔවුන්ව විවාහ කර ගනිමින් ඔවුන්ට ‘විශ්වාසවන්තයින්ගේ මව්වරුන්’ (Mothers of the Believers) යන උසස් තත්ත්වය ලබා දුන්නේය. මෙම විවාහයේ ඇති දේශපාලන ප්‍රතිලාභ ගැන ජෝන් බැගොට් ග්ලබ් (John Bagot Glubb) ඔහුගේ ඉහත සඳහන් කළ පොතේ මෙසේ ලියයි;

“…මෙය තනිකරම දේශපාලන විවාහයක් වූ අතර, එය සටනකට වඩා සාර්ථකව බෙනී මුස්තාලික් (Beni Mustaliq) ගෝත්‍රය ඉස්ලාමය වෙත දිනා ගැනීමට සමත් විය.” (p.263)

10. යුදෙව්වන්ගේ නුදෙයිර් (Nudair) ගෝත්‍රයේ දියණියක වූ සෆියියා බින්ත් හයියි (RA) තුමිය සමඟ ඔහු කළ විවාහය, උතුරු අරාබියේ යුදෙව්වන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ කටුක හැඟීම් සමනය කිරීමට විශාල සාර්ථකත්වයක් අත්කර දුන්නේය.

වොට් (Watt) මෙසේ ලියයි; “යුදෙව් කාන්තාවන් වූ සෆියා සහ රයිහානා සමඟ ඇති වූ සබඳතාවන්හි දේශපාලන අරමුණු තිබෙන්නට ඇත.” (Muhammad at Medina p.288)

11. මයිමූනා (RA) තුමිය සමඟ සිදු කළ විවාහය නිසා ඉතා වටිනා පුද්ගලයන් කිහිප දෙනෙකු ඉස්ලාම් දහම වැළඳ ගත්හ. වොෂින්ටන් අර්විංගේ (Washington Irving) වචන වලින් පවසන්නේ නම්;

“මෙය නිසැකවම තවත් ප්‍රතිපත්තිමය (දේශපාලනික) විවාහයක් විය, මන්ද මයිමූනා (RA) වයස අවුරුදු පනස් එකක් වූ වැන්දඹුවක් වූ නමුත්, මෙම සබඳතාවය නිසා ඔහුට බලවත් ආගමික හැරවුම්කරුවන් දෙදෙනෙකු ලැබුණි. එක් අයෙක් වැන්දඹුවගේ බෑණනුවන් වූ, නිර්භීත රණශූරයෙකු වූ ඛාලීද් ඉබ්න් අල් වලීඩ් (Khaled Ibn al Waled) ය… අනෙක් පුද්ගලයා ඛාලීද්ගේ මිතුරා වූ අම්රු ඉබ්න් අල් ආස් (Amrul Ibn al Aass) ය;” (The Life of Mahomet p.183 pub. Bernhard Tachnitz, Leipzig 1850)

නබිතුමාගේ (ﷺ) විවාහයන් චෝදනා කෙරෙන කාමුකත්වය හැර වෙනත් හේතු මත සිදු වූවක් බව ඩී.එස්. මාගොලියුත් (D.S. Margoliouth) වැනි පක්ෂග්‍රාහී විවේචකයෙකු පවා පිළිගෙන ඇත. ඔහු මෙසේ ලිවීය;

“මෙම විවාහයන් කිහිපයකදීම දේශපාලනික කරුණු ප්‍රමුඛ වූ බව පහසුවෙන්ම දැකගත හැකිය.” (Encyclopedia of Religion and Ethics, Article: Muhammad. vol. 8 p.879 pub. T. & T. Clark, Edinburgh, 1915)

සර්වබලධාරී අල්ලාහ් දෙවියන් වහන්සේ එතුමාට බහු විවාහයන් සඳහා අවසර නොදුන්නේ නම්, බොහෝ මුස්ලිම්වරුන්ට ඔවුන්ට ලැබුණු බොහෝ ප්‍රතිලාභ අහිමි වන්නට ඉඩ තිබුණි. බොහෝ ප්‍රබල සතුරන් සමනය කිරීමට නොහැකි වන්නට තිබුණි. ශරියා (ඉස්ලාමීය නීතිය) හි බොහෝ කරුණු මෙතරම් හොඳින් පැහැදිලි කිරීමට නොහැකි වන්නට තිබුණි. විවාහ ජීවිතයට අදාළ කරුණු සහ අනෙකුත් පවුල් අභ්‍යන්තර කටයුතු අපට කියා දුන්නේ ශුද්ධ වූ නබිතුමාගේ (ﷺ) බිරින්දෑවරුන්මය. මෙහිදී අප මතක තබා ගත යුතු තවත් කරුණක් නම්, ශුද්ධ වූ නබිතුමාගේ (ﷺ) පිරිමි දරුවන් කිසිවෙකු වැඩිහිටි වියට පත්වන තෙක් ජීවත් නොවූ අතර, ඔහුගේ දියණියන්ගෙන් ඔහුගේ මරණයෙන් පසුවත් ජීවත් වූයේ ෆාතිමා (RA) තුමිය පමණක් වන අතර ඇයද ජීවත් වූයේ මාස 6ක් පමණි. එවැනි තත්ත්වයක් තුළ, ශුද්ධ වූ නබිතුමාට (ﷺ) මෙම බිරින්දෑවරුන් නොසිටියේ නම්, එය මුස්ලිම් උම්මාවට (ප්‍රජාවට) සැබවින්ම විශාල පාඩුවක් වන්නට තිබුණි, මන්ද එවිට බොහෝ ඉගැන්වීම් අපෙන් වැස්මකින් වැසී පවතින්නට ඉඩ තිබූ බැවිනි.

