ඇතැම් විවේචකයන් අල්-කුර්ආනයේ ඇති වාක්‍යයක් ගැන ගැටළුවක් ඇති කිරීමට උත්සාහ කරති. එම වාක්‍යයෙහි සඳහන් වන්නේ, නබිතුමාගේ (ﷺ) භාර්යාවන්ට ඔහුගේ මරණයට පසු කිසිවෙකුට විවාහ වීමට ඉඩ නොමැති බවයි. වාක්‍යය මෙසේය:
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا….وَمَا كَانَ لَكُمْ أَنْ تُؤْذُوا رَسُولَ اللَّهِ وَلَا أَنْ تَنْكِحُوا أَزْوَاجَهُ مِنْ بَعْدِهِ أَبَدًا إِنَّ ذَلِكُمْ كَانَ عِنْدَ اللَّهِ عَظِيمً
“විශ්වාස කළවුනි!… තවද අල්ලාහ්ගේ රසූල්වරයාට නුඹලා පීඩා ඇති කිරීම ද ඔහුට පසුව ඔහුගේ භාර්යාවන් කිසිවිටෙක නුඹලා විවාහ කර ගැනීම ද නුඹලාට (අනුමැතිය) නැත. සැබැවින්ම එය අල්ලාහ් අබියස මහඟු (පාපයක්) වනු ඇත.” (ශුද්ධ වූ අල්කුර්ආන් 33:53)
මෙවැනි විවේචකයන් කියා සිටින්නේ, නබිතුමාගේ (ﷺ) භාර්යාවන්ට නැවත විවාහ වීමට තහනම් කිරීම අසාධාරණ බවයි. නමුත් එවැනි අදහසක් පෙන්වන්නේ, මෙම කරුණු පිළිබඳ සම්පූර්ණ අඥානයක් සහ නබිතුමාගේ(ﷺ) භාර්යාවන් ඉස්ලාම් ගෘහයේ ඇති උසස් තත්ත්වය පිළිබඳ නොදැනීමක් බවයි.
එවැනි මතභේදාත්මක තර්ක කිරීම් වලින් පෙන්වීමට උත්සාහ කරන්නේ නැවත විවාහ වීම තහනම් කිරීම භාර්යාවන්ට සිදු වූ අසාධාරණයක් බවයි. නමුත් සැබැවින්ම එවැනි තර්කයකින් පෙන්නුම් කරන්නේ මෙම ප්‍රශ්නයේ විස්තර සහ ඉස්ලාම් දහම තුළ නබිතුමාගේ (ﷺ) භාර්යාවන් සතු තත්ත්වය පිළිබඳව ඇති පරම නොදැනුවත්කමයි.
විවාහයෙන් ඉවත් වීමට තිබූ අයිතිය
විවේචනයට අදාළ වැකිය උපුටා දැක්වීමට පෙර එම වැකියට පෙර සඳහන් අල් කුර්ආනයේ 33:28,29 වන වැකිය දෙස අවධානය යොමු කරමු.
“අහෝ නබිවරය! ඔබ ඔබේ බිරියන්ට, “මෙලොව ජීවිතය හා එහි අලංකාරය නුඹලා ප්‍රිය කරන්නෙහු නම් එවිට නුඹලා එනු. මම නුඹලාට භුක්ති විඳින්නට සළස්වා (විවාහ බන්ධනයෙන්) අලංකාර මුදවාලීමකින් මම නුඹලාව මුදවාලමි යැයි පවසනු. තවද නුඹලා අල්ලාහ්ව, ඔහුගේ දූතයාණන් හා මතු ලොව ප්‍රිය කරමින් සිටින්නෙහු නම් එවිට දැන ගනු නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා අතරින් වූ දැහැමියන්ට මහත් වූ තිළිණ සූදානම් කර ඇත. [අල් කුර්ආනය 33:28,29]
මෙම වැකිය තුළින් මුහම්මද් තුමාට තම බිරින්දෑවරුන්ට පහත තේරීම් දෙක ලබා දෙන මෙන් දෙවිඳුන් පවසනවා.
- නබිතුමා සමඟ විවාහයෙන් සිටිමින්, අල්ලාහ් සහ පරලොව උදෙසා කැපවූ සරල ජීවිතයක් පිළිගැනීම.
හෝ
- වෙන්වීම තෝරාගන්නේ නම්, නබිතුමා ඔවුන්ට සුදුසු මූල්‍යමය ප්‍රතිපාදන ලබා දී, ගෞරවනීය හා යහපත් ආකාරයෙන් (සුන්දර ලෙස නිදහස් කරමින්) දික්කසාද කිරීම.