ඉහත සඳහන් සියලු තොරතුරු මඟින් ඔප්පු වන්නේ ඔහුගේ විවාහයන් ශාරීරික ආශාවන් මත සිදු වූ ඒවා නොව, ඒවායේ ප්‍රතිඵලවලින් පැහැදිලි වන පරිදි අවම වශයෙන් මුස්ලිම් ප්‍රජාවගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල නිසැකවම උතුම් හා ශ්‍රේෂ්ඨ වූ වෙනත් අරමුණු සඳහා සිදු වූ ඒවා බවයි.

බයිබලයේ සඳහන් දිවැසිවරයන්ට බොහෝ බිරින්දෑවරුන් සිටියහ, ඇත්ත වශයෙන්ම එය ඉතා විශාල සංඛ්යාවක්!

a) බයිබලයට අනුව, ඒබ්‍රහම් (PBUH) තුමාට බිරින්දෑවරුන් තිදෙනෙකු සිටියේය. එනම් හාගර් (උත්පත්ති 16:4), සාරා (උත්පත්ති 11:29) සහ කෙතුරා (උත්පත්ති 25:1) ය.

b) ජේකොබ් (PBUH) තුමාට බිරින්දෑවරුන් සිව්දෙනෙකු සිටියේය. එනම් ලෙයා (උත්පත්ති 29:23), රාකෙල් (උත්පත්ති 29:28), ශිල්පා (උත්පත්ති 30:9) සහ බිල්හා (උත්පත්ති 30:3) ය.

c) ඩේවිඩ් දිවැසිවරයා ගැන බයිබලයේ මෙසේ සඳහන් වේ;

“ඩේවිඩ් හෙබ්‍රොන් සිට පැමිණි පසු, ජෙරුසලමෙන් තවත් උපභාර්යාවන් සහ බිරින්දෑවරුන් තමාට ලබාගත්තේය. තවද ඩේවිඩ්ට තවත් පුත්‍රයන් සහ දූවරුන් උපන්නෝය.” (2 සාමුවෙල් 5:13)

1 ලේකම් 3:1-9 කියවීමෙන් පැහැදිලි වන්නේ ඩේවිඩ් දිවැසිවරයාට අවම වශයෙන් බිරින්දෑවරුන් 6 දෙනෙකු සහ බොහෝ උපභාර්යාවන් සිටි බවයි.

d) සොලමන් දිවැසිවරයා ගැන එහි මෙසේ සඳහන් වේ;

“ඔහුට කුමාරිකාවන් වූ බිරින්දෑවරුන් හත්සියයක් සහ උපභාර්යාවන් තුන්සියයක් සිටියහ. ඔහුගේ බිරින්දෑවරු ඔහුගේ සිත වෙනතකට හැරෙව්වෝය.” (1 රාජාවලිය 11:3)

මෙයට අමතරව බයිබලයේ සඳහන් බහුභාර්ය සේවනයෙහි යෙදුණු අයගේ ඉතා දීර්ඝ ලැයිස්තුවක් ඇත.

අවසාන වදන:

ඇත්ත වශයෙන්ම ශුද්ධ වූ නබිතුමාගේ (ﷺ) සියලුම විවාහයන් පිටුපස, ඔහුගේ කාලයට පමණක් නොව ඉදිරි කාලයටද ගැලපෙන විශාල ප්‍රඥාවක් තිබුණි. පවුල් සංස්ථාව අතින් නිසැකවම හොඳම ප්‍රජාව වන මුස්ලිම් ප්‍රජාවේ ආත්මික හා සමාජීය වර්ධනය කෙරෙහි මෙයින් විශාල බලපෑමක් ඇති විය.

ශුද්ධ වූ නබිතුමාගේ (ﷺ) විවාහයන් කාමුක ආශාවන් නිසා නොව, වෙනත් විචක්ෂණශීලී හේතූන් මත සිදු වූවක් යන සරල සත්‍යය පිළිගැනීමට ක්‍රිස්තියානි භක්තිකයන්ට ඇති බාධාව කුමක්දැයි මට සිතාගත නොහැකිය. මාටින් ලූතර්ට (Martin Luther) මෙසේ පැවසිය හැක්කේ නම්;

“පීතෘ මූලිකයන්ගේ, ගිඩියොන්ගේ, ඩේවිඩ්ගේ, සොලමන්ගේ සහ අනෙකුත් අයගේ බහුභාර්ය සේවනය අත්‍යවශ්‍යතාවයක් මත සිදු වූවක් මිස, සල්ලාලකම නිසා සිදු වූවක් නොවේ.” (Table Talk, DCCXLII.p.304 Translated by William Hazlitt, Bell & Daldy, London 1872)

දැඩි මතධාරී විවේචකයන් පවා එම අවස්ථාවන්හි පැවති ‘අත්‍යවශ්‍යතාවයන්’ පිළිගන්නා පසුබිමක, මුහම්මද් නබිතුමාගේ (ﷺ) විවාහයන් ගැනද ඒ ආකාරයෙන්ම පැවසිය නොහැක්කේ මන්ද?

අපගේ ක්‍රිස්තියානි මිතුරන්ට තම ඍණාත්මක ආකල්ප ඉවත් කර බැලිය හැක්කේ නම්, වඩාත් යථාර්ථවාදී සහ සාධාරණ ලෙස කරුණු වටහා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇතැයි මට විශ්වාසය.

සැබවින්ම අල්ලාහ් දෙවියන් වහන්සේ සියල්ල හොඳින් දන්නා සේක!

Loading