මේ අනුව පෙනී යන්නේ මුහම්මද් තුමාගෙන් වෙන්වීමේ අයිතිය ඔවුන්ගේ බිරින්දෑවරුන්ට තිබූ බවයි. විවාහය පවත්වා ගැනීමට කිසිඳු බල කිරීමක් තිබී නැහැ. ඒවගේම මුහම්මද් තුමා ජීවතුන් අතර සිටියදී එසේ වෙන්වී තිබුණේ නම් එම කාන්තාවන්ට වෙනත් විවාහයක් කර ගැනීමට කිසිඳු තහනමක් ඉස්ලාම් ධර්මය තුළ තිබී නැහැ. නමුත් ඔවුන් මුහම්මද් තුමා සමඟ විවාහ ජීවිතය දිගටම පවත්වාගෙන යෑමට ස්වකැමැත්තෙන්ම තීරණය කළා.
මුහම්මද් තුමාගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරින්දෑවරුන්ට නැවත විවාහ වීම තහනම් කිරීමේ වැකිය (33:53) අල් කුර්ආනයේ සඳහන් වී තිබෙන්නේ ඉහත වැකියෙන් (33:28,29) පසුවයි. මෙම වැකිය (33:53) අනාවරණය වී ඇත්තේ ඉහත වැකියෙන් (33:28,29) පසුව බව තීරණය කිරීමද වැරදි නැහැ.
මෙම වැකියේ පවතින තහනම ගැන මුහම්මද් තුමාගේ බිරින්දෑවරුන් හොඳින් දැන සිටියා. එබැවින් මුහම්මද් තුමාගේ අභාවයෙන් පසුව තවත් විවාහයක් සිදු කර ගැනීම ආශාව ඔවුන් සතුව තිබුණේ නම් 33:28,29 වැකියෙන් ලබා දී තිබුණු අනුමැතියට අනුව ඔවුන්ට මුහම්මද් තුමාගෙන් වෙන් වී යන්න තිබුණා. එසේ වෙන් වී ගොස් තිබුණේ නම් 33:53 වැකියේ තහනම එසේ වෙන් වූවන්ට අදාළ වන්නේ නැහැ. කෙසේනමුත් 33:53 වැකියේ අනාවරණයෙන් පසුවත් මුහම්මද් තුමාගේ බිරින්දෑවරුන් මුහම්මද් තුමා සමඟම ජීවත් වීමට තීරණය කළා. මෙසේ තීරණය කිරීමට අදාළ තවත් හේතු මෙම ලිපියේ ඉදිරි පරිච්ඡ්ද වල සාකච්ඡා වී තිබෙනවා. ඔවුන් ගත් තීරණය අද සිටින අපිට ප්‍රශ්න කරන්න පුලුවන්ද?
නබිතුමාගේ (ﷺ) භාර්යාවන් යනු විශ්වාසවන්තයින්ගේ මව්වරුන්ය:
ඉතා පැහැදිලි වචනවලින් කුරානය නබි නායකතුමාණන්ගේ (ﷺ) භාර්යාවන් විශ්වාසවන්තයින්ගේ මව්වරුන් ලෙස හඳුන්වයි. අල්ලාහ් ශුද්ධ වූ කුරානයේ මෙසේ පවසයි:
النَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنْفُسِهِمْ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ
“නබිවරයා විශ්වාසිකයින් තුළ ඔවුන්ගේ ආත්මයන්ට වඩා ඉතා උතුම් (වි)ය. තවද ඔහුගේ භාර්යාවන් ඔවුන්ගේ(විශ්වාසිකයින්ගේ) මෑණිවරුන්ය.” (ශුද්ධ වූ අල්කුර්ආන් 33:6)
මෙමඟින් නබි නායකතුමාණන්ගේ(ﷺ) භාර්යාවන් සහ විශ්වාසවන්තයින් අතර ඇති දැඩි ආධ්‍යාත්මික සබඳතාව පෙන්නුම් කරන අතර, මෙහි සාකච්ඡා කෙරෙන නියෝගය මෙහි සඳහන් ඔවුන්ගේ තත්ත්වයට බෙහෙවින් ගැලපේ. ඉතා සුළු හෝ සදාචාරාත්මක හැඟීමක් ඇති කිසිවෙකු හෝ මීට විරුද්ධ නොවනු ඇත.
ඔවුන් පරලොවදී පවා නබිතුමාගේ (ﷺ) භාර්යාවන් ලෙසම සිටිනු ඇත:
මීට අමතරව, හදීස් ග්‍රන්ථවල නබි නායකතුමාණන් (ﷺ) උන්වහන්සේගේ භාර්යාවන් වෙනුවෙන් කළ ප්‍රාර්ථනයක් අපට කියවීමට පුළුවන. එහි මෙසේ සඳහන් වේ:
قال رسول الله صلى الله عليه وسلم: سألت ربي عز وجل أن لا أزوج أحدا من أمتي ، ولا أتزوج إلا كان معي في الجنة فأعطاني
අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) මෙසේ පැවසූහ: ‘මම මගේ ජනතාවගෙන් කිසිවෙකු විවාහ කර නොගන්නා ලෙසත්, මා විවාහ කරගන්නා තැනැත්තිය ස්වර්ගයේ මා සමඟ සිටින ලෙසත් අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියෙමි, එය මට ප්‍රදානය කරන ලදී.’ (Mustadrik Al-Hakim, Hadith 4650. හකීම් මෙය සහීහ් ලෙස වර්ග කර ඇත)
තවද ඔවුන් මෙලොව මෙන්ම පරලොවදී ද නබිතුමාගේ (ﷺ) භාර්යාවන් විය යුතු බැවින්, නබි නායකතුමාණන්ගේ (ﷺ) භාර්යාවන්ට වෙනත් කිසිම පුද්ගලයෙකු සමඟ විවාහ වීමට අවසර නොලැබුණි. පහත සඳහන් විස්තරය එය වඩාත් පැහැදිලි කරයි:
قال رسول الله صلى الله عليه وسلم: المرأة لآخر أزواجها
අල්ලාහ්ගේ දූතයාණෝ (ﷺ) මෙසේ පැවසූහ: ‘[ස්වර්ගයේදී] කාන්තාවක් ඇගේ අවසාන සැමියා සමඟ සිටිනු ඇත.’ (Tabaqaat Abu Shaikh p.270. අල්බානි මෙය Silsala Sahiha H. 1281 හි සහීහ් ලෙස වර්ග කර ඇත)
قال حذيفة لامرأته إن أردت أن تكوني زوجتي في الجنة فلا تزوجي بعدي فإن المرأة لآخر أزواجها ، ولذلك حرم الله تعالى على أزواج رسول الله صلى الله عليه وسلم أن يتزوجن بعده
හුසෙzයිෆා (නබිතුමාගේ(ﷺ) සහායකයෙක්) තම බිරිඳට මෙසේ පැවසීය, ‘ඔබට ස්වර්ගයේ මගේ බිරිඳ වීමට අවශ්‍ය නම්, මාගෙන් පසුව කිසිවෙකු විවාහ කර නොගන්න. මන්ද කාන්තාවක් ඇගේ සැමියන්ගෙන් අවසාන සැමියා සමඟ සිටිනු ඇත. ….’ (Mushkil Al-Athaar 2/147 Hadith 552)
මුහම්මද් තුමාගේ බිරින්දෑවරුන්ටත් අවශ්‍ය වූයේ ස්වර්ගයේ මුහම්මද් තුමා සමඟ සිටීමටය.
නබිතුමාගේ(ﷺ) භාර්යාවන් නබිතුමාගෙන්(ﷺ) පසුව නැවත විවාහ වීමට කිසි විටෙකත් කැමැත්තක් නොදැක්වූහ:
සියල්ලටම වඩා, නබිතුමාගේ(ﷺ) භාර්යාවන් කිසිවෙකු නබිතුමාගෙන්(ﷺ) පසුව නැවත විවාහ වීමට කිසිදු කැමැත්තක් දැක්වූයේ නැත. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ප්‍රකාශයන් බොහොමයක් තිබේ, ඒවායින් පෙන්නුම් කරන්නේ විශ්වාසවන්තයින් කෙරෙහි තමන්ට ඇති මාතෘ අයිතිය ඔවුන් තේරුම් ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටි බවයි. තවද, මානව වර්ගයාගේ ශ්‍රේෂ්ඨතමයාණන්ගේ භාර්යාවන් වූ අය සදාකාලිකවම එම තත්ත්වය භුක්ති විඳීමට කැමැත්තෙන් සිටින්නට ඇති අතර, එබැවින් නැවත විවාහ වීමේ කිසිදු අදහසක් ඔවුන්ට කිසිසේත් ඇති නොවන්නට ඇත. (ඉහත සඳහන් ආඛ්‍යානයන්ට අනුකූලව).
එබැවින් ශුද්ධ වූ අල්කුර්ආනයේ මෙම නීතිය පිළිබඳව ඔවුන්ට කිසිදු ගැටලුවක් නොතිබූ කල්හි, වෙනත් කෙනෙකු ඒ ගැන කතා කළ යුත්තේ මන්ද?
සැබවින්ම අල්ලාහ් සියල්ල මැනවින් දන්නේය!
![]()